රනිල්ගේ පවර් එක ! Featured

Monday, 12 September 2022 11:04

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙරටට හදිසියේ එන්නේ මෙරට මානව හිමිකම් උල්ලංඝණය වීම ගැන සොයා බලා ජනාධිපතිවරයාට තරව‍ටු කර යන්න බව විපක්ෂයට පක්ෂපාත ප්‍රධාන පෙළේ මාධ්‍ය , සමාජ මධ්‍ය වල පසුගිය සතියේ ලොකු ප්‍රචාරයක් ලබා දී තිබිණි. සමන්තා පවර් ආපහු යද්දි හොඳවැයින් දෙකක් කියා යනු ඇති බවද මේ අය සිතා සිටියහ.

අරගලයට සම්බන්ධ පිරිස් දඩයම් කරන බවත් මානව හිමිකම් කඩන බවත් කියමින් අරගල නියෝජිතයෝ ජිනිවා මානව හිමිකම් කොමිසමටත් ගොස් තිබිණි. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පවතින මානව හිමිකම් සම්බන්ධ ආයතන වලට ද ගතු කියා තිබිණි. IMF ණය නොලැබෙන තුරු බලාසිටියේය. GSP+ අහිමි වෙන තුරු මේ අය බලා සිටියෝය. එහෙත් එහෙම වුණේ නැත. අසාධාරණයට අයුක්තියට එරෙහිව රටක පවතින නීතිය ක්‍රියාත්මක වීම සහ මානව හිමිකම් කැඩීම යනු දෙකක් බව ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට පෙන්වා දීමට මෙතෙක් සමත්ව තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍යය තමන්ගේ තීරු බදු සහනයත් (DCTS) ලංකාවට ලබා දුන්නේය. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, යුරෝපා සංගමය, තමන්ගේ සහය ලබා දීම සිදු කරමින්ද තිබේ. ජපානය ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තට ප්‍රමුඛ සහය දීමට ඉදිරිපත්ව සිටී, ඉන්දියාවේ සහය අඛන්ඩව ලැබෙමින් තිබේ. දැඩි ප්‍රතිපත්තියක සිටින චීනයේ වඩාත් නම්‍යශීලි වී ලංකාවට සහය දෙන තැනක සිටී.

පසුගිය 10 වෙනිදා ආපු සමන්තා පවර් යනකොට කියා ගියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය සිය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බවත්ය. වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගනිමින්, යළි ගොඩනැගීමට එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ලබා දෙන බව ද සමන්තා පවර් මහත්මිය සහතික විය.

එනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාවට නංවා ඇති දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල අමරිකාවේද පිළිගැනීමට ලක්ව ඇති බවය.ඊට සහය දෙන බවත්ය. ජාත්‍යන්තරයෙන් තවත් ලැබීමට සහතික නැත. රට නිවැරදි දිශාවකට ගමන් කරන තැනක තිබෙන බව පැහැදිලිය.

මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුව ඇති පැහැදිලි දැක්ම සහ වැඩපිළිවෙල සමඟ අමරිකානු රාජ්‍යයට නැතිනම් බටහිර පාර්ශ්වයට කිසිදු ගැටළුවක් නැත. රටේ අර්බුදයට නිවැරදි විසඳුම් ජනාධිපතිවරයා සතුව ඇත. ඒ ක්‍රියාත්මක කර ඇත. අමුතුවෙන් ඇඟිළි ගසන්නට,තරවටු කරන්න වුවමණාවක් නැත.

ජනාධිපතිවරයාට තව විසඳා ගැනීමට ඇත්තේ මේ රට ගොඩනඟන පැහැදිලි නිවැරදි වැඩ පිළිවෙලට රට අභ්‍යන්තරයේ සහය ලබා ගැනීම පමණය. අද බහුතර ජනතාව ජනාධිපතිවරයා පිළිගෙන ඔහුගේ වැඩ පිළිවෙල සමඟ සිටී. රට වෙනුවෙන් කළ යුතු කැපවීම ජනතාව තේරුම් ගෙන තිබේ.

එහෙත් තවම ගැටළුවක්ව පවතින්නේ බල ලෝභී අවස්ථාවාදී විපක්ෂයේ සහ ඒ අනුව කටයුතු කරන ඒ පතුරු සංවිධාන වල මජර පිළිවෙත වෙනස් නොවීමය. විපක්ෂයේ මේ කුහක තක්කඩි හැසිරීම කුමක්ද යන්න ජාත්‍යන්තරයද දැන් තේරුම් ගෙන ඇතිවාට සැක නැත. තවමත් මේ තේරුම් නොගත් සුළුතර ජන කොටසක් ද ජනතාව අතර සිටී. ඒ අයට අනුකම්පා කළ යුතු නමුත් මේ නොමග යෑම රටට කරදරයකි. ඒ අයට මේ ඇත්ත තේරුම් කරන්න වෙන්නේ ජනතාවටම පමණි.

සමන්තා පවර් මහත්මිය ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේ දී වූ කතා බහ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය අනුව මෙහිදී ජනාධිපතිවරයා තමන්ගේ වැඩ පිළිවෙල සැකවින් දක්වා ඇත.

ඒ අනුව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ විදෙස් වෙළෙඳපොළ පදනම් කරගත් තරඟකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් සහ අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සකස් කරන බවයි. ඒ අනුව දකුණු ආසියාවට අග්නිදිග හා නැගෙනහිර ආසියාවට වෙළෙඳපොළ ආර්ථිකය පුළුල් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා තාක්ෂණ නවීකරණය සිදු කරන බවත් ඒ ඔස්සේ ද දේශීය කර්මාන්තකරුවා සහ ගොවි ප්‍රජාව නවීන ලෝකයට ගැළපෙන පරිදි තාක්ෂණයෙන් සවිමත් කිරීමට හැකියාව ලැබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2048 වන විට ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත 25 වසරක වැඩසටහන වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත්, පරිපාලනය වෙනුවෙන් පළමු කැබිනට් අත් පොත හඳුන්වාදීමට නියමිත බවත්, ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා පරිපාටින් ස්ථාපිත කර ඇති බවත් පැවසීය.

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු නැවත සක්‍රීය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවෙන් එක්සත් ජනපදයේ ද සහාය අපේක්ෂා කරන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

බැංකු ක්ෂේත්‍රය සාපේක්ෂ දුර්වලතාවයන් සහිතව ගෙන යන අතර එහෙයින් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ක්‍රම කමිටුව, බැංකු හා මූල්‍ය පිළිබඳ කමිටුව ඇතුළත් ආර්ථික කමිටු සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කාරක සභාව නිර්මාණය කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක පර්යේෂණ සේවාවක් ආරම්භ කරන බව ද පැවසීය.

නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බවත් එසේ සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බවයි.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ වික්ටර් අයිවන් මහතාගේ යෝජනාව පරිදි ජන සභා ක්‍රමය ශක්තිමත් කරමින් බිම් මට්ටමේ ජනතාවගේ අදහස් රටේ ප්‍රතිපත්ති සඳහා දායක කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත බවත්, එමගින් ග්‍රාම සේවා වසම් 14,000ක ජන සභා 14,000ක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව සමග ඝෘජු සාකච්ඡාවක් ඇති කරගෙන ඇති අතර රැඳවුම් කාලය සහ නෛතික කරුණු සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කළ ද, දළදා මාළිගාවට පහරදීමට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ට සහ කරුණු තහවුරු වූ ත්‍රස්තවාදීන්ට ඒ යටතේ කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රැකියා ඉලක්ක කරගත් ප්‍රායෝගික උපාධි වැඩපිළිවෙළක අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ප්‍රජා විශ්වවිද්‍යාල හෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල දායකත්වය තමන් අපේක්ෂා කරන බව නියෝජිත පිරිසට පැවසීය.

රටේ මූලික පරිපාලන ඒකක 14,000 දක්වාම දිවෙන ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වැඩසටහනක් නුදුරේදීම ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති හෙයින්, ගොවීන් සඳහා ඩොලර් මිලියන 40ක් ලබාදීමට පියවර ගැනීම පිළිබඳ සමන්තා පවර් මහත්මියට ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමීය.

සහල් සහ වෙනත් බෝග හා ආහාර ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ නිලධාරීන්ගේ දායක්තවය අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාර්ථක මහ කන්නයේ වගාවක් වෙනුවෙන් අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව ද පැවසිය.

මහ කන්නය අපේ රටේ ප්‍රධාන කන්නය වන හෙයින් එය සාර්ථක කර ගැනීමෙන්, අනතුරුව එළැඹෙන යල කන්නය ද සාර්ථක කර ගත හැකි බවත් ඒ අනුව 2023 සාර්ථක කෘෂි අස්වැන්නකට යොමු කර ගත හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තරුණ තරුණියන්ගේ අදහස්වලට නිසි අවධානයක් යොමු කරමින් පාර්ලිමේන්තු කමිටු සඳහා නියෝජනයක් ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් පස් දෙනෙකුට එක් කමිටුවක් නියෝජනය කිරීමේ හැකියාව හිමි වේ. ඔවුන්ට ප්‍රධාන වාර්තාව සම්පාදනයට ඝෘජුව දායක විය නොහැකි වුවත් ඒ වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වෙයි. මෙය ලෝකයේ පළමු වතාවට සිදුවන අතර ඒ සඳහා යොවුන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීමත් පහසුවක් වන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දූෂණ විරෝධි පනත සක්‍රීය කරමින් කාන්තා සාමානාත්මතාවය සහ සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සම්පාදනයට පියවර ගනිමින් සිටී.

මේ අතර රට තුළ ආන්දෝලනයට ලක්ව ඇති සහ එය පිටුපස සැගවුණු හස්තයක් තිබෙන බව සඳහන් කෙරෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශණය වෙනුවෙන් තාක්ෂණික සහ අනෙකුත් සහායන් සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ සහාය ලබා ගැනිමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

ඉඩම් ගැටලු සහ කොපමණ ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරගත හැකි ද යන්න පිළිබඳ සොයා බැලීමටත්, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමටත් ප්‍රතිසංස්කරණ සැලසුම් සමාලෝචනය කඩිනම් කිරීමටත්, උතුරු සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථිකයේ සුවිශේෂි මර්මස්ථානයක් බවට පත්වන ත්‍රිකුණාමල සංවර්ධන යෝජනා ක්‍රමය සහ ඒ හා බැඳුණු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධාන පරිපාලක සමන්තා පවර් මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාව සමග ඇති ස්ථාවරය ජනාධිපති ජෝ බයිඩ්න් වෙනුවෙන් තමන් ප්‍රකාශ කරන බවයි.

තමන් ඇතුළු කණ්ඩායම මේ සඳහා සම්බන්ධ වූයේ ජනාධිපතිවරයාට සහ රටේ සමස්ත මහ ජනතාවට එළැඹ ඇති තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උපකාර කිරීම සඳහා බව ද ඇය සඳහන් කළාය. එමෙන්ම ඒ සඳහා හැකියාවක් ජනාධිපතිවරයා සතු බව ද පවර් මහත්මිය පෙන්වා දුන්නාය.

රටේ පෞද්ගලික අංශයේ විභවයන් මුදා හැරීමට පියවර ගත යුතු බවත්, ඒ සඳහා එල්ල වන බාධා අවම කර ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් විනිවිදභාවයෙන් යුතුව එය සිදු කොට ජනතාවගේ හැකියාවන් සහ විවිධ අංශවල වේගවත් ගමන් මග වෙනුවෙන් අඟුළු හැරීමට කටයුතු කරන්නේ නම් එය ඇදහිය නොහැකි වන බව පවර් මහත්මිය සඳහන් කළාය.

තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බව සඳහන් කළ සමන්තා පවර් මහත්මිය රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසදා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සදහා අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත්, සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සෑමවිටම කටයුතු කරන බවට සහතික වූවාය.

 -SJ

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us