බිල් පතේ සැඟවුනු මාරයා, පරිස්සමෙන් ගනුදෙනු කරන්න Featured

Monday, 01 April 2024 13:54

අප භාන්ඩයක් හෝ සේවාවක් මුදල් ගෙවා ලබා ගන්නා විට අප වෙත බිල් පතක් ලබා දේ. එය පාරිභෝගික අයිතියකි.

වෙළඳ සැල්වලින් ලබා දෙන බිල්පත් පත් සහ ATM ,CDM යන්ත්‍රවලින් නිකුත් කරන බිල්පත් වලින් සෞඛ්‍ය අවදානමක් විය හැකි බව ඔබ දන්නවාද ?


අපි සිල්ලර බඩු ,බෙහෙත් වට්ටෝරු, , ඇඳුම් පැළඳුම්, ආපනශාලා ආහාර සහ තවත් බොහෝ දේ මිල දී ගන්නා විට අපට ලැබෙන රිසිට්පත් බොහෝ විට තාප රිසිට්පත්ය. (thermal receipts) ඇතැම් වෙළඳ සැල් වල භාවිතා වනුයේ තීන්ත මගින් මුද්‍රණය කරනු ලබන රිසිට්පත් ය. ඒවායේ සෞඛ්‍ය අවදාවමක් නොමැත. අවදානම ඇත්තේ තාප රිසිට් පත් වලය.


තාප රිසිට්පත් හඳුනා ගන්නේ කෙසේද ?


එය ඉතා පහසුවෙන් හඳුනා ගත හැකිය. තාප කඩදාසි සුදු පැහැතිය. සිනිඳු දිලිසෙන නිමාවකින් යුතු වන අතර කාසියකින් සීරීමට ලක් කල විට හෝ රළු මතුපිටක ඇතිල්ලූ විට කළු වර්ණය මතු වේ. තද උණුසුමකට සමීප කල විටද මතුපිට ආලේප කර ඇති රසායනික තට්ටුව පිලිස්සී ඊට යටින් ඇති කළු පැහැය දිස්වේ.ඇතම් කඩදාසි වල තද නිල් වර්ණය මතුවේ. ඇතැමුන් ෆැක්ස් පේපර් ලෙස හඳුන් වන්නේ ද මෙම තර්මල් පේපර් ය.
මෙහි අඩංගු හානි කාරක රසායනික ද්‍රව්‍ය වන්නේ බිස්ෆෙනෝල්-ඒ (Bisphenol-A) වේ ‍.මෙය කෙටියෙන් BPA ලෙස හඳුන්වයි. BPA මෙය බහු-ක්‍රියාකාරී ද්‍රව්‍යයක් වන අතර බහුලව භාවිතා වන්නේ දෘඩ පොලිකාබනේට් ප්ලාස්ටික් හෙල්මට් , ඇස් කණ්ණාඩි කාච සහ සමහර ජල බෝතල් , ගම් වර්ග , සීලන්ට්, ආහාර කෑන් ලයිනිං වල සහ ගිනි නිවන ද්‍රව්‍ය වලය. සමහර නිෂ්පාදකයින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන වලින් BPA ඉවත් කර ඇත; නිදසුනක් වශයෙන්, "BPA-free" ලෙස අලෙවි කරන ජල බෝතල් තිබේ.
තාප කඩදාසි වල මතුපිට රසායනික තට්ටුවේ අඩංගු ප්‍රධාන සංගටකය BPA වේ. සමහර තාප මුද්‍රණ කඩදාසි මත BPA වෙනුවට බිස්ෆෙනෝල් එස් (Bisphenol-S) (BPS) නම් රසායනිකයක් ආලේප කර ඇති අතර එයද මීට සමාන ප්‍රථිපල ගෙන දේ. BPA සහ BPS යනු තාප සක්‍රීය මුද්‍රණ ක්‍රියාවලියට ( Thermally activated printing process) සහාය වන රසායනිකයන් වේ. තාප කඩදාසි සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවායේ වර්ග සෙන්ටිමීටරයකට මයික්‍රො ග්‍රෑම් 54-79 අතර මට්ටම්වල BPA අඩංගු බව සොයා ගෙන තිබේ..

"වසර ගණනාවක් තිස්සේ භාවිතා කරන ලද පොලිකාබනේට් වතුර බෝතලයකින් පිටවන මුළු BPA ප්‍රමාණයට වඩා වැඩි BPA ප්‍රමාණයක් තනි තාප කඩදාසි කුවිතාන්සියක ඇත" යනුවෙන් හරිත රසායන විද්‍යාව (Green Chemistry)සඳහා වූ Warner Babcock ආයතනයේ සභාපති ජෝන් වෝනර්,(John Warner Ph.D.)පවසයි.


BPA ශරීර ගත වන්නේ කෙසේද ?


බිස්ෆෙනෝල් පහසුවෙන් සම හරහා ශරීරයට අවශෝෂණය වේ . මෙම බිස්ෆෙනෝල් සම හරහා පහසුවෙන් අවශෝෂණය වන්නේ සමේ අණු වලට වඩා මෙම රසායනික අණු ( estradiol) කුඩා වන බැවිනි.අත් සනීපාරක්ෂක ( Hand sanitizer) භාවිතා කර ඇති විට මෙම අවශෝෂණය ඉතා අධික වේ. මීට අමතරව මෙම රිසිට් පත් අතපත ගෑමෙන් පසු ආහාර ගැනීමෙන් මුඛ මාර්ගයෙන් ද ශරීර ගත වේ.

අප BPA ගැන සැලකිලිමත් විය යුතු ඇයි?


මිනිසුන් BPA ගැන සැලකිලිමත් වීමට එක් හේතුවක් වන්නේ BPA වලට මිනිසුන් නිරාවරණය වීම පුලුල්ව පැතිරී තිබීමයි. 2003-2004 ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ සමීක්ෂණය (NHANES III) රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් පවත්වන ලද අතර, වයස අවුරුදු හය සහ ඊට වැඩි පුද්ගලයින්ගේ මුත්‍රා සාම්පල 2517 න් 93% ක BPA හඳුනාගත හැකි මට්ටමේ තිබී සොයාගෙන ඇත. සමහර අධ්‍යයනයන්ට අනුව BPA වලට නිරාවරණය වන කලල සහ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍යට බලපෑම් වාර්තා කරන නිසා, විශේෂයෙන්ම දෙමාපියන් මේ ගැන සැලකිලිමත් වීමට ඉතා වැදගත්ය.සමහර පර්යේෂකයන් පෙන්වා දෙන්නේ බොහෝ මිනිසුන් රිසිට් පත් මඟින් BPA සඳහා වැඩියෙන්ම නිරාවරණය කරන බවයි. මෙම රිසිට්පත් හැසිරවීමෙන් පසු රුධිරයේ පෙන්වන BPA ප්‍රමාණය වැඩි වන බව සොයාගෙන ඇත. එයට හේතුව මුඛ මාර්ගයෙන් ශරීරගත වූ BPA අක්මාව හරහා ගමන් කරන අතර එහිදී එය පරිවෘත්තීය වී මුත්‍රාවලින් බැහැර කරනු ලැබේ. චර්මය හරහා ශරීරගත වන බිස්ෆෙනෝල් අක්මාව මගින් පරිවෘත්තීය නොකෙරේ . සමහර පර්යේෂකයන් පවසන්නේ තාප කඩදාසි හැසිරවීමෙන් පසු පුද්ගලයෙකුගේ මුත්‍රා මිලිලීටරයක BPA නැනෝ ග්‍රෑම් 20 ක් පමණ තිබූ බවයි .අධ්‍යයනවලින් පෙනී යන්නේ මුදල් අයකැමියන්ගේ ශරීරයේ අනෙකුත් වෘත්තීන්හි යෙදෙන අයට වඩා BPA මට්ටම ඉහළ මට්ටමක පවතින බවයි. අපේ රටේ සෞඛ්‍ය අංශ මේ ගැන දැනුවත්දැයි අප දන්නේ නැත.


බිස්ෆෙනෝල් මඟින් මිනිස් සිරුරට වන බලපෑම

බිස්ෆෙනෝල් මඟින් මිනිස් සිරුරට වන බලපෑම කිසිසේත්ම සුළු කොට තැකිය හැකි දෙයක් නොවේ. බිල්පත් නිකුත් කරන සේවකයින් මෙන්ම පාරිබෝගිකයන් ද මෙම අවධානමට ලක්වේ. මෙම රසායනිකය සෘජුවම අන්තරාසර්ග පද්ධතියට බලපෑම් ඇති කරයි.ඉහළ මට්ටම් වෙනස් වූ තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය, තරබාරුකම, දියවැඩියාව, හෘද රෝග, අක්මාව සහ වකුගඩු ක්‍රියාකාරිත්වය අඩාල වීම ,ප්‍රතිශක්තිය අඩු වීම, පිරිමින්ගේ කාමාශාව අඩුවීම, ( Low levels of libido)ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු වීම, පුරස්ථි ග්‍රන්ථි පිළිකා සහ වෙනස් වූ ලිංගික හෝමෝන සාන්ද්‍රණ ඇතිවීම සොයා ගෙන ඇත. කාන්තාවන් තුළ, වඳභාවය, ගබ්සාව, නොමේරූ දරු උපත් සහ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් පවතී . ගර්භනී හෝ කිරි දෙන කාන්තාවන් හෝ දරු ප්‍රසූතිය බලාපොරොත්තුව සිටින කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. BPA නිසා කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනයේ අසාමාන්‍යතා ඇතිවීමේ වැඩි අවදානමක් පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. එය estrogen හි ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් අනුකරණය කරන බැවින්, වර්ධනය වන දරුවන් BPA වලින් විශාලතම අවදානමට මුහුණ දෙන අතර අනෙක් විශාලතම අවදානමට මුහුණ දෙන කණ්ඩායම වන්නේ යොවුන් වියේ පසුවන පිරිසයි.

අපේ රටේ ඇතැම් සුපර්මාකට් කරුවන් තම පාරිභෝගිකයින් ප්‍රචාරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ අරමුණින් තම වෙළඳසැලේ නම මුද්‍රණය කරන ලද අඩුමිල සින්තටික්ස් අමුද්‍රව්‍ය වලින් සාදන ලද බෑග් ලබා දේ . ඒවායින් කරනවාට වඩා වැඩි පරිසර විනාශයක් මෙම රිසිට් පත් පරිසරයට මුදා හැරීම මඟින් පරිසරයට සිදුවේ.


මෙම අවධානම අඩු කර ගැනීමට අප කල යුත්තේ කුමක්ද ?


හැකි සෑම විටම රිසිට්පත් භාර නොගන්න.
ඔබට රිසිට්පතක් අවශ්‍ය නම්, පසුපස පැත්ත පමණක් ස්පර්ශ කිරීමට උත්සාහ කරන්න. එහි ඉතා අඩු BPA අඩංගු වේ.
ඔබට අනිවාර්යයෙන්ම කුවිතාන්සිය අවශ්‍ය නම්, එය ලියුම් කවරයක් හෝ කඩදාසි කවරයන් තුල තබන්න. නිසි විටක ඔබේ අත්, සාක්කුව, මුදල් පසුම්බිය, හෝ අත් බෑගය , ඔබේ මුදල් පසුම්බියේ ඇති නවන මුදල් අතර මෙම රිසිට් පත් ‌නොතබන්න .
රිසිට්පතක් ස්පර්ශ කිරීමෙන් පසු ඉක්මනින් ඔබේ අත් සෝදන්න. සබන් හා ජලය සමග ස්ක්‍රබ් කරන්න. ඔබ විනාඩි හතරකට වඩා වැඩි කාලයක් බලා සිටියහොත් ඔබ ප්‍රමාද වැඩියි.
මෙම තාප රිසිට්පතක් ස්පර්ශ කිරීමෙන් පසු හෝ පෙර අත් සනීපාරක්ෂක Hand sanitizer භාවිතා නොකරන්න. මෑත පරීක්ෂණයකදී, වෛද්‍ය වොම් සාල් සහ ඔහුගේ කණ්ඩායම පෙන්නුම් කළේ අත් සනීපාරක්ෂක, හිරු ආවරණsunscreen සහ මොයිස්චරයිසර් වැනි දෑ භාවිතයෙන් පසු සිරුරට අවශෝෂණය කරගෙන රුධිර ගත වූ BPA මට්ටම් 185 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මෙම නිෂ්පාදනවල බොහෝ විට "චර්ම විනිවිද යාම වැඩි දියුණු කරන" රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර එමඟින් නිෂ්පාදනවල ක්‍රියාකාරී අමුද්‍රව්‍ය බෙදා හැරීම වැඩි දියුණු කිරීම සඳහා සමේ ආරක්ෂිත බාධක බිඳ දමයි. ඒ තුලින් BPA ද ඉතා පහසුවෙන් ශරීර ගත වෙයි.
ඔබ මුදල් අයකැමියෙකු හෝ ඔබේ රැකියාවට රිසිට්පත් නිතර හැසිරවීමට අවශ්‍ය නම් රබර් අත්වැසුම් Latex glovesපළඳින්න. රිසිට්පත් ඇල්ලූ අතින් කෑම නොගන්න. අපේ රටේ ඇතැම් වෙළඳ සැල් වල මුදල් අයකැමියන් තම නියපොත්තෙන් බිල්පතේ සලකුණු කරනු අප දැක තිබේ . මෙය ඉතා අවධානම් ක්‍රියාවකි . කිසි විටක එසේ නොකරන්න .
පාරිභෝගිකයාට භාර දීමට පෙර මුද්‍රිත පැත්ත ඇතුලට නමන්න. එක් පැත්තක පමණක් මුද්‍රණය කළ හැකි තාප කඩදාසි සාමාන්‍යයෙන් මුද්‍රිත පැත්තේ වැඩි රසායනික ද්‍රව්‍යයන් ඇත.
රිසිට්පත් හැසිරවීමේදී අතින් මුව ස්පර්ශ කිරීමෙන් වළකින්න . රිසිට්පත් රෝල් හෝ තාප මුද්‍රණ යන්ත්‍ර ස්පර්ශ කිරීමෙන් පසු කෑමට පෙර අත් හොඳින් සෝදන්න.
ඇල්කොහොල් මත පදනම් වූ පිරිසිදුකාරක භාවිතා කිරීමෙන් පසු හෝ ආහාර හෝ දියර වලින් දෑත් තෙත් හෝ තෙල් සහිත විට රිසිට්පත් ඇල්ලීමෙන් වළකින්න.දෑත් සහ රිසිට්පත් වියළිව තබා ගන්න.
කිසිවිටෙක ළදරුවන්ට හෝ කුඩා දරුවන්ට තාප රිසිට්පත් ලබා නොදෙන්න.
සමහර වෙළඳසැල් වල බාර් කෝඩ් මුද්‍රණය කල හැකි තරාදි භාවිතා වේ. එම මුද්‍රිත ස්ටිකරයේද BPA අඩංගු වේ.ඒ්වා අලවන සේවකයින්ද සෘජුවම BPA වලට නිරාවරණය වේ.
ඔබ වෙළඳසැල් හිමියෙක් නම් තම සේවකයින්ට සහ පාරිභෝගිකයින්ට විය හැකි හානිය අවම කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය. BPA බිල්පත් වෙනුවට BPA අඩංගු නොවන බිල්පත් භාවිතා කරන්න.ඔබට තාප කඩදාසි කුවිතාන්සි භාවිතා කළ යුතු නම්, රිසිට්පත් ස්පර්ශ කිරීමේදී, රිසිට්පත් රෝල් යන්ත්‍රයට සවි කිරීමේදී හෝ මුද්‍රණ යන්ත්‍ර පිරිසිදු කිරීමේ දී පැළඳීමට ඔබේ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත අත්වැසුම් ලබා දෙන්න. දැනට ඇති බිල්පත් මෘදුකාංග සියල්ලගේම පාහේ විද්‍යුත් බිල් නිකුත් කිරීමේ පහසු කම් ඇත. විද්‍යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවිඩයක් හරහා කඩදාසි රහිත රිසිට්පතක් නිකුත් කරන්න . මෙය බොහෝ සිල්ලර වෙළෙන්දන් තුළ වැඩි වැඩියෙන් වාසි ලබා ගත හැකි විකල්පයකි. කඩදාසි හා මුද්‍රණ යන්ත්‍ර සඳහා යන පිරිවැය ඉතිරි වේ. ඒවා භාවිතා කරන්නට උනන්දු වන්න.
McGill university වෙබ් අඩවිය මෙසේ පවසයි . අපි පරිදි එක්සත් ජනපද ප්‍රාන්ත 22 ක සහ කොලොම්බියා දිස්ත්‍රික්කයේ ප්‍රධාන දාම වෙළඳසැල් 144 කින් රිසිට්පත් 374 ක් පරීක්‍ෂා කළෙමු. වඩාත් සුලභ වූයේ සිල්ලර වෙළඳසැල්, අවන්හල් සහ විශාල තොග වෙළඳසැල් ය. මෙම සමාගම් අතර bisphenol (BPS හෝ BPA) රිසිට්පත් භාවිතය 2017 දී 93% සිට 2022 දී 80% දක්වා අඩු වී ඇති අතර bisphenol නොවන විකල්ප භාවිතය 2% සිට 20% දක්වා වැඩි වී ඇත. BPA මත පදනම් වූ රිසිට්පත් සම්පූර්ණයෙන්ම පාහේ BPS මගින් ප්‍රතිස්ථාපනය කර ඇති බව ද අපට පෙනී ගියේය.
කුවිතාන්සියක් සහ ඩිජිටල් රිසිට්පත් විකල්ප ලබා දීමෙන් ව්‍යාපාර සඳහා මුද්‍රණ ලදුපත් ප්‍රථමයෙන්ම අඩු කිරීම හොඳම විසඳුම බව අපි අවධාරණය කරමු.
මේ තත්වය බොහෝ රට වල පාලනය කරමින් සිටී . 2023 මුල් භාගය වන විට, වොෂිංටන් ප්‍රාන්තයේ පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රිසිට්පත්වල බිස්ෆෙනෝල් භාවිතය තහනම් කිරීමට යෝජනා කර ඇති අතර එසේ කරන ඇමරිකාවේ පළමු ප්‍රාන්තය වනු ඇත. එසේම, කැලිෆෝනියාවේ සභා මන්ත්‍රී ෆිල් ටිං විසින් බිස්ෆෙනෝල් රිසිට්පත් වල තහනම් කිරීමට සහ පාරිභෝගිකයින්ට රිසිට්පත් රහිත විකල්පයක් තෝරා ගැනීමට ඉඩ සලසන ලෙස වෙළඳසැල් සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර ඇත. අපේ රටේ ද මෙම තාප බිල්පත් භාවිතය මේ වන විට සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත. බස් ටිකට් එකේ සිට සුපිරි වෙළඳසැල් , සුපිරි වෙළඳසැල් අනුකරණ 'නමට සුපර් 'වෙළඳ සැල් ,සිල්ලර වෙළඳසැල් දක්වා තාප රිසිට් පත් භාවිතය පැතිරී ඇත.මෙය පාලනය කිරීමට රජය මැදිහත් විය යුතු බව අපගේ අදහසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන ජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුතුය. තවද පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන වලටද සමාජ මාධ්‍ය හරහා විශාල කාර්යභාරයක් මේ සම්භන්ධයෙන් කල හැකිය. මෙම BPA සහ BPSඅඩංගු රිසිට්පත් රෝල් තහනම් කරනවාට වඩා ඒ් මත විශාල ආනායන බද්දක් පැනවීමට අප රජයට යෝජනා කර සිටිමු. ඒ තුලින් භාවිතය අඩු වී ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.

 

WhatsApp Image 2024 03 31 at 13.13.27 f6d7aa82

 

 

මූලාශ්‍ර වෙබ් අඩවි
The Minnesota Pollution Control Agency
https://www.pca.state.mn.us/business-with-us/bpa-and-bps-in-thermal-paper#:~:text=Studies%20have%20found%20that%20individual,in%20a%20can%20of%20food.
McGill university
ht

Last modified on Monday, 01 April 2024 14:30

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us