රනිල් එනවා නම් සජිත්ට මොකද වෙන්නේ ? ධම්මිකට මොකද වෙන්නේ?   Featured

Wednesday, 27 December 2023 11:05

සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඊයේ(26) ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්වෙන නමුත් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයෙකු නොවන බවයි.

“පසුගිය ජනාධිපතිවරණ දෙකකින් පරාජයට මුහුණ දුන් වත්මන් ජනාධිපතිවරයාගේ තීරණය ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පැහැදිලියි. 2016 දී, තවත් අලාභයක් අපේක්ෂාවෙන්, ඔහු උපායශීලීව ඒ වෙනුවට වෙනත් අයෙකු නම් කළේය. ඉන්පසුව, ජයග්‍රහණයේ විභව ලකුණු පෙනෙන්නට තිබියදීත්, ඔහුගේ සීමාවන් හඳුනාගෙන, ඔහු වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඔවුන්ගේ සාර්ථකත්වය මත බලයට පත් විය," මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය. එසේම මෙවර ඔහු ජනාධිපති ලෙස පත් වූයේ තනිකර වාසනාව නිසා යැයිද වැඩිදුරටත් පැවසීය.

මරික්කාර් පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, වික්‍රමසිංහට තම ටිකට් එකෙන් තරඟ කිරීමට ඇති කිසිදු අවස්ථාවක් නැති බවත් පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇති බව පෙනී යන බවත් ඔහු පවසයි. කෙසේ නමුත් පොදුජන පෙරමුණ එවැනි නිල තීරණයක් මෙතෙක් ගෙන නැත.

''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා මහතා තෝරා ගැනීමත් සමඟ වික්‍රමසිංහ මහතාට කිසිදු පක්ෂයක් යටතේ තරග කිරීමට නොහැකි වී තිබෙනවා. ඔහුට එජාප ධජය යටතේ තරග කිරීමට උත්සාහ කළ හැකි නමුත් නියත වශයෙන්ම පරාජයට පත් වනු ඇත. රටේ පවතින තත්ත්වය අනුව තරුණයන් වික්‍රමසිංහ වැනි වියපත් දේශපාලනඥයකුට ඡන්දය නොදෙනු ඇත,'' යනුවෙන්ද මරික්කාර් කියා සිටියේය.

වයස අවුරුදු 65 ට අඩු නව ජනාධිපතිවරයකු රටට තේරී පත් වනු ඇතැයි පුරෝකථනය කරන මන්ත්‍රීවරයා, එයින් අදහස් කළේ සජිත් ප්‍රේමදාස ගැනය. සජිත්ට වඩා අනුර කුමාර ජනප්‍රිය බැවින් මේ දෙකටදිවාරේ කියන්නේ අනුර කුමාරද ගැනද විය හැකිය. කෙසේ නමුත් රට මුහුණ පා තිබෙන් තත්වයන් හමුවේ ඊට සාර්ථකව මුහුණ දීමට වැදගත් වන්නේ තරුණකම හෝ වයෝවෘද්ධකම නොවේ. නිවැරදි වැඩපිළිවෙලක් තිබීමය. ඒ අනුව දැනටමත් ජනපති රනිල් අතිශය සාර්ථකය. ඔහුගේ වැඩපිළිවෙලට විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට සජිත් හෝ අනුර හෝ වෙනත් කිසිවකුත් මෙතෙක් සමත්ව නැත.

කෙසේ නමුත් මරික්කාර් පවසන දෙයෙහි යටි පෙළ අදහස නම් රනිල් පොහොට්ටුවේ සහයත් ගෙන සන්ධානයකින් ඉදිරිපත් වන්නේනම් සජිත්ට හෝ අනුරට අවස්ථාව නැති බවය. කොහොමටත් මේ මොහොතේ සජිත් ප්‍රේමදාස සිටින්නේ ජයග්‍රාහී තැනක නොවේ. එසේම සජබයේ විශාල පිරිසත් ජනපති රනිල්ගේ වැඩපිළිවෙලට සහය දීමට තීරණය කර ඇති මොහොතකි.

මේ අතර පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිලනොවන ආකාරයට නම් කොට සිටින කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා හට එම පක්ෂයෙන් කොන්දේසි 10ක් ඇතුළත් ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්ථා වී ඇත. මෙම කොන්දෙසි බැලු බැල්මටම පොහොට්ටුවේ වාමාංශික ජාතිකවාදී ස්ථාවරය ප්‍රකාශයට පත්වන්නකි. ඒ අනුව මෙම කොන්දේසිවලට ධම්මික පෙරේරාට එකඟ විය හැකි නම් ඒ යළි රට බංකොළොත් කිරීම හැර ඔහුට සිදු කළ හැකි දෙයක් නොවන බව පැහැදිලිය. කෙසේ නමුත් මෙම කොන්දේසි පිළිගැනීම ධම්මික පෙරේරාට අවංකවම මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍යතාවයක් තිබේනම් කළ නොහැක. එසේම ඔහුට හෝ වෙනත් අපේක්ෂකයකුට පිළිගත නොහැකි කොන්දේසි දමා අවසානයේ රනිල් අපේක්ෂකයා ලෙස පිළිගැනීම වෙනුවෙන් මෙම කොන්දේසි ඉදිරිපත් කිරීම වුවාද යන්න ගැනත් සැකයක් ඇතිවේ.

මෙම කොන්දේසි තුළ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැන හෝ ප්‍රායෝගික පළදායි කොන්දේසි කිසිවක් මෙහි නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතාවයට සිදුවන්නේ කුමක්ද යන්න සඳහන් නැත. රටේ ණය අර්බුදයට විසඳුමක් ගැන නැත. රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීම ගැන කිසිවක් නැත. ජනතාව පීඩනයෙන් මුදවා ඔවුන් සවිබලගැන්වීම ගැන කතා කරන්නේ නැත. දැනට සමාජය තුළ වන වාම ජාතිකවාදීන්ගේ යම් යම් ජනප්‍රිය ඉල්ලීම් කිහිපයක් පමණක් මෙයට පදනම් කරගෙන ඇත.

එම කොන්දේසි 10 පහත දැක්වේ.

ජනාධිපතිවරණයේදී 51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන සමග සන්ධානගත වීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුය.

ලෝකයේ අනෙකුත් රටවල් සමග තරග කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් රටේ සිසු පරපුරට ලබාදීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. එමෙන්ම ලෝකයේ ඕනෑම රටක රැකියාවක නිරත විය හැකි පරිදි මෙරට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට උසවා තැබිය යුතුය.

ගොවි ජනතාව සඳහා ලබාදෙන පොහොර සහනාධාරය වැඩිකිරීම, නව දෙමුහුන් බීජවර්ග හඳුන්වාදීම තුළින් අස්වනු වැඩිකිරීම, පාංශු පරීක්ෂණ පත‍්‍රිකාව (soil health cards) පදනම් කරගත් පොහොර නිර්දේශ ක්‍රමයක් හඳුන්වාදීම යනාදිය ඔස්සේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කරමින් ස්මාර්ට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුය

ග්‍රාමීය ප්‍රදේශවල සහ නාගරික ප්‍රදේශවල දිළිඳුකම තුරන්කිරීම සඳහාත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම සඳහාත් එම ප්‍රදේශවලට මුදල් ගලා එන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඒ අනුව ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල ජනතාවට රැකියා දස ලක්ෂයක් බිහිකරන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඉහත වැඩපිළිවෙලවල් වලින් සෑම පුද්ගලයකුටම නිශ්චිත ආදායම් මාර්ගයක් ලබාගැනීමට හැකි බව සහතික කිරීම

ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි කළ යුතු අතර ආර්ථිකය ප්‍රසාරණය කළ යුතුය. ඒ සඳහා දේශීය සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගනිමින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල සකස් කළ යුතුය.

බඩු මිල සහ ජීවන වියදම ජනතාවට දරාගත හැකි මට්ටමක් දක්වා අඩු කළ යුතුය. දැනට ජනතාව මත දැඩි පීඩනයක් ඇතිවන පරිදි පනවා ඇති VAT බද්ද අඩු කළ යුතුය.

රජය සතු ව්‍යාපාර හෝ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය නොකළ යුතුය. එමෙන්ම දැනට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ලාබ ලබන තත්වයට පත්කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. සියලුම මහජන සේවාවන් සඳහා ඒකාබද්ධ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාවක් පිහිටුවිය යුතුය. වංචා සහ දූෂණ සිදු නොවන පරිදි රජයේ සියලුම මිලදී ගැනීම් සහ ටෙන්ඩර් පටිපාටි සඳහා ලෝකයේ වෙනත් රටවල මෙන් විනිවිදභාවයෙන් යුතු මහජනයාට තොරතුරු දැකගත හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතුය. වංචා සහ දූෂණ පිටුදැකීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේදී පළමු 1000 අතරට ගෙන ඒම සඳහා එම විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම රැකියා විරහිත උපාධිධාරීන් නැවත බිහි නොවීම සඳහා එම විශ්වවිද්‍යාලවල පාඨමාලාවන් ජාත්‍යන්තර රැකියා වෙළඳපොලට ගැලපෙන පරිදි සකස් කළ යුතුය.

සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවට වසරකට සංචාරකයින් ලක්ෂ 50ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සහිතව ඊට අදාළ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය.
ශ්‍රී ලංකාවට යළි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන පරිදි ඩොලර් ඉපයීමේ උපායමාර්ග සහිත නිශ්චිත නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂත්වය හිමිවන්නේ මෙම සියලුම කොන්දේසි සම්පූර්ණ කළ හැකි අපේක්ෂකයකුට පමණක් බව එම පක්ෂය දැනුම් දී ඇත.

මේ අනුව මෙම කොන්දේසි පිළිගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමම විහිළුවකි. මේ අනිවාර්යයයෙන්ම පොදු ජන පෙරමුණේ දෙකඩවීම උත්සන්න කිරීමකි. අසාර්ථක වු වැඩපිළිවෙලක් දිනවීම වෙනුවෙන් සහය වී යළි ගෝඨා පාලන සමයේ මෙන් අත්දැකීම් විඳගන්නට එම පක්ෂයේ සිහි බුද්ධියක් ඇති පිරිස කැමැති වන්නේ නැත. මේ අනුව රනිල් මිස වෙනත් අපේක්ෂකයකුට රට ගොඩගැනීම සඳහා නිශ්චිත වැඩ පිළිවෙලක් හෝ හැකියාවක් නැති බවත් පැහැදිලිය.

- සුජය

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us