නැගී සිටිය හැක එක්සේසත් වී...බෙදී ගියොත් රට යයි සුන් වී... Featured

Tuesday, 25 January 2022 10:10

ගෝලීය වසංගත තත්ත්වය යටතේ වැඩිම බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර අතර සංචාරක ව්‍යාපාරය ද ඉහළින්ම තිබේ.

2020 වසරේදී මුළුමනින්ම පාහේ ද 2021 වසරේදී විශාල වශයෙන්ද එය බිඳ වැටිණි. ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංචාරකයන් අතර ප්‍රකට ශ්‍රී ලංකාවට ද එම බලපෑම් විශාල වශයෙන් අදාළ විය. 2020 වසරේදී මාස 9ක් පමණ එක් සංචාරකයෙක් හෝ රටට නොපැමිණියේ වසංගත තත්ත්වය යටතේ රට ලොක්ඩවුන් කිරීමට ද සංචරණ සීමා පැණවීමට ද සිදුව තිබූ පසුබිමකය. වසංගතය පැමිණ දෙවසරකට පසුව, 2022 වසර උදාවත් සමඟ සංචාරක ව්‍යාපාරය පිළිබඳ යළි අපේක්ෂා දල්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇති බව පෙනෙන්නට තිබේ. සංචාරක ව්‍යාපාරය ඍජු හා වක්‍ර ආදායම් මාර්ගයක් කරගත් මෙරට මිලියන 3කට ආසන්න ජනතාවකට ද රටේ ආර්ථිකයට ද එය සුබ පණිවිඩයක් වනු ඇත. වසංගතය හේතුවෙන් කොළඹ නගරයේ ද සංචාරකයන් අතර ජනප්‍රිය සෙසු නගර සහ ස්ථානවල ද එක් සංචාරකයෙක් හෝ දැකගැනීමට නොමැති ස්වභාවයක් වසරකට ආසන්න කාලයක් තිබිණි. මේ වන විට කොළඹ නගරයේ පවුල් පිටින් පැමිණ සිටින සංචාරකයන් දැක ගත හැකිය. දුම්රිය ස්ථානවලදී මෙන්ම සංචාරක ආකර්ෂණීය ස්ථානවලදී ද ඔවුන් විශාල ලෙස හමුවේ.

2022 ජනවාරි 1 වැනිදා සිට ගෙවී ගිය කාලසීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන 51583ක් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. මේ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 9000ට ආසන්නය. යුක්‍රේනයෙන් ආ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇත. ඉන්දියානුවන් සංඛ්‍යාව 8000ක් පමණ වන අතර, බ්‍රිතාන්‍ය සහ යුරෝපා රටවලින් ද 9000 ඉක්මවූ පිරිසක් මෙහි පැමිණ තිබේ. මින් පිළිබිඹු වන වැදගත්ම කාරණය නම් තවමත් වසංගත තත්ත්වය පහව ගොස් නැති පසුබිමක වුවද ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු මෙන්ම ආරක්ෂිත රටක් ලෙස සංචාරකයන් අතර විශ්වාසය තහවුරුවී තිබීමය. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙබ්අඩවි, මතවිමසුම් ආදියෙන් ද ඒ බැව් සනාථ කෙරෙන අතර, ආසියාවේ සංචාරය සඳහා ආරක්ෂිතම රටක් ලෙස ශ්‍රී ලංකාව යළිත් සංචාරක කර්මාන්තයේ ඉදිරියට පැමිණෙමින් සිටී.

පාස්කු ප්‍රහාරය

කොවිඩ් වසංගතය ලොව ව්‍යාප්තවීමට පෙර, 2019 වසරේදී මෙරටට ආ සංචාරකයන් ගණන දහතුන්ලක්ෂය ඉක්මවීය. එම වසරේ අප්‍රේල් මස සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ ද සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇති විය. ක්‍රමයෙන් වසර අග වන විට සංචාරක කර්මාන්තය යම් තත්ත්වයට පත්වීම ඇරැඹීමත් සමඟම කොවිඩ් වසංගතය පැමිණියේය. ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූයේ 2020 අප්‍රේල් මාසයත් සමඟය.

ඊට පෙර රට ලොක්ඩවුන් කිරීම ද සිදුවූ අතර, පළමු වටය ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ලෙස පාලනය කිරීමට සමත්විය. මේ අවදියේ දී ලෝකය පුරාම පාහේ සංචරණ සීමා ක්‍රියාත්මක වූ බැවින් ඇතැම් විදේශිකයන්ට මෙරටම යම් කාලයක් ගත කිරීමට සිදුවිය. වසංගතය ආරම්භයත් සමඟ මෙහි සංචාරය කර රටින් පිටව ගිය සංචාරකයන්ගෙන් වැඩිදෙනා ශ්‍රී ලංකාව පිළිබඳ කතා කළේ ප්‍රශංසනීය ලෙසය. ඉන් ඇතැම්හු සිය අදහස් බ්ලොග් මඟින් ප්‍රකාශයට පත් කළ අතර, වසංගතයේ ගිලී සිටින තම රටවලට ශ්‍රී ලංකාවෙන් පාඩම් උගත හැකි බව පවා ඒවායේ සටහන්ව තිබිණි. 2020 දී ද මෙරටට සංචාරකයන් පන්ලක්ෂයකට වැඩි පිරිසක් පැමිණ තිබිණි. 2021 දී සංචාරක පැමිණීම් සටහන්ව ඇත්තේ දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකි. මෙසේ බලන කල මේ වර්ෂයේ ආරම්භය ඉතා සුබදායකය.

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වසංගත අභියෝගයට මුහුණදෙමින් ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ග අගය කරන අතරම මේ සෑම කාරණයක් සම්බන්ධයෙන් තමන්ට අදාළ පරිදි සහ තම විෂය පථයට පරිබාහිරව වුවද මැදිහත්වීම් කළ හැකි මට්ටමින් මැදිහත්වීම් කරමින් සෙසු අංශ සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම තවදුරටත් වර්ධනය විය යුතුය. මෙය සාමූහිකව නැඟී සිටිය යුතු අවස්ථාවකි. දේශීය නිෂ්පාදන හා කර්මාන්තකරුවන් දිරිගැන්වීම හා එම නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් ඇති කිරීමට ද මේ අවස්ථාව යොදාගත යුතුය. මෙවර අය වැයෙන් යෝජනා කළ කර්මාන්ත ගම්මාන වැඩපිළිවෙළ ඉතා සුදුසුය. මැටි භාණ්ඩ, ආභරණ, පන්පැදුරු හා ආශ්‍රිත නිෂ්පාදන, බීරළු, ලාක්ෂා ආදී කර්මාන්ත ගම් වශයෙන්ම සංචාරකයන් අතර ප්‍රවර්ධනය කළ හැකිය. සංචාරකයන් එවැනි ගම් කරාම ගෙනයාමේ වැඩපිළිවෙළ දියත්විය යුතුය. එය ග්‍රාමීය ආර්ථිකය ඔසොවා තැබීමට ද විශාල දායකත්වයක් එක්කරනු ඇත.

ආහාර පාන සංග්‍රහය

ශ්‍රී ලංකාව හරිත කෘෂිකර්මයට යොමුවීමට ගත් දූරදර්ශී තීරණය දේශපාලන අවස්ථාවාදය හා පටු දේශපාලන න්‍යායපත්‍රවලින් යටපත් කිරීමට දරන ප්‍රයත්නය පරාජය කිරීම ද සංචාරක කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස වැදගත්ය. සංචාරකයන් සඳහා කාබනික ගොවිතැන මඟින් ලබාගන්නා ආහාරපානවලින් සංග්‍රහ කිරීමට හැකිවීම යනු දැනට එම සේවා මඟින් උපයන මුදලට වඩා කිහිප ගුණයකින් ඉපැයීමට ගොවි ජනතාවට අවස්ථාව උදාවීමකි. ඒ වෙනුවෙන් වෙහෙසීම මිස දේශපාලන සටන්පාඨ පසුපස යාම මඟින් ඔවුන්ට අත්වන සෙතක් නැති බව පෙනීයා යුතුය. කෘෂිකර්ම බලධාරින් මෙවැනි කාරණා පිළිබඳ ගොවිජනතාව දැනුම්වත් කිරීම විය යුතුය.

මෙරට සංචාරක ව්‍යාපාරය පිබිදෙමින් ඇත්තේ, වසංගතය ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම පැතිරෙමින් ඇති සමයකය. පළමුව තම ජීවිත රැකගැනීම ද දෙවනුව තම ආදරණීයයන්ගේ ජීවිත රැකගැනීම ද අනතුරුව සමාජ වගකීම් ද සැලකිල්ලට ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කිරීමේ වගකීම දැන් පැවරී ඇත්තේ ජනතාවටය. මෙරටට අවශ්‍ය සියලුම එන්නත් ඉකුත් 9 වැනිදා වන විට මෙරටට ගෙන්වා අවසන්ය. ඒ බූස්ටර් එන්නත් ද සමඟය. රජය තම කාර්යභාරය ඉටුකර ඇත. එන්නත්කරණ වැඩපිළිවෙළ පෙරට ගෙනයමින් ද සිටී. අසත්‍ය ප්‍රචාර හා මිථ්‍යා මත ආදියට නොරැවටෙමින් තම එන්නත් ලබා ගැනීම සෑම වගකිවයුතු පුරවැසියකුගේම වගකීමය. ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් වීම යනු සංචාරක කර්මාන්තය වේගවත් ඉදිරි පිම්මක් පැනීම විය හැකිය.

අපි අඳුරු පැය පසුකරමින් සිටිමු. අනාගතය පැහැබර වනු ඇත්තේ රට පිළිබඳ හැඟීම අපට දැනෙන ප්‍රමාණයේ තරමටය. දැන්වත් පටු දේශපාලන මති මතාන්තර බැහැරින් තබමු.

-පංචාලි

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us