ජනතාවාදී විස්මිත තෙලිතුඩ අද නිසලයි

Published in පුවත්
Wednesday, 29 July 2015 09:43

අඩ සියවසකට අධික කාලයක් ලාංකීය චිත්‍රකතා රසික රසිකාවියන්ගේ හද මනස සැනසු දයා රාජපක්ෂ අසහාය චිත්‍රකතා ශිල්පියා දැන් අප අතැර ගොසිනි. එහෙත් ඔහුගේ නිර්මාණ කිසි දිනක අප හදවත් තුළින් නොමැකෙන බව සපථ කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කර සිටී.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය පහතින් දැක්වේ.

සිත්තර කතා කලාවට අපූර්ව ලතාවක් එක් කළ විස්මිත තෙලිතුඩක් අද නිසල ය. ඒ කාටුන් හා චිත්‍ර කතා කලාවේ පුරෝගාමියකු වූ දයා රාජපක්ෂ මහතා ය. චිත්‍රයෙන් පමණක් නොව කතා රසයෙන් ද සහෘද හදවත් ඇද බැඳ ගත් ඔහු කාලීන සමාජ සංසිද්ධි තේමා කොට ගනිමින් චිත්‍ර කතාවට නව මානයක් හඳුන්වා දුන් ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි.

ලේක්හවුස් ආයතනයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරඹූ රාජපක්ෂ මහතා දිගු කලක් විජය පුවත්පත් සමාගමේ ද සේවය කර ඇත. 1966 වසරේ සිළුමිණ පුවත්පතේ “ඉන්දු” චිත්‍ර කතාවෙන් චිත්‍ර කතා කලාව ආරම්භ කළ ඔහු, ලේක්හවුස් ආයතනයේ ප්‍රථම චිත්‍ර කතා පත්තරය වන “සතුට” පත්තරයේ නිර්මාණ හරහා අතිමහත් රසික ප්‍රජාවක ආකර්ෂණය දිනා ගන්නට සමත් විය.

දයා රාජපක්ෂයන් ගේ ජනප්‍රිය චිත්‍ර කතා රාශියක් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය බවට පත්වන්නේ එම නිර්මාණ සතුව පැවති කතා රසයෙන් අනූන විශිෂ්ඨ සිනමාත්මක ගුණය හේතුවෙනි. එතෙක් එකම කෝණයකින් සිතුවම් ගත වුණු චිත්‍ර කතාව, විවිධ කෝණයන්ගෙන් නිර්මාණය කිරීමේ හැකියාව සහ එහි ප්‍රබලත්වය මුල්වරට හඳුන්වා දුන්නේ ඔහු ය. ඒ අනුව එකම රූපය වුවද විවිධ පැතිකඩවලින් දකිමින්, අදිමින් සිනමාරූපී බව චිත්‍ර කතාව තුළම ගොනු කරන්නට ඔහු සමත් විය.

දයා ගේ චිත්‍ර මෙන්ම දෙබස් හා කතාව ද ප්‍රබල ය. සමාජයේ පහළ ස්ථරවල කොන් වූ චරිත තම කතාවල ප්‍රධාන භුමිකා කොට ගත් ඔහු කාලීන සමාජ තේමාවන් නිර්මාණවලට වස්තු විෂය කොට ගත්තේය. රොබෝ චරිතයක් මුල් කරගනිමින් “ආදර කොමා” චිත්‍ර කතාව දයා නිර්මාණය කරන්නේ නවීන තාක්ෂණය ලක්දිව සමාජයට ආගන්තුකව පැවති වටපිටාවකදී ය.

“සමාජ සමයං”, “මඩිස්සලේ” වැනි නිර්මාණ තුළින් ඔහු කාලීන දේශපාලන සමාජ සංසිද්ධි හාස්‍යය මුසු විවේචනාත්මක දෘෂ්ටියෙන් ඉදිරිපත් කළේ දක්ෂ මාධ්‍යවේදියෙකුගේ භූමිකාවට මනාව ප්‍රවිශ්ට වෙමිනි.

“වානරයෝ”, “සක්විති සුවය”, “හුලවාලි”, “රක්තා” සිනමාවට නැගුණු ඔහුගේ චිත්‍ර කතා අතර අග්‍රගණ්‍ය නිර්මාණ වේ. දයා රාජපක්ෂ දක්ෂ තිර රචනා ශිල්පියෙකි. “සක්විති සුවය, “රක්තා” සසර චේතනා, හුලවාලි වැනි තිර රචනා හරහා ඔහුගේ අපූර්ව ලේඛන හැකියාවට ද මනා නිදසුන් ය. හුලවාලි චිත්‍රපටයේ තිර රචනය සඳහා ඔහු O.C.I.C සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

දශක පහකට අධික කාලයක් නිර්මාණ ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කළ, චිත්‍ර කතා කලාව ජනතාවගේ සමීප මාධ්‍යයක් බවට පත් කළ දයා රාජපක්ෂ මහතා සැබවින්ම ජනතාවාදී කලාකරුවෙකි. ඔහුගේ වියෝ වීමෙන් වේදනාවට පත් පවුලේ සැමට, ඥාති හිත මිත්‍රාදීන්ට මාගේත්, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත්, බලවත් ශෝකය ප්‍රකාශ කරමින්, දයා ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

Connet With Us