නිර්මාණය විචාරයට බලපාන්නේ එම නිර්මාණයම පමණයි

Thursday, 11 December 2014 14:43

ජයසිරි අලවත්ත අපිට මුලින්ම මුණ ගැහුණේ පොත් ගොඩක් එක්ක පාරෙදි . අදත් මුණ ගැහෙන්නේ පොත් එක්ක.

ඒත් හැමතැනදි ම, පත්තරවල, සයිබර් අවකාශයේ ඔහුගේ විචාර ලියැවිලි ගොඩ ගැහෙද්දි මදි පාඩුවට ද මන්දා ජයසිරි නැත්නම් අලයා පොතක් කෙරුවා,

ඒක මකරන්දයක්. ඒ ගැන අපිට ටිකක් කතා කරන්න හිතුණා.

කවි පොතකට පවා අලෙවියක් හදා ගන්න බැරි කාලෙක ඔබ කවි විචාර පොතක් කරන්න හිතුවේ ඇයි?

මූලිකව ම ඔය කාරණය කිහිප දෙනෙක් ම මගෙන් ඇහුව්වා. සරලව පිළිතුරු දෙනව නම් යම් මාධ්‍යක් විචාරය කිරීමේදී මට ඒක කවිය ද කෙටිකතාව ද නවකතාව ද කියන එක අදාළ වන්නේ නැහැ. අදාළ නවකතාවේ කෙටි කතාවේ එහෙමත් නැතිනම් කවියේ චිත්‍රපටයේ නාට්‍යයේ ප්‍රකාශනය, එහි සාහිත්‍ය රසයෙන් එයාට ගියපු සමාජ, ආර්ථික, දේශපාලන සහ ආගමික කෙටියෙන් ම කියනව නම් සමාජීය කරුණු කතා වෙනවනම්, ඒක සාමාන්‍ය පාඨකයාට තේරෙන්නේ නැතිනම් එබඳු කෘතියක් කෙරෙහි මහජනතාව පාඨකයා යොමු කිරීම උදෙසා මගේ යුතු කමක් සහ වගකීමක් විදිහට මං ඒ කෘතිය විචාරයට ලක් කරනවා. එහිදී ඒ කෘතියේ තියෙන ගැට පද ලිහලා හඳුන්වලා දෙනවා. එහි ප්‍රතිපලයක් හැටියට තමයි 2012 මකරන්ද කාව්‍ය කෘතිය මගේ විඳීමෙන් පස්සේ මේ විදිහට විචාර පොතක් බවට පත්වන්නේ. හැබැයි විචාර පොතක් කරනවා කියන එක පැත්තකට තියලා තමයි මේක ලියන්න ගත්තේ. නැවත ඔබ මතු කරපු කාරණය: ඒ කියන්නෙ කවි පොත් නොවිකිණෙන තැනකදි කවි විචාර පොතක් කරවා කියන තැනට ආවොත් මම කලින් කිව්වා වගේ මට විචාරයට එහි මාධ්‍ය කුමක්ද කියන එක අදාළ වන්නේ නැහැ.


මෙතැනදි ඒ කාරණය විශේෂ වන්නේ මෙය පොදු කෘතියක් නිසා. මෙහි ලේඛක ලේඛිකාවන් පවා බොහෝ පිරිසක් ඉන්නවා ඔවුන්ට සහ ඔවුන්ගේ නිර්මාණ වලට සාධාරණත්වයක් ඉෂ්ඨ කරන්නනම් එම කෘති විචාරය කරලා කෘතියක් ලෙස අන්තර් ගත කළ යුතුයි. නැතිනම් මේක පත්තරයක පළ කරනවනම් එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ කවියක විචාරයක් පමණක් පළවේවි.
මට එයින් කිසිසේත් ම සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔවුන්ගේ නිර්මාණ ඇගයීමකට ලක්වන්නෙත් නැහැ. ඔවුන්ටත් ඔවුන්ගේ නිර්මාණවලටත් සාධරණයක් ඉටුකිරීම සහ ඔවුන් නිර්මාණ තුළින් කතා කරන සාමාජීය, ආර්ථිකමය, දේශපාලනික මාතෘකා සමාජගත කිරීම උදෙසා මෙය කෘතියක් හැටියට පළ කළේ.


ඔබේ මකරන්ද කාව්‍ය විචාර සංග්‍රහය 2012 සිට මේ වනතෙක් ගොඩනැගුණ හැටි කතා කළොත්?


මගේ විචාර කාතියට පාදකවෙන්නෙ 2012 මකරන්ද කෘතිය වුණත් මේ වැඩේ ආරම්භ කරන්නේ 2008 හෝ 2009 වර්ෂයේ. මේකට මූලික වන්නේ අපේ ප්‍රවීණ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර සහෝදරයා. මේ මකරන්ද වැඩ මුළුවලින් මම සම්බන්ධ වන්නේ 2012 මකරන්ද වැඩමුළුවට. ඒ වැඩසටහනෙදි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහෝදරයා මට ඒ කාව්‍ය කෘතිය පිළිගන්වනවා. ඒක තුන්වැනි මකරන්ද වැඩමුළුව. ඒ පොත මගේ අතට පත් වුණාට පස්සේ මම මේ පොත කියවලා මගේ සිත්ගත් කවි ගැන ලියනවා.

මකරන්ද වැඩමුළුව ගැන කතා කළොත්, ඉස්සර රාවය පත්තරේ ගියපු මකරන්ද කියන කවි පිටුවේ තිබුණ කවි එකතු කරලා තමයි තිඹිරියාගම සහෝදරයා මෙම කෘති සම්පාදනය කරලා තිබුණේ. පස්සේ ඔහු පුවත්පතින් අයින් වුණත් මකරන්ද කියන නම තිබුණා. ඔහු ගෙදර ඉඳන් ඒවා තේරුවා. තෝරලා ඊට අමතරව වසරක් පාසා මෙන්න මෙහෙම කවි පොතක් කරනවා කියන ප්‍රචාරය කළා. ඊට පස්සේ මකරන්ද කවි පිටුවට අමතරව ඔහුට පුද්ගලිකවත් විශාල කවි ප්‍රමාණයක් යොමු කළා. ඒ කවිවලින් ඔහු තෝරා ගත් කවි ටික තමයි මේ විදිහට අවුරුදු තුනක් තිස්සේ සංගෘහිත කරලා කෘති විදිහට කළේ. එතකොට 2013 දී මේ දේ කෙරුණේ නැහැ. ඒ නිසා මගේ කෘතියත් වසරකින් පහු වුණා. කොහොම වුණත් මං මගේ අභියෝගය ජයගත්තා. මකරන්ද 2012 කාව්‍ය කෘතිය ‘‘මකරන්ද කාව්‍ය වීමංසා’’ නමින් ප්‍රකාශයට පත් කළා.

‘‘මකරන්ද කාව්‍ය වීමංසා’’ හි විචාරයට පක් වෙලා තියෙන්නේ ආධුනික කවීන්ගේ කවි. විශේෂයෙන් ම ආධුනික කවි කිවිඳියන්ගේ කවි ම තෝරා ගන්න හේතුවක් තියෙනවද?

අපේ බොහෝ විචාරකයොත්, ප්‍රබුද්ධයි කියන ලේඛක ලේඛිකාවොත් ප්‍රබුද්ධයි කියන සියලු කලාකාරයොත් ආධුනික කියලා කියපු ගමන් එකපාරට ම කියැවීමට පෙලඹෙන්නේ නැති ගතියක් තියෙනවා. අදාළ කාතිය කවුරු හරි ප්‍රබුද්ධයි කියන ලේබලය ගහගත්තු කෙනෙක් ලිව්වොත් තමයි කියවන්නේ. ඒත් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ අතට පත් වුණු කෘතිය ආධුනිකයෙකුගේ ද ප්‍රබුද්ධයෙකුගෙ ද, කතෘ කවුද කියන එක අදාළ වෙන්නේ නැහැ. මට වැදගත් වෙන්නේ නිර්මාණය. ඒ නිර්මාණය ඇතුළේ මට එය විඳින්න පුළුවන්නම්, ඒ හරහා මට යමක් සමාජයට දෙන්න පුළුවන්නම් මට වැදගත් වන්නේ අන්න ඒක. මකරන්ද 2012 කාව්‍ය කෘතියේ අන්න ඒ දේ අන්තර්ගතව තිබුණා. මම කෘතිය කියෙව්වා. මම ඒ කවි ලියපු අය අඳුනන්නෙත් නැහැ දැකලත් නැහැ. ඒත් මම නිර්මාණ කියවලා නිර්මාණය රසවිඳලා ඒ නිර්මාණයෙන් කතා කරන සාමාජ, ආර්ථික, දේශපාලනික සන්දර්භයන් කලින් සඳහන් කළ විදියට ගැට පද ලිහලා විචාරයට ලක් කළා.

යම් පුද්ගලයෙක් නිර්මාණයක් කළාට පස්සේ ඔහුගේ/ඇගේහැඩ රුව, ඔහු/ඇය ලබා තිබෙන සහතික මොනවද, ඔහු කොපමණ කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටියද කියන එක මට අදාළ වෙන්නේ නැහැ. මම 2012 මේ කෘතිය කියවද්දි එදා මම විචාරයට පක් කරපු කවීන් දෙදෙනෙක් මේ වනවිට රාජ්‍ය සම්මානලාභින්. ඒ එක්කෙනෙක් සුහර්ෂණී ධර්මරත්න. ඇය මට මුණ ගැහෙන්නේ 2013 වසරෙ රාජ්‍ය සම්මානය ලබාගත්තායින් පසුව සම්මුඛ සාකචඡාවකදි. මම එදාවත් ඇයට කිව්වේ නැහැ ඇගේ කවියක් මම විචාරයට ලක් කළා කියලා. ඊළඟට රුවන් බන්දුජීව සහෝදරයා: ඔහු මට මුණ ගැසිලා තියෙනවා මම නමින් දන්නේ නැහැ ඔහුගේ කෘතිය නිකුත් වුණාට පසුව තමයි ඔහු රුවන් බන්දුජීව කියලා මම දැනගන්නේ. ඔහු 2014 දී විද්‍යෝදය සම්මාණ උළෙලදි සහ රාජ්‍ය සම්මාන සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම කාතියේ ‘‘අයිතිය’’ නමැති නිර්මාණය කළ විශ්වජිත් ගෙ කාව්‍යය කෘතිය සහ ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ කාතිය වසරක් පාසා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් තොරාගන්නා කෘති තුනට ඇතුළත් වෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ආධුනික කියලා ලේබල් ගහලා ඒ කෘති පරිහරණය නොකිරීමෙන් මොනතරම්නම් අවැඩක් සාහිත්‍යය ක්ෂේත්‍රයට සිද්ධ වෙනවද කියලා. මම එදා ඔවුන්නේ කෘති විචාරයට පත් කරපු එක ගැන ඔවුනුත් අඩම්බර වෙනවා මටත් ආඩම්බරයක්.

ජයසිරි අලවත්ත කියන විචරකයාගේ කියැවීමට අනුව විචාරකයා කියන්නෙ කවුද?

ඕනෑම සාහිත්‍ය කෘතියක් විචාරයේදී.. බොහෝවිට කවි... ඒ කවියේ කාව්‍යාලංකාර තියෙනවද? උපමා තියෙනවද? උපමා රූපක තියෙනවද? විරිත තියෙනවද? මේ වගේ ගොඩාක් දේවල් බලනවා. එය බැලිය යුතුයි. කවියක් ලස්සන වෙන්නේ ඒවත් එක්ක තමයි. හැබැයි කවියා ඉදිරිපත් කරන නිර්මාණය එතැනින් ඔබ්බට යා යුතුයි කියලා මං විශ්වාස කරනවා. නිර්මාපකයා දුටු ඒ අනුභූතිය සමාජ ගත කරද්දි ඔහු විවිධ සංකේත උපමා රූපක භාවිතා කරනවා. අපි ඒ සංකේත උපමා රූපක ඒ ආකාරයෙන්ම දකිනව නම් විචාරකයාට අර කවියා අදහස් කළ හෝ නොකළ සාමාජීය, ආර්ථිකමය, දේශපාලනික සම්බන්ධතා, මිනිස්සු කෙතරම් පීඩනයට පත් වෙලා තියෙනවද? රටේ ජනතාව කෙතරම් දුක් කන්දරාවන් විඳිනවද? කියන අදහස ගොනු වන්නේ නැහැ. මම දැක්කේ මේ කවීන් ඔවුන්ගේ නිර්මාණ හරහා ඔවුන් නිහඬව කතා කරන්නේ මේ සමාජ ආර්ථික පීඩනය. උදාරණයක් විදිහට ගත්තොත් දෙමාපියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන දෙමාපියන්ට, පාලකයන්ගෙන් පාලිතයන්ට මොනතරම් නම් පීඩාවකට ලක්වෙනවද කියන එක ඔවුන් ඔවුන්ගේ නිර්මාණ හරහා සාකච්ඡා කරනවා. එතැනදි අපි කියන ‘අමු වචන’ පවා භාවිතා කරලා තිබුණා, හැබැයි අමු වචන භාවිතා කළත් ඔවුන් ඒ මාතෘකා හරහා ගෙන එන සාජ, ආර්ථි, දේශපාලනික සහ ආගමික කරණා වටිනවා. මටත් වටින්නේ ඒ අදහස. ඒ නිසා එවැනි කවි මං තොරා ගත්තා. ඊළඟට අර කිව්වා වගේ උපමා රූපක විරිත කාව්‍යෝක්තිය, උපමාලංකාර, ව්‍යංගාර්ථ මේ සියලු ම දේ තියෙන කවිත් තිබුණා. එහෙත් මම දකින මගේ මතවාදයට එකඟ වන අදහස් තිබුණ කවි කිහිපයක් තමයි මම තෝරා ගත්තේ. මට කවියේ භාෂාව වැදගත් වුණේ නැහැ. ඒකෙන් මම අදහස් කරන්නෙ නැහැ කවියක භාෂාව වැදගත් නැහැ කියන කාරණය. එය වැදගත්. නමුත් කවියා භාවිතා කරපු භාෂාව අමුද විදග්ධද කියන එක මට මෙතැනදි බලපෑවේ නැහැ. කවියේ භාෂාව විදග්ධ විය යුතුයි. එවිට එහි හැඩය වඩාත් අලංකාරයි. හැබැයි විදග්ධ නොවුණා කියලා ඔහු කියන දේ වටිනාකමක් තියෙනවනම් එය අහක දාන්න බැහැ. එනිසා එහෙම කවිත් මම මෙතැනදි තෝරා ගෙන තියෙනවා.

ඒ කියන්නේ කවියකින් යම් දේශපාලනික සාහිත්‍යමය නිශ්චිත වුවමනාවක් ප්‍රකාශයට පත්විය යුතුමද?

නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ කවියක් කියන්නේ තමන් විඳපු අත්දැකීමක්, එහෙමත් නැතිනම් සමාජයේ අද්දැකපු සාකච්ඡා කරපු මාතෘකාවක් වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් සමස්ත ප්‍රජාවේ තියෙන පොදු ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමක් වෙන්න පුළුවන්. විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකුගේ ආදරයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මව් සෙනෙහසක් පිය සෙනෙහසක් වෙන්න පුළුවන්. ඒ මොනවා කතා කළත් ඒ කවිය ඇතුළේ ඒ කාරණය නිවැරදිව සාකච්ඡා වෙනවනම් එතැනදි කවිය ලියැවිලා තියෙන්නේ ප්‍රේමය ගැන ද, දේශපාලනය ගැන ද, ආගම ගැන ද, එහෙමත් නැතිනම් වෙනත් මාතෘකාවක් ගැනද කියන එක අදාළ වෙන්නේ නැහැ. කවිය කවියක් වන්නේ මම කියපු විදිහට ඒ දේවල් හරියට ඉලක්ක කරලා ග්‍රහනය කරලා තමන්ගේ අදහස ප්‍රකාශ කළොත් විතරයි.

කවිය කියන එක ලංකාවේ කාලයක් සාමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් අවියක් වෙලා තිබුණා. වත්මන් කවිය ගැන ඔබේ අදහස කිව්වොත්?


ඇතත්ටම ඔව්. මං හිතන්නේ කවිය දේශපාලනයට ගන්නවනම් ඒක තමයි හොඳම අවිය. කවිය අවියක් විදිහට කවියාට භාවිතා කරන්න පුළුවන්නම් මේ පවතින දේශපාලනික අර්බුදයෙන් ගොඩ එන්න ඒක තමයි වටිනාම දේ. ඒක කාලයක් විතරක් නෙමෙයි එදත් තිබුණා. අදත් තියෙනවා. හෙටත් තියේවි. ඒක නිර්මාණ කරුවට අවම වචන ප්‍රමාණයකින් උපරිම දැනුවත් භාවයක් භාවයක් ගෙනල්ලා දෙන්න පුළුවන් අවියක්. එය අවියක් විය යුතු ම යි.

ලංකාවේ විචාරකයෝ දේශපාලනික මතවාද, ගුරුකුළ ආදි මත පිහිටලා තමයි ඕනෑම කලා කෘතියක් විචාරයට ලක් කරන්නේ. හැබැයි මකරන්ද කාව්‍ය විමංසා කෘතිය කියවගෙන යද්දි මට එහෙම ඉවුරක් හොයා ගන්න ගන්න බැරිවුණා. එහෙම කොටු වුණ ගතියක් මට දැණුණේ නැහැ. ඉතින් ඔබ මේ කාව්‍යන් විචාරය කරන්න ඔබ යොදා ගත්ත නිර්නායකයන් හෝ මිනුම් දඬු තියෙනවද?

පැහැදිලිවම කිව්වොත් මට කෘතිය කියවද්දි ඒ තුළ දැණුන දේ අගය කිරීම සඳහා මට කිසිම ගුරු කුලයක් බලපෑවේ නැහැ. කිසිම හැඳුනුම්කමක් බලපෑවෙත් නැහැ. කලින් කිව්වා වගේ මට බලපෑවේ නිර්මාණයම විතරයි. නිර්මාණය විතරක් මට බලපාද්දි මම එතැනදි තනිවුණා. මම උදාහරණයක් කියන්නම්. මං කල්පනා කළා මෙහෙම ලියලා මොකක් වෙයිද කියලා. මං පස්සේ මං ලියපු එක කවි වාචාරයක් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහෝදරයාට ගිහින් දුන්නා. ඔහු විශ්මයට පත් වුණා. එය ලියපු විදිහ හොඳයි කියලා අගය කළා. අපේ භාෂාවෙන්ම කියනවනම් මට ‘ගැම්මක්’ ආවා. ඒ ගැම්ම හරහා මම ලිව්වා. මට එතකොට එදත් අදත් හෙටත් කිසිම ගුරු කුලයක් බලපාන්නේ නැහැ. ඇතැම් වෙලාවට අපි පුද්ගලයෝ හැටියට අපේ මතවාදවලට විරුද්ධ මතවාද දරන උසස් සාහිත්‍ය නිර්මාණ කරුවෝ ඉන්නවා. හැබැයි මම ඔවුන්ගේ සාහිත්‍ය නිර්මාණ අදත් අගය කරනවා. දැන් ගුණදාස අමරසේකර වගේ සාහිත්‍යධරයෙක් අද ඉන්න ආස්ථානය පිළිබඳ මගේ කිසිඳු කැමැත්තක් නැහැ. හැබැයි මම අදටත් ඔහුගේ නිර්මාණ පිළිබඳව දරන අදහස කිසිසේත්ම පහතට වැටිලා නැහැ. මේ කාරණය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මකරන්ද කාව්‍ය කෘතියේ කවීන් හැටනම දෙනෙකුගේ කවි 71 අන්තර්ගතයි. මම තෝරගෙන තියෙන්නේ කවි 31 විතරයි. මම කවි හතලිහක් හළලා තියෙනවා. මම ඒවා හැලුවා කියලා ඔවුන් ඔවුන්ගේ නිර්මාණ කිසිසේත්ම හෑල්ලුවට ලක් කරන්නේ නැහැ. ඒ නිර්මාණ මට නොවැදිච්ච නිසා මට නොදැනුණ නිසා තමයි මම ඒවා මකරන්ද කාව්‍ය විමංසා කෘතියට ඇතුළත් කර නොගත්තේ. හැබැයි ඒවා කවි නොවුණා නම් කවදාවත් තිඹිරියාගම සහෝදරයා ඒවා මකරන්ද කෘතියට තෝරාගන්නේ නැහැ. එහෙත් රස වින්දනය කියන දේ එක්කෙනාට අනුව රුචිකත්වය වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ සඳහා වෙනත් නිර්මාණ තෝරා ගෙන නැත්තේ. ඒ ඇරෙන්න ඒවා ගැන අඩු තක්සේරුවකින් නෙමෙයි.

අවසාන වශයෙන් ඇහුවොත්... ඔයාට අපි මේ හැමෝම ඉන්න සයිබර් කවිය ගැන යම් අදහසක් තියෙනවාද?

මෙතැනදි මම කියන්න ඔනේ සයිබර් අවකාශයේ මම කවි කියවන්නේ නැහැ. තනදි මම අදහස් කරන්නේ සයිබර් අවකාශයේ තියෙන කවි කියවන්නේ නැහැ කියන නෙමෙයි. කම්පිටුයරයක් ඉස්සරහා වාඩි වෙලා මට කවි කියවන්න වෙලාවක් නැහැ. හැබැයි කවුරු හරි කිව්වොත් සයිබරයේ අහවල් නැත හොඳ කවියක් තියෙනවා කියලා. මම ඒක කියවනවා. කෘතියක් අරගෙන කියවනවා වගේ මම හොයා ගෙන ගිහිල්ලා සයිබර්යේ කවි කියන්නේ නැහැ. හැබැයි ඒ කවි ම පත්තරේක පොතක පළ වුනොත් මම ඒවා කියවනවා. කියවලත් තියෙනවා. මට දැනෙනවා සයිබර් අවකාශයේ නොකවි වගේම හොඳ කවිත් තියෙනවා. ඉන්දික ගුණවර්ධන කියන කවියා මට මුණ ගැහෙන්නේ ඔහුගේ කෘතියක් එළිදැක්වූවාට පස්සේ. ඔහුගේ කෘතියක කවියක් තියෙනවා මෙහෙම.

“තිබුණනම් වලිග මිනිහට

වනල වනලම කැඩිල මෙලහට”

හිතන්න මේ කවිය ඇතුළෙ මොනතරම් නම් දේශපාලනික අර්ථයක් තියෙනවද කියලා. ඔහු ඒ කවිය මුළින්ම ලියන්නේ සයිබර් අවකාශයේ. හැබැයි එය සයිබර් අවකාශයේ ලියද්දි මට මුණගැහෙන්නේ නැහැ. සමහර විදග්ධයි කියන කවීන් සයිබර් අවකාශයේ කවි ප්‍රතික්ෂේප කරනවා කියන අදහස ම මම ප්‍රතික්ෂේප කරනවා.

අවසාන වශයෙන් 15 වෙනිදා වැඩේ ගැන කිව්වොත්?

කෘතියක් හැටියට ප්‍රකාශ කිරීමේ අභියෝගය පැත්තකට දාලා තමයි මම මේක ලියන්නපටන් ගත්තේ. හැබැයි මම 2012 ඉඳන් මේ විචාර විටින් විට ලියලා ඒවා පරිඝණකයෙන් අස්තාන ගතවෙලා නැවතත් සොයා ගෙන ඉන්න වෙලාවක තමයි මට තිඹිරියාගොඩ සහෝදරයාගෙන් පණිවිඩයක් ලැබෙන්නේ 2014 මකරන්ද කෘතියක් එනවා කියලා. 2013 දී මකරන්ද කෘතියක් කෙරුණේ නැති නිසා මමත් ටිකක් අලස වුණා. හැබැයි අර පණිවුඩයත් එක්ක මට නැවතත් උත්තේජනයක් ඇති වෙනවා මෙය කෙසේ හෝ ප්‍රකාශයට පත්කළ යුතුයි කියලා. පස්සේ නැණිල ප්‍රකාශන ආයතනයේ අධිපතිතුමියට කතා කරලා මම අහනවා ‘මම පොතක් ලියල තියෙනවා කරනනවද?’ කියලා. ඇය පොතේ අන්තර්ගතයවත් මොකක්ද කියලා අහන්නේ නැතිව හා කරමු කියනවා. එහෙම කියලා පසුගිය අගෝස්තු 28 මේ පොත ඒ අයගේ ආයතනයේ නිළ ප්‍රකාශනයක් හැටියට එළිදක්වනවා. හැබැයි එහි දී ‘‘මකරන්ද කාව්‍ය විමංසා’’ කෘතිය ප්‍රමුඛ වන්නේ නැහැ. ඔවුන්ගේ සමස්ත කෘති 15ක් එළිදක්වනවා. එහෙත් මට අවශ්‍යතාවය තිබුණා මගේ සහෘදයන්ට මේ ‍පොත කියවන්න දීලා එහි තියෙන හොඳ නරක බෙදා ගන්න. අන්න ඒ අවස්ථාව උදා කරගන්නවා එන 15 වැනිදා සවස 3.30ට ජාතික පුස්තකාලයේදී.

සාකච්ඡාව - හිමාෂි කරුණාරත්න

DNP 2143

 

Last modified on Thursday, 11 December 2014 21:45

Leave a comment

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

Connet With Us