රනිල් - ගෝඨා කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු.! ඊගාවට ? Featured

Thursday, 19 May 2022 19:44

රනිල් - ගෝඨා කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු යන සටන් පාඨ මූලික කරගෙන යළි අරගලය මුවහත් වී තිබේ. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පමණක් නොව විශේෂයෙන්ම පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් මෙම සටන් පාඨයෙහි එල්ලී සිටී. වෙනත් ජන බලවේගයන්ද මේ සටන් පාඨය පිළිගෙන කටයුතු කරනවාද විය හැකිය.

වාමාංශික දේශපාලනය තුළ මෙම සටන් පාඨය නිවැරදී දේශපාලනික ආස්ථානයක් විය හැකිය. රටේ පවතින ආර්ථික අර්බුදය මුල් කර ගත් දේශපාලන සහ සාමාජීය අර්බුදයන් විසැඳීමට පවත්නා ධනවාදී නැතිනම් ලිබරල් ප්‍රජානත්‍රවාදය තුළ පිළිතුරු නැති බවට වාමාංශික කොටස් නිරන්තරයෙන්ම පෙන්වා දෙන තත්වයකි. ඔවුන් යෝජනා කරන්නෙ සමාජවාදී රාජ්‍යක ක්‍රියාත්මක සමාජවාදී ආර්ථික දේශපාලනික සාමාජීය ක්‍රමවේදයන් යටතේ මෙම සියලු ප්‍රශන් වලින් ගැලවිය හැකි බවය.

ඔවුන්ට ඒ සඳහා තර්කයක් තිබේ. රාජ්‍ය විසින් සියලු දේපොළ වල අයිතිය තබා ගෙන සැමට සමාන සමාජ ආර්ථික සහ සංස්කෘතික පරිසර තත්වයක් යටතේ ජීවත් වීමේ පහසුකම් එම රාජ්‍යය විසින් ලබා දීම සිදුකිරීම තුළ පුරවැසියන් සියල්ලට යහපත් ජීවිතයක් බුක්ති විඳීමට හැකි බව කියයි. දැනට උතුරු කොරියාව කියුබාව චීනය වියට්නාමය සහ ලාඔසය කියන ලෝකයේ සමාජවාදී රාජ්‍ය පහ තුළ ක්‍රියාත්මක වන්නේ මේ සමාජවාදී ක්‍රමයේ නාමයෙන් වන පාලන තන්ත්‍රයන්ය.

එහෙත් මේ රට වල ජනතාවගේ ජීවන තත්වයන් සම්බන්ධයෙන් ඇත්තේ බරපතල විවේචනයකි. රාජ්‍ය අධිකාරවාදී පාලනයක් තුළ සත්ව ගොවිපොළක් පාලනය කරන්නා සේ රාජ්‍ය පාලනය සිදු කිරීම නිසා මිනිස් නිදහස මුලුමනින්ම පාලනය වීම සිදුව තිබේ. එහෙත් කිසිවකුත් බඩ ගින්නේ නැත. දවසට කන්න ලැබෙන්නේ එක වේලද එය සියල්ලන්ටම ලැබේ. මුලික අවශ්‍යතා සියල්ලම පාහේ රාජ්‍ය විසින් සපයනු ලබන තරම අනුව තීරණය වේ.

කොහොම නමුත් දැනට ඉතිරිව තිබෙන සමාජවාදී රාජ්‍යයන් පහ හැරුණු කොට ලෝකයේ මුල්ම සමාජවාදී රාජ්‍යය වූ රුසියාව සහ ඊට ඈඳා ගත් සෝවියට් රුසියනු සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටිණි. කියුබානු විප්ලවය සමඟ ඇතිවුණු ලතින් අමරිකානු විප්ලව ‍රැල්ලත් සමඟ බිහිවූ සමාජවාදී රාජ්‍ය පද්ධතියද බිඳ වැටිණි. සමාජවාදී රාජ්‍යයන් නොවුන නමුත් සමාජවාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ රාජ්‍යයන් සියල්ලම පාහේ බිඳ වැටීමට සිදුව තිබේ.

එසේම චීනය තුළ ක්‍රියාත්මක වන සමාජවාදය හෝ උතුරු කොරියාවේ සමාජවාදය සහ අනෙකුත් සමාජවාදී රාජ්‍යයන් වල පාලන තත්වයන් වෙනස්ය . පාලන ක්‍රමවේදයන් වෙනස්ය. ජනතාවගේ ජීවන තත්වයන් වෙනස්ය. සමාජවාදය කීවාට මේ රාජ්‍යයන් වල ධනවාදි ආර්ථික ක්‍රමයේ ලක්ෂණයන්ද අඩු වැඩි වශයෙන් තිබේ. නිලධාරිවාදය ඉහළය. පාලකයන් රජුන් මෙන් උත්තරීතර තැනක සිටී. රාජ්‍ය පාලනය දැඩි ඒකාධිපති සහ මිලිටරිමය යටත් කිරීමකට ලක් කරමින් ගෙන යන දැඩි පාලනය තුළ මේ රාජයයන් හි පැවැත්ම සහතික කර ගැනීමට එම පාලක පක්ෂ වලට හැකිව තිබේ.මේ පාලකයන් කිසිසේත්ම ජනතාවගේ අකැමැත්ත මත තෝ රා ගන්න ඒවා නොවේ. දේශපාලනය තහනම්ය. බලහත්කාරය පාවිච්චි කර ජනතාව ඊට යටත් කර ගෙන යන පාලනයකි. පුරවැසි ජනතාවක් වෙනුවට ඇත්තෙ යටත් වැසි ජනතාවකි.

මෙරට වාමාංශික කොටස් සමාජවාදය නමින් අපේක්ෂා කරන්නෙද එවැනි පාලන තන්ත්‍රයකි. මේ අය අද ක්‍රමය පෙරළමු වශයෙන් ගෙන එන සටන් පාඨයෙහි හරය එයය. මීට අමතරව ස්කැනෙඩියානු රාජ්‍යයන් කිහිපයක වර්තමානයේ පවතින පාලනය ක්‍රමයද ඇතැම් පිරිස් නූතන සමාජවාදී පාලන ක්‍රමවේදයන් ලෙස සලකති. ඇතැම් රාජ්‍යයක් තවමත් රාජාණ්ඩු සවරූපයෙන් පැවැතුනත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අර්ථික සහ සමාජ ක්‍රමය මත පදනම්ව තිබුණත් සමාජවාදී ලක්ෂණ බහුලව ඒ තුළ ක්‍රියාත්මක වේ. මානව නිදහස උපරිමව තිබේ. වැදගත්ම දේ ස්වයං විනයක් සහිතව නැතිනම් ස්වයං විනයකට බලකරන තත්වයන් යටතේ මේ රටවල ජනතාවට ජීවත් වීමට සිදුව තිබීමය.එම තත්වයන් එම ජනතාව විසින්ම කාලාන්තරයක් තිස්සේ අරගල කර ගොඩනගා ගත් තත්වයකි. කිසිවකුත් බලහත්කාරී පාලනයක් උඩින් ගෙනත් දමා ඇති කරගත් තත්වයක් නොවේ. අනෙකාගේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වීම මූලික කරගෙන සමාජ ජීවිතය ගොඩ නැවීම මත මෙම රටවල ආර්ථික සමාජිය දේශපාලනික සහ සංස්කෘතික භාවිතාවන් ගොඩනංවා ගැනීමට එම ජනතාවට හැකියාවක් ලැබීම මේ නූතන සමාජවාදී රාජ්‍යයන් බිහිවීමට හේතු වී ඇත.

කොහොම නමුත් ලෝකයෙ විවිධ ආර්ථික සාමාජීය දේශපාලනික තත්වයන් බිහි වන්නේ ඒ ඒ රාජ්‍යයන් වල පවතින විවිධ තත්වයන්ට සාපේක්ෂවය.පිටස්තර ආක්‍රමණයක් සිදු නොවේ නම් ජනතාවගේ සිතුම් පැතුම්, රාජ්‍යයේ භෞතික හා මානව සම්පත් ප්‍රමාණය, භූගෝලිය පිහිටීම, දේශගුණ තත්වයන්,පරිසර තත්වයන්, ඓතිහාසික තත්වයන් ආදී කරුනු කාරණා ‍රැසක් පදනම් කරගෙනය. රාජ්‍ය පාලන ක්‍රමවේදයන් සකස් වන්නේ මේ සියලු සාධක මතය. නායකයන් බිහිවන්නේ ඒ අනුවය. ජනතාවගේ හැටියට නායකයන් බිහි වන්නෙත් ඒ අනුවය. රාජ්‍යයක් ගොඩනැගෙන එක හරි වළපල්ලට යන එක හරි වන්නෙ ඒ රටේ ජනතාවගේ හැටියට ලැබෙන නායකයන් නිසා යැයි කිමෙහි වරදක් නැත්තේත් ඒ නිසාය. අක්‍රමණයන්ට ගොදුරුවූ රටවලට ආක්‍රමණිකයාගේ වුවමණාවන් මත රාජ්‍ය පාලනය හැඩ ගැස්සවීම සිදු වන අතර ඉන් මිදුනත් පැවැති ක්‍රමවේදයන් ලෙහෙසියට වෙනස් කළ නොහැක. ශ්‍රී ලංකාව වැනි රටවලට සිදුව ඇත්තේ අක්‍රමණිකයා අත් හැර ගිය තැනින් ඉදිරියට යාමට පාරක් සොයා ගැනීමට නොහැකිවීමේ අවුලකට වඩා එහෙම වෙනස් විය යුතුද කියන එකවත් කල්පනා කරන්න තරම් වුවමණාවක් නොමැතිවීමයි. ඒ අනුව රාජ්‍යයේ පාලනය බාර වූයෙත් එවැනිම නායකයන්ටය.

ශ්‍රි ලංකාව ද මුහුණ දී තිබෙන තත්වය අනුව සැලකිය යුතුම කරණය වන්නේ රට අද වළපල්ලට ගොස් ඇත්තේ ජනතාව විසින් බිහිකර ගත් ඒ නායකයන් නිසා බවය. රටේ අනාගතය ගැන සංවර්ධන සැලසුම් තිබුණේ නැත.සම්පත් කළමණාකරණය ගැන අවබෝධයක් තිබුණේ නැත. හොරකම වංචාව දූෂණය නාස්තිය අලසකම රාජ්‍ය පාලනයෙහි අංගයන් වූයේත් ජනතාවත් එවැනිම නිසාය. නායකයන් වෙතින්, රාජ්‍ය පාලනය වෙතින් පෙනුම් කරන සියලු නුගුණයන් රටේ ජනතාවගේ නුගුණයන්මය. ඒ් අනුව අද රට වැටී තිබෙන අර්බුදයයන්ට වඩාත්ම වගකිව යුතු වන්නෙ ජනතාවය කීවාට කිසිසේත්ම වැරදි නැත.තල වපුරා මුං බලාපොරොත්තු විය නොහැකි සේ මේ ජනතාව විසින්ම අත්පත් කර ගත් තත්වයකි.

තව දුරටත් එම තත්වයන් විඳ දරා ගැනීමට නොහැකි තැනට අද බහුතර ජනතාවක් පත්ව සිටී.එහෙත් තමන් මුහුණ දෙන ප්‍රශ්නයට ඇත්ත උත්තරය සොයා ගැනීමට තවමත් සමත් කමක් ජනතාව සතුව නැත. රටේ වරතමාන දේශපාලනය 'ගෝ හෝම් ගෝඨා' කියන සටන් පාඨයට ලඝු වීමෙන්ද පෙන්නුම් කරනෙ එයය.

පාලකයා මාරු කිරීමෙන් ප්‍රශ්නය විස‍ඳෙනවාය කියන ප්‍රාථමික අදහස ඇරෙන්නට එතැනින් එහා දෙයක් ගැන වැටහීමක් නැත. පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සෙ ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන ගෙන ගිය ඊනියා අරගලය කිසිදු ජයග්‍රහණයකින් තොරව දියාරු වී ගියේ ඔවුන් එල්ලි සිටි ගෝ හෝම් ගෝඨා සටන් පාඨයෙහි ඇති අදේශපාලනික බව නිසාය. 74 අවුරුද්දක් පුරා පාලකය මාරු කරමින් පවත්වගෙන ආ දේශපාලන භාවිතාවට වඩා මෙහි වෙනදක් ඇත්තේ නැත.

එමෙන්ම අද දවසේ වාමංශික කොටස්ද මේ ප්‍රාථමික සටන් පාඨයෙහි එල්ලී සිටී. අද වමාංශික සංවිධාන රනිල් ගෝඨා කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු.. කියන්නෙත් මෙම දුර්වල දේශපාලනික තෝරා ගැනීම නිසාමය. එය ගෝ හෝම් ගෝඨා සටන් පාඨයෙහිම දිගුවකි.ඒ අස්සෙ ක්‍රමය පෙරළමු යනුවෙන් කොටසක් එල්ලා තිබුණද මේ පෙරළන ක්‍රමය කුමක්ද ?පෙරළලා ගෙනෙන ක්‍රමය කුමක්ද? ඒක කරන්නේ කොහොමද? කවුද? යන්න ගැන මේ කිසිවකුට පැහැදිලි උත්තරයක් නැත. නමුත් සියල්ල විනාශ කිරීමෙන් පසුව කුමක් හෝ වෙනස් යමක් බිහිවිය හැක. අවශ්‍යනම් එතැනට මේ අරගල තව තවත් තිව්ර කිරීමෙන් පහසුවෙන් යා හැක.

එහෙත් අද රට ඉල්ලා සිටින්නේ මුහුණ දී තිබෙන අර්බූදයට ඉක්මන් විසඳුමය. ගෝඨා - රනිල් පමණක් නොව 225 ද එලවා දමා , ක්‍රමයත් පෙරළා දමා මේ මොහොතේ අර්බුදයට ලබා දිය හැකි විසඳුම් මොනවාද යන්න මේ කිසිවකුත් පැහැදිලිව කතා නොකරයි.

ඒ කවරක් වුණත් මේ අය වෙතින්මත් දැන් මේ රට මුහුණ දී තිබෙන අර්බුදයය විසඳා ගැනීමට කියා විටින් විට ඉදිරිපත් කරන යෝජනා තුළ ඇත්තේ ක්‍රමය පෙරළීමක් නොවන මේ පවත්න ක්‍රමය තුළ විසඳුම් සොයා ගත යුතුය කියන යෝජනාය. ඒකත් එක්කම ඒ විසඳුම් සෙවීමට ගෝඨාබය හෝ රාජපක්ෂලා කිසිවකුට නොහැකි බවත් රනිල් සජිත්ලාට නොහැකි බවත් කියයි. එහෙනම් එය කළ හැක්කේ කාටද, කාවද නායකයා කළ යුත්තේ? කවුරු නායකයා කළත් විසඳුම් තිබෙන්නෙ මේ ක්‍රමය තුළ දී නම් නායකයා වෙනස් කිරීමෙන් පමණක් එය කළ හැකි බවට වන පිළිගැනීමක් කුමක්ද?.මේ නැවත යෝජනා කරන ඔලු ගෙඩි මාරුවෙන් මේ විසඳිය හැකිද? මෙලෙස එකිනෙකට පරස්පර කතන්දර ගොඩක් අද 'අරගලය' ලෙස නාමකරණය පවතී.

රටේ පවත්නා ආර්ථික දේශපාලනික සාමාජීය සහ සංස්කෘතික පෙරළියක් නැති නම් විප්ලවයක් සිදු කරනවා නම් ඊට ඇති සක්‍යතාවය කුමක්ද? ජනතාව ඊට සූදානම්ද? එහෙම පෙරළියක් ජනතාවට අවශ්‍යද? දැන් ජනතාව අරගල කරන්නෙ එහෙම වෙනසකටද ? නැතිනම් තෙල් ටිකට, ගෑස් ටිකට, පොහොර ටිකට, කිරිපිටි ටිකට වගේ එදිනෙදා තමන්ගෙ අවශ්‍ය තාවයන් වෙනුවෙන් පමණක් නෙවෙයිද? අඩුම තරමින් අනෙකාගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ රටේ ජනතාව පෙනී සිටිනවාද? තමන්ගේ බඩගින්න නොතකා අනෙකාගෙ බඩගින්න වෙනුවෙන් මිනිස්සු වද වෙනවා නම් මේ රටේ මෙහෙම ප්‍රශ්න ඔඩු දුවන්න විදිහක් නැත. ඉතා සුළුතරයක් අනෙකා ගැන හිතනවා විය හැකි නමුත් මේ රටේ මිනිස්සු කවද්ද අනෙකාගේ ප්‍රශ්නය විසඳන්න කියා අරගල කළේ? තමන්ගෙ ප්‍රශ්නය විස‍ඳෙනවා නම් පොදු අරගලයකට පැමිණුනා මිස කවුරුවත් මේ අනෙකා වෙනුවෙන් අරගල වලට ආවේ නැත.

ජනාධිපතිවරයා පැවැති ආණ්ඩුව ඉවත් කර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස නම් කිරීමත් සමඟ ගාලු මුවදොර අරගලය දියාරූ වී ගියේ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා දිමට අගමැති රනිල් සමත් වන්නේ යැයි එතැන සිටි බහුතරය විශ්වාස කිරීම නිසාය. එසේ නොමැතිව දැන් ගෝඨාභය යනවාය ,ක්‍රමය පෙරළලා අලුත් එකක් හැදෙනවාය කියන බලාපොරොත්තුවෙන් නොවේ.

අද වාමංශික කොටස් සහ ඇතැම් මධ්‍යම පාංතික කොටස් දේශපාලනය කරනවාය කියමින් මේ කරන අරගලය ජනතාවට වැඩක් නැති දේ බවට පත් වන්නේත්, ඡන්දයක දී වම්මු ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබන්නේත් ජනතාවගේ අවශ්‍යතාවය සහ මේ වාමාංශික දේශපාලනය අතර ඇති විශාල පරතරය නිසාය.

මේ පරතරය හැදෙන්නෙ අද ජනතාවට අතිශය සංකීර්ණ ආර්ථික සහ සාමාජීය පරිසරයක අනෙක විධ පීඩාවන් සමඟ ජීවිතය ගැට ගහගෙන දුවන්න වීම තුළ එයට මූලිකත්වය දෙනවා විනා ක්‍රමය වෙනස් කරන්න හෝ ඒ වෙනකම් හෝ හිතන්න පතන්නවත් ඉස්පාසුවක් නැති බැවිනි. ජීවන අරගලය ජය ගන්න මහා තරගයක ජනතාව සිටී.ඒ වෙනුවෙන් කෙටි මාර්ග සොයා යයි. ප්‍රමාද වෙන්න හැකියාවක් නැත.මේ නිසා අලුත් පාරවල් කපාගෙන අලුත් ගමනක් යන්න හිතන්නවත් වෙලාවක් නැත. ජනතාවට අවශ්‍ය මේ මොහොතේ ජීවත් වීමටය. එසේම දකින්න බල කර තිබෙන සිහින කන්දරාවක් විසින් මේ මොහොතේ ජීවත් වීමට ඔවුන්ට බල කර තිබේ. ඔවුන් ඒවා පසු පස වේගයෙන් දිවිය යුතුය. නැතුව පවතින්න නොහැකිය.

කොටින්ම ක්‍රමය පෙරළමු කියා කෙරෙන අරගලය පවා මොහොතකදී තමන්ගේ ගමනට දිවිල්ලට කරන බාධකයක්,කරන පීඩාවක් බව ජනතාවට තේරෙන්න ගනියි.එයට එරෙහිවීමද සිදුවෙයි. තමන්ගේ ජීවිත පවත්වගෙන යෑමට පහසුකම් නැති වෙන කොට අර්බුදයට වැටෙන විට ජනතාව ඒ වෙනුවෙන් ස්වයංව අරගලයට එයි. තමන්ගේ හදිසි අවශ්‍යතාවය කිසිවකු හෝ සපුරා දෙනවා නම් නැතිනම් දෙතැයි අපේක්ෂාව ලැබුණ විට අරගලය අත් හරියි.

මේක චක්‍රයක්.. මේ චක්‍රය පවත්වාගෙන යෑමට ඇවැසි නායකයන් සහ ක්‍රමය පවත්වාගෙන යෑම මිසක් ජනතාවගෙන් වෙන කිසිවක් අපේක්ෂා කළ නොහැක.

ඒ නිසා මේ එදිනෙදා ඉල්ලීම් පදනම් කරගෙන කරන පොදු ජනතා අරගල කියන ඒවා දේශපාලනික නැත. මේ නිසා ගාලුමුවදොර අරගලය දියාරු වී යෑම අහම්බයක් නොවේ. එය විය යුතුව තිබුණ තත්වයයි.
'ගෝ හෝම් ගෝඨා' කිව්වත් 'රනිල් - ගෝඨා කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමුය' කිව්වත් 'ක්‍රමය පෙරළමු' කිව්වත් මේ සටන්වලින් කිසිවක් වීමට නියමිත නැත. එක තැන වටේ කැරකැවීමක් පමණය.

-සුජය

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us