ආණ්ඩුවෙ ඇජෙන්ඩා වෙනුවෙන් පෙනී සිටිනනේ කලාකාරයො නෙවෙයි වන්දිභට්ටයො

Monday, 15 September 2014 15:18

ජීවිතය ලිහා ගන්න උත්තර ඔක්කොම අරං එන්න වගේ මිනිස්සු පොත් ප්‍රදර්ශනය බලන්න යනවා.

කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියලා කිව්වට රේස් කොලේ කියවලත් ඒ දේ වෙන්න පුළුවන්ද?

උතුරන මී බිදුවක් වීදුරුවෙන් බේරී පලායන්නට නොදී දිවෙන් අල්ල ගන්න අතරෙදි මම කොට්ටාව අවන්හලේ දී ආගන්තුකයාගෙන් ඇසුවා.

මේ සිස්ටම් එකේ දැණුමට වඩා ඒක හරි ගියොත් වැඩක් වෙනවා දොරේ....ආගන්තුකයගේ උත්තරේ ගොඩක් දේවල් තිබුණා.මේ සිස්ටම් එකේ එකතු කරගත් දැණුම පරිශීලනය කරන සහ නිර්මාණශීලීව භාවිතයට ගන්නා මිනිසුන්ගේ ඉරණම තීරණය කරන්නේ ඊට සපුරා පරිභාහිර දේශපාලන උවමනාවක්නම්...යළිත් සාහිත්‍ය මාසයේ ආලෝකය විහිදවන පොත් ප්‍රදර්ශනයෙ නොනිල අධිකාරියේ ව්‍යාපාරික විජ්ජාවේ රැස් විහිදන ස්වර්ණ පුස්තක නම් වූ සාහිත්‍යය සම්මානනීය කරන ඇස් බැන්දුම ළග නතර වුණා.

'ලොක්ක එන්නෙ'
.
ඒ මැවුම්කාරයන්ගෙ සාකච්ඡාවෙ න්‍යාය පත්‍රයට ඇතුළත් විය යුතු පළමු කොන්දේසිය.ඒ නිසා බෙදුම්වාදය නොවන බව කියමින් මේ රට ස්වීය පැවත්ම වෙනුවෙන් සත්කඩකට බෙදා ජාතිය ආගම ලෙස කොටස් කරමින් ඇති කරන ජන අරගලයන් හරහා බේද බින්න වුූ කැරලිකාරි සමාජ චිත්‍රණයකින් ප්‍රගතිශීලී මතධාරීන් පාලනය කරන්නට උත්තේජනය ලබා ගන්නා දේශපාලන නායකත්වය හෝ ඒ වෙනුවෙන් පූජා ලබන ග්‍රෝත්‍රික ශ්‍රමණයන්ගේ දන් සරිකරන අන්ධභක්තික සහ තැරව්කාරයන් අභියෝගයට ලක් කිරිමට ඉඩක් නැත.

ඒ නිසා කාටවත් අපේ පැවත්මේ අවජාතක බව කියන සුජාත යක්ෂණියට ආදරය කරන්නට ඉඩක් නැත.ඇය ප්‍රසිද්ධියේ දූෂණය කර මහමග තැනින් තැන කීතු කර දැමිය යුතුය.එහෙත් ඒ සදහා ඊනියා සුජාත පුත්‍රයෝ අතේ කුණු ගාගන්නට කැමති නැත.හොදම දේ සගවා දැමීම නොහොත් අතුරුදහන් කිරීමේ න්‍යාය පෙරට ඇද යක්ෂණියගේ වචන සහ රුව සමාජගත වීමේ ඉඩ අහුරාලීමය.ආදරණීය යක්ෂණියට එය සිදු විය.ආගමේ සුජාතභාවය වඩාත් ප්‍රශ්නකාරි වන්නේ එය දාර්ශනික පදනමෙන් වියුක්තව පවතින සමාජ දේශපාලනයේ දුර්ගන්ධය වසා ගන්නට ඒකත්පස්ව සිට ගත් විටය.ආදරණිය යක්ෂනියට පෙර පැමිණි මංජුලගේ මේරිනම් වූ මරියාටද යේසුස් වහන්සේ ගල්ගසන්නට එපා කියා තිබියදීත් ඒ ආගමික සමාජය ගල් පෙරළා හුස්ම හිර කරමරා දැම්මේය.එදා බෞද්ධයෝ ඊට එරෙහිව හඩ නැගුවෝ වෙති.මෙවර ඒ ආගමික මිත්‍යාවේ සිට ඔවුන් යක්ෂණියට ගසන්නට ගල් අහුලා දෙන්නෝ බවට පත් වෙති.එහෙත් මේරි මෙන්ම යක්ෂණියද අපේ හදවත් වලින් පලා නොයනු ඇත.ඒ නිසා මේ අමුතු සාහිත්‍ය සම්මාන විජ්ජාවේ සාහිත්‍ය රසවතුන්ට විෂය වු යක්ෂනිය සගවාලූ ක්‍රමවේදය යක්ෂනියගේ අයිතකාරයාගෙන්ම අසා දැන ගන්නට අපි තීරණය කළෙමු.

මේ අකුරු වන්නේ මංජුල වෙඩිවර්ධනගේ හඩය.

ප්‍රශ්නය - ඔබ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙ අවසාන තරඟකරුවන් අතර සිටි ප්‍රබල තරඟකරුවෙක් මේ හඳුන්වා දීමට එකඟද?

මේක වෙළෙඳ පොළ තර්කණය ඇතුළෙ ක්‍රියාත්මක වන අන්ත විකෘතික සමාජ යාන්ත්‍රණයක් හින්දා සාහිත්‍ය උළෙලකට වුණත් ඒකෙන් මිදෙන්න බැරි බව යථාර්ථයක්. ඒ අනුව ඔබේ ප්‍රශ්නය ඇතුළෙ තර්කයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ විසින් අධිපෝෂණයට ලක්කෙරුණු, ඊට සමාන්තරව මන්දපෝෂණය ඉහළ ගිය, සාහිත්‍ය පොත් ඉරලා විසිකරල, යාපනේ පුස්තකාලෙ ගිනිතියලා පටන්ගත්ත ‘‘ජේ.ආරියානුවාදය” තමයි මේ. මේක ඇතුළෙ හදන්නෙ තරඟකරුවන් තමයි. නමුත් ‘‘බරපතල” සාහිත්‍යකරුවෙක් වෙන්න හිත හදාගැනීම ඇතුළෙ මූලිකවම පවා තියෙන්නෙ මෙන්න මේ ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම. උදාහරණයක් ලෙස ඔබ මේ හඳුන්වන අවසන් මහා තරඟයේ හිටගෙන හිටපු පස් දෙනාම ගත්තොත් මට අමතරව තව තුන්දෙනෙක් ගැන මට නිශ්චිතවම කියන්න පුළුවන් ඔවුන් මේ ක්‍රමයට විරුද්ධයි. එරික් ඉලයප්පාරච්චි, නිශ්ශංක විජේමාන්න, ලියනගේ අමරකීර්ති කියන තිදෙනා මං දන්නවා. පී.බී. ජයසේකර ගැන මං දන්නෑ වගේම, ඔහුගේ ප්‍රකාශකයාගේ මාරාන්තික විගඩම් වලට නිහඬව දුන් අනුමැතිය ගැන මට ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා ඔහු ගැන කියන්න බෑ. නමුත් අනෙක් තිදෙනා ගත්තොත්, ඔවුන් මේ තාක් සාහිත්‍යයට සහ කලාවට කරල තියෙන සම්ප්‍රදානය අතිවිශාලයි. ඔවුන් වෙන වෙනම ගත්තත් අසමසම චරිත. පුද්ගල අනන්‍යතා සහිතව වුවත් ඔවුන් සමාජය තුළ රඳවාගෙන තියෙන කීර්තිය සහ විශ්වාසය අති විශාලයි. මෙවන් බරපතල මිනිසුන් අතර සම්මානයක් හෝ ‘‘මේ සා විශාල” යැයි මවා පෙන්වන මුදලක් ගැන තරඟයක් ඇති වෙන්නෙ නෑ වගේම කාටවත් එහෙම තරඟයක් ඇති කරන්නත් බෑ. මොකද ඔවුන් මේ සමාජ ක්‍රමය ගැන සවිඥානික මිනිස්සු.

සමාජයේ කීර්තියක් නැති, පෞරුෂ හීන, අබිලි ද්‍රව්‍ය බවට පත්වුණු, ඇරියස් සහිත ලේඛක හොල්මං එවන්න පුළුවන් මේ වගේ තරඟ සහ අර්බුද අපි අතර ඇති කිරීමට. නමුත් මේ අන්ධකාරෙ ඇතුළෙ ගින්දර ඔලුවේ තියාගෙන එන මේ පිල්ලි ඈතටම පේනවා. ඔවුන්ගෙ පුළුටු ගඳ ඈතටම දැනෙනවා. ඉදිරියෙදි මේ වගේ හොල්මංවල අත් ගෑවුණු පොතක් වත් ස්පර්ශ නොකරන පරම්පරාවක් නිර්මාණය වීමට නියමිතයි. මේ සාහිත්‍ය පිල්ලි, අර ග්‍රීස් යකා වගේම මේ පාදඩ ආණ්ඩුවේ, ඒ කියන්නෙ මේ පාදඩ ධනේෂ්වරයේම නිර්මිත.

ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මේකයි, මම, අමරකීර්ති, එරික්, නිශ්ශංක විතරක් නෙවෙයි, ඔබේ ‘තරඟ‘ සන්දර්භය ඇතුළෙම ගත්තොත්, අවසාන පූර්ව වටේ හිටගෙන හිටපු සුනේත්‍රා, කම්මැල්ලවීර, මොහාන්රාජ් වගේ බරපතල මිනිස්සු ලව්වා කොස් ඇට බාවන්න මේ සමාජ යාන්ත්‍රණයට බෑ. මා ඇතුළු මා නම් කළ සියලු දෙනා පොත් ලියන්නෙ රේස් එකකට තියන්න නෙවෙයි ඉතිහාසය විසින් අපට පැවැරුණු කාර්යභාරය හින්දා.

ඔබ විශ්වාස කරන ඉතිහාසය විසින් පවරන ලද කාර්ය භාරය කුමක්ද?

ඒ තමයි මේ ක්‍රමයට එරෙහිව යාම වෙනුවෙන් සමාජය ඥානනය කිරීම. ඒ පිළිබඳ සවිඥානික සමාජයක් ගොඩනැගීමට දායක වීම. සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් බුද්ධිමය කතාවන් ගොඩනැංවීම. මේ හරහා යහපත් සමාජ ක්‍රමයක් පිළිබඳ ප්‍රාර්ථනාව සමාජය තුළ දැල්වීම. ඒ දැල්වුණු ප්‍රාර්ථනාවට නිවෙන්නට නොදී ආරක්ෂා කිරීම. ඒ සඳහා නිරන්තරව උපක්‍රම සොයන නිර්මාණාත්මක මිනිස්සුන්ට තමයි සාහිත්‍යකාරයො, කලාකාරයො කියන්නෙ. මෙවන් ආණ්ඩුවක ඇජෙන්ඩා වෙනුවෙන් පෙනී ඉන්න අයට කියන්නෙ කලාකාරයො කියල නෙවෙයි වන්දිභට්ටයො කියලා.


ඔබ කියන වෙළදපොළ තර්කණය ඇතුළෙ එවැනි සාහිත්‍යයකට හෝ කලාවකට තියෙන ඉඩ සහ ඒ වෙනුවෙන් කළ යුතු කැපවීම් සහ උපක්‍රම මොනවගේ විය යුතුද?එය ආදරණිය යක්ෂණියට සාපේක්ෂව පැහැදිලි කළොත්?

ඉඩ කඩ පොලීසියෙන් ඇවිල්ලා හදලා දෙන්නෑ. ඒකට තමයි අපි උපාය උපක්‍රම තෝරන්න ඕනි. මේක රියැලිටි ෂෝ සමාජයක්. නිදසුනක් විදිහට දැන් බලන්න පොදු අපේක්ෂකය ගැන යන සංවාද? එක එක විනිශ්චයකාරයො ඇවිත් කමෙන්ට් කරනවා. බලන් ඉන්න අයට තියෙන්නෙ එස්.එම්.එස්. ගහන්න ලෑස්ති වෙලා ඉන්න එක. මේ විදිහට ගියාම තරඟකරුවො නෙමෙයි අන්තිමට ජය ගන්නෙ මේ සිස්ටම් එකම තමයි. ඒ හින්දා තමයි රියැලිටි ෂෝ වලට එස්.එම්.එස්. ගහන මිනිස්සු වෙනුවට අපි බරපතල මිනිස්සු හදන්න දායක වෙන්න ඕනෙ. ඒකට සාහිත්‍යකරුවො සහ කලාකරුවො තමන්ගෙ භාවිතයත් එක්ක සීරියස් වෙන්න ඕනෙ. ඒකට අප්‍රමාණ බුද්ධිමය ශ්‍රමයක් වගුරන්න ඕනි. සමාජය වෙනුවෙන් වැඩකරනවා කියන්නෙ ඒකට තමයි. එහෙම වැඩකළාම තමයි බරපතල කියවීමකට ලක්කරන්න පුළුවන් බරපතල නිර්මාණ බිහිකරන්න පුළුවන් වෙන්නෙ. කට්ට සම්බෝලත් එක්ක ලස්සනට ගොතපු වේවැල් බාස්කට් එකක තියල පිරිනමන ආප්ප වගේ නිර්මාණ වලට, පිරිහුණු සමාජ අධ්‍යාත්මය පෝෂණය කරන්න බෑ. ආප්ප රසයි. කට්ට සම්බෝලත් එක්ක කනකොට දිවට සනීපයි. නමුත් උදේට කක්කුස්සි බක්කිය උඩ වාඩි වුණාම තමන්ට ආයෙ සමාජයේ ගඳ තමන් තුළින්ම දැනෙන්න ගන්නවා වගේ තමයි මේ ‘ආප්ප‘ නිර්මාණ වලට හුරේ දාන එක.

යක්ෂණීව ගෙනත් මං හිටවන්නෙ මේ සමාජෙට එරෙහිව. බොදු බල සේනාව විසින් කූඨප්‍රාප්තියට පත් කරමින් ඉන්න ගඳ ගහන ඉතිහාසෙට එරෙහිව. උත්තරාරෝපණය වෙමින් පවතින්නේ ඒ අතීතයම තමයි. මහන්සි වෙලා මිනිස්සු ලියන දේ මහන්සි වෙලා කියවන්න හිත හදා ගන්න සහෘද සමාජයක් තමයි අපි හදන්න ඕනෙ. යක්ෂණී කියවනකොට අපිට අපේ අතීතය සහ ඉතිහාසය ලිහාගන්නකොට දැනෙන අමාරුව දැනෙන්න ඕනි. කෙනෙක්ට ඒක ලිහාගන්න ඕනි නෑ කියන්නෙ ඔහු තවදුරටත් හුරේ දාන්නෙ බොදු බල සේනා සංස්කෘතියට. ඒක ඒ අයගෙ වැරැද්දක් නෙමෙයි, මේ සමාජක්‍රමයෙ තර්කානුකූල අන්තයක්. අපි ඒ අයට අනුකම්පා කරන්න ඕනි, අපි ඒ සංවාද ඇතුළෙ අය දිනාගන්න ඕනි.

යක්ෂණී හරහා රටේ ප්‍රධාන ප්‍රශ්නය වුණු ‘‘ජාතීන් අතර ප්‍රශ්නය” මේ තරම් ඉක්මනට අමතකකරල දාපු සමාජ අධ්‍යාත්මයට රිද්දන්නයි මට ඕනි. එහෙම රිද්දුණාම තමයි මේ සමාජ ක්‍රමය පෙරලා දැමීමේ ජවය තමන් තුළම උත්පාද වෙන්නෙ. සෙමින් එහෙත් බරපතල ලෙස මගේ නිර්මාණ කියවමින් ඉන්න තරුණ පරම්පරාව මට හමුවෙනවා. ඔවුන්ට මං ගහන ගේම පේනවා. ඒ හින්දා ඔවුන් මට බැඳෙනවා. මගේ සාහිත්‍යට ආදරය කරන්න පටන් ගන්නවා. මේක මේ සමාජ ක්‍රමයට බරපතල ප්‍රශ්නයක්. අර පිල්ලි එවන්නෙ අපේ මේ ශ්‍රමය පරාජය කරන්න. ආණ්ඩුවේ සිළුමිණ පත්තරේට ඇවිත් ටෙනිසන් පෙරේරා කියනවා. මම වර්ථමානයට එරෙහිව යක්ෂණී හරහා ගහන කැරැල්ල ප්‍රතිගාමී වැඩක් කියලා. ඔහු දැන් ඉන්න මානසික තත්වය අනුව ඔහුට හිතෙනවා ඇති දස දහස් ගාණක් දෙමළ මිනිස්සු කඳු ගහපු, දැන් දකුණෙ වතුර උගුරක් ඉල්ලන එකාවත් මරා දාන මරා ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී ඉන්න එක ප්‍රගතිශීලි වැඩක් කියලා. පණ පිටින් වැළලුණු මිනිස්සු ඉතිහාසය පුරා හිටියා. දැනුත් ඉන්නවා.



ඔබ හිතන විදිහට සාහිත්‍යය විනිශ්චය කරන්න මේ ස්වර්ණ පුස්තක විනිසුරු මඩුල්ලට තිබුණු දැනුම් වපසරිය ප්‍රමාණවත් එකක්ද?

මගේ වැඩේ සාහිත්‍ය විනිශ්චය මණ්ඩලවල දැනුම හොයන එක නෙවෙයි. ඒක වෙන වැඩක්.මගේ වැඩේ ලියන එක. නමුත් ඔබ අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕනි.

මේ අතරින් බොහෝ දෙනා සමාජ සටන් වලට සම්බන්ධ, සමාජ ප්‍රගමනයට දායක වුණු ඉතිහාසයක් ඇති මිනිස්සු. සමාජ සාධාරණය වෙනුවෙන් අත්සන් තැබෙන බොහෝ ලියවිලිවල නම් තියෙන විශ්වාසයක් තැබිය හැකි මිනිස්සු. ඒ හින්දා ඔවුනොවුන්ගේ දැනුම් පරාසයන් තුළ සාකච්ඡාව සංවාදය ඇතුළෙ සාධාරණ තීන්දුවක් දෙයි කියල පොත් වලට ඇලුම් කරන පොත් කියවන සමාජය තුළ විශ්වාසයක් තියෙනවා. නමුත් මේක ව්‍යාපාරික යාන්ත්‍රණයක් ඇතුළෙ සිද්ධ වෙන්නෙ කියන මූලික අවබෝදෙ මේ හැමෝම ළඟ තියෙන්න ඕනෙ. ඒ හින්දා තමයි මම අලුතින් පොත් පළ කරන්න පටන් ගත්ත ‘‘සම” ප්‍රකාශන ආයතනය හරහා මගෙයි, මගේ සටන් සගයෙක් වෙච්ච සනත් බාලසූරියගෙයි පොත් දෙකම එකට ආපු ගමන් ප්‍රකාශන යාන්ත්‍රණය බය වෙන්නෙ. මුලින්ම ගත්තොත් යක්ෂණී වෙනුවෙන් වන්දි ගෙවන්න වෙන්නෙ සනත් පළකළ ‘‘ මේ සොඳුරු දඩබිමෙහි.... ” කෘතියට. එය මූලික තේරීම් අතර ඉහළම තිබුණු කෘතියක්. කණ්ඩලම හෝටල යාන්ත්‍රණය, අවසානයේ රංගිරි දඹුලු බොදු බල යාන්ත්‍රනයට පර්යාය වුණු පාදඩ දේශපාලනය තමයි ඒකෙ ප්‍රස්තුතය. නමුත් ‘‘සම” පොත් දෙකක් එකවිට ඉදිරියට ගේන්නෙ කොහොමද? මොකද ‘‘සම” ආයතනය ඒ වන විට මුළුමනින්ම පළ කර තිබුණු පොත් සංඛ්‍යව 5යි. පොත් දහස් ගාණක් පළකළ ආයතන, විනිසුරුවන් තෝරාපත් කළ ආයතන මේවට ඉඩදෙයිද? අනික ‘‘සම” ආයතනයේ නෑ සංගමයේ උපසභාපතිවරු. අන්න සනත්ගෙ පොත වන් ෂොට් ඉවත් කෙරෙන යාන්ත්‍රණය ඔටෝ හැදෙනවා. යක්ෂණී තියාගන්නවා, මොකද යක්ෂණි බල්ලකේටවත් තේරෙන්නෙ නෑ කියන තර්කනය ඇතුළෙ ඊළඟ වටේ හලල දාන්න ලේසියි කියල හිතෙන හින්දා. නමුත් යක්ෂණී බරපතල කියවීමකට පක්කළ අය මේ අතර ඉන්නවා. මේ ඉන්න අය ඔවුනොවුන් අතර කෙරෙන සංවාද ඇතුළෙ යක්ෂණි නොතේරුණු අයත් ඒක තේරුම් ගන්න පටන් ගන්නවා. තර්කානුකූලව ගත්තොත් ඒකයි ඇත්තටම වෙන්නෙ.

මේ වගේ ක්‍රියාවලි වලට බාහිර බලපෑම් එනවා. ඒක හැමදාමත් සිද්ධවුණා. මේ පාරත් සිද්ධවුණා. හෙටත් සිද්ධවෙනවා. උදාහරණයක් විදිහට මෙවර ක්‍රියාවලියේ කූඨප්‍රාප්තිය ගත්තත් මේ දේ සිද්ධ වුණා. නමුත් සමන් වික්‍රමාරච්චි, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල ගත්තොත් අනම්‍ය තීන්දු ගන්න, තමන්ගෙ මතවාදය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් ස්ථාවරයක් තියෙන හෙට දවසෙ වුණත් විශ්වාසයක් තියන්න පුළුවන් මිනිස්සු. ලයනල් ප්‍රනාන්දු සහ ආරියවංශ රණවීර ගත්තොත් ඒ දෙන්නා පරිපාලන සේවයේ නියුතුව සිටි සම්මුතිකාමීන්. ඔවුන් දෙදෙනොගෙන් ලයනල් ප්‍රනාන්දු කියන්නෙ සංවාදය ඇතුළෙ යමක් පිළිගන්වන්න පුළුවන් පළල් මනසක් තියෙන අප තුළ ගෞරවයක් තියෙන ඇත්ත මනුස්සයෙක්. නමුත් ආරියවංශ රණවීර කියන්නෙ මොන තරම් දැනුම් පරාසයක් තිබ්බත් විශාල පීඩනයක් තුළ කැළඹෙන, නම්ම ගන්න පුළුවන් කෙනෙක් කියන එකයි මගේ අවබෝධය. මෙවන් ක්‍රියාවලියක තීන්දුවක් අපි තේරුම් ගන්න ඕනෙ මෙවන් අවශේෂ කරුණුත් සලකා බලල.


යක්ෂණියගේ අභිෂේක වීම වළක්වන්නෙ විනිශ්චයට එහායින් ගිය වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා යන්න පිළිබදව පැතිරෙන ආරංචි ගැන ඔබ විශ්වාස කරනවාද?

විශ්වාස කරනවද කියලා අහන්න දෙයක් නෑ, එතන සිද්ධ වුණේ මංකොල්ලයක් තමයි. මෙවන් බිස්නස් යාන්ත්‍රණයක වෙනත් බලවේග ක්‍රියාත්මක වෙනවද කියන එක මං ඉහතිනුත් පැහැදිලි කළා. ආරියවංශ රණවීර කවීන්ද්‍රයා එළියට ඇවිත් දේවල් කිව්වට ඒ ඇගයීම නිවේදනය කරපු දවසෙ ඔහුගේ මුහුණ සහ කටහඬ පත්වෙලා තිබ්බ ව්‍යාකූලත්වය හැමෝම දැක්කා. සාහිත්‍ය මංකොල්ලයක් සිද්ධවුණාම ඒකට සෘජුවම හවුල් වුණු අයට ඒක ඒ අයගෙ හෘදය සාක්ෂිය සම්බන්ධ ගැටළුවක් බවට පත්වෙනවා. රෑට නින්ද යන්නෑ. හීනෙන් බයවෙනවා. ඒ ඒ පොත්වල හිටපු චරිත ඇඳට පැනල බෙල්ල මිරිකන්න එනවා පේනවා. අනික තමන්ව විශ්වාස කරන මිනිස්සු මේ ගැන අහනකොට වි‍ශාල මානසික පීඩනයක් ලැජ්ජාවක් එනවා. තමන්ගේ කොන්ද පි‍ළිබඳ හැඟීම් එන්න පටන් ගන්නවා. මේවා නවත්ත ගන්න ඒ අයට බෑ. නමුත් මේ ක්‍රියාවලියෙ හිටපු ඇත්ත මිනිස්සු එළියට ඇවිත් ඇත්ත කියන්න ගත්ත දවසට හැංඟෙන්න දැන් ඉඳන්ම බිත්තර කටු හොයාගන්න සිද්ධවෙනවා. අච්චර බරපතල මිනිහෙක් වෙච්චි, අපි අම්ම තාත්තා වගේ ආදරය කරපු ටෙනිසන් පෙරේරා මොහොතකින් ටෙනිසන් කුරේ බවට පත්වුණා වගේ ඉරණමකට පත් වෙන එක මේ සමාජය ඇතුළෙ සිද්ධ වෙනවා නෙවෙයි සිද්ධ කරනවා. මගේ සාහිත්‍ය ක්‍රියාවලියට මඟ පෙන්නපු, මගේ සාහිත්‍ය වෙනුවෙන් උසාවි නගින්න පවා ලෑස්තිවෙලා උන්නු, මා වෙනුවෙන් මානසික ආධාර දුන්නු ටෙනිසන් පෙරේරා මෙහෙම හැසිරෙන එක පුද්ගලිකව ගත්තහම මට මහත් වේදනාවක්. නමුත් ඔහුගේ හැසීරීම ඕපපාතික නෑ කියන එකයි මගේ කර්කය. එමෙන්ම තවදුරටත් පුද්ගලිකව හට ගන්න වේදනාවන් අපිට දරා ගන්න වෙනවා සමාජය ජයග්‍රහණය කිරීම සඳහා භාවිතයක නියැලෙන්නන් හැටියට. ඒක එකක්.

දෙවැන්න, ගුණදාස අමරසේකර පැහැදිලිවම මෙවන් සම්මාන ක්‍රියාවලි‍ ගැන පැහැදිලි කරලා තිබ්බා ඔහුගෙ සුපුරුදු ජාතික මතවාදය මත පිහිටමින්. අපිට ඔහු කියන දේ එතරම් වැදගත් නැත්තෙ, ඔහු සේවය කරන තැන සහ පෝෂණය කරන මතවාදය ගැන අපි දන්න නිසා. නමුත් ඒ උසිගැන්වීම් වලින් ආතුර වෙච්ච බල සේනා කාරයො තමන්ට දරා ගන්න බැරි විදියෙ කෘතියක් ඇගයීමට ලක්වුණා නම් මුළු සභාවම කණපිට පෙරලන්න සන්නද්ධව එදා එතැන්ට ඇවිල්ල උන්නෙ කියන එක ප්‍රසිද්ධියෙ කතා නොකළට හැමෝම දන්නවා. මෙහි තිබුණු බලපෑම කෙතරම්ද කියනව නම් ටෙනිසන්ගෙයි, රණවීරගෙයි දුරකතන දෙකේ ඩීටේල්ස් බිල් ගන්න පුලුවන් නම් හොයා ගන්න පුළුවන්.

දැන් මේ වෙනකොටම යක්ෂණී ප්‍රතිගාමී කියලා කියපු ටෙනිසන් පෙරේරා කියලා තියෙනවා යක්ෂණී ගැන ‘’His approach is valuable. Reality cannot hide ‘’කියලා. ඇගයීම් මණ්ඩලයේ ආරියවංශ රණවීර කියල තියෙනවා ‘විනිශ්චය මණ්ඩලයේ රහස්‍යභාවය නැතිවුණා කියලා. දේවල් හෙමින් වෙනස් වෙමින් තියෙන්නෙ. මිනිස්සුන්ට බෑ හෘදය සාක්ෂියෙ අර්බුදයෙන් මිදෙන්න.


‘කුරුලු හදවත‘ මේ සිස්ටම් එකට තුරුලු කර ගන්න ඔබේ ‘යක්ෂණියට’ වඩා පහසුයි. සියුමැලියි. මම කිව්වොත් යක්ෂණියට වඩා කුරුලු හදවත ඇගයීමට බලපාන ප්‍රධානම හේතුව ඒකයි කියලා.... ?

අමරකීර්තියි මායි කියන්නෙ අද ඊයේ නෙවෙයි අවුරුදු බර ගාණක යාළුවො. අපේ සාහිත්‍ය සංවාදය තාමත් ඉඳහිට ඒත් අඛණ්ඩව සිද්ධවෙනවා. ඔහු මගේ ‘බත්තලංගුණ්ඩුව’ ගැන විශිෂ්ඨ කියවීමක් කළේ ඔහුගේ ‘අටවක පුත්තු‘ කෘතිය පළවෙලා තිබුණු මොහොතෙ. ඔහු සම්මානලෝලියෙක් නම් එහෙම කරන්නෑ. ඒ හින්දා මේ සම්මාන හුටපට වලින් අපේ අවබෝධයට හානි වෙන්නෙ නෑ. ඔහු ඉන් අනතුරුවත් දිගින් දිගටම මගේ සාහිත්‍ය භාවිතය ගැන ලිව්වා. ඔහුගේ විශ්ව විද්‍යාල දේශන වලට මගේ නිර්මාණ යොදා ගත්තා. විශ්ව විද්‍යාල සාහිත්‍ය කව ඇතුළෙ මගේ නිර්මාණ ගැන කතා කිරීමේ මණ්ඩප හැදුවා. ඔහු අතිශයින් කාර්ය බහුල කෙනෙක් මේ වෙද්දි. යක්ෂණී ගැන ලියන එක ටිකක් සංකීර්ණ වැඩක්. ඔහුට ඒකට කාලය හොයා ගන්න තිබ්බ නම් ඔහු යක්ෂණී ගැනත් ලියන බව මම දන්නවා. මං දැක්කා ඔහු මගේ අලුත් කවි පොත ගැන මේ වෙනකොටත් අදහස් පළ කරලා තිබුණා. ඔහු මං වගේ සමකාලීනයෙක්ට විතරක් නෙවෙයි අලුත් පරම්පරාවල නිර්මාණශීලි අයට තම බුද්ධිමය දායකත්වය ලබා දෙන කෙනෙක්. සම්මාන පිළිබඳ විකාර අපේ සාකච්ඡා වලට විෂය වෙන දේවල් නෙවෙයි. ඔහුගේ කුරුලු හදවත කියන්නේ මේ සිස්ටම් එක ඇනලයිස් කරපු කෘතියක් තමයි. සංස්කෘතික වෙළෙඳාම සිද්ධවෙන හැටි ගැන සමීප කියවීමට යන්න ඔහුගේ කෘතිය අතිශයින් වැදගත්.

මේකයි මට කියන්න තියෙන්නෙ, කුරුලු හදවත නෙවෙයි තාරා, මරියා සිලෝනිකා හෝ පාද යාත්‍රා ඇගයීමට ලක්වුණත් ඒක මේ සමාජෙ කාටත් ප්‍රශ්නයක් නෙවෙයි. මටත් ඒකෙ ඇති ප්‍රශ්නයක් නෑ. ඔවුන් හැමෝම විශිෂ්ඨ ලියන්නො කියලා කවුරුත් දන්නවා. නමුත් ප්‍රශ්නයක් ඇතිවෙනව නම් ඇතිවෙන්න නියමිතව තියෙන්නෙ ඇගයීමක් ගැන නෙවෙයි මංකොල්ල කෑමක් ගැන.
දැන් මම ඔබේ ප්‍රශ්නෙට සංයුක්ත උත්තරයක් දෙන්නම්, මගේ කෘතියෙන් එක උදාහරණයක් විතරක් උපුටා දක්වමින්. ‘මගේ ආදරණිය යක්ෂණී’ පොතේ 284 වැනි පිටුවේ මෙන්න මෙහෙම තියෙනවා.

‘‘විජය කියන මූදු මංපහරන්නව, කුදිරමලේ කන්දටත් වඩා උස්සලා තියන අයට ඕන කරන්නෙ ජාතියක ශුද්ධවර බව, එහෙම නැත්තං රාජකීය බව තමන්ට ආදේශ කරගන්න. අන්න ආර්ය සංකල්පෙ ඉස්සරහට එනවා. හරියට හිට්ලර් වගේ. කොටින්ම හිට්ලර් කියන්නෙ හෙළයෙක් කියලා බය නැතුව ලියන තැනට මිනිස්සු අද පිස්සු වැටිලා ඉන්නෙ. මට තියෙන ප්‍රශ්නෙ මේකයි. හිට්ලර් ගැන කතා කරන කිසි එකෙක් සිංහල භාෂාවෙ තියෙන පර්යයා පද කියන වචන ගැන මෙලෝ දෙයක් දන්නෑ.”

දැන් මෙහෙම ලියල තියෙන එකක් මහින්ද රාජපක්ෂ අතට දෙන්න තරම් හයියක් ඔය පොත් ප්‍රකාශකයන්ගෙ සංගමේ කාටද කියෙන්නෙ. රාජ්‍ය අනුග්‍රහයෙන් මේ පොත චීන භාෂාවට නඟන්න නිර්දේශ කරන්න මහින්දට පුළුවන්ද?


සංවාදය - කවෝදි නරේන්ද්‍ර
කවරය - චන්ද්‍රගුප්ත තේනුවර
සේයාරුව - ඩිෂාන් තොඩිතුවක්කු

yakshani

Last modified on Monday, 15 September 2014 15:43

Leave a comment

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

Connet With Us