යහපාලනයට දිවුරුම් දුන්නේ තක්කඩියකු ඉදිරිපිට දී ය...

Tuesday, 13 January 2015 10:29

මෛත්‍රී පාලනයක් සඳහා අවැසි අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 39 ක් ද, අමාත්‍යවරියන් 6 ක් ද? ඊයේ සවස දිව්රුම් දුන්හ. ඒ: කැබිනට් ඇමතිවරු 25 ක්, අමාත්‍යවරියන් 2 ක්, රාජ්‍ය අමාත්‍යවරුන් 9 ක්, අමාත්‍යවරියක්, නියෝජ්‍ය ඇමතිවරු 7 ක් සහ ඇමතිවරියක් වශයෙනි.

පොරාන්දු වූ පරිදි ප්‍රධාන අමාත්‍ය ධුර 30 ක් වෙනුවට මේ වන විට ඉන් 27 ක් නම් කොට ඇත. එහෙත් අවාසනාවකට මෙන් යහපාලනයක් ස්ථාපිත කිරීම සඳහා මෙකී අමාත්‍යවරුන් සහ වරියන්ට තම දිවුරුම් ප්‍රකාශය කියවීමට සිදු වුයේ ඒකාධිපති පාලකයාගේ සමය අවසන් වන තෙක් ඔහුගේ බත්බැලයකු ලෙස කටයුතු කළ, දූෂිතයකු ලෙස චෝදනාවට ලක්වූ පි. බී. අබේකෝන් ඉදිරියේ ය.

මොහු ඉදිරියේ දවුරුම් දුන් අමාත්‍යය මණ්ඩලයට කශේරුකාවක් තිබුණේ නම් ඔවුන්ට රූපවාහිනි සේවකයන් ආදර්ශයට ගැනීමට තිබිණ. මන්ද පසුගිය ඒකාධිපති පාලන සමයේ මහින්ද රාජපක්ෂගේ දැඩිතර හිතෛෂිවන්තයකු වු සෝමරත්න දිසානායක රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස භාරගැනීමට ඔවුන් නොකැමති බව ප්‍රකාශ කළ බැවිනි. සැබැවින් ම ඒ සේවකයෝ ගෞරවාන්විත ය; එක්සත් ය; එකමුතු ය. ඔවුන්ට අපේ ස්තූතිය පුද කළ යුතු ය. එහෙත් රටේ අවාසනාවට අපේ අමාත්‍යය මණ්ඩලය සුපුරුදු පරිදි ම ජනාධිපතිවරයාගේ නියමයට යටත්ව දෙන දෙයක් කා වෙන දෙයක් බලා ඉඳීමට සූදානම් පිරිසක් සේ අර දූෂිතයා ඉදිරියේ දිවුරුම් දුන්නෝ ය.

මෙහි දී තවත් කරුණක් සිහිපත් කළ යුතු ය. එනම්, අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොහාන් පීරිස් නමැති අනියම් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් නොදී අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කළ ශ්‍රිපවන් විනිසුරුතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ රටට ආදර්ශයක් සපයමිනි. එහෙත් එම ජනාධිපතිවරයා ම තම අමාත්‍යය මණ්ඩලය හෑල්ලුවට ලක් කරමින් පි. බී. අබේකොන් නමැති දූශිතයා ඉදිරියේ දිවුරුම් ගත්තේ ය.

මේ දූෂිතයා පත්කළ මොහොතේ සිට ඔහුට එරෙහිව පැවති දුෂණ වංචා අන්තර්ජාලයේ කොතෙක් නම් පළ වුණි ද? එහෙත් යහපාලනයකට දිවුරුම් දුන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ කිසිවක් මායිම් නොකළේ ය. මෙය අසුභ පෙර නිමිත්තකි.

අප මේ සියල්ල පවසන්නේ දැඩි හිත්වේදනාවකිනි. එනම් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ බත්බැලයන් තවමත් යටිසිතින් කටයුතු කරන්නේ තම ස්වාමියා ලෙස කටයුතු කළ ඒ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ වෙනුවෙනි; පරාජයට පත්වුව ද එම පරාජය භාරගැනීමට මැළි වී රට ලේ විලක් බවට පත් කිරීමට පිඹුරුපත් සැකසූ, මැදමුලනට ගොස් අනිසි අන්දමින් ජනතාව එක්රැස් කරමින්, අභිනව ජනාධිපතිවරයා පත්වුයේ ඊළාම් ඡන්දයෙන් යැයි වහසිබස් දොඩමින් ජාතිවාදය අවුළුවන්නට කැසකැවූ බලතන්හාධිපතියා වෙනුවෙනි.

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ සියල්ල දැන දැන ම තමා සහ තමන් සමග ඉදිරියේ දී රට වෙනුවෙන් සේවය කිරීමට දිවුරුම් දුන් ඇමති මණ්ඩලය අන්ත දූෂිතයා ඉදිරියට කැඳවාගෙන ආවේ ඔහු පිලිබඳ කිසිවක් නොදැන යැයි විශ්වාස කළ නොහැකි ය. එසේ නම් මෙවැනි අසුන්දර, අප්‍රිය ජනක, නිහීන ක්‍රියා සිදුවන්නේ කෙසේ ද? අභිනව ජනාධිපතිත්‍රමා අභියස ප්‍රතිවිප්ලවවාදින් වැනි පිරිසක් සිටින්නේ ද? ඔවුන් කුමන්ත්‍රණකාරි ලෙස හැසිරෙන්නේ ද? අප දකින මේ අනාගත ව්‍යසනයන් ජනාධිපති තුමා හෝ අගමැතිතුමා නොදකින්නේ ද? මේ සියල්ල ගැටලු සහගත ය; විස්මය ජනක ය; ආශ්චර්‍යයක් ය.

මීළඟ කාරණය නම් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වු දා සිට ඔහු යටතේ සුවච කීකරු බලුකුක්කන් සේ සිටිමින් අනියම් ලෙස මහජන මුදල් සොරා කෑ කම්බ හොරු රැලක් නැවතත් අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ළඟාවීමට යත්න දැරීම ය. ටෙලිකොම් ආයතනයේ හිටපු සභාපති කාරියප්පෙරුම සහෝදර දෙබෑයන් මේ අතුරින් ප්‍රධාන තැනක් උසුලති.

මොවුන් දෙපළගේ අතීතය ද දූෂිත භාවයෙන් පිරි ඉතිරි ගොස් තිබිණ. විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දරන සමයේ මහජන මුදල් රිසිසේ ගසා කැ මොවුන් 2010 ජනාධිපතිවරණයේ දී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට මෙන් ම ජනරාල් සරත් ෆොන්සේකාට ද මුදල් ලබා දුන්නෝ ය. එහෙත් දුෂිත මැතිවරණයක් හරහා ජෙනරාල් ෆොන්සේකා පරාජයට පත්ව පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යළි බලය අත්පත් කරගත්තේ ය. නමුත් විලිලජ්ජාවක් නැති මේ සහෝදර දෙබෑයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට යන මොහොතේ එහි සිටි ගෝඨාභය රාජපක්ෂ මේ දෙපළට අමු තිත්ත කුණුහරුපයෙන් බැන එළවා දැම්මේ ය.

ජනාධිපතිවරණයට පෙර එනම් 2008 වර්ෂයේ මොවුන් ‘‘සියත’’ නමින් පුවත්පතක් ආරම්භ කළ අතර එහි ප්‍රධාන කර්තා ලෙස කටයුතු කළේ මංජුල වෙඩිවර්ධන යි. එහෙත් ඔහුගේ කර්තෘත්වයෙන් එළිදැක්විමට හැකි වුයේ පුවත්පත් තුනක් පමණි. එකල මේ දෙබෑයෝ පුවත්පත් මුද්‍රණයට යැවීමට පෙර අරලියගහ මන්දිරයට ගොස් අනුමත කරගෙන එන්නට තරම් දීන වූහ.

මංජුල වෙඩිවර්ධන, සිසිර විතානගේ, ජයසිරි ජයසේකර සහ අනෙකුත් කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම ක්‍රියාවට විරුද්ධත්වය පාන බව වටහා ගත් මේ දෙබැයෝ ප්‍රධාන කර්තෘ ධුරය දැරු මංජුල වෙඩිවර්ධනට ඉහළින් තිලකරත්න කුරුවිට බණ්ඩාර අසුන් ගැන්වූයේ ය. එහි අවසන් ප්‍රතිඵලය වුයේ මංජුල ප්‍රමුඛ කර්තෘ මණ්ඩලය සිය ස්වාධිනත්වය රැකගනිමින් පුවත්පතින් ඉල්ලා අස්වීම ය.

අනතුරුව මේ දෙබැයන්ට අවැසි ආකාරයට පුවත්පත් පවත්වාගෙන ගිය ද සැබැ පුවත්පතක් වෙළෙඳපළට මුදාහැරීමේ අවශ්‍යතාවයක් මොවුන්ට නොතිබුණි. මෙහි දී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා ද දැඩි ලෙස අසරණ භාවයට පත්විය. මන්ද මේ දෙබෑයන්ට අවශ්‍ය වුයේ පුවත්පත් කලාව ආරක්ෂා කරන්නට නොව තමන් සතුව සියලු මාධ්‍යයන් පවතිනවා යැයි ලොවට හඬගා පැවසීමට ය.

එකල ඔවුන් සිතා සිටියේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ලැබෙන වෙළෙඳ දැන්විම්වලින් පමණක් පුවත්පත පවත්වාගෙන යා හැකි බවය. එහෙත් පෙර කී ලෙස ජෙනරාල් ෆොන්සේකාට සහය දැක්විම හේතුවෙන් මේ දෙබෑයන්ට ආණ්ඩුවේ වෙළෙඳ දැන්විම් ලබා දීම අත්හිටවුයේ ය. අනතුරුව මොවුන් පළමුවෙන් ම කළේ එහි සේවය කළ නිදහස් ලේඛකයන්ගේ ගෙවීම් කප්පාදු කිරිම ය. අනතුරුව සේවකයන්ට තුන් මසක වැටුප් නොගෙවමින් හිටි අඩියේ පුවත්පත වසා දැමීම ය. දැන් සුදනන් සේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අභියස වැඳ වැටෙන්නේ මෙබඳු දූෂිතයෝ ය. ඔවුන් තමන් හා සම්බන්ධ කරගන්නවා ද නැද්ද යන්න තවමත් තීරණය කර ඇද්දැයි අප නෙදනී.


එහෙත් අප ඔවුන් ගැන හෙළි කරන්නේ මෙබඳු පට්ටපල් හොරුන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග සම්බන්ධව නැවතත් මහජන මුදල් කොල්කන්නට සුදානම් වන්නේ නම් ඒ පිළිබඳ අනතුරු හැඟවීම පිණිස ය.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කළ යුතු වන්නේ මේ පල් හොරුන් ඇසුරු කිරීම නොව ඔවුන් කළ සොරකම්, වංචා, දූෂණ සොයා බලා ඒ සඳහා නීත්‍යානුකුල පියවර ගැනීම ය. එසේ නොවුන හොත් යහපාලනය වෙනුවට යළි යළිත් හොර පාලනයක් ස්ථාපිත වන බව නම් සක් සුදක් සේ පැහැදිලි ය.

එහෙත් ඔබතුමාට ඡන්දය ලබා දුන් ජනතාව බලාපොරොත්තු වන්නේ එබඳු රටක් නොවන බව යළි යළිත් සිහිපත් කළ යුතු ය. මන්ද රටේ යහපත වෙනුවෙන් එදා මෙන් ම අදත් අද මෙන් ම හෙටත් අපි පෙනී සිටින බැවිනි. ඒ හුදෙක් මූනිච්ඡාවට නොව සැබැ දේශප්‍රේමීත්වයෙනි.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Tuesday, 13 January 2015 11:30

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us