ජනතාව හිඟන්නන් කරන මේ ක්‍රමය වෙනස් විය යුතුයි

Thursday, 09 October 2014 11:44
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි සමග ලක්බිම පුවත්පත කළ සාකච්ඡාවකි.
ඌව පළාත් සභා මැතිවරණ  ප්‍රතිඵලයත් සමග ඉදිරි ජනාධිපතිවරණයේදී කෙබඳු තත්ත්වයක් උදාවෙයිද?
 
ජනාධිපතිවරණය පැවැත්වීමට තව වසර දෙකක කාලයක් ඉතිරි වී තිබෙනවා. එසේ තිබියදී ජනවාරි මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන බවට ප්‍රකාශ වෙනවා. ඒ වගේම රජය ඊට සූදානම්  වන බව පෙනී යනවා. ඌව මැතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා දිගින් දිගටම  ප්‍රකාශ කළා මැතිවරණ නීති උල්ලංඝනය වන බව. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්, ‍පොලීසිය, රජයේ වාහන මෙන්ම සියලුම බලය යොදලයි ඌව පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුව ජයග්‍රහණය කළේ. සියලුම බර යොදලත්  ප්‍රධාන ඇමැතිවරු දෙදෙනෙකුගේම ආසන පරාජය වුණා.
 
ඒ වගේම විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි කරගෙන එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණයට වඩා ආසන හයක් දිනා ගත්තා. ජනතා විමුක්ති පෙරමුණත් තම ඡන්ද ප්‍රමාණය වැඩි කර ගත්තා. ඒ නිසා ආණ්ඩුව එක්තරා ප්‍රමාණයක හැඟීමක් ඇති කරගෙන තිබෙනවා, ජනාධිපතිවරණය කලින් පැවැත්විය යුතුයි කියලා. මේ ස්වභාවය ජනාධිපතිවරණයකදී හා මහමැතිවරණයකදී වෙනස් වෙනවා.  පළාතක ඡන්දය  පවත්වන්නේ පක්ෂයේ  මුළු ශක්තියම යොදවලා. නමුත් ජාතික මැතිවරණයේදී ඒ ශක්තිය බෙදී යනවා. උතුරු පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට ඒ බලය යොදවන්න බැරි වූ නිසා ඒ පළාත් සභාව පරාජය වුණා.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයා ලෙස ඔබ වහන්සේගේ ඉදිරිපත් වීම ස්ථීරද?
නෑ. ඒක  මෙහෙමයි වෙන්නේ. සෑහෙන කාලයක් කතා කරමින්  බලපෑම් කරනවා. නැවත ජනාධිපතිවරණයක් එපා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට එන විට සිරිමාවෝ මැතිනිය  ජේදයෙන් ජේදය මේකේ පල විපාක පෙන්වා තිබුණා. ඒ වගේම ජනාධිපති ධුරය සතු අසීමිත බලතල  තුළින් බිහිවන්නේ ආඥාදායකයෙක්. ඔහු පාර්ලිමේන්තුවට වගකියන්නේ නෑ. නීතියට වග කියන්නෙත් නෑ. නීතියට ඉහළින් කටයුතු කරන ජනාධිපතිවරයෙක් ඉන්නේ. කොයි තරම් වැරදි කළත් උසාවියේ  නඩු දාන්න බෑ. ව්‍යවස්ථාවට වගකියන්නෙත් නෑ. 
 
ඒ තත්ත්වය තුළ අපි අවුරුදු 36ක් මේ පිළිබඳ අත්දැකීම්  ලබා තිබෙනවා. මැතිනිය මේ පිළිබඳ හොඳ විග්‍රහයක්  කළා. ආචාර්ය ඇන්. ඇම්.  පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා හා ඇස්. ඒ. වික්‍රමසිංහලා  පාරට බැහැලා. මෙහි භයානකකම කිව්වා. මහින්ද රාජපක්ෂත්  මේ ගැන කිව්වා. ඒ නිකම්ම ‍නෙවෙයි කාගෙත් ඇස් ඇරෙන්න කතරගමට පා ගමනක් ගියා. එතුමා 2005 දී ජනතා විමුක්ති පෙරමුණ සමග ගිවිසුමක් අත්සන් කර කිව්වා  පළවෙනි ධුර කාලයෙදී මේක වෙනස් කරලා පාර්ලිමේන්තුවට බලය  පවරනවා කියලා. මේ සියලු දෙනා එකට එකතු වුණු ආණ්ඩුවක් තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භයානකම දැකපු සියලු දෙනා එකතු වුණ ආණ්ඩුවක් තියෙන්නේ. තුනෙන් දෙකක බලය තියෙනවා. ඒ නිසා මේ තමයි හොඳම වෙලාව මේ තීරණය ගන්න.
 
අපි කියන්නේ නැවත ජනාධිපතිවරණයක් එපා. අවාසනාව කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම තුන්වරක් ‍නෙවෙයි හතරවරක් ‍නෙවෙයි ඕන තරම් කාලයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වන පරිදි 18 වෙනි ව්‍යවස්ථා  සංශෝධනය ගෙන ඒම. ඒ නිසා ජනාධිපතිතුමා එවැනි සංශෝධනයක් ගෙනාවේ   පවතින ජනාධිපති ක්‍රමය අහෝසි  කිරීමට ‍නෙවෙයිනේ. එතුමා එය නොකරනවා නම්, සියලුම පක්ෂවලට අපි ආරාධනා කරනවා ඒ ඒ පක්ෂවල  කුමන මත තිබුණත් යහ පාලනයක් වෙනුවෙන් අවම වශයෙන්   එකඟ විය හැකි කාරණා තිබෙනවා. අපි කියන්නේ ඒ අවම මාතෘකාවලට විසඳුම්  ලබා ගැනීමට අප සමග එකතු වෙන්න කියලා.
 
අපිට එකඟ විය හැකි වැදගත්  කාරණා කිහිපයක් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි  කර පාර්ලිමේන්තුවට බලය පැවැරිය යුතුයි. 17 වෙනි සංශෝධනය 18 පැමිණීමත් සමග අක්‍රිය වෙලා. රාජ්‍ය පරිපාලනයට අද වෙලා  තියෙන්නේ මොකක්ද  කියලා අනුර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවෙදි නම්  ගම් ඇතිව කිව්වා. රාජ්‍ය සේවයේ සියලුම පත්වීම් කරන්නේ ජනාධිපති. ‍පොලිස් සේවයට  අද මොකද වෙලා තියෙන්නේ.  ආණ්ඩුව   රකින ‍පොලීසියක්  තියෙන්නේ. රටේ ජනතාවට නීතිය ඉෂ්ට වෙන්නේ නෑ. මැතිවරණයෙන් මැතිවරණයට මැතිවරණ කොමසාරිස්වරයා පඹයෙක් ගාණට පත්වෙලා. ඡන්දෙට පෙර දවසෙත් සල්ලි බෙදුවා.  ආධාර දුන්නා. මේ ළඟදි ආණ්ඩුවේ  ඇමැතිවරයෙක් කියනවා අපිට බදුල්‍ලේ ජන්ද  අඩු වුණේ බදුල්‍ලේ ජනතාවට මුදල් දෙන්න බැරි වුණ නිසා  කියලා. ඒක දුන්නා නම් මීට වඩා ඡන්ද ගන්න තිබුණා කියලා. 
 
අල්ලස, දූෂණ, වංචා ලංකාවේ දූෂණ වංචා චෝදනා ලැබූ දේශපාලනඥයො ගණනාවක් ඉන්නවා. කිසි දවසක  දඬුවම් ලබලා තියෙනවාද? ප්‍රතිපත්ති පාවා දීලා හිරේ  යන්න වෙනවාට ආණ්ඩුවට යනවා. මන්ත්‍රීවරු බිලී බා ගන්න “ඇමක්” වෙලා අල්ලස් චෝදනා. හොඳම උදාහරණය අල්ලපු රට ඉන්දියාවේ ජයලලිතාට වුණ වැඩේ. කොයිතරම් උසස්ද ඒ රටේ අධිකරණය.
 
හරිම අවාසනාවන්ත තත්ත්වයක් රටට උදා වෙලා තියෙන්නේ. සංස්ථා සභාපතිවරු, අමාත්‍යාංශ ‍ලේකම්වරු, දෙපාර්තමේන්තු නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩල මේ සියල්ලක්ම පත් කරන්නේ ජනාධිපති. මේ  පත්වීම්  සියල්ලම දේශපාලන පත්වීම්. ඉතිං ඒ නිසා මේ සියල්ල පිරිහිලා. මේ අල්ලස් හා දූෂණ පිළිබඳව චම්පික රණවක ඇමතිතුමා “බලය සහ බලය” කියලා ‍පොතක්  ලිව්වා.  ඒකේ  ඉතා පැහැදිලිව මේක කියලා තියෙනවා.  රූපවාහිනියේ මට අහන්න  ලැබුණා, රාජිත සේනාරත්න මහතා කිව්වා “කවුරු විරුද්ධ වුණත්, ඇත්ත කතා කළ යුතුයි. රටේ නීතිය  වල් වැදිලා” කියලා  දැඩි විවේචනයක් කළා. විදුර වික්‍රමනායක මේ ළඟදි  ප්‍රශ්න කළා. “කෝ අපිට නීතියක්?” කියලා. මේ රජයේ මැති ඇමැතිවරු ඒ ගැන විවේචන කරන්න පටන් අරන්.  ඒ නිසා මේ තත්ත්වය වෙනස් විය යුතුයි කියන අදහසට පක්ෂ භේදයක් නෑ.  අපිට, රටට, සාධාරණයක් ඉටු කිරීමට සියලු පක්ෂවලට එකතු වෙන්න පුළුවන්.
 
දෙවැනි මාතෘකාව 17 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි.  මේ මැතිවරණ ක්‍රමයේ අනිටු පල විපාක අපි විඳවනවා.  මැතිවරණයට  මහා ධන ස්කන්ධයක් රජයත් වියදම් කරනවා. අපේක්ෂකයොත් වියදම් කරනවා. ඒ වගේම මනාප ‍පොරය නිසා එකම පක්ෂයේ  අය මරා ගන්නවා.  පසුගිය දිනවල උදය ගම්මන්පිල මහතා  කියනවා, “මගේ ඡන්ද ව්‍යාපාරයට මම රුපියල්  100 ගාණෙ ඉල්ලුවා. ඒකෙන් මට මෙච්චර මුදල් ලැබුණා. මම තැබෑරුම් දැම්මේ නෑ. අරක්කු බෙදුවේ නෑ. ‍පෝස්ටර් ගැහුවේ නෑ. මට වියදම රුපියල් අනූඅට ලක්ෂයක්  ගියා කියලා. ඒ තරම් මුදලක් එයාට ගියානම්, අනිත් අය කොහොම සල්ලියක් වියදම් කරන්න ඇත්ද? මේ යටතේ කාටද පුළුවන් ඡන්ද ඉල්ලන්න.  ඒ වගේම   ඊට පෙර රුපියල්  දාහත් කෝටියක් වියදම් කළ අපේක්ෂකයෝ ගැන අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මනාප ක්‍රමය වෙනස් විය යුතුයි. ඊළඟට ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක් නෑ. උදාහරණයක් විදිහට මම ඉන්නෙ කෝට්ටේ ආසනයට මන්ත්‍රීවරයෙක් නෑ. අනික්  සුළු පක්ෂවලට අසාධාරණයක් නොවන පරිදි  මැතිවරණ  ක්‍රමය වෙනස් වෙන්න ඕන.
 
ඒ වගේම ඇමැතිවරු සංඛ්‍යාව විහිළුවක්. ඉන්දියාවේ 24 යි. අපිට කෘෂිකර්මයට අදාළ  ඇමැතිවරු 23ක් ඉන්නවා. ඒත් අපිට ගොවිතැන්  කිරීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට  වැව් ටික  හදන්නේ නෑ. නිෂ්පාදන භාණ්ඩ වෙළඳපළක් නෑ. ගොවියෝ හැමදාම  හිඟන්නෝ. ජනතාවගේ බඩු මිල පාලනයක් නෑ. නමුත් හැම විෂයකටම ඇමැතිවරු බුරුතු පිටින් ඉන්නවා. මේ බර ජනතාව දරන්න ඕන.
 
ඒ නිසා අපි අලුත් ආණ්ඩු ක්‍රමයකට යන්න ඕනේ.  මේවා කලබලයට කරන්න බෑ.  එහෙත් සියලු ජාතීන්ට එකඟ විය හැකි ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ඕනෑ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා ආණ්ඩුවේ ඇතුළෙ ඉඳන් සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ කෑ ගහනවා. වාසුදේව ඇමතිතුමා කෑ ගහනවා. ආණ්ඩුව ඇතුළේ සිටම  ඔවුන් මේ අරගලය කරනවා.
 
ඒ නිසා ජනාධිපතිතුමා  මෙය ඉටු කරනවා නම් හොඳයි, එසේ නැතිනම් සියලුම පක්ෂ එකඟ වෙලා  ‍පොදු සම්මුතියක් ඇති කරගෙන, ඒ සම්මුතිය තුළ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ඒ ඔහු අනිවාර්යයෙන්ම හය මාසයක් ඇතුළත  මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට  බලය පවරලා ජනාධිපති ඉවත් වෙන්න ඕන.
 
විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා ලෙස ඔබ වහන්සේට ඉදිරිපත් වන්නැයි යෝජනා තිබෙනවාද?
බොහෝ යෝජනා තිබෙනවා. තවත් අයගේ නම් යෝජනා වී තිබෙනවා. නමුත් සියලු දෙනාගේම කැමැත්ත අනුව කෙනෙක් ඉදිරිපත් කරනවා. තවම ස්ථිර තීරණයක් නෑ. 
 
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඔබ වහන්සේගේ අනුශාසකත්වයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළොත්, තුන් කොන් හෝ සිව් කොන් සටනක් බවට පත් වෙනවා.
සමහර විට එහෙම වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට  තනියෙන් මේක  දිනන්නත් බෑ. එක්සත් ජාතික පක්ෂය  නැතුව ජයගන්නත් බෑ. ජනතා විමුක්ති පෙරමුණට තනියෙන් ජය ගන්නත් බෑ.  ජනතා විමුක්ති පෙරමුණ නැතිව  ජයගන්නත් බෑ. අපි එකට එකතු වුණොත් ජය ගන්න පුළුවන්.
 
ඔබ වහන්සේගේ  වැඩපිළිවෙළට එකඟ වුණු දේශපාලන පක්ෂ මොනවාද?
 
එකඟ වුණ පක්ෂ ‍නෙවෙයි, එකඟ නොවුණු පක්ෂ මොනවාද කියලයි ප්‍රශ්නෙ තියෙන්නේ. ජනාධිපතිතුමාත් මේකට තවම වචනයක් කියලා නෑ.  විරුද්ධ  වෙන්න බැහැනේ. එක එක මත ඉදිරිපත් වෙනවා. සමහරු කියනවා අහිතකර කොටස් පමණක් වෙනස් කළ යුතුයි කියලා. තවත් සමහරු කියනවා සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි කියලා. එක එක මත තිබෙනවා. කිහිප දෙනයි ඉන්නේ මේ ක්‍රමය ප්‍රශ්නයක් නෑ කියන. අගමැතිතුමා ඒකට විරුද්ධයි. එතුමා එහෙම   කියනකොට  හිතෙනවා, එතුමා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්  ‍නෙවෙයි? කියලා. මේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ ප්‍රතිපත්තියක්.
 
ජනාධිපතිතුමාගේ මාසයක වියදම දෙකෝටි තිස් හත් ලක්ෂයක්. ඒක මදියි කියල මේ ළඟදි  තවත් වැඩි කර ගත්තා මේක රටකට දරන්න පුළුවන්ද? ජනාධිපතිවරණයකට කොපමණ වියදම්  කරනවාද? මේවා ජනතාවගේ සල්ලි. ජනතාව  කොච්චර දුක් විඳිනවාද? ඒ නිසා මේ ක්‍රමය වෙනස් විය යුතුයි.
 
ඔබ වහන්සේගේ වැඩ පිළිවෙළට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ එකඟත්වය පළ කර තිබෙනවාද?
 
මට පෞද්ගලිකව  පමණක් ‍නෙවෙයි. ප්‍රසිද්ධියේ කොච්චර මේක ප්‍රකාශ කරනවාද? කථානායකතුමා පවා ඉන්නේ මේක වෙනස් කළ යුතුයි යන මතයේ. එතුමා ජනාධිපතිතුමාගේ අයියා. “මෙහෙම ගියොත්  අපිට මිනිස්සු ගහයි. තරුණයෝ නැවත නැගිටියි. ඒ නිසා  මේ ක්‍රමය වෙනස් කරන්න බලා ඉන්න එපා” කියලයි එතුමා කිව්වේ.
 “පිළිතුරු හෙටක්” වැනි බෞද්ධ බලවේග සමග සම්මුතියක් ඇති කර ගැනීමේ සූදානමක් තිබෙනවා අපි සටන් කරන්නේ එකම අරමුණකට. ඒ නිසා ඉබේට සම්මුති ඇතිවේවි.
 
ජනාධිපති මහින්ද රාජපක්ෂටත් සිංහල බෞද්ධ පදනමක් තිබෙනවා. මේ විදිහට යන විට සිංහල - බෞද්ධ ඡන්දවල බෙදීමක්  ඇති වෙයි නේද?
 
අපි ළඟ  සිංහල - බෞද්ධ පදනම කියලා ප්‍රශ්නයක් නෑ. අපට තිබෙන්නේ සැමට සාධාරණ පදනමක්. ඒකට දෙමළ, සිංහල, මුස්ලිම් භේදයක් නෑ.  මේක රටේ  ජාතික  ප්‍රශ්නයක්. ජාතික ප්‍රශ්නය වටා සියලුම දෙනා එක් වෙයි.
 
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් තිබෙන  ආණ්ඩුවක් පෙරළිය හැකි යැයි ඔබ වහන්සේ විශ්වාස කරනවාද?
 
එහෙම නම් ජේ. ආර්. ජයවර්ධනගේ හයෙන් පහක බලයක්  පරාජය කළේ. මේ ආණ්ඩුවට ශක්තියක් තිබුණා නම්, ඌවේ මීට වඩා ජයක් ලබනවානේ.
 
මහින්ද රාජපක්ෂ ආකර්ෂණීය නායකයෙක්. ඔබ වහන්සේ  හිතන්නේ මේ වන විට ඒ ආකර්ෂණය අඩු වෙලාද?
 
අපි මේ කියන කාරණය එතුමා ඉෂ්ට කළොත්, එතුමා වට්ටන්න බෑ කාටවත්. එවිට යහපාලනය ඇති කළ නායකයා ඔහුයි. ප්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත කළ නායකයා ඔහුයි.  එතුමාට මෙය ඉටු කිරීමට තවත් කල්  තිබෙනවා.
 
සාකච්ඡා කළේ - කමණී හෙට්ටිආරච්චි

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us