කළු ඉරිදා හිතන තරම් කළු නෑ.. මඩ පාටයි Featured

Saturday, 06 March 2021 22:18

2019 වසරේ සිදුවුනු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන ගැටලුව මෙතෙක් විසැඳීම ප්‍රමාදවීම නිසා ඊට විරෝධය දැක්වීමට හා යුක්තිය ඉ‍ටුකිරීමට බල කරමින් හෙට (07) ඉරු දින විරෝධතා දිනයක් ක‍තෝලික සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඔවුන්ගේ විරෝධය අතිශයිම සාධාරණය යුක්ති සහගතය. මන්ද වින්දිතයන් ඔවුන්ය. වේදනාව දරාගත්තේ ඔවුන්ය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන, පාර්ලිමේන්තු තේරීම කාරක සභා, ජනාධිපති කොමිසම් ක්‍රියාත්මක වී එම වාර්තාවන් සියල්ලම පාහේ අඩු පාඩු සහිතව හෝ මේ වන විට නීතිපතිවරයා අත තිබේ. ඒ අනුව ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් ගතහැකි නෛතික පියවරයන් නීතිපතිවරයා විසින් ගනු ඇතැයි සිතිය හැකිය. අද දින ජනාධිපතිවරයාද අවධාරණයකර සිටියේ මේ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට කටයුතු කරන බවත් ඒ කිසිදු හේතුවක් නිසා මඟ නොහරින බවය.

ඒ කොහොම වෙතත් ක‍තෝලික ප්‍රජාවට වූ අසාධාරණයට එරෙහිව වන විරෝධතාවයට වෙනත් ජාති ආගමික පාර්ශ්වලින්ද සහය ලැබී තිබේ. මන්ද මෙම ප්‍රහාරය කිසිවකුට අනුමත කළ නොහැකි ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක්ම වන බැවිනි. මේ අතර දේශපාලන බලවේග කිහිපයක්ද මේ කළු ඉරිදා විරෝධතාවය අස්සට රිංගීමට කටයුතු කරමින් ඇත. අවංකවම ඔවුන්ටද මේ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය දැක්වීමේ අවස්ථාව ඇත. ඔවුන් ඒ සිදුකළ යුතුය. එහෙත් ගැටලුව ඇත්තේ තමන්ගේ පාලන සමයේදී, තමන්ගේම අඩුපාඩු නිසා සිදුවූ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වය ලෙස ඔවුන් මේ විරෝධාවය අතරට රිංගන්නේ කොහොමද කියන එකය.

කතෝලික ප්‍රජාවගෙනුත් සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගෙනුත් තමන් අතින් වූ වරද සම්බන්ධයෙන් සමාව ගැනීමකින් තොරව, ඒ ගැන ස්වයං විවේචනයක් නොමැතිව මේ අය දැන් කොහොමද මෙතනට රිංගන්නේ ? පසුගිය ආණ්ඩුවට සෘජුවම සම්බන්ධ නොවුණු නමුත් ජනතා විමුක්ති පෙරමුණටත් මෙතනට එන්න අයිතියක් නැත. මේ පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේම පියා වූ අය ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු මෙන්ම එම පක්ෂයේ අනුග්‍රාහකයකුද වේ. පුත්තු කරපු වැඩේට පියාගේ සම්බන්ධයක් නෑ කියා මෙයින් ගැලවිය නොහැක. ඒ පුතුන් හැදී වැඩුනේද මේ පියාගේම අනුග්‍රහයෙනි. එමෙන්ම එම ආණ්ඩු සමයේදී බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමට එම දක්ෂ නිලධාරීන් සිරගත කිරීමට ජවිපෙ සෘජුවම දායක විය. ඒ ආණ්ඩුවට ඒ සඳහා බලකිරීම් කළහ. අන්තවාදී කොටස් විනාශකාරී යම් කිසිවකට අර අදිමින් සිටින බව ජවිපෙ එදා නොදැන සිටියේ නැත. එහෙත් ඒ වෙනුවෙන් ජවිපෙ පාර්ලිමේන්තුව තුළදීවත් කටක් ඇරියේ නැත. මෙම ප්‍රහාරයට මාස පහ හයකට පෙර විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පාර්ලිමේන්තුව තුළදී බොහෝ කාරණා හෙළිදරව් කර තිබිණි. අඩුම තරමින් ඒ තොරතුරු සම්බන්ධයෙන් වහාම සොයා බලා පිළියම් කරන ලෙස ජවිපෙ එදා ආණ්ඩුවට බලකළේ නැත. වෙනත් පාර්ශ්ව ගනනාවක් මේ අන්තවාදීන් ගැන සමාජය දැනුවත් කරමින් සිටියද ජවිපෙ සිටියේ ඒ නෑසුන ගානටය.

ඊනියා සංහිඳියාවක් බදාගෙන සුළු ජන කොටස්වල ඡන්ද කෝටාවෙන් කොටහක් හෝ කඩාගැනීමට මාන බලමින් සිට ජවිපෙ මෙහි ඇති අනතුර පෙනි පෙනී ඒ මඟ හැරියේය. එජාපය ( අද සජබය) ශ්‍රී ලනිපය සහ අනෙකුත් සුළුජන පක්ෂත් එදා මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන අමුතුවෙන් කිසිවක් කියන්නට අවශ්‍ය නැත. ඔවුන් මීට සෘජුවම වගකිව යුතුය. එදා එජාපය නියෝජනය කළ අද සජබය නියෝජනය කළ අශෝක අබේසිංහ මෙම ප්‍රහාරයේ වගකීම වත්මන් ජනපතිටත් ඔහු සොහොයුරාටත් සහ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකු වෙතත් නිශ්චිතවම පවරමින් බරපතල ප්‍රකාශයක් නිකුත්කර තිබිණි. එහෙත් මේ පට්ටපල් බොරුවක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඔවුන්ට අවශ්‍යවන්නේ වැරදි මතයක් සමාජගත කර තමන්ට තිබෙන චෝදනාවෙන් තාවකාලිකව හරි ගැලවී සිටීමට බව පැහැදිලිය. එහෙත් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීති අංශ වහාම පියවරක් ගතයුතුය.

මේ අනුව හෙට දිනයේදී මේ අය කළු ඉරිදා විරෝධතාවයට එක්වන්නේ කොහොමදැයි පුදුමයට කරුණක් වන නමුත් එහි පුදුමවන්නට දෙයක් නැත. මේ අය ඇත්තටම මේ එන්නේ කතෝලික ප්‍රජාව වෙනුවෙන්වත්, යුක්තිය වෙනුවෙන්වත්, වෙන සාධාරණ වුවමණාවක් වෙනුවෙන්වත් නොවේ. තනිකරම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමේ සටකපට දේශපාලනික තක්කඩිකම නිසාය. මේ මොහොත ආණ්ඩුවට එරෙහිව තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් කරගැනිමටය. අද මේ පිරිස් දිගින් දිගටම උත්සහගන්නේ මේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයත් මේ ආණ්ඩුවේ වැඩක් බවට ජනමතයක් නිර්මාණය කරගැනීම වෙනුවෙනි. ජනතා විරෝධයක් ආණ්ඩුවට එල්ලකර ජනතාව තුල ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් වෛරයක් ගොඩනැගීම වෙනුවෙනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට වගකීමක් නැත. ඔවුන්ට පැවැරුණු වගකීමවන්නේ මේ ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා දඬුවම් කිරීමය. නැවත මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වා ජාතික ආරක්ෂාව සැලසීමය. ජාති ආගමිකයන් අතර වන වෛරීසහගත හැගීම් සමනයකර අනවබෝධයන් දුරුකර සාමය සමඟිය සහයෝගය ගොඩනැංවීමය. මේ කටයුත්තේදී වත්මන් ආණ්ඩුව ඒ වගකීම පැහැර හරිමින් සිටිනවා නම් ඊට විරෝධය දැක්වීමෙහි වරදක් නැත. ඊට සමස්ත ජනතාව වෙතින්ම විරෝධය දැක්වීම විය යුතුය. එහෙත් එහෙම තත්වයක් නැත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ පූර්ව කටයුතු නියමිත පරිදි සිදුවෙයි. ඒ අවසන්වීමට තවත් කාලයක් ගතවීම අස්වාභාවික නොවේ. මන්ද මෙය විශාල පදාසයක විසුරුණු, වැසුණු කරුණුකාරණ රැසක් සමඟ සම්බන්ධ නිසා නෛතික පියවරයන් ගැනීම පහසු කරුණක් නොවේ. සමහර විට තවදුරටත් විමර්ශන ක්‍රියාවලියන් පවා සිදුවිය හැකිය. තවමත් මේ ප්‍රහාරයේ අගක් මුලක් මැදක් සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් නැත. ඒ සියල්ල විසඳා ගැනීමට කාටවුව තව කාලයක් ඉවසන්නට වෙනවාමය.

එසේම ජාතික ආරක්ෂාව අද තහවුරු කොට තිබේ. ජන කොටස් අතර වෙනස්කොට නොසැලකීමේ ආකල්ප වර්ධනයට, ඔවුනොවුන් අතර විශ්වාසය ගොඩනැගීමේ කටයුතුවලට, බාධාවන ලෙස ආණ්ඩුව මෙතෙක් කටයුතු කරනැත. අන්තවාදී ක්‍රියාකාරිත්වයන්ට ඉඩක් තබා නැත. මේ අනුව ආණ්ඩුවට පැවැරුණු වගකීම් මෙතෙක් නිසියාකාරව ඉ‍ටු කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කිරීමට කිසිදු හැකියාවක් විපක්ෂ කොටස්වලට නැත. මේ නිසා හෙට දිනයේදී කළු ඉරිදාවට මුවා වී විපක්ෂය කරන තක්කඩිකම කුමක්ද යන්නගැන මේ රටේ ජනතාව අවබෝධයෙන් පසුවිය යුතුය.

කතොලික ප්‍රජාව කළු ඉරිදාවක් සංවිධානය කරන්නේ ඒ තද කළු පැහැයෙන්, අදාල බරකින් යුක්තව නිශ්චිත පණිවිඩයක් පාලකයන්ට ලබාදීමටය. නමුත් මේ අස්සට රිංගාගෙන සිටින සටකපට විපක්ෂ දේශපාලන කොටස් දැන් ඒ කළු පැහැයට වෙනත් දුර්වර්ණයන් එකතු කර ඇත. එය දැන් කළු නොවේය. අඳුරු බොර මඩ පැහැයක් පමණි. ඔවුන් විසින් ක‍තෝලික ජනතාවගේ පණිවිඩය දියාරු කර ඇත. අපිරිසුදු කර ඇත. ප‍ටු බල ලෝබී දේශපාලන අවස්ථාවාදය මඟින් මේ පිරිස් හෙට දිනයේදී කරන්නෙත් ක‍තෝලික ප්‍රජාවට අසාධාරණයකි, අවමානයකි. මෙය ක‍තෝලික නායකයනුත් වටහාගන්නවා නම් මැනවි. නැතිනම් මේ පිරිස් කතෝලික සභාවත් මේ අයට අවශ්‍ය ලෙස නැටවිය හැකිය.

 

-the novemberist

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us