ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. 1970 වසරේ කැලණිය ආසනයෙන් දේශපාලනයට අත්පොත් තැබූවෙකි. ජේ.ආර්. ජයවර්ධන රජයේ සිටි ළාබාලතම අමාත්‍යවරයෙකි. කනිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පිළිවෙළින් පැමිණියෙකි.
තෙවරක් අග‍්‍රාමාත්‍ය ධුරය හෙබවූවෙකි. පක්ෂ නායකයෙකි. දශක හතරක් දේශපාලන අත්දැකීම් ලද්දෙකි. වරක් ඔහුගෙන් පුවත්පත් කලාවේදියෙක් මෙහෙම ඇහුවා. ‘ඔබගේ පක්ෂය නිදහස් වෙළෙදපොළ රැකගන්න දරපු උත්සාහය නිසා 89දී ඔබගේ පක්ෂය ලේ ගාගත්තා. ඇයි එහෙම කළේ’එවිට රනිල් දුන්නේ අමුතු උත්තරයක්. ‘ඔව් එහෙම වුණා. අද හැමෝම පිළිගන්නවා නිදහස් වෙළෙඳපොළට විකල්පයක් නෑ කියලා’එහෙයින් මේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ නම් වූ ඔහුගේ සම්මුඛ වීමකි.


IMG 5250 copyx ඇයි ඔබ 70 දශකයේදී දේශපාලනයට එන්න හිතුවේ?

ඒ දවස්වල බණ්ඩාරනායක මැතිනිය ඇති කළා සමාජවාදය කියලා එකක්. අපි දවස් දෙකක් බත් කන්නෙ නැතිව හිටියා. රැකියා නැති වුණා. ඒ වගේම අපේ නිදහස නැති වුණා. ඒ දවස්වල සමාජවාදය කියලා මැතිනිය බැලූවේ දීර්ඝ කාලයක් පාලන බලය මෙහෙයවන්න. ඒ 73. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒකට විරුද්ධ වුණා. ඉතින් එදා ඉඳන් අපි ඔක්කොම එකතු වෙලා දේශපාලනයට බැස්සා.

x ඔබ දේශපාලනය ආරම්භ කරන්නෙ බියගම ආසනයෙන්?

ඔව්. ඒ ආණ්ඩුව පරාජය කිරීම යුගයේ අවශ්‍යතාවක් වෙලා තිබුණා. ඒ නිසා මම මැතිවරණයට ඉදිරිපත් වුණා.

x එහිදී ඔබ මන්ත‍්‍රීවරයෙක් වුණා?

ඔව්. මං පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඒ විදියට තමයි දේශපාලන ගමන ආරම්භ වුණේ.

x එක් අවස්ථාවකදී ඔබට ලැබෙනවා අධ්‍යාපන ඇමැතිකම? ඔබ ඒ එක්කම ගේනවා ධවල පත‍්‍රිකාව. ඒ ගැන දැන් මොකද හිතෙන්නෙ?

ධවල පත‍්‍රිකා යෝජනා ගණනාවක් තිබුණා. සමහර ඒවා ක‍්‍රියාත්මක කළා. සමහර ඒවා ක‍්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ ඔක්කොම ක‍්‍රියාත්මක කළා නම් අද අධ්‍යාපනයට මෙහෙම වෙන්නෙ නෑ.

x ඇයි එතකොට ධවල පත‍්‍රිකාවට විරුද්ධව විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ තරුණයන් පාරට බහින්නෙ?

දන්නෙ නෑ... කෙටි කාලයක් උද්ඝෝෂණ තිබුණා.

x ඊට මාස හයකට පස්සෙ ජනාධිපතිවරණයක් තියනවා?

ඔව්. අපි උඩින්ම දිනුවා. ධවල පත‍්‍රිකාව ප‍්‍රශ්නයක් වුණේම නෑ.

x ඔබ අධ්‍යාපන අමාත්‍යාංශය බාර ගන්න කලින් තරුණ කටයුතු අමාත්‍යාංශයේ කටයුතු කරනවා?

ඔව්. ඔය කාලසීමාව තුළ තරුණයන්ට රැකියා පිළිබඳ ප‍්‍රශ්න තිබුණා. තරුණයෝ හිතුවා තමන්ට සමාජයේ තැනක් නෑ කියලා. ඒ පසුබිමත් එක්ක අසහනය පැතිරිලා තිබුණා.

x ඉතින් ඒ වෙනුවෙන් මොනවද කළේ?

අපි යෞවන සමාජ ඇති කළා. තරුණ සේවා සභාව වැනි ආයතන බිහි කළා.

x ඒ කියන්නෙ කාටත් කලින් ‘සුපර් ස්ටාර්ස්ලා’ හැදුවෙ ඔබ?

ඔව්. බෙල්වුඞ් රූපවාහිනී ගම්මානය ඇති කළා.

x එවකට පැවති භීෂණයත් එක්ක ඔබට බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා?

බටලන්ද ගැන පරීක්ෂණ කරපු අයම ප‍්‍රකාශ කළා එහෙම ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ කියලා.

x ඔබ තරුණ කාලේ හරි ජව සම්පන්නව දේශපාලනය කළාලූ?

ඔව්.

x ‘මහර’ අතුරු මැතිවරණයේදී ඔබ විජය කුමාරණතුංගව පරාජය කරනවා. කොහොමද එහෙම වුණේ?

ඒ දවස්වල ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මට කිව්වා, විජය කුමාරණතුංගට පාර්ලිමේන්තු එන්න ඕනෙ නම් ‘හබරාදුවෙන්’ එන්න කියන්න කියලා. මම එතුමාට ඒ පණිවුඩය දුන්නා. මම එතුමාට කිව්වා, ‘මහර’ කියලා කියන්නේ අපේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධාන බල ප‍්‍රදේශයක්, ඒ නිසා එතැනට එන්න එපා කියලා.

x ඒ කියන්නෙ විජය කුමාරණතුංග හිතුවක්කාර වුණා?

නෑ... එතුමා බලාපොරොත්තුවෙන් හිටියේ හබරාදුවට යන්න. ඒත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම තමයි ඒකට බාධා කළේ. විජය මගේ මිත‍්‍රයෙක්. මරණයට දින දෙකකට කලින් මට හමුවුණා.

x ඔය කියන විදියට විජය කුමාරණතුංගට පාර්ලිමේන්තු යන්න තිබුණා?

ඔව්... අනිවාර්යයෙන්ම. හබරාදුවෙන් ඉල්ලූවා නම් ඔහුට දිනන්න තිබුණා.

x ඉන්දු - ලංකා ගිවිසුම කාලේ ඔබ මොනවද කළේ?

ඒ කටයුත්ත ගැන ජනතාව දැනුවත් කළා.

x ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙන් පස්සෙ ආර්. පේ‍්‍රමදාස ජනාධිපති විය යුතුයි කියන මතයේ ඔබ හිටියද?

මම විතරක් නෙමෙයි. අපි එවකට පක්ෂයේ හිටපු හැමෝම පොදු එකඟතාවක හිටියා පේ‍්‍රමදාස ගැන.

x ඇයි එහෙනම් පක්ෂ අභ්‍යන්තරයෙන්ම පේ‍්‍රමදාස මහත්තයට විරුද්ධව දෝෂාභියෝගයක් එන්නෙ?

ඔව්... එහෙම වුණා.

x ඒත් ඔබ ඒ වෙලාවෙ හිටියේ පේ‍්‍රමදාස මහත්තයා එක්ක?

ප‍්‍රශ්න තියෙනවා නම් පක්ෂය තුළම ඒවා විසඳගත යුතු නිසා. අපි ඔක්කොම එක්සත් ජාතික පාක්ෂිකයෝ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වෙත් පක්ෂය ඇතුළෙ ඉඳන් සටන් කරන්න. පක්ෂයෙන් පිට වෙන්න එපා කියලා.

x ඊට පස්සෙ පේ‍්‍රමදාස මහත්තයා ඝාතනයට ලක් වෙනවා. ඒ අවස්ථාවෙදි ඔබ මොනවද කළේ?

මම ඔය සිද්ධිය වුණ වෙලාවෙම ආරක්ෂක අමාත්‍යාංශයට ගියා. එතැනදී ආරක්ෂක ලේකම්වරයා සහ අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා එවකට අගමැති ඩී.බී. විජේතුංග මැතිතුමාට පණිවුඩයක් යැව්වා එන්න කියලා. ඒ විදියට අපි ඒ අවස්ථාවේ රටේ සාමය ආරක්ෂා කරන්න පියවර ගත්තා. පස්සෙ ආරංචි වුණා පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙලා තිබුණා කියලා. ඒ වෙලාවෙ මං බණ්ඩාරනායක මැතිනියට පොලීසිය මාර්ගයෙන් පණිවුඩයක් යැව්වා, මේ සිද්ධිය ගැන ප‍්‍රකාශ නොකරම රැස්වීම් කල්දාමු කියලා. එතුමිය ඒ දේ එතැනින් කළා. මං මෙතැනින් කළා. පස්සෙ නීතිපතිතුමා සහ අග‍්‍රවිනිශ්චයකාරතුමා කැඳවලා විජේතුංග මැතිතුමාට ජනාධිපතිවරයා විදියට දිවුරුම් දීමට අවශ්‍ය දේ කළා. පස්සෙ ඉන්දියාවට කතා කරලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාවත් ගෙන්න ගත්තා. එතුමාගේ සහයෝගය අපිට ඒ වෙලාවෙ අවශ්‍යව තිබුණ නිසා.

x ඊට පස්සෙ ඔබ අගමැති වෙනවා?

ඔව්.

x ඊට පස්සෙ ගාමිණී දිසානායක මහත්තයා කොහොමද ජනාධිපති අපේක්ෂකයා වෙන්නෙ?

එවකට අපි මහ මැතිවරණයෙන් පරාජය වුණා. ඒ වෙලාවෙදී විජේතුංග ජනාධිපතිතුමා කිව්වා විපක්ෂ නායකයා පත්කරන්න ඡන්දයක් පවත්වන්න කියලා. ඒකෙන් එතුමා ඡන්ද එකකින් හෝ දෙකකින් ජයග‍්‍රහණය කළා. ඉතින් පස්සෙ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා විදියට අපි එතුමාව පත්කළා.

x 94දි ඔබ චන්ද්‍රිකා මැතිනිය ජයග‍්‍රහණය කළාට පස්සෙ ‘සූට් කේස්’ එකත් අරන් අරලියගහ මන්දිරයෙන් එළියට බහිනවා?

ඔව්. පැරදුණා නම් ගෙදර යන්න ඕනනේ.

x ඒ සිද්ධියෙන් ඔබ ‘මිස්ටර් ක්ලීන්’ වෙනවා?

ඒක තමයි 56 ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මහත්තයා කළේ. ඒක තමයි ඩඞ්ලි සේනානායක මහත්තයා 70දි කළේ. දහනායක මැතිතුමා කළෙත් ඒක. ඉතින් ඒ සම්ප‍්‍රදාය තමයි අපි ආරක්ෂා කළේ.

x ඇත්තම කියන්න. තවදුරටත් බලයේ ඉන්න ඕන කියලා හිතුනෙම නැද්ද?

ජනතාව එපා කියනවා නම්, අනෙක් පැත්තට බහුතරයක් තියෙනවා නම් කොහොමද එහෙම ඉන්නෙ?

x ආයෙත් 2002දි ඔබ අගමැති වෙනවා. 2004දි ගෙදර යන්න වෙනවා. ඔබට බලය එනවා යනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

මම අගමැති වෙනකොට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිවරිය වුණා. අපි එකඟ වුණේ එකට වැඩ කරන්න. පස්සෙ ඇති වුණ යම් යම් ප‍්‍රශ්න එක්ක ඒ එකඟතාව නැති වුණා. නැවත ඡන්දෙකට යන්න තීරණය කළා. එතැනදි අපි පරාජයට පත්වුණා.

x සටන් විරාම ගිවිසුම ඒ පරාජයට යම් බලපෑමක් කළාද?

අපි ඒ හරහා මේ රටේ සාමය ඇති කළා. එච්චරයි.

x එතකොට සටන් විරාම ගිවිසුම නිසා එල්ටීටීඊය දෙකට කැඩුණා කියන කතාව බොරුවක්?

මං හිතන්නෙ එතැනදී දේශපාලන විසඳුමකට යන්න ප‍්‍රභාකරන් අකැමැති වූ නිසා ඔය භේදය ඇති වුණා කියලයි මා සිතන්නේ.

x එදා වෙන්වුණ අය ඔබ සමඟ අද එකතු වෙලා ඉන්නවා. ඇත්තටම මොකක්ද මේ හවුල?

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරන්න ගියා. අපේ රටේ දේශපාලනය තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බහු පක්ෂ ක‍්‍රමයක්. ඉතින් ඒක නැති වෙනවා නම් අවාසනාවක්. අනෙක රට තුළ යහපාලනය නැති වෙලා තිබුණා. ප‍්‍රධාන ආයතන කඩා වැටිලා තිබුණා. දූෂණ තිබුණා. ඉතින් මේවා නැති කරන්න නම් අපිට එකඟත්වයෙන් වැඩ කරන්න ඕන වුණා. ඒ වගේම අපට වුවමනා වුණා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න. ඒ සඳහා තමයි අපි එකතු වුණේ.

x වටේ ඉන්න අය එකතු කරන්න මොකක්ද ඔබ කරපු ‘ගුරුකම’?

(සිනාසෙමින්....) ගුරුකම් දෙකයි කළේ. එක ඉවසීම. දෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදය.

x ඇයි ඔබ මහින්ද රාජපක්ෂ මහත්තයට පරදින්නෙ?

මහින්ද රාජපක්ෂ මහත්තයා ප‍්‍රභාකරන් එක්ක ගිවිසුමක් ගහනවා, දෙමළ ජනතාව ඡන්දෙ දෙන එක වළක්වන්න.

x ඔබ නෙමෙයිද ගිවිසුම ගැහුවෙ?

නෑ... මට කතා කළා. ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ.

x මහින්ද - ප‍්‍රභා ගිවිසුමෙන් මොකක්ද ප‍්‍රභාකරන්ට වුණ වාසිය?

ඒකෙන් තමයි එල්ටීටීඊය ශක්තිමත් වුණේ. ඊට පස්සෙ තමයි යුද්ධ කරන්න එල්ටීටීඊයට පණ ආවේ.

x ඒත් ඔබටනේ ‘කොටියා’ කියලා චෝදනා කරන්නෙ?

විරුද්ධ පාක්ෂිකයන්ට රාජපක්ෂලා එහෙම තමයි ගහන්නෙ. දැන් ඔප්පු වෙලා තියෙනවා කොටින් එක්ක ගනුදෙනු කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමයි ඒ කණ්ඩායමයි කියලා.

x 2005න් පස්සෙ ඔබේ නායකත්වය පිළිබඳ පක්ෂ අභ්‍යන්තරයෙන්ම ඔබට ප‍්‍රශ්න මතු වෙනවා. කොහොමද ඒක විසඳගත්තෙ?

බහුතරය මට සහයෝගය දුන්නා. ඒ නිසා ඒ ප‍්‍රශ්න ටික ටික විසඳුණා.

x ඇතැම් ප‍්‍රශ්නවලදි ‘කල් වැරීම’ ඔබේ න්‍යායක්ද? උපක‍්‍රමයක්ද?

මං හිතලා බලලා කල් අරන් වැඩ කරනකොට, අනෙක් අය ඉක්මනට, කලබලයට වැඩ කරනවා. ඒත් මං හිතන විදියට ඔය දෙකේම එකතුවකින් තමයි ඉදිරියට යන්න පුළුවන්.

x 2010 ජනාධිපතිවරණයේදී ඔබ සරත් ෆොන්සේකාව ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න හිතුවෙ ඇයි?

අපිට ඒ අවස්ථාවේ ඕන වුණේ පොදු අපේක්ෂකයෙක්.

x ඒත් අසාර්ථක වුණා?

ඔව්, පළමු වර අසාර්ථකයි.

x ඔබ දේශපාලන තීන්දු තීරණ ගන්න ‘ක‍්‍රමය’ මොකක්ද?

රට ගැන, පක්ෂය ගැන හිතන එක.

x තමන් ගැන හිතලා තීරණ අරගෙනම නැද්ද?

රට ගැන හිතනවා කියන්නෙත් පක්ෂය ගැන හිතනවා කියන්නෙත් අපි හැමෝම ගැනම හිතන එක තමයි.

x මතකද ඔබ 2012 අනාවැකියක් කියනවා?

මොකක්ද?.

x විපක්ෂ නායක කාර්යාලය අලූත්වැඩියා කරනකොට නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා කියනවා, ඔබට දිගටම ඉන්න එය ප‍්‍රතිසංස්කරණය කරනවා කියලා. ඒත් ඔබ කියනවා නෑ ඔබතුමාලටම තමයි ඕකෙ ඉන්න වෙන්නෙ කියලා?

(සිනාසෙමින්...) ඒක අනාවැකියක් නෙමෙයි. මං හිතන්නෙ පළපුරුද්ද වෙන්න ඇති. මං ඒ වෙනකොට දැනන් හිටියා ඒ අයට රටේ ප‍්‍රශ්න විසඳන්න බෑ කියලා.

x ඔබ සාත්තර අහන්නෙ නැද්ද?

නෑ... නෑ... එහෙම සාත්තර අහන්නෙ නෑ.

x ඒ දවස්වල ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයත් එක්ක හරියට කෝපි බිව්වා නේද?

මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරක් නෙමෙයි කොයි ජනාධිපතිවරයා හම්බ වෙන්න ගියත් ඕන තේද, කෝපිද කියලා අහනවා. ඉතින් මං බීමට කළු කෝපි තෝරා ගන්නවා. මම කළු කෝපි බොන්න ආසයි.

x ඇයි පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාව ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ?

ඒක මාත් චන්ද්‍රිකා මැතිනිය ඇතුළු පිරිසත් සතියක් දෙකක් සාකච්ඡා කරලා ගත්ත තීරණයක්.

x ඒ සඳහා ඔබට ‘රෝ’ ‘සී.අයි.ඒ’ වැනි සංවිධානවලින් සල්ලි දුන්නා කියන්නෙ ඇත්තද?

එහෙම වුණේ නෑ. ඒක අපි ගත්ත තීරණයක් අනුවයි වුණේ.

x දින සියයේ වැඩසටහන ප‍්‍රායෝගිකයි කියලා ඔබ හිතනවද?

ඔව්. ඒක කෙටිකාලීන වැඩපිළිවෙළක්.

x එතකොට ‘පංච විධ කි‍්‍රයාවලිය’?

ඒක අපේ ඉදිරි දැක්ම. ඒක දීර්ඝකාලීන වැඩපිළිවෙළක්.

x ඔබේ පාර්ශ්වකරුවන් සමඟ ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් ගෙනයාමේ ගිවිසුමක් තියෙනවද?

ඔව්. අපි එවැනි දේකට යොමු වෙනවා. ඒක මං කියලා තියෙනවා.

x ජාතිකත්ව ගැටලූව සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය සහ ඔබ සමඟ සිටින ඒ ඒ පාර්ශ්වයන් අතර තිබෙන ස්ථාවරයන් එකිනෙකට වෙනස්?

ඒ වෙනුවෙන් අපි ඔක්කොටම පිළිගත හැකි සැලැස්මක් තියෙනවා.

x ජාතිකත්ව ගැටලූව සම්බන්ධයෙන් පීඩාවලට පත්වෙලා ඉන්න ජනකොටස්වලට ඔබ ලබාදෙන පොරොන්දුව මොකක්ද?

අපි විසඳුම් ලබා දෙනවා. පාර්ලිමේන්තු බහුතරයක් දෙන්න, අපි ඒ ගැටලූවලට විසඳුම් ලබා දෙන්නම්. මේ දේවල් කරන්න අපිට එකට වැඩ කරන්න වෙයි. එහෙම නැතුව රටේ ප‍්‍රශ්නවලට විසඳුම් හොයන්න බෑ.

x ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන එජාපය 19 වන සංශෝධනයට තරම් 20 වන සංශෝධනයට කැමැති නැත්තෙ ඇයි?

19 කියන්නෙ රටේ ප‍්‍රශ්නයක්. 20 කියන්නෙ තමන්ගේ පැවැත්මේ ප‍්‍රශ්නයක්. ඒ නිසා තමයි එකඟත්වයක් නොතිබුණේ.

x ඇත්තටම ඔබ හා වර්තමාන ජනාධිපතිවරයා අතර තියෙනවා කියන ගිවිසුම මොකක්ද?

(සිනාසෙමින්...) අපි කාටවත් ගිවිසුම් නෑ. මට මහින්ද රාජපක්ෂයි, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි යන මේ දෙන්නා එක්කම ගිවිසුම් ගහන්න බෑනේ.

x ඔබ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක එකතු වෙලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුවා කියන්නෙ ඇත්තද?

(සිනාසෙමින්...) මම විරුද්ධ පක්ෂයේ නායකයා විදියට ඒ ඒ අවස්ථාවලදී හිටපු ජනාධිපතිතුමා එක්ක කි‍්‍රයා කළා. මම එක්සත් ජාතික පක්ෂ නායකයා විදියට ඒක කඩන්න කි‍්‍රයා කළා. එච්චරයි.

x භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් ඔබේ ආණ්ඩුවට තියෙන්නෙ දරුණු චෝදනාවක්?

අපි ඒ ගැන හොයලා බැලූවා. ඒකෙ වරදක් වෙලා තිබුණෙ නෑ. අපි අදාළ අමාත්‍යාංශයෙන් කමිටුවක් පත්කළා. ඒකෙනුත් කිව්වෙ වරදක් වෙලා නෑ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නඩු නිමිත්ත ප‍්‍රතික්ෂේප කළා. ඊට පස්සෙ මමයි මේක පාර්ලිමේන්තුවට ගෙනිච්චෙ. ඒත් පාර්ලිමේන්තුව ඒක සම්පූර්ණ කළේ නැහැ. මම කිව්වා මටත් සාක්ෂි දෙන්න ඕන කියලා. ඊළඟ පාර්ලිමේන්තුවටත් අපි මේක ගේනවා. ඔය කියන සමාගමේ අධ්‍යක්ෂිකාව විදියට හිටියේ අජිත් නිවාඞ් කබ්රාල්ගෙ සහෝදරිය. ඒකෙන් තමයි බලපත‍්‍රය ලැබුණෙ.

x ඔබ බලය ලැබුණාම ඔබේ ‘ක්ලාස් එකේ’ අයට විතරද සලකන්නෙ?

මට මිතුරන් එක එක මට්ටමේ අය ඉන්නවා. විරුද්ධවාදීනුත් එක එක මට්ටමේ අය ඉන්නවා. අපි එක්ක ඉන්නෙ දේශපාලනමය වශයෙන් වැඩ කරන අය. වෙන කවුරුවත් නෑ. මා එක්ක දිනේෂ් ගුණවර්ධන හිටියා. ඒත් එතුමා අනිත් පැත්තට ගියා. අනුර බණ්ඩාරනායක හිටියා. ඒත් දේශපාලනයේදී එතුමා ගියේ අනිත් පැත්තට. මලික් සමරවික‍්‍රම මගෙත් එක්ක මේ පැත්තට ඇවිත් වැඩ කරනවා. වෙන දෙයක් නෑ.

x ඔබ ඔය කියන ලිබරල්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් පක්ෂ නායකයා හැටියට පක්ෂ අභ්‍යන්තරයෙත් තියෙනවද?

ඒ ඔක්කොම ඉන්නෙ සාමාන්‍ය නිදහස් සමාජයක. විනයක් තියෙන්න ඕනෙ පක්ෂයක් ගෙනියන්න. හැබැයි නිදහසත් ඕන.

x ජනවාරි 08 තියෙනවා කියපු දුෂණ, වංචා ගැන දැන් සද්ද නැත්තෙ ඇයි?

තාම අපි පටන් ගත්ත විතරයි. දැන් තමයි ඊට අවශ්‍ය නිලධාරීන් පුහුණු කරන්නෙ. එංගලන්තය, ඇමෙරිකාව වගේ රටවල තමයි ඒ පුහුණුව ලබා දෙන්නෙ.

x හිටපු ජනාධිපති ආර්යාවගෙන් ප‍්‍රශ්න කරන්න කථානායක නිල නිවස තේරුවේ ඔබ නේද?

ඇත්තටම මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපතිවරයෙක්. එතුමා වෙනුවෙන් ඒ තනතුරට යම් කිසි නම්‍යශීලී භාවයක්, ගරුත්වයක් දක්වන්න ඕනෙ. ඒ නිසා එතුමා මගෙන් ඉල්ලීමක් කළාම මම ඒ අවසරය ලබා දුන්නා.

x එතුමියට FCID යන්න එපා කිව්වා?

ඔව්. ඒ වෙනුවට කථානායක නිල නිවසට යන්න කිව්වා.

x පසුගිය දවස්වල එක්තරා මාධ්‍ය ආයතනයක් ඔබට දිගින් දිගටම චෝදනා කළේ ඇයි?

ඒක ඒගොල්ලන්ගෙන්ම තමයි අහන්න ඕන.

x ඔබගෙන් වැටුප් ගන්න මාධ්‍යවේදීන් හිටියා කියන්නෙ ඇත්තද?

(හිනා...) මගෙන් වැටුප් ගන්න කවුරුවත් හිටියෙ නෑ.

x මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔබගේ තක්සේරුව මොකක්ද?

එතුමා දෙවරක් ජනාධිපති හැටියට ක‍්‍රියා කළා. එතැනින් දේශපාලනය අවසන් කරන්න තිබුණා. ඒත් ඒක කළේ නෑ. තුන් වන වතාවටත් එතුමා ඉදිරිපත් වුණා. තුන් වන වතාවේ ජනතාව එතුමාව ප‍්‍රතික්ෂේප කළා. ඉතින් මං හිතන්නෙ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයට පරණ තත්ත්වයට එන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා, පදනම දුර්වල නිසා දේශපාලන වශයෙන් ජයගන්න බැරි වෙයි. අනෙක තමන්ගේ පක්ෂයේ නායකයාට විරුද්ධව යන්නත් එතුමාට නොහැකියි.

x ඔබ පවුල් සමාගම්, ඥාති සංග‍්‍රහ ගැන කතා කරනවා. දේශපාලනයේදී ඔබ පවුලේ අයට, ඥාතීන්ට සලකන්නෙ නැත්තෙ ඇයි?

මම එහෙම කරන්නේ මොකටද? මම දේශපාලනය කරනවා. පවුලේ අනිත් අය තම තමන්ගේ ව්‍යාපාර කරගනිවි. තම තමන්ගේ දේපළ බලාගනීවි. මේක අපේ සම්ප‍්‍රදාය. ඩඞ්ලි, ජෝන් කොතලාවල, ජේ.ආර්. මේ සම්ප‍්‍රදාය තුළ සිටියා.

x අඩුම තරමින් ඔබගේ ඥාතියකුට අයත් පුවත්පත් සමාගමෙන්වත් ඔබේ ප‍්‍රතිරූපය පුම්බන්නෙ නැහැ. මේකත් සම්ප‍්‍රදායක්ද? නැතිනම් ඔබගේ නියෝගයක්ද?

මාධ්‍යවේදීන් ප‍්‍රතිරූප පුම්බගන්නේ මොකටද? අපි ඉන්න ඕන ජනතාවගේ හදවත් ඇතුළෙ මිස මාධ්‍ය නාලිකා ඇතුළෙ නෙවෙයි. දේශපාලනයේදී මාධ්‍යවලින් ප‍්‍රතිරූප පුම්බගෙන යන්න පුළුවන් බොහොම ටික දුරයි.

x ඇත්තටම එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොන වගේ සංවිධානයක්ද?

ඒක මිනිසුන්ගේ Life Style එකක්.

x මේ ඡන්දෙන් පස්සේ ඔබේ දේශපාලන අනාගතය කුමක්ද?

ඒක 18 වෙනිදා දිනුවට පස්සේ හිතමු.

කතා කළේ ; ශාන්ත බණ්ඩාර 
ලිව්වේ ; සකු විතානගේ

අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති, වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට මරණ තර්ජන එල්ල වී තිබීම සමාජ අවධානයට වහා ලක්විය යුතු සිදුවීමකි.

දේශපාලනයේදී පුද්ගලයන් "උඩ යට" යන්නේ ජනතා තීන්දු අනුවය. ඒත් ජනතා තීන්දුවෙන් උඩට ගිය මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා පක්‍ෂ තීන්දුවෙන් දැන් "බිමට" වැටී ඇත. මේ පසු බිම ගැන මර්වින් සිල්වා මහතා සමග අපි කෙළින්ම කතා කළෙමු.

ඉදිරි ඡන්දයේදී රට සංවර්ධනයට ජනතාව තෝරාගන්නේ රටට සංවර්ධන ජයග්‍රහණ රැසක් දිනාදුන් එජාපය බවත් ජනාධිපතිවරණයෙන් බලයෙන් ඉවතට විසිවුණ හිටපු ජනාධිපතිවරයා මේ ඡන්දයෙන් පසු විපක්ෂ මන්ත්‍රීවරයකු පමණක් වනු ඇති බවත් වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. සිළුමිණ සමඟ ඉදිරි මැතිවරණය පිළිබඳව විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේ ය. එහිදී ඇසූ ප්‍රශ්න කීපයකට ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේ ය.

මාධ්‍යවේදිනියක් සහ කිවිඳියක් ලෙස අපට නිතරම සයිබර් අවකාශයෙදි මුණ ගැහෙන සුරේඛා සමරසේන, සිය කුළුඳුල් නවකතාව ජුලි 09 වෙනිදා එළිදැක්වීමට නියමිතය. මේ සාකච්ඡාව, එකී සුරේඛාගේ "මේ කතාව" ගැන මෙන් ම බොහෝ තැන්වල නොකියවෙන බොහෝ ගැහැණුන්ට කීමට ඇති සහ බොහෝ ගැහැණුන්ට කිව යුතු කතා පිළිබඳව ය.

සුරේඛා අපි මෙහෙම පටන් ගත්තොත් ඔයා "මේ කතාව" හදුන්වන්නේ කොහොමද?

මම මේ කතාව හදුන්වන්නේ මේ කතාව ලෙස. මේ නවකතාවේ නම මේ කතාව. මට මේ කතාවෙන් කියන්න ඕන උනා ගැහැණුන් ගැන කතාවක්,දේශපාලන කතාවක්. නව වමේ දේශපාලනය සමග ඇයි හොදයි කම් කියන පරම්පරා දෙකක ගැහැණුන් පිළිබද කතාවක්. පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලන සත්වයෙක් හැටියට ගැහැණිය වමේ දේශපාලනයට අනුගතවන විට ජීවන අත්දැකීම පිළිබද කතාවක්. මෙයට මගේ අත්දැකිම් හා මම ඇසුරුකළ ගැහැණුන් ගේ අත්දැකීම් පිලීබද කතාවක්.

 

මහ මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ දිනෙන් දින උණුසුම් වන රටේ දේශපාලන තත්ත්වය සහ ඡන්දයට ඇති සූදානම පිළිබඳව වතුකරය නියෝජනය කරන දේශපාලනඥයකු වන කම්කරු ජාතික පෙරමුණේ නායක හිටපු වතු යටිතල පහසුකම් ඇමැති පලනි දිගම්බරම් මහතා සමඟ කළ සාකච්ඡාවකි.

රටට අවශ්‍ය වන්නේ ජනාධිපහි මෛත්‍රීපාල සිරිසේන මහතාට ගරු කාන පාර්ල්මේන්තුවක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. සිරිසේන මහතාට ලබා දුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට නම් පවතින චින්තන පාර්ලිමේන්තුවෙන් පලක් නොවන බවද ඔහු පවසා සිටී.

එළඹෙන 29 වන දිනට ජීවන දිවි මගෙහි, හැත්තෑවෙනි සැතපුම් කණුව පසුකරන හිටපු, ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය, සමඟ ‘සිළුමිණ’ පැවැත්වූ මේ සාකච්ඡාවේදී ඇගේ ජීවිතයට අදාළ බොහෝ කාරණා සේ ම, දේශපාලනික මාතෘකා කිහිපයක් ද සංවාදයට බඳුන් විණි. හිටපු ජනාධිපතිනිය, ලේක්හවුස් පුවත්පතක් හා මේ සංවාදයට එක්වනුයේ වසර 11කට පමණ පසුවය.

Page 2 of 9

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us