සැලොන් ලෙඩුන්ගෙන් රෝහල් පිරිලා

Published in Gossip
Wednesday, 20 August 2014 09:38

පිළිගත් චර්ම (සම) රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පමණක්‌ ලබා ගත හැකි කුරුලෑ ඇතුළු සම ආශ්‍රිත ප්‍රතිකාරයන්, සමෙහි රෝගී තත්ත්වයන්ට ලේසර් ප්‍රතිකාර ලබාදීම හා හිසකෙස්‌ ආශ්‍රිත ප්‍රතිකාර සම්බන්ධ කිසිදු පුහුණුවක්‌ නොමැති රූපලාවන්‍යාගාර ශිල්පීන් විසින් ලබාදීමට පෙළඹී ඇත. 

එම නිසා ඔවුන්ගේ ප්‍රතිකාර වැරදී රජයේ රෝහල් වෙත එන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය අවධාරණය කර සිටී.

සම හෝ හිසකෙස්‌ ආශ්‍රිත ප්‍රතිකාරයන් ඒ පිළිබඳ පුහුණුවක්‌ නොලැබූ අයෙකු වෙතින් ලබා ගැනීමෙන් ජීවිත හානි පවා සිදුවිය හැකි බව පෙන්වා දෙන එම ආයතනයේ හිටපු සභාපතිනී විශේෂඥ වෛද්‍ය චාලුක්‍යා ගුණසේකර මහත්මිය එම ප්‍රතිකාර ලබාදීමට කිසිදු රූපලාවන්‍ය ශිල්පියකුට නීතිමය අයිතියක්‌ නැතැයි පැවැසුවාය.

රූපලාවන්‍යාගාරවලින් ලබා ගන්නා එම ප්‍රතිකාර නිසා හටගත් අතුරු ආබාධවලට ප්‍රතිකාර ගැනීම සඳහා දිනපතාම රජයේ රෝහල් වෙත රෝගීන් පැමිණෙන බව ඇය කීවාය.

දිවයින පුරා බොහෝ රූපලාවන්‍යාගාර තම සීමාවන් ඔබ්බට ගොස්‌ කුරුලෑ, සමෙහි මතුව ඇති කළු ලප, සුදු ලප හා සම සුදුපැහැ ගැන්වීමේ (බ්ලීචිං) ප්‍රතිකාරයන් සිදු කරන බවත්, ඒවා වැරැදීමෙන් කාන්තාවන් හා පිරිමින් තුළ හට ගන්නා අතුරු ආබාධවලට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ට බවත් වෛද්‍ය ගුණසේකර මහත්මිය සඳහන් කළාය.

රූපලාවන්‍යාගාර නීති විරෝධී අයුරින් සම සුදු පැහැ ගැන්වීම සඳහා එන්නත් හා බෙහෙත් පෙති භාවිතා කරන බවත් වෛද්‍ය විද්‍යාව පිළිබඳව කිසිදු දැනීමක්‌ නොමැති ශිල්පීන් විසින් ලබා දෙන මෙම ප්‍රතිකාර හේතුවෙන් වයස අවුරුදු 20 - 25 වයස්‌වල තරුණ තරුණියන්ගේ සම වයස අවුරුදු 60 ක අයකුගේ මෙන් කෙටි කලකින්ම රැලි ගැන්වෙන බවත් අනාවරණය වී ඇතැයි වෛද්‍යවරිය පැවසුවාය.

'' පිළිකා රෝගීන්ට ලබා දෙන කීමෝතෙරපි ප්‍රතිකාරයෙන් හටගන්නා අතුරු ආබාධ අඩුකර ගැනීම සඳහා ලබා දෙන එන්නතක්‌ බොහෝ රූපලාවන්‍යාගාර ශිල්පීන් විසින් තම ආයතන වෙත සම සුදුපැහැකර ගැනීම සඳහා පැමිණෙන අයට ලබා දෙන බව පෙනී ගොස්‌ තිබෙනවා. මෙයින් සම සුදු පැහැ වුවද පසුව කෙටි කලකින්ම සම රැලි වැටීම සිදුවෙනවා. පිළිකා, එච්. අයි. වී. වැනි රෝගී තත්ත්වයන් ද මෙවැනි නුපුහුණු අයගෙන් එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් හට ගත හැකියි...'' ශ්‍රී ලංකා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය කීවාය.

සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිතා කරන ඇතැම් එන්නත්වල ආසනික්‌ වැනි විෂ ද්‍රව්‍ය අඩංගු බව අනාවරණය වී ඇතැයි ද ඇය කීවාය.

'' සමෙහි පවතින වළ සහිත ප්‍රදේශයන් වැසීම සඳහා සිදුකරන ෆිලර්ස්‌, බොටොක්‌ස්‌ වැනි ප්‍රතිකාර ලබා දිය හැක්‌කේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට පමණයි. රූපලාවන්‍ය ශිල්පීන්ට සිදු කළ හැක්‌කේ මුහුණ පැහැපත් කිරීම, ෙප්ෂල් දැමීම, හිසකෙස්‌ කැපීම, ඩයි කිරීම වැනි සීමිත පරාසයකට අයත් සේවාවන් සැපැයීම පමණයි. එහෙත් වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා දීමට යැමෙන් එම ආයතන වෙත යන අයගේ ජීවිත පවා අවදානමට ලක්‌වනවා. මේ සම්බන්ධව සොයා බලා දිවයින පුරා පවතින සියලු රූපලාවන්‍යාගාර සඳහා නිසි ප්‍රමිතියක්‌ හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව'' ද ඇය සඳහන් කළාය.

ඊයේ (19 දා) කොළඹ 07, විඡේරාම මාවතේ පිහිටි ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරුණි.

(දිවයින)

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us