උතුරේ පණිවුඩය නිවැරැදිව බාර ගන්න! - නිර්මාල් රංජිත් දේවසිරි

Tuesday, 17 February 2015 15:44

ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පත් කළ පරීක්ෂණ කණ්ඩායමෙන් ඉල්ලා සිටිමින් පසුගිය දා උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව පාදක කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

මම යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ගිය ක්‍රියාවලිය දැඩිව විවේචනය කරන සහ එයට විරුද්ධ අයකු බවත් දෙමළ සමාජයෙන් ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්වලට පක්ෂව කටයුතු කරන අයකු බවත් සඳහන් කරමින් මේ අදහස් දැක්වීම සිදු කරමි. දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු වී ඇති බවටත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටත් උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාවලිය දෙස බැලිය යුත්තේ දෙමළ දේශපාලනය සිංහල දේශපාලනය දෙස බලන ආකාරය කුමක් ද යන්න පිළිබඳ අවධානය යොමු කරමිනි.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවීම සඳහා දෙමළ ඡන්ද විශාල කාර්යයක් ඉටු කර ඇත. මේ සම්බන්ධයෙන් සමහරෙක් දරන අදහස වන්නේ දෙමළ ඡන්ද වෙන්ව සලකා නොබැලිය යුතු බවත් ඔවුන්ගේ ඡන්ද ද මේ රටේ පුරවැසින්ගේ ඡන්ද ලෙස සැලකිය යුතු බවත් ය. දෙමළ ජනතාවගේ ඡන්ද පිළිබඳ එවැනි විග්‍රහයක් කරන්නේ දේශපාලන සාක්ෂරතාව අඩු පිරිස් ය.

ශ්‍රී ලංකාවේ දෙමළ, මුස්ලිම් දෙපිරිසේ ම ඡන්ද වෙන ම ඡන්දදායක කොට්ඨාසයක් සේ සලකා බැලිය යුතු ය. මක් නිසා ද ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ එක් එක් අරමුණු ඇති බැවිනි. දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීම විග්‍රහ කළ යුත්තේ එය මෛත්‍රීපාල සිරිසේනට දුන් ඡන්දයකට වඩා මහින්ද රාජපක්ෂට විරුද්ධව දුන් ඡන්දයක් ලෙසයි.

ජනාධිපතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දිය යුත්තේ ඇයි යන්න සම්බන්ධව සුමන්තිරන්, සම්බන්ධන්, යාපන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු දෙමළ සමාජයේ විවිධ තරාතිරම්වල අයත් සමඟ පැවැත්වුණු සාකච්ඡාවලට මා සහභාගී වූ අතර එහි දී මතුවුණු ප්‍රධාන ම ගැටලුව වූයේ දකුණේ නායකයන් කෙරෙහි විශ්වාසය උතුරට ඒත්තු ගන්වන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි. එහිදී උතුරෙන් මතු වූ කාරණාවක් වූයේ දකුණ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට කරනු ඇතැයි යන්නට දිය හැකි සහතිකය කුමක් ද යන්නයි. මා පවසා සිටියේ කිසිදු සහතිකයක් දිය නොහැකි බවයි. මක්නිසාද දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට විරුද්ධ දේශපාලනයක් දකුණේ පවතින බැවිනි.

මෙවැනි වාතාවරණයක් තුළ උතුරු පළාත් සභාවෙන් සම්මත කරගත් යෝජනා දෙස බැලිය යුත්තේ ඔවුන් දකුණ සමඟ කේවල් කිරීමේ උපක්‍රමශීලී යෝජනාවක් ලෙසයි. වඩ්ඩුක්කෝට්ටෙයි යොජනාවල දී ඊළාම් රාජ්‍යයක් සඳහා කටයුතු කළ යුතු බවට යොජනා ඉදිරිපත් විය. නමුත් එහි දී ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ අදහසක් ඔවුනට නොතිබුණු අතර එවක පැවති වාතවරණය අනුව ඒ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදු විය. තරුණ පෙළේ ඉල්ලීම් අනුවත් ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ අවස්ථාව ශක්තිමත් කර ගැනීම උදෙසාත් ඔවුන් ඒ යෝජනාව ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව මේ යෝජනා දෙස බැලිය යුත්තේ වාචික ස්වභාවයෙන් නොව එයින් ඉදිරිපත් කෙරෙන පණිවිඩය දෙස අවධානය යොමු කරමිනි.

යුද්ධ කාලයේ දී සිදු වූ ක්‍රියා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණ ක්‍රියාවලියක් දකුණේ සිදු විය නොහැකි ය. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි දෙයකි. මන්ද දකුණේ මතය යුද්ධයට පක්ෂපාති මතයක් වන බැවිනි. එසේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු වනවා නම් එය අති විශේෂ තත්ත්වයක් යටතේ සිදු විය යුතු ය.

උතුරු පළාත් සභාවේ යෝජනා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි කරන ඉල්ලීමක් නොව ඉතා පාරදාශ්‍යභාවයෙන් යුතු විමසා බැලීමක් සඳහා දකුණට කළ බලපෑමකි. ඒ පණිවිඩය නිවැරැදිව බාර ගත යුතු ය. මෙය සරල උදාරහරණයකින් විමසා බැලුවහොත් වැටුප් වැඩිකරගැනීම සඳහා කරන වැඩවර්ජනයක දී රුපියල් දහදාහකින් වැටුප් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් වැඩවර්ජකයන් කේවල් කරන්නේ රුපියල් විසිපන්දාහක පමණ වැඩි වීමක් සඳහා ය. එසේ උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාවලියෙන් ඉදිරිපත් කෙරෙන පණිවිඩයෙන් තේරුම් ගත යුත්තේ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යය යන කාරණය නොව දකුණ සමඟ කේවල් කිරීමේ පණිවිඩයක් එහි අඩංගු වන බව ය.

අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම, උතුරු ආණ්ඩුකාරවරයා ලෙස සිවිල් පුද්ගලයකු පත් කිරීම ආදි කටයුතු ආණ්ඩුව තම බලාපොරොත්තු යහපත් ය යන්න පෙන්වීමට ගත් හොඳ පියවර ලෙස සැලකිය හැකි ය. එහෙත් පවතින්නා වූ ප්‍රශ්නය මීට වඩා බරපතළ ය. අවුරුදු තිහක් තිස්සේ කොළඹ බෝම්බ පිපිරීම් ගැන දකුණ කතා බහ කරයි. එහෙත් උතුරේ ජනයා ජීවත් වූයේ කොයි මොහොතේ හෝ දිව යාමට බංකර හදා ගෙන ය. මේ තත්ත්වය දකුණ තේරුම් ගෙන නැත.

දකුණට උතුර සම්බන්ධයෙන් සහ‍වේදනාවක් (empathy) නැත. යම් ආකාරයක අනුකම්පාවක් (sympathy) තිබෙන්නට පුළුවන. එහෙත් ගැටලුව වන්නේ උතුරේ ජනයා සිතන විදිහට සිතන්න දකුණට පුළුවන් ද යන කාරණයය. එසේ සිතීමට නොහැකි වීම තුළ යම් යම් සුළු දේ සිදු කර උතුර වෙනුවෙන් විශාල දෙයක් කළේ ය යන නිගමනයට දකුණ පැමිණෙයි. සිංහල දෙමළ දෙදෙනකුගේ විවාහයක් මතු කර පෙන්වීම එයට උදාහරණයකි. එහෙත් දකුණ මීට වඩා විශ්වසනීයත්වය ගොඩනැඟිය හැකි ක්‍රියාමාර්ග ගත යුතු ව ඇත.

පුද්ගලයන් දෙන්නෙක් අතර බරපතළ තරහක දී ඔළුව අත ගෑ පමණකින් විසඳුමක් සොයා ගත නොහැකි ය. ඒ සඳහා ඊට වඩා ලොකු දෙයක් කළ යුතු ය. අධි ආරක්ෂිත කලාප ඉවත් කළ යුතු වන්නේ ඒ නිසා ය. එය අද නොව කලින් කළ යුතු ව තිබුණු දෙයකි. මන්ද යුද්ධය අවසාන වී වසර ගණනාවක් ගෙවී ගොස් තිබෙන බැවිනි. දකුණ සිටින්නේ උතුර ගැන බියෙනි. මෙසේ දකුණ උතුර ගැන බියකින් සිටින බව උතුර දනී. ඒ නිසා දකුණ තමන්ගේ හිත හොඳ බව පෙන්වීමට මෙවැනි සුළු දේවල් සිදු කිරීම ප්‍රමාණවත් වන්නේ නැත.

දෙමළ සමාජය කේවල් කරන දේ සම්බන්ධයෙන් දකුණ ප්‍රකෝප නොවිය යුතු ය. නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන රාජිත සේනාරත්න වැනි අමාත්‍යවරයෙක් පවා විග්නේෂ්වරන් මහ ඇමතිවරයා තදින් විවේචනය කර තිබිණි. එය නොකළ යුතු දෙයකි. වඩුක්කෝට්ටෙයි යෝජනාවලදී අමිර්තලිංගම්ටත් එවැන්නක් ම සිදු විය. අමිර්තලිංගම්ට එරෙහිව විශාල වෛරී ප්‍රකාශ සිදු විය. නමුත් මේ ක්‍රමය නිවැරැදි නොවේ. කළ යුතුව ඇත්තේ දකුණ උතුර සමඟ අභිමුඛ වීමයි. උතුර කුමක් පවසන්නේ ද යන්නට ඇහුම්කම් දීම ය. දරුවකු යමක් ඉල්ලා සිටින විට මුදල් නැතැයි පවසමින් දරුවාගේ ඇඟට කඩා පැනීම වෙනුවට කළ යුතු වන්නේ දරුවා සමඟ කතා බහ කර විසඳුමකට යාම ය. එසේ නම් මේ ගැටලුවේ දී ද සිදු විය යුත්තේ දකුණ, උතුර සමඟ ඵලදායි සංවාදයකට යාම ය.

සිංහල ඡන්ද ලබා ගැනීමට දකුණ සංවේදී කරන කරුණ වී තිබෙන්නේ දෙමළ ප්‍රශ්නයයි. මැතිවරණයෙන් පසු පරාජයට පත් වී සිටින පිරිස් ද යොදා ගන්නේ ද මේ සංවේදී කරුණයි. විමල් වීරවංශ ඇතුළු මේ පිරිස් උතුරට අදාළ කරුණු හා දෙමළ දේශපාලනය තරමක් සංවේදී වන තුරු බලා සිටිති. අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම ආදිය සම්බන්ධයෙන් ෆේස්බුක් ආදියෙහි සිදුවන සංවාද දෙස මා අවධානය යොමු කළ අතර අන්තවාදී මත දරන පිරිස් පවසා සිටින්නේ දැන් උතුරට අවශ්‍ය දේ දී තිබෙන්නේ ය යන්නයි. ඔවුන් මේ තුළින් පෙන්නුම් කරන්නේ බෙදුම්වාදය නමැති යක්ෂයා ය.

මේ යක්ෂයාට දකුණේ දේශපාලන පක්ෂ බියක් දක්වයි. වෙනම දේශපාලන පක්ෂයක් බිහිකරගෙන මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට ඡන්ද නොලැබෙන බව විමල් වීරවංශ වැන්නෝ හොඳින් දැන සිටිති. එනිසා ඔවුන් උත්සාහ කරන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී මේ අන්තවාදී මතය යොදා ගෙන සිංහල ජනමතයට බලපෑම් කර දේශපාලන වාසි ගැනීමටය. මෙසේ අන්තවාදී මත යොදා ගනිමින් දකුණේ ක්‍රියාත්මක වන්නා වූ විෂම චක්‍රය කැඩීම සඳහා දකුණේ දේශපාලන නායකයන් එඩිතර විය යුතු ය. මක්නිසාද ජනවාර්ගික ගැටලුව විසඳීමේ යතුර ආණ්ඩු බලය දරන දකුණේ දේශපාලන නායකයන් අත තිබෙන බැවිනි.

උතුරු පළාත් සභාවෙන් යෝජනා සම්මත වන විට ඒ දෙස බැලිය යුත්තේ ඔවුන්ට ඒ සඳහා බලයක්, අයිතියක් තිබෙනවාද යන කරුණ ඔස්සේ නොවේ. එය අප භාර ගත යුත්තේ ප්‍රඥාවන්ත ප්‍රවේශයක් ඔස්සේ ය. ජනසංහාරය යන්නට විවිධ අර්ථකථන තිබේ. ජර්මනිය, රුවන්ඩාව, යුගෝස්ලෝවියාව ආදි රටවල ජනසංහාර සිදු වී තිබේ. ඒ රටවල ආයතනගත වී මේ සංහාර සිදු වූ බව කිව යුතු ය. දෙමළ සමාජය මුහුණ දුන් තත්ත්වය ඒ මට්ටමෙන් සැලකිය නොහැකි නමුත් පහළ මට්ටමේ තත්ත්ව සිදු වූ බව කිව යුතු ය. උදාහරණයක් ලෙස අසූ තුනේ ජූලි කලබලය පෙන්වා දිය හැකි ය.

අසූ ගණන්වල අග භාගයේ දී යාපනයේ හමුදා කඳවුරු නිවස්නයන්ට යාමට මට අවස්ථාවක් ලැබුණු අතර සොල්දාදුවන් තම ධෛර්යය වැඩි කර ගැනීම සඳහා ලියූ දේවල් කියවීමට ද මට හැකියාව ලැබිණ. ඒවාහි දක්නට ලැබුණේ දැඩි දෙමළ විරෝධි අදහස් ය. එනම් වර්ග සංහාරයකට උචිත ආකාරයේ අදහස් ය. නමුත් ඒවා ආයතනගත නොවුණු බව සඳහන් කළ යුතු ය. උතුරු පළාත් සභාව ජනසංහාරයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යෝජනාවක් සම්මත කර ගන්නේ දකුණ සමඟ කේවල් කිරීමේ අවස්ථාව වැඩි කර ගැනීම උදෙසා ය. මේ යෝජනා ගැන සිංහල අපට කේන්තියක් ඇති වන්නේ ය.

ජර්මනියේ වුණා වගේ දෙයක් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සිදු වූයේ නැත යන්න අපි පෙන්වා දෙනවා විය හැකි ය. එහෙත් අපේ සිංහල සමාජයේ දෙමළ විරෝධයක් තිබෙන බව පිළිගත යුතු ය. දෙමළ විරෝධි මතය කෙතරම් ද යන්න ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට ඉදිරිපත් කර ඇති පාඨක ප්‍රතිචාරවලින් හඳුනාගත හැකි ය. මෙය අඩු තක්සේරුවකින් සැලකිය යුත්තක් නොවේ. මක්නිසාද ජනසංහාරයට අවශ්‍ය මානසිකත්වය එතැන තිබෙන බැවිනි. උතුර යුද්ධය දකින්නේ ජනසංහාරයක් ලෙස ය. දකුණ දකින්නේ යුද්ධයේ දී ජනයා මිය යාම මඟ හැරිය නොහැකි දෙයක් ලෙස ය. එ

හෙත් උතුර එය දකින්නේ ආක්‍රමණික හමුදාවක් තම සමාජයට කරන දෙයක් ලෙස ය. මෙයින් මා මතු කරන්නේ සියයට සියයක් දෙමළ ජනතාව නිවැරදියි කියන කරුණ නොව දෙමළ ජනතාව එසේ සිතන්නේ ඇයි ද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ය. දෙමළ නායකයන් කෙසේ කටයුතු කළ යුතු ද යන්න පිළිබඳ ඇතැම්හු අදහස් දක්වති. එහෙත් කළ යුතු දේ ඔවුන් මේ වන විටත් කර තිබේ. ජනාධිපතිවරණයේ දී සම්බන්ධන්, සුමන්තිරන් ඇතුළු නායකයෝ එඩිතර තීන්දුවක් ගත්හ. මේ තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත යුතුව තිබේ. අප කළ යුත්තේ දෙමළ නායකයන් කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ උපදෙස් දීම නොව අප හැසිරිය යුත්තේ කෙසේ යන්න තීරණය කිරීම ය.

උතුර සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ද වෙනසක් දක්නට නොලැබෙන බව යෝජනාවලියේ සඳහන් ව ඇත. යුද්ධයේ දී වඩාත් අසාධාරණයට ලක් වූ පාර්ශ්වය දෙමළ ජනයා ය. ඔවුන්ට සිදු වූ අසාධාරණයේ තරම අනුව වේගවත් අයුරින් සාධාරණය ඉටු වීමක් ඔවුහු බලාපොරොත්තු වෙති. මේ ආකාර වූ දෙමළ මනස තේරුම් ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. බෙදුම්වාදී ප්‍රවණතාවක් අද නොමැති බවත් නැවත සන්නද්ධ අරගලයක් ඇති වීමේ නැඹුරුවක් නොමැති බවත් අප අවබෝධ කර ගත යුතු ය. ඒ සම්බන්ධයෙන් දකුණේ දේශපාලන මතය සැකසීම අවශ්‍ය ය. උතුර මිලිටරිහරණය කිරීම ආණ්ඩුව ඉක්මනින් කළ යුතුව තිබෙන්නකි.

එය උතුරට දැනෙන ආකාරයෙන් කළ යුතු ව තිබේ. දැනට එය සිදු වෙමින් තිබෙන්නේ දකුණ සතුටු කෙරෙන ආකාරයට ය. දකුණට දෙන මේ පණිවිඩය උතුරට යන විට ඔවුහු අසතුටු වෙති. එවිට ආණ්ඩුව දැනට කරන කටයුතුවලින් ද ප්‍රයෝජනයක් අත් නොවන්නේ ය. ඉහතින් සාකච්ඡා කළ දරුවා සම්බන්ධ උදාරහරණය විමසා බැලීමෙන් මේ තත්ත්වය හොඳින් තේරුම් ගත හැකි ය. මිල වැඩි භාණ්ඩය වෙනුවට දරුවා සමඟ කතා කර මිල අඩු භාණ්ඩයක් දරුවාට ලබා දෙන්නේ යැයි සිතමු. එහෙත් මිල අඩු භාණ්ඩ ලබා දීමට දරුවා රවට්ටා ගත්තේ යැයි දරුවා ඉදිරියේ ම පැවසුවහොත් සිදුවන තත්ත්වය වන්නේ දරුවා අපේක්ෂාභංගත්වයට පත්වීම ය.

දකුණේ ජනතාවට පවතින තත්ත්වය පිළිබඳ ඇත්ත පැවසිය යුතු ය. එනම් අද ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති බව නිසියාකාරව ජනතාවට පැවසිය යුතු ය. ආණ්ඩුව මුලින් ම කළ යුත්තේ එය ය. ඒ සඳහා ඉතා සුදුසු වාතවරණයක් අද ඇති වී තිබේ. මීට පෙර ඇති නොවුණු සංහිඳියාවක් අද ඇති වී තිබේ. එනිසා මේ අවස්ථාව පැහැර නොහැරිය යුතු ය.

සාකච්ඡා සටහන
නිවන්ති තිලකරත්න

dinamina

 

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us