අරගලයේ මළකුණු අතර සජබෙත් ජවිපෙත්... Featured

Friday, 13 May 2022 18:16

ඊයේ දිනයේදි (12) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණයත් සමඟ දැන් දේශපාලන සංවාද තලය අලුත් වී ඇත.

රනිල්ගේ පත්වීම ගැන මුලින්ම කුපිත වූයේ විපක්ෂ නායක සජිත් පේමදාස සහ සජබ කණ්ඩායමය. ඒ් තමන්ට ඇති අවස්ථාවක් කොහෙවත් හිටපු එකෙක් ඩැහැ ගත්තාය කියන තේරුමෙන් මිසක් වෙනයම් දේශපාලනික හේතුවක් වාසියක් අනුව හෝ නොවයි. සජිත් කොහොමටත් හැමදාම හොර ගල් අහුල අහුලා, අනෙකුන් කොටවමින් දේශපාලනයෙහි නිරත වූයේම කුමක් හෝ නායකත්ව භූමිකාවක් තමන්ගේ නමින් ලියා ගන්නය.

එජාපය තුළ සිටියදී එජාප නායකත්වය ඩැහැ ගැනීම වෙනුවෙන් කළ කී දෑ අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ නායකත්ව බල ලෝබය ගැන රනිල්ගේ අවබෝධය නිසා නියෝජ්‍ය නායක පට්ටමක් ඇති කර එය සජිත්ට ලබා දී යන්තම ඒ අඬවැඩියාව සමනය කර ගැනීමට ඔහු කලකට පෙර සමත් වී තිබිණි.

යහපාලන යුගයේ ජනාධිපති සිරිසේන සමඟින් හොර රහස් සාකච්ඡා පවත්වමින් අගමැති තනතුර කොල්ල කෑමට සජිත් මොනවද නොකළේ ? ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් සජිත් මොන විගඩමක් නැ‍ටුවාද ? ජනාධිපතිවරණයෙන් වූ පරාජයෙන් පසුව යළි එජාප නායකත්වය ඉල්ලා රන්ඩු කර එයින් පැරදී එජාපය කඩන් ගොස් සජබය පිහි‍ටුවා එහි උත්තරීතර නායකයා විය. අඩුම තරමින් දෙවන පෙළ නායකත්වයක් මතුවීම හෝ වලක්වා තිබේ. දේශපාලන ජවයෙන් හෙබි චම්පිකලාට, ෆොනීලාට, හරීන්ලාට, සජබය තුළ පැවැත්මක් නැතිවෙන තැනට අද පත්ව තිබෙන්නෙ මේ සජිත්ගේ හීනමානය නිසාය. එහෙත් වෙන යන එන මං නොමැතිවීම තුළ මේ සෙසු පිරිසට ඒ ගුබ්බෑයමේම තවදුරටත් ලඟින්න සිදුව තිබේ. හරීන් ස්වාධීන වීමේ තීන්දුව ගෙන තිබෙන බව පැවැසේ.

කොහොම නමුත් වර්තමාන අර්බුදය හමුවේත් සජිත් මාන බැලුවේ රටේ නායකත්වය ඩැහැ ගැනීමට කෙටි මාර්ගයක් හදා ගැනීම කෙරෙහිය,මීට මාස ගනනාවකට පෙර ගාලු මුවදොර පැවැති රැලියේදී ඔහු කීවේ තමන්ව ජනාධිපති කරන ලෙසය. එහෙම වුණොත් රටේ සියලු ප්‍රශ්න විසඳන බවය,පසුව අගමැති කොළොත් එහෙමය,අරමය කියන්න ගත්තේය, මහ මැතිවරණයක් අවශ්‍ය බවට කියවන්න ගත්තේය. ඔහුට තිබුණ බරපතලම ප්‍රශ්නය කුමක් හෝ රටේ නායකත්ව තනතුරක් මිස වෙනකක් නොවේ. අඩුම තරමින් බලයවත් නොවේ. තනතුරක් පමණි.

ගෝඨාභයට ශීර්ෂ ප්‍රණාමය !

ඊයේ දිනයේදී රනිල් වික්‍රමසිංහව අගමැතිධුරයට නම් කරනවාය කියන ආරංචියත් සමඟ ඔහු කළඹල වී ජනාධිපතිවරයා ඉදිරියේ දනින් වැටී අගමැතිකම ලබා දෙන ලෙස බැගැපත්ව තිබුණේ කවර කොන්දේසියකට හෝ යටත්ව ඒ සිදුකළ හැකි බව පෙන්වා දෙමිනි..නමුත් එතරම් දිනක් යන තුරු ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිනොගමිනින් බොරු කොන්දෙසි ඉදිරිපත් කරමින් අමුතු මහන්තත්ව කමක් පෙන්වීමට සජිත් උත්සහ කර තිබිණි. ඒ් ප්‍රමාදය සහ ‌බොරු මාන්නය ඔහුගේ බලාපොරොත්තු විනාශ කළේය.

කෙසේ හෝ සජිත් ප්‍රේමදාසව අගමැතිවරයා ලෙස නම් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභයට ශීර්ෂ ප්‍රණාමය දැක්විය යුතුය.මේ ගොබ්බ දේශපාලන නායකත්වය සහ ඒ ගොබ්බ ‍රැළට රටේ නායකත්වය නොයෑම ජාතියේම වාසනාවක් විය හැකිය.

කොහොම නමුත් රට, කාගේ කාගේ හෝ වැරදිවලින් අද මේ අර්බුදය කරා ගෙන විත් තිබෙන මොහොතක තව දුරටත් සිදුවීමට යන විනාශ වලක්වා ගැනීම වෙනුවෙන්වත් රටම එකතු විය යුතු බවත්, පාර්ලිමේන්තුව් එකතු විය යුතු බවත් මහජනයා කෙරෙන්ම විශාල උද්ඝෝෂණයක් පැන නැගී තිබෙන මොහොතක, ඒ පසෙකලා සජිත්ලා තමන්ගේ ගොඩ බේරා ගැනීමෙ නිර්ලජ්ජිත උපාය මාර්ගය වෙත මාරු වීම අතිශය කණගාටුදායක තත්වයකි.

සජබය පමණක් නොව අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ ,දෙමල ජාතික සන්ධානය ද ඉන්නෙ රනිල්ව අගමැති කිරීම තමන්ට දරා ගත නොහැකි පරාජයක්ව තිබෙන මොහොතකය. ඒ මත තම තමන්ගේ ගොඩ වැඩි කර ගන්නෙ කෙසේද යන්න ගැටලුවේය. රටේ අර්බුදය විසැඳීම තමන්ගේ දේශපාලන ඉලක්ක වෙත යෑම අපහසු කරන බව මේ අය නොදන්නවා නොවේ.

ජවිපෙ රට ගිනි තැබුවේ ඇයි?

මේ නිසා මේ කිසිවකුට මේ මොහොතේ රට වැසියා මුහුණ දෙමින් තිබෙන අර්බුදය විසඳා ගැනීම ගැන කිසිදු වගක් නැත. බොර දියෙහි මාළු බාන්නා සේ අවස්ථාවාදීව කටයුතු කරන්නේ කෙසේදැයි දැන් ඔවුන් දස අතේ කල්පනා කරමින් තිබේ. රට වැසියා හෙට අනිද්දා වෙන කොට බෙහෙත් ටික නැතිව, කෑම ටික නැතිව බඩ ගින්නෙ විඳව විඳවා මැරි වැටෙන තැනට පත්වීම ගැන මේ අයට ගානක් නැත. මේ අයට අවශ්‍ය අර්බුද මඟින් රටම මළ සොහොනක් කරන්නටය.

එහෙම වුවොත් මීළඟ මැතිවරණයකදී හෝ තමන්ගේ මන්ත්‍රී ඔළු ගෙඩි ගාන වැඩි කරගැනීමට හැකි බව මෙයාලා පැහැදිලිවම කල්පනා කරයි. කොහොමත් අර්බුද මත අර්බුද ඇති කර එයින් දේශපාලන වාසි ගැනීම හැර වෙන කරන්න දෙයක් දන්නේ නැත.

පසුගිය 9 වෙනිදා ගෝල්ෆේස් අරගලයට ආණ්ඩුවේ කණ්ඩායමක් කළ පහර දීම සාමකමීව ඉවසා දරාගෙන සිටීමට එතැන බොහෝ අරගලකරුවන් තීරණය කරද්දී ජවිපෙ කළේ රට ගිණි ඇවිල වීමය.මැයි 09 -11 තෙදින තුළම සංවිධානාත්මකව මෙම අපරාධ චාරිකාව කළේය.

මැති ඇමැතිවරුන්ගෙ ගෙවල් දොරවල් කොල්ල කා ඒවා ගිනි තබා විනාශ කළේය, පොහොට්‍ටු පාක්ෂිකයන් යැයි සැකකළ පිරිස් සොය සොයා ඒ ගෙවල් මංකොල්ල කා ගිනි තැබීම් සිදු කළේය. එජාප සජබ දේශපාලනයට සම්බන්ධ වූවගේ ගෙවල් ගනනාවකටද ඒ සංතෑසියම සිදුව තිබිණි. කාර්යාල කිහිපයක්ම විනාශකර තිබිණි. ව්‍යාපාරික ස්ථාන කොල්ල කා විනාශකර තිබිණි. වාහන විශාල ප්‍රමාණයක් විනාශ කර තිබිණි. ඒ් තබා පක්ෂ දේශපාලනය අතහැර සිටි එසේම අරගලයට දායකව සි‍ටි වුන්ගෙ ගෙවල්ද මේ ජවිපෙ ප්‍රාදේශීය මැර කල්ලි වල කොලල් කෑමට ලක්ව තිබිණි.

මෙලෙස රට අවුලවමින් ජවිපෙ කළේ මෙම අර්බුද තව තවත් ව්‍යාකූල කර එමඟින් තමන්ගේ පාර්ශ්වයට දේශපාලන වාසි අත්පත් කර ගැනීමය. ජනතාව වෙතින් ස්වයංව පැන නැගුණු අරගලය නිසා තමන්ගේ පක්ෂයට ගොඩනැගෙමින් තිබූ ආකර්ෂණය ඒ වන විටත් විනාශ වී යෑම ජවිපෙට දරා ගත නොහැකි විය. අරගලය කොලල් කෑමට ගත් උත්සාහයන් පවා පෙරෙ‍ටුගාමී පක්ෂය විසින් වලකාලීමට ජවිපෙට යට දරාගත නොහැකි විය.ගාලුමුවදොර අරගල භූමිය අත්පත් කර ගැනීමට ගත් උත්සාසයන්ද සාර්ථක වූයේ නැත. මේ නිසා මේ ජන අරගලයට එපිටින් කළඹල ඇතිකර ඒ පාලනය තමන් අතට ගෙන අරගලයේ නායකත්වය අතපත් කර ගැනීමේ වුවමණාව ජවිපෙ තිබිණි. මැයි 09 වනදා සිදුවීම ඒ වෙනුවෙන් පාවිච්චි කළේය. නමුත් මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පොදු ජනතාවගෙන් හා ගාලු මුවදොර අරගල කරුවන්ගෙන් නැගුණු දැඩි විරෝධයන් සහ රජය ගත් දැඩි මර්දන තීන්දුව නිසා දින දෙක තුනකින් වැඩේ හැකිලීමට ජවිපෙට සිදුවිය.

අවසානයේ එකිනෙකට පරස්පර තීන්දු තිරණ ගනිමින් බලය අත්පත් කරගැනීම සඳහා උපාය උපක්‍රමින් සිටි ජවිපෙටද දැන් සිදුව ඇත්තේ සජබෙට වූ හරියමය.අවසන් මොහොතේදී අගමැතිධුරය බාර ගැනීමට තමන් සූදානම් කියන නිවේදනය පවා මේ අයට කරන්න සිදු වූයේ එහෙම සූදානමක් හෝ හැකියාවක් ඇති නිසා නොවේ. ඒ රටේ වගකීම බාරගන්න අපිටත් පුලුවන් කියන මහාප්‍රාණ පණිවිඩය රටට ලබාදීම වෙනුවෙනි. මෙම නිවේදනයට රැවැ‍ටුනු පිරිස් ඇති නමුත් ජවිපෙ විසින් රට ගිණි තැබීම ගැන ඒ වන විට රටට රහසක්ව තිබුණේ නැත.ඒ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළේ කවුද මොකටද කියන එක දැන් ගම්වාසීන් හෙළිදරව් කරගෙන ඇත. හෙට අනිද්දා වන විට තොග පිටින් අත් අඩංගුවට පත්වීම් සිදුවිය හැකිය. නැතිනම් ගම්මු විසින් ඒ ගනු දෙනු බේරනු ඇත.

ඒ් අනුව පසුගිය කාලයේ ජවිපෙට යම් ආකර්ෂණයක් රට තුළ ගොඩනැගෙමින් පැවැතියද එය හැරෙන තැපැලෙන්ම ආපසු කැරකී ඇත.

ගෝහෝම්ගෝටා වැලේ වැල් නෑ

මේ වෙලාවේ මහ ජනතාව ඉල්ලා සිටින්නේ තමන් එදිනෙදා මුහුණ දෙන ගැටලුවලට විසැඳුම් මිස රටේ නායකයා විය යුත්තේ අහවලාය කියන විකාර සංවාදයවත්, ඉල්ලීමවත් නොවේ. රටේ නායකයා කවරෙක් වූවත් ආණ්ඩුව කවරක් වුණත් මහ ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ තමන්ගේ සුපුරුදු ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාවය. බෙහෙත් ටික, කෑම ටික, තෙල් ටික, ගෑස් ටික, පොහොර ටික , විදුලිය , රැකියාව , ව්‍යාපාරය , යනාදී වශයෙන් අහිමිව ගිය දෑ යළි අත්පත් කරගැනීම ජනතාවගේ වුවමණාවය.

සජබ,ජාජබ( ජවිපෙ) ඒ ජනතා බලාපොරොත්තුවට බාධා කිරීම තමන්ගේ පටු අවස්ථාවාදී දේශපාලනය බවට පත් කරගැනීම, ඔවුන්ගේ දේශපාලන අනාගතය විනාශ කරගැනීමක් බව තවම ඔවුන් තේරුම් ගෙන නැත.

එමෙන්ම මේ සිදුවීම් මාලාවත් සමඟ තහවුරු වූ අනෙක් කාරණය නම් සජබ ජවිපෙ හෝ ජාජබ යනු දේශපාලනික වශයෙන් ඉතා අඳබාල කණ්ඩායම් බවය. අද ඔවුන්ට සිදුව ඇත්තේ ගාලු මුවදොර අරගල කරුවන්ගේ ගෝහෝම්ගෝටා සටන් පාඨයෙහි හි එල්ල තමන්ගේ පැවැත්ම සකසා ගන්නටය.වෙන එල්ලෙන්න වැලක් ඔවුන්ට නැත.

ගෝහෝම්ගෝටා වැනි ළදරු ,අදේශපාලනික, මුග්ධ සටන් පාඨයක එල්ලෙන්නට තරම් දශක පහ හයක වාමාංශික විප්ලවාදී දේශපාලන පරිචයක්, ඉතිහාසයක් ඇති ජවිපෙ වැනි පක්ෂයක් පවා ඇද වැටීමෙන් ඔවුන්ගේ ඇති බංකොලොත් බාවයේ තරම වටහා ගත හැකිය. එසේම ඊයෙ දිනයේදී කහකඩ වල එල්ලී ජාතියයි ආගමයි ඉස්සරහට දාගෙන දේශපාලනය කරන්නට ගත් නිරිලජ්ජිත උත්සාහයෙන්ම මේ පිරිස් වල තවමත් ඇති ගෝත්‍රික බව ද පෙන්වා දෙන ලදී.

අනෙක් කාරණය ගෝහෝම්ගෝටා කියන්නේ මේ රටේ මහ ජනතාවගේ සටන් පාඨයක් නොවේ. එය විදේශන්ගෙන් ආනයන කළ සටන් පාඨයකි. එය විසින් කළේ මහ ජනතාවගේ ඇත්ත වුවමණාවන් ඉල්ලීම් යටපත් කර, ඒ ඇත්ත අරගලය යටපත් කර, අරගලයේ දිශානතිය සූක්ෂමව වෙනස් කිරීමය. මේ ඇත්ත ජනතා අරගලය කොල්ල කෑමකි.

ගෝත්‍රක මළකුණු

සමාජ ජාලාකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙය සිදු කරනු ලැබූ බව පැහැදිලි කාරණයකි. එහි ඇත්ත දේශපාලන වුවමණාව සැඟව ඇති නමුත් ඒ ඒ අයගේ පෞද්ගලික වුවමණාවන් කවරක් වූවත් නියත වශයෙන්ම මෙය පරාජය වීමට නියමිත අරගලයක් බව මුල සිටම පැහැදිලි විය. එහෙත් මේ ඊනියා අරගලයම පාවිච්චි කරමින් වත්මන් ජනාධිපති ගෝඨාභය ඉතා සූක්ෂමව තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට මේ වන විට සමත්ව තිබේ.

ඇතිවූ අර්බුද හමුවේ පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පවත්වාගෙන යෑම ගෝඨාභ සිය වුවමණාව කරගත්තේ නැත. ඔහුට තිබුණේ වෙනත් අරමුණුය.ඒ අරමුණු වලට බාධාවක් වූයේ බැසිල් සහ මහින්ද පාර්ශ්වයේ බාධාකිරීම්ය. ඔහු ඒ බාධක ඉවත්කර තමන්ගේ අරමුණට සමීප රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරගැනීම සිදු වූයේ මෙම අරගලයෙ පිහිටෙනි. රනිල් වික්‍රමසිංහ මෙම අරගලය දිගටම පැවැතිය යුතු බව කියන්නේ එහි වාසියේ තරම ඔහු ද හොඳාකාරවම දන්නා නිසා මිස විහිළුවට නොවේ. දැන් මේ අරගලය මළ අරගලයකි. රජය විසින්ම හුස්ම පොවා ,පණ පොවා නඩත්තු කළ යුතුව තිබෙන අරගලක් බවට පත්ව තිබේ.

මේ සියලු කරුණු කාරණා වලින් යළි යළිත් පැහැදිලි වන්නේ සජබය හෝ ජාජබය(ජවිපෙ) හෝ මේ රටේ පාලන බලයට තබා ප්‍රාදේශීය සභාවක පාලනයටත් නොසුදුසු රටට විනාශය කැඳවන පජාත දේශපාලන ප්‍රවාහයන් දෙකක් බවය. මේ අය ද පොහොට්‍ටු දේශපාලනයේම නිවුන් සොයුරන්ය. සියල්ලෝම පරණ රාජපක්ෂවාදය කර තියන් යන ගෝත්‍රක මළකුණුය. මේ සියල්ල එක විට පරාජය නොකර මේ රටට ගොඩ ඒමක් නැති බවත් අද වන විට පැහැදිලිය. රටේ සැබෑ අරගලය විය යුත්තේ මේ ගෝත්‍රිකත්වයෙන් රට මුදා ගන්නා වැඩපිළිවෙලක් සැකසීමය. අද ගෝඨාභය - රනිල් පාලනයට සහයෝගය දිය යුත්තේ ඒ අර්ථයෙනි. ශිෂ්ඨ සම්පන්න නූතන ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීම වෙනුවෙනි.

 

 

- the novemberist

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us