ඒකාධිපතිවාදය තුළ රජෙක් සිටී ද? එතැන අනිවාර්යයෙන් ම ඝාතකයෙක් ඉන්නවා - නාට්‍යවේදී, සාහිත්‍යවේදී විසාකේස චන්ද්‍රෙස්කරම් Featured

Published in කලා
Saturday, 27 December 2014 11:06

 

‘‘දිවයිනේ ප්‍රධාන ම පක්ෂ දෙක වූ කොළ පාට පක්ෂයට හා නිල් පාට පක්ෂයට ‘‘තුන්වැනි බලවේග’’වල උපකාරය නැති ව ඡන්ද දිනිය නොහැකි බව නොදත්තෙක් නැත. එම තුන්වැනි බලවේග අතරට සන්නද්ධ විප්ලව කරන්නට ගොස් දෙවතාවක් ම අන්ත පරාජයට ලක්වූ රතු පක්ෂය ද, මුස්ලිම් හා දෙමළ වෙළඳසැල් වර්ජනය කිරීමේ ව්‍යාපාරය ගෙන යන ‘‘භූමි’’ පක්ෂය ද, නැති කර දමන ලද කොටි සංහතිය ගැන තවමත් ශෝක වෙමින් සිටි ‘‘දෙමළ සංගමය’’ ද, කුමන පක්ෂයක් ආවත් පිල් මාරු කරමින් තම ව්‍යාපාරය ගෙන යන ‘‘මුස්ලිම් ලීගය’’ ද, ඇතුළත් විය.


දෙමළුන් හා මුස්ලිමුන් තමන්ගේ ජාතියේ පක්ෂ පාවා දෙමින් කොළ පාටට හෝ නිල් පාටට ඡන්දය දුන්නේ වතාවක් දෙවතාවක් නොවේ. එසේ ම හොඳින් බලන කෙනෙකුට පෙනී යන්නේ රතු විප්ලවකාරයින් හා භූමි පාක්ෂිකයන් අතර තියෙන වෙනස්කම්වලට වඩා සමානකම් ය. පක්ෂ දෙකේ ම බෞද්ධ භික්ෂූන් හිටි අතර ඔවුහු ඕනෑ ම වෙලාවක කුඩමිටි හරස් කරගෙන මහ පාරේ කෑ කෝ ගසන්නට සූදානමින් උන් හ. ඒ දෙපක්ෂය ම දෙමළුන් හා මුස්ලිමුන් එක්ක යන්තම් හෝ බලය බෙදාගන්නා පාලන ක්‍රමයකට එක හෙළා විරුද්ධ වූ හ. පක්ෂ දෙකම සිංහල බෞද්ධ ඡන්ද දායකයින්ට ආමන්ත්‍රණය කළ අතර ඒ නිසා ම දෙපිල නයි මුගටින් මෙන්, එක එකාට වෛර කළ හ. කෙසේ වෙතත් ඔවුන් දෙපිරිස ම විධායක ජනාධිපති ක්‍රමයට නම් විරුද්ධ වූහ.’’


දයාබර පාඨකය,


ඉහතින් උපුටා දක්වන ලද්දේ අනාගතයේ කිසිවකු විසින් ලියන්නට සිතා සිටින ඉතිහාස කතන්දරයක කොටසක් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම කොටස අන්තර්ගත වූයේ ලාංකීය භූමියේ සුවිශේෂී චරිතයක්ව සිටි වේදිකා නාට්‍යවේදී විසාකේස චන්ද්‍රසේකරම් ගේ අභිනව සාහිත්‍යය කෘතිය වන ‘‘රජ සහ ඝාතකයා’’ කාතියේ 47 වන පිටුවෙන් උපුටා ගත් කොටසකි.

අප සැවොම විසාකේස හඳුනාගෙන සිටියේ නාට්‍යය අධ්‍යක්ෂකවරයෙක් වශයෙනි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘තහනම් අඩවිය’’ වේදිකා නාට්‍යය රාජ්‍ය සම්මානය, ග්‍රේෂන් සම්මානය සහ යෞවන සම්මාන රැසක් ද දිනාගත්තේ ය. ‘‘රජ සහ ඝාතකයා’’ ඔහුගේ ප්‍රථම සිංහල සාහිත්‍යය කෘතිය යි. එහෙත් ඔහු මීට පෙර Tigers Ddon’t Confess නමින් ඉංග්‍රීසි සාහිත්‍යය කෘතියක් ද එළිදක්වා ඇත. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘සයපෙති කුසුම’’ (Frangipani) සිනමා නිර්මාණය ද නොබෝ දිනකින් තිරගත වීමට නියමිතය.

අද ඔහු සමග පවත්වන සම්මුඛ සාකච්ඡාවට නිමිත්ත වන්නේ කලින් සඳහන් කළ ‘‘රජ සහ ඝාතකයා’’ කෘතිය ජනගත කිරීම ය. මෙම කෘතිය ජනගත කිරීමේ උළෙල එලඹෙන (දෙසැම්බර්) 30 වන දින සවස 04.30 ට සහ 07.00 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදි පැවැත්වේ. ‘‘රජ සහ ඝාතකයා’’  පෙළ ඇසුරින් නිර්මාණය කළ සංදර්ශනයක්  ද එදින වේදිකාගත වේ. මෙම කෘතිය රාවය ප්‍රකාශනයකි.

 


අපි ‘‘රජ සහ ඝාතකයා’’ පිළිබඳ හැදින්වීමකින් ම සාකච්ඡාව අරඹමු...

මේ කෘතිය ලියවෙන්නෙ ලංකාවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාව පාදක කරගෙන. මම නීතිය පැත්තට බර පුද්ගලයෙක් නිසා තමයි මගේ නිර්මාණ තුළිනුත් ඒ සම්බන්ධව කතා කරන්න උත්සාහ කරන්නෙ. අපිට බලපාන බරපතල ම සිදුවීමක් තිබෙනවා. ඒ තමයි: ඔබේ, මගේ, අපේ දෙමාපියන්ගෙ, අපේ දරුවන්ගෙ, ඒ දරුවන්ගෙ දරුවන්ගෙ ජිවිත තීරණය වෙන මූලික ම නීතිය. මොකක් ද මේ මූලික නීතිය...? ඒ නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. බහුතරයක් ජනතාව මෙහි වැදගත්කම වටහාගෙන නැහැ.

අපි හොඳට ම දන්නව මේ පෘථිවි තලය පවතින්න නම්: ඉර පායන්න ඕන, වහින්න ඕන, විශ්වයේ සමබරතාව පවතින්න ඕන. අපි මනුෂ්‍යෙයා විදියට පවතින්නෙ මේ ක්‍රියාදාමයන් සිදු වුණොත් පමණයි. ඒ වගේ ම මිනිස් පැවැත්මට අදාළ නීති පදනමක් තිබිය යුතු යි. ඒ මත තමයි මිනිස්සු: සාමයෙන් ඉන්නෙ, ගහ බැනගන්නෙ, විවාහ වෙන්නෙ, එක පුරුෂයකුට කාන්තාවො කිය ද?, එක කාන්තාවකට පුරුෂයො කීය ද? යනාදි සියල්ල තීරණය වෙන්නෙ. කෙටියෙන් කියනව නම් අපි ජීවත් වෙනවද නැද්ද කියන දේ පවා තීරණය කරන්නෙ මේ නීතිය. මෙන්න මේ නීතිය පිළිබඳ කතා කිරීම දේශපාලකයන්ට සහ නීතිඥයො කියන පිරිසට විතරක් ඉඩ දීල බලාගෙන ඉන්න අපිට බැහැ. එහෙම ඉන්න අවශ්‍යත් නැහැ.

අපි මේ සම්බන්ධයෙන් පුළුවන් හැම මොහොතක ම: ගමේ ගොඩේ කෝපි කඩවල්වල, නාන තොටේ, පාසලේ, ළිඳ ළඟ ආදි හැම තැනක ම කතා වෙන්න අවශ්‍ය යි. මොකක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නෙ? මොනවද ඒකෙ අඩංගු කාරණා? ඔය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට බලපාන්නෙ කොහොම ද? එහි අඩංගු කරුණුවලින් දිගින් දිගට ම පවත්වාගෙන යායුතු කරුණු මොනව ද? ඉවත් කළ යුතු කරුණු මොනව ද? ආදි කරුණු අපි නිතරම සාකච්ඡා කළ යුතු යි. ඒ සාකච්ඡාව මතුකෙරෙන විදියට තමයි මම මේ නවකතාව ලියන්නෙ. නමුත් සම්පූර්ණ කතාවෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අඩංගු නැහැ. නවකතාවට පාදක කරගන්නෙ පුංචි කොටසක් පමණයි.

වැඩිපුර සාකච්ඡාවට ලක් කරන්නෙ මේ ආණුඩක්‍රම ව්‍යවස්ථාවට මැදිවුණ පුද්ගලයන් ගැන. ඒ කියන්නෙ රටේ මහජනතාව ගැන. ඒ එක්ක ම මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන කෙනා, ව්‍යවස්ථාවට එරෙහි වන කෙනා, ‘ව්‍යවස්ථාවක් තිබුණත් නැතත් මට මොකද?’ කියල හිතමින් වැට උඩ ඉන්න කෙනා, යනාදි හැමෝට ම මොකක් ද මේ හරහා සිද්ධ වෙනේනෙ කියන දේ තමයි මූළික වශයෙන් ම මේ කෘතිය හරහා සාකච්ඡා වෙන්නෙ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ හෝ නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා කලා මාධ්‍යයක් උපයෝගි කරගන්නෙ ඇයි?

මම වෘත්තියෙන් නීතිඥයෙක් බව ඇත්ත. නමුත් මම කලාකරුවෙක්. මම කළේ කලාකරුවෙක් කළ යුතු දෙයක්. මම කලාකරුවෙක් නොවී වෛද්‍යවරයෙක් වුණා නම් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මට අසීරු වෙන්න තිබුණා. කලාකරුවෙක් නොවී පර්යේෂකයෙක් පමණක් වුණා නම් මට සිද්ධවෙන්නෙ මේ පිළිබඳ ශාස්ත්‍රීය කෘතියක් කරන්න. මෙතන ගැටලුව තිබෙන්නෙ නීතීඥය කියන පුද්ලය එක්තරා පන්තියකට පමණක් සීමා කරන එක.

ඇත්තට ම මෙතන පවතින්නෙ පන්ති ප්‍රශ්නයක්. නීතිඥයා තමන්ගෙ බලය පවත්වා ගැනීම උදෙසා මේ දේවල් කිසිවකුට දෙන්නෙ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් ඕනැම නීතිමය කටයුත්තක් පිළිබඳ සාකච්ඡා පවතින්නෙ සමාජයේ ඉහළ ස්ථරයේ. ඒකට සමාජ බලයක් තිබිය යුතුයි. සාකච්ඡාවට අදාළ පුද්ගලයන්ට උපාධියක් තියෙන්න ඕන. ඔහු/ඇය නීතිඥයෙක් වෙන්න ඕන. එහෙමත් නැත්නම් පශ්චාත් උපාධියක් තියෙන්න ඕන. මෙන්න මේ වගේ පන්තියක් නියෝජනය කරන පිරිස් අතර පමණයි මෙම සාකච්ඡාව පවතින්නෙ.

නමුත් මම විශ්වාස කරනවා මේ සාකච්ඡාව සමාජයේ පහළ ස්ථරය කරා යනව නම් මේ ප්‍රශ්න බොහෝ දුරට අවම වෙන බව. කලාකරුවෙක් විදියට මම කරන්න ඕන මේ පන්ති අතර පවතින තාප්පය බිඳ දමලා අව වරප්‍රසාදලාභි පන්තිය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන එක. ඒකට පහසුම මාර්ගය කලාව භාවිතා කිරීම. ඒක ගද්‍යය වෙන්නත් පුළුවන්, පද්‍ය වෙන්නත් පුළුවන්, වේදිකාව වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් සිනමාව වෙන්නත් පුළුවන්. මම මේ සඳහා මාධ්‍යය කිහිපයක් ම භාවිතා කරනවා. ඒ කියන්නෙ මාධ්‍යය කිහිපයක් අතර යන සාකච්ඡාවක්.

 raja gatakayo

ඔබ මෙම කෘතියේ ආඛ්‍යාන රටාව අතුළෙ වෙනත් ක්‍රමවේදයන් භාවිතා කළ බවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ම කවි සහ ගීත සහ වෙනත් මාධ්‍යයන්...?

ඔව්... නවකතාව ඇතුළෙ වුණත් ගද්‍ය පද්‍ය දෙකම අන්තර්ගතයි. මේ නවකතාව ඇතුළෙ ඔය කියපු කාරණයට අමතර ක්‍රම දෙකක් භාවිතා කර තිබෙනවා. එකක් තමයි ගෘහ නිර්මාණ (Architecture) ශිල්පය. මේ ක්‍රමය තේමාවක් විදියට ම භාවිතා කරනවා. ගෘහනිර්මාණ ශිල්පය කියන දේ දේශපාලඥයො තමන්ගෙ බලය අත්පත් කරගැනීම, බලය පවත්වාගෙන යාම සහ නැවත නැවතත් බලය ලබාගැනීම සඳහා පාවිච්චි කරන්නෙ කොහොම ද? මේක හිට්ලර්ගේ යුගයේ පමණක් නොවෙයි ඊටත් එහා සිටි ඒකාධිපති පාලකයන්ගේ සිට අද දක්වා මේ ක්‍රමය භාවිතා කරනවා. මම උදාහරණයක් කියන්නම්. ජනාධිපති මන්දිරයක් ගොඩනගන තැන ම ඊට අල්ලපු ඉඩමෙ විශාල පන්සලක් ඉදිකරනවා. මේ පන්සලට දොහොත් මුදුන් දිල වඳින කෙනා තමන් නොදැනුවත්ව ම ජනාධිපති මන්දිරයටත් වඳිනවා. මෙන්න මේ විදියට තමයි පාලකයො Architecture පාවිච්චි කරන්නෙ. හතරවන ක්‍රමය තමයි විද්‍යා ප්‍රබන්ධ (Scientifiction). විද්‍යා ප්‍රබන්ධවලදි අපි දැනට විශ්වාස කරන සියල්ල ම අභිබවා යන විචිත්‍ර කල්පනාවන් (‍Fantasay) මතුකරන්නත් පුළුවන්. මෙන්න මේ කාරණා හතර ම මම භාවිතා කරනවා.

 

නැවතත් අපි එතනට ම යමු. ඒ කියන්නෙ මේ ක්‍රමවේද හතර පිළිබඳ පැහැදිලි කිරීමකට

ඔව්... අපි ගද්‍ය මාධ්‍යය ගත්තොත් ඒ හරහා ලේඛකයා පවසන්න උත්සාහ කරන දේ වඩාත් සවිස්තරව පැවසිය හැකි වෙනවා. පද්‍ය මාධ්‍යය ගත්තොත් ලේඛකයාට පැවැසිය නොහැකි බොහෝ දෑ වෙනස් ම විදියකට ප්‍රකාශ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් මේ කෘතියේ සන්ද්‍යා කියන ගායිකාව ගීතයක් ගායනා කරනවා. ඒ ගීතය එයා ටික කලකට ඉහත ගායනා කරපු ගීතයක්. ඒ ගීතයෙන් කියවෙන්නෙ නන්දිකඩාල්වලදි මිය ගිය මිනිස්සු ගැන. නමුත් ‘නන්දිකඩාල්’ කියන වචනය කොතනකදිවත් භාවිතා කරන්නෙ නැහැ. නමුත් යුද්ධයේ අවසාන භාගයේ මිය ගිය මිනිස්සු පිළිබඳ තමයි එයින් කියවෙන්නෙ. දැන් මේ ගීතය නන්දිකඩාල්වලට පමණක් නෙවෙයි ඊට පසු සහ පෙර සිදු වු වෙනත් තලයේ සංහාර කිහිපයකට ම සම්බන්ධ වෙනවා. මොකද නිරායුද මිනිස්සු ඝාතනය කිරීම් කිහිපයක් ම සිද්ධ වෙනවා. මේ ගීතය භාවිතා කරන්නෙ මෙන්න මේ හැම සංහාරයක් පිටුපස ම පවතින සමාන්තර භාවය විදහා දක්වන්න. මම උදාහරණ කිහිපයක් කියන්නම්. අපිට මතකයි 89 භීෂණ සමයෙදි හම්බන්තොට ප්‍රදේශයේ හෙලිකොප්ටරවලින් ගිහින් මිනිස්සු ඝාතනය කළා. මේ ගීතය එතනටත් අදාළ යි. 87 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පාරට බැහැපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා. ඒ සිද්ධියටත් මේ ගීතය අදාළ යි. ඒ වගේ ම නන්දිකඩාල් කලපුව තරණය කරල ජීවිත බේරාගන්න උත්සාහ කරපු ජනතාව ඝාතනය කරපු එකටත් මේ ගීතය අදාළ යි. ඒක තමයි කෘතියට ගීතයෙන් ලැබුණ දායකත්වය.

ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කළේ කොහොමද කියල මම කලින් සඳහන් කළා. අවසාන වශයෙන් Fantasay ය. Fantasay පාවිච්චි කරන විට ලේඛකයට තිබෙන වාසිය තමයි නිර්මාණකරුවාට තමන් කැමති ලෝකයක් මවාගන්න පුළුවන්. ‘ඒක එහෙම වෙන්න බැහනෙ. කොහොමද එහෙම වෙන්නෙ?’ වගේ දේවල් නිර්මාණකරුවට අදාළ නැහැ. නිර්මාණකරුවා Fantasay එකක් හදනා මෙන් මේ මේ දේවල් මේ මේ විදියට වෙනස් වෙනව කියල. ඒ විදියට වෙනස් වෙලා මෙන්න මේ වගේ දෙයක් නිර්මාණය වෙනව කියල තමන්ගෙ නිර්මාණය හරහා පවසනවා. ඒ ක්‍රමය හරහා නිර්මාණකරුවට හැකියාවක් ලැබෙනවා නීතිය පිළිබඳ කතා කරන්න අකමැති පිරිස අතරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි මාතෘකාවක් රැගෙන ගිහින් සාකච්ඡා කරන්න.

 

ඔබ නීතිඥයෙක්. නමුත් ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි බරපතල මාතෘකාවක් පිළිබඳ සාකච්ඡා කරන්න යොදාගන්නෙ සාහිත්‍යය කෘතියක්. එයින් ඔබ අදහස් කරන්නෙ නීතිය පිළිබඳ කෘතියක් ජනතාව ග්‍රහණය කර නොගනී කියලද? එහෙම නැත්නම් සාහිත්‍යය කෘතියක් හරහා මේ මාතෘකාව සාකච්ඡා කරන්න පහසු නිසා ද?

පැහැදිලිව ම මේ හේතු දෙක ම බලපෑවා. සහ ඉදිරියටත් ඒක ඒ විදියට ම බලපානවා. ලංකාවෙ නීති පොත් කොපමණ නම් ලියල තියෙනවද? විශේෂයෙන් ම මේ ක්‍රමයට එරෙහිව ලංකාව ඇතුළෙම ලියවුණ ඉංග්‍රීසි කෘති සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. කුමාරි ජයවර්ධන නෙලුකා ද මෙල් යන අය මේ පිළිබඳ පොත් පළ කර තිබෙනවා. නමුත් මේ පොත් බොහෝ පිරිසකට කියවගන්න බැහැ. කියවන්නෙත් නැහැ. ඒ අදහස් ගලා යන්නෙ ඉහළ පන්තියේ ජිවත්වන වරප්‍රසාදලාභි පිරිසකට පමණයි. නමුත් ඒ ඇතැම් කෘති ජාත්‍යන්තර ඇගයුමට පවා ලක් වෙලා තිබෙනවා.

දෙවන කාරණය තමයි ඔබ කිව්ව වගේ පවතින පහසුව. සාහිත්‍යය කෘතියක් හරහා මේ සාකච්ඡාව ජනතාව අතරට රැගෙන යන්න පහසුයි. මෙතනදි බරපතල කාරණයක් වුණත් ඉතා සැහැල්ලු ආකාරයෙන් සාකච්ඡා කරල පාඨකයාට ඒ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න පුළුවන්.

මේ කාරණා දෙකට අමතරව තවත් කාරණයක් තිබෙනවා. ඒතමයි මෙම කෘතියේ චරිතයක් වන තරුණ ජ්‍යෝතිර්වේදියා. එයා අහනවා මේ ව්‍යසන කොහොමද දෙවියො දකින්නෙ? ඒ අයට හැඟීම් තිබෙනව ද? මේ වෙන දේවල් දැකල ඒ අය දුක් වෙනවද? මේ තරුණ ජ්‍යෝතිර්වේදියා පළමුවෙන් ම ලියන්නෙ විද්‍යාත්මක දෙයක්නෙ. ඔහු විද්‍යාත්මක ජ්‍යෝතිෂ දිනදර්ශනයක් ලියනවා. එතනදි හැඟීම් විරහිතයි. ඒකෙදි කියනවා මේ වෙලාවට මෙපමණ ප්‍රමාණයක් මැරෙනවා කියල. එයා ඊට පස්සෙ හිතනවා මේ සිද්ධිය දෙවියො දකින්නෙ කොහොමද? මිනිස්සු කොහොමද දකින්නෙ? සැබැවින් ම මිනිස්සු දකින්නෙ හැඟීම් එක්ක. නමුත් නීති පොතක් හරහා මේ හැඟිම් උද්දීපනය කරන්න බැහැනෙ. නීති පොතක් හරහා තවත් කෙනකුට හැඟීම් දනවන්න හෝ විඳින්න බැහැනෙ. නමුත් නවකතාවට එය කරන්න පුළුවන්. මෙන්න මේ හේතුව තමයි සාහිත්‍යය කෘතියක් හරහා මේ මාතෘකාව සාකච්ඡා කරන්න හිතුවෙ.

 

මෙම කෘතියේ බොහෝ ස්ථානවල ඔබ විවිධාකාරයේ සංකේත රුප භාවිතා කර තිබෙනවා. ඒ වගේ ම කාව්‍ය සඳහා යොදාගන්නා ආකාරයේ උපමා, උපමේය, රූපක ආදියත් යොදාගෙන තිබෙනවා. මම නිතරම කතාකරන දෙයක් තමයි මේ දේවල් විඳින්න පුළුවන්, එහෙමත් නැත්නම් වටහා ගන්න පුළුවන් එක්තරා වරප්‍රසාදලාභී කොටසකට පමණයි කියල. මෙන්න මෙතනදි අර කලින් සඳහන් කළ වරප්‍රසාදලාභීන් නොවන කොටස කොහොමද මේ කෘතිය ග්‍රහණය කරගන්නෙ?

මම පළමුවෙන් ම කියන්න ඕන මට විශ්වාස කරන්නත් බැහැ ඔබ කියන තරම් ම සාර්ථක අන්දමට මගේ අතින් ඒ කාර්යය සිද්ධ වුණා ද කියලා. හොඳ නිර්මාණයක් තල කිහිපයක තිබිය යුතුයි කියල මම විශ්වාස කරනවා. ඒක හරියට දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ස්වාභාවික විපත්වලට භාජනය වුණ පර්වතයක් වගේ. මතුපිට තිබෙන්නෙ බොහොම සියුම්, නිරන්තරයෙන් කඩා වැටෙන, ශක්තිමත් බවෙන් අඩු ස්තරයක්. ඊට ටිකක් ගැඹුරින් තිබෙන්නෙ තරමක් ශක්තිමත් ස්තරයක්. තවත් ටිකක් ගැඹුරට යන විට තිබෙන්නෙ ඉතාමත් ශක්තිමත් ස්තරයක්. කලා කෘතියක්, එහෙමත් නැත්නම් සාහිත්‍යය කෘතියකුත් අන්න ඒ වගේ විය යුතුයි කියල මම විශ්වාස කරනවා. වඩාත් පහැදිලිව කියනව නම් මේ පර්වතයට පිටින් ඉඳගෙන රස විඳින කෙනාට ඒ ස්තරය තිබිය යුතු යි. ටිකක් ගැඹුරින් හිතන කෙනාට අනෙක් ස්තරය තිබිය යුතු යි. වඩාත් ගැඹුරින් හිතන්න පුළුවන්, වඩාත් ගැඹුරින් අවබෝධ කරගන්න පුළුවන් කෙනොට අර පතුලෙ ම තිබෙන ශක්තිමත් ස්තරය තිබිය යුතු යි.

අපි දන්නවනෙ කලා නිර්මාණ කරන හේතු කිහිපයක් තිබෙනවා. එකක් කරන්නන්වාලෙ කිරීම. අනෙක මුදල් ඉපයීම සදහා පමණක් ම නිර්මාණ කිරීම. අනෙක තමයි මිනිස්සු අතරට වඩාත් ගැඹුරු සමාජ, දේශපාලන කතිකාවතක් ඇගෙන යාමේ අරමුණ ඇතුව කලා නිර්මාණයක් කිරීම. මේ අවසන් කාරණය පිළිබඳ අවධානය යොමු කරන නිර්මාණකරුවාගේ නිර්මාණවල අඩංගු විය යුත්තේ මම කළින් සඳහන් කළ ආකාරයේ විවිධ වු ස්ථරයන් කියලයි මම විශ්වාස කරන්නෙ. එතනදි ඔබ කියු සංකේතවල මතුපිට අර්ථයක් මෙන් ම ගැඹුරු අර්ථයක් ගැබ් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් මේ කෘතියේ එක් ගීතයක් තිබෙනවා...

 

දැලි රැවුලේ සේයා - මතු වේ සුපුන් වතේ
මගෙ පුතු අප්පාගේ - හෙවණැල්ක් වාගේ

...කියලා. මේ කියන්නෙ එයාගෙ පුතා ගැන. නමුත් ඒ ගීතයේ ම එක තැනක සඳහන් වෙනවා ‘මම නංගිට කිරි දෙන වෙලාව උඹ ඉරිසායාවෙන් බලාගෙන හිටියා. ඇයි උඹ එහෙම කරන්නෙ මම උඹට දීපු ආදරය ම තමයි නංගිටත් දෙන්නෙ’ කියලා. මේක මතුපිට කතාව පමණයි. මෙහි අන්තරගත විශේෂ ම සිද්ධිය තමයි අම්මල කවදාවත් තමන්ගෙ පිරිමි දරුවන්ගෙන් අහන්නෙ නහැ ඔවුන් තමන්ගෙ ගහැනියට කොහොමද සලකන්නෙ කියලා. මම හිතනවා මේ ගීතය කිහිප වතාවක් කියෙව්වොත් අම්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘මම මේ කාරණය මගේ පුතාට කිව්ව ද?’ කියල. අර ඔයා අහපු ප්‍රශ්නයට දෙන්න තිබෙන පිළිතුර තමයි මම මේ නිර්මාණය ඉදිරිපත් කරන්නෙ ඒ විදියට ස්තර කිහිපයක් ඉලක්ක කරමින් බව. එහෙම නොවුනොත් මොකද වෙන්නෙ. අපිට හැමදාමත් සිද්ධ වෙන්නෙ ‘පැණි නවකතා’ ලිය ලිය ඉන්න. මොකද බහුතරයක් පාඨකයට තේරෙන්නෙ ඒක නිසා.

 

ඔබ මෙම කෘතිය එළිදක්වන මේ නිමේෂයේ ලංකාවෙ පවතින්නෙ අදහාගත නොහැකි දේශපාලන වාතාවරණයක්. මේ කෘතියේ ඇතැම් ස්ථානයන්හි ඒ අදහාගත නොහැකි සිදුවීම් ඒ ආකාරයෙන් ම සටහන් වෙනවා. ඔබ අනාගත වක්තෘවරයෙක් විදියට මේව දැක්කෙ කොහොමද?

මෙතනදි මම පැහැදිලිව ම කියන්න ඕන විසාකේස කියන පුද්ගලය ඉවත් කරල කලාකරුවෙක් විදියට ගත්තොත් ඇත්තට ම අපෙන් සිද්ධ වෙන් ඕන මේ දේ තමයි. මොකද මේ පොත නිකුත් වෙන්න තිබුණෙ සැප්තැම්බර් මාසයේ. මම පොත ලියන්න ආරම්භ කරන්නෙ මිට වසර තුන හතරකට පෙර. මේ දවස්වල ජනතාව දැනුවත් කරමින් යන අලුත් පරපුර කියපු කතාවකින් මම මේකට පිලිතුරු දෙන්නම්. ඔවුන් කියල තිබුණ කලාකරුවා කියන්නෙ අනාගතය විනිවිද දකින පුද්ගලයෙක් කියල. මෙන්න මේ කියපු අනාගතය විනිවිද දැකිමේ ශක්තිය තමයි: ධර්මසිරි බණ්ඩාරනායක, මොහාන් රාජ් මඩවල, සමනලී ෆොන්සේකා, ජෙහාන් ප්‍රනාන්දු, කසුන් කල්හාර සහ ඔවුන් සමග එකට අත්වැල් බැඳගෙන ඉන්න අනෙක් කලාකරුවන් සහ මගේ නිර්මාණ සහ ප්‍රකාශන තුළින් මතුවෙන්නෙ.

දෙවන කරුණ තමයි අපි සාකච්ඡා කරන්නෙ ක්‍රමවේදයක් පිළිබදව. ඒ ක්‍රමවේදය මොකක් ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉර බහිනව නගිනව වගේ අපි හැමෝ ම පාලනය කරන්නෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේ කියන ව්‍යවස්ථාව තිබෙන තුරු අපි මේ කතාකරපු ව්‍යසනයන් පවතිනවා. මොන විදියකින් හරි මේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න බැරි වුනොත් මම මේ කෘතියේ සාකච්ඡා කරල තියෙන සිද්ධි ඒ විදියට ම සිද්ධ වෙනවා. මම මේ කෘතිය අවසන් කරන්නෙ 2058 වර්ෂයෙන්. මෙතෙක් සිදුවන දේ සහ දැන් සිදුවෙමින් පවතින දේ වගේම අනෙක් දේවල් සිද්ධ වෙනවා. එකම විසඳුම ක්‍රමය වෙනස් කිරීම.

අපි හොඳට ම දන්නව මේ සියල්ල ම සිදුවෙන්නෙ ව්‍යවස්ථාව මත පදනම්ව කියලා. ඒ පදනම මත හදන ගොඩනැගිල්ලේ හැඩය පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මේ අත්තිවාමේ ශක්තිය මත පදනම්ව තට්ටු පනහ ඉක්මවා වුණත් ඉහළට යන්න පුළුවන්. මම මේ පෙන්වන සංකේතයත් තේරුම් ගන්න.

 

ඔබ මේ කෘතියේ එක තැනක සටහන් කරනවා ‘රජකු සිටී නම් ඝාතකයකු ද සිටින්නේ ය’ කියල. මේකෙදි මතුවෙන ප්‍රශ්නය තමයි රජු තුළ ඝාතකයෙක් සිටිනවාද? රජු ඝාතකයකු වෙනවාද ?කියන කාරණය.

ඔබ මතු කරන කාරණා දෙක ම වලංගුයි. නමුත් ඊටත් එහා ගිය රාජ්‍ය කියන ආයතනය ප්‍රජාතන්ත්‍රවාදී නොවේ නම් එම ආයතනය තුළ ම රජෙක් සහ ඝාතකයෙක් නිර්මාණය කරනවා. ඒකට හේතුව තමයි ව්‍යවස්ථාව ම ප්‍රජාතන්ත්‍රවාදී නොවීම. මෙතනදි ඔටුන්න හිමි වෙන්නෙ: අයියගෙන් මල්ලිට, තාත්තගෙන් පුතාට එහෙමත් නැත්නම් අර දුටුගැමුණු එළාර වගේ ද්වන්ධ සටනකින් ජය ගන්න පුද්ගලයට. ප්‍රජාතන්ත්‍රීකරණය තුළ ජනතාව නියොජිතයන් රැසක් පත්කරනවා. ඒ රැස් කළ නියෝජිතයන් එකතු වෙලා එක නායකයෙක් පත්කරනවා. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒක. ඒ තුළ කෙනෙක් මිය ගියාම තව තෙනෙක් නායකත්වයට සුදුසු තත්ත්වයක ඉන්නවා. ඒ ක්‍රමය තුළ කෙනෙක් ඝාතනය කරල තවකෙකුට ඔටුන්න හිමි කරගන්න බැහැ.

නමුත් ඒකාධිපතිවාදය තුළ එක්කෙනක් මරල තවකෙකුට ඔටුන්න හිමි කරගන්න පුළුවන්. ඒ නිසා ඒකාධිපතිවාදය තුළ රජෙක් සිටී ද? එතැන අනිවාර්යයෙන් ම ඝාතකයෙක් ඉන්නවා. මේ ක්‍රමය අපේ රටේ අතීතයේ පැවතියා. වර්තමානයෙත් පවතිනවා. එක්කො රජු ඝාතනය කරල බලය ගත්තා, එහෙම නැත්නම් රජවරු වෙන්න හිටපු අය ඝාතනය කරල වෙනත් කෙනෙක් බලය අත්පත් කරගත්තා. එහෙමත් නැත්නම් රජවරුන්ට අභියෝග කළ, අභියෝග කරවි යැයි සැක කළ පුද්ගලයො ඝාතනය කර තිබෙනවා. අතීතයේ මේ විදියට මියගිය අය වගේ ම මෑත කාලයේ මිය ගිය අයගෙ මරණ සියල්ල ම අබිරහසක්. අපි උදාහරණයකට උපාලි විජේවර්ධන ගනිමු. අනෙක් පැත්තෙන් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ගාමිණි අතුකෝරළ, සරත් මුත්තෙට්ටුවෙගම. තවත් පැත්තකින් හමුදා නායකයො. ඩෙන්සිල් කොබ්බැකඩුව, විජය විමලරත්න, රන්ජන් විජයරත්න වැනි අයගෙ මරණ ගැන යළිත් සිහිපත් කරන්න. මේ සියලු දෙනා ම රජවරුන්ට අභියෝග කළ අය.

 

ඝාතකයා බිහිවෙන්නෙ පුද්ගලයා නිසා ද? ක්‍රමය නිසා ද?

මගේ අදහස නම් ක්‍රමය තුළ. මොකද මේක දැඩි භෞතිකවාදි දේශපාලන අර්ථ නිරූපණයක්. ක්‍රමය නැත්නම් අදාළ පුද්ගලයට ඒ වාතාවරණය එලඹෙන්නෙ නැහැ. ඔය කාරණේ ඇරිස්ටෝටලුත් ප්‍රකාශ කළා. ‘ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ දූෂණය වෙන්න පුළුවන් ක්‍රමයක්. අනතුරුව නැවතත් ඒක ඒකාධිපතිවාදය කරා ගමන්කරනවා.’ එහෙම තමයි ඇරිස්ටෝටල් කිව්වෙ. හිට්ලර් කළෙත් ඒ දේ ම යි. බොහෝම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයට බලයට පත්වෙලානෙ අවසානයේ ඒකාධිපතියෙක් වෙන්නෙ. අපි කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒකාධිපතියෙක් බිහිවීමේ ඉඩකඩ වළක්වා ගන්න එකයි.

 

හැබැයි අපි හොදටම දන්නව මේ ඒකාධිපති ක්‍රමය බිහිකළේ ජතාව විසින් ම බව. දැන් බහුතරයක් ජනතාවට මේ ක්‍රමය අවසන් කිරිමේ වුවමනාව තිබෙනවා. නමුත් එය ස්ථාපිත කළ ආකාරයෙන් ම සුමට ලෙස අවසන් කරන්න පුළුවන් ද?

බැහැ කිසිසේත් ම බැහැ. ව්‍යවස්ථානුකූලවත් බැහැ. මොකද අපි මේ ව්‍යවස්ථාව ප්‍රශ්න කරන්න තිබුණෙ මීට බොහොම කලින්. දැනුත් ප්‍රමාද නැහැ. ව්‍යවස්ථාව ස්ථාපිත කරන්නෙ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින්. එසේ තුනෙනේ දෙකේ බලයකින් ස්ථාපිත කරපු දෙයක් අහෝසි කරන්න නම් තුනෙන් දෙකේ බලය ලබාගැනීමෙන් පසු නැවත ජනමත විචාරණයකට යා යුතුයි කියල ප්‍රතිපාදනයක් ඇති කර තිබෙනවා. ඒ නිසා මගේ අදහස නම් ජනමත විචාරණයකට යා යුතුයි කියන ප්‍රතිපාදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංකල්පයට පටහැනියි. නමුත් දැන් අපි ඒකට කැමති වෙලා වසර ගණනාවක් පුරා එය පවත්වාගෙන ගිහින් ඉවරයි. දැන් මේ මොහොතෙ රජෙක් සහ රාජාණ්ඩුවක් බිහිවෙලා ඉවරයි. නාමිකව වසර හයකට වරක් මැතිවරණ පැවැත්වූවාට සැබවින් ම තිබෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. මේක මම ‘රජ සහ ඝාතකයා’ කෘතියේ හදුන්වන්නෙ ‘අර්ධ ප්‍රජාතන්ත්‍රවාදය’ කියලා. සැබැවින් ම නම් දැන් පවතින්නේ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදයත් නෙවෙයි දහයෙන් එකේ ප්‍රජාතන්ත්‍රවාදයක්.

 

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Saturday, 27 December 2014 11:48

Leave a comment

Gossip

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us