ලංකාවට ඇටි කෙහෙල් කැවීම! - වික්ටර් අයිවන් Featured

Saturday, 13 January 2024 12:08

දැන් ලංකාව එළඹ තිබෙන්නේ මැතිවරණ වර්ෂයකටය. රටේ ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයත් සමඟ ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව ගැන ලොකු කථාබහක් රටේ ඇති වී තිබුණි. රටට අලුත් නායකයින්ගේ ද අලුත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාව ගැන ද කෙරෙන ලොකු සංවාද තිබුණි.

එහෙත් මේ වනවිට දේශපාලන තලයේ පරණ ඉතුරු බිතුරු හැර නව දේශපාලන නායකයින් හෝ දේශපාලන ව්‍යාපාර කිසිවක් ඇතිවී නැත. වෙනසකට පෙනෙන්නට ඇත්තේ පරණ ප්‍රධාන දේශපාලන පක්ෂවලට තිබෙන පිළිගැනීම සැලකිය යුතු තරමකට බිඳ වැටී තිබීමත් පරණ එහෙත් ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා තත්වයක තිබුණ ජේවීපිය කිසියම් විශාල ප්‍රමාණයක වර්ධනයක් ඇති කරගෙන තිබීමත් පමණය. ජේවීපියේ වර්ධනය ඊළඟ මැතිවරණය කෙරෙහි ඇති කරන්නට යන බලපෑමේ තරම කුමක්ද කියා මම නොදනිමි. එහෙත් ජේවීපියේ වර්ධනය රටට අයහපතක් මිස යහපතක් ඇති කිරීමට හේතුවනු ඇතැයි මම විස්වාස නොකරමි.

ජේවීපියේ පාර්ලිමේන්තු ඉතිහාසය අවුරුදු 30 ක් පැරණිය. 2004 පාර්මේන්තු මැතිවරණයේදී ශ්‍රීලනිප සමඟ ඇතිකරගත් සන්ධානය නිසා ජේවීපිය හිමි කරගත් ආසන සංඛ්‍යාව 39 කි. යහපත් දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු පැවැත්ම (බලයට පත් නොවී) පමණක් වුවත් රටේ දේශපාලන ක්‍රමයේ යහපත් වෙනස්කම් ඇතිකිරීමට හේතු විය හැකිය. සමසමාජ ව්‍යාපාරය රටේ බලය ලබාගත්තේ නැතත් එම ව්‍යාපාරයේ බලපෑම නිසා රටේ ඇති වූ යහපත් වෙනස් කම්වල ප්‍රමාණය අති විශාලය. කම්කරුවන්ට පැය අටේ වැඩ දිනයක් ලැබුණේ ඔවුන් නිසාය. පොලිසියේදී ස්වභාෂාවෙන් පැමිණිලි ලියාගන්නා ක්‍රමයක් ඇති වුයේද, ගම්මුළාදෑනි ක්‍රමය අහෝසි වූයේද ඔවුන් නිසාය. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇතිවීම කෙරෙහිද ඔවුන් ගෙන් ඇතුවූ බලපෑම අති විශාලය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් දියුණු කරගැනීම සඳහාද ඔවුන් විසින් ලබා දෙන ලද බුද්ධිමය දායකත්වයේ ප්‍රමාණය අති විශාලය.

w 1

එහෙත් ජවිපෙ මේ අවුරුදු 30 ක් තරම් දීර්ග කාලය තුළ යහපත් වෙනස්කම් සඳහා ඇති කර තිබෙන බලපෑම ආන්තිකය. අඩුම වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමය දූෂිත කිරීමට බලපා තිබෙන ප්‍රබල හේතුවක් වී තිබෙන මන්ත්‍රීවරුන් රජය සමඟ ව්‍යාපාර කිරීමේ නීති විරෝධි සම්ප්‍රදාය වලක්වා ගැනීමටවත් ඵලදායි බලපෑමක්කර නැත. තමන් බලයට පැමිණි පසු මන්ත්‍රී වරුන්ට ඩියුටි ෆ්‍රී වාහන ලබා දෙන ක්‍රමය නතර කරන බවට පොරොන්දු වනවාට වඩා තමන් පක්ෂයේ මන්ත්‍රී වරුන්ට ලැබුණ ඩියුටි ෆ්‍රී වාහන ලබාගැනීමෙන් වැලකී සිටින ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේ නම් එය වඩා ඵලදායි ලෙස එම වැරදි ක්‍රමය කෙරෙහි බලපාන්නට ඉඩ තිබුණි. තම පක්ෂයේ මහජන නියෝජිතයින්ට ලැබෙන වැටුප් පක්ෂයට ලබාගැනීමේ ක්‍රමයද සාධාරණ නොවන මහජන නියෝජිතයින් සිය පැවැත්ම රැකගැනීම සඳහා ගජ මිතුරන් මත යැපෙන තැනකට තල්ලු කරන දූෂිත ක්‍රමයකි. දූෂණය පිළිබඳ විෂයේදී ද ස්ථීර සාරභාවයක් පෙන්නුම් කිරීමට අසමත් වූ අවස්ථා දැකිය හැකිය.

2005 ජනාධිපතිවරණයට ලබා දෙනලද අතිවිශේෂ සහයෝගය සලකා ජනාධිපති මහින්ද ජේවීපියට ලබා දෙනලද විකාශන බලපත්‍රය හෝ දෙක ලබාගැනීම හා ඒවා විකුණා මුදල් ලබාගැනීම ( බලපත්‍ර විකිණීමෙන් උපයාගත් ආදායම බැර කළේ පක්ෂයට වුවත් ) දූෂිත ගනු දෙනුවක් ලෙස සැලකිය හැකිය. එය භාණ්ඩාගාරට ලැබිය යුතු ලොකු මුදලක් අයථා ලෙස පක්ෂයට ලබාගැනීමක් ලෙස සැලකිය හැකිය. පක්ෂ මූලස්ථානය ඉදිකිරීමට ගිය දැවැන්ත ධනස්කන්ධය සොයාගත් ආකාරයද විනිවිදව දැකිය හැකි පිරිසිඳු තත්වයක නොපවතී. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දේශීය වශයෙන් සේම ජාත්‍යන්තර වශයෙන්ද සැලකෙනුයේ ලංකාවේ අධිකරණය කාබාසිනියා කළ අන්ත දූෂිත පුද්ගලයෙකු වශයෙනි. එහෙත් ජවිපෙට ඔහු පෙනුනේ රට ගලවාගැනීමේ වගකීම භාර දිය යුතු වීරයෙකු ලෙසය. 2010 ජනාධිපතිවරණයට ජවිපෙ මුලදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නට තීරණයකර තිබුණේ සරත් නන්ද සිල්වාය. නාගානන්ද කොඩිතුවක්කු කියන අකාරයට ජවිපෙ නායකයින් නමට දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචිකර ඇත් නම් එයද සැලකිය හැක්කේ දූෂනයක් ලෙසය. ජවිපෙ ජනතාවගේ ධනය සොරකම් කළ මංකොල්ල කෑ පක්ෂයක් නොවන බව කීවත් දෙවැනි කැරැල්ලට පෙර සැඟවී වැඩ කරන කාලයේදීත් ඉන් පසු දෙවැනි කැරැල්ල පැවති කාලයේදීත් මුදල් මංකොල්ල කෑම සඳහාම පවත්වාගෙන ගිය විශේෂ ඒකකයක්( රාගම සෝමෙගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ) එම පක්ෂයට තිබුණේය. ධර්මන් වික්‍රමරත්න ඔහුගේ පොතේ වාර්තාකර තිබෙන අකාරයට 1985-1990 දක්වා කාලය තුල රාජ්‍ය බැංකු ශාඛා 62 ක් බිඳ ඒවාහි තිබුණු මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑවේය. සිදුවී තිබෙන වැටුප් මංකොල්ල කෑම් ගනන 131 කකි.( පිටු 769)

w2

ජේවීපී කාරයින් පමණක් නොව ඔවුන්ට පක්ෂපාතිව කල්පනා කරන ආධාර කරුවන් පවා, කල්පනා කරන බව පෙනෙන්නේ කැරැල්ල කාලයේදී ජේවීපිය අතින් බරපතල වැරදි වෙන්නට ඇතත් ඉන්පසුව ගත වී තිබෙන දීර්ග කාලය තුළ ඔවුන් නැවත ඒ වැරදි සිදුකර නැති බැවින් දැන් එම වැරදි අල්ලාගෙන ඔවුන් විවේචනයට ලක් කිරීම සුදුසු නැති බවය. සාමාන්‍ය සමාජය පමණක් නොව ශාස්ත්‍රාලිය උගතුන් කල්පනා කරන බව පෙනෙන්නේද ඊට සමාන අකාරයකටය. එය ලංකාවේ ගොඩනැගී තිබෙන දේශපාලන ශීලාචාරත්වයට ආවේනික දුප්පත් කම හා එම දුප්පත් කමේ තරම පෙන්නුම් කරන හොඳ දර්ශකයක් ලෙස සැලකිය හැකිය. පුද්ගලික හෝ පොදු ජන ජීවිතේ පැවැත්මට අහිතකර වන ක්‍රියා අපරාධ ලෙස නම් කොට සමාජ අරක්ෂාව සඳහා ඒ වැරදි කරන පුද්ගලයන්ට දඬුවම් කරන ක්‍රමයක් ඈත අතීතයේ සිටම ක්‍රියාත්මක වූ බව අපි දනිමු. ආපරාධ කරන අයට දඩුවම් කිරීම ආණ්ඩුව වෙත පැවරෙන වැදගත් වගකීමක් ලෙසද සලකන ලදී. මනුෂ්‍ය ඝාතනය මිනිසුන්ට එරෙහිව සිදුකෙරෙන අපරාධ අතරින් බරපතලම අපරාධය ලෙස සලකන ලදී. පුද්ගල දේපල අයිතියට එරෙහිව කරන මංකොල්ල කෑම, සොරකම හා සාවද්‍ය පරිහරණය වැනි වැරදිද අපරාධ ගනයෙහි ලා සැලකිය හැකිය.

එහෙත් ජිවිතයක් නැති කරන්නාගේ ජීවිතයද නැති කරන ක්‍රමයක් දීර්ග කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය. පසුව ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිරඳඩුවමකට යටත් කොට එවැනි අපරාධ කරන පුද්ගලයන් සමාජයෙන් ඈත් කොට තබන ක්‍රමයක් ක්‍රියාත්මක විය. ජවිපෙ නායකයින් පමණක් නොව ඔවුන්ගේ සුවචක අනුගාමින් බවට පත්ව සිටින ලංකාවේ සමහර ශාස්ත්‍රාලීය උගතුන් පවා පොදු දේපල සොරකම් කළ පුද්ගලයින්ට වඩා කැරැල්ලකදී මිනිසුන් මරා දැමු පුද්ගලයින් යහපත් හා ගරු කටයුතු පුද්ගලයින් ලෙස සලකන බව පෙනේ. එහෙත් 1979 අපරාධ නීති සංග්‍රහයේ 456 වැනි වගන්තිය අනුව කල් ඉකුත් වීමෙන් නිෂ්ක්‍රීය නොවන අපරාධ දෙක ලෙස සැලකෙනුයේ මනුෂ්‍ය ඝාතනය හා රජය පෙරලීමට කුමන්ත්‍රණය කිරීමය. අනෙකුත් සියළු අපරාධ විසි අවුරුද්දක් ගත වීමෙන් පසු නඩු පැවරිය නොහැකි නිෂ්ක්‍රීය අපරාධ බවට පත්වේ. ජේවීපිය කරතබා ගෙන තිබෙන අපරාධ පොදිය ඊටත් වඩා භයානකය. දෙවන ලෝක යුද්ධයෙන් පසු හිට්ලර්ගේ නාසි ව්‍යාපාරය කරන ලද බිහිසුණු අපරාධ අර්ථකථනය කෙරුනේ මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපාරාධ ( Crimes Against Humanity ) වශයෙනි. ජේවීපිය දෙවැනි කැරැල්ලේදී තොග ගනනින් කර තිබන අපරාධ වැටෙන්නේද ඒ ගනයටය.

 w3

එම පක්ෂය මුළුමහත් සමාජයම මරණ බියෙන් ජීවත් විය යුතු තත්වයකට බවට පත් කළේය. පුංචි තුන්ඩු කෑල්ලකින් ඕනෑම ප්‍රදේශයක සියළු කටයුතු ක්‍රියා විරහිත කිරීමේ හැකියාව ඔවුන් හිමිකරගෙන තිබුණි. මිනිස්සු ඔවුන්ට අවනත වූයේ ඔවුන් කෙරෙහි ඇති කරගෙන තිබු ගෞරවය හෝ විස්වාසය නිසා නොව ඔවුන් කෙරෙහි ඇතිකරගෙන තිබු අති විශාල බිය නිසාය. බොහෝ වමාංශිකයින් ජීවිතාරක්ෂාව සඳහා ආයුධ අතට ගන්නා තැනකට තල්ලු වූයේද ඒ සියළු දෙනාගේ ජීවිතවලට එම පක්ෂයෙන් එල්ලවී තිබුණු ජීවිත තර්ජන නිසාය. සමහර අය එම ප්‍රශ්නය මා සමඟද සාකච්චා කර තිබුණි. ඔවුන් විසින් මාද මරා දමනු ඇතැයි මා හමුවීමට මගේ කාර්යාලයට පැමිණි සමහරෙක් මා සමඟ කීවේය. මා 71 කැරැල්ලෙන් පසු කවර හේතුවක් නිසා හෝ ආයුධ අතට නොගැනීමට ස්ථීර තීරණයක් ගෙන ඇති බැවින් ජීවත් වන්නට සිදුවී තිබෙන පරිසරය කොතරම් රළු පරුෂ හා ප්‍රචණ්ඩ වුවද නිරායුධව ජීවත්වනවා මිස නැවත ආයුධ අතට ගන්නේ නැති බව මම ඔවුන්ට කීවෙමි. මා එම කැරැල්ල කාලයේදී ආයුධ අතට ගත්තේවත් සැඟවුන ජීවිතයක් ගත කළේ වත් නැත. නොසැඟවී රාවය සඟරාවේ කටයුතු කරගෙන ගියෙමි. මම ජේවිපිය සමඟ අනවශ්‍ය ලෙස රණ්ඩු කරන තැකට ගියේ නැතත් අවස්ථා ගනනාවකදී ඔවුන්ගේ කටයුතු මා දැඩි ලෙස විවේචනය කළද ඔවුන් මා මැරුවේ නැති බවද කිවයුතුය. මට වරදක් සිදුවූයේ නැතත් ඔවුන් අතින් සේම ඔවුන්ට එරෙහිව සටන් කළ ආරක්ෂක හමුදා අතින්ද මිනිසුන්ට සිදුවූ බිහිසුණු හා අවලස්සන දේවල් මම දැක්කෙමි.

නන්දන මාරසිංහ මරාදමන්නට දින තුනකට පෙර ඔහු රංජිත් දිසනායක (කළු රංජි) සමඟ මා හමුවන්නට ගල්කිස්සේ පරණ ගල්වල පාරේ පිහිටි රාවය කාර්යාලයට ආවේය. මාරසිංහ ජේවීපී ඉලක්කයක් වී තිබෙන බව මට දැනගන්නට ලැබී තිබුණ අතර මා ඒ ගැන ඔහු ට කී විට ඔහු ඊට දක්වන ලද ප්‍රතිචාරය මෙසේය. “ඔව් මට විතරක් නෙමෙයි. ඔබටත් ජීවිත තර්ජනයක් තිබෙනවා. ජීවිත තර්ජනයක් තිබුණා කියා සහෝදරයා තමන්ගෙ සියළු වැඩ අතහැරලා සැඟවුන ජීවිතයකට ගියේ නැහැ. මමත් එහෙමයි.” ඔහු කීවේය. මාරසිංහ මා මෙන් නොව ජවිපෙ උන්නතිය පිණිස සුවිශාල කාර්යභාරයක් ඉටුකළ කෙනෙකු විය. 71 කැරැල්ලේදී විජේවීර බේරාගැනීම පිණිස යාපනේට ගිය 60 දෙනාගේ කණ්ඩායමේ කෙනෙකු විය. එම උත්සහාය අසාර්තක වීමෙන් පසු අත් අඩංගුවට පත් නොවී ආපසු පලා ඒමට සමත් විය. 1972 ජූලි 23 වනදා ඔහු අනුරාධපුර බන්ධනාගාරයට පහර දී එහි රඳවා සිටි 71 කැරලිකරුවන් 31 දෙනෙකු මුදා ගැනීමට සමත් විය. එසේ මුදාගත් අය අතර දෙවැනි කැරැල්ලේ හතර වැනි නායකයා වූ පියදාස රණසිංහද විය. ඉන් පසු නැවත 1972 සැප්තැම්බර් 29 දා රාත්‍රී එම බන්ධනාගාරයටම පහරදී එහි රඳවා ගෙන සිටි කැරැල්ලේ සැකකරුවන් 134 ක් මුදා ගත්තේය. 1973 දී අත් අඩංගුවට ගැනීමෙන් පසුද 1975 දී නැවත සිරගෙයින් පලා යාමට සමත් වුවද නැවත අත් අඩගුවට ගැනීමෙන් පසු සිරගෙදරින් නිදහස් වන තෙක් සංසුන් ජීවිතයක් ගත කළේය. ඔහු දක්ෂ තබ්ලා වාදකයෙකු විය. සිරගෙදරින් නිදහස් වීමෙන් පසු ජවිපෙ පවත්වාගෙන ගිය විමුක්ති ගී සන්දර්ශනට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. 1981 දී මතවාදි වශයෙන් ජේවීපියෙන් ඉවත්වී “ජනතා කලා කේන්ද්‍රය”නමින් සංවිධානයක් ඇති කරගනිමින් සාහිත්‍යට හා කලාවට බර තබන ජීවිතයකට මාරු විය. 1987 නොවැම්බර් 27 වනදා අනුරාධපුර පොළ භූමියේදී වෙඩි තබා මරා දමනලදි. එය සැලකෙන්නේ විජේවීරගේ ඇනවුමක් මත සිදු කෙරුණු ඝාතනයක් ලෙසය.

ජේවීපිය එම කැරැල්ලේදී තමන්ට පක්ෂපාත නැතිකම හේතුවක් කරගනිමින් මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළේය. කැරැල්ල හැම තැනකටම ගලා යමින් තිබෙන දෙයක් බව පෙන්නුම් කිරීම සදහා වෙනත් කිසිදු සාධාරණ හේතුවක් නැතිව පවා රටට ප්‍රයෝජවත් ලොකු වටිනාකමක් තිබුණු මිනිසුන් ඝාතනය කළේය. කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර හා මොරටුව සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවිතාන ඝාතනයන් ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයන්ය. ඉතාමත් පුංචි සරල වැරදිවලට පවා මිනිසුන් තොග ගනනින් ඝාතනය කළේය. ධර්මන් වික්‍රමරත්න ඔහුගේ “ජවිපෙ දෙවැනි කැරැල්ල” නැමැති පොතේ ගෙන හැර දක්වා තිබෙන ආකාරයට රූපවාහිනිය නැරඹීම හා ගුවන් විදුලියට සවන්දීම තහනම් කර තිබියදී එම වැරදි සිදු කිරීම නිසා මරාදමන ලද පුද්ගලයින් සංඛ්‍යාව 219 කි. ආණ්ඩුවේ පුවත් පත් විකිනීම තහනම් කර තිබියදී එම තහනම නොතකා පුවත්පත් විකිණීමේ වරදට පුවත් පත් වෙළදුන් 27 දෙනෙකු ඝාතනය කරන ලද බව සඳහන් වන අතර එම තහනම් නිගෝගය නොසලකා ක්‍රියාකල ඒජන්සි ගනනාවකට බෝම්බ ගැසූ බවද සදහන්වේ. (එම පොත පිටුව 854) ජන්දය පාවිච්චි කිරීමේ වරදට මරාදන ලද අයගේ ගනන සිය ගනනකි. ජන්ද රාජකාරිවල යෙදීමේ වරදටද රජයේ සේවකයින් ද සිය ගනනක් මරා දැම්මේය.

w4

ජවිපෙ මිනිසුන් ඝාතනය කළේද ඔවුන් කෙරෙහි අවඥාවක් ඇති කිරීමට හේතුවන අකාරයටය. ඔවුන් විසින් මරාදමන අයගේ අවසන් කටයුතු පැවැත්විය යුතු ආකාරය සඳහා පවා පනවන ලද කොන්දේසි තිබුණි. දේහය ඔසවාගෙන යාමේදී එය පොළොවේ මට්ටමෙන් අඩියකට වඩා ඉහළට එසවීම තහනම් විය. අවසාන අවස්ථාවට සහභාගි කරගත හැක්කේ 10 කට අඩු සංඛ්‍යාවකි. සුදු කොඩි එසවීම සේම දේහය අවමංගල්‍යය රථයකින් ගෙනයාමද තහනම් විය. දේහය දැවීම තහනම් වූ අතර මිනියේ වළ වැසූ පසු එය පොළොව මට්ටමට තිබිය යුතු විය. මරා දැමීමට හේතුව සඳහන් දැන්වීමක් බොහෝ විය මළමිනිය අසල ප්‍රදර්ශනය කළේය. සමහර මිනිසුන් ඝාතනය කළේ උපරිම මට්ටමේ අවඥාවක් මරණකරුවා කෙරෙහි ඇති කිරීමට හේතුවන අකාරටය. ඔවුන් ඒ සඳහා යොදාගත් මාදිලි සඳහා දැක්විය හැකි නිදර්ශන කිහිපයක් මෙසේය. විජය කුමාරණතුංගට වෙඩි තබන ලද තුවක්කුකරු ඔහුට වෙඩි තැබීමෙන් පසු ආපසු යන්නට හැරී නැවත මතක් වී ඔහුගේ මුහුණ කුඩු පට්ටම් කිරීම සඳහාම ඔහුගේ මුහුණට ද වෙඩි තැබීය.

එම විශේෂ තත්වය විග්‍රහකරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා කීවේ එය අවලස්සන මුහුණක් ඇති කෙනෙකුගේ අණකිරීමක් අනුව සිදු වුවක් වූ බවය. දෙවැනි නිදර්ශනය මාතරිනි. ජේවීපිය 1988 අප්‍රේල් 26 වනදා මාතර පස්ගොඩ බෙන්ගමුවේ එජාපයට සම්බන්ධ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ බුද්ධදාස රූපසිංහ ජයසේකර හා ඔහුගේ සහෝදරයාවූ විලයාය විදුහලේ විදුහල්පති ජී.ආර් ජයසේකර යන දෙදෙනා මරා දමන ලද්දේ දරුණු වධහිංසාවන්ට ලක්කොට ඔවුන් දෙදෙනාගේ ශරීරයේ ස්ථාන රාශියකට පිහියෙන් ඇන ශරීර නිරුවත් කොට ගසක බැඳ නිවසේ පාපිසි ඔවුන්ගේ හිස් වලට දමා ශරීර පිලිස්සීමෙනි.

තුන්වනි නිදර්ශනය මොණරාගලිනි. 39 හැවිරිදි ගොරකානේ නන්දසිරි සිල්වා 71 කැරැල්ලේ ක්‍රියාධරයෙකි. ජූලි වර්ජනයෙන් රැකියාව අහිමිකරගත් නිදහස් ගෘහනිර්මාණ සැලසුම් කරුවෙකි. ඔහු ජනතා සංගමයේ ප්‍රධාන නායකයකු වූ වසන්ත දිසානායකගේ සහෝදරයෙකු වූ 27 හැවිරිදි මොරටුව සරසවියේ දෙවැනි වසරේ සිසුවෙකු වූ දිසනායක එම්. ජයවර්ධන හා තවත් කිහිප දෙනෙකු සමඟ මොණරාගල ගොවිපළක් පවත්වාගෙන ගියේය. 1988 නොවැම්බර් 08 වනදා රෑ මේ ගොවිපළට කඩා වැදුණු ජේවීපී කැරලිකරුවන් කණ්ඩායමක් එම ගොවි පළේ නිවෙස් තුනක ජීවත් වුණු නන්දසිරි හා දිසානායක ඇතුළු 05 දෙනෙකු වෙඩිතබා මරා දමා ඒ සියළු දෙනාගේ ශරීර කැබලි වලට කපා ඔවුන් ජීවත් වූ නිවෙස් තුනට ද ගිනි තබා නන්දසිරිගේ වෙන් වෙන්න කපන ලද අත් දෙකද දිසානායකගේ වෙන් වෙන්න කපන ලද බෙල්ලද ඒ අසල ගසක අත්තක ප්‍රදර්ශනය පිණිස එල්ලා තබන ලදී.

හතර වැනි නිදර්ශනය ගාල්ලෙනි. ගාල්ලේ උඩුගම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයෙක් වු රණසිංහ ජවිපෙ පනවන ලද ඇඳිරි නීතියකදී පනවා තිබූ කොන්දේසි උල්ලංඝණය කිරීමේ වරදට ඔහු ගේ බෙල්ල කපා මරා දමන ලද අතර ඉන් පසු එම මිනී මරුවන් ඔහුගේ කපන ලද එම බෙල්ල පිඟානක තබා ඔහුගේ නිවසට යවන ලදී.

පස්වැනි නිදර්ශනය කතරගමෙනි. හම්බන්තොට ලංගම ඩිපෝවේ වැඩ කළ වීරසේකර ජේවීපී කැරලි කරුවන් විසින් මරාදමන ලද්දේ පල්ලෙමළල ඔහුගේ මනාලියගේ නිවසේ පැවති විවාහ මංගල උත්සවයේදී මනාලයා වශයෙන් ඔහු මඟුල් පෝරුවට නඟින්නට සුළු මොහොතකට පෙරය. මේ නිදර්ශන ආශ්‍රයෙන් ජේවිපියෙ ම්ලේච්ඡ ස්වභාවය තේරුම් ගත හැකිය. එහිදී ප්‍රති පක්ෂයේ (ජේවීපියට එරෙහිව සටන් කළ ආණ්ඩුව හා ආරක්ෂක හමුදා) ස්වභාවය කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. ඊට දියහැකි පිළිතුර වනුයේ ඔවුන් ගේ හැසිරීමද ජේවීපිය තරම්ම සමහර විට ඊටත් වඩා අශීලාචාර වූ බවය. එහෙත් ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ජේවීපිය මිස ආණ්ඩුව හෝ ආරක්ෂක හමුදා නොවන බවද කිව යුතුය.

w5

එම විශේෂ තත්වය මෙසේ පැහැදිලි කළ හැකිය. ඉංදියානු නිදහස් අරගලයේ මුල් අදියරයේදී බි්‍රතාන්‍ය හමුදා සටන් කළේ දියුණු ශීලාචාර රාමුවක පිහිටා නොව රළු පරුෂ අශීලාචාර රාමුවක පිහිටාය. එහෙත් මහත්මා ගාන්ධි නිදහස් අරගලයේ නායකත්වය ගැනීමෙන් පසු ඉන්දියාවේ බි්‍රතාන්‍ය විරෝධි අරගලය ඊට පෙර ලෝකයේ අන් කවර රටකවත් සිදුවී නැති අකාරයකට අහිංසාවාදය පදනම්වූ දියුණු ශීලාචාර රාමුවකට ගෙනාවේය. එම විශේෂ තත්වය පෙරළා නිදහස් අරගලය කෙරෙහි බි්‍රතාන්‍ය ආණ්ඩුව හා හමුදා දක්වන ප්‍රතිචාරද දියුණු ශීලාචාර මට්ටමකට ගෙන ඒමට හේතු විය.

විජේවීරගේ ජේවීපියට පාලන බලය අල්ලා ගැනීමට අවශ්‍ය වී නම් ඒ සඳහා යොදාගත යුතුව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ලැබී තිබුණ ඉඩ ප්‍රස්ථාය. 1977 නොවැම්බර් වලදී නිදහස ලැබීමෙන් පසු විජේවීර සිය පක්ෂය වූ ජවිපෙ සමඟ ප්‍රජාතන්ත්‍රවාදි මාර්ගයට මාරුවුවද විජේවීරගේ ත්‍රස්තවාදි ආත්මය මුළුමනින් වෙනස් වී තිබුණේ නැත. ඔහුට අසාමාන්‍ය තරම් වේගයකින් ශ්‍රීලනිප හිමි කරගෙන තිබුණ දෙවැනි තැන හිමිකර ගැනීමට අවශ්‍ය වී තිබුණි. ඔහු එම ස්ථානය අල්ලාගැනීමට අවුරුදු හයක්ම උත්සහා කළද සම්ප්‍රදායික වම පසුකර යෑමට සමත් වුවද ශ්‍රීලනිපයට ලංවීමටවත් හැකි වූයේ නැත.

ඔහු 1982 ජනාධිපතිවරණයට තරඟ කළේය. එහිදී ශ්‍රීලනිපයෙන් තරග කළ හෙක්ටර් කොබ්බෑකඩුව අභිභවා ගිය ප්‍රතිපලයක් නොවේ නම් ළඟ ළඟ තරගයක් පෙන්නුම් කරන ප්‍රතිඵලයක් ඔහු බලාපොරොත්තුවුද විජේවීරට එම ජන්දයේදී ලබාගත හැකිවුයේ හෙක්ටර් කොබ්බෑකඩුව ජන්ද 2,548,438 ක් ලබාගන්නා විට ජන්ද 273,428 ක් පමණය. වෙනස නව ගුණයකි. එම ප්‍රතිඵලයෙන් විජේවීර කොතරම් ඇද වැටීමකට ලක්වූවාද කියතොත් තමන්ට ජන්දය දුන් ජන්ද දායකයින්ට ස්තූති කරන්නටවත් ඔහු නිල ප්‍රතිඵල ප්‍රකාශකරන තැනට ආවේ නැත. ඒ වන විට ඔහුට සිටි විශ්වාසවන්තම සගයාවූ ලයනල් බෝපගේ එම ජනාධිපතිවරණයේදී විජේවීර හා පක්ෂය ඇතිකරගෙන තිබු බලාපොරොත්තු ගැන ලියා තිබෙන්නෙ මෙසේය. “ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔහු ඇති කරගෙන තිබුණු සහ පක්ෂයේ සාමාන්‍ය සාමාජිකත්වය තුළ ඇති කොට තිබුණු බලාපොරොත්තු කොතරම් ඉහළ මට්ටමක වූයේද යන්න ජානාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දින තුනක් ගත වන තෙක් රෝහණ සහෝදරයා ඇඳෙන් නැගිට්ටුවා ගැනීමට නොහැකිවීමෙන්ම පෙනී ගියේය. (රුවන් එම්.ජයතුංග” 71 කැරැල්ල”පිටුව 95) පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පළමු ස්ථානයට එනවා තබා දෙවැනි ස්ථානයවත් හිමිකර ගැනීම පහසු නැති බව විජේවීර එම අත් දැකීම් ආශ්‍රයෙන් තේරුම් ගෙන තිබුණි. ඒ නිසා 83 කළු ජූලියේදී ජවිපෙට එරෙහිව පනවන ලද පක්ෂ තහනම හේතුවක් කරගනිමින් නැවත ත්‍රස්තවාදයට මාරුවීමට විජේවීර එය අවස්ථාවක් කරගත්තේය.

w6

83 කළු ජූලියට ජේවීපියේ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැත. ජේවීපියට පනවන ලද පක්ෂ තහනම අසාධාරණය. එහෙත් එම පක්ෂ තහනම කැරලිගැසීමට ඔවුන්ට ලැබුණු අවසර පතක් වන්නේ නැත. තහනම් කර තිබූ අනෙක් පක්ෂ දෙක තහනම ඉවත්කර ගැනීම සඳහා ක්‍රියා කළමුත් විජේවීර එසේ නොකොට එම අවස්ථාව නැවත ත්‍රස්තවාදයට මාරු වීමට අවස්ථාවක් කරගත්තේය. තමන්ට පනවන ලද පක්ෂ තහනම ගැන මහා ලොකුවට කතාකරන විජේවීර හා එම පක්ෂය කැරැල්ල පැවති කාලයේදී රටේ තිබුණ අන් පක්ෂ තහනම් කළේය. කැරැලකට මාරු වීමේදීද විජේවීර තෝරාගත්තේ ද ඒ සඳහා තිබෙන විකල්ප ක්‍රම අතරින් අශීලාචාරම විකල්පයකි. පිළිගත් සාමාන්‍ය ක්‍රමයකට බලය අල්ලාගැනීමේ අරමුණින් කරන සන්නද්ධ කැරැල්ලකදී යොදාගැනන සටන් ක්‍රමය වනුයේ රජයේ ආරක්ෂක හමුදා සමඟ සටන් කොට ආරක්ෂක හමුදා පරාජය කොට බලය අල්ලා ගැනීමය. එහෙත් ජේවීපී දෙවැනි කැරැල්ලට තිබුණේ ඊට වෙනස් අසම්මත ම්ලේච්ඡ උපාය මාර්ගික වැඩ සටහනකි. ඒ අනුව රජයේ ආරක්ෂක හමුදා සමඟ සටන් කොට බලය අල්ලාගැනීම ඔවුන්ගේ අපේක්ෂාව නොවීය. ඒ වෙනුවට යොදාගත්තේ රජයේ පරිපාලන පදනමද ආණ්ඩුවට පක්ෂ හා ජේවීපියට විරුද්ධ මතවාදි පදනමද විනාශ කිරීමට හේතුවන ලෙස ඒවාට සම්බන්ධ ලොකු පිරිසක් මරාදමන ප්‍රතිපත්තියක් මගින් රාජ්‍ය යන්ත්‍රය හා දේශපාලන ක්‍රමය අක්‍රීය කොට සිය බලය පතුරුවා බලය අල්ලා ගැනීමය. එවැනි ක්‍රමයකට බලය අල්ලාගත් රටක් ගැන මා නම් අසා නැත.

එහෙත් විජේවීරගේ එම සටන් ක්‍රමය මුහුණ දිය හැකි ප්‍රතිවැඩ සටහනක් ආරක්ෂක හමුදාවන්ට නොතිබීම නිසා කැරැල්ලේ ආරම්භක මාස තුනේදී රාජ්‍යයේ පැවැත්ම ලොකු අර්බුදයකට ගොස් තිබුණි. කැරලිකරුවන්ගේ එම වැඩ සටහනට මුහුණ දිය හැකි ප්‍රතිසටන් ක්‍රමයක් පොලීසියට හා ආරක්ෂක හමුදාවන්ට හඳුන්වාදෙන ලද්දේ දකුණේ ත්‍රස්ත විරෝධි කටයුතු භාර ප්‍රධාන පොලිස් නිලධාරියා ලෙස ක්‍රියා කළ ප්‍රේමදාස උඩුගම්පොළය.” සතුරා හා කරන සටන් උන් කරන ලෙසටම ” කරන්න. ඔහු යෝජනා කල ප්‍රතිසටන් ක්‍රමය විය. ජේවීපිය යොදාගත් ක්‍රමය වුයේ ආරක්ෂක හමුදා සමඟ සටන් කිරීමෙන් වැලකී රාජ්‍යයේ පරිපාලන තලය හා මතවාදි තලය බිඳ දැමීමට හේතුවන පුද්ගලයින් තෝරාගෙන ඔවුන් මරා දැමීමය. එවැනි මරා දැමීම් සඳහා යොදාගන්නා පුද්ගලයින් පිටස්තරින් ගෙන්වාගත් පුද්ගලයින් වීම නිසා ඔවුන් හඳුනා ගැනීම ද ඉතා දුෂ්කර විය. උඩුගම්පොළ යෝජනා කළ ප්‍රතිසටන් ක්‍රමය වුයේ ජේවීපියට සම්බන්ධ සියළු දෙනාද මරා දැමිය යුතු බවය. ජේවීපිය අශීලාචාර සටන් ක්‍රමයක් තෝරාගත් විට ප්‍රතිපක්ෂයද අශීලාචාර ලෙස ක්‍රියාකරන තැනකට තල්ලු විය.

w7

ජේවීපී දෙවැනි කැරැල්ල රටේ සමාජ-දේශපාලන ක්‍රමයට හා ආර්ථිකයට ඇති කළ විනාශය අති විශාලය. සිදු වූ බිහිසුණුම දේ වනුයේ එම අශීලාචාර කැරැල්ල හා එල්ටිටීඊ කැරැල්ල රටේ ශීලාචාරත්වයේ වියමන විශාල ප්‍රමාණයකට ලිහා දැමීමය. ජේවීපිය දෙවැනි කැරැල්ලේදී ඔවුන් කළ බිහිසුණු අපරාධ වලට ඔවුන් අවංකව සමාව ගන්නා තෙක් ඔවුන් පිළිනොගන්නා දැඩි ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය වී තිබෙන්නේ ජේවීපියෙන් පළිගැනීම සඳහා නොව එවැනි අශීලාචාරත්වයක් නැවත කවදා හෝ කා අතින් හෝ ඇතිවීම වැලකීම සඳහාය. මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජේවීපී දෙවැනි කැරැල්ල ගැන ලියා තිබෙන ලිපියකින් ලබාගත් උද්ධෘතයකින් මෙම ලිපිය අවසන් කිරීම සුදුසුය. “ජවිපෙ කාර්යධරයින් තුළ දේශපාලන බලයේ මධ්‍යයට ප්‍රවිශ්ඨ වීම සඳහා ප්‍රචණ්ඩත්වය හා භීෂණය කෙරෙහි තිබූ කැපවීම ඉතාමත් පුදුමාකාරය. ඔවුන් වූ කලී පැහැර ගැනීම්, සමූහ ඝාතන සහ හතුරන්ගේ ශරීර කපා කොටා දැමීම සිදුකළ, ද්‍රෝහින් මරා දැමීමට පෙර ව්‍යාජ නඩු විභාග පැවැත්වූ, ජවිපෙ නියෝග හා අණ ක්‍රියාත්මක කරමින් ගෙයින් ගෙට ගිය, දේශපාලන රැස්වීම් හා ජන්ද මධ්‍යස්ථානවලට කඩා පැනීම් කළ නාසි ප්‍රහාරක කණ්ඩායම්වල කාර්යය මෙරට ඉටු කළ කොටස්ය.”

-

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us