අවිවාහක කාන්තාවන්ටත් ගැබ්ගෙල පිළිකා හැදෙනවද?

Published in Gossip
Tuesday, 23 December 2014 17:19

කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගයන් ලෙස පියයුරු හා ගැබ්ගෙල පිළිකා හඳුන්වන්න පුළුවන්. ප්‍රජනන පද්ධතිය ආශ්‍රයෙන් ගත්විට බහුලව ම ඇතිවන පිළිකාමය තත්ත්වය වෙන්නේ ගැබ්ගෙල පිළිකාවයි.

මෙය විද්‍යාත්මකව "කැන්සර් ඔෆ් ද සර්වික්‌" (Cancer of the Cervix) ලෙස හඳුන්වනු ලබයි. බටහිර කාන්තාවන්ට වඩා ආසියාතික කාන්තාව මෙම පිළිකාමය තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි වේ.

මෙම පිළිකාමය තත්ත්වයෙන් මිදීමට තරුණ කාන්තාවන් වෙනුවෙන් වර්තමානය වනවිට එන්නතක්‌ නිෂ්පාදනය කර තිබේ. විශේෂම කාරණය වන්නේ මෙම පිළිකාව වෛරසයක්‌ මගින් වැළඳෙන බව මේ වනවිට සනාථ කරගෙන තිබීමයි. මෙම පිළිකාව මුල් අවධියේදීම  පැප් (pap) නම් පරීක්‌ෂණය හරහා හඳුනා ගත හැක. මෙම පරීක්‌ෂණය හේතුවෙන් පූර්ව පිළිකා තත්ත්වය, පිළිකාවක්‌ බවට පත්වීමට පෙර ප්‍රතිකාරවලට යොමුවෙන්නට හැකියාව තිබේ. නමුත් අවාසනාවකට පැප් පරිකෂණය සඳහා කාන්තාවන් යොමු නොවීමත්, මෙම එන්නත ලෝකයේ නිෂ්පාදනය කළේ පසුගිය අවුරුදු පහ ඇතුලත වීමත් නිසාවෙන් තවමත් ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල කාන්තාවන් මරණයට හෝ අසාධ්‍ය තත්ත්වයට පත්කරන මූලික පිළිකාවක්‌ බවට මෙය පත්වෙලා.

මෙම ගැබ්ගෙල පිළිකාවලට හේතුවන වෛරසය "හියුමන් පැපිලෝමා" (Human papilloma virus) ලෙස හඳුන්වනු ලබයි. නැතිනම් HPV ලෙසත් මෙය හඳුන්වයි. මෙම වෛරසයේ විවිධ අනුකාණ්‌ඩ (Subtypes) තිබේ.

මෙහිදී ගැබ්ගෙල පිළිකාවලට සම්බන්ධ වෙන්නේ විශේෂයෙන් මෙම අනුකාණ්‌ඩවලින් 16 සහ 18 වන ඒවාය. මෙම වෛරසය ලිංගික සංසර්ගයේදි පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන්නට පුළුවනි. මෙම වෛරසය තිබෙන සියලු දෙනාටම ගැබ්ගෙල පිළිකාවක්‌ ඇති නොවුණද, එහි 16 සහ 18 කාණ්‌ඩ තිබෙන පුද්ගලයන්ට විශේෂයෙන් මෙම පිළිකාව ඇතිවෙන්නට තිබෙන හැකියාව ඉහළයි.

මෙහිදී වෙන්නේ ගැබ් ගෙලෙහි තිබෙන විශේෂ සෛල ස්‌ථරයේ සෛලවල න්‍යෂ්ටියට මෙම වෛරසය ඇතුලුවීමෙන්. එම න්‍යෂ්ටියේ ඇතිවන යම් යම් වෙනස්‌වීමකින් එම සෛල පිළිකාකාරක සෛල බවට පත්වීමයි. මෙම සෛල එකට එකතු වී පටකයක්‌ ලෙස ගොඩ නැගීමෙන් මෙය පැතිරෙන පිළිකාවක්‌ බවට පත්වෙන්නට ගනී. ගැබ්ගෙල පරීක්‌ෂණය හෙවත් පැප් පරීක්‌ෂණය මගින් අපට පූර්ව පිළිකා හෙවත් සෛලවල ඇතිවන වෙනස හඳුනා ගැනීමේ හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් ආසියාතික කාන්තාවන් පළමු ලිංගික සංසර්ගයෙන් පසුව අවුරුදු 3 ක ට වතාවක්‌ හෝ එසේත් නොමැති නම් අවුරුදු 35 ක්‌ වූ පසුව අවුරුදු 3 කට වතාවක්‌ වයස අවුරුදු 70 දක්‌වා පැප් පරීක්‌ෂණය සඳහා යොමුවෙනවා නම් ඉතාම හොඳයි.

සාමාන්‍යයෙන් මෙම පිළිකාව ලිංගික සංසර්ගයේ නොයෙදුණු අවිවාහක කාන්තාවන්ට වැළදෙන්නට නොහැකියි. දැනට ලංකාවට හඳුන්වාදී ඇති නවතම එන්නත මගින් මෙම තත්ත්වය බොහෝ දුරට වළක්‌වා ගන්නට පුළුවනි. අවුරුදු 16 දී විතර තරුණ කාන්තාවන්ට ලිංගික සංසර්ගයේ යෙදීමට පෙර මෙම එන්නත ලබාදීමෙන් සියයට අනූවක්‌(90%) පමණ මෙවැනි පිළිකා වලක්‌වා ගැනීමේ හැකියාව තිබේ.

නමුත් ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසු මෙවැනි එන්නතක්‌ ලබාගැනීමේ ප්‍රතිඵලයක්‌ නැහැ. වෙනත් විදිහකින් කිව්වොත් පිළිකාමය තත්ත්වයෙන් ඉවත් වෙන්නම බැහැ. ගැබ්ගෙල පිළිකාවල ඇතිවන පූර්ව පිළිකාමය තත්ත්වය සාමාන්‍ය අවුරුදු 5 ත් 10 ත් 15 ත් අතර කාලයක්‌ තිබීමෙන් පසුවයි පැතිරෙන පිළිකාමය තත්ත්වයක්‌ බවට පත්වෙන්නේ. ගැබ්ගෙල පූර්ව පිළිකාමය තත්ත්වය අපි අලුතෙන්ම වර්ගීකරණය කරනවිට ලෝ ගේ්‍රඩ් (Low grade) සහ හයි ග්‍රේඩ් (High grade) ලෙස වර්ග කරනු ලබයි.

මෙවැනි පූර්ව පිළිකා ඉතා සුළු ප්‍රතිකාරයක්‌ වන කොල්පොස්‌කොපි (Colposcopy) පරීක්‌ෂණය මගින් සහ එයට සමානව යන ආසාධිත සෛල ඉවත් කිරීම මගින් (බයොප්සි) ඇතැම් වෙලාවට සුවකර ගැනීමේ හැකියාවක්‌ තිබේ. අපට ගැබ්ගෙල පිළිකාවක අවස්‌ථාවන් හතරක්‌ හඳුනා ගන්න පුළුවනි. මෙහි පළමු සහ දෙවන අවස්‌ථාවලට ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර කළ හැකි අතර තුන, හතර තත්ත්ව වලට විකිරණ සහ ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.

මෙම 3, 4 අවස්‌ථාවල ගැබ්ගෙල පිළිකා අවස්‌ථා තිබෙන රෝගින්ගේ ජීවිත කාලය ඉතා අඩුවීමක්‌ දක්‌නට ලැබෙන නමුත් වාසියකට තිබෙන්නේ ගැබ්ගෙල පිළිකා පරික්‌ෂණය මගින් මුල් අවස්‌ථාවේ පිළිකාව හඳුනා ගැනීමෙන් සුවකළ හැකිවීමයි.

ගැබ්ගෙල පූර්ව පිළිකාවල කිසිදු රෝග ලක්‌ෂණයක්‌ දක්‌නට නොලැබේ. උපකරණයක්‌ යොදා ගැබ්ගෙල දෙස පියවි ඇසෙන් බැලුවත් මෙහි වෙනසක්‌ දක්‌නට නොලැබේ. මෙය නිශ්චිතවම සොයාගත හැකිවන්නේ පැප් පරික්‌ෂණය මගින් පමණි.

මෙය පිළිකාමය තත්ත්වයට වර්ධනය වූ විට දුර්ගන්ධයක්‌ සමග යෝනි මාර්ගයෙන් ස්‍රාවයක්‌ පිටවීම, ලිංගික සංසර්ගයට පසු ඇතිවන ලේ වහනය, කොන්ද සහ ශ්‍රෝණි ප්‍රදේශයේ ඇතිවන වේදනාව දැකගන්නට පුළුවනි. මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්නේ පිළිකාව බොහෝ පැතිරීමකට ලක්‌වීමෙන් පසුවයි.

මෙවැනි පිළිකා සාමාන්‍යයෙන් හිස ඔසවන්නට පටන් ගන්නේ කාන්තාවගේ වයස 45 විතර ගත වූ පසුවයි. බහුලව ම කාන්තාවන් මෙම තත්ත්වයට ගොදුරු වන්නේ වයස 55-65 අතරදි යි. නමුත් සමහර ගැබ්ගෙල පිළිකා අපි දැක ඇත්තේ තරුණ කාන්තාවන්ට හෙවත් අවුරුදු 30-35 අතර කාන්තාවන්ට ඇති වී තිබෙන අවස්‌ථාවන්. ගැබ්ගෙල පිළිකාවන් පිළිබඳව සංඛ්‍යාත්මකව කතා කරනවා නම් සෑම වසරක ම ලක්‌ෂ 5 ක්‌ පමණ නැත්නම් මිලියන භාගයක්‌ පමණ කාන්තාවන් මෙම රෝගයෙන් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන බවයි සංඛ්‍යාවලින් වාර්තා වෙන්නේ.

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us