ලාබ ලබන ආයතන විකුණන්නේ ඇයි?

Thursday, 17 November 2022 12:46

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා ප්‍රමුඛතම අවශ්‍යතාවය ලෙස හඳුනාගෙන ඇත්තේ රාජ්‍ය ආදායම් සහ වියදම් අතර පරතරය පියවා ගැනීමය. කවුරු, කවර දේශපාලන හෝ ආර්ථික මතවාදයක් දැරුවද මේ ගැටළුව විසඳා ගැනීම හැර මේ අර්බුදයෙන් ගැලවීමට වෙන උත්තර නැහැ. ඩොලර් බිලියන් ගනනින් ණය ලැබුණත් රාජ්‍ය ආදායම් වියදම් පරතරය පියවා ගැනීමට නොහැකි නම් ඒ ඩොලර් වලිනුත් වැඩක් වන්නේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වා දෙන්නේ ඒ ඇත්තය.

මෙවර අය වැය යෝජනා තුලින් උත්සහ ගෙන ඇත්තේ මේ ගැටළුවට උත්තර සෙවීමටය. අය වැය ගැන එල්ල වන විවේචන බොහොමයක් තම තමන්ගේ දේශපාලන පාක්ෂිකයා චූන් කරන කතා වලට සීමාවී පවතින නමුත් වහා විසඳා ගත යුතු මෙම ප්‍රශ්නය ගැන සාධනීය සාකච්ඡාවට කාලය වෙන් කිරීමක් දකින්න නැහැ.

කොහොම වුණත් පසුගිය කාලය පුරාම රාජ්‍ය ආදයම් අහිමි වීම, රාජ්‍ය වියදම් වැඩි වීමත් එක්ක නිතර කතා බහට ලක්වූ කරුණක් වූයේ රාජ්‍ය ආයතන ලබන අති විශාල පාඩුව ගැනයි. මේ අතරින් වැඩිම පාඩුවක් සිදුකරන රාජ්‍ය ආයතන 50 ක පමණ ලබන වාර්ෂික පාඩුව රුපියල් ට්‍රිලියනයකට ආසන්න බවද අනාවරණය වෙලා තිබුණා.

මේ නිසා වහාම මේ ප්‍රශ්නයට විසඳා නොගත්තොත් රට තවදුරටත් ආර්ථික සාමාජීය වශයෙන් කඩා වැටීම වලක්වන්න නොහැකි බව හැමෝම පිළිගන්නවා. රජය ලබන සුළු බදු ආදායම් වලින් හෝ ණය වලින් මේ ආයතන නඩත්තු කරන්න සිදුවීම රටෙ අනෙක් සියලු ක්‍රියාකරම් අඩපණ වීම පමණක් සිදුවෙනවා.

මේ තත්වයන් වෙනස් කිරීම ගැන අද ආර්ථික විශේෂඥයන් පිලිගන්නා කරුණ වී ඇත්තේ රාජ්‍ය අයතන ප්‍රතිව්‍යුහගත කිරීම විය යුතු බවයි. රජය තවදුරටත් ව්‍යපාර කිරීම අත්හැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමාංශික පක්ෂ පවා පිළිගන්නා කරුණක් වී තිබෙනවා.

පෞද්ගලික අංශයේ දායකත්වය සහිතව තරගකාරී වෙළඳපොළ තුළ මේ ව්‍යාපාර කටයුතු වලට අවස්ථාව ලබා දිම මඟින් බදු ආදායම් හෝ රාජ්‍ය භාගය අත්පත් කරගැනීමෙන් රජයට අදායම් ඉපද වීම සිදුකළ හැකියි. අඩුම තරමින් රජය දරණ පාඩුව හෝ එමඟින් අවසන් වෙනවා.

රජය විසින් සිදුකළ යුත්තේ මේ ව්‍යාපාර වෙනුවෙන් පහසුකම් සැලසීම සහ පාරිභෝගිකයාට සාධාරණ අවස්ථා වෙනුවෙන් නියාමනය සිදුකිරීම පමණයි. අද ලෝකයම පිළිගන්නා සාර්ථකම ක්‍රමය වෙන්නේ ඒක.

රජය අද මෙම ප්‍රතිපත්තිමය තීන්දුව ගෙන තිබෙනවා. එහි පළමු පියවර වශයෙන් මෙවර අය වැයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට වැදගත්ම ආයතන කිහිපයක් නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රීලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වොටර්ස් එජ් හෝටලය, සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඒවායේ පරිපාලිත අනෙක් ආයතනත් ඇතුලත් වෙනවා.

එමගින් ලැබෙන ආදායම විදේශ සංචිත වැඩිකර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමත් රජය බලාපොරොත්තුවෙනවා.. ඒ අනුව මෙම ආයතන විදේශ ආයෝජකයන් වෙත පැවැරීම ඉක්මනින් සිදු වීමට නියමිතයි.

ඒත් දැන් බොහෝ දෙනෙකුට ගැටළුව වී ඇත්තේ ලාබ ලබන ආයතනත් පෞද්ගලික අංශයට දෙන්නේ කුමකටද කියන එක. විපක්ෂ මන්ත්‍රීවරු ගිරිය කඩාගෙන මේ ගැන ප්‍රශ්න කරමින් සිටිනවා.

හේතුව සරළය. යම් භාණ්ඩයක් හොඳ ගානකට විකුණන්න නම් ඒ භාණ්ඩය හොඳ තත්වයේ තිබිය යුතුය. ශ්‍රීලංකාවට එහෙම දෙන්න හොඳ භාණ්ඩ ඇත්තෙ අතලොස්සකි. පාඩු ලබන බංකොලොත් ආයතන එහෙම දෙන්න නොහැකියි. නැතිනම් තුට්ටු දෙකට හෙට්ටු කරන්න සිදුවෙනවා.

රට මුහුණ දී තිබෙන විදේශ විනිමය ගැටලුව කඩිනමින් විසඳා ගන්න නම් මුලින් මේ හොඳ බඩු කිහිපයක් හොඳ ගානකට දී සල්ලි කර ගත යුතුය.

නමුත් මේ කියන ඒවා හොඳ බඩු කිව්වාට ඒවා හොඳම බඩුත් නොවන බව පෙන්වා දිය යුතුය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනයක් ලාබ ලබන්නේ, පෞද්ගලික අංශයට නොලැබෙන රාජ්‍ය පහසුකම් වරප්‍රසාද ආදී මැදිහත් වීම තුළයි. රජයේ ආයතන විශාල ප්‍රමාණයක රක්ෂණාවරණ එම සමාගමට නිතරගයෙන් ලැබීම තුළ ආයතනය ආදායම් උපදවයි.

ශ්‍රීලංකා ටෙලිකොම් ගත්තත් ඊට පෞද්ගලික සමාගමක කොටස් තිබීම මත කාර්යක්ෂම වීමත්, රාජ්‍ය ආයතන සමඟ තිබෙන ගනු දෙනු එහි ආදායමට විශාල දායකත්වයක් ලබාදීමත් වෙලා තියෙනවා. ඒ තත්වයන් නොවෙන්න මෙවායේ ලාබය සීමා වීම් හෝ පාඩු ලැබිම විය හැකිව තිබුණ දෙයක්.

ඒ කොහොම වුණත් රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව පාඩු ලබන ආයතන ගනනාවක්ද ප්‍රතිව්‍යුහගත කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

අය වැය යෝජනා තුළ ණය කලමනකරණය වෙනුවෙන් නම් කර ඇති ආයතන සමූහය අතර චීන එක්සිම බැංකුවෙන් ණය ලබා ගත් ආයතන, ලංකා විදුලි බල මණ්ඩලයත්, ශ්‍රීලංකාඛනිජතෙල සංස්ථාවත් සහ ශ්‍රී ලංක වරාය අධිකාරිය සහ ගුවන් තො‍ටුපොල හා ගුවන් සේවා සමාගම වැනි ආයතන වල ණය ඉවත් කර ඒවා රජයේ ණය ලෙස ලෙස මාරු කිරීමද එම ආයතන යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා ගෙන තිබෙන පියවරක් ලෙස සැලකිය හැකියි.

මේ අනුව මෙරට දැවැන්ත පාඩු ලබමින් තිබෙන ආයතන මෙන්ම ලාබ ලබන ආයතන කිහිපයක් ද ප්‍රතිව්‍යහගත කෙරෙනු ඇත්තේ රජය ව්‍යාපාර නොකළ යුතුය කියන රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවය. මෙවර අය වැයෙන් එහි ප්‍රමුඛතා හඳුනාගෙන තිබෙනවා.

රාජ්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන, රජයේ සියළු හැකියාවන් සම්පත් යොදාගෙන, රාජ්‍ය ව්‍යාපාර මුල් අවස්ථාවේදී ලාබ ලබන ආයතන ලෙස පවත්වාගෙන යෑම් සිදුකළ හැකි වුණත් රජයට ආවේනික දුර්වලතා මත වැඩි කල් පවත්වාගෙන යෑම සිදුකළ නොහැකි බව ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේත් සුලබ අත්දැකීමක්. මේ නිසා දියුණු සංවර්ධිත රාජ්‍යයන් මෙන්ම ආර්ථික සංවර්ධනය ගැන අලුතෙන් හිතන රාජ්‍යයන් මේ පරණ පිළිවෙත් අතහැර දමා ගොඩක් කල්. රාජ්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන යන ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් පවා මේ රාජ්‍ය කේන්ද්‍රීය ව්‍යාපාර සංකල්පය දැන් අත්හැර තිබෙනවා.

ශ්‍රීලංකාව පරණ හණමිටි ආර්ථික සංකල්ප තවදුරටත් කරතබාගෙන යායුතු නැහැ. වළකට වැටීම මොළයට ලාබයක් කියන්නා සේ රට වැටුණු අර්බුදය හමුවේ අලුත් ගමනක් යන්න අලුත් පාරක් දැන් සොයාගෙන තිබෙනවා. මෙවර අය වැය යෝජනාවලිය ගෙන එන්නේ ඒ වෙනුවෙනි. අප කතා කළ යුත්තේ ඒ අලුත් පාරේ අලුත් විදිහට යන එක ගැනය.

- ජේබී

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us