මට ලැබිය යුත්තේ ගිනි අවියක් නොව ‍පොලිස් ආරක්ෂාවයි-නිලංග සමරසිංහ

Saturday, 25 July 2015 13:47

අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති, වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට මරණ තර්ජන එල්ල වී තිබීම සමාජ අවධානයට වහා ලක්විය යුතු සිදුවීමකි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් පිළිබඳ කළ සමීක්ෂණ වාර්තාවක් පාදක කර ගනිමින් එබඳු පුද්ගලයන්ට නාම යෝජනා දීමෙන් වළකින ලෙස පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමෙහි එක් ප්‍රතිඵලයකි මේ. තම රාජකාරිය, වගකීම සහ යුතුකම හරිහැටි ඉටු කරන්නට යෑම නිසා මීට වසර කීපයකට රටට අත්‍යවශ්‍ය වැදගත් වෘත්තිකයන් කිහිප දෙනකුට ම දිවි පුදන්නට සිදු විය. ඉහළ පොලිස් නිලධාරියකුගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ කුඩු ජාවාරමක් පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ තරුණ පොලිස් නිලධාරියකු ඔහුගේ බිරිය ද සමඟ අතුරුගිරියේ දී වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබූ ලිපි ගොනුව පැහැර ගෙන යන ලදි. කුඩු ජාවාරම්කරුවන්ට එරෙහි ව නිවැරැදි තීන්දු දුන් මහාධිකරණ විනිසුරු අඹේපිටිය මහතා ඔහුගේ නි‍වසෙහි මිදුලෙහි දී ඝාතනය කෙරිණ. රේගුවේ නීති විරෝධී ජාවාරම් මැඬලීමට ක්‍රියා කළ තරුණ රේගු නිලධාරියකු වූ සුජිත් ප්‍රසන්න පෙරේරා මහමඟ දී ඝාතනයට ලක් විය.

වෛද්‍ය නිලංග සමරසිංහ මහතා මුහුණ දී සිටිනුයේ ද බිහිසුණු අභියෝගයකට ය. ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා වහා පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි. අවංක ව කැපවීමෙන් සේවය කරන වෘත්තිකයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීම ජාතික යුතුකමකි. මේ වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

* ඔබට මරණීය තර්ජන එල්ල වන්න පටන් ගත්තේ කවදා සිට ද?

දැන් සති දෙකක් විතර වෙනවා.

* ඊට ආසන්නම හේතුව මොකද්ද?

මත්ද්‍රව්‍ය හා දේශපාලකයන් අතර ඇති සම්බන්ධය පිළිබඳව අප සමීක්ෂණයක් කළා. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් කිහිප දෙනකු අප හඳුනාගත්තා. මේ පුද්ගලයන් හට නාම යෝජනා දීමෙන් වළකින්නැයි පක්ෂ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයයි මේ.

* පක්ෂ ලේකම්වරුන් මේක පිළිගත්ත ද?

එක්සත් ජාතික පක්ෂය ඒ අනුව කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.

* මෙවැනි සමීක්ෂණයක් කිරීමේ හේතුව?

මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් හැටියටයි මෙය ක්‍රියාත්මක කළේ. එම ව්‍යාපාරයේ අරමුණු යහපත් නිසා ඊට දෙන සහයෝගයක් හැටියට අප මෙය ඉටු කළා.

* සමීක්ෂණයේ අරමුණු ඉටු නොවීමට හේතුව කුමක් ද?

අපි අභියෝගය බාර ගත්තේ කරුණු දෙකක් මත. ඉන් පළමු වැන්න යහපත් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම දිරිගැන්වීම. දෙවැනි කරුණ නම් මෙහි දී නිසි ආරක්ෂාවක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. නමුත් ඒක වුණේ නෑ. එ නිසා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලන හා වෙනත් හස්තයන්ගෙන් එල්ල වන තර්ජනවලට අපට මුහුණ දෙන්න සිදුවුණා.

* ඔබේ ආරක්ෂාවට පිස්තෝලයක් ලබා දී තිබෙන බව ඇත්ත ද?

නීතිමය විධිවිධානවල ස්වරූපය අනුව මම ගම්පහ දිස්ත්‍රික් ලේකම් තුමා හමු වුණා. ඔහුගෙන් ලබා ගත් අනුමැතිය සහිත ලියැවිල්ල ආරක්ෂක අමාත්‍යාංශයට බාර දුන්නා. ඒ පිළිබඳ අවදානම් විශ්ලේෂණයක් කර ගිනි අවියක් ලබා දීම සුදුසු දැයි තීන්දු කිරීමෙන් පසු ව එය මට ලැබීමට නියමිත යි.

* මරණ තර්ජන එල්ල වී ඇති අවස්ථාවක අවදානම් විශ්ලේෂණයකට යෑමෙන් ප්‍රමාදයක් සිදු වනවා නේද?

මට තේරෙන්නැති කාරණයත් එකයි. ජීවිත තර්ජනයක් එල්ල වී තිබෙද්දී ආරක්ෂාව පතා මා විවිධ තැන්වලට නොයා යුතු බවත් එය අදාළ ආයතනවලින් නොපමාව විය යුතු වගකීමක් බවත් ආරක්ෂක ලේකම් තුමා මා හට පැවසුවා.

* ඔබේ ආරක්ෂාව සඳහා පිස්තෝලයක් ලබා දීම අනුමත කර ඇති බවත් රාගම පොලීසියෙන් ඔබේ නිවසේ පොලිස් සංචාරක පොතක් ස්ථාපිත කළ බවත් රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් නිවෙස අවට සංචාරය කර අස්සන් තබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණා. මෙහි සත්‍යාසත්‍යතාව කුමක් ද?

මට මරණ තර්ජන පැමිණීම සම්බන්ධයෙන් මුලින් ම රාගම පොලීසියේ පැමිණිල්ලක් කළා. ඉන්පසු මුර සංචාරක පොතක් මගේ නිවසේ ස්ථාපිත කළා. නමුත් දවස් තුන හතරක් යනතුරු පොලීසියෙන් ආවේ නැහැ. මේ වන විට දවසකට වරක් පමණ පැමිණ අස්සන් තබා යනවා. පවතින තත්ත්වය අනුව මෙය කිසි සේත් ප්‍රමාණවත් වන්නේ නෑ.

* ඔබට මෙයින් හැ‍ඟෙන්නේ කුමක් ද?

මට ඇති ජීවිත තර්ජනය එලෙසම යි. මීට පෙර තමන්ගේ රාජකාරි හා වගකීම් හරිහැටි ඉෂ්ට කළ නිලධාරීන් මුහුණ දුන් බියකරු අත්දැකීම් අප දන්නවා. ඒ නිසා, මම යම් උපකල්පනවලට එළඹෙමින් සිටිනවා.

* ඒ මොනව ද?

මට පෙනෙන්නේ මට ආරක්ෂාව ලබාදීම ප්‍රමාද කිරීමේ, මා නොදන්නා ඉහළ හස්තයක් ක්‍රියාත්මක වන බවයි.

* දේශපාලනික වශයෙන් ද?

කිසිසේත් ම නෑ. ජනාධිපති තුමාත් අගමැති තුමාත් අප ඉටු කළ වගකීම හොඳින් ම දන්නවා. ඔවුන් මේ මොහොතේ මැතිවරණ ක්‍රියාවලියට එක්වී සිටින නිසා, මේ ගැන හොයා බලන්න වෙලාවක් නැතුව ඇති. පිටතට නොපෙනෙන හස්තය ක්‍රියාත්මක වන්නේ වෙනත් අංශවලින්.

* ඔබට හොඳට ම විශ්වාස ද?

ඔව්. මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට දේශපාලකයන් පමණක් නො ව තවත් ක්ෂේත්‍ර ගණනාවක බලවතුන් සම්බන්ධ යි. අප කළ සමීක්ෂණයෙන් ඔවුන් තැති ගෙන තිබෙනවා. එ නිසා, ඔවුන්ට ඇති බාධාව ඉවත් කිරීමට උත්සාහ කරනවා විය හැකි යි.

* ප්‍රමාද වී හෝ ඔබට ගිනි අවියක් ලැබීමෙන් ආරක්ෂාව සහතික වේ යැයි විශ්වාස කරනව ද?

නැහැ. ගිනි අවි පරිහරණය අපගේ ජීවිත සමඟ කිසි ම සම්බන්ධයක් නැහැ. හරි නම් විය යුත්තේ පොලිස් ආරක්ෂාව ලැබීම යි.

* ඔබ රාජකාරියට වාර්තා කරන අතර ඔබේ පවුලට ආරක්ෂාවක් තිබෙනවා ද?

මගේ දරුවන් පහුගිය ටිකේ ම පාසල් යැව්වෙ නෑ. බිරිය ඉන්නේත් බියෙන්. සේවයෙන් ඉල්ලා අස්වන්නැයි ඔවුන් මට කියනවා.

දරුවන් වාර විභාගයට පමණක් යවන්න තීන්දු කළා. නමුත් ඔවුන්ට විභාගයට මුහුණ දෙන මානසිකත්වයක් නැහැ. ඔවුන් හිතන්නේ තාත්තගේ ජීවිතය ගැන. මමත් බිරියත් හිතන්නේ දරුවන්ගේ ආරක්ෂාව ගැන.

* ඔබ සේවයෙන් ඉවත් ‍වෙනව ද?

මම හෘදය සාක්ෂියට එකඟ ව රාජකාරිය කළා. රටේ යහපත ගැන සිතලා යහපාලනයට සහයෝගය දීමේ අධිෂ්ඨානයෙන් වගකීමක් ඉටු කළා. දේශපාලන පක්ෂ හා නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින ආයතනවලට ඊළඟ වගකීම පැවරෙනවා. එය හරිහැටි ඉෂ්ට වන්නේ නැත්නම්, මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් තහවුරු වෙද්දී, අපට ජීවිත අහිමි වන්නත් පුළුවන්.

* මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කී දෙනකු හඳුනා ගත්තා ද?

සංඛ්‍යාත්මක අගයක් හරියට ම කියන්න බැහැ. ඊට හේතුව අලුත් අයත් මීට එක්වීම යි.

* ඔබේ සේවා කාලයේ දී මීට පෙරත් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී තිබෙනව ද?

මම වෛද්‍යවරයකු හැටියට වසර 15 ක කාලයක් සේවය කළා. අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලයේ සේවයට පැමිණ මාස කිහිපයයි. මෙවැනි අත්දැකීමකට මුහුණ දුන්නේ මුල් වතාවට.

* විදෙස් රටවල සේවය සඳහා ඔබට ආරාධනා තිබෙනව ද?

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් විවිධ රටවල වැඩ සටහන්වලට මා සහභාගි වී තිබෙනවා. ඒ මීට කලකට පෙරයි, කටාර් රාජ්‍යයෙන් සහ ප්‍රංසයේ ආයතනයකින් මට ආරාධනා ලැබුණා. ඒ රටවල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වලට මා සම්බන්ධ කර ගැනීමයි ඔවුන්ගේ අරමුණ වූයේ.

* විදෙස් ගත වීමේ අදහසක් තිබෙනව ද?

මත්ද්‍රව්‍ය නිවාරණය අපේ රටේ වැදගත්ම විෂයයක්. මේක හරිහැටි නොකළොත් අපේ රට ලොකු විනාශයකට යනවා. මා වඩාත් කැමැති මගේ දැනුම හා අත්දැකීම් මගේ රටේ ජනතාවගේ යහපත පිණිස යෙදවීමට යි. එතෙර ගොස් විශාල ධනයක් ඉපයීමට වඩා මට වැදගත් වන්නේ රට වෙනුවෙන් වැඩ කිරීමට යි.

දැන් එල්ල වී තිබෙන ගැටලුව විසඳුණේ නැත්නම් අකමැත්තෙන් වුවත් තීන්දුවක් ගැනීමට සිදු වෙනවා.

* මේ රටේ ජනතාවට ඔබට කීමට ඇත්තේ කුමක් ද?

හෘදය සාක්ෂියට එකඟ ව රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මා මගේ වගකීම ඉටු කළා. සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම සතුටක්. නමුත් මේ නිසා මගේ බිරියට හා දරුවන්ට අනතුරක් උනොත්, එය මගේ ජීවිතයට අනතුරක් වීමට වඩා බිහිසුණු අපරාධයක්. මා නිසා ඔවුන් විපතකට වැටීම මට දරා ගත නොහැකි යි.

තිඹිරියාගම බණ්ඩාර

silumina

සබැදි පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් හෙළි කළ වෛද්‍ය නිලංගට මරණ තර්ජන

 

Last modified on Saturday, 25 July 2015 13:50

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us