ආපදාවට පෙරසූදානම - සාගල රත්නායක Featured

Saturday, 08 June 2024 17:35

පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමඟ ආපදා තත්වයකට මුහුණ දීමට අපට සිදු වුණා. ස්වභාවික කාරණා හේතුවෙන් ජනතාව ආපදාවට ලක්වීම අලුත් දෙයක් නොවුණත් ගංවතුරක්, නියඟයක්, වසංගතයක්, නායයාමක්, වැනි කුමක් හෝ සිදුවන විට සමාජයේ ඇති වෙන කතා බහ තුළ නිතරම වන්නේ පවතින රජය විවේචනය කිරීම.

ආපදාවට පත් වුණු ජනතාවට වඩා විපක්ෂ මත දරණ කණ්ඩායම් නිතර උත්සහගන්නේ, රජයේ වරද නිසා ජනතාවට මේ ආපදාවන්ට මුහුණ පෑමට සිදුවුණු බව පෙන්වීමටයි.

ඒ විවේචන වල සත්‍යයක් නැතුව නොවෙයි. මොකද ස්වභාවික ආපදා රජයකට පාලනය කරන්න නොහැකි නමුත් මේ ආපදාවන්ගෙන් ජනතාවට සිදුවිය හැකි හානි වලින් ජනතාව ආරක්ෂා කරගැනීම රජයක වගකීමක් නිසා.

මේ වගකීම නියමාකාරයෙන් සිදුවෙනවා ද කියන ගැටළුව තියෙනවා. නමුත් ඒ සියල්ල දේශපාලන අධිකාරිය මතට පටවන්නත් බැහැ. දේශපාලන අධිකාරිය අවශ්‍ය නිවැරදි තීන්දු ගත්තත් සමහර විට අනෙක් අංශ වෙතින් මේ වගවීම නොවෙන්න පුළුවන්. ඒ වගේම ජනතාවටත් මෙහි යම් වගකීමක තියෙනවා.

පසුගියදා කැළණි ගඟ පිටාර ගැලීම නිසා සිදුව තිබු ආපදා තත්වයන් නිරීක්ෂණයකර අවශ්‍ය පියවර ගැනීමට කළ සංචාරය තුළ ලත් අත්දැකීම් වලිනුත් පැහැදිලි වුණ කාරණා තියෙනවා. විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම් නිසා ජලය බැස යාමේ මාර්ග අවහිරවීම සහ නිවැරදි ලෙස කසල බැහැර නොකිරීම නිසා කාණු පද්ධති අවහිරවීම වගේ දේවල් නිසා ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුවක් වෙලා තිබුණා. සමහර ඉදිකිරීම සඳහා නිත්‍යනුකූල අවසරයන් පවා ලැබිල තිබූණේ මේ ජලය බැස යාමේ මාර්ග, කාණු පද්ධති අවහිරවීම නොසලකමින්.
අනෙකා ගැන නොසිතා තමන්ගේ දේ වෙනුවෙන් පමණක් හිතල වැඩකරන්න ගත්තාම සමහර විට මුළු සමාජයක්ම ගැටළුවලට මුහුණ දෙනවා. මේ වගේ තත්වයන් වෙනස් කරන්න නම් අපේ සමාජ ආකල්පත් වෙනස් වීමක් විය යුතුයි. අඩුම තරමින් කසල බැහැර කිරීමක දී හෝ ඒ ක්‍රමවත්ව සිදු කිරීමේ පුරුද්ද හදාගත යුතුයි. කාණු පද්ධති අවහිර වෙන්නේ බොහෝ විට ගෘහස්ථව ඉවත් කරන ප්ලාස්ටික පොලිතින් රබර් වගේ අපද්‍රව්‍ය, කඩදාසි රෙදි කැබලි වගේ දේවල් නිසා. රජය කාණු පද්ධති සකස් කරන්නේ වැසි ජලය බැහැරට ගෙන යන්න. ඒවා කසල බැහැර කරන්න කළ ඉදිකිරීම නොවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන.

ඒ වගේම මේ අනවසර හෝ වේවා අවසර ඇතිව හෝ වේවා සිදුකරන ලද ඉදිකිරීම් වලදී විශේෂයෙන්ම පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තමන්ගේ බල ප්‍රදේශයට අදාල නාගරික සැලසුම් අනුව තිබෙන ඉදිකිරීම් කොන්දේසි නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවීම ගැන රාජ්‍ය නිලධාරින්ට නිදහස් වෙන්න බැහැ. ඉදිකිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ වගකීම නිවැරදිව ඉටුකිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන, ක්‍රමවේද තිබෙනවා. නමුත් ඒවා නිවැරදිව කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවෙනවා නම් මේ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ නැහැ.

අනවසර ඉදිකිරීමක් වෙනවා නම් එය ඉවත් කිරීමේ බලය ඔවුන්ට තිබෙනවා. නමුත් නාගරික ප්‍රදේශවල අනවසර ඉදිකිරීම අති විශාල ප්‍රමාණයක් සිදුව තිබෙනවා. මේ තත්වයන් නිසා ස්වභවික ආපදා පමණක් නෙවෙයි වෙනත් සාමාජීය ප්‍රශ්න පවා ඇති වීමට හේතුවක් වෙලා තියෙනවා. මේවා ඉදිරියේදී වලක්වා ගැනීමත්, සිදුවෙලා තිබෙන වැරදි නිවැරදි කිරීමත් කළ යුතු වෙනවා.

ගංවතුර තත්වයට අදාලව ගත්තොත් අතීතයේ සිට තිබෙන අත්දැකීම් සහ තාක්ෂණික වශයෙන් කරන ගවේෂණ වලදිත් ඒ සිදුවිය හැකි ආකාරයන් සහ ප්‍රදේශ හඳුනාගැනීම සිදුවෙනවා. ඒ අනුව ජනපදකරණය, නාගරිකකරණය, කෘෂි හා කාර්මික භූමි පැවැතිය යුත්තේ කුමන ප්‍රදේශයන් තුළද වැනි හඳුනාගැනීම් සම්බන්ධයෙන් පෙර ගත හැකි තීරණ තිබෙනවා. ඒ අනුව භූමි සැලසුම් සකස්වීම වෙනවා. දැනටත් එවැනි තීරණ තිබුණත් ඒ නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති බව ඇතැම් ප්‍රදේශ නිරීක්ෂණයේ දී පැහැදිලි වෙනවා. ඒ වගේම අනාගත සංවර්ධනය වපසරිය ඉලක්ක කරගෙන මේ සැලසුම් සිදු නොවීමේ දුර්වලතාවයක් පොදුවේ තිබෙනවා.

එහෙත් වැදගත්ම දෙය වෙන්නේ ස්වභාවික ව්‍යවසනයක් සිදුවීමට පෙර ජනතාව එයින් ආරක්ෂා කරගැනීම රජය කටයුතු කළයුතු වීමයි. ආපදා අවදානම් කළමණාකරණය නමින් විෂයක් තිබෙන්නේ ඒ වෙනුවෙන්. මෙරට අපදා අවදානම් කළමණාකරණ වෙනුවෙන් ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අනුව පිහිටුවනු ලැබූ ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයක් තිබෙනවා. ආපදා වලින් විය හැකි හානිය අවම කරගැනීම මෙම ආයතනයේ ප්‍රධාන වගකීම. තවත් රාජ්‍ය ආයතන ගනනාවක් මේ හා සම්බන්ධව තිබෙන අතර ඔවුන්ට පැවැරී ඇති වගකීමත් සුළුපටු නැහැ.

ආපදා සම්බන්ධ පර්යේෂණ කිරීම, අපදා හානිය අවම කිරීමේ පියවරයන් හඳුනාගැනීම, පෙර සූදානම් කරන ලද සැලසුම් පවත්වාගෙන යාම, අවදානම් තත්වයේ පසුවන ජනතාව සඳහා පූර්ව අනතුරු හැඟවීම සිදු කිරීම, හදිසි ප්‍රතිචාර දැක්වීම යනාදිය මෙම ආයතනයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වෙනවා.

පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ආපදා මධ්‍යස්ථානයට යම් අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවුවත් මෙවරත් පෙර සුදානමක් පෙන්වලා තිබුණා. නමුත් එම මධ්‍යස්ථානය ගන්න තීරණ අනුව අනෙක් පාර්ශ්වවල ක්‍රියාත්මක නොවීමේ ගැටළුක් ඇති බව පෙනී ගොස් තිබෙනවා. සමහරවිට පවත්නා නීති පද්ධතියේ දුර්වලකම්, ඇතැම් නිලධාරීන්ගේ දුර්වලකම්, අරමුදල් සහ තාක්ෂණික අඩුපාඩු සහ ජනතා සහයෝගය නොලැබීම වැනි දේ මේවාට බලපා තිබෙන්න පුලුවන්.

තවත් ගැටළුවක් තමයි අපදා කළමණාකරණයට විවිධ ආකාරයන්ගෙන් සම්බන්ධ විය යුතු රාජ්‍ය ආයතනවල අන්තර් සම්බන්ධතාවයන් අකාර්යක්ෂම වීම. අධික වර්ෂාව ගැන කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පවසන විට ගංවතුර ගැන අනතුරු හඟවන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව. නායයෑම් ගැන තවත් ආයතනයක්. ආපදා අවම කරගන්න වැඩ කරන්නේ තවත් ආයතනයක්. මෙහෙම අපාදා කළමණාකරණය විධිමත්ව සිදුවෙන්නේ නැහැ.

මේ නිසා පවතින නීති යාවත්කාලින කිරීමත්, ආපදා කළමණාකරණය සඳහා වඩා බලතල සහිත කාර්යක්ෂම ස්වාධීන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ඇති කළ යුතු නම් එය කළ යුතු වෙනවා. එසේම ආපදා අවස්ථාවකට මුහුණ දිය හැකි ලෙස අරමුදල් තරකිරීමත් විය යුතුව තිබෙනවා. ඒ වගේම මෙම ආයතන වල පර්යේෂණ කටයුතු වෙනුවෙන් නවීන තක්ෂණික පහසූකම් සහ පුහුණුව ලබාදීම විය යුතුයි. විශේෂයෙන්ම කාලගුණ දෙපාර්තමේන්තුවත් නවීන දැනුමෙන් හා තාක්ෂණයෙන් සම්පූර්ණ කරගැනීම විය යුතුව තිබෙනවා.

ආපදා අවස්ථාවන්ට මුහුණුදීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම, හදිසි තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමත් ආදිය විය යුතුයි. ආපදාවක් සිදුවීමට කලින් ඒ වලක්වාගැනීම වගේම අපදාවක් සිදු වූ පසුව කඩිනමින් හානි පූර්ණය සඳහාද රජය සතුව ක්‍රමවත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යෑම අනිවාර්යෙන්ම විය යුතු දෙයක්.

මේ තත්වයන් ගැන වර්තමානයේ දී පෙරට වඩා දැඩිව කල්පනා කරන්න වෙනවා. මොකද අද ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික විපර්යාස මත හදිසි කාලගුණික ප්‍රචණ්ඩත්වයන් සිදුවීමේ ඉඩකඩ වැඩියි. කොහොමත් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස නිසා වඩාත්ම අවදානමට ලක්ව තිබෙන රටවල් කිහිපය අතර තිබෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලය පුරාම මේ වෙනුවෙන් ගෝලීය මැදිහත්වීමක් කළේ මේ අනතුර පෙර දැක තිබෙන නිසා.

මේ අනතුරෙන් රට ආරක්ෂා කරගැනීම අනාගතයේදී අපට මුහුණ දෙන්න වන ලොකුම අභියෝගයක් වෙනවා.

- සාගල රත්නායක

මතාන්තරය - තීරු ලිපිය

ඉරිදා ලංකාදීප
09.06.2024

Leave a comment

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us