ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති නූලෙන් බේරෙයි!

Published in Gossip
Friday, 17 November 2023 10:08

කාර්මික දෝෂයකට ලක්ව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතර කර තිබුණු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ ජීප් රථය ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

ලී කුඩු ප්‍රවාහනය කරමින් තිබු මෙම ලොරි රථය පෙරේදා (15) රාත්‍රී කාලයේදී ගැටීම හේතුවෙන් දොඩංගොඩ අන්තර් හුවමාරුව සහ ගැලණිගම අන්තර් හුවමාරුව කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ පැය 08ක පමණ කාලයක් වාහන ධාවනය කිරීමට බාධා එල්ල වී තිබිණි.

මෙම අනතුර සිදු වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලණිගම අන්තර් හුවමාරු අතර කොළඹ දෙසට ගමන් කරන්නට ඇති මංතීරුවේදීයි.

ගාල්ලේ සිට කොළඹ බලා සිය බිරිය හා සහෝදරිය රැගත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පදවාගෙන යමින් තිබුණු ජීප් රථය මඟ නතර කිරීමට සිදුව ඇත්තේ එම ජීප් රථයේ වම්පස රෝදය කාර්මික දෝෂයක් හේතුවෙන් යම් ආපදාවකට ලක්ව තිබීම හේතුවෙනි.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම නියමිත ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් වාහනය මාර්ගයේ අයිනේ නවතා දෝෂය කුමක්දැයි පරීක්ෂා කර බැලීමට ජීප් රථයෙන් පිටතට පැමිණ සිටියදී වේගයෙන් පැමිණි ලොරි රථය ජීප් රථයේ බඳ කොටසේ ගැටී මාර්ගය හරහා පෙරළී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ලොරි රථයේ ගැටුණු ජීප් රථය අඩි කිහිපයක් ඉදිරියට වීසි වී ගොස් ඇති අතර වාසනාවකට එහි සිටි ආනන්ද විජේවික්‍රමගේ බිරියට හෝ සහෝදරියට කිසිදු හානියක් වී නැතැයි පොලිසිය පවසයි එසේම ජීප් රථයෙන් පිටත සිටි වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ දිවි ගැලවී ඇත්තේ ද වාසනාවකට බව පොලිසිය පවසයි.

ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් එහි තිබුණු ලී කුඩුද සීසීකඩ විසිරී ගොස් තිබී ඇත. මෙම අනතුරින් ලොරි රථයේ රියැදුරුගේ හිසට තුවාල සිදුව තිබේ. ඔහුව බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර ඇති අතර හිසට මැහුම් 06ක් ද දමා ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (15) රාත්‍රී 10.30ට පමණය. මෙම අනතුර හේතුවෙන් මාතර සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුව අවහිර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. එබැවින් එම මාර්ගයේ කොළඹට පැමිණෙන කොටසක් වසා තැබීමට ද සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මාතර සිට කොළඹට ධාවනය වූ වාහන දොඩංගොඩ අන්තර් හුවමාරුවෙන් පිටතට ගොස් නැවත ගැලණිගම අන්තර් හුවමාරුවෙන් ඇතුළු වීමට මේ නිසා සිදුවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මාර්ගයේ මෙම මංතීරුව නැවත යථා තත්ත්වයට පත්කරනු ලැබුවේ අනතුරින් පැය 08කට පසු ඊයේ (16) උදෑසන කාලයේදීය.

Last modified on Friday, 17 November 2023 10:10

Leave a comment

 

ld add copy

Connet With Us