මරණ 14යි! 12 ක් අතුරුදහන්!!

Published in පුවත්
Saturday, 27 December 2014 09:05

දිවයින පුරා දිගටම පවතින ධාරානිපාත වර්ෂාව නිසා හටගත් ජල ගැලීම් හා නායයැම්වලින් පුද්ගලයන් දහහතර දෙනකු මියගොස්‌ තවත් දොළොස්‌ දෙනකු අතුරුදන් වී ඇත. විපතට පත්වූ පිරිස හයලක්‌ෂ හැටනවදහස්‌ පන්සියයක්‌ පමණ වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

පොලිසිය, ආපදා කළමනාකරණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්‌ව අතුරුදන් වී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ඊයේ (21 දා) ක්‍රියාත්මක කර තිබුණි.

ගල්කන්ද, කරුණාපොල ප්‍රදේශයේ මවක හා පුතෙකුද, හෑගොඩ ප්‍රදේශයේ තිදෙනකුද, පුවක්‌ගොඩමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකුද, පහළගම ප්‍රදේශයේ පුද්ගලයකුද මෙලෙස මියගිය පිරිස්‌ අතර සිටින අතර බදුල්ල, රිල්පොළ ප්‍රදේශයේ නිවාස පහක්‌ නායයැමට හසුවී එහි සිටි තිදෙනකු මියගොස්‌ දසදෙනෙක්‌ අතුරුදන්ව සිටිති.

මෙම ආපදා තත්ත්වය නිසා ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී බවක්‌ ඇතිවී තිබූ අතර අයහපත් කාලගුණික තත්ත්වය නිසා අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුද අසීරු වී ඇතැයි "දිවයින" කළ විමසීමකදී බදුල්ල දිසාපති කාර්යාලය පැවසීය.

මහවැලි ජලාශ දොළහක්‌, වාරිමාර්ග ජලාශ හැට එකක්‌ සහ මධ්‍ය ජලාශ එකසිය හැටක්‌ පෙරේදා (26 වැනිදා) වන විට වාන් දැමීම නිසා එම ජලාශ පහළ ජීවත් වන අයට අවධානයෙන් සිටින ලෙසද ආපදා කළමනාකරණ හා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශ සඳහන් කර සිටී.

මාතලේ, බදුල්ල, අම්පාර, නුවරඑළිය, පොළොන්නරුව, මඩකළපුව, අනුරාධපුර, කුරුණෑගල, මන්නාරම ඇතුළු දිස්‌ත්‍රික්‌ක රැසක ජල ගැලීම් නිසා මාර්ග ගමනාගමනයට බාධා සිදුවීම නිසා රාජ්‍ය හා පුද්ගලික ආයතන රැසකම කටයුතු මෙන්ම ගමනාගමන කටයුතුද අඩාල වී තිබිණි.

ජල ගැලීම් හා නායයැම් නිසා කොටුවූ ජනතාව බේරාගැනීම සඳහා නාවික හමුදාව ඇතුළු සහන කණ්‌ඩායම් රට පුරා මෙහෙයුම් දියත් කර තිබූ අතර තබ්බෝව ප්‍රදේශයේ පුද්ගලයන් හැත්තෑපහක්‌ද, පන්සල්ගොඩැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දහනවයක්‌ද, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පුද්ගලයන් විසිඑක්‌දෙනෙක්‌ද, රාජාංගණ ප්‍රදේශයේ පුද්ගලයන් තිස්‌නවදෙනකුද, නොච්චියාගම පුද්ගලයන් විසිහයදෙනකුද, සුංගාවිල ප්‍රදේශයේ පුද්ගලයන් හයදෙනකුද, මදුක්‌රේ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකුද, කඩිකාව ප්‍රදේශයේ පුද්ගලයන් පහළොස්‌ දෙනකුද, කටුපොත ප්‍රදේශයේ පුද්ගලයන් පහළොස්‌ දෙනකුද වශයෙන් පුද්ගලයන් දෙසීය හැත්තෑනවදෙනකු බේරා ගැනීමට සහන සේවකයන් සමත්ව සිටිති.

ආපදාවට පත්ව අවතැන්ව සිටින පිරිසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම, වෛද්‍ය පහසුකම් සැලසීමට දිසාපති කාර්යාල හරහා සිදු කරන අතර නාවික හමුදාව ඇතුළු සහන කණ්‌ඩායම් එම ප්‍රදේශවල තවදුරටත් රඳවා සිටින බවද ඒ ඒ දිසාපති කාර්යාල සඳහන් කර සිටී.

අයහපත් කාලගුණික තත්ත්වය පහව යන තෙක්‌ ප්‍රධාන ජලාශ හා පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවද දිසාපතිවරු දන්වා සිටිති.

* පොලොන්නරුව

පොලොන්නරුව, තමන්කඩුව, දිඹුලාගල, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්‌ගොඩ, ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට අයත් ග්‍රාමනිලධාරි වසම් 110 ක පිහිටුවා තිබෙන තාවකාලික කඳවුරුවල පවුල් 39 කට අයත් පුද්ගලයෝ 8974 දෙනකු අවතැන්ව ලැගුම් ගෙන සිටින බව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකය කියයි.

පොලොන්නරුව දුම්රිය ස්‌ථානයේ සිට මනම්පිටිය දුම්රිය ස්‌ථානය දක්‌වා මාර්ගයේ වාහන ගමනා ගමනය ඊයේ (26 දා) දිනය වන විට දින 08 ක්‌ තිස්‌සේ මුළුමනින්ම නතරවී පවතී.

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ පොලොන්නරුව දුම්රිය ස්‌ථානයේ සිට මනම්පිටිය දක්‌වා දුම්රිය මාර්ගය ස්‌ථාන ගණනාවක්‌ ජලයෙන් යටවී ඇත. එහි ජල මට්‌ටම අඩි 01 ත් අඩි 11/2 ත් අතර බව පොලොන්නරුව පොලිසිය කියයි.

එහෙත් එම මාර්ගයේ විශේෂ දුම්රියක්‌ පොලොන්නරුව සිට මනම්පිටිය දුම්රිය ස්‌ථානය අතර ධාවනය කෙරෙන බව පොලොන්නරුව දුම්රිය ස්‌ථානයේ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.

පොලොන්නරුවේ සිට මහවැලි ගඟෙන් එගොඩ පිහිටි වැලිකන්ද දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස වෙත වාහන ගමනා ගමනය කෙරෙන ප්‍රධාන සැපයුම් මාර්ගය වන පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය දැනට සතියකට වැඩි කාලයක්‌ තිස්‌සේ ඇනහිට ඇත.

මාතලේ

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ නගර සහ ගම්මාන කීපයක්‌ ජලයෙන් යට වී තිබේ. ප්‍රධාන මාර්ග ගණනාවකට පස්‌ කඳු, ගල් කුට්‌ටි සහ ගස්‌ කඩාවැටීම නිසා ප්‍රවාහන සේවා මුළුමණින්ම නතර විණි.

පල්ලේපොල ඔය පිටාර ගැලීමෙන් පල්ලේපොල නගරය ජලයෙන් යටවූ අතර මාතලේ දිය බුබුල ඇළ පිටාර ගැලීමෙන් ඒ දෙපස නිවාස, සේවා ආයතන මෙන්ම ඔය පහළ ප්‍රදේශයේ නිවාස ගණනාවක්‌ ජලයෙන් යටවී තිබිණි.

වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගය

පෙරේදා හක්‌ගල, මල්වත්ත අසල සිදුවූ නායයැමක්‌ නිසා අවහිරව තිබූ වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ එම ස්‌ථානයේම ඊයේ අලුයම (26 දා)

3.00 ට පමණ යළි විශාල නායයැමකට ලක්‌විය. මේ සමග වැලිමඩ - නුවරඑළිය මාර්ගයේ මහගස්‌තොට ප්‍රදේශයේ මාර්ග ගිලා බැසීමක්‌ද සිදුව තිබේ.

හක්‌ගල කඳුවැටියේ සිදුවූ මුල් නායයැමේ පස්‌

25 දා සවස්‌ වන විට ඉවත් කර වාහන ගමනාගමනයට ඉඩ සලසා දී තිබියදී මෙසේ යළි නායයැමක්‌ සිදුවූ බව නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් බී. පී. ජී. කුමාරසිරි මහතා සඳහන් කළේය. මෙම වැසි තත්ත්වය පහවන තුරු මේ මාර්ගයේ වාහන ගමනාගමනය අනතුරුදායක බවද ඔහු කීවේය.

එසේම මේ වන විට නුවරඑළියට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ලටම පස්‌ කඳු කඩාවැටී ඇත. නුවරඑළිය මහනුවර මාර්ගයේ ලබුකැලේ, බ්ලැක්‌වුඩ් ප්‍රදේශයේ හා නුවරඑළිය - හැටන් මාර්ගයේ බංගලාහත ප්‍රදේශයේ මේ අයුරින් මාර්ග වේලි නායගොස්‌ තිබිණ.

අලව්ව

අලව්වේ ජලය පිරීගිය කුඹුරු යායක (26 දා) පිහිනීමට ගිය පාසල් ශිෂ්‍යයෙක්‌ දියේ ගිලී මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි සුමුදු සූරියබණ්‌ඩාර (16) නමැති ශිෂ්‍යයෙකි. කොළඹ ප්‍රදේශයේ පාසලක 12 වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්‌ බව අලව්ව පොලිසිය පවසයි.

මියගිය ශිෂ්‍යයා ඇතුළු ඥතීන් පිරිසක්‌ රිටිගල භාවනා මධ්‍යස්‌ථානයෙහි පිංකමකට සහභාගි වී ආපසු අලව්ව ප්‍රදේශයේ ඥති නිවසකට පැමිණ ඇති අතර එහිදී අනතුර සිදුවී ඇත. මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් අලව්ව ප්‍රදේශයේ කුඹුරු ඇතුළු ඇළ දොළ ගංගාවන් ජලයෙන් පිරීගොස්‌ ඇත.

කන්තලේ

ත්‍රිකුණාමලය, කන්තලේ හා තඹලගමුව, සේරුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල වැව් සියල්ල පිටාර ගැලීමෙන් ජන ජීවිතය අඩාල වී ඇත. ත්‍රිකුණාමලයේ පහත් බිම් රැසක්‌ද ජලයෙන් යටවී තිබිණි.

කන්තලේ මහ වැවේ ජලය වානට උඩින් දැමීම නිසා දොරටු සියල්ලම අඩි 4 බැගින් ඊයේ (26 දා) උදෑසන සිට විවෘත කළ බවත්, කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර වැවේ ජල මට්‌ටමද වානට ආසන්න වීමෙන් එහි ජල සොරොව්ව ඊයේ (26 දා) විවෘත කිරීමට සිදුවූ බවත් වාරි ඉංජිනේරු නිපුන බුද්ධික මහතා කීවේය. මෙම වැවේ ජලය පිටාර ගලන ඇළ දෙපස සිටින රජ ඇළ, වෙන්ඩ්‍රාසන්පුර වැසියන්ට අනතුරු ඇඟවීම් ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් දැනුම්දුන් බවත් ඔහු කීවේය.

කෑගල්ල

කෑගල්ල විකල්ප මාර්ගයට පස්‌ කඳු කඩාවැටීම නිසා එම මාර්ගයේ වාහන ධාවනයට බාධා සිදුවී ඇත. කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගය, කෑගල්ල - අවිස්‌සාවේල්ල මාර්ගය, කෑගල්ල - ගලපිටමඩ යන මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ පවුල් 174 කට අයත් පුද්ගලයන් 513 දෙනකු ඊයේ (26 දා) සවස්‌ භාගය වන විට අවතැන් වී ඇතැයි දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂක මනමේන්ද්‍ර ජගත් මහතා සඳහන් කරයි. මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා කෑගලු දිස්‌ත්‍රික්‌කයේ පූර්ණ හානියට පත් නිවාස සංඛ්‍යාව 06 කි. අර්ධහානි නිවාස සංඛ්‍යාව 26 කි.


රුවන්වැල්ල

ගුරුගොඩ ඔය හා රිටිගහ ඔය පිටාර ගැලීම නිසා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පවුල් 90 කට අයත් පුද්ගලයන් 340 ක්‌ පමණ ඊයේ (26 දා) වන විට අවතැන් වී ඇතැයි ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ මහතා පැවැසීය.

දොරණුව, ගෝණාරඹ හා කන්නත්තොට යන ග්‍රාම නිලධාරි වසම්වලට අයත් මෙම පුද්ගලයන්ට මූදුගමුව කනිටු විදුහලේ, අඟුරුවැල්ල පෙර පාසලේ හා ඉඹුලාන පුස්‌තකාලයේ මෙන්ම ඥතීන්ගේ නිවෙස්‌වලත් නේවාසිකව පහසුකම් සලස්‌වා ආහාර පාන හා පානීය ජලය සැපයීමට පියවර ගෙන ඇත.

දිවුලපිටිය

මා ඔය පිටාර ගැලීමෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දෙල්ගොල්ල වත්ත, රන්දිම නාල්ල, දියගම්පොල, කොටදෙනියාව, වැලිහිඳ ආදී ගම්මානවල නිවාස 60 ක්‌ පමණ ජලයෙන් යටවී ඇත. කොටදෙනියාව නගරයද ඊයේ (26 දා) සවස වනවිට ජලයෙන් යටවිනි. 1978 වසරෙන් පසු එම නගරයට ගංවතුර බලපෑ ප්‍රථම අවස්‌ථාව මෙයි වෙයි.

දැදුරුඔය

දැදුරුඔය ජලාශයේ ජල මට්‌ටම ඉහළ ගොස්‌ ඇත. මේ හේතුවෙන් ජලාශයේ දොරටු හතක්‌ විවෘත කර තිබේ.

ගංවතුර තත්ත්වය ඉහළ යැමෙන් හලාවත, පල්ලම, ආරච්චිකට්‌ටුව යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළ ගංවතුර ආපදා තත්ත්වයක්‌ ඇතිවිය හැකි බවටද එම මධ්‍යස්‌ථානය අනතුරු හඟවා ඇත.

බදුල්ල අරාව

බදුල්ල අරාව ප්‍රධාන මාර්ගයේ අරාව වංගුව අසල දැවැන්ත පස්‌ කන්දක්‌ කඩා වැටීමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු මුළුමනින්ම නතරවී තිබේ.

නිවසක්‌ අසල නාය යැමෙන් නිවසට හානි වී ඇති අතර නිවැසියන් එළියට පැන දිවි බේරාගෙන තිබේ.

ලොක්‌ගල්ලා ඔය හරහා පිහිටි පාලම් දෙකක්‌ යටවීමෙන් බදුල්ල, කළුගහකදුර සහ මීගහකිවුල - අරාව මාර්ග වලද ගමනා ගමන කටයුතු නතර වී තිබිණි.

මාර්ග අවහිරවීම නිසා ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනද වසා දැමීමට සිදුවිය.

හැඩඔය

අම්පාර හැඩඔය පිටාර ගැලීම හේතුවෙන් පොතුවිල පානම ප්‍රදේශය මුළුමනින්ම වාගේ ජලයෙන් යටවී මාර්ග රැසක ගමනා ගමන කටයුතු ඇන හිට ඇත.

පානම කුරුළු ගම්මානය, අබේසිංහපුර, ශාස්‌ත්‍රවෙල ඇතුළු ගම්මානවල නිවාස සියල්ලම වාගේ ජලයෙන් යටවී ඇති අතර පවුල් 1596 ක පුද්ගලයන් 5864 ක්‌ අවතැන් වී ඇත.

ලාහුගල වැවේ වැව් බැම්ම කැඩීයැමේ අවදානමක්‌ ඇති බවට වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ දැනුම්දීම අනුව ඒ අවට පදිංචිකරුවන් ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු යොදා ඇත.

කටුගස්‌තොට

මහනුවර දිස්‌ත්‍රික්‌කයට 25 වැනිදා රාත්‍රිය පුරා ඇද හැළුණු දැඩි වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගලා පේරාදෙණිය ගන්නොරුව යුද හමුදා කඳවුර ආසන්නයේ ඇති නිවෙස්‌ 6 ක්‌ පමණ ජලයෙන් යටවී ඇත.

එසේම ගන්නොරුව - කටුගස්‌තොට මාර්ගයේ ස්‌ථාන ගණනාවක්‌ නාය යැම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.

මේ අතර කටුගස්‌තොට රණවන - මැදවල මාර්ගයේ බෞද්ධ බල මණ්‌ඩලය ආසන්නයේ ස්‌ථාන 2 ක්‌ පිඟා ඔයට නාය ගොස්‌ ඇත.

පසුබිම් වාර්තා( කරුණාරත්න ගමගේ - පොළොන්නරුව, මින්නේරිය - සුජිත් කරුණාරත්න, ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි, අම්පාර - සුසන්ත අමරබන්දු, මාතලේ - නිමල් ගුණතිලක, වැලිමඩ - අර්නි දඹදෙණිය, නාඋල - නිමල් කණහැර, මහරච්චිමුල්ල - සිසිර සරත් අබේකෝන්, කුරුණෑගල - බණ්‌ඩාර, කඩුගස්‌තොට - එස්‌. එදිරිසිංහ, ස්‌ප්‍රිංවැලි - චන්දන දිසානායක, කෑගල්ල - එම්. බී. පහළවත්ත, රුවන්වැල්ල - විමලරත්න සමරක්‌කොඩි, ඌරගස්‌මංහන්දිය - නිශ්ශංක සංජීව, අරලගංවිල - රොෂාන් තුෂාර, කන්දකැටිය - චතුරංග, හලාවත අධිකරණ - බී. යූ. ගුණපාල, පුත්තලම - නලීන් හෙන්දුරුගොඩ, ලාහුගල - ගයාන්.

(දිවයින)

Last modified on Saturday, 27 December 2014 09:08

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us