කලාවත් දේශපාලනයත් නොදැන කරන්නට බැහැ - වීණා ජයකොඩි

Friday, 26 December 2014 11:17

ලාංකේය කලාගැබ දීප්තිමත් කෙරුමට පෑයූ තාරකාවන් අතුරින් එදා මෙදා තුර සිය දායකත්වයන් එළිදැක්‌වූ අග්‍රගණයේ රංගවේදිනියන් කිහිප දෙනා අතර ඇයට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. එදා... 1978 සැප්තැම්බර් මස 01 වැනිදා සිංහල සිනමා රිදී තිරය මත දිගහැරුණු ඡේ. සෙල්වරත්නම් අධ්‍යක්‍ෂණය කළ කේ. ගුණරත්නම් නිෂ්පාදනය කළ "අප්සරා" සිනමා සිත්තමට රංගන දායකත්වය එක්‌ කරමින් සිනමාවට දායාද වූ මේ සොඳුරු යෞවනිය සැබැවින්ම "අප්සරාවකට" නොදෙවැනි රූප සොබාවකින් යුක්‌ත වූවාය.

අද දශක තුනද ඉක්‌මවා ඇති ඇගේ කලා දිවියේ දී රිදී තිරයට, පුංචි තිරයට සහ වේදිකාවට එක්‌ව විදහාලූ රංගන දක්‌ෂතාවන් මෙරට ප්‍රේක්‌ෂක මතකයන් අතර විරාජමානව පවතින්නකි. ඒ දක්‌ෂතාවන් ඇගයීමට සහ සම්මානයට පාත්‍ර වූ අවස්‌ථාවන් බොහෝය. "දිවයින සිනමා කලා" කලකට පසු ඇය සමග පැවැත්වූ මේ කතාබහ ඇගේ කලා දිවියේ සුවිශේෂී ස්‌ථාන වෙත එබී බැලීම වෙනුවෙනි. ඕ..., ජනප්‍රිය සම්මානනීය රංගවේදිනී වීණා ජයකොඩි නම් වන්නීය.

 
 "අප්සරා" සිනමා සිත්තම හරහා සිනමාවට පා තැබූ ඔබ අදත් ප්‍රේක්‌ෂක සිත් තුළ නොමැකෙන අප්සරාවක්‌. තිරයේදී චරිත මවනවා වෙනුවට අපි දුටුවේ ඔබ චරිත තුළ ජීවත්වන බවක්‌...
 
ඇත්තෙන්ම එය මට විශාල සතුටක්‌. මගේ මව නිසා තමයි මට කලාවට එකතුවීමට හැකියාව ලැබුණේ. "අප්සරා" චිත්‍රපටයේ දී මම ආදරණීය ප්‍රවීණ රංගවේදිනී රුක්‌මණී දේවිය සහ එඩී ජයමාන්න යුවළ සමග රංගනයෙහි යෙදුණා. ඒක හරි සොඳුරු මතකයක්‌. එදා සිනමාව කියන්නේ වෙනම ලෝකයක්‌. කනගාටුවට කරුණ අද එය හෑල්ලුවට ලක්‌ව තිබීමයි. මගේ සිනමා රංගන දිවියේදී විවිධ චරිත වෙනුවෙන් ජීවය මුසු කළා. ඒ අතර මතක සැමරුම් බොහොමයක්‌ තිබෙනවා. "රෑ මනමාලී", "මුවන් පැලැස්‌ස", "සාවිත්‍රීගේ රාත්‍රිය" "මාරුතය", "ගීතාංජලී", "කෙළිමඬල", "සුරබිදෙන", " සරුංගලේ" , "මයුරිගේ කතාව", "සාගරයක්‌ මැද", "තවලම", "බාඳුරා මල්", "පුදියකාති" සහ "ෂර්මිලාවින් ඉදයරාගම්" (ශ්‍රී ලංකාවේ ප්‍රථම දමිළ වර්ණ චිත්‍රපටය) දමිළ චිත්‍රපට දෙකක්‌ ඇතුළුව චිත්‍රපට සියයකදී පමණ රංගගත වුණා. ඔබ පැවසූ ලෙසට මා බොහෝ චරිත වෙනුවෙන් ජීවය මැවුවා පමණක්‌ නොවෙයි මා ඒ චරිත තුළ ජීවත් වුණා. 
 
 
 වේදිකාව වෙනුවෙන් වැඩි දායකත්වයක්‌ එකතු නොකළත් රඟ දැක්‌වූ චරිත කිහිපයක්‌ නිසා ඔබ ප්‍රේක්‌ෂකයන් අතරට ගියා...
 
මගේ කාර්ය බහුලත්වය තමයි, වේදිකාව වෙනුවෙන් වැඩි දායකත්වයක්‌ දැක්‌වීමට හරහට සිටියේ. ඒත්... එදා "සිවම්මා ධනපාල", "උරුවිසි", "ද්විත්ව", "සිරිපාල සහ රංමැණිකා" කියන වේදිකා නාට්‍ය නිර්මාණ හරහා මට වේදිකාවට දෙයක්‌ කළ හැකි වුණා.
 
 
 පුංචි තිරයේ ස්‌වර්ණමය යුගය තුළදී ඔබ ටෙලි නාට්‍ය නිර්මාණ රැසක්‌ වෙනුවෙන් එක්‌ව මැවූ චරිත අදත් ප්‍රේක්‌ෂක මතකයෙහි ජීවත් වෙනවා. ඒ ගැන...
 
පුංචි තිරය වෙනුවෙන් මා මුල්වරට කැමරාව ඉදිරියට ගියේ "අත්ත බිඳෙයි" ටෙලි නාට්‍යය වෙනුවෙන්. ඊට පසු "කන්දෙ ගෙදර", "දූ දරුවෝ", "සුර අසුර", "මැණික්‌ නදිය ගලා බසී" ඇතුළු ටෙලි නාට්‍ය නිර්මාණ රැසකදී විවිධ චරිත සමගින් දායකත්වය එළිදැක්‌වූවා. මේ දිනවල විකාශය වන "තුලාධාර" ටෙලි සිත්තමේ ගැමි චරිතයටත් මම හරිම කැමැතියි. "නේහා" ටෙලි නාටකයත් දැන් විකාශය වෙනවා. "දේවිය කුසලා" ටෙලි නාට්‍ය නිර්මාණයේ රූපගත කිරීම් මේ දිනවල සිදු කෙරෙනවා. 
 
 
 මෑතකදී රිදී තිරයෙන් අපි ඔබ දුටුවේ "කුස පබා" චිත්‍රපටයෙන්...
 
ඒක හරි. මම රඟ පෑ තවත් චිත්‍රපට පහක්‌ හෝ හයක්‌ නුදුරේදීම ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා. තවත් බාරගත් නිර්මාණ කිහිපයක වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා.
 
 
 ඔබ ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක බවට කිසිදු තර්කයක්‌ නැහැ. කියන්න ඒ වෙනුවෙන් ලැබූ සම්මාන සහතික ගැන...
 
මගේ රංගන දිවියේ ඇගයීම් වෙනුවෙන් හොඳම නිළිය ලෙස අවස්‌ථා තුනකදී සම්මාන ලැබුවා. "රෑ මනමාලී" චිත්‍රපටය නිසාත්, හොඳම නිළිය වුණා. "කෙළි මඬල" සහ "මාරුතය" ත් මට සම්මාන හිමිකර දුන්නා. මෑතකදී "කුස පබා" රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළිය සම්මානය ලැබුවා. ස්‌වර්ණ සංඛ, ඕ.සී.අයි.සී., සරසවි සහ ජනාධිපති සම්මාන ඇතුළුව සම්මානයන් 15ක්‌ පමණ මට හිමිව තිබෙනවා. ඊට අමතරව ජනතාවගේ සම්මානය නිරතුරුවම ලැබෙනවා. ඉතිං මම වාසනාවන්ත කලාකාරිනියක්‌ කියලා නිහතමානී ආඩම්බරයකින් පැවසිය හැකියි. 
 
 
ප්‍රවීණ රංගවේදිනියක ලෙස වර්තමාන සිනමාවේ ගමන් මඟ දකින්නේ කුමනාකාරවද කියා පැවසුවොත්...
 
ලෝකය සමග අපි ඉදිරියට යා යුතු නම්, කාලයට අනුව සිනමාව දියුණු විය යුතුයි. අපි ජාත්‍යන්තරයට යන එක ගැන කතා කළාට නිසි ක්‍රියාත්මක වීමක්‌ දක්‌නට නැහැ. අපේ සිනමාහල් ටිකවත් හරියට දියුණුකොට නැහැ. කොළඹ වටේට සිනමාහල් හදලා වැඩක්‌ නෑ. මේ වැඩ පිළිවෙල ගමටත් ගෙන ගොස්‌ විනිවිද භාවයෙන් යුතුව කළ යුතුයි. එදා හැමෝම සිනමාවට ආදරය කළා. ඒ අය තවමත් ඉන්නවා. අපි වැඩිපුර සිතිය යුත්තේ ප්‍රේක්‌ෂකයා ගැන. අපි අද ඉන්න තැනට ඔසවා තැබුවේ ඔවුන්. රසිකයා ආරක්‌ෂා කරනවා කියන්නේ කර්මාන්තය ආරක්‌ෂා වෙනවා කියන එකට.
 
 පැරැණි සිනමාවට වගේම ගීතයටත්, මිනිස්‌සු තවමත් කැමැතියි. අද අපේ සමාජයේ ජීවත් වන්නේ හැම පැත්තෙන්ම තැලිච්ච මිනිස්‌සු. අපි කලාව හරහා ඒ සිත් සුවපත් කරන්නට යත්න දරන්නන්. නමුත් කනගාටුවෙන් වුවත් කිව යුතුයි චිත්‍රපට සංස්‌ථාව මේ වෙනුවෙන් මැදිහත් නොවුණු බව. ඒ අය කළේ පුටු රත් කර කර තම තමන්ගේ පුද්ගලික වැඩ කර ගැනීම විතරයි. වැඩක්‌ කරන්න පුළුවන්, අවංක ෙච්තනාව තිබුණු අයට කරන්න ඉඩ දුන්නේ නැහැ. දැන් නැවතත් ජයන්ත ධර්මදාස යුගය පැමිණ තිබෙනවා. එතුමා සිනමාවට වගේම කලාකරුවාටත් ආදරය කරන මේ කර්මාන්තයට හිතැති පුද්ගල චරිතයක්‌. එතුමාගේ මැදිහත්වීම ඉතාම යහපත් ක්‍රියාවක්‌ කියලා කියන්නට පුළුවන්. එය ඒ අයුරින්ම සිඳුවුණොත්, එදා සිනමාවේ පැවති ස්‌වර්ණමය යුගය යළි නුදුරේදීම දිස්‌වනවාට කිසිදු සැකයක්‌ නැහැ.
 
 
කලා තරු එකම වේදිකාවකට පෑයූ "රිදී රැයක්‌" ප්‍රසංග වේදිකාවේ ඔබේ රංගනයන් අදත් යෞවනියන් පරයන අයුරකුයි අපි දුටුවේ....
 
රංගනය කියන්නේ දෙවියන් වහන්සේගෙන් මට ලැබුණු දායාදයට. ඉතිං මම සෑම තැනකදීම එයට උපරිම සාධාරණය එකතු කරනවා. "රිදී රැයක්‌" ප්‍රසංග මාලා 12 ටම මම එක්‌වුණා. ඒ වෙනුවෙන් සිනෙස්‌ටාර් පදනමටත් ජයන්ත ධර්මදාස මහතාටත් නැවත ස්‌තුතිය පුද කළ යුතුයි. කලාවට ආදරය කිරීම, කලාකරුවන්ගේ සෑම දුකකදීම පෙනී සිටීම එතුමා ඇතුළු මුළු පවුලේම උතුම් ගුණාංගයක්‌. "රිදී රැයක්‌" හරහා සියලු කලාකරුවන්ට සෙත සැලසීම පිළිබඳව, කලාකරුවන් හැමෝම වෙනුවෙන් මම නැවත ඔවුනට තුති මල් පුද දෙන්නට කැමැතියි. 
 
 
 
යුග ගණනාවක්‌ එකලු කළ ඔබේ රංගන දිවියේ සුවිශේෂී මතකයන් අතරට අප රැගෙන ගියොත්...
 
ඒක බොහොම මිහිරි මතක සමුදායක්‌. මම මුලින්ම රඟපෑවේ අපේ සිනමාවේ විශිෂ්ට චරිත වූ රුක්‌මණී දේවිය, එඩී ජයමාන්න වැන්නවුන් සමග. පසුකාලීනව ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය, තිස්‌ස විඡේසුරේන්ද්‍ර, ශෂී විඡේන්ද්‍ර, සනත් ගුණතිලක, ජීවන් කුමාරණතුංග සහ විජය කුමාරණතුංග යන අය සමග මා කළ එකම රංගනය වූ "ගැහැනිය" චිත්‍රපටයත් සොඳුරු මතකයක්‌. ඉහතින් සඳහන් කළ මගේ සහෝදර රංගන ශිල්පීන් බොහොමයක්‌ සමග මම තිරයේදී පෙම්වතිය වුණා. මගේ සිනමා දිවියේ මා කැමැතිම පෙම්වතා සිනමා සක්‌විති, ගාමිණී ෆොන්සේකා මහතායි. මගේ රංගන දිවියේ ගුරු පියාණන් ඔහුයි. ඔහුගෙන් ලද ගුරුහරුකම් මේ ආ ගමනට ශක්‌තිය සහ ධෛර්යය එකතු කළා කීවොත් ඒක නිවැරැදියි.
 
 
ජනතාවගේ හදවත් දිනාගත් කලාකරුවන් දේශපාලනයට පිවිස එක්‌ එක්‌ පැති නියෝජනය කිරීම ඔබ දකින්නේ කුමනාකාරවද?
 
දේශපාලනය කරනවා නම් ඒ පිළිබඳව දැනුවත්ව හදවතට එකඟව කළ යුතුයි. කලාවත්, දේශපාලනයත් කියන දෙකම නොදැන කරන්න බැහැ. හැම දෙනාටම රඟපාන්නත් බැහැනේ. හදාරන්නේ නැතිව කරන දේශපාලනය මට නම් විහිළුවක්‌. කලාකාරයෝ වේදිකාව උඩදි බයිලා කියලා ජෝකර්ලා විය යුතු නැහැ. කලාකරුවාට ජනතාව අතර ඊට වැඩි තැනක්‌ හිමිව තිබෙනවා. දේශපාලනය කරන්න ගිහිල්ලා ජනතාවගේ හදවතේ තියන ආදරය ගෞරවය නැති කර ගන්න මට නම් අවශ්‍ය නැහැ. 
 
 
දැන් ඔබ ගෙවන්නේ ජීවිතයේ සුන්දරම සමය බව පැවසුවා.
 
ඒක ඇත්ත. ජීවිතයේ දී සිදු වන්නේ හැමවිටම අපි සිතන දේම නොවෙයි. මගේ ජීවිතයේත් යම් හැලහැප්පීම් නොතිබුණා නොවෙයි. මට දෙවියන් වහන්සේ දුන් දායාදය කලා හැකියාව. අද මම ජීවත් වෙන්නේ ඒ තුළ. මට දරුවෝ තිදෙනයි. පුතාලා 2 යි. එක දුවයි. ඔවුන්ගෙන් දෙදෙනෙක්‌ විවාහකයි. ඒ අයගේ දරුවෝ නිසා මම දැන් ආච්චි අම්මා කෙනෙක්‌. ඒක නිසා තමයි මම කිව්වේ දැන් මම සතුටින් ජීවිතය විඳිනවා කියලා. ඒ හැර මා ආ මාවත වෙනුවෙන් මට සවිය සහ ශක්‌තිය එකතු කළ මගේ මව, ගාමිණී ෆොන්සේකා මහතා, වාමදේවන් කියන විශිෂ්ට ගණයේ කැමරා ශිල්පියා, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ මහතා, රුක්‌මණී දේවිය, එඩී ජයමාන්න යුවළ යුග ගණනාවක්‌ එක්‌ව ගමන්ගත් මගේ සහෝදර රංගන පරපුර, කාර්මික ශිල්පීන් ඇතුළු සකල කලාවම නියෝජනය කරන්නන් මගේ රටේ සහ පිට දේශයන්හීත් වෙසෙන මට නිබඳව ප්‍රතිචාර සමග ආදරය ගෞරවය ලබාදෙන දයාබර වූ රසික ජනතාවත් සිහිපත් කරන්නේ හද පිරි සෙනෙහසින්. ඔවුනට කෘතවේදිත්වය පුදමින්. 
 
රිදී තිරයේ, පුංචි තිරයේ සහ වේදිකාවේදී ද ඇය නිරූපිත චරිත බොහොමයක්‌ හරහා මට ප්‍රේක්‌ෂක සිත් සතන් සොරා ගන්නටත් ඒ සිත් සතන් අමන්දානන්දයට පත් කරන්නටත් සමත් වූයේ යුග ගණනාවක්‌ ද එකලු කරමිනි. ඒ සොඳුරු රුව, හෙට දිනයේත් එලෙසින්ම අප දැස්‌ මානයට පැමිණෙනු නිසැකය. අපි, ප්‍රවීණ රංගවේදිනී, වීණා ජයකොඩිට නිදුක්‌ නිරෝගී සුවයත්, චිර ජීවනයත් පතමු. 
 
සංවාද සටහන
සුජීව තත්සර
 

දිවයින

 
 

 

Last modified on Friday, 26 December 2014 11:49

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us