‘හිස් ටින් එකක්‘ තුට්ටු දෙකට විකුණන්නේ නැහැ

Saturday, 02 August 2014 14:09

1969 වසරේ තිරගත වූ “දැන් මතක ද” චිත්‍රපටයේ ඇතුළත් වූ “හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ” ගීතය එදාට වඩා අද ජනප්‍රිය ගීතයක් බවට පත් වී ඇති අයුරු ගීතලෝලී කාටත් නොරහසකි. මේ දිනවල සංගීත ක්ෂේත්‍රයේ වැඩිම අවධානයට ලක් වී ඇති මෙම ගීතය දැන් ringing tone සඳහා ද යොදා ගෙන තිබෙන බව දැනගන්නට ලැබී ඇත.

දශක හතරකට වැඩි කාලයක් යටපත් වී පැවැති මෙම ගීතය මෙලෙස ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූවේ “දෙරණ” dream star ලෙස තේරී පත් වූ එම්. ජී. ධනුෂ්ක ගායනා කිරීමෙන් පසුව බැව් කාගේත් පිළිගැනීමය.

 මුලින්ම මේ ගීතය නිර්මාණය කිරීමට දායක වූ පද රචකයා, සංගීතඥයා සහ ගායන ශිල්පීන් තිදෙනාගෙන් කිසිවෙකු හෝ මේ වන විට ජීවතුන් අතර නොමැත. මේ අතර ඔවුන්ගේ පවුල් සාමාජික පාර්ශ්වයන්ගේ හෝ අනුදැනුමකින් තොරව “දෙරණ” ආයතනයට මෙම ගීතය චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන ලබා දී ඇති බව ද වාර්තා වේ. කරුණු එසේ තිබිය දී “හිස් ටින් එකක්” ගී පද රචනයේ බුද්ධිමය දේපළ හිමි ප්‍රකට පුවත්පත් කලාවේදී, ගී පද රචක සිරිල් ඒ. සීලවිමලයන්ගේ බිරිය අනුලා ඒ. සීලවිමල අප සමඟ කළ කතාබහ මෙලෙස අකුරු කරමු.

“මගේ මහත්මයා (සිරිල්) ‘දවස’ පත්තර කන්තෝරුවේ රැකියාව කරපු කාලේ තමයි මේ ගීතය ලිව්වේ. ඒ කාලේ රුපියල් දෙතුන් සීයකට වඩා ලැබුණේ නැහැ මේ ගී පද රචනයට. රුපියල් පන්සීයකට වඩා නම් වුණේම නැහැ. චිත්‍රපටය ප්‍රදර්ශනය කරපු ඒ කාලේ වත් මේ ගීතය මේ දැන් තරම් ජනප්‍රිය වුණේ නැහැ. .

දශක කිහිපයකට පසු ‘හිස් ටින් එකක්’ ගීතය මෙලෙස ජනප්‍රිය වීම පිළිබඳ ඔබට හිතෙන්නේ මොනවා ද?

ම‍ම මගේ මහත්මයා ලියූ ගීත නිතර අහලා ලොකු මානසික තෘප්තියක් ලබනවා. ‘හිස් ටින් එකක්’ ගීතය වැනි ගීතයක් මෙතරම් කාලෙකට පස්සේ රටේම ජනප්‍රිය ගීතය වීම ගැන ලොකු සතුටක් සමඟ ‘අනේ මගේ මහත්මයාත් උන්නා නම්’ කියා සියුම් දුකකුත් දැනෙනවා මට. එයා මොනතරම් දක්ෂතාවයක් තිබුණු ගී පද රචකයෙක් ද, කවියෙක් ද කියලා මට හිතෙනවා. බලන්න, එයාගේ මේ සංකල්පනාව එදාට වගේම අදටත් උචිත නිසානේ මේ ගීතය මෙතරම්ම ජනප්‍රිය. මේ ගීතය හැමෝටම ගයන්න පුළුවන් ගීතයක් නෙමේ. මොකද මේ ගීතය මුලින් ගායනා කර තියෙන්නේ අපේ එච්. ආර්. ජෝතිපාල, මොහිදින් බෙග්, ජේ. ඒ. මිල්ටන් පෙරේරා වැනි බලගතු ගායකයෝ තුන් දෙනෙක් නිසා. ඔවුන්ගේ ගායනයට සම කරන්න බැරුවට එම්. ජී. දරුවාත් ගීතයට සාධාරණයක් කළා කියලයි මං හිතන්නේ. ඒ නිසානේ මේ ගීතය නැවතත් මෙහෙම මිනිස්සු අතරට ආවේ.”

ඔබ එම්. ජී. ට සුබ පැතුවා ද?

මම වෙනමම කතා කරලා සුබ පැතුවේ නැහැ. පත්තර වලට ප්‍රකාශ කරද්දී මමත් ඒ දරුවා ගැන සතුටු වෙනවා කියලා කිව්වා. ඇත්ත වශයෙන්ම මමත් අම්මා කෙනෙකු වශයෙන් එම්. ජී. දරුවාගේ දක්ෂතාව ගැන සතුටු වෙනවා. ඒ දරුවාගේ දක්ෂතාවයක් නැත්නම් අර බලගතු ගායකයින් තුන් දෙනකු ගායනා කළ මේ ගීතය තනියම ගායනා කර සාර්ථක වෙන්න බැහැනේ. මේ ගීතය ඇතුළේ තියෙනවානේ නොයෙකුත් විදිහට හිනා වෙන කෑලි ආදිය පවා. එම්. ජී. දරුවා ගීතයට සාධාරණයක් කළා ඒ දරුවාගේ ගායනයේ දී. එම්. ජි. දරුවා තාත්තට සලකන හොඳ ගමේ දරුවෙක්. අදහස් හොඳයි. අපි අම්මලා, ආච්චි අම්මලා වෙලා තියෙන කොට දරුවන්ගේ හැකියාව ගැන ආඩම්බර වෙන්න ඕනේ. එම්. ජී. දරුවා හරියට ගීතය කිව්වා. කාටවත් අසාධාරණයක් කළේ නැහැ. ඒ නිසා මම එම්. ජි. දරුවාට ස්තූති කරනවා. ඒ වගේම එම්. ජී. දරුවාට ගායකයෙකු ලෙස හොඳ අනාගතයක් උදා කරගන්න හැකිවේවා කියා සුබ පතනවා.

 ඔබ එම්. ජි. ට සුබ පතන්නේ ඔහු මේ ගීතය මුල් ගායකයින් තිදෙනාට වඩා හොඳින් ගායනා කළේ ය යන හැඟීමෙන් ද?

අනේ නැහැ. එහෙම කියන හිතන අය ඇති. ඒත් මම නම් කොහොමටවත් එහෙම හිතන්නේ නැහැ. මම එම්. ජි. දරුවාට සුබ පතන්නේ ජෝති, බෙග්, මිල්ටන් යන තිදෙනාගේ ප්‍රතිභාව හෑල්ලු කිරීමට නෙමේ. පසුව කවුරු කොහොම ගායනා කළත් ගීතයක් මුලින්ම ඇහුණු කටහඬ තමයි අපිට වටින්නේ සහ හදවත්වලට හුරු පුරුදු. මේ ගීතය මුලින්ම ගැයූ අපේ ඒ ප්‍රවීණ ගායකයින් තුන් දෙනාගේ හඬට හෝ ඒ හැකියාවට එන්න මේ ජීවිත කාලෙටවත් වෙන කාටවත් බැහැ. ඒත් එම්. ජී. දරුවාගෙන් මේ ගීතයට අසාධාරණයක් වුණේ නැහැ. ඒක වටිනවා.

 “හිස් ටින් එකක්” ගීතයේ බුද්ධිමය දේපළ අයිතිය මේ වන විට පවතින්නේ කා සතුව ද?

බුද්ධිමය දේපළ නීතියට අනුව නම් ගී පද රචනයේ අයිතිවාසිකම මගේ මහත්මයා වෙනුවෙන් දැන් අප සතුවයි පවතින්නේ. හින්දි තනුවක් අනුව ලියූ ගීතයක් නිසා සංගීත නිර්මාණයේ අයිතිවාසිකම ගැන මම හරියට කියන්න දන්නේ නැහැ. කෙසේ හෝ අපේ අවසරයකින් තොරව මේ ගීතය දැනට ringing tone සඳහා යොදා ගනිමින් හා ‘දෙරණ’ ආයතනයට චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන ලබා දෙමින් ආදි වශයෙන් නොයෙකුත් අන්දමින් අසාධාරණ සිදු කෙරෙමින් පවතිනවා.

ගී පදමාලාව පළ කිරීමේදී වැරැදි ලෙස පළ කරමින් වගේම පද රචනයට මගේ මහත්මයාගේ නම සඳහන් නොකර විද්යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කරමින් ද අසාධාරණ සිදු වෙනවා. නාගොඩවිතාන මහත්මයා මේ ගීතය ‘දෙරණ'ට දීලා මට කතා කරලා ‘දෙරණින්’ ආධාරයක් කරයි කියා පැවසුවා. (“මේ ගීතය වෙනුවෙන් ආධාරයක් කරනවා කීමේ තේරුම මොකක්ද, හෑල්ලු කිරීමක් නෙමේ ද” යැයි උපහාසාත්මකව විමසමින්...) ‘දෙරණින්’ සුළු මුදලක් ගීතය වෙනුවෙන් අපට ලබා දෙන්න බලාපොරොත්තු වෙන බව හැ‍ඟෙනවා. මේ සියල්ලෙන්ම මගේ මහත්මයාගේ මේ ගී නිර්මාණය හෑල්ලු කිරීමකුයි සිදු වෙන්නේ. සියල්ලම අසාධාරණ ලෙස තමයි සිදු වෙන්නේ. ඒත් මගේ මහත්මයාට අගෞරවයක් වෙන ලෙස මේ ගීතය තුට්ටු දෙකට විකුණන්න අපි සූදානම් නැහැ.

 සිරිල් ඒ. සීලවිමලයන් ජීවත්ව සිටියදී ඔහුගේ ජනප්‍රිය වූ ගී පද රචනා නැවත කාටවත්ම විකුණා නැද්ද?

නැහැ. එයා සල්ලිවලට තැන දීලා වැඩ කරපු කෙනෙකු නෙමේ. නැත්නම් එයාගේ අසනීපෙට ප්‍රතිකාර ගන්න එයා ලියූ ගීත විකුණන්න තිබුණානේ. මේ ගීතය විතරක් නෙමේ එයා ලියපු අනිකුත් ගීතත් ඉල්ලා ගෙන ගී පට, තැටි නිෂ්පාදකයෝ එයා ළඟට ආවා. ඒත් එයා එච්. ආර්. ජෝතිපාල වෙනුවෙන් කළ ‘දෝතින් දෝතයි’ ගී තැටියට එහි නිෂ්පාදකවරයාට හැර වෙන කාටවත්ම ගීත විකුණා සල්ලි අරගෙන නැහැ. ‘දෝතින් දෝතයි’ ගී තැටියේ නිෂ්පාදකවරයා රුපියල් දහදාහක් දුන්නා සිරිල්ගේ අසනීපයට ප්‍රතිකාර ලබා ගන්න වියදම් සඳහා කියලා. එච්චරමයි.

 සීලවිමලයන්ගේ වියෝවින් පසුව ඔබ විකුණු ඔහුගේ ගීත මොනවා ද?

එකම ගීතයක් වත් මේ වනතුරු මම කාටවත්ම විකුණලා නැහැ. මම එයාගේ ගෞරවය රකිනවා. අපේ දරුවොත් එහෙමයි. අපි කවදාවත් එයාගේ ගීත තුට්ටුවට දෙකට විකුණලා එයාට අගෞරව කරන්නේ නැහැ. දැන් මේ ‘හිස් ටින් එකක්’ ගීතයේ ජනප්‍රියත්වය උඩ බොහෝ දෙනෙක් සිරිල්ගේ ගීත ඉල්ලනවා. ඒත් මමවත් අපේ දරුවන් වත් ඒ ගීත එකක් වත් මෙතෙක් කාටවත් දීලා නැහැ. ‘රන්ජා’ චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමකින් ‘හොඳ සිරියාවයි’ ගීතය ඇහුණා.

ඒත් එය අපේ අනුදැනුමකින් තොරව කරපු වැඩක්. කිසිම චිත්‍රපටයකට හෝ නිෂ්පාදකවරයකුට අපි ඒ ගීතය දීලා නැහැ. එහෙම අලුත් චිත්‍රපටයකින් ඇහෙන්න. බුද්ධිමය දේපළ ගැන කතා කළොත් සිරිල් ඒ. සීලවිමල ගී පද රචකයාට තරම් අසාධාරණ වෙන කිසිඳු ගී පද රචකයකුට සිදුවෙලා නැතුව ඇති. ගුවන් විදුලි, රූපවාහිනි නාළිකා වලින් එයාගේ ගීත කොපමණ ප්‍රචාරය කෙරෙනවා ද? ඒත් කර්තෘ භාග සතයක් වත් කිසිදාක ලැබිලා නැහැ. ලැබුණා නම් ලැබෙන්නෙ ඕනෙ මටනේ. මොකද එහෙම වෙන්නේ කියලා මමත් හිතනවා. ජීවතුන් අතර නැති එයාගේ නිර්මාණ මේ විදිහට කොල්ල කෑම නතර කරන්න නීත්‍යානුකූල පියවරක් ඉදිරියේ දී ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

නීත්‍යානුකූලව සාධාරණ මුදලකට සීලවිමලයන්ගේ ගී නිර්මාණ රිසි කිසිවෙකු හට ලබා දීමට ඔබ එකඟ ද?

ඔව්. සුදුසු අයුරු සලකා බලා සාධාරණ මුදලකට එයාගේ ගී නිර්මාණ ලබා ගන්නවා නම් අපිට එම මුදලින් එයා වෙනුවෙන් පින්කම්, අසරණ සරණ සද්කාර්යය ආදිය කරන්න පුළුවන්නේ. එහෙම නැතුව අපි දන්නේ වත් නැතුව එයාගේ ගී නිර්මාණ කොල්ල කාලා හෑල්ලුවට ලක් කරලා තුට්ටුවට දෙකට ලබා ගන්න කවුරු හරි වෑයම් කරනවා නම් එවැනි ක්‍රියාවන්ට අපි එකඟ වෙන්නේ නැහැ.

(රසඳුන -ජෝජ් රොබ්සන් ද සිල්වා)

Last modified on Saturday, 02 August 2014 14:41

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us