විහිළුවට ගන්න එපා. ජවිපෙ ෆුල් සීරියස්ලි මේවා කියන්නේ. Featured

Monday, 27 June 2022 18:03

'අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා' යැයි ජාතික ජන බලවේගයේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක යාපනයේ පැවති ජවිපෙ දිස්ත්‍රික් සමුළුවක් අමතමින් ඔහු පවසා තිබේ. මව්බිම පුවත් පත වාර්ථා කර තිබු මෙම පුවත අනුව එහි වැඩිදුරටත් මෙසේ සටහන් කර තිබිණි.

“මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම්, එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

“කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්ත ද ඔහුගේ මුදල්වලින් ඔහු ජීවත් වෙනවා මිස කිසිසේත් ම, ඒවා රටේ ජනතාව වෙනුවෙන් වෙන් නොකරන බව ද මන්ත්‍රීවරයා කීය.

“අලියගෙ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකෙ ගියා සේ” යම් කෙනෙකුට තනිව රට ගොඩගත නොහැකි බව ද යාපනයේ පැවති දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු පැවසීය.

“අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේ ම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැහැ.

“අපිට අගමැතිකම දෙනවා නම්, අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා.”

අගමැති රනිල් සහ මේ වන විට ඇමැතිවරයකු වී සිටින ව්‍යාපාරික ධම්මික ගැන මේ ජවිපෙ නායකතුමා පවසන ලබන දේවල් ගැන කථා කළ යුතු නැත. ඔවුනොවුන් අතර වන සම්බන්ධතා වල වපසරිය රටට රහසක් නොවේ. ඒ හැරත් අනුර මේ කතා ගොතන්නේ යාපනයේ ජවිපෙ සාමාජිකයන් කිහිප දෙනෙකු ඉදිරියේය.

අපට වැදගත් එය නොවේ. “අපිට අගමැතිකම දෙනවා නම්, අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා.” මෙන්න මේ තවමත් සඟවාගෙන සිටින සැලැස්ම ගැන අනුර රටට හෙළි කළ යුතුය.

රටේ සමස්ත ජනතාවම අනේක විධ දුක් කම්කටොලු වලින් පීඩිතව කර කියා ගන්න දෙයක් නැතිව අසරණව සිටින්නේ ඒ ජනතාවගේ වරදක් නිසා නොවේ. ජනතාව විසින් රටේ පාලනය භාර කළ අයගේ වැරදි තීන්දු තීරණ නිසාය. මේ රටේ පවත්වාගෙන යන දේශපාලන හා ආර්ථික ක්‍රමවේදයේ වැරැද්ද නිසාය. මේ දේවල් මේ විදිහට සිදු වෙන්න ජවිපෙත් අඩු වැඩි වශයෙන් දායක වී තිබේ. ඒ ඒසේ නොමැති බව ජවිපෙට කිව නොහැක.

ජවිපෙ මැතිවරණ වලට තරඟ කළ, මැති ඇමැතිකම් දරපු දේශපාලන පක්ෂයක් ලෙස නියෝජනය කරන්නේ මේ රටේ පාලක පැලැන්තියමය. අදත් පාර්ලිමේන්තු නියෝජනයක් සහිතව රටේ දේශපාලනය හැසිරවීම සම්බන්ධයෙන් බලපෑම් සහගත දේශපාලන කණ්ඩායමකි.

ඒ නිසා රටේ පාලන බලය අපිට දෙනවා නම් අපි කරලා පෙන්වන්නම් කියා තමන් ළඟ තියෙනවාය කියන සුපිරි විසඳුම සඟවාගෙන සිටීම කෙතරම් දුරට සදාචාරාත්මකද? කෙතරම්
දුරට දේශපාලනිකද? කෙතරම් දුරට මානුෂිකද? නැතිනම් ඒ මොන තරම් අවස්ථාවාදී තක්කඩිකමක්ද? කියා මේ රටේ ජනතාවට ප්‍රශ්න කළ හැකිය.

මන්ද ජනතාව මුහුණ දෙමින් සිටින අතිශය බරපතල අර්බූදයයන් විසදීම සඳහා ටක්කෙටම හරියන විසඳුම ජවිපෙ විසින් සොයාගෙන තිබියදී නේද අපි මේ දුක් විඳින්නේ කියන සිතුවිල්ල ජනතාව කෙරෙන් මතුවීම අනිවාර්යයක් නිසාය.

දැන් සෑහෙන කාලෙක සිට ජවිපෙ 'අපිට දුන්නොත් කරළා පෙන්වනවා' කියා කයිවාරු ගැසුවද මේ දක්වා ඒ කරන්නේ කොහොම දැයි කියන්නේ නැත. රටේ ඩොලර් හිඟය පියව ගන්නේ විදේශ ගතව සිටින ජවිපෙ සාමාජිකයන් ගෙන් ඩොලර් 500 ගානේ ගෙන්වා ගෙන වග නම් මීට පෙර ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති විශේෂ හෙළිදරව්වක් කරමිනි පවසා තිබිණි. නමුත් මේ අදාල පුවත් අනුව රටේ ප්‍රශ්න විසඳන සැලැස්ම ගැන තව ඉඟියක් දී තිබේ.

“අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේ ම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැහැ." යැයි ජවිපෙ නායකයා පවසා ඇත. මෙතන 'දෙමළ ඩයස්පෝරා' කියන වචනය වැදගත්ය.

දෙමළ ඩයස්පෝරාව යනු මෙරට යුධ වින්දිතයන්ය. ඒ නිර්මාණය වුයේ මෙරට තුළ නිදහස් ජීවිතයක් ගත කිරීමේ හැකියාව නොමැතිව, උපන් බිමේ අයිතිය නොමැතිව, රටින් පලාගිය දෙමළ ජාතිකයන්ගෙනි. දෙමළ ජාතිකයන්ට මෙරටින් පලා යන තැනට වැඩකරපු බලවේග අතර ජවිපෙ ප්‍රමුඛතම කණ්ඩායම ලෙස හැඳින්වීම වැරදි නැත. ජවිපෙ මේ අයව එදා හැඳින්වූයේ ත්‍රස්තවාදීන් නැතිනම් ත්‍රස්තවාදයට අනුබලය,අනුග්‍රහ දක්වන පිරිසක් ලෙසය. දෙමළ ඩයස්පෝරා සංවිධාන තහනම් කිරීමට ද හඬ නැගුවේය.

යුද්ධයේ අවසන් දින කිහිපයේදී එල්ටීටීඊ ග්‍රහනයේ සිටි සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බර අවි ප්‍රහාර නැවැත්වීමට රජය තීන්දුවක් ගත් මොහොතේ ඊට එරෙහිව මහා ගෝරනාඩුවක් කරමින් ලොකු අඩව්වක් ඇල්ලීමට එදා අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ කටයුතු කරන ලදී. වහාම බර අවි ප්‍රහාර එල්ල කර සමූල ඝාතනයක් මඟින් එල්ටීටීඊය පරාජය කිරීම කළ යුතු බවට අනුර දැඩි ස්ථාවරයක් සිටියේය. ජවිපෙ බලපෑම රජයට නොතකා හැරිය නොහැකි තැන බර අවි පාවිච්චි කෙරිණි.

අවසානයේ සාමාන්‍ය අහිංසක පුරවැසියන් ලක්ෂයක් පමණ ඝාතනය කළ බවට යුධ අපරාධ චෝදනාවක් රටට එරෙහිව එල්ල වී තිබේ. ඒ චෝදනාව කවදා හෝ සත්‍යයක් බවට ඔප්පු වන්නේ නම්, ජවිපෙද ඒ යුධ අපරාධයට සෘජුව වගකිව යුතුය.

කොහාම නමුත් අද දෙමළ ඩයස්පොරාව කියන්නේ මේ ඝාතනයට ලක් වූ අහිංසක පුරවැසියන්න්ගේ නෑ සියන්ය, හිත මිතුරන්ය. ජවිපෙ අනුර දැන් මේ දෙමළ ඩයස්පොරාවේ උදව්වෙන්, එනම් ඔවුන් රටට එවන ඩොලර් වලින් රට හදන්න බලාගෙන සිටී. ජවිපෙ මේ ආර්ථික සැලැස්ම හැදුවේ උතුරේ ජනතාවට,දෙමළ ඩයස්පොරාවට තමන්ගේ අතීතය අමතක වී ඇති බවට කල්පනා කරන නිසාදැයි නොදනිමු.

මීට 30 වසරකට ඒහා කාලයේදී ජවිපෙ දකුණේ කළ සන්නද්ධ අරගලයේ අනිටු විපාක තවමත් දකුණේ ජනතාව අමතක කර නැත. ජවිපෙට, ජවිපෙ නමට උඩින් ජාතික ජන බලවේගය කියා බෝඩ් ලෑල්ලක් එල්ලගෙන ජනතාව ඉදිරියට එන්න සිදුව ඇත්තේද ඒ් නිසාය. ඒත් රටේ ජනතාවගේන් ඊට රැවටුණේ සියයට 3ක පමණය. දෙමළ ඩයස්පොරාවත් රැවටෙයිද කියා අප නොදනිමු.

අනුර යාපනයට ගොස් දෙමළ ඩයස්පොරාවේ සහය ඉල්ලුවාට ඒ් නොලැබුණහොත් රට හදලා හමාරය. සිංහල ඩයස්පොරාව කියා දෙයක් ගැන කියවෙතත් එහෙම එකක් නැත. සිංහල ඩයස්පොරාව කියා බෝර්ඩ් ලෑල්ලක් එල්ලාගත් කිහිප දෙනෙකුගේ මොකක්ද එකක් පමණක් තිබේ. ඒ නිසා එතැනින් එන ඩොලරයක් නැත. විදේශ ශ්‍රමිකයන් එව්වොත් පමණය. තව 'අපේ මානව සම්පත, අපේ හැකියාවන්'.. වලිනුත් වැඩේ ගොඩදාන බව අනුර කියයි. දැනුන් මේ රටට වෙලා තියෙන දේ සිදුව ඇත්තේ, අපේ මානව සම්පත, අපේ හැකියාවන් වල තරම අනුවය. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් කිව යුත්තක් නැත.

ජවිපෙ මේ කියන සැලැස්ම ගැන මීට වඩා දෙයක් තිබෙනම් ජවිපෙ ඒ පෙන්වා දිය යුතුය.

කොහොම නමුත් ජවිපෙ මෙම සැලැස්ම අනුව මාස 6 කින් රටේ ප්‍රශ්න විසඳෙනු ඇත. ඉන් පසුව මහා මැතිවරණයක් පවත්වා මේ අවුල් වියවුල් කිසිවක් නැති රටට, අලුත් පාලකයන් පත්කර ගැනීමට ජනතාවට ඉඩ ලබා දෙනු ඇත. ඊට පසු රට තවත් සුඛිත මුදිත වෙනු ඇත.

ජවිපෙට අනුව දැන් තිබෙන අවුල ජවිපෙට මේ අවස්ථාව ලබා නොදීමය. ජවිපෙ කියන්නේ මේ සුපිරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට දැන් ජනාධිපති ගෝඨාභය, අගමැති රනිල් සහ ඇමැති මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් අවස්ථාවක් ජවිපෙට දිය යුතු බවය. ඒ අවස්ථාව නොලැබීම නිසා ජවිපෙට දැන් මොකුත්ම කරන්න බැරිය. අඩුම තරමින් තමන්ගේ සුපිරි සැලසුම ජනතාවට හෙළිදරව් කරන්නවත් බැරිය. එතරම්ම ජවිපෙ අසරණ වී සිටී.

මේක නම් රටේ ජනතාවගේ කරුමයකි. මේක විහිළුවට ගන්න එපා. ජවිපෙ ෆුල් සීරියස්ලි මේවා කියන්නේ.

- SJ

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us