ජනාධිපති ගෝඨා එපා. ආරක්ෂක ලේකම් ගෝඨා ඕනෑ ! Featured

Saturday, 09 January 2021 23:26

රටේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂව රටේ බහුතරය විසින් ‍තෝරාපත් කරගන්න ලද්දේ ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කෙරුවා වූ යම් කටයුතු ගැන දැන කියාගෙනය. ඔහුට ඡන්දය පාවිච්චි කළ 69 ලක්ෂයක් දෙනාම පාහේ ඒ පරණ ගෝඨාභයව නැවත දකින්නට කැමැත්තෙන් සිටියෝය.

එහෙත් පසුගිය වසරක පමණ කාලය තුල ගෝඨාභය රාජපක්ෂ වෙතින් කලින් සිටි පුද්ගලයා දකින්නට නොලැබීම ගැන විශාල පිරිසක් කළකිරීමට පත්ව සිටි බව පැහැදිලිවම පෙනිනි. ඊයේ (09) ජනාධිපති ගෝඨාභය තමන්ට අවශ්‍ය නම් ඒ පරණ චරිතයට වුව පණ පොවන්නට හැකි බව සඳහන් කිරීම නිසා යළිත් ගෝඨාභය ගැන අපේක්ෂා දල්වා ගත හැකි බවට එම කළකිරුණු කොටස් දක්වන ඉහළ ප්‍රතිචාරය සමාජ මාධ්‍ය තුල කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය විය.

මේ පිරිස් ඇත්තටම කළකිරීමට පත්ව සිටියේ මන්ද යන්න ගැන කතා බහක් මේ මොහොතේ ගොඩනැගෙන්නේ නම් කාටත් යහපත්ය. ඔවුන් ගෝඨාභයගෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද? ගෝඨාභය ජනාධිපතිවරයා ලෙස ඒ බලාපොරොත්තු ඉ‍ටු නොකළේද? සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දේවල් සිදු කිරීමට ඔහු අසමත් වී තිබේද? නැත්නම් විපක්ෂය කියන ලෙස ගෝඨාභය ෆේල් ද? එහෙමත් නැතිනම් විපක්ෂයෙන් එල්ල වන විවේචන දරා ගන්නවා වෙනුවට ත්‍රස්තවාදය පරාජය කළා සේ මේ දේශපාලන සතුරන් පරාජය නොකිරීමද? ඒකත් නොවේ නම් ආණ්ඩුවේම කොටස් විසින් 69 ලක්ෂයේ අපේක්ෂාවන් සුණු විසුණු කරමින් කෙලින පිස්සුව වැලැක්වීමට ගෝඨාභයට හැකියාවක් නොතිබීමද? මේ ආදී වශයෙන් ප්‍රශ්න වැලක් ගොඩනැගිය හැකිය. ඒවාට විවිධ පිළිතුරුද තිබිය හැකිය.

එහෙත් ජනාධිපති ගෝඨාභය සිදු කළ ප්‍රකාශය වැඩි මනත් බරවන්නේ 'ගැහුවොත් බල්ලෙක් වගේ මරණවා' කියන ග්‍රාම්‍ය චණ්ඩියෙකුගේ පැත්තටය. මෙය බරපතල ගනයේ අනතුරු හැඟවීමක් ලෙස කිසිවකු බාරගැනිම සිදුකරන්නේ නම් එය අසාධාරණ යැයි කිව නොහැක. කොහොම වෙතත් මේ ගැන 69 ලක්ෂය සතු‍ටු වීම ගැන වික්ෂිප්ත වන්නට දෙයක් නැති නමුත් මෙය විපක්ෂ කොටස් ද සතු‍ටු කරවන්නක් බව කිව යුතුය. ජනාධිපතිවරණයට පෙර සිටම ගෝඨා භීතිකාවක් මවමින් විපක්ෂ කොටස් ගෝඨාභයට එරෙහිව දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබිණි. සත්‍ය වශයෙන්ම බොහෝ පිරිස් කල්පනා කළේ ප්‍රජාතන්ත්‍ර විරෝධි නරුම ඒකාධිපතියකු ගෝඨාගේ ආගමනයත් සමඟ බිහි වෙනු ඇති බවය. එසේම සිංහල බෞද්ධ වර්ගවාදය මත යැපෙන පාලකයකු බිහිවනු ඇති බවත්ය. රට විසාලා මහනුවරක් වෙනු ඇති බවය. එහෙත් ඒ කිසිවක් වූයේ නැත. ඒ ගැන විපක්ෂයේ නායකයෝ සිටියේ ද කළකිරීමෙනි. ඔවුන්ට අසාර්ථක පාලකයකු මෙන්ම විරෝධතා සටන් පාඨ නැතුව පවතින්නට නොහැක. මේ නිසා පරණ ගෝඨා යළි ඉපදීම දකින්න ලැබෙන්නේ නම් ඔවුන් සතු‍ටු වීම වික්ෂිප්තයට කරුණක් වන්නේ නැත. ඔවුන් උත්සහ දරමින් සිටින්නේ ද එයටමය. ගෝඨාභයගේ ප්‍රකාශය මේ විපක්ෂයේ උත්සාහය යම් පමණකට සාර්ථක බව පෙන්වන අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය.

එහෙත් මේ තත්වයන් මත රටම සතු‍ටු වෙනවා යයි සිතුවොත් ඒ මුලාවකි. සතු‍ටු නොවන පිරිසක්ද සිටී. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිතන පතන හැමදාමත් රටේ අභිවෘද්ධිය පතන සාමකාමී මැදිහත් මිනිස්සුන්ය. ඔවුන් ගෝඨාභයට ඡන්ද දුන්න නොදුන්නා හෝ බලාපොරොත්තු වූයේ ජනතාවට වගවන ජනාධිපතිවරයෙකි. වචනයේ අරුතෙන්ම ජනතාවට නායකත්වය දෙන අධිපතියෙකි. පුරවැසි ජනතාවගේ පරමාධිපත්‍යයික විධායක බලය වගකීම් සහගත ලෙස පාවිච්චි කරන සෘජු පුද්ගලයෙකි. ඔහුට වැනෙන්න බැරිය, ද්විත්ව චරිත රඟපාන දෙබිඩ්ඩකු වන්නට බැරිය. විහිළුකාරයකු, අලසයකු, නිවටයකු වන්නට බැරිය. සමස්ත පුරවැසියා කෙරෙහි ඔහු එක හා සමාන විය යුතුය. පුරවැසියාගේ අයිතිය නිදහස ආරක්ෂා කළ යුතුය. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සදිසි මුර දේවතාවා ඔහු විය යුතුය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු මැදිහත් මිනිසුන් අපෙක්ෂා කළ ජනාධිපතිවරයා බවට පසුගිය වසරක කාලය තුල ඔහුගේ යම් කියුම් කෙරුම් වලින් පෙන්වීමට සමත්ව තිබිණි. එහෙත් ඊයේ දින කරන ලද ප්‍රකාශය ඔවුන්ගේ අපේක්ෂා මුලු මනින්ම බිඳ වට්ටන සුළුය. එසේම අමාත්‍යංශ ලේකම්වරයකු දක්වා පල්ලම් බැසීමට තමන්ගේ ඇති සූදානම, විධායක බලතල සහිත ජනාධිපතිවරයකුට නොවටිනා ප්‍රකාශයක් බවද පෙන්ව දිය හැක.

ගෝඨාභය රාජපක්ෂට තමන් පොරොන්දු වූ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා වන විධයක බලතලද ආණ්ඩුවේ තුනෙන් දෙකකට ආසන්න බලතලද සාතිශය බහුතර ජනතාවකගේ ආශිර්වාදය ද හිමිව තිබේ. එහෙව් ජනාධිපතිවරයකු නිකම්ම නිකම් මන්ත්‍රීවරයකුගේ වාචාල කතාවකට යටත් වී තමන්ගේ තත්වය නැති කරගත යුතු නැත. තවත් අවශ්‍ය කාලය ඉතිරිව තිබේ. එහි උපරීමය ගෙන වැඩ කිරීම ජනාධිපති ගෝඨාභය වෙතින් සිදුවීම පමණක් ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට ප්‍රමාණවත්ය. යම හෙයකින් ඒ අත්හැර ඊයේ කළ ප්‍රකාශය නිසා සතු‍ටු වන දෙපාර්ශ්වයේ කවරෙකුගේ හෝ පාර්ශ්වික අපේක්ෂා මුදුන්පත් වන තැනට කටයුතු කරන්නේ නම් නම් ජනාධිපතිවරයා ලොකු උගුලක හිර වී විනාශ වී යෑම හැර වෙනකක් වීමට නියමිත නැත. මන්ද ලෝක ඉතිහාසය පුරාම තමන් බාරගත් වගකීම අවබෝධ කරනොගත් පාලකයන් ගැන ලබා දී ඇති අත්දැකීම් ඒ ආකාර වන නිසාය.

 - සුජය

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us