ලංවිම පාඩු ලබනවා නම් ගාස්තු වැඩි කිරීම සාධාරණයි. Featured

Wednesday, 10 August 2022 11:15

තමන් සතුව විදුලිය නිපදවන එකදු බලාගාරයක් හෝ නොමැති ලංකා විදුලි සමාගම සිය පාරිභෝගිකයින් වෙනුවෙන් විදුලිය මිලදී ගන්නේ ලංකා විදුලි බල මණ්ඩලයෙනි. එසේ මිලදී ගත් විදුලිය සිය පාරිභෝගිකයන් වෙත නැවත විකුණා එම සමාගම 2020 වසරේදී රුපියල් බිලියන 2.6 ක්, 2021 වසරේදී ලබාගෙන තිබෙන ලාබය රුපියල් බිලියන 2.7 ක් පමණ වන බව වාර්තා වී ඇත.විදුලි බල සමාගම සිය සේවා සපයනේ බස්නාහිර පළාත, ගාල්ල දිස්ත්‍රික්කය වැනි සීමාසහිත ප්‍රදේශ කිහිපයකට පමණි.

එහෙත් රටේ විශාලම විදුලි බල නිශ්පාදකයා මෙන්ම රට පුරා විදුලිය විකුණන, විදුලි බල මණ්ඩලය 2021 වසරේදී ලබා ඇති පාඩුව රුපියල් බිලියන 22කි. මෙය පෙර වර්ෂය 2020 වසරේදී පමණක් විදුලි බල මණ්ඩලය ලබා ඇති පාඩුව රුපියල් බිලියන 69.2 කි.

ඊට අමතරව බැංකුවලින් ගත් කෙටි කාලීන ණයවලට සහ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා තවත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙනුවෙන් 2020 වසරාවසානය වෙන විට ගෙවීමට තිබූ මුළු මුදල රුපියල් බිලියන 208.4 ක් බවත් එම අගය 2021 වසර අවසන් වෙන විට රුපියල් බිලියන 237.8 ක් දක්වා වැඩි වී ඇති බවත් වාර්තා වී ඇත.

පෞද්ගලික සමාගම් ලාබ ලැබීමත් රාජ්‍ය ආයතන පාඩු ලැබීමත් සිදුවන්නේ කෙසේද?

මීට පෙර ලාබ ලබමින් තිබු රාජ්‍ය ව්‍යාපාරයක් වූ විදුලි බල මණ්ඩලය දැන් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිගින් දිගටම පාඩු ලබමින් රටේ ආර්ථිකයට ඉවසිය නොහැකි බරක් බවට පත්ව තිබේ. මේ තත්වයට පත් වීමට සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව කරුණු කාරණා රැසක් ගෙන හැර පෙන්වා දී තිබේ. විවාදාපන්න තත්වයන්ද එම ප්‍රකාශ වල ගැබ්ව ඇති නමුත් මේ එක් එක් හේතු නිසා හෝ සියලුම හේතු නිසා හෝ අද විදුලි බලමණ්ඩලය දැවැන්ත පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇතිවා මෙන්ම විදුලි බලමණ්ඩලයට ණය සැපයීම නිසා රාජ්‍ය බංකුද කඩා වැටීමේ අවධානමකට පත්ව තිබේ.

එපමණක් නොව මේ වන විට විදුලිය නිපදවීම පිළිබඳ ගැටලුව නිසා පැය 24 ම විදුලිය බලය ලබා දීමේ හැකියාවක් මණ්ඩලයට නොතිබීම මත ජනතාවද අසීරුතාවයට පත්ව තිබේ. එමෙන්ම නිශ්පාදන කර්මාන්ත, ව්‍යාපාර ආදියට එල්ල වන බලපෑම හමුවෙත් එය රටේ ආර්ථිකයට තවත් බලපෑමක් සිදු කර ඇත. කොහොම නමුත් මේ මොහොතේ හදිසි තීන්දුවක් ගැනීමට රජයට සිදුව තිබේ.

මේ වන විට වාර්තා වී ඇති ආකාරයට මේ තත්වයන් පාලනය කිරීමට විදුලි බිල ඉහළ දැමීම හැර රජය සතුව වෙනත් විසඳුමක් නොමැති බව පැහැදිලිය.

විදුලි බල මණ්ලය පාඩු ලැබීම ක්‍රමිකව සිදු වූ තත්වයකි. පසුගිය දශක දෙකක පමණ කාලය මුළුල්ලෙ මේ රට පාලනය කළ පිරිස් මෙයට වගකිව යුතුවා සේම විදුලි බල මණ්ඩලයද එම නිලධාරීන්ද වගකිව යුතුය.

ඇතැම් විටෙක විදුලි බල සම්බන්ධ වගකීම් පැවැරෙන ඇමැතිවරු යටතේ සභාපතිවරු යටතේ මණ්ඩලය ලාබ ලැබූ බව හෝ අලාබය අවම කරගැනීම ගැන හෝ කතන්දර අසන්නට ලැබී තිබේ. ඒ සත්‍ය විය හැකි නමුදු ගැටලුව ඇත්තේ වගකීම් උසුලන්නන් ඉවත් වන විට යළි පාඩු ලැබීම සිදුවීමය.

කලින් කී ලෙස විදුලි බල සමාගම ලාබ ලබන විට මණ්ඩලය පාඩු ලබන්නේ දේශපාලන අධිකාරියේ සහ මණ්ඩලයේ කලමණාකාරිත්වයේ අවුල නිසා බව පැහැදිලිය. එසේම නිවැරදි ක්‍රමවේදයක් අඛන්ඩව අනුගමනය නොකිරීම සිදුවන බව ද පැහැදිලිය.

දේශපාලනික හේතු හෝ පටු පෞද්ගලික වුවමණාවන් වෙනුවෙන් හෝ නිවැරදි තීන්දු තීරණ නොගැනීම, වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාවයන් සියල්ලම මෙන්ම ආයතන තුළ ක්‍රියාත්මක නිලධාරී මාෆියාව, වෘත්තීය සමිති මාෆියාවද මෙයට බලපා ඇත.

කොහොම නමුත් දැන් සිදුව ඇත්තේ විදුලි බිල වැඩිකර මණ්ඩලය පාඩු ලැබීම වලකා ගැනීමේ තීදුව ක්‍රියාත්මක කිරීමය. විදුලි නිශ්පාදන වියදම විදුලි ආදායමට වඩා වැඩි නම් විදුලි බිල වැඩි කිරීම විය යුතුය. එය සාධාරණය.

එහෙත් ජනතාව පීඩාවට පත්වනවා කියා විදුලි බිල වැඩි නොකර සහන සැලසීමෙන් තාවකාලික සැනසීමක් පාරිභෝගික ජනතාවට ලැබුණත් මෙමඟින් මණ්ඩලය ලබන පාඩුව පියවන්නේ මහ භාණ්ඩාගාරයයි. එනම් නැවත අප විසින්මය. මන්ද භාණ්ඩාගාරයේ ඇත්තේ ජනතාවගෙන් නැතිනම් අපෙන් වෙනත් ආකාරයට උපයා ගන්නා ලද බදු ආදායම්ය.

විදුලි බිල වලට සහන සැලසීම ,මෙන් අති විශාල සහනාධාර ප්‍රමාණයක් මෙරට ජනතාවට ලැබී තිබේ. ඒ සහනාධාර යනු රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කළ හැකිව තිබෙන ජනතාවගේ බදු මුදල් වැය කිරීමකි. එය එසේ සිදුවෙමින් තිබුණද රජයේ බදු ආදායම්ද අහිමිකර ගනිමින් ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තීන් නිසා තවදුරටත් මෙම කිසිදු සහනාධාරයක් ක්‍රියාත්මක කරගැනීමට නොහැකි තැනකට අද වැටී තිබේ.

විදුලි බල මණ්ඩලය ලාබ ලබනවා නම් එයින් කොටසක් රාජ්‍ය අදායමට ද එකතුවේ. රාජ්‍ය බැංකු කඩා වැටෙන්නේ නැත. බැංකු ද ලාබ ලබයි. ඒ කොටසක් ද රාජ්‍ය අදායමට එකතුවේ. 'ජනතාවාදී' වෙස් ගත් පාලකයෝ ජනතාවට සහන දෙන්න ගිහින් ජනතාව තල්ලුකර ඇත්තේ යළි ගොඩ ඒමක් ගැන හිතන්නට බැරි තරම් ගැඹුරු වළකටය.

දැන් මේ ඊනියා සහන අහෝසි කිරීමට මෙන්ම බදු ආදායම්ද වැඩි කිරීමට රජයට සිදුව තිබේ. මේ දෙකම අනිවාර්යෙන්නම ක්‍රියාත්මක විය යුතුව තිබේ. මෙය ඉතා නරුම තත්වයක් බව ඇත්තය. මෙය ක්‍රියාත්මක කිරීමට යන පාලකයන්ගේ අම්ම මුත්තා මත්කරමින් බැන වැදීම් සිදු කළ හැකි වූවත්, ඔවුන්ගේ නිවාස දේපොළ විනාශ කිරීම විය හැකි වූවත් ප්‍රශ්නයට හොයන්න වෙන උත්තර නැත. ඒ සත්‍ය තත්වයයි.

මේ තැනට රට ඇද දැමීම ගැන දේශපාලකයන් මෙන්ම ජනතාවද වගකිව යුතුය. ළඟ ළඟ ලාබ වාසි තකා වැරදි දේශපාලන පිළිවෙත් වලට හුරේ දැම්මේ ජනතාවය. ඒ ජනතාව රවටා ඡන්ද ගොඩ වැඩි කරගැනීමට දේශපාලකයාද මේ ලාබ වාසී පෙන්වා, පොරොන්දු වී, ඒවා ඉ‍ටුකරමින් කටයුතු කළේය.

දැන් අරු පන්නමු මූ පන්නමු කියා අරගල නොව යුද්ධ කළද ප්‍රශ්නයට උත්තර ලැබෙන්නෙ නැත. ජනතාව මර්දනය කරමින් රාජ්‍ය පාලනයද සිදු කළ ද නොහැක.

අද රට පැමිණ ඇත්තේ ඉතිහාසයේ මන් සංදියකටය. ඉතිහාසය ගමන් කරන්නේ ඉදිරියට මිසක් පසු පසට නොවේ. ආපසු හැරවීමක් නැත. නිවැරදි මාවත සොයා නොගත්තොත් නැවත අවස්ථාවක් ලැබීම ගැන විශ්වාසය තැබිය නොහැක.

මේ මොහොතේ නිවැරදි මාවතක් සොය ගැනීමට එකිනෙකා කුලල් කාගෙන වැඩක් නැත. සාමදානයෙන්, සහයොගයෙන්, සම්මුතියෙන් නිවාරදි මාවත සොයා ගත යුතුව තිබේ.

එහෙත් අප පතන සැපත වෙනුවෙන් අසීරු තත්වයක්, දුෂ්කර තත්වයක්, කැපකිරීම කළ යුතු තත්වයක් පසුකිරීමට සිදුවෙනු ඇත. එය මඟ හැරීම සිදු කළ නොහැකිය.. ඒ ගමන යන්නම වෙනවාමය.

ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය පවසන්නේ මේ මොහොතේ විදුලි බිල වැඩි කිරීම අත්‍යවශ්‍ය බවය. එහි මාධ්‍ය ප්‍රකාශක විදුලි ඉංජිනේරු නන්දික පතිරණ ඒ සම්බන්ධයෙන් පළකර සිටි අදහසක්.

“විදුලිය නිපදවීමට වැය වෙන ඇත්ත පිරිවැයට විදුලි පාරිභෝගිකයන් මුදල් ගෙවිය යුතු බව තමයි තර්කය. ඒ තර්කය නිවැරදියි. දැන් තියෙන මිල ගණන්වලට අනුව ඩීසල්වලින් විදුලිය ඒකකයක් නිපදවීමට රුපියල් 200 ක් විතර යනවා. ඒත් මණ්ඩලය ඒකකයක් විකුණන්නෙ රුපියල් 16කට. එතකොට ඒ අලාභය කොහෙන්ද ආවරණය කරගන්නෙ. ඒ පාඩුව දරන්න වෙන්නෙත් මහජනතාවටමයි. විදුලිය අඩු වැඩි භේදයකින් තොරව පාවිච්චි කරන හැමෝටම ඒක බලපානවා. ඒ වගේම මේ වෙන කොට ගල්අඟුරු මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඩොලරයේ රුපියල් මිලත් වැඩි වෙලා තියෙනවා. විදුලි මිල වැඩි කරනවා නම් ඒ වියදමුත් ආවරණය වෙන විදියට තමයි ඒක කරන්න වෙන්නෙ. සැපයුම්කරුවන්ට මුදල් ගෙවා ගත නොහැකිව විදුලි බල මණ්ඩලය මේ වෙන කොට මුල්‍යමය වශයෙන් කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා. ඒ නිසා ගාස්තු සංශෝධනය කරලා මණ්ඩලයට පාඩු නොවෙන විදියට විදුලිය සැපයීම කළ යුතුයි.

මණ්ඩලයේ වාර්ෂික වියදම විතරක් රුපියල් බිලියන 550 ත් 600 ත් අතර අගයක් ගන්නවා. ඒත් විදුලිය විකිණීමෙන් ලැබෙන ආදායම රුපියල් බිලියන 250කට ආසන්න අගයක්. මේ පරතරය පියවීම අවශ්‍යයි. දවසකට පැය දෙක තුනක් විදුලිය කප්පාදු කළාට කමක් නෑ. ඒත් අපි කියන්නෙ ඩීසල්වලින් විදුලිය හදන්න එපා කියලා. ඒක ලොකු වියදමක් නිසා. විදුලි බිල වැඩි කළේ නැත්නම් මහජන බැංකුව කඩාවැටෙනවා. අනිත් පැත්තෙන් සැපයුම්කරුවන් අනතුරට ලක්වෙනවා. ගාස්තු සංශෝධනය නියමාකාර විදියට කරලා නැති බවටත් අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒත් ඉල්ලපු වැඩි කිරීම හරි සිදුවිය යුතුයි.”

Last modified on Wednesday, 10 August 2022 11:16

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us