රාජපක්ෂ රෙජිමය පලවා හැරියත් හෙජමොනිය ක්‍රියාත්මකයි - විදර්ශන කන්නන්ගර

Tuesday, 28 July 2015 09:45

‘‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’’... මේ නම සයිබර් අවකාශයේ සැරිසරන අයට පමණක් නොව සාහිත්‍යය සිනමාව ඇසුරු කරන්නන්ට ද විශේෂයෙන් සිහිපත් කර දිය යුතු නැත. මෙම කණ්ඩායම විසින් වසරක් පුරා ‘‘සාහිත මධු සාදය’’ සහ ‘‘සිනමා මධු සාදය’’ නමැති කතිකාවත සංවිධානය කළේ ය; එය සමාජ ගතකළේ ය. මෙම කතිකා ද්වය තව තවත් ඉදිරියට රැගෙන යාමේ අටියෙන් ඔවුන් මේ වන විට ‘‘කුමාරයා’’ නමින් වෙඩ් අඩවියක් සයිබර් අවකාශයට මුදා හැර ඇත.
මතු දැක්වෙන්නේ එහි ප්‍රධාන සංස්කාරක විදර්ශන කන්නන්ගර සමග කළ කතා-බහක සංක්ෂිප්තයකි.

‘කුමාරයා’ කිව්වම එක විට ම අපේ සිහියට නැගෙන්නෙ මැකියාවෙලී ගේ කුමාරයා. ඔබ සඳහන් කරන කුමාරයා සහ මැකියාවෙලී ගේ කුමාරයා යනු එක් නාමයක් ද එසේත් නැත්නම් වෙනත් කුමාරයෙක් ද?

මැකියාවෙලී ගේ කුමාරයා කියන අදහස ග්‍රාම්ස්චි තමන්ගෙ ‘‘සිරගෙයි සටහන් පොත’’ (Prison Note Book) නමැති කෘතියට ගන්නවා. ඔහු එය ගන්නෙ, මැකියාවෙලී සඳහන් කළ අධිකාරිවාදි පාලන තන්ත්‍රයක් යන අදහසින් නොවෙයි. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. ඔහු මෙම අදහස ගන්නෙ විප්ලවකාරි පක්ෂය මූලික වෙලා නිර්ධන පන්තියට බුද්ධිය සැපයීම සහ විඥ්ඥානයක් සැපයීම කියන අර්ථයෙන්. අපි ගන්නෙ ඒ අර්ථයෙන් ම නොවුනත් අපි අදහස් කරන්නෙ පශ්චාත් නුතන යුගයේ නැවත කුමාරයා සමාජ ගතකරනවා කියන අර්ථයෙන්. මේ කාර්යය අපිට පමණක් හෝ වෙබ් මැගසින් එකක් හරහා හෝ කළ හැකි දෙයක් නොවෙයි. මේ සමස්ත වැඩ පිළිවෙළේ එක් කාර්යයක් පමණයි. මෙය සාමුහික ප්‍රයත්නයක් විය යුතුයි.

ලෝකය දියුණුව කරා ගමන් කළත් මේ කොදෙව්වෙ වෙසෙන බහුතරයක් තවමත් ඉන්නෙ ගල් යුගයේ. එවැනි පසුබිමක් තුළ ඔබ ඔය කියන අදහස බහාලන්නෙ කොහොම ද සහ ඒ සමග ම අපිට මොන වගේ අභියෝගයන්ට මුහුණ පාන්න වේවිද? ඒ අභියෝග ජය ගන්නෙ කොහොම ද?

ඇත්තට ම අපි කරන්නෙ ඒ අදහස බහාලීම ම නොවෙයි. අපි ප්‍රධාන වශයෙන් ම කරන්නෙ ඒ නම යොදාගැනීම. එයින් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ වෙලාවෙ බුද්ධිමය ක්ෂේත්‍රයේ ඇතිවන අලුත් ප්‍රවර්ධන කොහොම ද අපි අදාළ කරගන්නෙ සහ සිනමාව, සාහිත්‍යය, නාට්‍ය ප්‍රමුඛ කලා ක්ෂේත්‍රය තුළ අලුත් කියැවීමක් සහ අලුත් සංස්කෘතියක් ගොඩනගන්නෙ කොහොමද යන කාරණය සඳහා ප්‍රවිශ්ට විම. මා කලින් සඳහන් කළ පරිදි මෙය සමස්ත වැඩ පිළිවෙළක එක් කාර්යයක් පමණයි.

හොඳයි... මම ඔබට යෝජනා කළොත් සාහිත්‍යය කලාව තුළින් නූතන විප්ලවයකට අරඅඳිනවා කියල...

ඔව්... යම් විදියකට එහෙම වෙන්නත් පුළුවන්. විශේෂයෙන් ම මෑත යුගයේ සාහිත්‍යය පිළිබඳ නැවත කියැවීමක් නැහැ. ලංකාවේ මෙන්ම ලෝකයේ යාවත්කාලීන වන සාහිත්‍යය න්‍යාය කියන කාරණය සහ සාහිත්‍යය වියමනක් කියවන්නෙ කොහොමද? අපට ම අනන්‍ය වුණු සාහිත්‍යය ලකණ සමගින් අලුත් පරම්පරාව කොහොමද එය පෝෂණය කරගන්නෙ කියන කාරණය මේ වන විට ලංකාවෙ සිද්ධ වෙන්නෙ නැහැ. සිනමාව සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. සිනමාව කියැවීම සහ එම කලා මාධ්‍යය වඩාත් විශ්ලේෂණීය තත්ත්වය මීට වඩා වර්ධනීය මට්ටමකට ගෙන ආ යුතු යි. අපි උත්සාහ කරන්නෙ මෙන්න මේ තත්ත්වය උදා කර ගන්න.

‘‘සංස්කෘතික ගිවිසුම’’ මගින් සංවිධානය කරන ලද සාහිත මධු සාදය පසුව සිනමා මධු සාදය දක්වා වර්ධනය වුණා. මේ කථිකා දෙක ඔබ ප්‍රමුඛ ‘‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’’ සංවිධානය බලාපොරොත්තු වූ තරමට ම සාර්ථක වුණාද? නොවුණා ද? එසේ සාර්ථක වූවා නම් හෝ නොවූවා නම් ඒ සඳහා බලපෑ හේතු මොනවාද?

අපිට වුවමනා වුණේ පළමු පියවර තැබීම පමණයි. සාහිත්‍යය සහ සිනමාව කෙරෙහි තිබෙන නව කියවීමකට වඩා බොහෝ විට අපි උත්සාහ කළේ ඒ කතිකාවට දායක වන පිරිස් සමග එකතු වෙලා යම් රසික ප්‍රජාවක්, මහජන පර්ෂදයක් ගොඩනැගීම පමණයි. ඒ ආරම්භය සාර්ථක වුණා. එහි නව පියවරක් තැබීම සඳහා ‘‘කුමාරයා’’ වෙබ් මැගසින් එක හරහා අපි උත්සාහ කරනවා.

ඉදිරියේ දී ‘‘කුමාරයා හරහා වර්ධනය කරන්න උත්සාහ කරන්නේ මොන වගේ මානයන් ද? සිනමාවද? සාහිත්‍යය ද? දේශපාලනය ද? සමස්ත කලා මාධ්‍යය ද? එසේත් නැත්නම් යම් දාර්ශනික මතවාදයක් ද?

ඔව්... එතනදි කාරණා කිහිපයක් මූලික කරගන්න බලාපොරොත්තු වෙනවා. එකක් දේශපාලනය. අනෙක් පසින් කලාව: සාහිත්‍යය, සිනමාව, නාට්‍ය හෝ වෙනත් කලා මාධ්‍යයක් වෙන්න පුළුවන්.

දේශපාලනය පාර්ශවයෙන් කතා කළොත් වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය හෝ මේ නව පාලන තන්ත්‍රය තුළ ලංකාවේ බුද්ධිමතුන් ඇතුළු කලාකරුවන් ගේ විශ්ලේෂණයන් තිබෙන්නෙ ඉතා පහළ මට්ටමක. අලුත් දේශපාලන තත්ත්වය ගැන සැබෑ වැටහීමක් ඔවුන් තුළ නැහැ. ඒකට එක හේතුවක් වෙන්නෙ ඔවුන් බොහෝ විට රාජපක්ෂ රෙජීමය නැවත පැමිණීම කියන කාරණයට පිළිතුරු දෙන්න යනවාට අමතර මේ පවතින අලුත් තත්ත්වය වටහාගෙන නැහැ කියලයි අපි විශ්වාස කරන්නෙ. පළමුවෙන් ම මෙන්න මේ යථාර්ථය අවබෝධ කර දිය යුතු වෙනවා. බොහෝ බුද්ධිමතුන් මේ මොහොතේ විවේචනාත්මක චින්තනය අත්හැර තිබෙනවා. සිංහල ජාතිකවාදය පැත්තෙන් ගත්තත් එය මතුවෙන්න බලපාන ගෝලීය දේශපාලන සිතියම කුමක් ද කියල වටහාගෙන ඒ පිළිබඳ කථිකාවතක් ගොඩනගන්නෙත් නැහැ.

කලාව පැත්තට අවධානය යොමු කළොත්: අද එය දරුණු විදියට පරිභෝජනවාදයේ ගොදුරක් බවට පරිවර්තනය වෙලා. අනෙක් පසින් සියලු ම මාධ්‍යය සත්‍යය නිර්මාණය කරන යන්ත්‍රයක් බවට පත්වෙලා. මේ තත්ත්වය තුළ කලාවේ ප්‍රබුද්ධත්වය දියවෙලා. මාධ්‍යයත් පරිභෝජනවාදයට යටත්වීමක් දකින්න ලැබෙනවා. මෙන්න මේ කාරණා දෙකට එකඟ නොවිය යුතුයි යන්න යි අපේ අරමුණ. ඒ එක්කම නුතනවාදි සාහිත්‍යය අලුත් පරම්පරාවත් එක්ක නැවත කියවීමකට ලක් කළ යුතු යි. ඒ වගේ ම ලෝකයේ පවතින අලුත් සාහිත්‍යය ප්‍රවණතා ලංකාවට හඳුන්වා දිය යුතුයි.

සිනමාව පාර්ශවයෙන් ගත්තත් එහෙමයි. අපි මෑතක කළා ‘මහා සිනමාව කියැවීම’ නමින් වැඩසටහනක්. අපි එතනදි බලාපොරොත්තු වෙන්නෙ සිනමාව ආරම්භක යුගයේ සිටි වැදගත් චරිත, ප්‍රබුද්ධ චින්තනයක් සහිත සිනමා නිර්මාණය කළ අයගෙ කෘති නැවත කියැවිම. ඒ, නැවත ආපස්සට යන්න නොවෙයි. නමුත් දැනට ලංකාවේ සිටින බොහෝ සිනමා ලෝලීන්ට ඒ අවබෝධය අඩුයි. ඔවුන් සිනමාපටයක් හරහා ආසන්නතම දේශපාලනය විග්‍රහ කිරීමේ කාරණය හැර සිනමාවේ මූලිකව ම තිබුණු මහා ගුණය නැවත සොයාගෙන ගිහින් අධ්‍යනය කරන තත්ත්වයක් නැහැ.

ඔබ ‘‘රාජපක්ෂ රෙජීමය’’ නමැති වදන භාවිතා කළා. එතනදි මට ප්‍රති ප්‍රශ්නයක් නගන්න හිතුණා. අපි හැමෝ ම දන්නවා ඒ යුගයේදීත් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කරන්න: වඩාත් පැහැදිලිව කියනවා නම් පවතින තත්ත්වය අඳුරු තිරයකින් වසා දමා ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න කටයුතු කළා. වර්තමානයෙත් කරන්නෙ මේ ක්‍රමය පවත්වාගෙන යා නොදී ඔවුන්ගේ ඒ මජර ක්‍රමය හරහා ම නැවත ඔවුන් ගේ ම බල ව්‍යාපෘතියක් ගොඩනගන්න උත්සාහ කරනවා කියලා මම යෝජනා කළොත්...

ඔව්... ඒකට ප්‍රධාන හේතුව වෙන්නෙ ඒ දේශපාලන ප්‍රවණතාව එළියට එන්නෙ කුමන දේශපාලන සිතියමක් තුළින් ද යන කාරණය අර මම කලින් සඳහන් කළ බුද්ධිමය පාර්ශවය වටහා නොගැනීම. වර්තමානයේ පවතින පාලන තන්ත්‍රය පසුවන්නේ ආරම්භක යුගයේ. මේකත් අලුත් හෙජමොනික තත්ත්වයක් නිර්මාණය කරනවා. රාජපක්ෂවාදය සිංහල ජාතිකවාදය ගොඩනැගුව වගේ ම මේ පාලන තන්ත්‍රයත් වෙනත් ආකාරයක හෙජමොනියක් නිර්මාණය කරනවා. මෙන්න මේ අනතුර වටහා නොගැනීම ලොකු අඩුපාඩුවක්. අපි කණ්ඩායමක් විදියට මේ ජාතිකවාදය විශ්ලේෂණය කළේ එය හුදෙකලා ප්‍රවණතාවක් විදියට අරගෙන නොවෙයි. අපි සාකච්ඡා කළේ නව ලිබරල් ධනවාදය සහ මේ සිංහල ජාතිකවාදය එකට සම්බන්ධ වුණ තත්ත්වයයි අපි දැන් අත්විඳිමින් ඉන්නෙ කියන කාරණය.

නව ලිබරල්වාදය ගෝලීය අධිරාජ්‍යවාදි සැලසුම තුළ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කියැවීමක් වර්තමානයේ දකින්න නැහැ. ඒ වෙනුවට අපි කතා කරන්නෙ සිංහල ජාතිකවාදී බෞද්ධයො ප්‍රමුඛ මහින්දවාදියො පිළිබඳ පමණයි. නමුත් අපි බලන්න ඕන නව ලිබරල්වාදයේ සැලැස්ම සත්‍යය වශයෙන් ම ස්ථාන ගතවෙලා තිබෙන්නෙ කොතැනද කියලා. ඇත්තට ම බැලුවොත් නව පාලන තන්ත්‍රයත් සමගත් මෙය එක දිගට ම ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් බුද්ධිමතුන් ගේ සහ ප්‍රබුද්ධ කලාකරුවන්ගේ අවධානය මේ පාර්ශව දෙක වෙතම යොමු කළ යුතුයි. නමුත් දැන් සිදුවෙමින් පවතින්නෙ එක් පාර්ශවයක් හුදෙකලා කරමින් තවත් පාර්ශවයක් වෙත අවධානය යොමු කිරීම පමණයි. අපිට මේ වනවිට නිදහස් වටපිටාවක් පේන්න තිබුණත් එය වැඩි කාලයක් පවතින්නෙ නැහැ. එය තේරුම් ගන්න නම් ධනවාදය පිළිබඳ විශ්ලේෂණයක් තිබිය යුතුයි. එසේ නොවන්නේ ලංකාවේ බුද්ධිමතුන් ගේ සහ ප්‍රබුද්ධ කලාකරුවන්ගේ විශ්ලේෂණයේ අර්බුදයක්.

නමුත් අපි මෙය වෙනත් විදියකට විග්‍රහ කරමු. අපි හොඳට ම දන්නවා රාජපක්ෂ රෙජිමය පරාජය කරන්නෙ පැය විසිහතරකින් නොවෙයි. එය වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වුණු සැලසුමක ප්‍රතිඵලයක්. එහෙම නම් මෙබඳු බලවේගයක් පරාජය කිරීමේ නොහැකියාවක් ලංකාවේ ප්‍රබුද්ධ කලාකරුවන්ට සහ බුද්ධිමතුන්ට තිබෙන්න පුළුවන්ද?

අප සංවිධානගතව පසුගිය වසර කිහිපය පුරා රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රයට එරෙහිව න්‍යායික හා ප‍්‍රායෝගික අරගලයක් දියත් කළේ එය පුළුල් හෙජමොනික තර්කනයක් තුළ ස්ථානගත කරමින්. රාජපක්‍ෂ රෙජීමය බලය අතහැර ගියාට පස්සේ අප බැලිය යුත්තේ ඉදිරියට නිර්මාණය වීමට නියමිත පාලන තන්ත‍්‍රය හා එහි හෙජමොනික සැකැස්ම දෙසයි. රාජපක්‍ෂ රෙජීමය නැවත හිස එසවීමට උත්සාහ දරනවා යැයි කියමින් ලාංකීය සමාජයේ නැවත නිර්මාණය වෙමින් තිබෙන නව ප‍්‍රතිවිරෝධතා යටපත් කිරීමට ඉඩ නොදිය යුතුයි. ලංකාවේ බුද්ධිමතුන් හා දැනුවත් කලාකරුවන් ඉදිරියේදී සන්නද්ධ විය යුත්තේ ඒ වෙනුවෙනුයි.


ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Tuesday, 28 July 2015 16:01

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us