'ප්‍රභාකරන් හිනා වෙනවා ඇති' -මංගල Featured

Published in පුවත්
Saturday, 01 November 2014 09:30

ජාතික හෙළ උරුමය විසින් ගෙනැවිත් ඇති 19 වන සංශෝධනය මගින් සිදුකර ඇත්තේ අදට අවශ්‍ය අවංක බලය බෙදීමක් වෙනුවට ලබා දුන් සුළු බලයත් උදුරා ගැනීම බවත් මෙවැනි පනත් ගේනවාට වැඩියෙන්ම සංතෝෂ වෙනවා ඇත්තේ කොහේ හරි ලෝකෙක ඉඳන් බලාගෙන ඉන්න වේලුපිල්ලෙ ප‍්‍රභාකරන් බවත් අය වැය විවාදයට සහභාගී වෙමින් එජාප පා.ම. මංගල සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

තම 26 වැනි අය වැය විවාද කතාව ජාතීන් අතර ප්‍රශ්ණය සම්බන්ධයෙන් කරන ලද විග්‍රහයක් බවට පත් කළ මංගල සමරවීර මන්ත්‍රීවරයා එදා සිට අද දක්වා මහ පක්ෂ දෙකේම නායකයන් කළ කී කතා වලින් උදාහරණ දක්වමින් ගෙන හැර පාද්දී වෙනදා බාධා පමුණුවන ආණ්ඩු පක්ෂය නිහඬව අසා සිටියේ ය. සමරවීර මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ කතාව පහත පළවේ.

ගරු කතානායකතුමණි,

රාජපක්ෂ රජයේ 10 වෙනි අයවැය විවාදයටත් සම්බන්ධ වීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. රාජපක්ෂ පාලනයේ 10 වෙනි අයවැය විවාදය මෙන්ම මෙම පාර්ලිමේන්තුව තුළ මෙම පාර්ලිමේන්තුව තුළ මම සම්බන්ධ වන 26 වෙනි අය වැය විවාදය වන අතර 1948 නිදහස ලැබූවායින් පසුව පවත්වන 66 වන විවාදය ද මෙයයි. මේ සෑම අයවැයකදීම ඒ ඒ රජයන් අප රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. බදු වැඩිකරනවා. බදු අඩුකරනවා. මැතිවරණයක් ළංවුනාම ජනතාවගේ හිත දිනා ගැනීම සඳහා විවිධ පොරොන්දු දෙනවා. මේ ලබා දෙන පොරොන්දු යම් ප‍්‍රමාණයක් ඉෂ්ඨ වුවත් ලබාදෙන බොහෝ පොරොන්දු ඉතිහාසයේ කුණු කූඩයට එකතු වෙනවා. සෑම රජයක්ම කොයිතරම් හොඳ චේතනාවෙන් අයවැය ඉදිරිපත් කළත් නිදහස ලබා වසර 66ක් පසුවී ඇතත් ශ‍්‍රී ලංකාව තවමත් ආසියාවේ ඇති පසුගාමී රටක් හැටියට සළකනවා. එදා ආර්ථික සංවර්ධනයෙන් අපට වඩා පිටුපස සිටි කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් ස්වාභාවික සම්පත්වලින් පොහොසත් දක්ෂ බුද්ධිමත් මිනිස් සම්පත්වලින් පිරි ශ‍්‍රී ලංකාවටත් වඩා දියුණු වී පළමු ලෝකයේ ආර්ථිකයන් බවට පත්වී තිබෙනවා.

ගරු කතානායකතුමණි,

වසර 66ක් පුරා අපි මාළිගා තනා ඇත්තේ මුහුදු වැල්ල මතය. ගොඩනැගිල්ලක පැවැත්ම රඳා පවතින්නේ ශක්තිමත් අත්තිවාරමක් මතය. ඒ ආකාරයෙන්ම විවිධ ජන කොටස් ජීවත්වන අප වැනි රටක ශක්තිමත් අත්තිවාරම විය යුත්තේ ජනවාර්ගික සමගිය සහ සහජීවනයයි. එවැනි දිගු කාලීන සමගියක් ලැබෙන තෙක් අප රටට හිමි විය යුතු ආර්ථික දියුණුව කරා ළඟා වීමට කිසිසේත්ම අපට හැකිවන්නේ නැත. මේ අයවැයේ ඇති සෑම යෝජනාවක්ම මීට පෙර පැවැති අනෙකුත් යෝජනා මෙන්ම තාවකාලික තෘප්තියක් ලබා දෙන මිරිඟුවක් බවට පත්වනවා නිසැකය.

අප රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නැති බවට ඝෝෂාකාරී සුළුතරයක් විසින් ඉතිහාසය පුරා වරින් වර ප‍්‍රකාශ කර ඇතත්, අප රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් ලබා නොදී අප රට දියුණුව කරා ගෙනයන්නට නොහැකි බව අපගේ ප‍්‍රබුද්ධ දේශපාලන නායකයන් නිදහස ලබාගන්නටත් ප‍්‍රථම සිට පිළිත්තා වූ කරුණකි.

එක් ජනවර්ගයක් තුළ අනෙක් ජනවර්ගයක් කෙරෙහි බියක් සැකයක්, අවිශ්වාසයක් ඇති වූ සෑම අවස්ථාවේදීම එම තත්ත්වය නැති කර ගැනීමට දේශපාලන වශයෙන් ක‍්‍රියා නොකරන්නේ නම් එය ගැටුමක් දක්වා වර්ධනය වන බවට ඉතිහාසය විසින් අපට පෙන්වා දී තිබේ. අප රටේ ද ඉතා පහසුවෙන් විසඳාගත හැකි භාෂා ප‍්‍රශ්නය අවසානයේදී ජීවිත දස දහස් ගණනාවක් අප රටට අහිමි කර කෲර යුද්ධයක් බවට පත්විය.

අප රට තුළ ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇති බවත් එයට විසඳුම් ලබා නොදී රට දියුණු කරන්නට බැරි බව මුලින්ම ප‍්‍රකාශ කරන ලද්දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා විසිනි. 1926 ජුලි මස 17 වන දින ‘මෝනිං ලීඩර්’ පුවත්පතේ ලිපියක සඳහන් කළේ මේ ආකාරයටය.

”ජාතීන් අතර විශාල වශයෙන් ප‍්‍රභේද හා විවිධතා පවත්නා රටවල මධ්‍යගත ස්වරූපයක ආණ්ඩුක‍්‍රමයක් හඳුනා දෙතොත් එවන් කරදර හා දුෂ්කරතා මතුවනු ඇත.”

මෙසේ කියමින් බණ්ඩාරනායක මැතිතුමා විසින් යෝජනා කරන ලද්දේ නිදහස ලබා ගැනීමෙන් පසුව අප රටට වඩාත් සුදුසු වන්නේ ෆෙඩරල් ආණ්ඩුක‍්‍රමයක් බවයි. ”මේ රටේ ප‍්‍රධාන ජන කොටස් තුන උඩරට සිංහල, පහතරට සිංහල හා දෙමළයි. හැම දෙනාම තෘප්තියට පත් කරන ක‍්‍රමයක් සෙවීම අසීරුය. සැකවින් පවසතොත් ඒ ක‍්‍රමය යනු ෆෙඩරල් ක‍්‍රමයයි.”

එමපමණක් නොව, එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ සහ අප රටට නිදහස ලබාදුන් ඞී.එස්. සේනානායක මැතිතුමාටද මේ රටේ සියලූම ජාතීන් අතර සමගිය තහවුරු කරමින් ශ‍්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීමේ වැදගත්කම දකින්නට තරම් දුර නුවණක් තිබුණි.

1948 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය පිහිට වූ අවස්ථාවේදී එතුමා මෙසේ ප‍්‍රකාශ කරන ලදී.

”මේ පක්ෂයේ වූ අපි දැන් පැවැත්මේ තිබෙන බව විශ්වාස කරනවා. ජාති හා ආගම් භේද අනවශ්‍යය. සිංහල හෝ දෙමළ ජාතික වුවද යෝනක ජාතික හෝ මැලේ ජාතික වුවද බර්ගර් නැතහොත් යුරේෂියන් වර්ගයට අයත් වුවද අප කියන්නේ ‘මෙය අපි ජනිත වූ අපේම භූමිය’ කියාය. බෞද්ධ හෝ හින්දු වුවද මුස්ලිම් හෝ ක‍්‍රිස්තු භක්තිකයකු වුවද අපි කියනුයේ අපේ භූමියට ආශිර්වාද වේවාය යන වචනයයි.”

එපමණක් නොව, ලංකා සමසමාජ පක්ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා මැතිතුමා 1957 ජුනි 17 වැනිදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ”ජාති කිහිපයකින් යුක්ත රටක වැඩි කොටසකින් යුක්ත ජාතිය, නැතිනම් මහා ජාතිය අඩු කොටසකින් යුක්ත සුළු ජාතියේ අයිතිවාසිකම්වලට සුළු වශයෙන්වත් පහර ගැසුවොත් අන්තිමේදී ඒ පහර මහා ජාතියටම වදින ගතියක් පවතිනවා.”

ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක එස්.ඒ. වික‍්‍රමසිංහ මැතිතුමාද 1957 ජුනි 17 වැනිදා පාර්ලිමේත්තුවේ කළ කතාවක කියා සිටියේ, ‘සුළු ජාතිය හා මහා ජාතිය අතර විශ්වාසය පදනම් කරගත් ස්ථීර සමගියක් නැත්නම්, යුද හමුදාවේ සහ පොලිස් හමුදාවේ බලය යොදා භීතිය ඇති කරගත් සමගියක් නොව, නියම සමගියක් නැත්නම්, අපි බලාපොරොත්තු වන දියුණුව ඇති කර ගන්නට බැරි වන බව අපි පිළිගත යුතුයි.’ වශයෙනි.

1926 - 1944 වර්ෂ අතරතුරදී මෙකී කරුණු මුල් කරගෙන අදාළ යෝජනා 04ක් ඉදිරිපත්ව තිබුණි. 1926 වර්ෂයේ දී පළාත් පාලනය සඳහා පත්කළ තේරීම් කමිටුවද 1927 ඩොනමෝර් කමිටුව ද 1940 දී පත්කරන ලද පළාත් පරිපාලනය පිළිබඳ විධායක කමිටුව හා 1948 දී එවකට පළාත් පාලන අමාත්‍යවරයා වූ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා ද බලය බෙදීම සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳ කරුණු සලකා බලන ලදී.

ඉන් පසුව 1957 ජූලි 26 වන දින අප රටේ ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා නිදහස් ශ‍්‍රී ලංකාව තුළ ගෙන එන ලද මුල්ම ගිවිසුම ඉදිරිපත් කරන ලද්දේ බණ්ඩාරනායක මහතා හා චෙල්වනායගම් මහතා විසිනි.

සුළුතරයකගේ ඝෝෂාවට යටත් වූ බණ්ඩාරනායක අග‍්‍රමාත්‍යවරයා අන්තවාදීන්ගේ බලපෑම උඩ මේ ගිවිසුම ඉරා දැමීමට සිදු වුණත් 1965 දී ඩඞ්ලි සේනානායක අගමැතිවරයා විසින් ද චෙල්වනායගම් මහතා සමග නැවතත් ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කළ ද අන්තවාදීන්ගේ ඝෝෂාව ඉදිරියේ එය ද හකුලා ගැනීමට සිදුවිය.

මේ අතරතුර සිංහල අන්තවාදීන් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමට බාධාකරමින් සිටියදී උතුරේ දෙමළ අන්තවාදී දේශපාලනය ද පෝෂණය වෙමින් 1975 දී ඇල්ෆ‍්‍රඞ් දොරෙයප්පා නගරාධිපතිතුමාගේ ඝාතනයත් සමග එම අන්තවාදය මහා ත‍්‍රස්තවාදයක් බවට පරිවර්තනය විය.

මේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය අප රට තුළ බිහි කිරීමේ වගකීම දැරිය යුතු දේශපේ‍්‍රමී යැයි කියාගන්නා සිංහල අන්තවාදීන් ඉන් පසුව කියා සිටියේ, මේ රට ඇතුළේ ඇත්තේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නොව ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් බවත් යුද්ධය පිළිබඳ ප‍්‍රශ්නයක් බවත් ය. දේශපේ‍්‍රමයේ නාමයෙන් 1983 ජූලි මාසයේ ඇති වූ මහා මිනිස් සංහාරය නිසාම වැල්වැටිතුරේ බයිසිකල් කටුවලින් ගොස් සුළු ත‍්‍රස්තවාදී කටයුතුවල නිරත වූ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ. සංවිධානය, ජාත්‍යන්තරයෙන්ම මුදල් ගලාගෙන එන ශක්තිමත් ත‍්‍රස්තවාදී සංවිධානයක් බවට පත්කරන ලදී. එතැන් සිට සිංහල අන්තවාදය නැමැති කාසියේ අනෙක් පැත්ත එල්.ටී.ටී.ඊ. සංවිධානය බවට පත් විය.

මේ රටේ දෙමළ අන්තවාදය සහ ත‍්‍රස්තවාදය සැමවිටම පෝෂණය කරන ලද්දේ දේශපේ‍්‍රමී යැයි කියා ගන්නා සිංහල අන්තවාදීන් බව අපි හොඳින් මතක තබා ගත යුතුයි. අදත් පරාජයට පත්වූ දෙමළ අන්තවාදයට නැවතත් ඔක්සිජන් ලබා දෙන්නට උත්සාහ කරන්නේ ද නැති ඉස්ලාම් අන්තවාදයක් ඇති කරන්නට උත්සාහ කරන්නේ ද අපගේ ශ්‍රේෂ්ට බෞද්ධාගමේ නාමයෙන් සිංහල ජාතිය විකුණා ගෙන කන, ජාතීන් අතර වෛරය වපුරණ අතලොස්සක් විසිනි.

නිදහස් ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් හැටියට පාර්ලිමේන්තුවේ සම්මත වූ 13 වන සංශෝධනය හරහා යම් මට්ටමකින් හෝ මේ රටේ දෙමළ ජනතාවටත් අනෙකුත් සියලූ ජනතාවන්ටත් තමන්ගේ ප‍්‍රදේශය තුළ තීන්දු ගැනීමේ අයිතියක් අඩුපාඩු සහිතව හෝ ලබාදෙන ලදී.

1987 ඉන්දු - ශ‍්‍රී ලංකා ගිවිසුම යටතේ 13 වන සංශෝධනය ගෙනෙන අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන් එයට විරෝධය ප‍්‍රකාශ කළ ද 1994 දී පත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණු රජය පළාත් සභා ක‍්‍රමය හොඳ බවට නිල වශයෙන්ම පිළිගත්තා.

1996 ‘සුදු නෙළුම්’ ව්‍යාපාරයේදී කරන ලද දේශනයේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය මෙසේ ප‍්‍රකාශ කළා.

”1987 ඉන්දු - ශ‍්‍රී ලංකා ගිවිසුම යටතේ 13 වන සංශෝධනය ආ වෙලාවෙත් අපේ සමහරුන් විරුද්ධ වුණා............ දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිඅරන් තියෙනවා පළාත් සභා ක‍්‍රමය හොඳයි කියලා. ඒත් එකේ ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. මෙතෙක් විසඳන්න ප‍්‍රධාන වශයෙන් තැත් කළ දෙමළ, මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න විසඳිලා නැහැ. මේකේ අඩුපාඩුකම් හදලා, මේ කටයුත්ත කරමුයි කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ අපේ රජයේ සියලූම පක්ෂ පිළිඅරන් තියෙනවා.”

1996 මාර්තු මාසයේ දී මේ අදහස එස්.බී. දිසානායක ඇමතිවරයා ද අනුමත කරමින් ඔහුගේ උපදේශකත්වයෙන් මුද්‍රණය කළ ‘බලය බෙදාහැරීම’ යන ග‍්‍රන්ථය මෙහෙම කියනවා.

”දැන් අප විශාල සමාජ තේරුම් ගැනීමක් ලබා තියෙනවා. එදා පළාත් සභාවලට විරුද්ධ වීම වැරදි බව අපි තේරුම් ගෙන තියෙනවා. දැන් ඊටත් වඩා බලය බෙදීමක් අවශ්‍ය බව ක‍්‍රියාකාරීත්වයෙන්ම තේරුම් ගෙන තියෙනවා.”

එපමණක් නොව, ඔහු මෙසේද කියා සිටිනවා.

”බලය බෙදීම අද පවතින ජනවාර්ගික ගැටලූවට එකම ප‍්‍රධාන විසඳුම යන අවබෝධයේ සිට මෙම දේශපාලන යෝජනා ඉදිරිපත් කර තිබේ. එහි අවංකභාවය දෙමළ, සිංහල ජනබහුතරය පිළිගෙන තිබෙන නමුත්, දෙමළ සිංහල අන්තවාදීන් මෙම යථාර්ථය පිළිගැනීමට සුදානම් නැත. ප‍්‍රභාකරන් වැනි දෙමළ අන්තවාදී නායකයින්ටත් නලින්ද සිල්වා, හරිස්චන්ද්‍ර විජේතුංග නැමැති සිංහල ජාතිවාදීන්ටත් මෙම දේශපාලන යෝජනා වහකදුරු වන්නේ එම නිසාය........... අවසානයේ දී ඒ දෙගොල්ලාම එකම පාර්ශවයක් වන බව මගේ හැඟීමයි.”

1996 දී 13 වන සංශෝධනය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ සියලුම දෙනා පිළිගත්තා පමණක් නොව, බලය බෙදා හැරීම ඊටත් වඩා පුළුල්ව විධිමත්ව කළයුතු බවට තීන්දු කලා.

මේ තීන්දුව එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ තීන්දුවක් වුණේ නැහැ. මේ සභාවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට මතක ඇති අපි කළුතර ටැන්ජරින් හෝටලයේ දින තුනක් නැවතී මේ සම්බන්ධයෙන් වාදවිවාද කරලා 13 වන සංශෝදනයටත් වඩා වැඩි බලතල පළාත් සභාවලට ලබාදෙන නව ව්‍යවස්ථාව ඒකමතිකව සම්මත කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව බලය බෙදා හැරීමේ ප‍්‍රතිපත්තිය ඒකමතිකව සම්මත කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත පළාත් සභා සම්මේලනය සහ පළාත් පාලන ආයතනවල මන්ත‍්‍රීවරුන්ගේ සංසදය ද බලය බෙදා හැරීම ඒකමතිකව සම්මත කළා.

මේ සෑම අවස්ථාවක දීම එවකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වර්තමාන ජනාධිපතිවරයා ද විරෝධය ප‍්‍රකාශ කළේ නැහැ. අවසානයේ දී කැබිනට් මණ්ඩලයේදී ද ඒකමතිකව සම්මත වුණා. මම දන්නා හැටියට එදා ඒ සම්මත කරන ලද බලය බෙදා හැරීමේ ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමේ යෝජනාවක් මේ දක්වා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළට ගෙනැවිත් නැහැ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කර යුද්ධය අවසන් වී ඇතත් දීර්ඝ කාලීන සැබෑ සාමයක් අප රට තුළ ස්ථාපිත වී නැත.

යුදමය වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීම සඳහා සම්පූර්ණ වියයුතු කොන්දේසි පහෙන් මුල්ම කොන්දේසිය හැටියට, 1996 ජූලි 02 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කරන ලද දේශනයකදී එවකට ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා හඳුන්වා තිබුණා.

රට දෙකඩ කරන එල්.ටී.ටී.ඊ. සටනට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කරමින් ඔහු මෙසේ කිව්වා.

”එක් පාර්ශවයක විරුද්ධතාවය මැද වෙන්ව යාමේ විසඳුම ක‍්‍රියාත්මක වුවහොත්, එවිට ඇති වනුයේ එකිනෙකට විරුද්ධ, එකිනෙකට වෛර කරන, පසමිතුරු ෆැසිස්ට්වාදී, ඒකාධිපති ආණ්ඩු දෙකක් දෙපැත්තෙන්ම ඇතිවීමයි. අපි එයට කැමැති නොවෙමු. එම නිසා මෙම ප‍්‍රශ්නයට තිබෙනුයේ සමගියේ පදනම මත ඇති කර ගන්නා විසඳුමක් පමණි. එම විසඳුම හැර වෙනත් විසඳුමක් නැත. වෙනත් විකල්පයක් ද නැත...............

ජනාවාර්ගික ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා කොන්දේසි පහක් සම්පූර්ණ විය යුතුය.

1. යුදමය වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම.
2. ද්‍රවිඩ ජනතාව දිනා ගැනීම.
3. දකුණේ සිංහල ජාතිවාදය මතුවීමට ඉඩ නොදීම.
4. ජාත්‍යන්තර සහයෝගය දිනා ගැනීම.
5. දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම.”

ගරු කතානායකතුමණි,

2009 මැයි මාස 18 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරමින් යුද්ධය අවසන් කිරීමත් සමගම ඩිව් ගුණසේකර මැතිතුමා විසින් සඳහන් කර ඇති පළවෙනි කොන්දේසිය සම්පූර්ණ කර ඇතත් එම ජයග‍්‍රහණයේ වාසිය මේ රටටත් ජනතාවටත් ලබා ගැනීමට අප අපොහොසත් වී ඇත. ඩිව් ගුණසේකර මැතිතුමා එදා කිවූ පරිදි අනෙකුත් කොන්දේසි හතර ඉටු කරනවා වෙනුවට සිංහල අන්තවාදීන්ගේ අතකොළුවක් බවට අප පත්වුවහොත් නැවතත් දෙමළ බෙදුම්වාදීන් කවදා හෝ හිස ඔසවනු ඇත.

උතුරට අද සංවර්ධනය නැවතත් ලැබී ඇතත් එහි ජීවත්වන දෙමළ ජනතාවට ජාතියක් හැටියට ඔවුන්ගේ අභිමානය, ගෞරවය ලබා දීමට අප අපොහොසත් වී ඈත. උතුරේ මිලිටරිකරණය, ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීම සිංහල බෞද්ධ සංස්කෘතික ආක‍්‍රමණ වැනි කාරණා නිසා අන්තවාදී විෂබීජවල ගොදුරු බවට තවත් පරම්පරාවක් අනාගතයේදී පත්විය හැක.

දකුණේ සිංහල ජාතිවාදයට ඉඩ නොතැබීම එදා ඩිව් ගුණසේකර මැතිතුමා පෙන්වා දුන් තුන්වැනි කොන්දේසිය වුවද අද සිංහල ජාතිවාදය ඉතිහාසයේ කවදාවත් නොදුටු ආකාරයට පෝෂණය වෙමින් සිටී. බොදුබල සේනා වැනි අන්තවාදී කොටස් අද මේ රටේ සාමකාමීව ජීවත් වූ මුස්ලිම් ජනතාවද අන්තවාදයට තල්ලූ කරමින් සිටිති.

ජාත්‍යන්තර සහයෝගය දිනා ගැනීම වෙනුවට අද මුළු ජාත්‍යන්තරයෙන්ම අපි කොන්ව ඇත. මෙතෙක් මෙරට සිටි සියලූ රාජ්‍ය නායකයන්ට මුලූ ජාත්‍යන්තරයේම විශ්වාසය දිනා ගෙන කටයුතු කරන්නට පුළුවන් වුණා. වොෂින්ටනයේ ධවල මන්දිරය වේවා, චීනයේ ජනාධිපති මැදුර වේවා, එංගලන්තයේ ඩව්නින් ස්ටී‍්‍රට් වේවා ඒ සියලූම දොරවල් අප රාජ්‍ය නායකයන්ට විවෘතව තිබුණත් අද ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී අප රට ජාත්‍යන්තරව හුදකලා වන තත්ත්වයක් ඇති වී ඇත.

පස්වන කොන්දේසිය වූයේ, දේශපාලන විසඳුමක් ලබා දීමයි. රාජපක්ෂ රෙජිමයේ මුල් අවධියේදී එවැනි විසඳුමක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය සැබෑ වුවමනාවක් පෙන්වා තිබුණත් ත‍්‍රස්තවාදයට එරෙහිව ඇති ප‍්‍රබලම ආයුධය දේශපාලන විසඳුමක් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද සඳහන් කර ඇත.

2006 දෙසැම්බර් 06 වෙනිදා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවන ලද ලිපියේ මෙසේ සඳහන් වේ.

”උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සඳහා වූ යෝජනාවලිය හැකිතාක් ඉක්මණින් අවසන් කිරීමට ජනාධිපතිතුමාට දැඩි උවමනාවක් ඇත. එම යෝජනාවලිය දෙමළ පුරවැසියන්ගේ දුක්ගැනවිලිවලට විසඳුමක් විය යුතු බවට ජනාධිපතිතුමා විශ්වාස කරන අතර ත‍්‍රස්තවාදයට විරුද්ධව ගෙන යන සටනේ දී එය ඉතාමත් ශක්තිමත් ආයුධයක් වනු ඇත.” (සභාගත කරමි)

එදා ජී.එල්.පීරිස් ඇමතිතුමා කියපු ආකාරයට, ”යම් තරමක් හෝ බුද්ධියක් තියෙන යථාර්ථය අවබෝධ කර ගැනීමට අවම ශක්තියක් හෝ තිබෙන කිසිම පුද්ගලයෙකුට ජනවාර්ගික ප‍්‍රශ්නයක් නැතැයි කියලා විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. අප රටේ ආවාසනාවකට අද එවැනි අවම බුද්ධියක් තියෙන අයගේ මතය මේ රජය තුළ ජය ගනිමින් සිටිනවා.”

මේ සම්බන්ධයෙන් 2013 ජුනි මස 17 වැනිදා ‘ලංකාදීප’ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡුාවක දී රෙජිනෝලඞ් කුරේ ගරු අමාත්‍යතුමා හොඳ ලස්සනට විග‍්‍රහයක් කරලා තියෙනවා.

එම සම්මුඛ සාකච්ඡුාවේ දී වීරවංශ - චම්පික ඇමැතිවරු කියන කතා ගැන ඔබ මොකද කියන්නේ කියා ප‍්‍රශ්න කළ විට එතුමා මෙහෙම කියනවා.

”පළාත් සභා ගේන කාලෙත් මේ අය කිව්වේ මේනෙක් රට කැඩෙනවාය, ඉන්දියාවේ කොළනියක් වෙනවාය කියා. වසර 25ක් ගියත් එහෙම දෙයක් සිදු වුණාද? .... අදත් ඉක්මණනින් නායකයො වෙන්න, ඉක්මනින් පොරක් වෙන්න නම් මේ ජාතිවාදය, කුලවාදය වගේ පහත් දේ පාවිච්චි කරන අය ඉන්නවා. මේ වගේ වැඩ නිසයි මරාගෙන මැරෙන කොටි බිහිවෙලා රට දෙකඩ වන තරමට උග‍්‍ර වුණේ. ජනාධිපතිතුමා රණවිරුවන්ට නියෝග දීලා ඔවුන් දිවි දීලා ත‍්‍රස්තවාදය නැති කළාට ත‍්‍රස්තවාදය ඇති වූ ප‍්‍රශ්නයට විසඳුම් ලැබුනේ නැහැ. යුද්ධය මහ පොළොවෙ දිනුවත් ඒ ජනතාවගෙ හදවත නම් බිමත් අපි දිනා ගන්න කැපවිය යුතුයි. ඒ වැඩේ අසාර්ථකයි. එහෙම නම් දෙමළ හදවත දිනාගන්න කැපවිය යුතු පසුබිමක ඒ හදවතට පිහි පහරවල් දෙන්න අපි ගියොත් මේ රට සැබෑ ලෙස එක්සත් වේවිද? ඒ මිනිස්සු තුළ විශ්වාසය ගොඩනගලා මේ අපේම රටේ කොටසක් බවට ඔවුන් පත්කර ගැනීමේ වගකීම තියෙන්නේත් දකුණේ අපිටයි. ආණ්ඩුවටයි. ඒ සඳහා අවංක බලය බෙදීමක් අවශ්‍යමයි. සමහරු තම ඡන්ද මල්ල වැඩි කර ගන්න පොරක් වෙන්න මේවට විරුද්ධ වුණත් අන්තිමට වන්දි ගෙවන්න වෙන්නෙ මුළු රටටමයි.”

”කේ.එම්.පී.රාජරත්න ජාතිවාදය කුණු ගඳ ගහන තරමට අවුස්සලා පොරක් වෙලා අන්තිමට කුණු බක්කිය පතුලටම වැටුණා.”

එපමණක් නොව රාජිත සේනාරත්න මැතිතුමා වැනි අයද දිගින් දිගටම 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තම මතය ප‍්‍රකාශ කර තිබෙනවා.

අද අවංක බලය බෙදීමක් වෙනුවට ලබා දීපු සුළු බලයත් උදුරා ගැනීමටයි මේ 19 වන සංශෝධනය ගෙනත් තියෙන්නේ. මේ පනත ගේනවට වැඩියෙන් ම සංතෝෂ වෙනවා ඇත්තෙ, කොහේ හරි ලෝකෙක ඉඳන් බලාගෙන ඉන්න වේලූපිල්ලෙ ප‍්‍රභාකරන්. වේලූපිල්ලෙ ප‍්‍රභාකරන් තමයි අර එස්.බී. එදා පෙන්වා දුන් ආකාරයට බලය බෙදීමේ සංකල්පයට වැඩියෙන්ම විරුද්ධ වුණේ. බලය බෙදීම සඳහා ගත්ත සෑම පියවරක්ම කඩාකප්පල් කරන්න ක‍්‍රියා කළා. නොබෙඳුණු රටක් තුළ ශ‍්‍රී ලංකීය ජාතියක් හැටියට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු කිරීම සඳහා කටයුතු කළ නීලන් තිරුචෙල්වම් මැතිතුමාලා වැනි අය සෑම් තම්බිමුත්තුලා වැනි අය ඝාතනය කළා.

ප‍්‍රභාකරන් දිගින් දිගටම පෝෂණය කළේ අද මරණයේදීද එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී මතය මේ රට තුළ පෝෂණය කරන්නේ ද අර අපි කතා කරපු සිංහල ජාතිවාදී මන්ද බුද්ධිකයන් ය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් තමන්ගේම ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය ජාත්‍යන්තරය ඉදිරියේ සාධාරණීකරණය කරන ලද්දේ තමන්ගේ ප‍්‍රචණ්ඩත්වය නොමැති නම් සිංහල ආණ්ඩු දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය දිහා නොබලන බවත් දීපු අයිතීන් පවා උදුරා ගන්නා බවත් කරන ලද කතා අද මේ රජය විසින්ම මේ ගන්නා ක‍්‍රියාවලියෙන් සත්‍යයක් බවට තවත් දෙමළ පරපුරකට කියමින් සිටිනවා නේද?

එදා දිනා ගත් යුද්ධය සැබෑ දීර්ඝ කාලීන සාමයක් බවට පරිවර්තනය කිරීමට නම් අවශ්‍ය වන්නේ ලබා දීපු සුළු බලයත් උදුරා ගැනීම නොව 13 වන සංශෝධනයෙන් ඔබ්බට යා හැකි විසඳුමකි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us