මහ බැංකු අධිපති අස්විය යුත්තේ ඇයි? Featured

Wednesday, 27 March 2024 15:00

ඊයේ (26.03.2024) පැවති මුදල් ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී, වත්මන් මහ බැංකු වැටුප් ප්‍රතිපත්ති අර්බුදය හේතුවෙන් මහ බැංකු අධිපති ඉල්ලා අස් වේ ද? යන්න මාධ්‍ය වේදීන් ප්‍රශ්න කරන ලදි.


ඊට මහ බැංකු අධිපතිගේ පිළිතුර වූයේ, මෙය තම සේවකයින්ට වැටුප් ලබා දීමට ක්‍රියා කිරීමේ තීරණයක් වන බැවින් ඒ මත තමා ඉල්ලා අස් නොවන බව යි. එම පිළිතුර "සමහරු විසින් කන්න ඕන වූ විට කබරගොයාත් තලගොයා කරන" බවට ප්‍රචලිත පැරණි කියමනට ගැලපෙයි.

 

ඉල්ලා අස්වීමේ යහපාලන පදනම - මහජන ආන්දෝලනයන් නිරාකරණය

මහ බැංකු අධිපති වහාම ඉල්ලා අස්විය යුතු බවට අදහස් දැක්වෙන්නේ, මෙම වැටුප් තීරණය හරහා ඔහු විසින් මහ බැංකු ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය පාවා දීම හේතුවෙනි (විශේෂ ලිපිය මෙතැනින් කියවන්න) ඊට හේතු කිහිපයකි.

 

  • මෙම වැටුප් තීරණය නීති විරෝධී සහ සදාචාර විරෝධී බව මුදල් කාරක සභාව හරහා පාර්ලිමේන්තුව විසින් තීරණය කොට ඇත. ඒ පිළිබඳ වාර්තාවක් මුදල් කාරක සභාපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ඒ අනුව, මෙම නව වැටුප් ව්‍යුහය අත්හිටු වීමටත්, මුදල් ඇමති විසින් පත් කරනු ලබන ස්වාධීන විද්වත් කොමිටියක් මගින් මහ බැංකු වැටුප් ව්‍යුහය යෝජනා කිරීමටත්, නිර්දේශ කොට ඇත. මහ බැංකු වැටුප් තීරණය පිළිබඳ ව අධිකරණ විනිශ්චයක් ලැබෙන තුරු පාර්ලිමේන්තු තීරණය වලංගු වනු ඇත. ඊට හේතුව, පාර්ලිමේන්තුව යනු රටේ නීති පැනවීමේ අධිකාරිය වන බැවිනි.
  • මහ බැංකු පාලක මණ්ඩලය විසින් මෙම වැටුප් වර්ධකය අත්හිටුවා, මුදල් කාරක සභා වාර්තාව පිළි ගෙන ඇත.
  • මහ බැංකු වැටුප් පිළිබඳ ව රට පුරා මෙතරම් මහජන ආන්දෝලනයක් හට ගෙන ඇත්තේ, මහ බැංකු පාලක මණ්ඩලය විසින් මහජනයාට වගකිව හැකි ක්‍රමවේදයක් තුළින් නොව, හුදු ස්වාධීනත්ව අභිමතය පරිදි මෙම වැටුප් තීරණය ගෙන ඇති බැවිනි. එය මහජන විශ්වාසය බිඳ දැමීමකි.
  • මහ බැංකු අධිපති විසින් මාධ්‍ය හමුවේ දී දැක්වූයේ, යෝජිත රාජ්‍ය වැටුප් කොමිටිය විසින් පෞද්ගලික අංශය ඇතුළු ආර්ථිකයේ වැටුප් වර්ධනය පිළිබඳ ව සමීක්ෂණය කොට නිර්දේශයන් ඉදිරිපත් කරනු ඇති බව යි. ඔහුට මෙහි දී අමතක වූයේ, ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් වශයෙන් කටයුතු කරන මහ බැංකුවේ අතීතයේ සිට "මිල සහ වැටුප් දත්ත අංශයක්" පවතින බැවින් එම තොරතුරු දැනටමත් එම අංශය සතු විය යුතුය. එම අංශය හරහා නව තොරතුරු රැස් කොට විශ්ලේෂණය කිරීම තුළින් මෙම වැටුප් තීරණය ගත යුතුව තිබින. එසේ නොකොට, හුදෙක් නෛතික අභිමතය භාවිතා කිරීම යනු මහජන විශ්වාසය කඩ කිරීමකි.

ඔවුන් අග්‍ර ගණයේ විද්වතුන් නම් සහ වැටුප් තීරණය නිවැරදි නම්, එක්කෝ පාර්ලිමේන්තුවට සහ දේශපාලනයට යට නොවී තම තීරණයේ සිටිය යුතුය, නැත්නම් තම විද්වත් භාවයට ගරු කරමින් ඉල්ලා අස්විය යුතුය.

නිගමනය 

  • එබැවින්, ලෝකය පුරා පිළිගත් රාජ්‍ය යහකළමනාකරණ සම්මතය අනුව මහ බැංකු අධිපති ඇතුළු සමස්ත පාලක මණ්ඩලය ම  ඉල්ලා අස්විය යුතුය. මාධ්‍ය වේදීන්ගේ මෙන්ම මහජනයාගේ ඉල්ලීම පදනම වන්නේ එම සම්මතය මත ය.
  • එසේ ඉල්ලා අස් නොවීමෙන් සිදු වන්නේ, රජයේ මතයන් අනුව ක්‍රියා කිරීමෙන්, මහ බැංකු ස්වාධීනත්වය තවදුරටත් පාවා දීමට ඔවුන්ට සිදු වීම යි. මහ බැංකු නෛතික ස්වාධීනත්වය කෙරෙහි මැදිහත් වීමට රජයට හැකියාව ඇති බව මෙම වැටුප් අර්බුදය හරහා පිළිගැනීමක් ලැබී ඇත. මෙහි මරු පහර වදින්නේ උද්ධමන පාලන මහ බැංකු මුදල් ප්‍රතිපත්තියට යි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

 

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

economydiscovery.blogspot.

 

Last modified on Wednesday, 27 March 2024 15:18

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us