පාසල් දරුවන්ට කෑම වේලක් දුන්න නිසා විපක්ෂයට කේන්ති ගිහිල්ලා.. Featured

Monday, 01 April 2024 14:00

සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ වල ඇත්තේ දෙබිඩි පිළිවෙත්ය. ඒ කියන්නේ කන්න ඕන වුණාම කබරගොයාත් තලගොයා කරගන්නා පිළිවෙත්ය. මේ කාලයේ හොඳටම මේ දෙබිඩිකම පෙන්වා තිබේ. විශේෂයෙන්ම සජබය හා ජාජබය මේ දෙබිඩිකම තමන්ගේ මෝස්තරයක් බවට පත්කරගෙන ඇත.

පසුගිය අර්බුද සමයේදී මේ රටේ ජනතාව හැම අතින්ම විශාල දුෂ්කරතාවයන්ට පත්ව සිටියේය. ජනතාව පාරට බැස්සේ, අරගල කළේ ඒ දුෂ්කරතාවයන්ගෙන් තමන්ව මුදවන ලෙස පාලකයාගෙන් ඉල්ලමිනි. ඒ අඳෝනා දඩමීමා කරගෙන පාලනය පෙරලා දැමීම වෙනුවෙන් විපක්ෂ කණ්ඩායම් තමන් දන්නාදහනං ගැට සියල්ලමත් දැම්මේය. ජනාධිපතිවරයාව එළවා දමා ආණ්ඩුව පෙරළා දමා අලුත් පාලනයක් හදාගත්තොත් ජනතාවගේ ගැටළු සියල්ල විසඳෙන බව මේ අය ජනතාවට උඩගෙඩි දෙමින් සිටියහ. තමන්ව බලයට පත් කළහොත් ජනතාවගේ සියළු ඉල්ලීම් ලබා දී මාස 6 න්, අවුරුද්දෙන් රට ගොඩනගන බවද සපතකර සිටියහ.

එහෙත් හිටපු ජනාධිපතිවරයා, එහෙනම් රට බාරගෙන කරන්නයි ආරාධනා කරද්දි මේ කිසිවකුත් ඒ අභියෝගය බාරගත්තේ නැත. පාර්ලිමේන්තුවේ තනියෙම සිටි රනිල් වික්‍රමසිංහට එය අවසානයේ බාරගැනීමට සිදුවිය. නමුත් අභියෝගයේ බරපතලකම නිසා අනෙක් සියලු විපක්ෂ පාර්ශ්ව වලටත් පාලනයට එක් වී මෙය සාමුහික වුවමණාවක් ලෙස සලකා ඒ මොහොතේ රට ගොඩනැංවීම වෙනුවෙන් එකතු වෙන්නැයි කළ ආරාධනාවද මේ විපක්ෂය ප්‍රතික්ෂේප කළේය.

මේ අවස්ථා දෙකෙදීම විපක්ෂය මේ ප්‍රතික්ෂේප කරනු ලැබුවේ හේතු දෙකක් මතය මුලින්ම බැරිකමය සහ දෙවනුව කුහකකමය. රට බාරනොගත්තේ විසඳුමක් ගැන හිතන්නවත් අවස්ථාවක් නොපෙනුන අර්බුදය හමුවේ තමන් රට බාරගතහොත් නියත ලෙසම අසමත් වෙන බව හරියටම දැනගෙනය. ජනාධිපති රනිල් ආරධනා කළ මොහොතෙත් ඊට එකඟනොවුයේ අර්බුදය හමුවේ ජනාධිපති රනිල්ටත් විසඳුමක් නැති වුවහොත් ඔහු සමඟ එකතු වීමෙන් තමුනුත් අසමතුන් ලෙස පජාත වේ යැයි කල්පනා කළ නිසා සහ ඔහු සාර්ථක වුවහොත් ඒ සියළු ගෞරවය ඔහුට යෑම වැලැක්විය නොහැකි නිසාය. ඒ තනිකර කුහකකමය.

එහෙත් ජනාධිපති රනිල් තනිවම හෝ තමන්ට සමඟ සිටි ආණ්ඩු පක්ෂයේ පිරිස සමඟ රට වැටෙන්න තිබු මහා ඛේදනීම තත්වයට ඉඩ නොදී ගොඩදැමීමට සමත් විය. මුල් අවස්ථාවේදීම රනිල් තම සමත්කම පෙන්වන විට රනිල් මොනව හරි කර රට ගොඩදැමීම කළහොත් කෙළවෙන්නේ තමන්ට යැයි කල්පනා කළ විපක්ෂය දිගින් දිගටම කළේ රනිල්ට බාල්දි පෙරළන එකය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යෑම පවා වැලක්වීමට මේ අය කටයුතු කළේය. වැඩ වර්ජන උද්ඝෝෂණ දිගින් දිගටම කළේය. අයිඑම්එෆ් ගිහින් ගොඩගිය රටක් නෑ කියමින් පාච්චල් කළේය. කෝන්දේසි වලට යට වී ජනතවාගේ සමෘද්ධිය වැනි සහනාධාර කප්පදු කරනු ඇතැයි කියමින් රට ගිනි තැබුවේය. රාජ්‍ය සේවා පඩි කප්පාදු කරනු ඇතැයිද රැකියාවලින් දොට්ට දමනු ඇතැයි ද කීවේය. බැංකු කඩා වැටෙනවා යැයි කැට තියා කීවේය. ජනාධිපති රනිල් තවත් ජනතා පිඩාවට පත්කරන බවත් රනිල්ව පැන්නිය යුතු බව කියමින් රටපුරා රැසවීම් තබමින් ගියේය. මෙලෙස රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න නොකරපු දෙයක් නැත.

එහෙත් මේ ජඩ විපක්ෂය කිව් කිසි දෙයක් සිදුවූයේ නැත. ජනාධිපති රනිල් නිශ්චිතවම කරන්නේ කුමක්ද? කරන්නේ කවද්ද? එහි ප්‍රතිපල මොනවාද? ඉන් අනතුරුව ලැබෙන ප්‍රතිලාබ මොනවාද? කල් තබා හරියටම කීවේ, කිසි දෙයක් සඟගවාගෙන නොවේ. සියල්ල පාර්ලිමේන්තුවට දැනුම් දී සංවාද විසංවාද කරමින් නිවැරදිම ක්‍රියාමාර්ගයන් ගත්තේය. එයත් කිසිවකුත් බලාපොරොත්තු නොවුනු තරම් අධිවේගයකිනි. තව අවුරුදු 10 කටවත් ගොඩයන්නේ නැතැයි කියපු රට අවුරුදු 2 ක් තුළ ගොඩට ඇද දැමීමට ජනපති රනිල් සමත් විය.

මේවා විපක්ෂයට දරාගැනීමට පුළුවන් දේවල් නොවේ. විපක්ෂය බලාගෙන සිටියේ, රනිල් අසාර්ථක වී හෝ තමන් මැදහත් වී අසාර්ථක කර හෝ ජනතාව පීඩාවෙන් පීඩාවට පත් වී රටටම තවත් කෙළවීමෙන් පසුව ජනතාව විසින් තමන්ව සිංහාසනයේ වාඩි කිරීම කරනු ඇතැයි කියාය.

එහෙත් ඒ සිහිනය දවල්ට සීමා විය. දැන් සිදුවන්නේ අනෙකකි. විපක්ෂයේ බලාපොරොත්තු දිනෙන් දිනම සුන් වෙමින් පවතී. ජනාධිපති රනිල් තමන් මීට අවුරුදු දෙකකට පෙර නිශ්චිතවම පැවසුවාක් මෙන් 2023 වඩාත්ම දුෂ්කර වසර විය. මන්ද ආර්ථික ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් වඩාත්ම අභියෝගාත්මක අවදානම්කාරී තීන්දු තීරණගන්න සිදුවූයේ මේ කාලය තුළය. මේ නිසා ජනතාවටත් විශාල දුෂ්කරතවායන්ට මුහුණදීමට සිදුවෙනු ඇති බව කීවේය. එහෙත් 2024 යනු ජනතාවට සහනයන් ලබාදිය හැකි වන වසර බවද කීවේය. 2025 වන විට රටේ ආර්ථිකය සෑහෙන හොඳ මට්ටමක් අත්පත් කරගන්නා අතර 2027 වන විට නැවත 2019 ට පෙර තිබුණු තත්වයට පැමිණෙන බවද පෙන්වා දී තිබිණි.. නමුත් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින වේගය ජාතන්තර මුල්‍ය අරමුදල බලාපොරොත්තු වූවාට වඩා වේගවත් විය. සමහර විට ජනාධිපතිවරයාත් මෙතරම් ඉක්මනින් අර්බුද විසැඳීම වෙනු ඇතැයි බලපොරොත්තු නොවූවා විය හැකිය. කොහොම නමුත් 2027 ඉලක්කය එම කාලයට පෙර ජයගැනීමේ හැකියාව නම් දැනටම පෙන්වා ඇත.

මේ වන විට මේ වසර තුළ ජනතාවට ලබාදෙනවා යැයි කිව් සහනයන් දැන් ක්‍රියාත්මකව පවතී. බඩු මිළ වේගයෙන් අඩුවිය, ඩොලරයේ අගය අඩු වීමත් සමග කිරිපිටි ඇතුළු ආනයනික භාණ්ඩ වලද මිළ අඩු වෙමින් තිබේ. මේවා ආර්ථිකය සවිමත්වන විට ඉබේ ලැබෙන ප්‍රතිලාබයන්ය. අර්ථිකය ශක්තිමත් වන විට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම කරන බව ජනපති කීවේ පසුගිය වසරටත් පෙරය. ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බරයේදීම වැටුප් වැඩිවීමක් ලබා දීමට රජය බලපොරොත්තු විය. නමුත් රාජ්‍ය ආදායම් ඉලක්ක කළ ප්‍රමාණයට වර්ධණීය තත්වයට පත්නොවීම නිසා එය මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා ප්‍රමාද කරන්නට සිදුවිය. එහෙත් එහෙම කියපු රජය මේ ජනවාරියේ සිටම පොරොන්දු වූ වැටුප් දීමනාවෙන් අඩක් ගෙවීමටත් සමත් විය. අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණ දීමනාව ලැබෙනු ඇත. මේවා ඡන්ද ගුණ්ඩු නොවේ. ඇත්ත ගැටළුවලට ඇත්ත විසඳුම් ලබා දීමකි.

සියළුම පාසල් ළමුන්ට ආහාර වේලක් ලබාදෙන්න කතා කළෙත් එය ක්‍රියාත්මක කළේත් 2022 වසරේ සිටමය. ආර්ථික අර්බුදය නිසා දරුවන් පීඩාවට පත්වීම විශාල ගැටළුවක්ව තිබිණි. විශේෂයෙන්ම ඔවුන්ගේ පෝෂණය සහ අධ්‍යාපනය නිසියාකාරව ලබාදීම රටක අනිවාර්ය වගකීමක් නිසා ඒ වෙනුවෙන් පියවර ගැනීමට රජය ප්‍රමුඛ කටයුත්තක්ව සැලකීය. වඩාත්ම පීඩාවට පත් වූ ළමුන් හා පාසල් තෝරාගෙන මේ වැඩසටහන අරම්භ වූ අතර මුල් අදියරෙදීම ළමුන් ලක්ෂ 9 කට ආහාර ලබාදීම සිදු කෙරිණි. ඒ අමාරු මොහොතෙත් රු බිලියන 4ක ඒ වෙනුවෙන් වෙන් කළේය. එම වැඩපිළිවෙල පුළුල්ව සැල්සුමකර අඛණ්ඩව පත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදය සහ ප්‍රතිපාදන ලෙස රු බිලියන 9ක් වෙන්කර දීප ව්‍යප්තව සියලුම ප්‍රාථමික ශ්‍රේණිවල ලක්ෂ 16 ක ළමයින්ට සම්පූර්ණ ආහාර වේලක් ලබාදීමට පියවර ගත්තේය. විපක්ෂයට මෙය ඡන්ද ගුණ්ඩුවක් කියා කළඹල වෙන්න හේතුවක් නැත. අනෙක් කාරණය මේ විපක්ෂයත් ළමයින් මන්දපෝෂණයෙන්ය, කන්න දියව් කියමින් ආණ්ඩුවට බලකර තිබිණි. ඒ නිසා මේ වැඩපිළිවෙල ගැන කුහකනොවී විපක්ෂය සතුටු විය යුතුය. මෙහි මීලඟ අදියර ලෙස සියළුම පාසල් සිසුන්ට ආහාර ලබාදීමත් සිදුවනු ඇත.

මේ අතරම සාමජ ආරක්ෂණ ජාලය පුළුල් කරමින් අස්වැසුම අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. පවුල් 24 ලක්ෂයකට ඒ ප්‍රතිලාබ ලැබේ. එසේම දශක ගනනාවක් තිස්සේ පැවැතුන ඉඩම් හිමිකාරිවය පිළිබඳ ගැටළු අවසන් කරමින් උරුමය වැඩසටහන හරහා මෙරට සිදුවන විශාලම ඉඩම් බෙදාහැරීම ක්‍රියාත්මකය. එය ජුලි මාසය වන විට අවසන් කිරීමට නියමිතය. එහිදී පවුල් ලක්ෂ 22 කට සින්නකර ඉඩම් ඔප්පු හිමි වෙනු ඇත.

මේ ආදී වශයෙන් ජනතාව විඳිමින් සිටි පීඩාවන් අවසන්කර යළි රට නඟාසිටුවීම වෙනුවෙන් මුලිකම කටයුතු රජය දැන් ක්‍රියාවට නංවා ඇත. එහෙත් අවාසනවකට මේ සියළු පියවරයන් විපක්ෂය දකින්නේ ඡන්ද ගුන්ඩු ලෙසය.
තවත් මාස හය හතකින් ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණ සඳහා මුහුණ දීමට ආණ්ඩුව මෙම සහහන දෙන බව විපක්ෂයේ මතයය. එය ඔවුන්ට අනුව වැරදි නැත. මන්ද ඔවුන් දන්නා ජනප්‍රිය දේශපාලනය තුළ ජනතාවට සහන දීම හැර ජනතාව දිනාගැනීමේ වෙනත් ක්‍රමවේදයන් ඔවුන් දන්නේ නැත. අදත් ඔවුන් කරන්නේ ජනතාවට සහන මළු ලබා දීමය. දෙන සහන ගැන කප්පරක් පොරොන්දු දීමය. එහෙත් රට මුහුණ දෙන ඇත්ත අර්බුදය, ජනතාවගේ ඇත්ත අර්බුදය විසඳන ක්‍රමවේදය කුමක්ද කියා කතා කරන්නේ නැත. ඒ ගැන දන්නේද නැත.

රනිල්, ජනාධිපතිධුරය බාරගත්තේ සහන මළු බෙදන්න නොවේ. ඔහු සහන මළු බෙදන බවට පොරොන්දු වූයෙත් නැත. ඔහු කිව්වේ ආර්ථිකය හරි පාරට ගනනා බවය. වැරදි ක්‍රමවේදයන් නිවැරදි කරන බවය. රට සංවර්ධනයේ දිසාවට හරවන බවය. ඔහු ජනප්‍රිය නොවන දුෂ්කර අවදානම්කාරී තීන්දු ගත්තේ තමන්ගේ දේශපාලනය පැත්තකට දමාය. එසේම එම ප්‍රතිසංස්කරණයන් සාර්ථක වන විට ජනතාවට සහන ලැබීම අනිවාර්යයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ ලැබෙමින් පවතින්නේ එයය. රටේ ආර්ථික අර්බුදය විසඳෙන විට ජනතාවට සහනයක් ලැබීම වැරදිනම් නම් ඒකට රනිල්ට කරන්න දෙයක් නැත. රනිල්ට දොස් කියා වැඩක් නැත.

රනිල් මේ කිසිදු දෙයක් කළේ දේශපාලන බලය වෙනුවෙන් නොවේ. මැතිවරණ බලාගෙන නොවේ. රටත් ජනතාවත් ගොඩනැඟුමටය. ඔහු විපක්ෂයට කිව්වෙත් රට අර්බුදයෙන් ගලවාගන්න දේශපාලනය පැත්තකින් තබා එකතුවෙන්න කියාය. රට ස්ථාවර වීමෙන් පසුව තමන්ගේ දේශපාලනය කැමති විදිහකට කරගන්න කියාය.

නමුත් විපක්ෂය මෙම ඉල්ලීම රටේ ජනතාව වෙනුවෙන්වත්, රටේ අනාගතය බාරගන්න සිටින දුවා දරුවන් වෙනුවෙන්වත් සලකා බැලුවේ නැත. තමන් අතට රටේ බලය ලබාගැනීම වෙනුවෙන් කල හැකි කුප්ප කුපාඩි තක්කඩි ජඩකම් විතරක් කරමින් සිටියේය. දැනුත් කරන්නේ එයමය.

එහෙත් රනිල් හමුවේ තමන් අසමත් වෙමින් සිටින බව ඔවුන්ට දැන් තේරුම් ගොස් තිබේ. රජය ජනතාවට ලබාදෙන ප්‍රතිලාබ වැලැක්වීම වෙනුවෙන් කටයුතු කරන්නේ ඒ නිසාය. ඒවා සමච්චලයට ලක්කරන්නේ ඒ නිසාය. තමන් බලයට ආවොත් බත් නෙවෙයි, බුරියානි දෙන සයිස් එකෙන් කතා කරන්නේ ඒ නිසාය. බදු කපා හරිනවාය, රජයේ වැටුප් තව බර ගානකින් වැඩිකරනවාය, සහන මළු ටොන් ගනනින් දෙනවාය, කියමින් මේ අය පසුගිය කාලය පුරාමත් වේදිකාවක් වේදිකාවක් ගානේ කෑ මොර දි දී සිටියේය. නමුත් දැන් රජයෙන් ජනතාවට ප්‍රතිලාබ ලැබෙන විට ඊට විරුද්ධ වීම ඔවුන් සිදුකරයි. මේ දෙබිඩිකම අලුත් තත්වයකුත් නොවේ.

මේ රටේ ඉතිහාසය පුරා ජනතාවට වැඩිම ප්‍රතිලාබ, සහන ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසිනි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාවන තහවුරු කළේ එජාප කාලයේදීය. සමාජ ආරක්ෂණ ක්‍රමවේද සැකසුවේ, ඉඩම් නිවාස නැති අයට ඒ බෙදාදීමේ ජාතික ව්‍යාපාරයන් ආරම්භ කළේ එජාපය විසින්ය. වාමංශිකයන්, ජාතිකවාදීන් හැමදාම කළේ රජයෙන් සහන ඉල්ලමින් කෑකෝ ගසමින් සිටීමය. නමුත් ඔවුන්ගේ ආණ්ඩු සමයන් හිදී ලැබුනු සහනයක් නැත. එක්කෝ ලබාදෙමින් තිබු සහන කප්පාදු කළේය. නැතිනම් මැතිවරණ බලාගෙන සහන දෙන්න ගොස් රටම බංකොලොත් වෙන තැනට පත් කළේය.

මෙහි හොඳම උදාහරණයක් 1972 වසර සඳහා අයවැය ඉදිරිපත් කළ එවක සමාජවාදී සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමැති ඇන් ඇම් පෙරේරාගේ යෝජනා සහ එම පාර්ලිමේන්තු විවාදය පරිශීලනය කළහොත් හමුවෙයි. එමෙන්ම වාමංශිකයන්ගේ දෙබිඩිකම හෙළිවෙයි. එදා මේ වාමාංශිකයන්ගේ ප්‍රධානම චෝදනාව වූයේ එජාපය රටට ලබාදුන් සහනයන් පිස්සු වැඩක් බවත් රටට කෙල වූයේ ඒ නිසා බවත් කීමය. බලය ගන්නා තෙක් මේ අය කෑගැහුවේම සහන ඉල්ලමිනි. හාල් මිළ අඩුකරන්න කියමින් 53 හර්තාලය කළෙත් මේ අයය. නමුත් ඔවුන්ගේ අයවැයෙන් කළේ ලබා දී තිබු සහන අහෝසි කිරීම, බදු වැඩි කිරීම, බඩු මිළ වැඩිකිරීම, ජනතාවගේ පාරිභෝජනය සීමා කිරීම වැනි දේය. පුද්ගල ආදායම් බදු සියයට 40 ක් පමණ විය. ව්‍යාපාර ආදයම් බදු සියයට 50 ක් විය. කොටින්ම රජයේ රෝහල්වලින් බාහිර හා නේවාසික ප්‍රතිකාර ගන්නා සියලු දෙනාටම ඒ සඳහා මුදල් ගෙවීමට සිදු විය. පෞද්ගලික අංශය විනාශ කර, ආර්ථික වර්ධනය අහිමි කරගත්තේය, රටේ ආදායම් අහිමි කරගනිමින් තිබුණු ආදායම පාඩු ලබන රජයේ ව්‍යවසායන්ට වැයකරමින් නාස්තිකර දැමුවේය. රට බංකොලොත් වෙන තැනට පත්කළේය.

මෙය ආපසු හරවා රට යළි සුඛිත මුදිත මාවතට ගත්තේ 77 ජේආර් ජයවර්ධන ගෙන ආ ප්‍රතිසංස්කරණය මඟිනි. එම රජය ආර්ථික ප්‍රතිසංස්කරණ කළේ ජනතාවට යළි සහන ලබාදෙමින් නිදහස් ආධ්‍යාපනය සෞඛ්‍ය යළි තහවුරු කරමින්ය. එම ක්‍රමවේදයන් අඩු පාඩු බාධක මධ්‍යයේ හෝ අඛන්ඩව පවත්වාගෙන යෑම ඉන් පසු රජයන් විසින් ද කළ නමුත් පසුගිය ගෝඨා පාලන සමයේදී ජනතාවාදී වීමට, ජනප්‍රිය වෙන්න හිතාගෙන බදු සහන ලබා දී, රජයේ ආදායම් අහිමි කරගත්තේය. රුපියලේ අගය ස්ථාවර කරගැනීමට ගොස් විදේශ ආදායම් අහිමි කරගත්තේය. දේශීය ගොවි තැනක් ගැන කියමින් රසායනික පොහොර තහනම් කිරීමේ විගඩම නිසා ආහාර හිඟයක්ද ඇති කළේය. රට බංකොලොත්ම විය. මේ වාම ජාතිකවාදී ජනප්‍රිය ඉල්ලීම් ඉටුකරන්නට ගොස් කරගත් විනාශයකි. කෙසේ නමුත් ජනතාවට අහිමි වු දෙය නැවත ලබාදෙමින් ආර්ථිකය නැවත හරි පාරට ගත්තේ එජාප නායක රනිල් විසින්ය.

ජනතාවට සහන දීමයි, ආර්ථිකය වර්ධනය කරමින් රටට ආදායම් ඉපද වීමයි, දෙකම බැලන්ස් එකේ කරගෙන යෑම වෙනම සුවිශේෂී දක්ෂතාවයකි. ඒ දෙකම විනශ කරගැනීම වාමාංශික ජාතිකවාදීන්ගේ නොහැකියාවය. එය ඉතිහාසය පුරාම ඔප්පු කර ඇත්තකි.

මේ හැකියාව පවත්වගෙන යනවාද, නැතිනම් නොහැකියාවට ඉඩ දී යළි බංකොලොත් වෙනවාද යන්න ජනතාව ඉදිරි මැතිවරණයේදී තීරණය කළ යුතුය.

-ඝෝෂක

-Chatham Street Journal

Last modified on Monday, 01 April 2024 14:33

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us