ජාත්‍යන්තර පරීක්‌ෂණය වළක්‌වාගත හැකිව තිබුණා - ජයන්ත ධනපාල

Sunday, 29 June 2014 05:30

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්‌ෂණය වඩාත් වේගවත් කරමින් එම පරීක්‌ෂණ මණ්‌ඩලයට උපදෙස්‌ දීම සඳහා විද්වතුන් තිදෙනකු ගෙන් සමන්විත කමිටුවක්‌ පසුගියදා පත් කර තිබෙනවා. පරීක්‌ෂණ කණ්‌ඩායම ඉදිරිපත් කරන වාර්තා අනුමත කිරීම ඔවුන්ගේ කාර්යභාරයයි. එම කමිටුවේ සාමාජිකාවක්‌ වන්නේ පින්ලන්තයේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබූවකු වන මාටි අටිසාරිත් පකිස්‌තානු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකාවක මෙන්ම පකිස්‌තානු මානව හිමිකම් කමිටුවේ සාමාජිකාවක ද වන අස්‌මා ජහන්ගීජි සහ නවසීලන්තයේ හිටපු ආණ්‌ඩුකාරවරියක්‌ මෙන්ම කාන්තා හිංසනයට එරෙහි කමිටුවේ හිටපු සාමාජිකාවක ද වන සිල්වියා කාට්‌රයිට්‌ යන තිදෙනායි.

මේ තිදෙනා අතරින් මාටි අටිසාරි මහතා සහ අස්‌මා ජහන්ගීර් මහත්මිය සමගත් නවනීදන් පිල්ලේ මහත්මියගෙන් පසු මහ කොමසාරිස්‌ ධුරයට පත්වන හුසේන් කුමරු සමගත් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමයන්හි නියෑළුණු ශ්‍රී ලංකාවේ කෘතහස්‌ත රාජ්‍යතාන්ත්‍රිකයකු වන වොෂින්ටන්හි සහ ජිනීවාහි හිටපු ශ්‍රී ලංකා තානාපති මෙන්ම එක්‌සත් ජාතීන්ගේ මහලේකම් ධුරයටද වරක්‌ තරග කළ ජයන්ත ධනපාලයන් සමග අප මේ සාකච්ඡා කරන්නේ නවනීදන් පිල්ලේ මහත්මියගේ මේ විද්වත් මණ්‌ඩලයත් ඇයගෙන් පසු එම තනතුරට පත්වන හුසේන් කුමරුත් ශ්‍රී ලංකාව පිළිබඳ දරන ආකල්පය කෙබඳු එකක්‌ද යන්න පිළිබඳවයි.

 

මහ කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය පත්කර ඇති විද්වත් කමිටුව අපේ රට පිළිබඳ දරන්නෙ කෙබඳු මතයක්‌ද?

මේ තිදෙනාම මහ කොමසාරිස්‌තුමිය විසින් ඉතාමත් සැලකිල්ලෙන් තෝරගත්ත තුන්දෙනෙක්‌. මේ තිදෙනාගෙන් දෙදෙනෙක්‌ සමගම එනම් මාටි අටිසාරි මහතා සහ අස්‌මා ජහන්ගීර් මහත්මිය සමග මා ටික කාලයක්‌ කටයුතු කර තිබෙනවා. මාටි අටිසාරි මහතා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මා දැරූ තනතුර ටික කාලයක්‌ දැරුවා. ඊට පසු ඔහු පින්ලන්තයේ තානාපතිවරයකු ලෙසත් ඉනික්‌බිතිව පින්ලන්තයේ දෙවරක්‌ම ජනාධිපති තනතුරත් දැරුවා. නොබෙල් සාම ත්‍යාගයෙනුත් පිදුම් ලැබූ කෙනෙක්‌. අපේ හිටපු තානාපති නෙවිල් කනකරත්න මහතා සමග එක්‌ව නැම්බියාවේ නිදහස වෙනුවෙන් විශාල කාර්යභාරයක්‌ ඔහු සිදුකර තිබෙනවා. යටත් විජිතවාදීන් පරදවන්නටත් ඔහු වෑයම් කළා. ඔහු නොයෙක්‌ අවස්‌ථාවල ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. ඔහු මා සමග ඉතාමත් සුහදව කටයුතු කළ පුද්ගලයෙක්‌. ශ්‍රී ලංකාවේ ජන ජීවිතය පිළිබඳවත් ඔහු තුළ අවබෝධයක්‌ තිබුණා.

අස්‌මා ජහන්ගීර් මහත්මියත් අපේ රටේ කාන්තාවන් සමගත් නොයෙක්‌ අවස්‌ථාවලදී සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා. ඇය පොදුවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන විශාල කාර්යභාරයක්‌ සිදුකර තිබෙනවා. පාකිස්‌තානයේ තලෙයිබාන් ත්‍රස්‌තවාදීන්ට එරෙහිව නිර්භයව කතා කළ කෙනෙක්‌. ජහන්ගීර් මහත්මිය එක්‌ අවස්‌ථාවක ශ්‍රී ලංකාවටත් පැමිණ සහභාගී වූ සම්මේලනයකදී තලෙයිබාන් ත්‍රස්‌ත සංවිධානයට එරෙහිව ඉතාමත් නිර්භීතව අදහස්‌ ප්‍රකාශ කළා. අන්තවාදී අදහස්‌ දරන්නන්ට ඇය විරුද්ධයි.

සිල්වියා කාට්‌රයිට්‌ සමග මා කටයුතු කර නැති නමුත් ඇය පිළිබඳවත් මා දන්නවා. නවසීලන්තයේ අග්‍රාණ්‌ඩුකාරවරිය ලෙස කිහිපවතාවක්‌ම කටයුතු කර ඇති ඇය කාම්බෝජියාවේ සිදුවූ යුද අපරාධ ගැනත් විශේෂ පරීක්‌ෂාවක නිරත වී අත්දැකීම් ඇති තැනැත්තියක්‌.

 

ඒකපාක්‌ෂිකව කටයුතු කර ඇති බවට යම් අවස්‌ථාවලදී මේ අයට චෝදනා එල්ල වෙලා නැද්ද?

 මඩගැසීම ඕනෑම ක්‌ෂේත්‍රයක දකින්නට පුළුවන් දෙයක්‌. චෝදනා නගන්න ඕනම කෙනෙකුට පුළුවන්. නමුත් මේ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් දිහා බැලුවොත් ඔවුන්ට එරෙහිව නගන චෝදනා මඩගැසීම්.

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ අයට පැවරී තිබෙන කාර්යභාරය කුමක්‌ද?

ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවී තිබෙනවාද කියල පරීක්‌ෂා කර බලන්නේ වෙනම කණ්‌ඩායමක්‌. ඒ පරීක්‌ෂා කිරීම් තුළින් සකස්‌ කරන වාර්තාව මේ ත්‍රිපුද්ගල කමිටුවට ඉදිරිපත් කරනව. ඒ වාර්තාව අනුමත වීමට නම් මේ ත්‍රිපුද්ගල කමිටුව එම වාර්තාව පිළිගත යුතුයි. ඔවුන් එම වාර්තාවට එකඟ නොවුණොත් එය අනුමත වෙන්නේ නෑ.

 

නමුත් ශ්‍රී ලංකා රජය මේ පරීක්‌ෂණයට සහභාගි නොවීමටත් සහයෝගය නොදැක්‌වීමටත් තීරණයක්‌ ගෙන තිබෙනවා. මේ අන්තර්ජාතික පරීක්‌ෂණය වළක්‌වන්නට ශ්‍රී ලංකාවට නොහැකි වුණේ ඇයි?

ආණ්‌ඩුව ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කළා නම් මේ අන්තර්ජාතික පරීක්‌ෂණය වළක්‌වන්නට ඉඩ තිබුණා. අපේ රටේ දක්‌ෂ නීතිඥවරු ඉන්නවා. මා කීප වතාවක්‌ යෝජනා කළා රට ඇතුළෙ අපක්‌ෂපාතී පරීක්‌ෂණයක්‌ ආරම්භ කරමු කියල. අපි ඒක කලින්ම ආරම්භ කළා නම් මේ අන්තර්ජාතික පරීක්‌ෂණ වුවමනා නෑ. එබඳු පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න තවමත් පුළුවන්.

එල්. එල්. ආර්. සී. කොමිසම ජිනීවා ගිය අපේ කණ්‌ඩායමට විශාල වාසියක්‌ වුණා. ජිනීවාවල දී ඉදිරිපත් වුණු විසඳුම වුණෙත් එල්. එල්. ආර්. සී. කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලයි. ඒ විදිහටම යුද අපරාධ සිදුවුණාද නැද්ද පිළිබඳව අපි අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කරල තිබුණ නම් එයිනුත් අපේ රටට ලොකු වාසියක්‌ ලැබෙන්න ඉඩ තිබුණා. එහෙම තිබුණ නම් මේ ජාත්‍යන්තර පරීක්‌ෂණ එන්නෙ නෑ. දැන් පිටරට අය හිතන්නෙ අපි ඇත්ත හෙළි නොකර සඟවගෙන ඉන්නව කියලයි. මම හිතන්නෙ අපි අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ නොකිරීමෙන් අපේ හමුදාවන්ට අවමානයක්‌ සිදුවුණා කියලයි.

අපේ වීරෝදාර සෙබළු ජීවිත පූජාවෙන් සටන් කරල ත්‍රස්‌තවාදීන් පරාජය කළා. ඒ සටනෙදි යුද අපරාධ සිදුවුණාද නැද්ද කියල අප විසින්ම අපක්‌ෂපාතී පරීක්‌ෂණයක්‌ නොපැවැත්වීම නිසා ත්‍රස්‌තවාදීන් පරාජය කර අප ලැබූ ඒ ජයග්‍රහණය අද බාල්දු වී තිබෙනවා. ආණ්‌ඩුව විසින් රට තුළ අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කිරීම රටේ ස්‌වෛරීභාවයට අවමානයක්‌ නෙමෙයි. අපේ රටේ අන්තර්ජාතික මට්‌ටමේ විනිසුරුවන් ඉන්නවා. නීතිඥවරු ඉන්නවා. යුද අපරාධ සිදුවී ඇත්දැයි සොයාබැලීමට අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න දැනුත් පුළුවන්.

 

නවිපිල්ලේ මහත්මිය ගෙන් පසු එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ තනතුර හිමිවන්නේ හුසේන් කුමරුට. ඔහු මුස්‌ලිම් සම්භවයක්‌ සහිත පුද්ගලයෙක්‌. අපේ රට පිළිබඳ ඔහුගේ ආකල්පය කෙබඳුවෙයිද?

හුසේන් කුමරු නිව්යෝක්‌හිදී මා සමග රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල නිරත වී තිබෙනවා. එක්‌සත් ජාතීන්ගේ මහලේකම් තනතුරට මා තරග කරන විට ඔහු මගේ ප්‍රතිවාදියෙක්‌. අප දෙදෙනාම ඒ තරගයෙන් පැරදුණා. මහලේකම් තනතුර හිමිවුණේ බන්කි මූන්ට. හුසේන් කුමරුත් ලෝකයේ විවිධ රටවල ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් කැප වී කටයුතු කළ කෙනෙක්‌. විවිධ රටවල කටයුතු කළ සාම සාධක හමුදාවන්හි විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අපක්‌ෂපාතීව ක්‍රියාකර තිබෙනවා. හුසේන් කුමරු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කීර්තිමත් පුද්ගලයකු ලෙස නමක්‌ ඇති කෙනෙක්‌.

නමුත් ශ්‍රී ලංකාවේ අපි නවනීදන් පිල්ලේ මහත්මියට වගේ මේ හුසේන් කුමරුටත් දෝෂාරෝපණය කළොත් ඒක අපි උඩබලාගෙන කෙළ ගහනව වගේ වැඩක්‌. අන්තර්ජාතික සංවාදවලදී වචන භාවිත කළ යුත්තේ කෙලෙසද යන්න පිළිබඳ අපි වඩාත් සැලකිලිමත් වෙන්නට ඕන. අපි විවේචනය කළ යුත්තේ පුද්ගලයන් නොවෙයි. ඔවුන්ගේ අදහසුයි. මේ අන්තර්ජාතික පුද්ගලයන්ට දෝෂාරෝපණ කිරීම නොහොබිනා වැඩක්‌ වගේම අපේ රටට ඉතාමත් අවාසිසහගත දෙයක්‌.

(දිවයින :සාකච්ඡා කළේ -පාලිත සේනානායක)

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us