විදේශ ශ්‍රමිකයන් සල්ලි එවන්නෙ නැත්තේ බයට ද? ආසාවටද?   Featured

Friday, 01 July 2022 10:42

අඬන්න ඕන කිරි එරෙන්න කීවාට ඒක හැම තැනටම හරි යන්නෙ නැත. ඉල්ලීම් දිනා ගන්න නම් ඉල්ලීම් ලබා දිය හැකි තත්වයක් තිබිය යුතුය. දැන් තෙල් දියව් ගැස් දියව් කිය කෑ ගැසුවට එහෙම තෙල් ගෑස් ලබා දීමේ  හැකියාවක් රටේ නැත. මේ රටේ තෙල් ගෑස් නැත. ඒ විදේශයන්ගෙන් ගෙන ආ යුතුයි. එහෙම ගේන්නත් ඩොලර් අවශ්‍යය. දැන් ඩොලරුත් නැති නිසා ගේන්න වෙන්නේ ණයටය. නැතිනම් ඩොලර් ටිකක් ණයට අරගෙන ගෙන ආ යුතුයි. ඒත් ඩොලර් ණයට දෙන්නත් කෙනෙක් නැත.

ඒ නිසා තෙල් ගෑස් ප්‍රශ්නය විසඳා ගන්න වෙන්නේ ඉවසීමෙන් සහ ඒ එසේ වන්නට හේතුබූත වූ වැරදි සකසාගෙන හෝ ඒ වෙනුවෙන් අලුත් සැලසුම් අනුවය. රටේ ඉන්ධන නැතිනම් ඒ රට කොහොමටවත් දුවා ගන්න බැරිය. ඒ බව රාජ්‍ය පාලකයන් මෙන්ම ජනතාවත් නොදන්නා දෙයක් නොවේ. ඉන්ධන ප්‍රශ්නය සමඟ අනෙක් සියලූම ක්ෂේත්‍ර සමඟ ගැට ගැසී ඇත. ඒ නිසා සියල්ල ඇත්තේ අර්බුදයකය. මේ නිසා රටේ ඉන්ධන අවශ්‍යතාවය කෙසේ හෝ සපුරා ගන්නට මේ මොහොතේත් රජය දැඩි වෙහෙසක් ගනිමින් තිබේ. එසේ නොමැතිව ඔවුන්ටද පැවැත්මක් නැත. ඇත්ත ඒකය.

ඉන්ධන වෙනුවෙන් කෑ කෝ ගහන කිසිවකුත් මේ ඉන්ධන අර්බුදය විසඳා ගැනීම කරන්නේ කොහොමද කියන එක ගැන හිතන්නෙ නැත. රටේ ඩොලර් හිඟ කමට කළ යුතු පිළියම ගැන හිතන්නේ නැත. රටට ඩොලර් ලැබෙන මාර්ග විවෘත කරගැනීමක් ගැන හිතන්නේ නැත. රටට ඩොලර් ලැබෙමින් තිබුණු මාර්ග වැසී ඇත්තේ ඇයි දැයි කියා හිතන්නෙ නැත . ඒ්වා නැවත විවෘත කරගැනීම ගැන හිතන්නෙ නැත. ඒ කිසිවක් නොකර ඉන්ධන ලබා දියව් කියා කෑ ගැසුවාට අම්මාගේ තනට කිරි එරෙනවා සේ ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීමේ හැකියාව රට නැමැති අම්මාට ලැබෙන්නෙ නැත.

අඩුම තරමින් මේ කෑ ගහන අය මෙරට 40 ලක්ෂයක් පමණ වන් විදේශ ශ්‍රමිකයන්ගෙන් රටට ඩොලර් ටිකක් එවන්න කියා කෑ ගසන්නේ නැත. නීත්‍යානුකූලව බැංකු මාර්ගයෙන් මේ විදේශ ශ්‍රමිකයන් රටට ඩොලර් ටිකක් වැඩිපුර එවනවා නම් රටේ ඩොලර් ප්‍රශ්නය එදා වේල සරි කරගන්න තරමටවත් ප්‍රමාණවත්ය. එහෙත් අතිශය බහුතරය එය සිදු කරන්නේ නැත.

රාජ්‍ය පාලකයන් ඩොලර් කොල්ල කනවාය කියන මිත්‍යාව සමඟ ඔවුන් ජීවත් වේ. ඩොලර් බැංකුවට එවනවා වෙනුවට හොර පාරෙන් රුපියල් කර ඒ ටික තමන්ගේ යැපෙන්නන්ට ලැබෙන්න සැලැස්සුවාම හරිය කියා මේ අය සිතා සිටියි.

තමන්ගෙන් යැපෙන්නන්ට හොරපාරෙන් රුපියල් ටික ලැබුණාම ඒ අයට අවුලක් නැතිව කාලා ඇඳලා ඉන්න පුලුවන් කියා සිතයි. එහෙත් එය වැරදිය. අඩුම තරමින් තමන් ඩොලර් රුපියල් කර හොර පාරෙන් එව්වාට ඒ රුපියල් වලට සැබෑ වටිනාකමක් ලැබෙනවාද කියන එක ගැන මේ විදේශ ශ්‍රමිකයන් කල්පනා කළ යුතුය.

පවතින අර්බුද සමඟ භාණ්ඩ හා සේවා මිල කිහිප ගුණයකින් ඉහළ යෑම නිසා මේ එවන රුපියල් වලින් කළ හැකි දේ කිහිප ගුණයකින් අවම වී ඇති බව මේ අය හිතන්නෙ නැත.ඩොලර් නොමැතිකම නිසා සමස්ත ජනතාවම මුහුණ දෙන ගැටලුවට මේ තමන්ගේ යැපෙන්නන්ද මුහුණ දී ඇති බව නොසිතේද? ඒ එවන රුපියල් ප්‍රමාණය වැඩි කරළා එව්වා කියලා හෝ මේ ප්‍රශ්න වලින් තමන්ගේ යැපෙන්නන් ගැලවෙනවාද? ඒත් නැත. තමන් ඩොලර් නො එවන තරමට තමන්ගේ අයද මුහුණ දෙන ගැටලු දවසින් දවස උග්‍ර වීම පමණක් සිදුවේ.

රජයට හෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ කිසිවකුට ඩොලර් හොරා කන්නට නොහැකිය.පසුගිය කාලයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම නිසා ඩොලර් සංචිත විනාශ කරගැනීම සිදුවිය.ඒ ඇත්තය. එහෙත් ඒ සොරා කෑමක් නොවේ.

විදෙස් ණය ලෙස ගත් ස්වෛරී බැඳුම්කර නැවත ගෙවීම්දී ඒ බැඳුම්කර වෙළෙන්දාට අයුතු වාසියක් වෙන ලෙස එම ණය ගෙවීම් සිදු කළ බවට චෝදනාවක් තිබේ. ඩොලර් සොරා කෑවා කියන චෝදනාව මතු වූයේ එතැනිනි. නමුත් ඒ ණය කවදා කෙසේ හෝ ගෙවිය යුතුව තිබුණු ණයයි.එයින් ණය හිමියාට ලැබෙණ පොලියත් සමඟ වන වාසිය කොහොමත් සිදු වන්නකි.එතැන සිදුවූ වැරැද්ද නම් රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් ඒ මුදල් ළඟ තබාගෙන ණය ගෙවීමට කල් ඉල්ලා සිටියා නම් නිවැරැදිය කියන එක එදා මහබැංකු නිලධාරීන් සහ වගකිව යුතු දේශපාලන අධිකාරියේ බලධාරීන් නොතකා සිටීමය. කලින් කී ලෙස එලෙස ණය ගෙවීමට කටයුතු කළේ බැඳුම්කර වෙළෙන්දාට වඩා වැඩි වාසියක් ගෙන දීමට යැයි කරන චෝදනාවට යම් තාර්කික බවක් ලැබුණත් ඒ ගැන කිසිදු සාක්ෂියක් නැත.

කොහොම නමුත් ඩොලර් හොර පාරෙන් රුපියල් කර එවන විදේශ ශ්‍රමිකයන් එලෙස වැඩි වශයෙන් කටයුතු කළේ ඩොලරයට හිමි නියමිත වෙළඳපොළ අගය නොලැබීම මතය. හොර පාරෙන් ඩොලරයට වැඩි අගයක් ලැබීම මතය. එනම් තමන්ට පෞද්ගලිකව වාසියක් වීම මත එසේ කටයුතු කිරීමය. එහෙත් දැන් ඩොලරයට නියමිත මිළ ලැබෙන අතර කළු කඩේ එහෙම ලොකු වාසියක් නැත. එහෙම ලොකු වාසියක අරගෙන හෝ එවන ඩොලර් මෙහෙදී රුපියල් වෙන කොට ඒ රුපියල් වලින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවාවන් කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබේ නම් කළු කඩෙන් තමන්ට ලැබෙනවාය කියා හිතන වාසියට වඩා පාඩුවක් මේ රුපියල් වලින් යැපෙන්නට සිදුව තිබේ.

මේ ඇත්ත ගැන නොතකා නොසිතා පාලකයන් ඩොලර් හොරකම් කරනවා කියා ඩොලර් බැංකු හරහා නො එවීමෙන් තමන්ටත් තමන්ගේ යැපෙන්නන්ටත් සිදුව ඇත්තේ අවාසියක් සහ අසාධාරණයකි. විදේශ ශ්‍රමිකයන් බහුතරයක් වැඩි දුර නොසිතා කරන මේ සෙල්ලම නිසා අද මේ රටේ හැම මිනිහාම දුක්විඳිති. මේ දුක් විඳින්නන් අතර තමන්ගේ ආම්මා තාත්තා අඹු දරුවෝද සිටිති. ඔවුන් එසේ දුක් විඳින්නේ තමන් ඩොලර් හරි පාරෙන් නො එවන නිසාය කියන කාරණය ගැන හිතන්න තරම් සංවේදි කමක්වත් අපේ මිනිස්සුන්ට නැති වුණේ කොහොමද යන්න ගැටලුවකි.

රාජ්‍ය පාලකයන් හොරුන්ය දූෂිතයන්ය නාස්තිකාරයන්ය කියමින් තමන්ද නියැලෙන්නේ එවැනිම වංචා සහගත,ආත්මාර්තකාමී පිළිවෙතකනම් කුමක්ද එතැනින් නිවැරැදි කරගත හැක්කේ? රටක් එහෙම හැදෙන්න පුලුවන්ද එක්කො රාජ්‍ය පලකයන් නිවැරදි විය යුතුයි. නැතිනම් ජනතාව නිවැරදි විය යුතුයි. දෙගොල්ලෝ එකම වැරැද්ද කරමින් වැරැදි නිවැරැදි කරගත නොහැකිය.

අද රාජ්‍ය පාලකයාට හැකි ඉක්මනින් නිවැරැදි දේ සිදු කිරීමට බල කෙරෙන තත්වයක් ඇතිව තිබේ. තවදුරටත් පිස්සු කෙළමින් සිටීමට නොහැකි බව ඔවුන් අවබෝධ කර ගනිමින් තිබේ. ආර්ථික ප්‍රතිසංස්කරණයන් , දේශපාලන ප්‍රතිසංස්කරණයන් ගැන දැඩි වුවමණාවකින් කටයුතු කරන්න පෙළඹී ඇත්තේ තවදුරටත් ඔවුන්ටවත් පැවැත්මක් නැති බව නිවැරදිවම දැන ගෙන තිබෙන නිසාය.

මේ වෙනුවෙන් ජනතාවගේ බල කිරීමත්, ඒ ජන අරගලයත් අඛන්ඩව සිදු වෙනවා නම් රට නිවැරදි දිශානතියකට තල්ලු කළ හැකිය. එහෙත් මෙම අර්බුදයෙන් රට ගොඩ දැමීමට ජනතාවගේ උපරීම දායකත්වයත් ලැබිය යුතුමය. රට නැතිනම් රාජ්‍යය කියන්නේ පාලකයත් පාලිතයත් භූමියත් මේ සියල්ලමය.මේ සියල්ලේ එකතුව නොමැතිව රාජ්‍යය ගොඩනැගෙන්නේ නැත.

පාලකයන්ට අවශ්‍ය හැටියට නටන්න ඉඩ දී ජනතාව බාල සිටීම කාලාන්තරයක් පුරාම සිදුවූ වැරැද්දකි. කොටින්ම මේ රටේ ජනතාවක් කියා හැදින්විය හැකි දේශපාලනික කොට්ඨාසක් සිටියේ නැති තරම්ය. ජනතාවට ජහමනයා කීවේ ඒ නිසාය.

එහෙත් දැන් ඇතිව තිබෙන අර්බුද අහමුවේ ජනතාව අවදිව තිබෙන බව පෙනෙන්ට තිබේ. එහෙත් ඒ තමන්ගේ ප‍ටු ඉල්ලීම් වෙනුවෙන් පමණක් බවත් පෙනෙන්ට තිබෙන් දේය. එනම් තෙල්,ගෑස්.. ආදිය ඉල්ලමිනි. ජනතාව අරගල කළ යුත්තේ රාජ්‍ය පාලන ක්‍රමය නිවැරදි කරගැනීම වෙනුවෙනි. ඒ නිවැරදි වන්නේ නම් තමුන්ට වෙන වෙනම පෞද්ගලික වුවමණාවන් වෙනුවෙන් අමුතු අරගල කළ යුතු නැත.පාලකයන් පන්නා දැමීමෙන් එහාට අරගලයන් මුවහත් විය යුත්තේ එබැවිනි. අරගලය තවදුරටත් රට අර්බුදයට නොයවා එය ගොඩනැගීමේ දිසාවට සීරු මාරු විය යුත්තේ ඒ නිසාය. රට වෙනුවෙන් කළ යුතු යුතුකම වගකීම වෙනදාටත් වඩා වැඩියෙන් උරමතට ගෙන කටයුතු කළ යුත්තේ ඒ නිසාය.

විදෙශ ශ්‍රමිකයන්ට රටට ඩොලර් වැඩි ප්‍රමාණක් එවිය හැකි නම් මේ රටේ අවධියෙන් සිටින ජනතාවට එනම් අරගලයේ නිරත ජනතාවට ඒ ඩොලර් කවුරුවත් හොරා නොකන තැනට වැඩ සකස් කළ හැකිය. අද රජයට ජනතාවට හොරෙන් කිසිවක් කළ හැකි තැනක නැත. සියල්ල හෙළිදරව් වේ.හොරා කන වුන්ට දඬුවම් දෙන තැනක ජනතාව පත්ව සිටී. තවත් වැරැදි අඩුපාඩුකම් සිදුවේ නම් ඒ නිවැරැදි කරගැනීම වෙනුවෙන් ජනතාවට අරගලය ශක්තිමත් කළ හැකිය.

මේ නිසා රටට ඩොලර් එවීම ගැන බිය විය යුතු නැත. කවර පාලකයෙක් සිටියත් වැඩේ හරියට වෙනවාද කියා පරික්ෂාවෙන් මේ රටේ ජනතාව සිටී නම් වැරැද්දක් වන්න ඉඩක් නැත.

රටේ දැනුත් සිදුවන ජන අරගලය ශක්තිමත් වීම විය යුත්තේ රට ගොඩ නැගුමටය. අරගලකරුවන් මේ මොහොතේ ඉල්ලා සිටිය යුත්තේ රට ගොඩනැගුමට සියලු පිරිස් දායක වන ලෙසය.රටට ඩොලර් උත්පාදනය කළ හැකි පිරිස ඒ වෙනුවෙන් පෙළඹ වීමය. ඇත්ත අරගලය රටට අවංක විය යුතුය.රටට ඩොලර් එවන්න එපා කියා අරගලයෙන් හඬක් නැගෙනවා නම් ඒ රටට ජනතාවට කරන ද්‍රෝහී කමකි. ඒ වෙන තකක්ඩිකමක් වෙනුවෙන් කරන ක්‍රියාවලියක්ද විය හැකිය.

මේ තත්වයන් තේරුම් නොගෙන මේ රටේ පුරවැසි කිසිවකු හෝ තවදුරටත් පටු ආකල්ප මත,ආත්මාර්තකාමීව, වංචා සහගතව කටයුතු කොළොත් රටත්,තමන්ගේ ආදරණීයනුත්,සෙසු සියල්ලත් විනාශ වී යෑම සිදුවීම වැලැක්විය නොහැක . තමන් ඉතුරු වෙතැයි සිතාගෙන සිටියාට වැඩක් වෙන්නේ නැත.

මේ වන විට රට මුහුණ දෙන අර්බුදයන් හමුවේ ඇතැම් විදේශීය බලවේගයන් පවා කටයුතු කරමින් ඉන්නේ ඔවුන්ගේ ආධිපත්‍යය රට හමුවේ පවත්වාගෙන යෑමටය. ඔවුන් ඩොලර් ණය වෙනුවෙන් මේ රටේ පාලනය මොනයම් විදිහකින් හෝ අත්පත් කරගන්න කැසකවයි. රටත් ජනතාවත් දුර්වල නිසාය.

ඒ මැදිහත් වීම සිදුවෙනකොට ආණ්ඩුව අරක වික්කාය මේක වික්කාය කියමින් කෑ ගැසීමේ තේරුමක් නැත. ඒ තැනට රට ඇද දැමුවේ පාලකයන් පමණක් නොවේ. ඒ පාලකයන්ට වෙන විකල්ප තේරීමට අවස්ථාවක් නැති කමය සහ ඊට වලංගුභාවයක් ඇතිවන විට ගත හැකි පහසු තීරණයන්ය.

රට ගොඩනගන්න ජනතාවගේ සහය නොමැති නම් වෙන කුමක් කරන්නද? එවැනි තත්වයන් ඇතිවී දූෂිත පාලකයන්ට ඒවායෙන් අයුතු ප්‍රයෝජන ගැනීමේ අවස්ථාවත් උදාවේ. එවිට අරූ හොරා, මූ හොරා කියමින් කෑ ගැසීමෙන් වැඩක් වන්නේද නැත. ඒ තත්වය ඇති කරන්න ජනතාවත් දායක වී තිබෙනකොට, ජනතාවගේ ඒ විරොධයෙන් පලක් නැත. මේ අප දැන් කාලයක් තිස්සේ අත්විඳිමින් තිබෙන තත්වයය. නමුත් එය නිවැරදි කළ හැකිය. ඒ රටේ ජනතාවටය. රට ගැන හිතන ජනතාවටය.

-SJ

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us