අපි විදුලි පුටුව කටුගෙට යවනවා

Monday, 14 September 2015 07:48

ජාතික ආණ්ඩුව සම්බන්ධව පවතින විවේචන, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය, ජිනීවා ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය, අපරාධ පරීක්ෂණ ‍ආදිය සම්බන්ධව පුරවැසි සංවිධාන විසින් කෙරෙන චෝදනා වැනි කරුණු පිළිබඳ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සමඟ කළ කතාබහ.

ඉතිරි වසර ‍දෙක ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන බව ඔබ ප්‍රකාශ කර තිබුණා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවධානය යොමුකරනු ලබන්නේ කිනම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද?

කරුණු කීපයක් පිළිබඳ අප මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබෙනවා. විධායක ජනපති ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන අයුරින් සකස් කර ගැනීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, සියලුම රාජ්‍ය ආයතනවලට ස්වාධීනව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැඟීම, ජාතික සහජීවනය, එකමුතුව තහවුරු කරගෙන වේගවත් ආර්ථික සංවර්ධනයකට යොමුවීම යනාදී කරුණු එහිදී විශේෂයි.

ඒ වගේම ආණ්ඩු මාරුවෙන වාරයක් පාසා වෙනස් වන රාජ්‍ය ප්‍රතිපත්ති වෙනුවට ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමත් මෙහි අරමුණක්. එහිදී අධ්‍යාපන, සෞඛ්‍ය හා ඉඩම් සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කරනවා.

මේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී විදේශ ව්‍යවස්ථා හා ප්‍රතිපත්ති මොඩලයන් ආදර්ශයට ගන්නවාද?

නෑ. වෙනත් රටවල් සකසාගෙන තියෙන්නෙ ඒ රටවලට ගැළපෙන ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති ලංකාවට ගැළපෙන්නේ නෑ. අපි හැම ජාතික ප්‍රතිපත්තියක්ම සකසන්නේ අපේ රටට ගැළපෙන අයුරින්.

මේ ප්‍රතිපත්ති හරහා නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට අත්වෙන ඉරණම මොකක්ද?

කිසිදු අයුරකින් නිදහස් අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට හානියක් සිදුවන්නේ නෑ. වඩා හොඳ වැඩපිළිවෙළක් මේ මඟින් ජනතාව වෙත ලබාදීමයි අපේ අරමුණ. ඒ වගේම එන එන ආණ්ඩුවලට වුවමනා විදියට ප්‍රතිපත්ති වෙනස් කරන්න නව ව්‍යවස්ථාවෙන් ඉඩ දෙන්නෙ නෑ.

ථෙරවාදී බුදු දහම විකෘති කිරීම වළක්වන බෞද්ධ නියාමන පනතක් ළඟදී මැති සබයට ඉදිරිපත් කරන බව ඔබ පවසා තිබුණා. ඒ පනත ගෙන ඒමේ අපේක්ෂාව තවදුරටත් පැහැදිලි කළොත්?

ථෙරවාදී බුදු දහම විනාශ කරන, විකෘති කරන ප්‍රකාශන මේ පනත මඟින් තහනම් කිරීමට අප පියවර ගන්නවා. එක් එක්කෙනාට ඕනෑ හැටියට ධර්මයක් විනාශ කරන්න දෙන්න බෑ.

ඔය උත්සාහය මිනිසුන්ගේ ප්‍රකාශනයේ අයිතිය හා නිදහස නැතිකර දැමීමට නොවේද?

ඒකට තමයි ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙන්නෙ. ඕනෑම කෙනකුට අප ගෙනෙන පනතකට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්. පසුගිය ආණ්ඩුව වගේ අපි අධිකරණ නියෝග නොසලකා හරින්නේ නෑ.

පසුගිය දිනවල ආණ්ඩුවට විරුද්ධ තීරණ කීයක් නම් විපක්ෂය අධිකරණය හරහා ගත්තද? අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කොටසක් ඉවත් ක‍ෙළත් අධිකරණ මතයට ගරු කරමින්. ඒ වගේ ඕනෑම අයකුට අධිකරණයට යන්න පුළුවන්. අපි අධිකරණයේ තීන්දුවලට ගරු කරන, හිස නමන ආණ්ඩුවක්.

ඒත් ආණ්ඩුව ඇමැති මණ්ඩලය පත්කිරීමේදීම ජනතා බලාපොරොත්තු සුන් කළානේ?

නෑ... මේ ඇමැති මණ්ඩලය ජනතා බලාපොරොත්තු ඉටුකිරීමක්. මොකද අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට පැවසුවා ජාතික ආණ්ඩුවකදී ඇමැති සංඛ්‍යාව 30 ට වැඩිවන බව. මෙතැනදී එක්සත් ජාතික පෙරමුණට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ තනි ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව බලය දුන්නේ නෑ.

ජනතාව කැමැත්ත දීලා තියෙන්නෙ ජාතික ආණ්ඩුවකට. ඒ නිසා මේ ඇමැති මණ්ඩලය පත්වෙලා තියෙන්නේ ජනතා වරමින්.

පසුගිය ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය එවකට ඔබ නියෝජනය කළ විපක්ෂයේ වගේම මහජනතාවගේත් දැඩි දෝෂදර්ශනයට ලක්වුණා. ජනතාව වෙනුවෙන්ම බිහිවූ බව කියන ජාතික ආණ්ඩුවත් එවැනිම වැරදි කිරීම දේශපාලන සදාචාරය නොවෙයි නේද?

රාජපක්ෂ ආණ්ඩුව කැබිනට් ඇමැතිධුර 122 ක් ඇතිකළේ එක පවුලක් රැකගන්න හා නඩත්තු කිරීමටනේ.

ඒත් මේ ඇමැති මණ්ඩලය පත්කිරීමේ අරමුණ පවුලක් රැකගැනීම නොවෙයි. රට වෙනුවෙන් ඉටුකළ යුතු අත්‍යවශ්‍ය වැඩ කොටසක් තිබෙනවා. රටට අවශ්‍ය දේශපාලන නීතිමය පරිවර්තනය ඇතිකිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඕනෑ. ඒ නිසයි ඇමැති මණ්ඩලය 30 වඩා වැඩි කරන්න සිද්ධ වුණේ.

ඒ කියන්නේ ජාතික ආණ්ඩුව නියෝජිතයෝත් රටට හිතකර පනත් සම්මත කිරීමට අනුමැතිය දෙන්නෙ වරප්‍රසාද හිමි වුණොත් විතරද?

අපි ජනතාවට සෘජුවම පවසා තිබෙනවා 19 වැනි සංශෝධනයෙන් ජාතික ආණ්ඩුවක් තැනීමේදී ඇමැති මණ්ඩලය 30 කට වැඩිවන බව.

චන්ද්‍රිකා මැතිනිය සමඟ සභාග ආණ්ඩු තැනූ වෙලාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට මහවැලිය අවශ්‍ය බව පවසමින් ජවිපෙත් සති තුනක් පමණ ඇමැති ධුරවල දිවුරුම් නොදී කේවල් කර කර සිටියා. එතනදී පෙනී යන්නේ ජ.වි‍.පෙ. පවා ඇමැති ධුර ගැන සිතූ බවයි.

ජාතික ලැයිස්තුවලින් වාමාංශික පක්ෂ ඉවත් කිරීම පිළිබඳ එම පක්ෂවලින් නැඟෙන චෝදනාව ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ වාමාංශික පක්ෂ නෑ. ඔය වීරවංශලා, ගම්මන්පිලලා වගේම දිනේෂ්, වාසුත් පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ ශ්‍රී.ල.නි.ප. ඡන්දවලින්. පුළුවන් නම් තනියම ඉල්ලලා නගර සභාවක මන්ත්‍රීකමක් ගන්න කියන්න බලන්න. කවදාවත්ම බෑ. මේ රටේ වම ඉවර වුණේ මීට අවුරුදු 20 කට කලින්. දැන් තියෙන්නේ ඒවායේ නෂ්ටාවශේෂ.

ජවිපෙ ගැන මොකද හිතෙන්නේ?

ජවිපෙට මේ අයට වඩා වෙනස් වැඩපිළිවෙළක් තියෙනවා. හැබැයි ජවිපෙ කියන්නෙත් වාමාංශික පක්ෂයක් නොවේ. ඔවුන් වරක් මන්ත්‍රී ධුර 39 ක් ගත්තේත් ශ්‍රීලනිප ඡන්දවලින් මිසක් තනිවම නොවේ.

අද චීනයේවත්, රුසියාවේවත් වමක් නෑ. අමෙරිකාව, යුරෝපය තමයි අද යම්කිසි විදියකට හෝ සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන්නෙ.

ජනවාරි 08 වගේම අගෝස්තු 17 වෙනස ඇතිකිරීමට බොහෝ සෙයින් කැපවුණ පුරවැසි සංවිධාන ඇවන්ගාර්ඩ් සමාගම ඇතුළු තවත් වංචා දූෂණ 20 ක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂමක් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙහිදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳත් දැඩි විවේචනයක් එල්ල කරනවා. ඔබ මොකද මේ ගැන හිතන්නේ?

මේ චෝදනාවලින් පෙනී යන්නේ පුරවැසි සංවිධානවලට මේ සම්බන්ධයෙන් අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවයි. නීතිපති කියලා නෑ ඇවන්ගාර්ඩ් සමාගමට විරුද්ධව නඩු දාන්නේ නෑ කියලා. ඔහු කියන්නේ ජවිපෙ විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් නඩුවක් ගොනුකළ හැකි සාක්ෂි නෑ කියලයි. ජවිපෙ ඉදිරිපත් කරන කඩදාසි කෑලි අරගෙන ගිහින් නඩු දාන්න බෑ.

අනෙක ඇවන්ගාර්ඩ් ගැන පොලිසියත් සම්පූර්ණ පරීක්ෂණයක් කළා. ඒ වාර්තා මත තමයි නීතිපතිවරයා සිය ස්වාධීන මතය ප්‍රකාශ කර තිබෙන්නෙ. ඒ වගේම ඇවන්ගාර්ඩ් කියන්නේ මේ රටේ නීත්‍යානුකූල ආයතනයක්. ශ්‍රී ලංකා ආණ්ඩුවට තමන් උපයන මුදලෙන් විශාල ප්‍රතිශතයක බදු ගෙවන ආයතනයක්. ඉතින් එවැනි නීත්‍යානුකූල ආයතනයකට විරුද්ධව අපරාධ නඩුවක් පවරන්න තරමේ කිසිම සාධකයක් මේ වනතුරු ඉදිරිපත් වෙලා නෑ. යහපාලන ආණ්ඩුව ද්වේශ සහගත පළිගැනීම්වලට නොයන බව අපි මතක් කරන්න ඕනෙ.

ඔබ ඇවන්ගාර්ඩ් ආයතනය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට නැ‍ඟෙන චෝදනා ගැන මොකද හිතන්නේ?

ඔය පරීක්ෂණ සම්බන්ධයෙන් මගේ අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධයක් නෑ. පොලිසිය පරීක්ණ කළා. නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දුන්නා. මහේස්ත්‍රාත්වරු ඒ ගැන කටයුතු කළා. එපමණයි.

දේශපාලන වශයෙන් බංකොලොත් වුණ අය එවැනි චෝදනා නැඟුවට මට කරන්න දෙයක් නෑ.

පසුගිය ආණ්ඩුවේ මහ බැංකු අධිපතිට හා මේ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිට විරුද්ධව පැවරුණ නඩු දෙකම පසුගියදා ඉල්ලා අස්කර ගත්තා. බලාගෙන යනකොට මේවා මැතිවරණ සංදර්ශන විතරයි වගේ?

දේශපාලන වාසි බලාගෙන රුපියල් බිලියන 10 ක් ගැන ඔවුන් අපට චෝදනා නඟන විට ඒ චෝදනා ඔවුන්ටම පාරාවළල්ලක් වුණා. හිටපු මහ බැංකු අධිපති ඔය විදියටම බිලියන 2700 ක් බැඳුම්කර නිකුතුවක් කර තිබෙනවා. මේ බිලියන 10 ගැන නඟන චෝදනා පදනම් විරහිතයි. අනෙක ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළිඅරගෙන තිබෙනවා මහ බැංකු අධිපති නිර්දෝෂී බව.

වරදක් සිදුවී නැත්නම් ඒ පිළිබඳ කෝප් කමිටු වාර්තාව නිකුත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝග ගත්තේ ඇයි?

මේ ගැන පරීක්ෂණයක් අවශ්‍ය නම් නැවතත් අලුත් කෝප් කමිටුවට මෙය බාර දෙන්න අපි සූදානම්. ඔය ඩිව්ලා ‍කෝප් කමිටුවේ සභාපතිකම් කරලා මොනවද රටට කළේ. මම සභාපති වෙලා ඉන්න කාලේ කෝටි 30000 ක වංචා, දූෂණ හෙළිකළා. එහෙම කරලා කෝටි 20000 ක් ආපසු අයකරගන්නත් කටයුතු කළා.

තාජුඩීන්, එක්නැලිගොඩ යනාදී මරණවල පරීක්ෂණත් ඉදිරියේදී මේ විදියටම අත්හැර දමාවිද?

කිසි විටෙක කිසිදු පරීක්ෂණයක් සම්බන්ධයෙන් අපි බලපෑම් කරන්නේ හෝ යටගැසීම් කරන්නේ නෑ. මේ වන විට අධිකරණය සම්පූර්ණයෙන් ස්වාධීනයි. අපට විරුද්ධව අධිකරණයට යන අය පවා අපට විරුද්ධ තීන්දු තීරණ ලබාගෙන යහතින් ගෙදර යනවා. ඒ කිසිම කෙනකු සුදු වෑන්වලින් උස්සගෙන යන්නෙ නෑ.

සියලුම පරීක්ෂණ ස්වාධීනව සිදු කෙරෙයි.

ව්‍යවස්ථා සභාවට ඇමැතිවරුන් පත්කිරීම ආණ්ඩුවේ පොරොන්දු කඩකිරීමක් බවට දිනේෂ් ගුණවර්ධන මහතා චෝදනා කරනවා.

විධායකයේ දෙවැනියා ලෙස අගමැති පත්වනවා නම් ඇමැතිලා පත්වුණාම මොකද? අපි කිව්වේ පාර්ලිමේන්තුවෙන් නියෝජිතයො තුන්දෙනෙක් පත්කරලා සිවිල් සමාජයෙන් 7 දෙනකු සභාවට පත්කරමු කියලයි. ඒ සිවිල් නිලධාරි ගණන තුන්දෙනකුට බැස්සුවෙත් එයාලම තමයි. ඔය කියන කතාවේ කිසිම නීතිමය පදනමක් නෑ.

ව්‍යවස්ථා සභාව මුලින්ම පත්කරන කොමිෂන් මොනවද?

පොලිස්, අල්ලස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභා තමයි ඉක්මනින්ම පත්කළ යුත්තේ. මේ මාසය අවසන් වෙන්න පෙර මේ කොමිෂන් තුන පත්කරනවා.

ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරි කාලය තුළ පැවැත්වෙන‍වා. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුබදායි තත්ත්වයක් දක්න‍ට ලැබෙනවාද?

ගිය ආණ්ඩුව විසින් නිර්මාණය කළ විදුලි පුටුව අප විසින් අවලංගු කරගනු ලැබීම තමයි සිද්ධ වෙන්නේ. ෙම් සතියෙ 14,15 වෙද්දී ජිනීවා සමුළුවෙ සාකච්ඡා අපි ආරම්භ කරනවා. එහිදී අපි ගිහිල්ලා තමයි තීන්දුවක‍ට එන්නෙ. නමුත් පසුගිය මාස අටේ අපේ රටේ අැතිවූ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, යහපාලනය වැනි කරුණු මඟින් ජාත්‍යන්තරයේ 90%ක් මේ වන විට අපි දිනාගෙන ඉන්නවා.

ගිය ආණ්ඩුවට නොලැබුණු විශාල පිළිගැනීමක් සහ අපේ වචන කෙරෙහි විශාල විශ්වාසයක් ජාත්‍යන්තරයේ ඇතිවී තිබෙනවා. මේ වන විට අපිට විරුද්ධව අවසාන යෝජනාව ඉදිරිපත් කරන අමෙරිකාවම අප‍ට සහය දෙන්න එකඟතාව පළ කර තිබෙනවා. ඒගොල්ලන්ම යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා ලංකාවට සහය දෙන්න. පසුගිය මාස අ‍ටක ලෝකයේ වෙනත් කිසිදු රටක නොවුණු වෙනසක් වූයේ අපේ රටේ විතරයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇති කෙරෙන දේශීය යාන්ත්‍රණය කවර අන්දමේ එකක් ද?

ඒ සම්බන්ධයෙන් අපි කාටවත් යටත් වෙලා පොරොන්දු දීලා නැහැ‍. අපේ අභිමතය අනුව ඒක තීන්දු කරනවා. යාන්ත්‍රණ කියන ඒවා අපිට ඒතරම් අලුත් දේවල් නොවෙයි. 1971 කැරැල්ල සම්බන්ධව සිරිමාවෝ මැතිනියත් අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාවක් දැම්මා. ඒවා පිළිබඳව අපට අත්දැකීම් තියෙනවා.

 

 

dinamina

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us