මේ යන විදිහට ගෙවල් ගිණි තියල විතරක් මිනිස්සු නතර වෙයිද? Featured

Tuesday, 17 May 2022 19:01

අද (17) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂකයා වූ අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් ජයග්‍රහණ්ය කර තිබේ.

එහෙත් බොහෝ දෙනා ඊයේ දිනයේදී බලාපොරොත්තු වූයේ අගමැතිවරයාගේ ද යෝජනාවක් වූ කාන්තා අපේක්ෂිකාවක් නියෝජ්‍ය කතානායක ධුරයට නිතරගයෙන් පත් වෙනු ඇති බවය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේත් එකඟතාවයක් තිබු බවද දැනගැනීමට ලැබෙන අතර ඒ අනුව පොදු ජන පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා ඉවත් කරගැනීමට කටයුතු කරනු ඇති බවට මත පළ වී තිබිණි.

සජබය නියෝජනය කරන රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය අපේක්ෂිකාව වීම කිසිවකුට වාද කළ නොහැකි සුදුසුම යෝජනාවක් වී තිබිණි. කොහොම නමුත් ඇයට පොදුජන පෙරමුණෙහි යම් මන්ත්‍රී කණ්ඩායමකද සහය හිමිව තිබූ බව ඡන්ද විමසීමෙන් පසුව පැහැදිලි වූවත් තවදුරටත් පොදුජන පෙරමුණ පක්ෂය කටයුතු කරමින් සිටින්නේ තමන්ගේ පක්ෂ වල දේශපාලන න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරවීමට බව මෙම ඡන්ද විමසීමෙන් පෙනී යන ඇත්තය.

ශ්‍රි ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින අතිශය බරපතල අර්බුදකාරීත්වය හමුවේ රට වැසියන් බලා සිටින්නේ යම් ලෙසකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ම මේ මොහොතේදී පක්ෂ පාට ජාති ආගම් බේද නොසලකා ජනතාව වෙනුවෙන් යමක් කරනු ඇති බවය.

වත්මන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පත් වීමෙන් අනතුරුව රාජපක්ෂ රෙජීමය යටතේ පසුගිය වසර දෙකාහමාරක පමණ කාලය තුළ ගත් අමනෝඥ තීන්දු තීරණ නිසා රට දැවැන්ත කඩා වැටීමකට ලක්වූ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. රටේ ජනතාව ගෝඨා ගෝ හොම් කියන්නෙ ඒ නිසාය. රාජපක්ෂ සනුහරෙම එපා කියන්නෙ ඒ නිසාය.

නමුත් මේ රාජපක්ෂ රෙජීමය කවුරුවත් හිතන තරම් ලෙහෙසියෙන් මේ බලය අත් හරින්න සූදනම් නැති බව මේ දක්වා පෙන්වා දී තිබේ. රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය පත් කිරීමත් මේ රාජපක්ෂ වරුන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන මගඩි සෙල්ලමක් බවට පෙනෙන්නට වී ඇත්තේත් මේ නිසාය. විපක්ෂ කොටස් එලෙස චෝදනා කරන්නෙ එවැනි චෝදනාවකට සාධාරණ වටපිටාවක් තිබෙන නිසාය. ජනතාවට දැන් රාජපක්ෂලාගෙන් වැඩක් නැත. තව හිටියොත් රට තවත් විනාශ කරනවා යන්න අද රටේ සාතිශය බහුතර ජනතාවගේ පිළිගැනීමය. මේ නිසා තවදුරටත් රාජපක්ෂලාගේ වාසියට කාගෙන් හෝ යමක් දැන හො නොදැන වේ නම් ඒ් රාජපක්ෂලාගේම මගඩියක් බව කල්පනා කිරීම වැරදි නොවේ.

ඒ් තත්වයන් එසේ තිබියදී පවා ජනාධිපතිවරයා රට මුහුණ දී තිබෙන මේ අර්බුදකාරිත්වයෙන් ගලවා ගැනීමට පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීම විවිධ කොන්දේසි ප්‍රකාරව විපක්ෂය ප්‍රතික්ෂේප කරනු ලැබීය. අවසන රනිල් වික්‍රමසිංහ වෙත අගමැතිධුරය ලබා දෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඔහුට තිබෙනවද නැද්ද යන්න හෝ පරික්ෂාවකින් තොරවය.

කෙසේ නමුත් කවරෙකුගේ සහය නැතත් පොදු ජන පෙරමුණේ සහය හෝ ඔහු වෙත ලැබෙනු ඇති බව ජනධිපතිවරයා විශ්වාස කරනවාට සැක නැත. එහෙත් ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ පොදු ජන පෙරමුණු ආණ්ඩුවක් නොව, සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකි. එවැනි ක්‍රියාවලියක හරහා මිසක පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවට විශ්වාසය තැබිය නොහැකි බව තේරුම් ගන්න දේශපාලනයේ අයන්න ආයන්නවත් දැනගත යුතු නැත.සියලු දෙනාගේ එකමුතුවකින්, සාකච්ඡාවෙන්, සම්මුතියෙන් රටේ අර්බුදයවලට විසඳුම් සෙවීම අද අනිවාර්ය වී ඇති තත්වයකි.බෙදී වෙන්වී තවදුරටත් තම තමන්ගේ දේශපාලන වුවමණා එපාකම් වෙනුවෙන් වැඩ කළ නොහැක.

තව මාස දෙක තුනක් ඇතුලත රට ඇද වැටෙන මහා ආගාධය හමුවේත් මේ කුලල් කා ගැනීම සිදු වුවහොත් රටට නැවත ගොඩ යාමක් ගැන හිතන්වත් සිදු නොවනු ඇත.රටම මළ සොහො නක් වීම අපට ඇස් දෙකෙන්ම බලා ගන්නට හැකි වෙනු ඇත.

මේ තත්වය ගැන පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් හොඳාකාරවම දැනුවත්ය. ඊයෙ ආගමැතිවරයා කළ විශේෂ ප්ර්කාශ හෝ අහගෙන හිටියා නම් කියෙව්වා නම් ඒ තේරුම් ගත හැකිය.

එහෙත් අද දින පාර්ලිමේන්තුව තුළ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු බහුතරය හැසිරුනේ මේ අර්බුදය ගැන හෝ , රටේ ජනතාව මුහුණ දීමට නියමිත ඛේදනීය තත්වය ගැන හෝ කිසිදු සැලකිල්ලකින් නොවේ.

සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගිය යුතු මොහොතක, එසේම පාර්ලිමේන්තුවේ සමගිය, සහයෝගය, සම්මුතිය ජනතාව බලාපොරොත්තු වන මොහොතක, පොදු ජන පෙරමුණ විසින් නියෝජ්‍ය කතානායක ධුරයට අපේක්ෂකයකු ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ විපක්ෂයේ යෝජනාව පරාජයට පත්කර ප්‍රදර්ශනය කළේ තමන්ට ජනතාවගේ ප්‍රශ්න වැඩක් නැති බවත් පක්ෂයේ හුදු පැවැත්ම පමණක් අවශ්‍ය බවය.

මේ පක්ෂයේ පැවැත්ම කියන්නේ කුමක්ද? ජනාධිපතිවරයාගේ පැවැත්මද ? නැත. ආණ්ඩුවක පැවැත්මද? නැත. පක්ෂයේ අයිතිකරුවා වන බැසිල් රාජපක්ෂගේ පැවැත්මය. නායක මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂගේ පැවැත්ම ද ඒ තුළ කියවෙතත් ඒ් තාවකාලිකය. පොදුජන පෙරමුණ යනුම බැසිල් රාජපක්ෂගේ ව්‍යාපාරික සමාගමකි. එය තීන්දු තීරණ ගන්නේ එම තමන්ගේත් කොටස් කරුවන්ගේත් ලාබය මුලට තබාය. මේ අනුව ගෝඨාභයගේ යෝජනාව පරාජය කළේ කුමක්ටද යන්න ගැන ඇතැමෙකුට ප්‍රශ්නයක් තිබිය හැකිය.

ජනාධිපතිවරයාගේ දේශපාලනික පැවැත්ම ඔහු මෙම ධුරය දරණ තාක් පමණි.ඒ නිසා ඉතිරි වසර දෙක හෝ යම් හෙයකින් මාස කිහිපයකින් හෝ ඔහු සමුගැනීම තුළ ඔහුව රැකීම අවශ්‍ය වන්නේ නැත. කොහොමටත් ගෝඨාභය යනු පොදුජන පෙරමුණේ සාමාජිකයකුවත් නොවේ. රාජපක්ෂ පවුලේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් ජනප්‍රිය යුධ විරුවා වන ගෝඨාභයව ඉදිරියට දැම්මා විනා ගෝඨාභයගෙන් බැසිල් රාජපක්ෂ කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. ගෝඨාභය මේ රටේ මෑත ඉතිහාසයේ බලසම්පන්නම රාජ්‍ය නායකයා ලෙස අධික බලතල සහිතව පත් වූවද අප දන්නා ඉතිහාසය තුළ වඩාත්ම දුර්වල සහ අසමත්ම පාලකයා වූයේ ගෝඨාභයය.

ඒ එසේ වූයේ ඔහුව බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවමින් රුකඩයක් කරගැනීම නිසාය. දේශපාලන ළදරුවෙකු වූ ඔහු වටා ඔහුට උපදෙස් දීමට,සහය වීමට පත් කරන ලද නිලධාරී වළල්ලම බැසිල් රාජපක්ෂ විසින් පත්කරන ලද වුන්ය.

රටේ ආර්ථිකය මේ තරමට කාබාසීනියා වූයේ ජනාධිපති ලේකම් ලෙස පත් වූ පී බී ජයසුන්දර නැමැති බැසිල්ගේ ව්‍යාපාරික සහකරුවා ලෙස හැඳින් වූවත් වැරදි නැති පුද්ගලයා රටේ ආර්ථිකය හැසිරවීමට මැදිහත් වීම තුළය. ඔහු හා ඔහුගේ ගෝල බාලයන් විසින් සිදුකරන විනාශය දැක දැක ඉන්නට නොහැකි තැන විමල් වීරවංශලාට පවා ඊට එරෙහිව කතා කරන්න සිදු විය. ඉන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කළේ ද බැසිල්ගේම උපකරණයක් වූ අජිත් නිවාඩ් කබ්‍රාල්ය. පීබී කරගෙන ගිය හරියම ඔහු රටේ ආර්ථිකයට සිදු කළේය. මහින්දව ඉදිරියෙන් තබා ගෙන මේ සෙල්ලම කරගෙන යෑමට බැසිල් සමත් විය.

බැසිල්ලාට අවශ්‍ය වූයේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඒ වෙනුවෙන් සිය ව්‍යපාරික හිතවතුන් වැය කළ බිලියන් ගනනින් වන ධනස්කන්ධය තව කිහිප ගුණයකින් ඔවුන්ට උපයා දීමය. වැට් බදු ඇතුලු බදු වර්ග ගනනාවක් අඩුකරමින් පටන් ගත්තේ ඒ සෙල්ලමය. එතැන් පටන් සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතා ‍රැසක්ම තිබේ.මේ යන විදිහට රට කඩන් වැටෙනවා කියා මේ රටේ අර්ථික විශේෂඥයන් දිගින් දිගටම අනතුරු හැඟවූවත් රාජපක්ෂලා කිසිවකුත් ගනන් ගත්තෙ නැත. ජනාධිපතිවරයාට පට්ට්ටපල් බොරු තොරතුරු ලබා දී රට ඔහුව නොමඟ යැවීමට මේ බැසිල්ගේ නිලධාරීන් සමත්ව තිබිණි.

තමන් කර මුලටම ගිලෙන තෙක් මේ බව ජනාධිපතිවරයාට තේරුණේ නැත. ඔහු ඒ් තේරුම් ගන්නා විට රට ගිනි ඇවිලෙන්න පටන් ගෙනය.ඔහු බොහො ප්‍රමාද විය. බැසිල්ලාගේ, මහින්දලාගේ පව් වලට කරගහන්න සිදුවූයේ ඔහුටය.

කොහොම නමුත් ඔහුට අවසානයේදී තමන්ගෙ සොයුරන්ගේ වුවමණා එපාකම් වලට එරෙහිව යමින් යම් යම් තීන්දු ගැනීමට බල කරන තත්වයක් ඇති විය.මහින්ද අගමැතිධුරයෙන් ඉවත් කිරීම සහ එම අමැති මණ්ඩලය ඉවත් කිරීමත් මහබැංකු අධිපතිවරා සහ රජයෙ වෙනත් නිලධාරීන්ගේ තනතුරු වෙනස් කිරීමත් සිදු වූයේ ඒ නිසාය.රට වැටී තිබෙන අර්බුදයට හේතු බූත වූ වැරදී ආර්ථික ක්‍රියාමාර්ග ආපහු හැරවීමට කටයුතු කළේ ඉන් පසුවය.

එමෙන්ම රනිල් විකුමසිංහ කෙරෙහි ඔහුට විශ්වාසය තබන්න වෙන තැනට තල්ලු වූයේ පොදුජන පෙරමුණ තුළ ඔහුට විශ්වාස කළ හැකි කිසිවකු හෝ නොවෙන තැනය. රාජපක්ෂ පවුලේ තීන්දු තීරණ එක කෑම මේසය මතදී ගැනෙන බවට කතන්දර තිබුණද මේ පවුලෙ ඉතිහාසය තුළ එහෙම සිදුව නොමැත.එම රාජපක්ෂ පවුල් අතර ගැටුම් එකිනෙකා මරා ගන්නා තරමෙන් දුර දිග ගිය ඒ්වාද වේ. පවුලේ එකඟතාවයන් හැදෙන්නෙ එකිනෙකාගේ පංගුව බෙදා හදා ගන්නට හැකි නම් පමණි.

ගෝඨාභයව නොසලකා, ඔහුව පැත්තකට වීසි කර බැසිල්ට මහින්දට නාමල්ට මේ මොහොතේ කටයුතු කළ හැකිව තිබුණද හෙට දිනයේදී ඔවුන් නොවුන් අතර ගැටුම් ඇතිවීම වන්නේ නැතැයි කිව නොහැක. මේ වන විට මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් අතුගෑවී ගොස් හමාරය. ඔහුගේ ජීවිතයද තව වැඩි කලක් නොපවතිනු ඇත. එතරමට ඔහු වයෝ වෘද්ධය. මහින්ද නැති කළ නාමල්ට තිබෙන ඇඟැලුම් කම බැසිල්ගෙන් නොලැබිය හැකිය. මහින්දගේ පක්ෂපාතිත්වය බැසිල්ට අවශ්‍ය බැවින් ඒ් වෙනුවෙන් නාමල්ට කැරට් අලයක් පෙන්වීම සිදුවෙමින් තිබුණු බව සිතිය හැකිය. බැසිල් දැන් උත්සහ කරන්නෙ තමන් වෙත බලය තබා ගත හැකි විකල්ප කෙරෙහි මිසක් නාමල්ගේ අනාගතය ගැන වද වීමක් නොවේ.

මේ මොහොතේ ගෝඨාභයව බලයෙන් පහකර හෝ බැසිල්ට බලය අත්පත් කරගත හැකි නම් එය ඔහු සිදු කරනු ඇත. ඒ පණිවිඩය ගෝඨාභයට ලබාදීමට බැසිල් කටයුතු කර ඇත. ඒ් අද පාර්ලිමේන්තුව තුළ ඇති කළ බෙදීමය.

ඔහු වටා ඇති මුල්‍ය ශක්තියෙන් සියල්ල මෙහෙයවිය හැකි බව අත්දැකීමෙන් දන්නා බැසිල් ඒ ශක්තිය පාවිච්චි කර රටේ පාලකයා වීමට සිහින දැකීම විකාර සිතුවිල්ලක් නොවේ. ඔහුට එය කළ හැකිය. පොදුජන පෙරමුණ බැසිල් විසින් මෙහෙයවන්නේ රට ගැනවත් ජනතාව ගැනවත් කල්පනා කර නොවන බව අද සිදුවීමෙනුත් පැහැදිලිය.

නියෝජ්‍ය කථානායක ධුරයට විපක්ෂය නියෝජනය කළ රෝහිණි කවිරත්නට නිතරගයෙන් පත් වන්නට පොදු ජන පෙරමුණ ඉඩ දුන්නානම් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ මොහොතේ රට ගොඩ ගැනීමට දරණ උත්සාහය ගැන රට තුළ ප්‍රසාදයක් ඇතිවිය හැකිව තිබිණි. එසේම පාර්ලිමේන්තුව සාමුහිකව කටයුතු කරනවාය කියන හැඟිම ජනතාවට දැනෙන්ට ඉඩ තිබිණි. එහෙත් ඒ් ‌ෙඑතිහාසික වන්නට තිබු දිනය ඇති වන්නට බැසිල් ඉඩ තැබුවේ නැත. මන්ද එසේ වූවා නම් පොදුජන පෙරමුණ දුර්වල වී බෙදී යාමකට ලක්වීමේ අනතුර නිසාය. බැසිල්ගේ බලය ගිලිහෙන්නට ඉඩ තිබුණ නිසාය.

කෙසේ නමුත් දැන් දේවල් සිදු වන්නේ ජනාධිපති ගෝඨාභයවත්,රාජපක්ෂ් පවුලේ දේශපාලන අනාගතයත්, රටත් ජනතාවත් සියල්ල විනාශයකට ගොදුරු කරගෙනය. බැසිල්ගේ මේ සාහසික දේශපාලන තකක්ඩිකම් රට වළපල්ලට ගියත් සිදු වෙනු ඇත.එය වැලැකෙනු ඇත්තේ මේ කැත සෙල්ලම ජනතාව හරියට තේරුම් ගෙන ඒ වැලැක්වීමට ජනතාවගේ බලය පාවිච්චි කළොත් පමණය. නමුත් ගැටළුවකට ඇත්තේ එය ගිය වර මෙන් ගෙවල් ගිනි තැබීමෙන් පමණක් අවසන් වෙනු ඇතැයි කිව නොහැකි වීම ගැනය.

- සුජය

Last modified on Tuesday, 17 May 2022 19:07

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us