රනිල් ගැසට් එක රිවර්ස් කිරීම නිසා කැරලිකරුවෝ සතුටෙන් ! Featured

Sunday, 02 October 2022 12:57

ගැස්ට් රිවර්ස් කිරිමේ වදන ජනප්‍රිය වූයේ මෑතකදීය..ඒ ගෝඨාභය පාලන සමයේදී නිරන්තරයෙන් ගැසට රිවර්ස් කිරීම නිසාය. උදේ ගහන ගැසට් එක හවස රිවර්ස් කරන තරමට මෙය සිදු විය. එකෙන්ම ඒ විහිළුවක් බවට පත්ව තිබිණී.

කොහොම නමුත් ගැසට් රිවර්ස් කිරීම අලුත් දෙයක් නොවේ. ගැසට් ඉතිහාසය පුරාම එය එහෙම සිදු විය. දැන්ට ලංකාවේ ගැස්ට් පත්‍රිකා ලක්ෂයකටවත් එහා මුද්‍රණ කර ඇතිවාට සැකයක් නැත. රිවර්ස් කරපු ප්‍රමාණයත් ඒ ආසන්නයේම තිබිය හැකිය.

ගැස්ට් එක කියන්නේ සරළවම රජයේ නිවේදන ප්‍රකාශයට පත් කිරීමකි. එය නීතිමය ලියැවිල්ලකි. ඒ් නිසා නිකම් පත්‍රයකට වඩා වැදගත් ලියැවිල්ලකි. රාජාණ්ඩු යුගයේදී රාජ නියෝග ලෙස නිකුත් වූයෙත් මෙවැනිම දෙයකි. අණ බෙරකරුවන් රට පුරා ගොස් දැන් වූයේ මේ නිවේදනයන්ය.

ලංකාවේ ගැස්ට් පත්‍ර ඉතිහාසය දිගු එකකි. ගැස්ට් පත්‍රයක් වශයෙන් මුලින්ම මුද්‍රිත ප්‍රකාශයක් ආවේ ඉංග්‍රීසි යුගයේදිය. ඒ අනුව මුල්ම මුද්‍රිත ගැසට් පත්‍රිකාව 1802 මාර්තු මස 15 වන දින නිකුත්ව තිබේ.එය 'ද සිලෝන් ගවර්මන්ට් ගැසට්' නමින් විය. මුලින් ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වී තිබිණි. පසුව සිංහල, දෙමළ භාෂා කොටස්ද මෙයට ඇතුලත් විය. මෙය ලංකාවේ පළමු පුවත් පත ලෙසද සැලකේ. වෙන් වෙන් වශයෙන් දෙමළ භාෂා ගැසට් එක 1806 දී ද ,සිංහල ගැසට් එක 1814 දී ද ප්‍රකාශයට පත් කර ඇත.

මෙය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ගැසට් පත්‍රයට සමාන අයුරින් නිර්මාණය වූවක් ලෙස සැලකේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් තම යටත් විජිත සියල්ලේම පාහේ මෙම ක්‍රමය අනුගමනය කර තිබිණි. 1784 දී කල්කටා ගැසට්ටුව, 1880 සාන්ත ලුසියා ගැසට්ටුව, 1800 කේප්ටවුන් ගැසට්ටුව සහ ඇෆ්රිකන් ඇඩ්වර්ටයිසර් ආදී වශයෙන් ගැසට් පත්‍ර බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල ප්‍රකාශයට පත් කර ඇත.

1972 වසරේදී දී සිරිමාවෝ බණ්ඩාරනායක පාලනය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කොට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කළේය. ශ්‍රී ලංකාව ඩොමීන්යන් රාජ්‍ය තත්වයෙන් මිදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ වු දේශපාලන සම්බන්ධය එයින් අවසන් කෙරිණ්. ඒ වන තෙක් ගැසට් පත්‍ර කලාප 15,011ක් මුද්‍රණය වී තිබී ඇති අතර 1972 වසරේ සිට 'සිලෝන් ගවර්මන්ට ගැසට්' ප්‍රකාශ කිරීම අත්හිටවිණි. එම පාලන කාලය තුළ රජයේ ගැසට් පත්‍ර තිබුණේ නැත. එහෙත් පසුව 1978 දී ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් පිහිටුවීමෙන් පසුව යළි ගැසට් පත්‍රය මුද්‍රණය ආරම්භ විය. එමෙන්ම එම ගැසට් පත්‍රයට වැඩි නෛතික වැදගත් කමක් හිමි විය. එය 'ශ්‍රී ලංකා රජයේ ගැසට්' පත්‍රය විය.

ඒ අනුව වර්තමානයේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වන්ම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරයි. එහි රජය මගින් පනවන ලද පනත් කෙටුම්පත්, ජනාධිපති ආඥා පනත්, රාජ්‍ය ආඥා පනත්, ප්‍රධාන නීතිමය කටයුතු මෙන්ම රැකියා ඇබෑර්තු, රජයේ විභාග, මහ බැංකුවේ දැන්වීම්, මිල පාලන දැන්වීම්, ටෙන්ඩර් කැඳවීම්, නම් වෙනස් කිරීම්, සමාගම් ලියාපදිංචිය, ඉඩම් නිරවුල් කිරීම්, බූදල් නඩු පිළිබඳ දැන්වීම්, මත්පැන් බලපත්‍ර ඉල්ලුම්පත්, ප්‍රවාහන බලපත්‍ර හා රජයේ විවිධ දෙපාර්තමේන්තු මගින් පවත්වන වෙන්දේසි ආදිය එමගින් ප්‍රකාශයට පත් කරයි. මෙම ගැසට් නිවේදන, සාමාන්‍ය ගැසට් නිවේදන සහ අති විශේෂ ගැසට් නිවේදන ලෙස නිවේදනයේ ස්වභාවය අනුව වෙනස් වේ.

කොහොම නමුත් එදා මෙදා තුර මෙලෙස රජය මඟින් නිකුත් කරන ලද ගැස්ට් පත්‍ර ප්‍රමාණය මෙන් ආසන්න වශයෙන් සමාන ප්‍රමාණයකින් ගැස්ට් රිවර්ස් කිරීම සිදුව තිබේ. යම් අවස්ථාවක ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදන පසුව අහෝසි කිරීම වෙනුවෙන් හෝ සංශෝධනය කිරීම වෙනුවෙන් තවත් ගැස්ට් නිවේදන නිකුත් කරයි . රජයේ තීන්දු තීරණ නිවේදන යනු සර්වතෝ භද්‍ර නිවේදනයන් නොවේ. වැරදි අඩුපාඩුකම් මෙන්ම කලින් කලට අවස්ථානුකූලව ඒ වෙනස් වීම වලට භාජනය වන නිසා ඒ අනුව නව නිවේදන නුකුත් කිරීම සිදුවෙයි.

මේ අනුව ගැස්ට් එකක් රිවස් වීම යනු අමුතු දෙයක් නොවේ. ඒ සාමාන්‍ය‍ සංසිද්ධියකි. ගැස්ට් රිවර්ස් විහිළුවක් වුයේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී රජයේ කිසිදු ප්‍රතිපත්තියක්, සැලස්මක්, වැඩ පිළිවෙලක් නොමැතිව හිතුණු හිතුණු වෙලාවට හිතුමතේ ගත් තීන්දු තීරණ බහුල වීම් නිසා සිදු වූ විකාරයක් නිසාය. මේවාට වගකිව යුතු වන්නේ ගෝඨාපාලන සමයේ සිටි නිලධාරීන් සහ බලධාරීන්ය.

එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අධිආරක්ෂක කලාප නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමත් ගෝඨාභයගේ ගැසට් ගැසීම සහ රිවර්ස් කිරීමත් සමපාත කරමින් සමාජ ජාලා තුළ රනිල් විරෝධයක් හෝ ඔහුව විහිළුවට ලක්කිරීමට ගන්න උත්සාහයයත් තවත් විකාරයක් හෝ වුන්ගේ අඳබාලකම ලෙස හැඳින්විය හැකිය.

අධිඅරක්ෂිත කලාප ගැස්ට් නිවේදනය නිකුත් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය මඟින් ඉදිරියේදී රාජ්‍ය මර්මස්ථාන සම්බන්යෙන් සිදු වෙතැයි උපකල්පනය කළ ආරක්ෂාව පිළිබඳ අනතුරක් නිසා අධි ආරක්ෂිත කලාප නම් කිරීමකි. මේ සඳහා උපයෝගී කරගෙන තිබුණේ රාජ්‍ය රහස් පනතේ වන වගන්තියක ක්‍රියාවට යෙදවීමය. ආරක්ෂක අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින් ලැබී තිබු බුද්ධි තොරතුරු මත ආරක්ෂක අමාත්‍ය ධුරය දරණ ජනාධිපතිවරයා එයට ඔහු අත්සන ලබා දී මට සිදුව තිබිණි.

කවර හෝ නෛතික පැනවීමක් සිදු කළ හැකිද නොහැකිද යන්න එම නිවේදනය නිකුත් කිරීමට පෙර එහි නෛතිකමය වලංගු භාවය විමසිය යුතු විය. සාමාන්‍ය තත්වය එසේය. එනම් නීතිපතිවරයා විමසා ඔහුගේ අනුමැතිය ලබාගත යුතුය. ඒ අනුව අදාල ඇමැතිවරයා හෝ වගකිව යුතු නිලධාරීයා එය අනුමත කළ යුතුය. නමුත් මේ සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු අනුව මෙම නිවේදනය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබානොගෙන ජනාධිපතිවරයාගේ අත්සන් ලබාගෙන තිබේ.

දැන් මෙය ජනාධිපතිවරයාගේ දුර්වල කමක්ය, ඔහුගේ නොදන්නාකමය, මුග්ධකමය ආදී වශයෙන් ප්‍රචාර කටයුත්තක් කරන පිරිස මෙම සිදුව තිබෙන අඩුපාඩුව ගැන කතා කරන්නේ නැත. සිස්ටම් එකක් තිබියදී එයින් පරිබාහිරව කටයුතු කිරීම නිසා මේ වරද සිදුව තිබේ. සිස්ටම් එක හරියට දුවනවා නම් ජනාධිපතිවරයාට මේ ලියැවිලි වල අකුරෙන් අකුර පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් නැත. ඒ නැවත නැවත විමසන්නට අවශ්‍ය වන්නේ නැත. අදාල වගකිව යුතු නිලධාරීන් බලධාරීන් සිස්ටම් එකෙන් පිට පැන කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා වගකිව යුතු නැත.

කොහොම නමුත් මෙම ගැස්ට නිවේදනය නිකුත් කිරීමත් සමඟම නීතිය ගැන දන්නා කියන උදවිය මෙහි නීතිමය ගැටළවක් තිබෙන බව පෙන්වා දී තිබිණි. ඊට විරෝධයන්ද මතු විය. එසේම මේ අධිආරක්ෂිත කලාප නම් කිරීමෙන් අගනුවර ව්‍යාපාරික කටයුතු වලට යම් බලපෑමක් විය හැකි බවද එම ක්ෂේත්‍රයේ පිරිස් ද පෙන්වා දී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනය ගැන සොයා බලා එය වහාම අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් වරයට දැනුම් දී තිබුණේ ජපන් සංචාරය අතරතුර දීය. ජනාධිපතිවරයා ජපානයට පිටත් වීමට සුළු මොහොතකට පෙර මෙම ගැසට් නිවේදනය අත්සන් කර තිබිණි. ගැස්ට් නිවේදනයේ අවුල සම්බන්ධයෙන් තොරතුරු වාර්ත වූ සැනින් ඒ අහෝසි කරන්නට උපදෙස් දී තිබිණි. එහෙත් ඒ සඳහා අත්සන් ලබා ගැනීමට ඔහු මෙරටට පැමිණිම වන තෙක් සිටීමට සිදු විය. ඒ ආ සැනින් එය සිදු කිරීමට ඔහු කටයුතු කළේය.

දැන් මෙහි ඇති වරද කුමක්ද හෝ විහිලුව කුමක්ද? ගැසට් නිවේදනය නිසා පුරවැසි ජනතාවට වූ අගතියක්, හෝ වෙනත් අකටයුත්තක් සිදු වුයේ නැත. එහෙත් එයින් හානියක් වූ ඉතා සුළු පිරිසක් විය.

ගැස්ට් නිවේදනය ගැන විශාල විරෝධයක් ගොනු කිරීමට උත්සහ ගත්තේ කැරලිකාරුවන් නැතිනම් කඩාකප්පල් කාරී දේශපාලන කල්ලි කණ්ඩායම් විසිනි. අධි ආරක්ෂිත කලාප නම් කිරීමෙන් තමන්ගේ හිතේ හැටියට කැරලිගසන්නට නිදහසක් නොලැබීමේ ගැටළුවකට ඔවුන් පත් විය. පසුගිය කාලයේ ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලිය ගහ මන්දිරය, අගමැති කාර්යාලය අල්ලාගෙන, ජනාධිපති නිවස සහ මැති මැතිවරුන්ගේ නිවාස දේපොළ ගිනි ලබා ,කොල්ලකමින් විනාශ කර කැරලිගැසුවේ මේ අයය. පාර්ලිමේන්තුව වටලා ඒ අල්ලා ගෙන මහ විනාශයක් සිදුකිරීමට උත්සාහ කළේ ද මේ පිරිසය.

මෙම ත්‍රාඩ කල්ලි කණ්ඩායම් වෙතින් එල්ල විය හැකි තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ලැබී තිබෙන බුද්ධි තොරතුරු මත ඊට එරෙහිව පූර්ව නෛතික ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශ අවශ්‍ය පියවර ගැනීම වරදක් නොවේ. ඒ රජයේ වගකීමකි. ත්‍රස්ත ප්‍රහාරයක් වලක්වා ගැනීමට පෙරසූදානමක් රජයට තිබිය යුතුය. පාස්කු පාහාරය ගැන මතක නම් එය සිදුවූයේ ඒදා සිටි ජනාධිපතිවරයා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ආරක්ෂ පියවර නොගැනීම නිසාය. එවැනි තත්වයන් සම්බන්ධයෙන් පූර්ව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව රජයට තිබිය යුතුය.

දෙකොටි විසි ලක්ෂයකගේ ජීවිත අනතුරේ හෙළන ත්‍රස්ත ව්‍යපාරයක් වේ නම් ඒ මර්දනය කළ යුතුමය. රටේ ආර්ථිකය කඩාකප්පල් කරන ජනතාවගේ සාමකාමී සමාජ ජීවිතය අවුල කරන ත්‍රස්ත මෙහෙයුම් ක්‍රියාත්මක වේ නම් එය මර්දනය කිරීම ජනතාවද අපේක්ෂා කරන දෙයකි. ඒ සඳහා වන යුක්ති සහගත නෛතිකම පියවරයන් ගැනීම වරදක් වන්නේ නැත. ඒ ජනතාවට වගවන රාජ්‍ය පාලනයක ක්‍රමවේදයයි. අනෙක් වැදගත් කාරණය රට මේ මොහොතේ මුහුණ දී සිටින අර්බුධකාරිත්වයෙන් මුදවාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛව රජය ගන්මින් තිබෙන අභියෝගාත්මක දුෂ්කර පියවරයන් කඩාකප්පල්කාරීන්ට විනාශ කිරීමට ඉඩ නොතැබීම විය යුතු වීමය.

එහෙත් මේ සඳහා නෛතික පියවර ගැනීම වෙනුවෙන් යොදා ගත් නෛතික ප්‍රතිපාදනය නැතිනම් රාජ්‍ය රහස් පනත ඊට නිවැරදී නොවීම මෙතැන තිබු ගැටළුවය. දැන් ජනාධිපතිවරයා ඒ අහෝසි කර තිබේ. ඒ අනුව ඒ වෙනුවෙන් වෙනත් පියවරක් ගැනීම රජය සිදු කෙරෙනුද ඇත.

කොහොම නමුත් ගැසට් එක රිවර්ස් කිරීමෙන් කැරලිකරුවන්ගේ , ප්‍රචණ්ඩකාරීන්ගේ හෝ ත්‍රස්තයන්ගේ වුවමණාව ඒ අනුව ඉ‍ටු වූවා යැයි සිතා මේ රනිල් විරෝධී පිරිස් දැන් සතුට ප්‍රකාශකරමින් සිටිති. සතුට බුක්ති විඳිමින් සිටිති. සතුට බුක්ති විඳීම ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ඊට එරෙහිව ගැස්ට් ගසා නැත. නමුත් කිසිසේත්ම ඔවුන්ගේ ත්‍රාඩ අරමුණු මුදුන් පත්වන්නට ඉඩ දීම විය යුතු නැත. අධි ආරක්ෂිත කලාප නම් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලකරුවන්ට, උද්ඝෝෂකයන්ට නම් කිසිසේත්ම ගැටළුවක් වූයේ නැත. ගැටළුව ඇත්තටම තිබුණේ ත්‍රාඩ භාවිතාවන් සමඟ රජයට එරෙහිව කටයුතු කරන්නටම පමණක් බව පැහැදිලි වූ කරුණකි.

 

-SJ

Last modified on Sunday, 02 October 2022 12:58

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us