මෙරට ව්‍යවසායකයින් සවිබල ගන්වමින් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සාර්ථකව නිම වෙයි. Featured

Wednesday, 13 December 2023 11:32

ලොව පුරා ව්‍යවසායකත්වය සමරමින් හා සවිබල ගන්වමින් වාර්ෂිකව ක්‍රියාත්මක වන “ගෝලීය ව්‍යවසායකත්ව සතිය” (Global Entrepreneurship Week) පසුගිය නොවැම්බර් 13 සිට 19 දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක සාර්ථකව පැවැත්විණි.

“Entrepreneurs Thrive Here - ව්‍යවසායකයින් මෙහි දියුණු වේ” යන තේමාව යටතේ දියත් වුණු මෙවර වැඩසටහන් මාලාව ශ්‍ර්‍රී ලංකාව තුළ සංවිධාන කිරීම සඳහා අඛණ්ඩව දෙවන වරටත් සත්කාරකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) යි. 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය, ආර්ථික පාරිසරික පද්ධති, අධ්‍යාපනය, අන්තර්කරණය සහ ප්‍රතිපත්ති යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ක්‍රියාත්මක වූ අතර දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයන් සහ පර්යේෂකයන් අතර සහයෝගීතාව සහ සම්බන්ධතා ශක්තිමත් කරමින් මෙරට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යවසායකයින් පෝෂණය කිරීම සහ බල ගැන්වීම සිදු කරන ලදී.

ගෝලීය ව්‍යවසායකත්ව සතිය යනු ගෝලීය ව්‍යවසායකත්ව ජාලය (Global Entrepreneurship Network) මඟින් සෑම වසරක ම නොවැම්බර් මාසයේ සිය සාමාජික රටවල් හා එක්ව ලොව පුරා ව්‍යවසායකයින් බලගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහනකි. මේ හරහා ප්‍රාදේශීය, ජාතික සහ ගෝලීය වශයෙන් සංවිධාන කරන නොයෙකුත් වැඩසටහන් මඟින් විවිධ වයස් කාණ්ඩ සහ විවිධ පසුබිම් නියෝජනය කරන සියලු පාර්ශවයන්ට වේදිකාවක් සපයයි.

මෙම වසරේ ගෝලීය ව්‍යවසායකත්ව සතිය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කිරීම නොවැම්බර් 13 වැනි දින ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී සිදු විය. එම අවස්ථාවට සහභාගි වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මහතා ප්‍රකාශ කළේ DIGIECON 2030 වැඩසටහන සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වී රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන තරුණ තරුණියන්ගෙන් සහ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි. ව්‍යවසායකයන් වෙනුවෙන් වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරමින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ආරම්භක නව්‍ය ව්‍යාපාර පාරිසරික පද්ධති සංවර්ධන උපාය මාර්ගයක් පිළිබඳව අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධන වේගය ඉහළ නැංවීමට ආරම්භක නව්‍ය ව්‍යාපාරවලට ඇති හැකියාව පිළිබඳව සිය විශ්වාසය පළ කළේය.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ගෝලීය ව්‍යවසායකත්ව ජාලයෙහි ශ්‍රී ලංකාව සඳහා වන ජාතික තානාපති සුරේෂ් ද මෙල්, Mastercard Sri Lanka හි අධ්‍යක්ෂ මහේෂා අමරසූරිය, ICTA හි නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි සචින්ද්‍ර සමරරත්න සහ මහත්ම මහත්මීන්, කර්මාන්ත සංගම් හා පාර්ශ්වකාර සංවිධාන නියෝජිතයින් සහ ICTA නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය ශ්‍රී ලංකාව තුළ දියත් කිරීමේ අවස්ථාව මෙවර ගෝලීය සැමරුමේ සිය ප්‍රියතම අවස්ථාවක් ලෙස ගෝලීය ව්‍යවසායකත්ව ජාලයෙහි නිර්මාතෘ සහ සභාපති ජොනතන් ඔර්ට්මන්ස්, සටහනක් තබමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කිරීමේ සත්කාරකත්වය පසුගිය වසරේ දී ICTA වෙත හිමි විය. ICTA විසින් මේ සඳහා සත්කාරකත්වය සැපයූ පළමු අවස්ථාව වුව ද එම වසරේ දී ශ්‍රී ලංකාව ගෝලීය ව්‍යවසායකත්ව ජාලයේ ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතරට පැමිණීම කැපී පෙනෙන කරුණක් විය. මෙම වසරේ ගෝලීය ව්‍යවසායකත්ව සතිය අවසානයේ දී ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයට පත් වීමට සමත් විය. එසේ ම, 2022 වසරේ දී ගෝලීය ව්‍යවසායකත්ව සතිය තුළ ICTA දැරූ භූමිකාව වෙනුවෙන් 2023 GEN Compass සම්මාන උළෙලේ දී අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමට ද සමත් විය. මෙම ඇගයීම ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ තාක්ෂණය මත පදනම් වූ වර්ධනය පෝෂණය කිරීම සඳහා ICTA හි නොසැලෙන කැපවීම අවධාරණය කරයි.

ICTA හි සත්කාරකත්වය යටතේ, Mastercard සහ BugZero ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස එක්වූ මෙවර ශ්‍රී ලංකාවේ ගෝලීය ව්‍යවසායකත්ව සතිය පාර්ශ්වකරුවන් 65 දෙනෙකු සමඟ කැපී පෙනෙන සාර්ථකත්වයක් අත් කර ගත්තේය. දිස්ත්‍රික්ක 21ක් ආවරණය කරමින්, පුද්ගලයින් 10,000කට අධික පිරිසක් වෙත ළඟා වෙමින්, අධ්‍යාපනික සාකච්ඡා, දැනුවත් කිරීමේ සැසි, හඳුන්වාදීමේ සැසි, ප්‍රායෝගික වැඩමුළු, තරග සහ තවත් බොහෝ වැඩසටහන් 160කට අධික සංඛ්‍යාවක් මේ ඔස්සේ පවත්වන ලදී. මෙම වැඩසටහන්, පාසල් හා සරසවි සිසුන්, තරුණ ව්‍යවසායකයින්, ආරම්භක නව්‍ය ව්‍යාපාර නිර්මාතෘවරුන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගත් අතර, ව්‍යවසායකත්වය, තාක්‍ෂණික ව්‍යවසායකත්වය, බදු, සමාගම් ලියාපදිංචිය සහ සයිබර් ආරක්‍ෂාව වැනි පුළුල් පරාසයක මාතෘකා මෙමඟින් ආවරණය කෙරිණි.

ගෝලීය වශයෙන්, 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය, පාර්ශ්වකරුවන් 20,000ක් විසින් සංවිධාන කරන ලද වැඩසටහන් සහ ක්‍රියාකාරකම් 40,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ අතර රටවල් 200කට ආසන්න ප්‍රමාණයක මිලියන 10ක ජනතාවක් එක්රැස් කිරීමට, දිරිමත් කිරීමට සහ ව්‍යවසායකත්වය බල ගැන්වීමට සමත් විය. එක් සතියකින් ඔබ්බට, නොවැම්බර් මාසය පුරාවට ම ගෝලීය ව්‍යවසායකත්ව සතිය ක්‍රියාත්මක වූ අතර, ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනයේ දොරටු විවර කරමින් මතු පරපුර අතර ව්‍යාපාර සඳහා ඇල්මක් ඇති කිරීමට වේදිකාවක් ලෙස ක්‍රියා කළේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) 2003 වසරේ දී පිහිටුවන ලද  රජයේ ප්‍රමුඛ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයයි. ICTA යනු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියම වී ඇති සම්පූර්ණයෙන් ම ශ්‍රී ලංකා රජයට අයත් ආයතනයකි. ආරම්භක නව්‍ය ව්‍යාපාර පාරිසරික පද්ධති සංවර්ධනය (Startup Ecosystem Development) ICTA හි ඩිජිටල් ආර්ථික අංශය යටතේ ඇති ප්‍රධාන උප ඒකකයක් වන අතර, ගෝලීය ව්‍යවසායකත්ව සතිය ඇතුළු මුලපිරීම් ගණනාවක් හරහා ආරම්භක නව්‍ය ව්‍යාපාර පාරිසරික පද්ධතියක් පෝෂණය කිරීමේ දී එය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

තාක්‍ෂණික ව්‍යවසායකයින්ට සහ ආරම්භක නව්‍ය ව්‍යාපාරවලට විවිධ අයුරෙන් සහයෝගය ලබා දුන් 'Spiralation', ආයෝජකයින් ඉදිරියේ සිය ව්‍යාපාර සංකල්ප ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් ලබා දුන්  "Spiralation Demo Day", ආරම්භක නව්‍ය ව්‍යාපාර අතර ජාලකරණයට පහසුකම් සැලසූ සහ පාර්ශ්වකරුවන් සමඟ සබඳතා ගොඩනැංවූ "Startup SL", ආරම්භක නව්‍ය ව්‍යාපාර සඳහා සහයෝගී භෞතික පරිසරයක් ලබා දුන් "Sparx Lab", ව්‍යවසායකයින් පෝෂණය කිරීම සහ අරමුදල් ලබා ගැනීම සඳහා මග පෙන්වූ "STEP Pre-Incubation Program" සහ ආරම්භක නව්‍ය ව්‍යාපාර සංකල්ප සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කළ “10,000 Ideas” යනාදී ICTA හි ඩිජිටල් ආර්ථික අංශයේ කොටසක් වන මෙම ආරම්භක නව්‍ය ව්‍යාපාර පාරිසරික පද්ධති සංවර්ධන මුල පිරීම්, ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයකට මඟ පාදමින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායක ප්‍රජාව වෙත කල්පවත්නා බලපෑමක් ඇති කර ඇත.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us