ඉදිරි පාර්ලිමේන්තුව විගඩමක්..ජනාධිපති චැප්ලින්ට හෝ හිට්ලර්ට අඳිනු ඇත. Featured

Saturday, 04 January 2020 14:32

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මහා දේවල් වීමට නියමිත බවට බොහෝ බලාපොරොත්තු සහගතව සිටින රටේ බහුතරයක් සිටී... ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු වූ දේවල් සිහින බවට පත්වෙමින් තිබියදී මහ මැතිවරණයෙන් පසුව ඒවා යථාර්තයක් වෙනු ඇතැයි ඔවුන් ඒ සිහින නැවත නැවත මතු දිනයක් හා සම්බන්ධ කරමින් සිටී.. එහෙත් ඇත්ත කතන්දරය ඊට වෙනස්ව සිදු වෙමින් තිබේ..

 

ආණ්ඩුවක් හදන්න කීයක් ඕනද ?

මහ මැතිවරණය වෙනුවෙන් සියලූම මැතිවරණ දිස්ත්‍රික් 22 වෙනුවෙන් එක් පක්ෂයකට බාර දිය හැකි උපරිම නාමයෝජනා සංඛ්‍යාව 262 කි. මැතිවරණ දිස්ත්‍රික්කයක් වෙනුවෙන් ‍තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරු සංඛ්‍යාවට වැඩිය අමතර 3 දෙනෙකුගේ නාමයොජනාද බාර දීම සිදුවෙයි. ඒ අනුව සම්පූර්ණ ගනන් 262 කි..

එහෙත් මැතිවරණයෙන් ‍තෝර පත් කර ගන්නේ 196 දෙනෙකි. සමස්ත ශ්‍රීලංකාවෙන් ලබා ගන්න ඡන්ද ප්‍රමාණය අනුව සමානුපාතික ක්‍රමයට ඒ ඒ පක්ෂ ජාතික ලැයිස්තුවට නම් කරන ලද අපේක්ෂකයන් 29 දෙනෙකු ‍තෝර ගනු ලබයි. ඒ අනුව 225 නම් කෙරෙයි. ඒ 225න් 113 ක බහුතරය අත්පත් කර ගන්නා කණ්ඩායමට ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමේ හැකියාව ලබේ. බහුතරයක් නැති නම් අනෙක් පක්ෂයයක් සමඟ හවුලකට ගොස් ජාතික ආණ්ඩුවක් සැදීමේ හැකියාව බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් දිනා ගන්න පක්ෂයට හැකිය.එය ජාතික ආණ්ඩුවක් ලෙස නම් කර තිබේ.

225 ම එපා

කොහොම නමුත් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සහ ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමේ හැකියාව ඇති පක්ෂය ලෙස බැලූ බැල්මටම පෙනෙන්නේ පොදුජන පෙරමුණය. (පොහොට්‍ටුව). පසුගිය ජනාධිපතිවරණයේදී ලබා ගත් සියයට 52 ජනවරම අනුව එයම මහ මැතිවරණයේදී ප්‍රකාශයට පත් වුවහොත් බහුතරය ලබා ගැනීමේ හැකියාව තිබේ. එය එසේ කල්පනා කළ හැකි වූවද ජනාධිපතිවරණයකදී ඡන්ද දායක හැසිරීම සහ මහ මැතිවරණයකදි හැසිරීම අතර පවතින වෙනස් කම් අනුව මේ ප්‍රතිශතයන් වෙනස් විය හැකිය. රටට ජනාධිපතිවරයකු පත් කර ගැනීමයි තමන් නියෝජනය කරන ආසනයට/ දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරයකු පත් කර ගැනීමයි කියන්නෙ දෙකකි. එහිදී ඉදිරිපත්වන අපෙක්ෂකයන්ගේ බලපෑම අනුව ඡන්ද දායකයාගේ තීරණය වෙනස් විය හැකිය.

ඒ කොහොම වූවත් මේ වන විට මාධ්‍ය වාර්තා කරන ලෙස පොදුජන පෙරමුණ මෙවර විප්ලවයක් කිරීමට සූදානමින් සිටී.. ඒ තමන්ගේ නාම යෝජනා ලැයිස්තුවට අලුත් මූණු 100 ක් එක් කිරීමය. 225 ම එපා යනුවෙන් විශාල මතවාදක් පසුගිය කාලය පුරා මෙරට ජනතාව අතර ප්‍රචලිත වූයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් තිබෙන පිළිකුල නිසාය. මේ නිසා ඒ ඡන්ද දායක මානසිකත්වය දඩමීමා කරගෙන තමන් අලුත් මුහුණු 100 ක් ඉදිරිපත් කරනවා කියමින් පොදු ජන පෙරමුණ තමන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්බ කර තිබෙන බව පැහැදිලිය.

පාස්කු ඉවරයි අලුත් දඩයමක්

පසුගිය ජනාධිපතිවරණයේ දී පාස්කු ඉරිදා ප්‍රහාරය දඩමීමා කරගෙන ජාතික ආරක්ෂව සලසනවා කියන ඊනියා ප්‍රවාදය සමාජ ගත කරමින් ගොටාබයගේ ජයග්‍රහණයට වාසි සහගත ලෙස ජන මතයක් සකස් කළා මෙන් මෙවර අලුත් නියොජිතයන් පත්කර ගත යුතු බව ප්‍රචාරය කරමින් තිබේ.

එය බැලු බැල්මටම හොඳ තත්වයකි. පාර්ලිමේන්තුව නියොජනය කරන හොර තකක්ඩි ජාවාරමකාරයන් වෙනුවට දක්ෂයන් බුද්ධිමතුන්ගෙන් සමන්විත අවංක ජනතා සේවකයන් අවශ්‍යය. මෙවර එම අවස්ථාව ඡන්ද දායකයාට ලැබෙන බව හඟවමින් තිබේ.. පොදුජන පෙරමුණ මේ ගේනවා කියන්නේ අලුත් මුහුණු කීවාට එසේ මෙසේ මුහුණු නොවෙයි. මේ බහුතරයක් ගෝටාබයගේ දේශපාලන ව්‍යාපෘතියේ නියොජිතයන්ය. එනම් ඔහුගේ වියත් මඟ සංවිධානයේ සහ සෙසු ගෝටා හිතෛශීන්ය. එසේම පසුගිය කාලයේ පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීම කළ ප්‍රදේශීය දේශපාලන ක්‍රියාකාරිකයන් පළාත් සභා සහ ප්‍රදේශීය සභා නියොජිතයන් කිහිප දෙනෙකුද මේ අතර වෙති.

බලය විසිරෙයි

එසේ 100 දෙනෙකු පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවට නම් වන විට නම් කැපීයන පරණ පිරිසකද වෙති. පසුගිය වතාවේ පරාජිතයන්ට අවස්ථාව ලැබීමේ ඉඩ කඩ අඩුය. එමෙන්ම පොදුජන පෙරමුණ මුහුණ දෙන අනෙක් ගැටලුව ඔවුන් සමඟ සන්ධාන ගතවී සිටින ශ්‍රී ලනීපය ප්‍රමුඛ අනෙක් පක්ෂ වල නියොජිතයන්ටද අවස්ථාව ලබා දීමය..ශ්‍රීලනීපය ලොකු කොටහක් බලාපොරොත්තු වෙනු ඇත. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසට අමතරව තවත් පිරිසකට ඉඩ ලබා දිමට සිදු වෙනු ඇත. ඒ අනුවත් පොදු ජන පෙරමුණේම පිරිසකට ඉඩ ඇහිරීම නියත ලෙසම සිදු වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රතිපලය මත පවත්නා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව පොදු ජන පෙරමුණට මන්ත්‍රී ආසන 196 න් 105- 110 අතර ප්‍රමාණයක් දිනා ගැනීමේ පහසු හැකියාව තිබේ.

මේ ගන්නා ප්‍රමාණය 110 ක් කියා සිතුවහොත් එම ආසන පුරවාලන්නේ කවුද? ගොටාබයගේ හිතෛශීන් 100 දෙනාද නැත්නම් අර සාම්ප්‍රදායික දේශපාලකයන් මද? දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 93 දෙනෙකි. පැති මාරු කිරීම් නිසා එකකු දෙන්නෙකුගේ වෙනස් කම් පමණක් සිදුව තිබේ. මේ අතරින් කෙලින්ම පොදුජන පෙරමුණ හා සම්බන්ධ වී කටයුතු කළ ප්‍රමාණය 50 දෙනෙකු පමණ වේ. මහ මැතිවරණය උනුන් අතර උග්‍ර සටනක් වෙනුද ඇත.

බල කඳවුරු 3ක්

මේ අනුව මෙවර මහ මැතිවරණයේදි පොදු ජන පෙරමුණ හෝ ගොඩනඟන අන් සංධානයකින් හෝ පාර්ලිමේන්තු වරම හිමිකර ගන්න කණ්ඩායම කිසි සේත්ම පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස ලබන ජයග්‍රහණයක් වීමට ඉඩක් නැත. ප්‍රබල වශයෙන්ම ගෝටාබයගේ කණ්ඩායමක්. ශ්‍රීලනීප කණ්ඩායමක් සහ පොදුජන පෙරමුණු කණ්ඩායමක් වශයෙන් ප්‍රධාන බල මුළු 3ක් ගොඩනැගෙනු ඇත.

මෙම කණ්ඩයම් තුනට නායකත්වය දෙන්නේ වත්මන් ජනාධිපති ගෝටා හිටපු ජනාධිපති මෛත්‍රී සහ හිටපු ජනාධිපති මහින්දය.. අනෙක් කුඩා පක්ෂ වල නියෝජිතයන් කිහිප දෙනා මේ නායකයන් තිදෙනාගෙන් කවුරුන් හෝ ‍තෝරා ගනු ඇති අතර එය එතරම් තීරණාත්මක නොවෙනු ඇත.

මේ අනුව ඉදිරි පාර්ලිමේන්තුව තුල වඩාත්ම අර්බුදකාරී කණ්ඩායම වෙනු ඇත්තේ පොදු ජන පෙරමුණු කණ්ඩායමය. ආණ්ඩුවේ තීන්දු තීරණ ගැනීම පහසු නොවෙනු ඇත. ඇමැති මණ්ඩලය නම් කිරීමේ සිට මේ අර්බුදය තීව්‍ර වෙනු ඇත. එය පසුගිය යහපාලන යුගයේදී ජනාධිපති මෛත්‍රී සහ එජාපය අතර වන ගැ‍ටුමට වඩා බරපතල වෙනු ඇත. ගෝටාබයගෙ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන් , මෛත්‍රීගේ ස්වදේශිය ආර්ථික ප්‍රතිපත්ති සහ මහින්දගේ ජාවාරම්කාර ආර්ථික වුවමනාවන් නිරන්තරයෙන් ගැටෙනු ඇත. ඒ අතර ජාතිවදී වුවමනාවන් නියෝජනය කරන පක්ෂද බාල්දි පෙරලණු ඇත.

19 වෙනුවට 21 සහ 22

විජේදාස රාජපක්ෂ හරහා මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 21 සහ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙ‍ටුම්පත් දෙක සම්මත කර ගැනීමට හැකි වුවහොත් එය ගෝටාබය ලබන විශාලම ජයග්‍රහණයක් වේ. ඒ අනුව ආණ්ඩු පාලනය සියතට ගැනීමේ හැකියාව ඔහුට තිබේ. එහෙත් එවැනි තත්වයකට මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන හෝ ඉඩක් ලබා දෙනු ඇතැයි කල්පනා කළ නොහැක. ඒවා දේශපාලන සියදිවි නසා ගැනීය.

මහින්දගේ අරමුණ වෙන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් හෝ රටේ අභිවෘද්ධියක් වෙනුවෙන් ඉදිරි දේශපාලන සමය ගත කිරීම නොවේ.. ඔහුගේ අපේක්ෂාව නාමල්ගේ දේශපාලන අනාගතය වර්ණවත් කිරීමය. ඊට ඉඩක් තබාගෙන යම් දෙයක් කරනවා විනා වෙනකක් ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැක. මහින්දගේ සහ නාමල්ගේ වැඩ දැනටමත් ගෝටා නුරුස්සන තැනක තිබෙන නිසා මේ අරබුදය සිතනවාට වඩා බරපතල වෙනු ඇතත් එය සීතල යුද්ධයක්ව පවතිනු ඇත.

මෛත්‍රීපාලට එවැනි දේශපාලන අවශ්‍යතාවයක් චතුරිකා සම්බන්ධයෙන් ඇති වූවත් එය එතරම් ප්‍රබලව නොපවතී..එහෙත් තමන්ගේ උද්දච්ච ග්‍රාම්‍ය වුවමනාවන් සන්තර්පනය කර ගැනීමේ අසාව ඉහළින්ම තිබේ. එ්වා ගෝටාබයගේ බලයට යටපත් කිරීමට ඔහු නොකැමති වෙනු ඇත. පසුගිය පස් වසරේ ඔහු තමන්ව බලයට පත් කළ ආරක්ෂා කළ එජාප ආණ්ඩුවම අර්බුදයකට යැව්වේද මේ ආසාව නිසාය.

ගෝටගේ ඉරණම

තත්වයන් එසේ වෙද්දී ජනාධිපති ගෝටාබයට සිදු වෙනු ඇත්තේ එක්කො විසුළුකාරී චැප්ලින් කෙනෙකු වීමට හෝ භීෂණකාරී හිට්ලර් කෙනෙකු වීමටය.

මේ අනුව සංත්‍රාස ජනක, විසුළුකාරී, අර්බුදකාරී දේශපාලන සමයක් නියත වශයෙන් අප ඉදිරියෙහි වෙයි.

මේ උපකල්පනයන් සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපලය අනුව වැඩි බහුතරය පොදු ජන පෙරමුණ ලබා ගන්නවාය යනුවෙන් තීරණය කොටය.. යම් හෙයකින් පොදු ජන පෙරමුණට 113 ඉක්මවා නොයන බලයක් ලැබුණහොත් තත්වයන් තවත් බරපතල වෙනු ඇත.

ඒ කොහොම වෙතත් විපක්ෂයේ දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරිත්වය නොගැනිය හැකි තම් කුඩාවන අතර ආණ්ඩුව ගන්නා පියවරයන් සම්බන්ධයෙන් කිසිදු ස්ථාවර පැහැදිලි අදහසක නොපිහිටනුද ඇත.. එම තත්වයන්ද ආණ්ඩුවේ දේශපාලනයට හිතකර වන්නෙ නැත. විශේෂයෙන්ම ජනාධිපති ගෝටාට එය බලපානු ඇත.

Last modified on Saturday, 04 January 2020 14:43

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us