ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් ලබන මාසයේ එළියට

Published in කලා
Sunday, 03 August 2014 09:08

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුතු බාලචන්ද්‍රන් මුහුණ දුන් ඛේදනීය ඉරණම ඇතුළත් ඉන්දීය සිනමාපටයක් වන පුලි පාර්වෙයි ලබන මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

බොහෝ විට එල්.ටී.ටී.ඊ. කෙරෙහි සානුකම්පිත ස්වරූපයක් දක්වන සිනමාපට කෙරෙහි විරෝධය නැඟෙන්නේ එල්.ටී.ටී.ඊ. විරෝධීන්ගෙන් වුවද මෙවර මෙම සිනමාපටයට තදින් විරෝධය දක්වන්නන් වී ඇත්තේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හා දෙමළ ඩයස්පෝරාවය.

සිනමා අධ්‍යක්ෂ ප්‍රවීන් ගාන්ධිගේ අධ්‍යක්ෂණයෙන් කලඑළි බසින මෙම සිනමාපටයේ පූර්ව දර්ශන ඇතුළත් මුල්ම පටය නිකුත් කෙරුණේ ඉකුත් තෛපොංගල් දිනයේදීය. එතැන් සිටම එල්.ටී.ටී.ඊ.  හිතවාදීන් මෙම සිනමාපටයට දැඩි විරෝධය දක්වන්නට වූයේ එම පූර්ව දර්ශන තුළ බාලචන්ද්‍රන් එල්.ටී.ටී.ඊ.  නිල ඇඳුම් හැඳ අතින් පිස්තෝලයක් ගෙන එල්.ටී.ටී.ඊ.  සෙබළුන් පිරිවරා සිටින දර්ශන ඊට ඇතුළත්ව තිබූ බැවිනි.

මෙසේ බාලචන්ද්‍රන් කොටි හමුදා පුහුණුව ලැබූ කොටි සෙබළකු බව සිනමාපටයෙන් දැක්වීම යථා තත්ත්වය නොදැක්වීමක් බවත්, අසත්‍යයක් බවත් ඊට එරෙහිව කරුණු දක්වන්නෝ කියා සිටිති. බාලචන්ද්‍රන් කිසිදු දිනෙක අවි පුහුණුව නොලැබූ හෙයින් සිනමාපටයේදී කරුණු විකෘති කොට දක්වා ඇති බවටද ඔවුහු චෝදනා කරති.

මේ අතරම තවත් සමහර එල්.ටී.ටී.ඊ.  හිතවාදීන් කියා සිටින්නේ කෘෘර ලෙස ඝාතනයට ලක් වූ බාලචන්ද්‍රන් පිළිබඳව මෙතෙක් තිබූ අවිහිංසක ප්‍රතිරූපයට මෙයින් හානි සිදුවන බවයි. දොළොස්  හැවිරිදි ළමයකුව සිටියදී ඝාතනය වූ බාලචන්ද්‍රන් කොටියකු ලෙස හංවඩු ගැසෙන බවයි.

ඒ හැරෙන්නට 'පුලි පාරවෙයි' සිනමා පටය ළඟදීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චෝදනා විභාග කිරීමට එන එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේද අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ.


කෙසේ වුවද මේ වන විට රැඟුම් පාලක මණ්ඩලයේද අවසරය ලබා ඇති 'පුලි පාරවෙයි' මෙම අගෝස්තු මාසයේ එළිදැක්වෙන බව අධ්‍යක්ෂ ප්‍රවීන් ගාන්ධි කියයි.

ප්‍රවීන් ගාන්ධි පවසන්නේ බාලචන්ද්‍රන් එල්.ටී.ටී.ඊ.  හමුදා ඇඳුම් ඇඳ පිස්තෝලයක් අතින් ගෙන එල්.ටී.ටී.ඊ.  සෙබළුන් පිරිවරා සිටින දර්ශන ඇතුළත් වන්නේ සිනමාපටයේ අවසාන කොටසේ එන සින්දුවේ ජවනිකාවල පමණක් බවයි. ඒ හැරෙන්නට සිනමාපටයේ වෙනත් කිසිදු තැනක බාලචන්ද්‍රන් එල්.ටී.ටී.ඊ.  හමුදා පුහුණුව ලැබූ බවක් හෝ එල්.ටී.ටී.ඊ.  හමුදාවේ සෙබළකුව සිටි බවක් නොකියවෙන බව අධ්‍යක්ෂ ප්‍රවීන් ගාන්ධි කියයි.

මෙම සිනමාපටය සත්‍ය ජීවන තොරතුරු මත ගොඩනැඟුණු වාර්තා සිනමාපටයක් ලෙස පටලවා නොගන්නා ලෙස අධ්‍යක්ෂවරයා විරෝධතා නඟන්නන්ගෙන් ඉල්ලා සිටී. එය විශේෂාංග සිනමාපටයක් වන අතර ලොව පුරා ප්‍රේක්ෂකයාට ග්‍රහණය කරගත හැකි වන පරිද්දෙන් නිමැවීම තම අරමුණ වූ බවද ඔහු මාධ්‍ය හමුවේ කියා තිබේ.

බාලචන්ද්‍රන් ඉතා නිර්භීත ළමයෙක්. අපව සතුරන් විසින් වටකර සිටින විටෙක හා ඔවුන් අපව මරා දැමීමට සූදානම් වන මොහොතක ඔවුන් දුන් කෑම කන්නට අපට හැකිවන්නේ නැහැ. බය නිසා අපේ උගුර කට වේළිලා යාවි. අවසන් මොහොතට පැය කිහිපයකට පෙර ගත් බාලචන්ද්‍රන්ගේ ඡායාරූප බලන්න. එහි ඇස් දෙස බලන්න. ඔහු මොනතරම් නිර්භීත ළමයෙකුදැයි ඒ ඇස්වලින් පෙනෙනවා යැයි අධ්‍යක්ෂ ප්‍රවීන් ගාන්ධි කියයි.

ජීවිත කාලයෙන් ඉතාම කෙටි කාලයක් ජීවත් වූ ඒ දරුවාගේ අනාගතය ගැන සිහින කොහොම වෙන්න ඇත්දැයි කාල්පනිකව කියන්නයි අවසාන සින්දුවේ දර්ශනවලට බාලචන්ද්‍රන් කොටි සෙබළුන් එක්ක සිටින දර්ශන එකතු කළේ. බාලචන්ද්‍රන්ගේ අවසාන මොහොතට පැය කිහිපයකට පෙර ගත් ඡායාරූප මාධ්‍ය මඟින් දුටු වෙලාවේ ඒ නිර්භීත මුහුණ මගේ ඇස ගැටුණු විටම මෙය මගේ ඊළඟ සිනමා පටයේ වස්තු බීජය විය යුතුයැයි මා සිතුවා. ඒ අනුව මා පසුවදාම 'පුලි පාරවෙයි' සිනමාපටයේ වැඩ කටයුතු ආරම්භ කළා.

මගේ කලින් සිනමාපටවලට වඩා වෙනස් ආකාරයෙන් මා අලුත්ම නළු නිළි පිරිසක් යොදවාගෙන 'පුලි පාරවෙයි' කළා. මට ලොකුම අභියෝගය වුණේ බාලචන්ද්‍රන්ට හැඩරුවින් සමාන කොලුවකු සොයා ගැනීමයි. මා බාලචන්ද්‍රන්ගේ ඡායාරූපයක් ළඟ තියාගෙන පිරිමි පාසල් ළඟ එළියේ රස්තියාදු වුණේ එවැනි පිරිමි දරුවකු හමුවේ යැයි බලාපොරොත්තුවෙන්.

අවසානයේදී බලචන්ද්‍රන්ගේ හැඩරුවට බෙහෙවින්ම සමාන පිරිමි දරුවකු මට හමුවුණා. 'පුලි පාරවෙයි' සිනමාපටයේ බාලචන්ද්‍රන්ට පණ පොවන නළුවා සත්‍ය දේව්. සත්‍ය දේව් බාලචන්ද්‍රන් වගේමැයි බොහෝ දෙනා කියනවා.

වෙන්ධාර් මූවිස් සමාගමේ නිෂ්පාදයක් විදියට එළිදකින 'පුලි පාරවෙයි' මුලින්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

(මව්බිම- රු කාරියවසම්)

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us