බොන්න වතුර ටික නැති, ගහක් කොළක් නැති, පොළොවෙ නිසරු පස් ටික මිස වෙනත් කිසිදු සම්පතක් නැති, සිංගප්පුරුව වැනි රටක් ලෝකයේ දියුණුම රටක් ලෙස ගොඩනැඟීමේ කතා ඇසෙන කොට මේ රටේ උන්දැලා මෙච්චර කාලයක් මොනවා කළා දැයි අසන එක අසාධාරණ නැත.
මේ රට මේ තැනට පත් ව තිබීමට වගකිව යුත්තේ කවුරු වුණත් තවමත් නොවිසඳුන ගැටලුව වී ඇත්තේ රට තවමත් එතැනම තිබීමය. මේ නිසා නිදහසෙන් පසුව අවුරුදු 76 ක් පාලකයන් මොනවාද කළේ කියා අමුතුවෙන් හාර අවුස්සා කතා කරන්න දෙයකුත් නැත.
මන්ද අදත් ඒ පරණ පිළිවෙතටම දේවල් සිදු වෙමින් තිබෙන නිසාය. අරයට මෙයාට බැන බැන තවම යන්නේ පරණ පාරේය. පරණ වැරදි නැවත නැවත අලුත් වෙමින් පවතී. දූෂණය වංචාවට ඇරුණු දොරවල් තවමත් වැසුණේ නැත. රට ගොඩනඟන්න කළ යුතු දේ වෙනුවට තමන්ගේ ගොඩනැඟීමට අවශ්‍ය දේ ප්‍රමුඛ තරගත් නිලධාරීන් බලධාරීන් රටේ අනාගතය තීරණය කරමින් සිටී.
ඛනිජ සම්පත් ටිකට යළි පෙරේත බැල්ම
මේ පෙර වදන ලියන්න සිදු වුයේ, මේ රටේ ඛනිජ සම්පත් ටිකෙන් රටට අති විශාල විදේශ විනිමය ආදායමක් ගෙන දිය හැකිව තිබෙන අවස්ථාව යළිත් අහිමි වීමේ අනතුරක් ඇති වෙමින් තිබෙන නිසාය.
ලංකාව වටේ වෙරළ තීරයේත්, රට ඇතුළතත් පිහිටි ඛනිජ නිධි වලත් ගවේෂණ සහ කැණීම් අවසරය මුළුමනින්ම පාහේ මේ වන විට විදේශ බහුජාතික සමාගම් වලට පවරා ගෙන තිබේ. මේ සමාගම් බූවල්ලකු මෙන් තවත් ඉතිරිව තිබෙන කුඩා බිම් කොටස් පවා අත්පත් කර ගැනීමේ දැවැන්ත මෙහෙයුම් දියත් කරමින් තිබේ. ඩොලර් බිලියන ගනනක ආදායම් වෙනුවෙන් මේ දියත් වන සටකපට මෙහෙයුම් එසේ මෙසේ මෙහෙයුම් ද නොවේ.
රටේ උගත් බුද්ධිමත් යැයි සැලකෙන දේශපාලකයන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, වංචාවට දූෂණයට එරෙහි යැයි ප්‍රකට මාධ්‍යවේදීන් පමණක් නොව රාජ්‍ය අංශයේ විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටින දූෂණ විරෝධී රාජ්‍ය නොවන සංවිධාන පවා මේ බූවල්ලාගේ ග්‍රහණයට හසුව තිබේ.
එහි හොඳම කතාව පුත්තලම, අරුවක්කාලු හුණුගල් නිධියෙන් ඛනිජ වැලි නිස්සාරණය සහ අගය එකතු කළ ඛනිජ නිශ්පාදන අපනයන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇසෙන්න තිබේ. මෙම ව්‍යාපෘතිය වළක්වාලීමට බහු ජාතික සමාගමක්, ඔවුන්ගේ මෙරට ඒජන්තයන් සහ දූෂිත දේශපාලකයන්, නිලධාරීන් ගත් උත්සාහය නැවත අලුත් වටයකින් ආරම්භ වී තිබේ. ආණ්ඩු මාරු වුණාට ජරාජීර්ණ සිස්ටම් වෙනස් වෙන්නේ නැති බවටත් මෙය හොඳ උදාහරණයකි.
අරුවක්කාලු හුණුගල් නිධියෙන් ඛනිජ වැලි නිස්සාරණය කිරීමේ කතාව ආරම්භ වන්නේ 1990 ගණන් වල සිටය.
පුත්තලම සිමෙන්ති කම්හලේ නිශ්පාදන කටයුතු වෙනුවෙන් හුණුගල් ලබා ගැනීම සිදු කෙරුණේ වනාතවිල්ලුව අරුවක්කාලු හුණුගල් නිධියෙනි. මේ නිධිය පිහිටා තිබෙන්නේ පොළොව මට්ටමෙන් මීටර් 30 කට වඩා ගැඹුරෙනි. මේ නිසා මෙම හුණු ගල් ලබා ගැනීමේ දී මතුපිට පිහිටි රතු පස් තට්ටුව ඉවත් කිරීම සිදුවේ. ක්‍රමාණුකුලව හුණු ගල් කඩා ඉවත් කරගැනීමෙන් පසුව එම ප්‍රදේශ කලින ඉවත් කරන ලද පස් වලින් යළි වසා දැමීම සිදු වෙයි. තවමත් එම පිළිවෙලටම මේ දේවල් සිදු වන නමුත් මීට දශක ගනනාවකට පෙර මෙම ඉවත් කරන ලද රතු පස් වල වටිනා ඛනිජ වැලි පවතින බව ඒ ගැන සිදු කළ පර්යේෂණ මඟින් සොයා ගන්නා ලදී.
මේ අනුව මෙම ඛනිජ වැලි නිස්සාරණය කර තවත් ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇති බව පැහැදිලි විය. ඒ අනුව මෙම අරුවක්කාලු ඉඩමෙහි ඛනිජ වැලි හඳුනාගැනීම වෙනුවෙන් වන ගවේෂණය කටයුතු, සිදු කිරීම සඳහා ඔ්ස්ට්‍රේලියානු සමාගමක මෙරට අනු සමාගමක් වන Iluka Resourses (pvt) ltd පෞද්ගලික සමාගම වෙත ගවේශන බලපත්‍රයක් ලබා දී තිබිණි. 2010 තරම් කාලයක සිට 2020 වසර දක්වා විටින් විට ගවේෂණය සඳහා වන අවසරය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ලබා දී තිබු අතර හුණුගල් නිධිය පිහිටි අක්කර 5300 ක පමණ වන ඉඩමේ අයිතිකරු වන සිමෙන්ති සංස්ථාව විසින් එම ගවේෂණ සඳහා ඉඩමට පිවිසීමේ අවසරය ලබා දීමත් සිදු කර තිබිණි.
බලපත්‍රය දුන්නට වැඩ නැහැ
නමුත් මෙම සමාගම මෙලෙස බලපත්‍ර සහ අවසරයන් ලබා ගැනීමට කටයුතු කර තිබුණේ මෙම ඉඩමේ ගවේෂණ කටයුතු වෙනුවෙන් නොවන බව පසුව හෙළි විය. සමාගමේ කොටස් මිළ ඉහළ දමා ගැනීම හා වෙනත් ප්‍රාග්ධන ආයෝජනයන් කැඳවා ගැනීම වෙනුවෙන් තමන්ට නැති හැකියාවන් පෙන්වීම සඳහා පමණක් මෙම බලපත්‍රය යොදාගෙන තිබිණි.
එසේම මෙම ඉඩමේ ගවේශන වෙනුවෙන් ඩොලර් මිලියන 20 ක් පමණ ආයෝජනය කළ බව මෙම සමාගම පවසා තිබුණත්, ගවේෂණ කටයුතු සඳහා උදළු තලයක්වත් ආයෝජනය කර නැතැයි සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපතිව සිටි නීතිඥ ගාමිණී ඒකනායක මහතා හෙළිදරව් කර තිබිණි.
එසේම මෙම සමාගම, ඛනිජ වැලි සඳහා අගය එකතු කිරීම් (Value addition) සිදු කරන සමාගමක් ද නොවීය.
අදාල බලපත්‍ර ලබා දීමේ දෝෂ සහගත තත්වයන් සහ සැක කටයුතු භාවයන් මත 2021 වසරේ දී මෙම සමාගමට ගවේෂණ කටයුතු සඳහා මෙම අරුවක්කාලු ඉඩමට ඇතුලු වීම සිමෙන්ති සංස්ථාව විසින් වළක්වනු ලැබීය.
ඊට මූලික හේතු වූයේ බලපත්‍රය ලබාගෙන වසර 10 ක් ගත වන තුරුත් ගවේෂණ කටයුතු කිසිවක් සිදු නොකිරීම සහ සිමෙන්ති සංස්ථාවට කිසිදු ගෙවීමක් කිරීමට එකඟ නොවීමත්ය.
මේ අතර අරුවක්කාලු ඛනිජ වැලි නිස්සාරණය කිරීම සඳහා රජයේ ව්‍යාපෘතියක් සැලසුම් කිරීමට සිමෙන්ති සංස්ථාව සහ ලංකා ඛනිජ වැලි සංස්ථාව ඒකාබද්ධව යම් උත්සාහයක් ගනු ලැබීය.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු සමාගමේ දිගින් දිගටම මෙම හුණුගල් නිධිය සහිත ඉඩමට ඇතුළු වීම සඳහා නිල හා නිල නොවන උත්සාහයන් රැසක් ගෙන තිබිණි. ඒ අතර රජයේ ඛනිජ වැලි නිස්සාරණය ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම සඳහා ද විවිධ උත්සාහයන් ගත් බවට ද චෝදනා එල්ල වී තිබිණි.
2012 වසරේ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව මෙරට ඛණිජ අපනයනයේ දී ඒ සිදු කළ යුත්තේ අගය එකතු කළ (Value addition) නිෂ්පාදන ලෙසය. නමුත් මෙම Iluka Lanka Exploration සමාගම ( තවත් තැනක Iluka Lanka resources (pvt) ltd නම් විය) කැණිම් සහ ඛනිජ නිස්සාරණය කර අපනයනය කරන සමාගමක් පමණක් විය.
ඛනිජ කොල්ලයට අලුත් මුහුණුවරක්
මෙම ඉඩමට ප්‍රවේශ වීමට සිමෙන්ති සංස්ථාව අවසර ලබා නොදෙන බව දැනුම් දීම නිසා මෙම සමාගම විසින් තමන්ගේ සත්‍ය නම ගම ඇතුළු තමන්ගේ පෙනුමත් වෙනස් කර ගනිමීන් Puttalam Ilmenite (Pvt) Ltd නමින් වෙනත් සමාගමක් අලුතෙන් පිහිටුවා ගෙන මෙම ඉඩමට ඇතුවීම සඳහා තවත් උත්සාහයක් ගනු ලැබීය.
එහි දී මෙම පිරිස 2021 අගෝස්තු මාසයේ දී නැවත භූ විද්‍යා සහ පතල් කැණිම් කාර්යාංශය හරහා අරුවක්කාලු ඉඩමෙහි ගවේෂණ සඳහා යැයි කියමින් වසර 2 කට නව බලපත්‍රයක් ලබා ගැනීමට සමත් විය.
එය එසේ වීම ගැන පුදුම වන්න දෙයක් නැත. මන්ද මේ කාර්යාංශය ප්‍රසිද්ධව තිබුණේ නිලධාරීන්ට අත යටින්ට ලැබෙන ගාන අනුව සේවය සැපයීමටය. මේ රටේ ඛනිජ වැලි ක්ෂේත්‍රයම මහා ජාවාරමක් බවට පත් වීමට මේ තත්වය විශාල බලපෑමක් කර තිබේ.
කොහොම නමුත් මේ නිකුත් කළ බලපත්‍රය නිසා සිමෙන්ති සංස්ථාවට හෝ වෙනත් කිසිදු ආයතනයකට මෙම ඉඩමෙහි ගවේෂණ කටයුතු කිරීමේ ඉඩකඩ ද අහුරා තිබිණි. මේ නිසා මෙරට ඛනිජ සම්පත් වලින් රටට ගත හැකිව තිබු ප්‍රයෝජනය වැළැක්වීමත් මේ අනුව සිදු විය.
මේ තත්වය මත එවකට සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයාව සිටි නීතිඥ ගාමීණී ඒකනායක මහතාට මෙම සමාගමෙන් අරුවක්කාලු ඛනිජ වැලි සම්පත රැකගැනීම වෙනුවෙන් ප්‍රබල සටනක් දියත් කිරීමට සිදු විය.
ඔහු මේ තත්වය ගැන සවිස්තරාත්මකව එවකට ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්වත් දැනුම්වත් කර තිබු අතර පසුව මාධ්‍ය හමුවක් පවත්වා මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල ගැන රටේ ජනතාව දැනුම්වත් කිරීමටත් ඔහු පියවර ගත්තේය. නමුත් අවසානයේ ඔහුටත් ඔහු සමඟ සිටි නිලධාරීන්ටත් සංස්ථාවෙන් දොට්ට බැසීමට සිදු විය.
කෙසේ නමුත් පසුව පැමිණ සභාපති පී.එල්.ජේ. ධර්මප්‍රිය මහතාද මේ කුමන්ත්‍රණය වටහා ගෙන තිබු අතර ඔහුද මෙම සමාගමට ඉඩමට ඇතුළු වීමට අවසරය දුන්නේ නැත. නමුත් පසුව Iluka Lanka සමාගමට පරිසර නිෂ්කාශන වාර්ථාවක් සැකසීම සඳහා පමණක් ඉඩමට ප්‍රවේශ වීමේ අවසර දී තිබුණු බවත් වාර්තා විය.
අර්බුදයට විසඳුමක්
ඒ වන විට මෙරට විදේශ විනිමය හිඟය බරපතල වෙමින් රටත් ආර්ථිකය අර්බුදයක් කරා තල්ලු කරමින් පැවැතියේය. තෙල් නැවක් ගෙන්වා ගැනීමට පවා රටේ ඩොලර් නැති විය. රාජ්‍ය සේවක පඩි නඩි ගෙවා ගැනීමේ අර්බුදයක් පවා ඇතිව තිබිණි. ඒ දිනෙදා වියදම් වෙනුවෙන් මුදල් අච්චු ගැසීමට සිදුව තිබිණි. ඒ තත්වය මත සංවර්ධන කටයුතු සියල්ල ද අඩපණ විය.
මේ අනුව ජනාධිපති රනිල් සමයේ දී මෙරටට විදේශ විනිමය නැවත වර්ධනය කරගැනීම වෙනුවෙන් රජය විවිධ උත්සාහයන් ගනු ලැබු අතර, ඛනිජ සම්පත් ක්ෂේත්‍රයට අදාල අපනයන කර්මාන්තකරුවන් කැඳවා සමුළුවක් පැවැත්වීමත් සිදු කරන ලදී.
ඒ අනුව වසර 35 ක පමණ කාලයන් මුළුල්ලේ කිසිදු අමතර ප්‍රයෝජනයක් නොගෙන, අරුවක්කාලු හුණුගල් නිධියෙන් ඉවත් කෙරෙන රතු පස් වලින් බැර ලෝහ නිස්සාරණය කර, අගය එකතු කර අපනයනය කිරීමේ කර්මාන්තයක් ආරම්භ කිරීම ගැන යෝජනාවක් 'ආශා මිනරල් සමාගම' විසින් ඉදිරිපත් කර තිබිණි.
වෙනත් කිසිදු ආයතනයක් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොතිබිණි. එසේම රට බරපතල ආර්ථික අර්බුදයක සිරව සිටිය දී තමන්ගේ තනි ආයෝජනයක් මඟින් සිදු කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය යෝජනා කිරීමත් අභියෝගාත්මක විය.
ආශා ලංකා සමාගම, 2010 සිට ඛනිජ වැලි ක්ෂේත්‍රයට පිවිසුණ මුළුමනින්ම දේශීය සමාගමකි. මෙරට ඛනිජ වැලි නිස්සාරණ ක්ෂේත්‍රයේ සහ සමුද්‍ර සේවා කටයුතු සම්බන්ධයෙන් 2012 සිට කටයුතු කළ අතර 2016 වර්ෂයේ දී ආශා මිනරල් සමාගම පිහිටුවන ලදී. එම වර්ෂයේ දීම සමාගම ඉදිරිපත් කළ ඛනිජ වැලි අගය එකතු කිරීමේ නව නිශ්පාදන තාක්ෂණය ද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ පිළිගැනීමට ලක් විය.
නමුත් මෙම සමාගමට එම කර්මාන්තය දියත් කිරීම සඳහා ඛනිජ වැලි නිස්සාරණයට අවශ්‍ය ඉඩම් ලැබුණේ නැත. මන්ද ඒ වන විටත් මෙරට ඛනිජ වැලි ඇතැයි හඳුනාගෙන තිබු ඉඩම් සියල්ල, විවිධ විදේශීය සහ දේශීය සමාගම් විසින් අත්පත් කරගෙන තිබු නිසාය. නමුත් අද වන තුරුත් මෙම ඉඩම් බහුතරයක කිසිදු ගවේෂණයක් සිදුව නොමැත.
මේ තත්වය අනුව, ඉදිකිරීම් සඳහා ගංගා වලින් ගොඩ දමන වැලි සහ මැණික් පතල් වලින් ඉවත් කරන වැලි වලින්, ඛනිජ වැලි නිස්සාරණය කර, අගය එකතු කර අපනයනය කිරීම සම්බන්ධයන් නව යෝජනා 02 ක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට ඉදිරිපත් කර කිරීමට ආශා මිනරල් සමාගම කටයුතු කර තිබිණි. නමුත් රාජ්‍ය පාර්ශ්වයෙන් එල්ල වූ විවිධ බාධක නිසා එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබිණි.
කොහොම නමුත් පසුව ඔවුන් විසින් මෙරටට විදේශ විනිමය ගෙනෙන සාර්ථක ව්‍යාපෘතියක් ලෙස ඉදිරිපත් කළ අරුවක්කාලු ඛණිජ නිස්සාරණ ව්‍යාපෘති යෝජනාව ජනාධිපතිවරයාගේ ඇගයීමට පාත්‍රව, ඒ පිළිබඳ කටයුතු දියත් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයට යොමු කෙරිණි. ඒ අනුව සිමෙන්ති සංස්ථාවේ අනුමැතියත්, පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන Siam City Cement (Lanka) Limited ( INSEE) සමාගමේත් අනුමැතිය හිමිව තිබිණි.
ඉන් පසුව පාරිසරික, පුරා විද්‍යා, වන ජීවී, වන සංරක්ෂණ ආදී රාජ්‍ය ආයතන 15 නීත්‍යනුකූල අනුමැතියන් සහ බලපත්‍ර සියල්ල මෙම ව්‍යාපෘතියට ලැබී තිබිණි.
ආශා මිනරල් සමාගම, මෙම ව්‍යාපෘතිය දියත් කර, ඛනිජ වැලි අපනයනයෙන් ලැබෙන ( FOB අගය මත) ආදායමෙන්, භු විද්‍යා සහ පතල් කාර්යාංශයට සියයට 9 ක් සහ සිමෙන්ති සංස්ථාවට සියයට 4ක් ද වශයෙන් රජයට සියයට 13 ක විශාල ලාභාංශයක් ලැබීමට නියමිත විය.
සාමාන්‍යයෙන් අගය එකතු නොකරන ලද අමුද්‍රව්‍යයක් ලෙස ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක ජාත්‍යන්තර මිළ, ඩොලර් 150 - 300 අතර වෙයි. අගය එකතු කළ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක මිළ, එමෙන් පස් ගුණයකින් පමණ ඉහළ අගයක් ගනී. ඒ අනුව මෙහි දී නිස්සාරණය කරන ඉල්මනයිට් අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන සිය ගනනක දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබිය හැකි විය.
එමෙන්ම රතු පස්වලින් ඛනිජ වැලි නිස්සාරණය කරන ලංකාවේ පළමු ව්‍යාපෘතිය වන මෙයින් රජයට ද අමතර විශාල ආදායමක් ලැබීමත්, සෘජුවම නව රැකියා අවස්ථා 500 ක් පමණ උත්පාදනය වීමට නියමිත විය. එමෙන්ම මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් දියත් වන විට වක්‍ර රැකියා සහ අනු කර්මාන්ත අවස්ථා රැසක් නිර්මාණය වීමත් අනිවාර්යෙන්ම සිදු වන අතර එය ප්‍රදේශයේ ආර්ථික හා සමාජීය දියුණුවට ඉවහල් වීම සිදුවේ.
දැනට කැණිම් සිදුවන අරුවක්කාලු හුණුගල් නිධියට ආසන්නයේ පිහිටි අක්කර 36 ක භූමිභාගයක් තුළ මෙම සමස්ත ව්‍යාපෘති සිදු කිරීමට සැලසුම් කළ අතර මේ වෙනුවෙන් ආශා මිනරල් සමාගම ආයෝජනය කිරීමට නියමිත වූ මුදල රුපියල් බිලියන 33 ක් වේ.
මේ සඳහා රජයේ අනුමත කිරීම් සියල්ල ලැබීමෙන් පසුව, මේ වන විට මෙම අගනා ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස රුපියල් බිලියන 2 ක පමණ මුදලක් වැය කර, අක්කර 20 ක භූමි භාගයක එම කර්මාන්ත අංගනයේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.
පාත් වුණ හෙණය
මෙම ව්‍යාපෘතිය මෙලෙස සාර්ථකව දියත් වෙමින් පවතින විට, සිමෙන්ති සංස්ථාව විසින් තමන්ගේ ඉඩමට ඇතුළු වීමට අවසර නොදුන්, පුත්තලම ඉල්මනයිට් සමාගම, ඊට එරෙහිව සංස්ථාවට නඩුවක් පැවැරූ අතර එහි පාර්ශ්වකරුවකු ලෙස මෙම ආශා මිනරල් සමාගම නම් කිරීමත් සිදුව තිබිණි.
මේ අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ලෙස පත්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ දිවුලපිටිය ආසන සංවිධාක කිත්සිරි මංචනායක විසින් හදිස්සියේම ආශා මිනරල් ආයතනයට ලිපියක් යොමු කරමින්, එම සමාගම විසින් අයදුම් කළ, 'වෙළඳ බලපත්‍ර අයැදුම් පත' ප්‍රතික්ෂේප කරන බවට ලිපියක් යොමු කර තිබිණි. නමුත් ඒ වන විට ඔහු එම තනතුරට පත් වී දින 10 කව වඩා ගෙවී තිබුණේ නැත.
කොහොම නමුත් මේ ව්‍යාපෘතියෙන් නිපදවෙන ඉල්මනයිට් අපනයනය සඳහා 'වෙළඳ බලපත්‍රය' ලබාගැනීම සිදු විය යුතුව තිබුණු අතර, ඒ සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශය මීට පෙර එකඟව සිටියේ ඉඩම් හිමියාගේ කැමැත්ත, බදු හිමියාගේ කැමැත්ත , සහ පාරිසරික අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මෙම 'වෙළඳ බලපත්‍රය' නිකුත් කරන බවටය. ඒ වන විට ඒ සියළු අනුමැතියන් ලබා ගෙන තිබිණි.
එහෙත් මෙතැන වූ අමුතුම සිදුවීම වූයේ, ඒ වන විට ආශා මිනරල් සමාගම, භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් මෙම 'වෙළඳ බලපත්‍රය' අයඳුම් කිරීම හෝ සිදු කර නොතිබුණ මොහොතක අයදුම් පත ප්‍රතික්ෂේප කරන බවට ලිපියක් එවීමය.
මෙය පැහැදිලිවම හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් බඳු විය. මේ අනුව මෙම ආශා මිනරල් සමාගමට මේ ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතිය කරගෙන යාමට ඉඩ නොදීමේ බලවත් කුමන්ත්‍රණයක් දියත්ව තිබුණු බව පැහැදිලිය. මෙම ලිපියට ලිපි අංකයක් ගොනු අංකයක් හෝ නොමැතිව සභාපති ධුරය භාරගෙන දින 10 ක් ඇතුලත යොමු කිරීම ද සැක කටයුතු විය.
තවත් අභුත සිදු වීමක්
මේ අතර තවත් අභුත සිදු වීමක් වාර්තා විය. ඒ සිමෙන්ති සංස්ථාවට එරෙහිව නඩු පවරා ඇති, පුත්තලම ඉල්මනයිට් සමාගමේ සභාපති මලික් ප්‍රනාන්දුගේ ලිඛිත දැනුම් දීම මත, සිමෙන්ති සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාව එම වගකීමෙන් වහාම ඉවත් කිරීමය.
පසුගිය දා අදාල නඩු වාරය පැවැති දින උදෑසන ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි සිටි මොහොතේ, සංස්ථාවේ වත්මන් සභාපති ප්‍රියන්ත පීරිස් මහතා කිසිදු පෙර දැනුවත් කිරීමකින් තොරව, වට්ස්ඇප් පණිවිඩයක් මාර්ගයෙන් ඔහුව නඩුවෙන් ඉවත් කළ බව දැනුම් දී තිබිණි.
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යනු පොදු දේපොළ, ව්‍යවස්ථා නීතිය ආදිය පිළිබඳ විශේෂඥ දැනුමැති අයකු ලෙස ප්‍රසිද්ධ නීතිඥවරයකු වන අතර ඔහු රාජ්‍ය ආයතනයක් ලෙස සිමෙන්ති සංස්ථාවේ අයිතිවාසිකම් සහ රටේ ඛණිජ සම්පත රැකගැනීම වෙනුවෙන් මෙම නඩුව සාර්ථකව මෙහෙය වමින් තිබිණි.
සතුරු පාර්ශ්වයේ ඉල්ලීම අනුව තමන්ගේ හිතුමතේට, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාව ඉවත් කිරීමෙන් පසුව, ඒ සඳහා වෙනත් නීතිඥයකු නම් කර අධිකරණයට දැනුම් දිය යුතු වුවත් ඒ අවස්ථාව වන එය ද සිදුව නොතිබිණි.
මෙවැනි විහිළු මෙරට අධිකරණ ඉතිහාසයේ මීට පෙර සිදුව තිබෙනවා ද සැක සහිතය. මෙය තව අතකින් අධිකරණයට කළ අපහාස කිරීමක් ද විය හැකිය. ඒ කෙසේ නමුත් මෙම සිදු වීමෙන් අනතුරුව, සිමෙන්ති සංස්ථාව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටීමට පියවර ගෙන තිබේ.
පසුගිය රජයේ ජරාවට යටවුණු නිලධාරීන්
මේ වන විට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සිටින්නේ වත්මන් ආණ්ඩුව පත් කළ නව සභාපතිවරයෙකි. හිටපු සභාපතිවරුන් සහ ඇතැම් නිලධාරීන්ගේ වෙනත් ජාවාරම්කාර වුවමණාවන් මත මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වෙළඳ බලපත්‍රය ලබා නොදීමට කටයුතු කළ නමුත් වර්තමාන සභාපතිවරයා මෙම ව්‍යාපෘතියේ වටිනාකම තේරුම් ගෙන මේ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවර ගනිමින් තිබිණි. එහෙත් තවදුරටත් ජරාවට යට වුණු ඇතැම් නිලධාරීන් තවමත් ඊට බාධා කරමින් තිබේ.
මේ අතර මෙම ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට දත කන ඔ්ස්ට්‍රේලියානු සමාගම සමඟ අනුබද්ධ පුත්තලම ඉල්මනයිට් සමාගම මෙරට ඛනිජ සම්පත තුට්ටු දෙකට සූරාගෙන කෑම වෙනුවෙන් සිදු කරන ක්‍රියාවලිය ගැන චෝදනා සහ සැකයන් ඇතිව තිබියදීත්, මේ සමාගම් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි මොරටුව ප්‍රදේශයේ දේශපාලකයකු ද සිටියේය. යහපාලන යුගයේ රාජ්‍ය ඇමැතිවරයකු වූ මෙම මන්ත්‍රීවරයා පසුව විපක්ෂයේ සිටගෙනත් පුත්තලම ඉල්මනයිට් සමාගමට මෙම ව්‍යාපෘතිය අත්පත් කර දීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ දීත් මර හඩ නැඟීය.
එසේ වීමට හේතුව මෙම සමාගමෙන් ලැබෙන අනියම් ප්‍රතිලාබයක් නිසා හෝ මෙම සමාගමේ ප්‍රධානින් හා මොහුද එක්තරා ආගමික කල්ලියක සාමාජිකයන් වන නිසා ඉන් ලැබෙන අයථා ප්‍රතිලාභයක් නිසා ද විය හැකිය. ඒ හැර මෙම සමාගම වෙනුවෙන් පෙනී සිටීමට වෙනත් කිසිදු සාධාරණ හේතුවක් නැත. ඔහු නියෝජනය කළ හෝ වෙනත් කිසිදු පක්ෂයක හෝ කිසිවකුත් මෙම සමාගම වෙනුවෙන් පෙනී සිටියේ නැත. මේ අනුව මෙම සමාගමේ දේශපාලන සම්බන්ධතා සහ ධන බලය ගැනත් වැටහීමක් ලබා ගත හැකිය.
වලානෙන් දාපු බාල්දිය
මේ අතර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පසුගිය 09 වන දා අරුවක්කාලු ව්‍යාපෘති භුමියට කඩා වැදී සිදු කළ මෙහෙයුම් ද මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට, ඇතැම් දුෂිත නිලධාරීන් ගන්නා උත්සාහයන්ගේ තවත් එක පියවරක් බව පෙනෙන්නට තිබිණි.
අඩුම තරමින් මෙම පොලිස් එකකය මෙම වැටලීම සිදු කිරීමට පෙර මෙම සමාගමෙන් හෝ ඊට සම්බන්ධ අනෙක් පාර්ශ්වයන්ගෙන් හෝ කරුණු විමසීමක්වත් සිදු කර නොතිබිණි. මෙම වැටලීම පැහැදිලිවම මාධ්‍ය සංදර්ශනයක් කර ගත් බවත් පෙනෙන්න තිබිණි. රජයේ සියළුම ආයතන අනුමත කර තිබු මෙම ව්‍යාපෘතිය ගැන අභූත චෝදනා රැසක් ඉදිරිපත් කිරීමද මෙම නිලධාරීන් විසින් සිදු කර තිබිණි.
අවසානයේ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාටද වැරදි තොරතුරු ලබා දී ඔහුව නොමඟ යැවීමට ද මේ දූෂිත නිලධාරීන් සමත්ව තිබුණු බවත් පැහැදිලි විය.
කොහොම නමුත් තව දුරටත් මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම සඳහා විවිධ පාර්ශ්ව සිදු කරන මැදිහත් වීම මඟින් සිදු වන්නේ මෙරටට පහසුවෙන් ලැබිය හැකිව තිබෙන විදේශ විනිමය ඇතුළු අනෙත් ප්‍රතිලාබයන් සියල්ල නිකරුනේ අහිමි කරගැනීම පමණය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම්කාරී යුගයක් පසු කරගෙන යන අතර ඉන් මිදීම සඳහා රටේ ප්‍රධානතම ඉලක්කයක් වන්නේ විදේශ විනිමය සංචිත අද පවතින ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩි කර ගැනීමය. විශේෂයෙන්ම 2028 වසරේ සිට ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීම් ආරම්භ කිරීමට සිදු වේ. ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය ආදායම් රැස් කර ගැනීම අනිවාර්යය. ඒ සඳහා අරුවක්කාලු වැනි විදේශ විනිමය රටට ගෙනෙන ව්‍යාපෘති තව තවත් මෙරටට අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ.
වත්මන් ආණ්ඩුවේ ඉලක්කය ද එය වේ. නමුත් කඩාකප්පල්කාරී දුෂිත නිලධාරීන් බාධා කිරීම් වළක්වා ගැනීමට රට අසමත් වුවහොත් සියළු දෙනා නැවත පරාජිතයන් වීම නොවැළැක්විය හැකිය.
- sj