හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක් Featured

Published in Gossip
Sunday, 30 October 2022 14:57

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසකට හැකි නම් අයවැය පරාජය කරන ලෙසත් ඇමති මණ්ඩලය පත් කරන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට බවත් ජනාධිපතිවරයා දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරාජය කිරීමට මෙම කණ්ඩායම කටයුතු කළ ආකාරය තමන් දුටු බව පවසා ඇති ජනාධිපතිවරයා ඔවුන්ට දන්වා ඇත්තේ මේ ආකාරයට කටයුතු කළ නොහැකි බවත් අවශ්‍ය නම් අයවැය පරාජය කර මන්ත්‍රී ධුරත් නැති කරගන්නා ලෙසත්ය. අයවැය ඡන්ද විමසීම දෙවරක දී පාරාජයට පත්වූ විට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට සිදු වෙනු ඇත.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

පසුගියදා 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ඡන්දය වර්ජනය කළ, කැබිනට් ඇමති ධුර අපේක්ෂාවෙන් පසුගිය වකවානුව පුරාම ජනාධිපතිවරයාට බලපෑම් කළ බැසිල් රාජපක්ෂ පාර්ශ්වය නියෝජනය කරන අතිශයින්ම ජනතා අප්‍රසාදයට පත් වී ඇති පොහොට්ටුවේ ප්‍රබලයින් කණ්ඩායමක් මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා හමු වී තිබේ.

ඔවුන් ජනාධිපතිවරයාට යළිත් දන්වා ඇත්තේ තමන්ට වහාම කැබිනට් ඇමැතිකම් ලබා දීමට කටයූ කරන ලෙසය. එසේ නොමැතිවුවහොත් මේ පවතින පීඩනය තුළ නොබෝ දිනකින් ඉදිරිපත් වීමට නියමිත අයවැය පරාජය වීමටත් ඉඩ ඇති බව මේ පිරිස ජනාධිපතිවරයාට අනතුරු අඟවා ඇත.

ඔවුන් මෙහිදී අය වැය පරාජය කිරීමට තමන්ට හැකි බව පෙන්වා දී ඇත්තේ මේ වන විටත් විපක්ෂය අයවැය පරාජය කිරීම සඳහා පූර්ණ ලෙස සංවිධානය වී ඇති බැවින් තමන්ගේ ඡන්දයද සමඟ එය සිදුකළ හැකි බව අවධාරණය කරමිනි. එම නිසා හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලය පත් කර තමන් විසින් නම් කර ඇති රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දී මෙම තත්ත්වය පාලනය කරගන්නා ලෙස ඔවුන් ජනපතිට දන්වා ඇත.

මේ කතාව අසාගෙන සිටි ජනාධිපතිවරයා ඔවුන්ට දන්වා ඇත්තේ මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බවය. එමෙන්ම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ඉදිරිපත් වූයේත් මෙම කණ්ඩායමම බවත් පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ඔවුන් දැන් පැමිණ අයවැය පරාජය කරන බවට තර්ජනය කිරීම ගැන තමන් පුදුම නොවන බවත්ය.

ජනාධිපතිවරයා මෙහිදී සෘජුවම දන්වා ඇත්තේ මෙම කණ්ඩායමට අවශ්‍ය නම් අයවැය පරාජය කරවන ලෙසය. අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට මෙය වෙලාව නොවන බව දන්වා ඇති ජනාධිපතිවරයා ඊට වඩා බරපතල ප්‍රශ්න විසඳීමට ඉතිරිව ඇති බවත්, ජනතාව අන්ත පීඩාවට පත් වී සිටින මේ අවස්ථාවේ කළ යුත්තේ එම ගැටලු නිරාකරණය කිරීමට ප්‍රමුඛත්වය දීම බවත් දන්වා තිබේ. ඇමති මණ්ඩලය තමන් විසින් පත් කරන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට බව ද පවසා තිබේ.

කැමති ඕනෑම කෙනෙකුට අයවැය පරාජය කිරීමට අවස්ථාව ඇති බව කියා ඇති ජනාධිපතිවරයා රටේ ප්‍රධානියා ලෙස තමන් තීන්දු ගන්නේ රට ගැන කල්පනා කර බැවින් ඉන් පසුව ඡන්දයක් පැවැත්වේ නම් එය තමන්ට ප්‍රශ්නයක් නැති බව ද ප්‍රකාශ කර ඇත.

කොහොම නමුත් මහ මැතිවරණයක් පැවැත්වුවහොත් මන්ත්‍රී ධුර අහිමි වීමේ වැඩිම ඉඩකඩක් තිබෙන්නේ පොහොට්ටු කණ්ඩායමට වන අතර දැනට එක ආසනයකට සීමා වී ඇති එජාප මන්ත්‍රීධුර ගනන නියත ලෙසම ඉහළ යනු ඇත. මේ වන විටත් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු 40 දෙනෙකු පමණ මහ මැතිවරණකදී එජාපය සමඟ එක්වීමේ සූදානමක පසුවන බවත් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. එමෙන්ම සමගි ජන බලවේගයේ බහුතරයක් මන්ත්‍රීවරුද එජාපය සමඟ එක් වීම සිදුවෙනු ඇති බවත් එජාප ආරංචි මාර්ග පෙනවා දෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us