ඒත් ඒ වෙනකොට දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා තිබුණත් ලෝකයම තිබුණේ අර්බුදයක. ලෝකයේ සැපයුම් ජාල බිඳ වැටිලා, වෙළඳම බිඳ වැටිලා, ආදායම් අහිමි වෙලා, සහල්, තිරුඟු සහ අනෙකුත් ආහාර හිඟයක් පවා ඇති වෙලා තිබුණේ.
මේ තත්වයන් ලංකාවටත් බලපෑවා. ඒ වෙද්දි කොහොමත් රටේ පාරිභෝජනයට අවශ්‍ය සහල් වැඩි ප‍්‍රමාණයක් අපි ආනයනය කරමින් තිබුණේ. ඒ වගේම එදා රටේ ආර්ථිකය තිබුණේ අපනයන බෝග වෙළඳාම මත පදනම් වෙලා. ජාත්‍යන්තර අර්බුද සමඟ මේ තේ පොල් රබර් වගේ වැවිලි බෝග අපනයනයෙන් ලැබුණු ආදායම්වලට අනතුරුදායක තත්වයන් ඇතිවෙලා තිබුණා. ඒ නිසා අලුත් ආදායම් ගැන හිතන්න සිදුවෙලා තිබුණා. ඒ එක්කම සෞඛ්‍යය සහ අධ්‍යාපනය සමඟ පුරවැසියාගේ සමාජීය තත්වයන් ගොඩනැඟීම විය යුතුව තිබුණා.
රජයේ ආදායම් ඉහළම මට්ටමක තිබුණත් පුරවැසියාට ඒවයේ ප‍්‍රතිලාබ හරිහැටි ලැබිලා තිබුණේ නැහැ. මේ නිසා අලුත් රජයට, රට ගොඩනඟන්න මේ අභියෝගයන් ජය ගන්න සිදුවුණා. විශේෂයෙන්ම සමාජ සුබසාධනය වෙනුවෙන් පියවර ගන්න වුණා. එක පිට එක සහනාධාරයන් දෙන්න වුණා. ඒ කාලේ ලෝකයේ ගොඩක් රටවල් කළා වගේ සුබසාධනවාදී ආර්ථිකය මොඩලයක් තෝරගන්න සිදු වුණා. ඒ එක්කම රටේ ආදායම් වැඩි කරගන්න ආර්ථිකය විවිධාංගීකරණය කිරීම විය යුතුව තිබුණා. ආයෝජන, නව අපනයන නිශ්පාදනයන්, ඉතුරුම් වෙනුවෙන් පුරවැසියාව මෙහෙයවන්න සිදුව තිබුණා.
ලංකාවට නිදහස ලැබෙන විට රාජ්‍ය ණය ප‍්‍රශ්නයක්, ආදායමට වඩා වියඳම් අධික වීමේ ප‍්‍රශ්න තිබුණේ නෑ. රටේ මුදල් සංචිත තිබුණා. විදේශ සංචිත තිබුණා. ඒත් එදා ලෝක තත්වයන් සහ ඒවාට මුහුණ දීමට අලුත් වෙන්න සිදුව තිබුණා. අනාගතය ගැන හිතන්න සිදු වුණා.
මේ වෙනුවෙන් රටේ ආර්ථිකය කළමණාකරණය කරගන්න, ශ‍්‍රී ලංකා මහ බැංකුව 1950 දී පිහිටෙව්වා. මහ බැංකු වාර්තා අනුව 1951 වෙනකොට රාජ්‍ය ණය තිබුණේ දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 16.3 යි. ඒකෙන් විදේශ ණය තිබුණේ සියයට 2.7 ක සොච්චමක් විතරයි. විදේශ සංචිත තිබුණා දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 26 ක්. රටේ ණය ඔක්කොම ගෙව්වත් තවත් ආදායම් ඉතුරුවක් තිබුණා.
එදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් එංගලන්තයටත් රුපියල් මිලියන 100 ක පමණ ණය දීපු රටක් මේක. ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වුණ ආර්ථිකයක් තිබුණු, කලාපයේ සමෘද්ධිමත්ම රාජ්‍යය ශ්‍රී ලංකාව කියලා කිව්වේ මේ කාලයේ. කලාපයේ වැඩිම ඒක පුද්ගල ආදායම තිබුණේ මෙහෙ. ඒක ඩොලර් 120 (රු.570) ක්. කලාපයේ සාමාන්‍ය අගය ඩොලර් 67 ක තිබුණේ. දළ ජාතික නිෂ්පාදිතයෙන් 11.3% ක් වන රාජ්‍ය ආයෝජන මට්ටම ද කලාපයේ ඉහළම අගය. අග්නිදිග ආසියාවේ සාමාන්‍යය සියයට 5 ක තිබුණේ. බටහිර යුරෝපයේ 1938 දී එය 12% ක්. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන්යු, සිංගප්පූරුවත් ලංකාව වගේ දියුණු කරන්න ඕන කියලා කිව්වේ මේ කාලයේ. මේ ආසියානු කලාපයේම සංවර්ධනය වෙනුවෙන් ලංකාව කේන්ද්‍රකරගෙන කරගෙන ‘කොළඹ ක‍්‍රමය’ බහුපාර්ශ්වික ගිවිසුම ගැහුවෙත් මේ කාලේ. ආසියාවේ වෙළඳ කේන්ද්‍රස්ථානය වුණේ ලංකාව. ආසියාවටම තෙල් බෙදුවේ ලංකාවෙන්. ‘සිලොන් ඔයිල් ප‍්‍රයිස් ඉන්ඩෙක්ස්’ එක තිබුණෙත් මේ කාලේ.
ඉතිං අනාගත සංවර්ධනයට මෙතරම් හැකියාවක් අවස්ථාවත් පදනමක් තිබිලත්, අද වෙද්දි රටට මෙහෙම වුණේ කොහොමද? කලාපයේ අනෙක් රටවල් ශ‍්‍රී ලංකාව අභිබවා ගියේ කොහොම ද ? කියන එක ප‍්‍රශ්න කරන එකේ සාධාරණයක් තියෙනවා.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1950 දි විතර ඇතිවුණු කොරියානු යුද්ධය නිසාත් ලෝක ආර්ථික අර්බුද, ධනවාදී සහ සමාජවාදී කඳවුරු අතර සීතල යුද්ධය, ඒකත් එක්ක ලෝක ආර්ථික හා දේශපාලනික පිළිවෙත වෙනස්වීම වගේ දේවල් නිදහස් ශ‍්‍රී ලංකාවට දරාගන්න තරම් පුළුවන් කමක් ඇත්තටම තිබුණේ නැහැ. ඒවාට මුහුණ දෙන්න තරම් අනාගත සූදානමක රට තිබුණේ නැහැ.
බ්‍රිතාන්‍යයන්ට තමන්ගේ යටත් විජිත් රාජ්‍ය පද්ධතියෙන් ලැබුණු ආදායම් තිබුණ නිසා, ඒ යටත් විජිත් සමයේ මේ රටේ සමහර දේවල් කළමණාකරණය කරගැනීමට ඔවුන්ට පුළුවන් කමක් තිබුණා, ඒත් නිදහසෙන් පස්සේ බිහිවුණු ශ‍්‍රී ලංකාවේ අලුත් රජයට ඒ අවස්ථා තිබුණේ නැහැ. මේ අර්බුදත් එක්ක තමයි අපිට අපේ විදිහකට මේ ප‍්‍රශ්න විසඳගන්න එක ගැන හිතන්න සිදු වුණේ. ස්වාධීන රටක් විදිහට අලුතෙත් හිතලා වැඩ කරන්න සිදු වුණා. විසඳගත යුතු බරපතල ගැටලු ගොඩක් ආවා.
බ්‍රිතාන්‍යයන් මේ රටේ ආරම්භ කරපු වැවිලි ආර්ථිකය නිසා රටේ ආදායම්, විදේශ සංචිත ඉහළ තැනක තිබුණත් සාමාජීය සංවර්ධන දත්තයන් නිදහසට පෙර සිටම ඛේදනීය තැනක තිබුණේ. ජනතාවගේ දුප්පත් කම විශාල ප‍්‍රශ්නයක් වුණා. විශේෂයෙන්ම සෞඛ්‍යය සහ අධ්‍යාපනය පිළිබද බරපතල ප‍්‍රශ්න තිබුණා.
මේ නිසා රට සංවර්ධනය කරන්න අවශ්‍ය ලෙස පුරවැසියා ශක්තිමත් කරන්න රජයට මුලිකවම සිදු වුණා. දුප්පත් කම තුරන් කිරීම වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය වැඩි වේගයකින් දියුණු කිරීම මුලික වුණා. රැකියා ප‍්‍රශ්න විසඳන්න සිදු වුණා. දරිද්‍රතාවයට කඩිනම් උත්තර හොයන්න සිදු වුණා, ප‍්‍රධාන ආදායම් මාර්ගය වුණු වැවිලි ආර්ථිකය තවත් සංවර්ධනය කරන්නත් සහ පුරවැසියාගේ ආහාර ප‍්‍රශ්නය විසඳන්න ආහාර බෝග පදනම් කරගත් කෘෂිකර්මාන්තයට විශාල මැදිහත් වීමක් කරන්න සිදු වුණා.
ඉඩම් සහ ජලය ගැන තිබුණු ප‍්‍රශ්නයට විසඳීමට ඉක්මනින් පියවර ගන්න සිදුවුණා. රට කාර්මිකකරණය කිරීම ගැන අමුතුවෙන්ම හිතන්න සිදු වුණා. විදුලි උත්පාදනය, සන්නිවේදන සේවා, මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් ගොඩනඟන්න සිදු වුණා. පොදු ප‍්‍රවාහනය දියුණු කරන්න සිදු වුණා. මේවා වෙනුවෙන් රටේ ආදායම්, විදේශ සංචිත වැය කරන්න වගේම ණය ආධාර ගන්නත් සිදු වුණා.
ප‍්‍රායෝගික සමාජවාදී විසඳුම්
40 දශකයේ අග සිට රටේ ජනගහනය, සාමාන්‍ය තත්වයන්ට වඩා වේගයෙන් වර්ධනය වීම නිසා තවත් අභියෝගයක් එල්ලකර තිබුණා. මොකද ඒ වැඩිවන අවශ්‍යතාවයන් සපුරණ එකත් අනිවාර්යයයෙන්ම වෙන්න ඕන නිසා. මේ ජනගහනයේ වර්ධනයටත් මේ කාලයේ සිදුවුණු සෞඛ්‍ය අංශයේ සංවර්ධනය හේතුවක් වුණා. මේ නිසා සාමාජීය ගැටළු විසඳන්න, පුද්ගලයන්ගේ ආර්ථික හැකියාවන් වැඩි දියුණු කිරීමට, සුබසාධනවාදී රජයක් පවත්වගෙන යෑමට බලකරලා තිබුණා. මේ නිසා එදා පැවැති එජාප ආණ්ඩුව පවා දේශපාලනයේදී හැඳින්වූයේ ‘ප‍්‍රායෝගික සමාජවාදී’ ආණ්ඩුවක් විදිහට. අර්ධ වාමාංශික ප‍්‍රතිපත්ති සහිත රජයක් විදිහට.
කොහොමත් එදා ලංකා සමසමාජ පක්ෂය කියන්නේ රටේ මුල්ම දේශපාලන පක්ෂය වුණු ප‍්‍රබලම සමාජවාදී බලවේගයක්. ඒවගේම ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් රටේ දේශපාලනයට කරපු බලපෑම අති විශාලයි. සෑම ක්ෂේත‍්‍රයකම පාහේ ප‍්‍රබලම වෘත්තීය සමිති මේ අයට තිබුණා. මේ පක්ෂ වලින් බාහිරව තිබුණු විශාලම වෘත්තීය සමිති පවා වාමාංශික මත දැරුවේ. ලෝක මට්ටමෙන් සමාජවාදී කඳවුරේ නැඟ ඒම සිදුවන විට වාමාංශික පක්ෂ වලට සහ වාමාංශික මත දැරු වෘත්තීය සමිති වලට මේ රටේ මතවාදී දේශපාලනයට කරන බලපෑම වැඩි වුණා. ඒ හරහා වැඩවර්ජන ආදියෙන් රජයට දැඩි බලපෑම් කිරීමේ හැකියාව තිබුණා. මේ නිසා එජාපය අනුගමනය කළ ලිබරල් ප‍්‍රතිපත්තිය රට සංවර්ධනය කිරීමේ නිවැරදිම ප‍්‍රතිපත්තිය වුණත් වාමාංශික බලපෑම් සහ රටේ සමාජීය තත්වයන්ගේ දුර්වලතාවය නිසා සුබසාධනවාදයට වුවමමණාවට වඩා යට වෙන්න සිදු වුණා. ඒ වගේම ජාති ආගමික ජාතිකවාදී බලපෑම් වලින් අඩුවක් තිබුණෙත් නැහැ. හැබැයි ඒ හැම තත්වයක්ම කළමණාකරණය කරගනිමින් සංවර්ධිත ශ්‍රී ලංකාවකට අවශ්‍ය අඩිතාලම මේ යුගයේදීම වැටුණා.
ඒ අඩිතාලම මත තමයි අවුරුදු 76 ක් තිස්සේ මේ රට ගොඩනැඟුනේ. රට නිදහසෙන් පස්සේ පාලකයන් මොනවත් කරලා නෑ කියන ජවිපෙ මතය වර්තමානයේ ජීවත් වෙන මිනිස්සු නොමඟ යැවීමට කරන කතාවක් කියන එක, එදා රට තිබුණු තත්වයන් සහ අද පවතින තත්වයන් එක්ක පැහැදිලි කරගන්න පුළුවන්.
සෞඛ්‍ය සම්පන්න ජනතාවක්
1948 සිට ඉදිරියට ගත් සංවර්ධන පියවරයන් අතරින් මුලිකවම නිරෝගී සම්පන්න, ජව සම්පන්න පුරවැසියකු බිහිකර ගැනීමට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කඩිනම් ප‍්‍රතිසංස්කරණයකට පියවර ගැනීම වැදගත් දෙයක් වුණා. 1952 දී සෞඛ්‍ය සේවා පනත ගෙනල්ලා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය විශාල වර්ධනයකට ලක් කළා. සෞඛ්‍ය වෙනුවෙන් දරණ රජයේ වියදමත් නිදහසෙන් පස්සේ අවුරුදු පහ හයක් ඇතුළත දෙගුණයක් කළා.
1947 අවුරුද්දේ රෝහල් ඇතුළුව වෙනත් වෛද්‍ය මධ්‍යස්ථාන තිබුණේ 281 යි. රෝහල් ඇඳන් තිබුණේ 18,833 යි. ඒ කියන්නේ පුද්ගලයන් 1,000 කට ඇඳන් 2ක් වගේ. 1957 වෙනකොට ඇඳන් ගනන 28,994 ක් කරගත්තා, වෛද්‍ය මධ්‍යස්ථාන 395 ක් කරගත්තා.
අද වෙන කොට රජයේ රොහල් ප‍්‍රමාණයත් 1,100 කට අධිකයි. රජයේ රෝහල් ඇඳන් ප‍්‍රමාණය පමණක් 80,000 කට ආසන්නයි. අද පුද්ගලයන් 1,000 කට ඇඳන් 5 වඩා වර්ධනය කරගෙන තියෙනවා. ඒ වගේම රජයේත් පෞද්ගලික අංශයත් හරි හරියට රටේ සෞඛ්‍යය වෙනුවෙන් අද දායක වෙනවා. එහෙම බැලුවාම මේ දත්ත වලට වඩා ඉහළ සෞඛ්‍ය සේවවක් අද රටේ තියෙනවා.
1948 වෛද්‍යවරු හිටියේ 702 යි. හෙදියන් 948 යි. සෞඛ්‍ය සේවිකාවන් 918 යි. ලක්ෂ 66 ක් විතර වුණ රටේ ජනගහනයට මේක ප‍්‍රමාණවත් වුණේ නැහැ. 1956 වෙද්දි වෛද්‍යවරු 938 ක්, හෙදියන් 2,727 ක්, සෞඛ්‍ය සේවිකාවන් 1,447 ක් දක්වා බිහිකර ගත්තා.
පුද්ගලයන් 1000 කට එදා වෛද්‍යවරු හිටියේ බිංදුවයි දශම ගනනක්. 2000 වසර වන විටත් හිටියේ 0.4 යි. අද ජනගහනය හතර ගුණයක් විතර වැඩි වුණත් වෛද්‍යවරු ප‍්‍රමාණය 1000 කට 1.2 ක් වන තරමට වර්ධනය වෙලා. අද රජයේ සහ පෞද්ගලික අංශයේ වෛද්‍ය විද්‍යාල වලින් වසරකට වෛද්‍යවරු 2,000 කට ආසන්න ගනනක් බිහිවෙනවා. අද මෙරට වෛද්‍යවරුන්ට, විදේශගත රැකියා සඳහා තිබෙන අධි ඉල්ලුම අනුව සෑහෙන පිරිසක් මෙරටින් පිටවී නොයන්න, පිළිගත් නිර්ණායක අනුව මෙරට වෛද්‍යවරු අතිරික්තයක් තියෙනවා.
1946 දී මාතෘ මරණ අනුපාතය සජීවී දරු උපත් 100,000 කට 1,550 ක තරම් ඉහළ වුණා. 1957 වෙද්දි 370 ට අඩු වුණා. අද වෙද්දි 30 කට ආසන්න ගනනකට අඩු කරගන්න සමත් වෙලා තියෙනවා.
1946 දී ළදරු මරණ අනුපාතය 1000 ට 101 වුණු එක, 1956 දී 68 දක්වා අඩුකර ගත්තා. අද ඒක 8 කට ආසන්නව අඩු වෙලා තියෙනවා.
එදා විවිධ බෝ නොවන සහ වසංගත රෝගයන්ට ගොදුරුව මිය යන පිරිස හිතාගන්න බැරි තරම් ඉහළ අගයක තිබුණේ. අවුරුද්දකට ලක්ෂයක් හමාරක් මියගියා. මැලේරියා වසංගතයට, නිදහසට පෙර දශකය තුළ රටෙන් භාගයක්ම ඒ කියන්නේ 30 ලක්ෂයක පමණ පුරවැසියන් ගොදුරු වුණා. ඒත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂක ක්ෂේත‍්‍රයේ දියුණු කිරීමත් එක්ක මේ තත්වයන් වේගයෙන් වෙනස් වුණා.
1946 දී රෝගාබාධ නිසා රොහල් ගත වූවන් අතරින් පමණක් 135,000 අධික පිරිසක් මිය ගියා. එහෙම නැතුවත් තව රෝගීන් විශාල පිරිසක් මිය ගියාට සැක නැහැ. මොකද ගොඩ වෙදකම්, මිත්‍යා විශ්වාස නිසා රෝහල් ගතවීම් සිදුවුණේ අඩුවෙන්. එදා ජනගහනය ලක්ෂ 60 ගනනක් විතර වෙද්දි මේ අනුපාතය අති විශාලයි. 1959 වෙන කොට මේක 90,000 ට අඩුකර ගත්තා.
1946 දී උපතේ සිට සාමාන්‍ය ආයු කාලය වුණේ අවුරුදු 44 යි. එදා මිනිහෙක් අවුරුදු හැට හැත්තෑවක් ජීවත් වෙනවා කියන එකත් ආශ්චර්යයක් වෙලා තිබුණේ. 1960 වෙන කොට ආයු අපේක්ෂාව අවුරුදු 60 ක් දක්වා ඉහළ ගියා. අද නම් මේක 80 කට කිට්ටුයි.
මේවා මෙහෙම වුණේ රටේ සමාජ ආර්ථික සංවර්ධනය, සාක්ෂරතාවය වැඩිවීම සමඟ සමාජයේ සෞඛ්‍යය ගැන දැනුම ඉහළ යාම, නිදහස් සෞඛ්‍ය සේවාව, ප‍්‍රවාහන පහසුකම් වැඩි දියුණු වීම, සංනිවේදන සේවා පුළුල් වීම,රෝග පාලනය, ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවන්වල දියුණව නිසයි. ඒවා ඉබේ ඇතිවූ දේවල් නෙවෙයි. 76 වසරක් තිස්සේ රට පාලනය කළ අය කරපු දේවල්. මේ කාලය තුළ සිදු වෙච්ච සංවර්ධනයේ ප‍්‍රතිපළ.
එදා එහෙම නොවෙන්න, අද නිදහසෙන් පස්සේ මොකවත් වෙලා නෑ කියන අයගේ අම්මලා තාත්තලාවත් මේ ලෝකෙට බිහි නොවෙන්න ඉඩ තිබුණා. නැතිනම් අඩු වයසෙන්ම ජීවිතය අවසන් වෙන්න තිබුණා.
- සුභාෂ් ජයවර්ධන
( 'අවුරුදු 76 මොනවද කළේ? ' ඉතිරි කොටස් 12 හෙට සිට)
1කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2කොටස - වැරැද්ද කළේ කවුද ?