ශ්‍රී ලංකාවට ලකුණු 77ක දැවැන්ත ජයක්

Published in ක්‍රීඩා
Wednesday, 27 August 2014 09:38

නායක ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරාගේ වේගවත් පිතිහරඹ හා දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකාව ඊයේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 77ක දැවැන්ත ජයක් වාර්තා කළේය.

මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග තුනකින් සමන්විත එක්දින තරගමාලාව 1–1ක් ලෙසින් සමකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව මේ තරගය ජයග්‍රහණය කළේ තරගයේ තවත් ඕවර හයක් හා පන්දුවක් ඉතිරිව තිබියදීය. ලකුණු 311ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය පාකිස්තානය ඕවර 43යි පන්දු 5ක් ඇතුළත ලකුණු 233කට දැවී ගියේය.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ ලකුණු 3000 ඊයේ සම්පූර්ණ කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 93ක්ද, මහේල ජයවර්ධන ලකුණු 67ක්ද, තිසර පෙරේරා ලකුණු 65ක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. මැතිව්ස් හා ජයවර්ධන සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සහ මැතිව්ස් හා තිසර පෙරේරා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතා පිහිටුවමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූහ.

හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමග පන්දු 37කින් ලකුණු 65ක් ලබා ගත් තිසර පෙරේරා අනතුරුව පන්දු යැවීමෙන්ද විශිෂ්ට දස්කම් දක්වමින් ඕවර 3කදී ලකුණු 19කට කඩුලු 3ක් ලබා ගත්තේය. ඔහු ‘තරගයේ වීරයා’ ලෙස නම් කෙරිණි. රංගන හේරත් හා සීකුගේ ප්‍රසන්න යන දඟ පන්දු යවන්නන්ද, වේග පන්දු යවන ලසිත් මාලිංගද කඩුලු 2 බැගින් ලබා ගත්හ.

‘බැටිං පවර් ප්ලේ’ ක්‍රීඩාවේදී ලකුණු 24කට කඩුලු දෙකක් අහිමි කරගෙන තරගයේ මඳක් අතරමං වූ නියායක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දිස්වූවද නායක ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා දැඩි ආක්‍රමණශීලී පිතිහරඹයක් දියත් කරමින් ශ්‍රී ලංකාව ලකුණු 310ක මුළු ලකුණු සංඛ්‍යාවකට ගෙන ඒමට සමත් වූහ.  පාකිස්තාන පිළිතුරු ඉනිමේදී පළමු කඩුල්ල මුළු ලකුණු 18දී බිඳ වැටිණි. සිවුවැනි ඕවරයේදී ලසිත් මාලිංගගේ පන්දුවට ‘මිඩ් ඕන්’හි රංගන හේරත් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ෂාජීල් ඛාන් ලකුණු 9කට දැවී ගියේය.

පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව මොහමඩ් හෆීස් කඩුල්ලට පිවිස අහමඩ් ෂෙසාඩ් සමග එක්වූ අතර ඉන් අනතුරුව දිස්වූයේ ශ්‍රී ලංකාව නොසන්සුන් කරවන පිතිහරඹයකි. අවසානයේ හෆීස් – ෂෙසාඩ් සබඳතාවට තිත තැබුවේ සීකුගේ ප්‍රසන්න ය. 19 වැනි ඕවරය ආරම්භයේදීම හෆීස් කඩුල්ල මුවා කරමින් දැවී ගියේය. ඒ වන විට මුළු ලකුණු ප්‍රමාණය 114ක් වී තිබිණි. මේ පිතිකරු යුගළය ඕවර 14.3ක් කඩුල්ලේ රැඳී සිටිමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක් එක් කිරීමට සමත් වූහ. හෆීස් දැවී යන විට හතරේ පහර 11ක් සමගින් පන්දු 49කින් ලකුණු 62ක් ලබා ගෙන සිටියේය.

ඊළඟ ඕවරයේදී තෙවැනි කඩුල්ල බිඳ වැටෙමින් උමාර් අක්මාල් (1) දැවී ගියේය. එම කඩුල්ල තම පළමු පන්දුවෙන්ම ලබා ගත්තේ තිලකරත්න ඩිල්ෂාන් ය. ඔහුගේ පන්දුවට අක්මාල් පිත්ත දමද්දී ඉපිළ ගිය උඩ පන්දුව කඩුලු රකින කුමාර් සංගක්කාර රැක ගත්තේ පහසුවෙනි.  කඩුලු දෙකක් පන්දු හයක් ඇතුළත බිඳ වැටීමත් සමග පාකිස්තානයේ ලකුණු ලබා ගැනීමේ වේගය ප්‍රථම වතාවට අඩු වන්නට පටන් ගත්තේය.

ෂෙසාඩ් හා නායක මිස්බා උල් හක් මුළු ලකුණු ප්‍රමාණය 147 දක්වා ගෙන එමින් සිටියදී සංගක්කාරගේ විශිෂ්ට උඩ පන්දු රැකීමකින් ෂෙසාඩ් 29 වැනි ඕවරයේදී දැවී ගියේය. ෂෙසාඩ්ගේ ‘ස්වීප්’ පහර ගැන නිරන්තරව අවදියෙන් සිටි ‘සංගා’, ප්‍රසන්නගේ පන්දුවට ෂෙසාඩ් එම පහරට යද්දී සැණින් පා පෙදෙසට දිව ගොස් ෂෙසාඩ්ගේ පිත්තේ මුහුණේ වැදී ආ උඩ පන්දුව අල්ලා ගත්තේය. පන්දු 80කට මුහුණ දුන් ආරම්භක පිතිකරු අහමඩ් ෂෙසාඩ් හතරේ පහර 6ක් සමග ලකුණු 56ක් රැස් කළේය.

‘පවර් ප්ලේ’ ක්‍රීඩාව ආරම්භ වී පස්වැනි පන්දුවේදී මිස්බා දැවී ගියේය. ඒ, රංගන හේරත්ගේ පන්දුවටය. මිස්බා එල්ල කළ ‘ස්වීප්’ පහරින් පන්දුව කෙළින්ම ගියේ ‘ස්කුවෙයාර් ලෙග්’හි පන්දු රකිමින් සිටි නුවන් කුලසේකරගේ අතටය. ඒ සමගම ලකුණු 45ක (පන්දු 44) පස්වැනි කඩුලු සබඳතාව නිමා විණි. හතරේ පහර 3ක් එල්ල කළ මිස්බා උල් හක් පන්දු 51කින් ලකුණු 36ක් ලබා ගත්තේය. මුළු ලකුණු 192යි.

ඊළඟට පිටිය මැද එක්වූයේ පළමු එක්දින තරගයේ ලකුණු 147ක ජයග්‍රාහී සබඳතාව පිහිටුවූ ෆවාඩ් අලාම් හා සොහයිබ් මක්සූඩ් ය. එහෙත් මෙවර ඔවුනට ලබා ගත හැකිවූයේ ලකුණු 10ක් පමණි. තිස්අට වැනි ඕවරයේ හේරත්ගේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ මක්සූඩ් දෙවැනි පන්දුවට කඩුල්ල මුවා කළේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියළු දෙනාම අත් ඔසවා දැවී යාමේ තීරණය ඉල්ලා කෑගැසුවද තරග විනිසුරුගේ ඇඟිල්ල ඉහළට එසවුනේ නැත. මේ නිසා ශ්‍රී ලංකාව ‘රෙෆරල්’ පිහිට පැතූ අතර තෙවැනි විනිසුරු එය දැවී යාමක් බවට තීන්දු කළේය. මක්සූඩ් පන්දු 6කින් ලබා ගත්තේ ලකුණු 9ක් පමණි.

ආක්‍රමණශීලී පිතිකරු ෂහිඩ් අෆ්රිඩි පන්දු 10කට මුහුණ දී ලසිත් මාලිංගට එකම ඕවරයේදී හතරේ පහර 3ක් එල්ල කර ලකුණු 17ක් ලබා ගෙන ආපසු ක්‍රීඩාගාරයට ගියේය. 41 වැනි ඕවරයේ තිසර පෙරේරා එවූ තෙවැනි පන්දුව ආවේ පිට ඉන්නට බොහෝ ඈතිනි. අෆ්රිඩි අත දිගහැර ඊට එල්ල කළ පහරින් පන්දුව කෙළින්ම ගියේ ‘ඩීප් කවර්’ ස්ථානයටය. කුලසේකර එය අතහැරියේ නැත.

තිසර පෙරේරා ඔහුගේ ඊළඟ ඕවරයේදී පිට පිට කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් විය. 43 වැනි ඕවරයේ මේ කඩුලු දෙකම බිඳ වැටුනේ මුළු ලකුණු 231දීය. වහබ් රියාස් (5) ‘තර්ඩ් මෑන්’ හතරේ සීමාව අසල හේරත්ට උඩ පන්දුවක් දෙමින්ද, අලාම් ‘කවර්’ ස්ථානයේ මැතිව්ස් අතට උඩ පන්දුවක් දෙමින්ද දැවී ගියේය. පන්දු 40කට මුහුණ දුන් ෆවාඩ් අලාම් හතරේ පහර 3ක් සමග ලකුණු 30ක් රැස් කළේය. 44 වැනි ඕවරයේ ලසිත් මාලිංගගේ පස්වැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ජුනයිඩ් ඛාන් (1) දැවී යාමත් සමග පාකිස්තාන ඉනිම ලකුණු 233කට අවසන් විය.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාවට තරගයේ දෙවැනි ඕවරයේදීම කඩුල්ලක් අහිමි විය. ඒ, තිලකරත්න ඩිල්ෂාන් ය. ජුනයිඩ් ඛාන් යැවූ පළමු ඕවරයේ අවසාන පන්දුවට ඩිල්ෂාන් වේගවත් පහරක් එල්ල කළද ඔහුගේ පිත්ත පැරදවූ පන්දුව උමාර් අක්මාල් කඩුලු රකින්නා අතට ගියේය. පන්දුව පිත්ත යටින් යන බව රූපවාහිනී පුනරූපනවල පැහැදිළිව ප්‍රදර්ශනය විණි. පිටියේ තරග විනිසුරු එය දැවී යාමක් නොවන බවට තීරණය කළ අතර පාකිස්තානුවන් ‘රෙෆරල්’ ක්‍රමයට ගියේය. තෙවැනි විනිසුරු එය දැවී යාමක් බවට තීන්දු කළ අතර ඩිල්ෂාන් ට එය අදහා ගත නොහැකි විය. හතරේ පහර 3ක් සමග පන්දු 10කින් ලකුණු 13ක් රැස් කළ ඩිල්ෂාන් දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 14ක් විය.

හයවැනි ඕවරයේදීද පෙර සිදුවීම ම දර්ශනය විය. ජුනයිඩ් ඛාන්ගේ පන්දුවට උපුල් තරංග එල්ල කළ පහර අසාර්ථක වී පන්දුව කඩුලු රකින්නා අතට ගියේය. මෙවර ස්ටීව් ඩේවිස් පිටියේ තරග විනිසුරුවරයා එය දැවී යාමක් බවට තීරණය කළේය. තරංග එම තීරණයට අභියෝග කළ අතර තෙවැනි විනිසුරු එස්.රවි (ඉන්දියාව) එය දැවී යාමක් නොවන බවට තීරණය කළේය. ඒ වන විට තරංග ලකුණු 11ක් ලබා ගෙන සිටියේය.

මොහමඩ් ඉර්ෆාන් හා ජුනයිඩ් ඛාන්ගෙන් පසුව පාකිස්තානය 9 වැනි ඕවරයේදී ඔවුන්ගේ තෙවැනි වමත් වේග පන්දු යවන්නා වන වහාබ් රියාස් කැඳවීය. රියාස් ඔහුගේ දෙවැනි පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගනිමින් කුමාර් සංගක්කාර දවාලුවේය. තරංග හා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38කින් ලකුණු 37ක් එක් කරමින් සිටි සංගක්කාර, ‘මිඩ් විකට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි සොහයිබ් මක්සූඩ් වෙත උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 51දී දැවී ගියේය. ‘සංගා’ ඊයේ ලබා ගත්තේ ලකුණු 11ක් පමණි. පන්දු 16කට මුහුණ දුන් ඔහු හතරේ පහර 2ක් එල්ල කළේය.

රියාස් ඔහුගේ දෙවැනි ඕවරයේදීද කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය. මෙවර ඔහුට ගොදුරු වූයේ තරංග ය. කඩුලු රකින අක්මාල් උඩ පන්දුව රැක ගන්නා විට තරංග පන්දු 30කින් ලකුණු 27ක් රැස්කර ගෙන සිටියේය. හතරේ පහර 5ක් ඔහු එල්ල කර තිබිණි. මහේල ජයවර්ධන හා ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141කින් ලකුණු 122ක අගනා සබඳතාවක් පිහිටුවූහ.

සිය 74 වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතකය වාර්තා කළ ජයවර්ධන දැවී යන විට ලකුණු 67ක් රැස්කර ගෙන සිටියේය. ඒ, පන්දු 74කිණි. හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්ව තිබිණි. ජයවර්ධන දැවී යාමෙන් පසුව ලකුණු 10ක් ඇතුළත තවත් ශ්‍රී ලංකා කඩුලු දෙකක් බිඳ වැටිණි. ඒ කඩුලු දෙක ලබා ගත්තේද දඟ පන්දු යවන හෆීස් ය. සීකුගේ ප්‍රසන්න (1) හා අශාන් ප්‍රියන්ජන් (3) යන දෙදෙනාම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදිනි.

නායක මැතිව්ස් නැවත වතාවක් ශතකය පෙනි පෙනී තිබියදී දැවී ගියේ රියාස්ගේ පන්දුවට ‘මිඩ් විකට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි හෆීස් අතට පහසු උඩ පන්දුවක් දෙමින් ලකුණු 93කට දැවී ගියේය. පන්දු 115ක මැතිව්ස් ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත්ව තිබිණි.

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us