රට ගොඩයන්නේ මෙහෙමයි..! මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ පැහැදිලි කිරීම   Featured

Saturday, 06 July 2024 11:32

“ණය ප්‍රතිව්‍යුහගතකරණය හා වත්මන් ආර්ථික ප්‍රවණතා” මැයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබිය.

 

ප්‍රශ්නය
දේශපාලන නායකයින් මේ අර්බුදයෙන් රට බේරා ගැනීමට ඉදිරිපත් නොවූ මොහොතක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වගකීම භාරගත්තා. අද වන විට ආර්ථිකය යම් ප්‍රවණතාවයකට පැමිණ තිබෙනවා. අද වන විට ආර්ථිකය යම් ස්ථවරත්වයකට ගෙන එමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය මඟින් ද ලංකාවට සුබ ආරංචියක් ගෙනාවාත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බවට මත පළ වෙනවා. මහ බැංකු අධිපතිවරයා ලෙස මේ පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

පසුගිය වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති අර්ථික තත්ත්වය දිහා බැලූ විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් යම් ප්‍රවණතාවයකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබෙනවා. රජයට දේශීය සහ විදේශීය ණය බර වැඩිවීම නිසා ණය ගෙවීමට නොහැකි තත්ත්වයක තිබුණා. විශේෂයෙන්ම විදේශ ණය බර වැඩිවීම නිසා විදේශ සංචිත විශාල වශයෙන් අඩු වී තිබුණා. මීට වසර දෙකකට පෙර රටේ ඇතිවූ තත්ත්වයන්ට ප්‍රධානම හේතුව වුණේ එයයි. රටක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කළාට පසුව ඒ සඳහා ක්‍රමානුකූල ක්‍රමවේදයක් තිබෙනවා. මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මීට කලින් ශ්‍රී ලංකාව සිදු කර නැහැ. මේ සම්බන්ධව ප්‍රාමාණික දැනීමක් පළපුරුද්දක් තිබෙන අය ශ්‍රී ලංකාවේ නැහැ. ඒ නිසා විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ලෝකයේ හොඳම ආයතන දෙකක් වන ලසාඩ් සහ ක්ලිෆ්ඩ් චාන්ස් කියන ආයතනවල සහය ලබා ගත්තා. ඒ අයට අත්දැකීම් සහ තාක්ෂණය තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවයක් නැති බවට ප්‍රකාශ කර තිබුණා. එදා එය නිවැරදි මඟට යොමු කර ගැනීමට එවකට රජයට හැකිවුණේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්වාධීන ආයතනයක් වශයෙන් අපට ලබා දුන් නිර්ණායක ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීම ස්ථාවර කළ හැකියි. ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බවට ණයකරුවටත් විශ්වාසයක් ඇතිවෙනවා . මේ වන විට දළ දේශිය නිෂ්පාදිතයෙන් 125% ක් වශයෙන් තිබෙන සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු විය යුතු බව 2022 සැප්තැම්බර් මාසයේදි මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පැමිණෙන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියා. එම නිර්ණායක ඉදිරි දශකය තුළ ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

විදේශීය විනිමය වශයෙන් ගෙවන ණය තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4%ක් පමණයි. එවිට රාජ්‍ය ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8% ක මට්ටමකයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන මට්ටමක තිබුණේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4%ක් තිබෙන විදේශ විනිමය වශයෙන් ගෙවීමට තිබෙන ණය මට්ටම ඉදිරි දශකය තුළ 4.5%කට ගෙන ආ යුතුයි. දළ දේශීය නිෂ්පාදනයෙන් 34%ක් පවතින වසරකට රජයේ ණය ලබා ගන්නා ප්‍රමාණය 13.2%ක් දක්වා අඩු කළ යුතුයි. මෙම නිර්ණායක දෙක ශ්‍රී ලංකාව සම්පූර්ණ කළ යුතුව තිබෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම සිදු කළේ ඒ ඉලක්ක අරමුණු කරගෙනයි . ඒ සම්බන්ධව මහ බැංකුව මැදිහත්වීම තුළින් විශාල වශයෙන් දේශීය ණය ප්‍රශස්ත කිරීම සිදුකළා. ඒ නිසා පොලී අනූපාතය අඩුවී තිබෙනවා.

ඉන්පසුව විදේශීය ණයේ පළමු පියවර ලෙස ද්විපාර්ශ්වීක ණය ප්‍රතිව්‍යුගත කිරීම සඳහා සාකච්ඡා කළා. ප්‍රංශය, ජපානය, ඉන්දියාව හා චීනයේ එක්සීම් බැංකුවත් එක්ව සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ගත්තා. ගිවිසුම් අත්සන් කළේ පසුගිය මාසයේදීයි. ඒ අනුව ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් නිර්ණායකය අනුව ඉදිරි දශකය තුළ ද්විපාර්ශ්වික ණය කොටසෙන් සහනයක් ලබා ගැනීම මෙහිදී සිදුවුණා. මේ ආකාරයට ම වාණිජ ණය ක්‍රමවේදයේ සහනයක් ලබා ගැනීමට ද බලාපොරොත්තු වෙනවා. මෙම නිල ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු සහන ගිවිසුම් ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. එක ක්‍රමවේදයක් වන්නේ තිබෙන ණය ප්‍රමාණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, එවිට මූලික ණයේ වටිනාකම විශාල ප්‍රමාණයක් අඩුවෙනවා. එය තමයි ණය සහනය. දෙවන සහනය තමයි ගෙවීමට තිබෙන ණය පොළී අනුපාත සහනය. පොලී අනුපාතය අඩුකළ හැකියි. මේ ක්‍රමය දෙකම එකට එක් වූ විට අපේ තිබෙන ණය තොගයේ වටිනාකම සෑහෙන ප්‍රමාණයකින් අඩුවෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන නිර්ණායක රටකින් රටකට වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවට 28%ක ණය සහනයක් ලැබූ විට ණය තිරසරභාවය සිදුවෙනවා. මෙහිදී ඝානාව හෝ සැම්බියාව වැනි වෙනත් රටක් සමඟ සංසන්දනය කිරීමක් සිදු කරන්න බැහැ. අපට ණය සහන ඉල්ලීමට හැකියාව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කරන ප්‍රමාණයටයි. සමහර රටවල් අඩු ආදායම්ලාභී රටවල් නිසා ණය සහන ප්‍රතිශතය වැඩි විය හැකියි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ණය සහනය මේ වන විට ලැබී තිබෙනවා. එම ණය සහනය අනෙක් රටවල් සමග සංසන්දනය කළ යුතු නැහැ.

 

ප්‍රශ්නය-
2023 වසරේ දෙසැම්බර් අවසානයේ ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 96ක් බවත් 2024 මාර්තු අවසානය වන විට එම ප්‍රමාණය ඇ. ඩො බිලියන් 100ක් බව එහි සඳහන් වනවා. මේ සම්බන්ධයෙන් ඉතා හොඳ පැහැදිලි කිරීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළා. නමුත් මෙය ‍ඩොලර් බිලියන 70 සිට සියය දක්වා ණය වැඩිවී තිබීමක් ලෙස ඇතැමුන් එය අර්ථකතනය කළා. මේ සම්බන්ධයෙන් ඔබතුමා දක්වන අදහස කුමක්ද?

පිළිතුර
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා


2024 වසරේ මාර්තු මාසයේ අවසානය වන විට තිබූ ණය පිළිබඳ තත්ත්වය ඔබ සඳහන් කළ Debt bulleting එක යටතේ ප්‍රකාශයට පත් කළා. ප්‍රශ්නය තිබෙන්නේ එහි සම්පූර්ණ ණය ප්‍රමාණය අරගෙන තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර්වලිනුයි. ඩොලර් බිලියන 100ක් කියලයි තිබෙන්නේ. ඔබ දන්නවා අපේ රටේ දේශීය ණය සහ විදේශීය ණය තිබෙනවා. විදේශීය ණය සාමාන්‍යයෙන් තිබෙන්නේ ඩොලර්වලින්. දේශීය ණය එම වගුවට ගැනීමේදී අපි ඩොලර්වලට පරිවර්තනය කර තිබෙනවා. කළින් අපේ තිබුණ විනිමය අනුපාතය 324යි. පරිවර්තනය කරන විට එය 301යි. එතකොට අපේ විදේශ විනිමය අනුපාතය අධි ප්‍රමාණය වෙලා තිබෙනවා. එය හොඳ තත්ත්වයක්. හැබැයි 324න් බෙදන එක 301න් බෙදන විට අර රුපියල් ප්‍රමාණයේ ඩොලර් වටිනාකම වැඩි වෙනවා. විදේශ ණය ප්‍රමාණය එකතු කළ විට අපි ණය නොගත්තා වුනත් විනිමය අනුපාතයේ අධි ප්‍රමාණය නිසා ඩොලර්වලින් වැඩි වී පෙන්වනවා.
මීළඟට ණය ගෙවීම හොඳ නරකද? ඇත්ත රටක් ඉදිරියට යද්දී රටේ ආදායම, රටේ වියදමට වැඩිය අඩු නම් , එසේත් නැත්නම් රටේ වියදම ආදායමට වඩා වැඩි නම් අනිවාර්යයෙන් අයවැය හිඟයක් තිබෙනවා. අයවැය හිඟයක් තිබෙනවා නම් රටට ණය ගැනීමට සිදු වෙනවා. අපි විතරක් නෙවෙයි. වෙනත් රටවල් පවා ණය ගන්නවා. මෙය ක්‍රියාවලියක්. ඒ තුළ ණය වැඩිවීම් ඉබේම සිදු වෙනවා.
ගැටලුව තිබෙන්නේ ණය තිරසාර මට්ටමින් පවත්වා ගෙන යන්නේ කොහොමද කියන එකයි. අපට දිගටම ණය ගත හැකිද? ණය ගන්නේ කොහෙන්ද? ඒ ණය මහ බැංකුවෙන් ගන්නවද? ඔබ දන්නවා මහබැංකුවෙන් මුදල් අච්චු ගහනවා. මුදල් අච්චු ගහන එක හොඳ නැති බව අප දන්නවා. අපි දිගටම මුදල් අච්චු ගහමින් මේ අයවැය හිඟය පියවමින් යනවාද? ණය වැඩි කර ගන්නවද? එහෙම නැත්නම් මෙය අඩු කර ගන්නවද? ණය තිරසාර මට්ටමකට ගෙන එනවා කියන්නේ රටක් ලෙස අපට පවත්වා ගෙන යා හැකි මට්ටමකට ණය ප්‍රමාණය අරගෙන එය දිගටම පවත්වා ගෙන යාමයි. නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමඟම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් ශක්තිමත් කළ යුතු වෙනවා. අපි ඊට කියනවා විනයානුකූලව කර ගෙන යා යුතු බව. ඒ නිසයි අපි කියන්නේ ආදායම වැඩි කර ගත යුතුයි. වියදම දරාගත හැකි මට්ටමට තබා ගත යුතුයි. ඒ දෙක නිවැරදිව තබා ගන්නවා නම් අපට දරා ගත හැකි අයවැය හිඟයක් තබා ගත හැකි වෙනවා. එසේ ගියහොත් තමයි අපට ඉදිරියට යා හැකි වන්නේ.
කවුරු හරි කියනවා නම් ණය ගැනීම වැරදියි කියා මම ඊට එකඟ වන්නේ නැහැ. අපේ රටේ අයවැය හිඟයක් තිබෙන තාක් කල් අපට ණය ගැනීමට සිදු වෙනවා. ඉතිහාසයේ සිදු වී තිබෙන්නේත්, ඉදිරියට සිදු වන්නේත් එයයි. අනෙක් රටවල වෙන්නේත් එයයි. කවුරු රජයන් කළත් සිදු වන්නේ එයයි.
එසේ නැත්නම් අප ආදායමට සමානව වියදම හදා ගත යුතුයි. උදාහරණයක් කියනවා නම් ණය පොළී ගෙවීමට අපට ලැබෙන ආදායමෙන් 80%ක් විතර යනවා. අනෙක් සියලු දේ සඳහා ඉතුරු වන්නේ 20%යි. වියදම දළ නිෂ්පාදනයෙන් 19-20%ක් වගේ. හැබැයි 2022 වසරේ ආදායම තිබුණේ 8%යි. ඒ කාලේ 12%ක පමණ අයවැය හිඟයක් තිබෙන බව අපි දැක්කා. මේ වන විට අප ආදායම 11%කට පමණ වැඩි කර ගෙන තිබෙනවා. අයවැය හිඟය 8%කට වගේ අඩු කර ගෙන තිබෙනවා. ඒක තමයි ප්‍රගතිය කියන්නේ. කොහොම උනත් අපේ වියදම ගැටලුවක් නැහැ. නමුත් ආදායම වැඩි කර ගත යුතුයි.

 

ප්‍රශ්නය
අද රට හොඳ ප්‍රවණතාවකට යොමුව තිබෙන නමුත් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් රජය ණය ගෙවන්න ආරම්භ කර නැති බවක් කියැවෙනවා. නමුත් අප ණය ගෙවන්න ගත් විට ඔය කියන සියලු ආර්ථික කරුණු වෙනස් වී එහි සෘජු බර මහජනතාවට දැනෙන බවත් ප්‍රකාශ වෙනවා. මහ බැංකු අධිපතිතුමනි මේ සම්බන්ධව ඔබේ අදහස දැනගන්න කැමැතියි?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව නැවත ණය ගෙවීම සම්බන්ධයෙන් රටේ ජනතාවට කුකුසක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රට නැවතත් වළකට වැටේවිද කියන සාධාරණ සැකයත් ජනතාව තුළ තිබෙනවා. අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නොමැතිව ඒ ආකාරයටම ගෙවන්නට සිදුවුවහොත් අනිවාර්යයෙන්ම අර පරණවලටම රට ආයෙත් වැටෙනවා. ඒකට උදාහරණයක් ලෙස ගත් විට අප ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයෙන් කොටසක් ගෙවමින්ද තවත් කොටසක් නොගෙවමින්ද දැනට විදෙස් සංචිත වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් ගොඩනඟාගෙන තිබෙනවා. අපට තිබෙන ණය ගෙවීම 2022 වසරේ සිට බැලීමේදී වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 6ක් ගෙවිය යුතුයි. නමුත් ඊළඟ අවුරුදු 4-5 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 6ක් වශයෙන් වසර 4-5ක් තිස්සේ ගෙවන්න තිබුණා. අප කොහොම හරි රාජ්‍ය ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා රැගෙන ඇවිත් තිබෙනවා.
අප ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකර, නැවත ණය ගෙවීම ආරම්භ කළහොත් ඊළඟ මාස 12 තුළ අප ඇමරිකානු ඩොලර් බිලියන 7-8ක් පමණ ගෙවිය යුතුයි. එහෙම ණය ගෙවන්න සිදුවහොත් ජනතාවට දැණුනු බිය ඇත්ත වෙනවා. එහෙම ගෙවන්න සිදුවුණා නම් රජයට කිසිදු විදෙස් සංචිතයක් ඉතිරි වන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ අපට ගෙවන්න පුළුවන් ප්‍රමාණයට ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ණය තිරසරභාවයක් ඇති කරගත යුතු බව. අපට ඊළඟ වසර පහ තුළ ගෙවිය යුතු වන්නේ අඩු පොළී මුදලක් පමණයි. 2027 වසර දක්වා එකඟ වූ පොළියට වඩා පොළී සහනයක් ද අපට ලැබී තිබෙනවා. දැනට තිබෙන විදෙස් සංචිත සහ ආදායම තුළින් ඉදිරි වසර පහ ඇතුළත ඉතා පහසුවෙන් ණය ගෙවාගත හැකි ආකාරයට ණය තිරසරභාවයක් ඇති කරන්න පුළුවන්. එවිට ණය ගෙවීම නිසා ආර්ථිකයට ඇතිවන බර සහ ඉන්ධන, ගෑස් මිලදී ගැනීමට විදෙස් සංචිත ඉතිරි කර ගන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් රජයට අනිකුත් සියලුම කටයුතු සාමාන්‍ය ආකාරයට පවත්වාගෙන යෑමට පුළුවන්කම ලැබෙනවා.

 

ප්‍රශ්නය
ජාත්‍යන්තර වශයෙන් ගත් කළ අවසන් ණය දෙන්නා බවට පත් වන්නේ ජාත්‍යන්තර අරමුදල පමණයි. ඒක තාක්ෂණිකව පිළිගත යුතු කාරණයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ඕනෑ තරම් විකල්ප තිබෙනවා කියලා මතයක් තිබෙනවා. මේ ගැන පැහැදිලි කළොත්?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

ඕනෑම රටකට අවසානයේ විදේශ ණය ලබාගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පමණයි. අයිඑම්එෆ් ආයතනයේ සාමාජික රටවල්වලට වුවත් ණය ලබා දෙන්නේ ණය තිරසරභාවය කියන පළමු කොන්දේසිය තිබුණොත් පමණයි. අපි ණය ලබා ගැනීම නිසා අමාරු තත්ත්වයකට පත් වූ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම මෙරට ණය හිමි ලබාදුන් රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට යන ලෙසට අපෙන් ඉල්ලීමක් කළා. ණය තිරසරභාවයක් ඇති කරන්නා ලෙසත්, ඉදිරියටත් ණයක් ලබා ගත හැකි වන්නේ ඉන් අනතරුව බවත් ඔවුන් පැවසුවා. අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමකින් තොරව කිසිම රටකින් ණයක් ලබාගත නොහැකි තත්ත්වයකට 2021 වසර වන විට රට පත් වී තිබුණා. එවැනි පසුබිමක මේ රටෙන්, අර රටෙන් ණයක් ලබා ගන්න පුළුවන් කියන එක යථාර්තයක් නෙමෙයි.
රටවල් ණය ලබා දෙන්නේ ඒ ජනතාවගේ බදු ගෙවන මුදලින්. රටක් තවත් රටකට උදව් කිරීමේදී ණය ලබා දෙන්නේ ඒ ණය ගෙවිමට හැකියාවක් තිබෙනවා නම් පමණයි. එසේ නොමැතිව හිතවත්කම් මත ඒ රටවලට ජනතාවගේ බදු මුදල්වලින් ණය ලබා දෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල නියෝජිතයන්වත් එහෙම කරන්නේ නැහැ.

මුදල් අමාත්‍යාංශයේ ලෙකම් මහින්ද සිරිවර්ධන මහතා
යම රටක් ණයක් ලබා දෙන්නේ එරට ජනතාවගේ ඉතුරුම් කළ මුදල්වලින්. තමන් ඉතිරි කළ මුදල් කොහොමද දුන්නේ කියන එක ඒ රටවල්වල ජනතාවත් ප්‍රශ්න කරන්න පුළුවන්. දිගින් දිගටම ජාත්‍යන්තරය කිව්ව දෙයක් තමයි ණයක් ලබා දෙන්නම්, නමුත් රටක් වශයෙන් ඔබ ඒ වෙනුවෙන් දක්වන දායකත්වය කුමක්ද? යන්න. කිසිම රටක් 8%ක ආදායමක් තිබෙන රටකට ණය ලබා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ අපේ ප්‍රශ්න විසඳගෙන එන්න කියලයි. ඇත්ත වශයෙන්ම අපේ රටේ ආදායම ප්‍රමාණවත් නැති නිසා තමයි රට අර්බුදයට පත් වුණේ. රටක් විදිහට තවත් රටකින් සහනයක් ඉල්ලනවා නම් යම්කිසි සාධාරණත්වයක් සහ වගකීමක් තිබිය යුතුයි. අපිත් අපේ දායකත්වය පෙන්නුම් කරමින් ණය තිරසරභාවය ඇති කර ගැනීම වගේම රාජ්‍ය ආදායම වැඩි කර ගත යුතුයි.
ණය සහන කාලය ලැබීම තුළින් අපට හුස්ම ගැනීමට මෙන්ම රාජ්‍ය මූල්‍ය කටයුතු හොඳින් පවත්වාගෙන යෑමට පහසුවක් ඇති වන බව කිව යුතුයි. ඒත් සමඟම රටක් විදිහට ආර්ථිකය වර්ධනය වැඩි කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට විවිධ අණපනත් ඉදිරිපත් කිරීම, ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම, ආයෝජන ගෙන ඒම තුළින් හැකියාව ලැබෙනවා. අපට 2028 දක්වා ද්විපාර්ශ්වීය ණය ගෙවන්න අවශ්‍ය නැහැ. අපට ලැබුණු ඉඩහසර රටක් විදිහට භාවිත කළ යුතුයි. අතීතයේ සිදුකළ වැරදි හදාගෙන රටක් විදිහට බුද්ධිමත් ලෙස කටයුතු කරමින් ඉදිරියට යා යුතුව තිබෙනවා.

 

ප්‍රශ්නය
රටේ පාලන තන්ත්‍රයේ අඩුපාඩු සම්බන්ධව වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළිදක්වා තිබෙනවා. දූෂණය පිටුදැකීම සම්බන්ධවත් එම වාර්තාවේ සඳහන්. දැන් අප එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවාද?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා


රටක ආර්ථික වර්ධනය සඳහා වැදගත් වන කරුණු ගණනාවක් තිබෙනවා. නමුත් මෑත කාලයේදී විශේෂයෙන්ම මූල්‍ය අරමුදල මඟින් රටක ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේදී දූෂණය බාධාවක් විය හැකි බව ප්‍රකාශ කළා. දූෂණය අවම නොකිරීම ආර්ථිකය ඉහළ දැමීමට බාධාවක් බව ඔවුන් කියනවා. මේ තත්ත්වය සලකා බලා තමයි පාලනය සම්බන්ධව අධ්‍යයනයක් සිදුකරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආරාධනා කළේ. ඒ අනුව ඔවුන් සිදුකළ අධ්‍යයන වාර්තාව මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබෙනවා. රාජ්‍ය පාලනය, අල්ලස, දූෂණය වැනි කරුණු ගණනාවක් ඔවුන් හඳුනාගෙන තිබෙනවා. සමහර යෝජනා අප මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් අලුත් යෝජනාත් එහි සඳහන් කර තිබෙනවා. රටක පාලනය සම්බන්ධව අධ්‍යනයක් සිදුකළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි. අයි.එම.එෆ් වාර්තාවට අනුව ඇති යෝජනා සහ වැඩපිළිවෙළ මේ වන විට අප එකින් එක ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ යටතේ මේ වන විට දූෂණ විරෝධී පනත ගෙනැවිත් තිබෙනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ශක්තිමක් කර තිබෙනවා. අනික් පැත්තකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට නව තාක්ෂණය යොදා ගෙන තිබෙනවා. අපේ විනිවිදභාවය සම්බන්ධ වාර්තා පවා ඉදිරිපත් කර තිබෙනවා. රජයක් විදිහට ජනතාවට ලබාදුන් බදු සහන පිළිබඳව, ලබා ගත් ණය පිළිබඳවත් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඇතැම් අය කියන පරිදි සොරාගත් සම්පත් නැවත ලබා ගැනීමට ද පණතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය
පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුවට නව පණත් 42ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම තවත් පණත් 30ක් පමණ සංශෝධන සහිතව යෝජනා වෙමින් තිබෙනවා. විශේෂයෙන් ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා රාජ්‍ය ණය කළමනාකරණ පනත දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙතරම් පනත් ප්‍රමාණයක අවශ්‍යතාවය මොකක්ද?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

මහ බැංකුව ස්වාධීන කිරීමට සමගාමීව රාජ්‍ය මූල්‍ය කටයුතු කළමනාකරණය කර ගැනීමේදී ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍යයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත තුළින් රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවයක් ඇති වෙනවා. රාජ්‍ය මූල්‍ය විනය සම්බන්ධව මීට පෙර ගැටලුවක් පැවතුණා. ශක්තිමත් මූල්‍ය විනයක් සහිත, වඩා හොඳ අධීක්ෂණයක් සහිතව කරගෙන යෑම තුළින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ශක්තියක් ලැබෙනවා. ඉදිරියේදී අයවැයක් සකස් කිරීම හා එය අවසන් කිරීම දක්වා වගකීමක්ද පැවරෙනවා. යම්කිසි ඉලක්කයක් සහිත අයවැයක් ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා. ඒ වගේම රාජ්‍ය ණය කළමනාකරණයද මුදල් අමාත්‍යාංශය යටතට ගෙන වඩාත් ශක්තිමත්ව සිදුකිරීමට පුළුවන්. ඔය කියන පනත් තුනම ශක්තිමත් මුල්ගල් තුනක් ලෙස මම දකිනවා. ආර්ථික පරිවර්තන පනත තුළින් මේ මුල්ගල් තුන එකට බද්ධ වෙනවා. ආර්ථික පරිවර්තන පනත සම්බන්ධව සාකච්ඡා පැවැත්වෙනවා. එය වඩා හොඳ දෙයක්. එමඟින් කෙටි, මධ්‍ය හා දිගුකාලීන දක්වා රටේ දිශානතිය පිළිබඳව මාර්ගයක් සකස් කර තිබෙනවා. අලුත් ආයතන ඇති කිරීම තුළින් අපේ ගමන් මඟ සාර්ථක කිරීම බලාපොරොත්තු වෙනවා. ආර්ථික කටයුතු නිදහසේ සිදුකිරීමටත් පදනමක් ලැබෙන බව පැවසිය යුතුයි.


ප්‍රශ්නය
රජය පසුගිය කාලයේදී විදෙස් වාණිජ ණය හිමියන් සමඟ යම්කිසි එකඟතාවකට එළැඹුණු බව ඔබ ප්‍රකාශ කළා. අපට එය විදෙස් බැඳුම්කර ලෙස හඳුන්වාගත හැකියි. මේ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ ඇති කරගත් එකඟතාවයන්ට සමනුපාතික ක්‍රමවේදයක් අනුගමනය කළ බව ඔබ සඳහන් කළා. නමුත් ආසන්න වශයෙන් 28%ක පමණ ණය කපා හැරීමක් (haircut) ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඇතැමුන් එය ප්‍රතික්ෂේප කරනවා. ඒ පිළිබඳ ඔබගෙ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

යම්කිසි ආකාරයකින් බැඳුම්කරයක් නිකුත් කර ඩොලර් 100ක් ගත්තා නම් අපේ වගකීම තියෙනවා ඩොලර් 100ම නැවත ගෙවන්න. ප්‍රතිව්‍යුහගතකරණයේ දී කරන එක ක්‍රමවේදයක් තමයි බැඳුම්කර අපට 100 ගෙවන්න තියෙන්නේ අවුරුදු 10ක් ඇතුළත දී නම් පළවෙනි එක, එය තවත් වසර 10ක් දීර්ඝ කිරීම. ඊටත් අමතරව 100ක් ගෙවීම වෙනුවට එයින් 28ක් අඩු කර 72ක් විතරක් ගෙවන්න කියලත් එකඟතාවකට එන්න පුළුවන්. හෙයාර් කට් එක කියන්නේ බොහෝවිට බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීමේදී සිදු කරන ක්‍රමවේදයක්. ඒක ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කරන්නේ නෑ.
අයි.එම්.එෆ්. පුරෝකථනය කළ ආකාරයට ආර්ථිකය ගියොත් අපට 28%ක හෙයාර් කට් එකක් ගත්තොත් අපේ ණය තිරසර කරන්න පුළුවන්. රට සාමාන්‍යයෙන් 3%ක විතර වර්ධනයක් ගත්තොත් තමයි ඒ තත්ත්වෙට එන්නේ. හැබැයි අපි 5%ක් ගත්තොත් එතකොට ණය දෙන කෙනා උපකල්පනය කරන්නේ 3%ක වර්ධනයක් තිබුණොත් අපත් 28%ක් අඩු කරනවා. එතකොට අපි ගෙවන්න තියෙන්නේ 72%යි. යම්කිසි ආකාරයක අපි ඊට වඩා හොදින් කළොත් 3% වෙනුවට 5% දක්වා යනවා. ඒ කියන්නේ රජයට ආදායම තව වැඩි වෙලා. ගෙවන්න තියෙන හැකියාව තව වැඩි වෙනවා. එහෙම අවස්ථාවකදී අපි හිතන්නේ 3%ක් ගියොත් අපි 28%ක් දෙනවා. ඒක තමයි තිරසර කරන්න තියෙන්නේ හැබැයි වැඩිපුර අප 5% ක වර්ධනයකට ගියොත් ඒ වැඩිවෙන වාසියෙන් යම්කිසි කොටසක් ඒ අවස්ථාවේ දී බැඳුම්කර හිමියන්ට දෙන්න කියලා. එතකොට 28% කියන හෙයාර් කට් එක 20%ට අඩු වෙන්න පුළුවන්.
ඒ වගේම වර්ධනය 3%ට අඩු වුණොත් එගොල්ලෝ කියනවා අපිට 28% නෙමෙයි 35%ක් හෝ 40%ක් හෙයර් කට් ලැබෙනවා. මෙහිදී අපට යම්කිසි ආකාරයක ආරක්ෂාවක් තියෙනවා. යම්කිසි හේතුවකින් අප රටේ ආර්ථික වර්ධන වේගය අඩු වුණොත් ණයකරුවා අපට දීපු ණය සහනය තව වැඩි කරන්නත් එකඟ වෙන විදියේ එකගත්වයක් මෙහි තිබෙනවා.

ප්‍රශ්නය
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මේ වන විට සාධනීය මට්ටමක දැන් ඉන්නවාද ?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

අනිවාර්ය්‍යයෙන්ම අපි ඉන්නවා. ඒකට එක උදාහරණයක් තමයි කාලයක් තිබුණ බැංකු පද්ධති කඩන්වැටෙයි කියලා. දැන් ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වන වට රට පැවැති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක තියෙනවා. දෙවැනි කාරණය තමයි සේවක අර්ථසාධක අරමුදල නැති වෙයි, ශුද්ධ ලාබය ලෙසඊට 9% ක පොළියක්වත් ගෙවාගන්න බැරි වෙයි කියලා මතයක් තිබුණා. මට කියන්න ඉතාම සතුටුයි 2023 වසරට අප 13%ක පොළියක් ගෙවා තිබෙනවා. නමුත් පසුගිය 2018,2019,2020,2021 වසරවල ප්‍රතිව්‍යුගත කිරීමක් සිදු නොකළත් 9%ක් පොළියක් ත.මයි ගෙවා තිබුණේ. මේ වසරේ ප්‍රතිලාභ විදියට අපි දැනටමත් සේවක අර්ථසාධක හිමියන්ට එගොල්ලන්ගේ ගිණුමට තිබුණු ශේෂය එහෙම තියෙද්දී 13%ක පොළියක් ප්‍රතිලාභය ලෙස එකතු කරලා ඉවරයි. 2024 වසරේත් හොඳ ප්‍රතිලාභයක් දෙන්න පුළුවන්.

ප්‍රශ්නය
ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ එළැඹුණු එකඟතාවයන් නිසා රටට අහිතකර බලපෑම් එල්ල විය හැකිද?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා
ණය ගෙවීමේ අපහසුතා නැති කරගෙන දීර්ඝ කාලීනව ද්විපාර්ශ්වික අයගෙන් ඉතාම දීර්ඝ කාලයක සහනයක් අපට ලැබී තිබෙනවා. එයින් අපේ ණය ගෙවීමේ හැකියාව ශක්තිමත් වෙලා තියෙනවා. අප ඊළග අවුරුදු පහ තුළ ගෙවන්නේ පොළිය විතරයි. ඊටපස්සේ ඉඳලා තව අවුරුදු පහක් ඇතුළත කොටස් වශයෙන් එය ගෙවනවා.

එතකොට විශාල කාලසීමාවක් තියෙනවා අපට. දැන් ණය ගෙවීම පටන් ගන්නකොට නැවතත් අර සාමාන්‍ය තත්ත්වයට ජපානය, ඉන්දියාව, චීනය ඇතුළු තවත් රටවල් විසින් මෙරට ආරම්භ කළ පසුගිය සමයේ ග තාවකාලිකව අත්හිටවූ ව්‍යාපෘති නැවත පටන් ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වෙනවා. එයත් රටේ සංවර්ධනයට ඉවහල් වෙනවා.

ප්‍රශ්නය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාධනීය මට්ටමක තියෙනවාද?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

ඔව් පළමු අවස්ථාවේදී අපේ යෝජනා සහ ඔවුන්ගේ යෝජනා අතර දුරස්ථභාවයක් තිබුණා. නමුත් මෙවර සාකච්ඡා යහපත් තත්ත්වය තිබෙනවා.

ප්‍රශ්නය
වැටුප් වැඩිකිරීම වෙනුවෙන් මෙන්ම වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් ඉල්ලමින් වර්ජන ක්‍රියාමාර්ග කිහිපයක් දියත්ව තිබෙනවා. ඒ පිරිසට ලබාදෙන පණිවුඩය කුමක්ද?

පිළිතුර
‍ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

මම මහා භාණ්ඩාගාරයට යනකොට තිබුණු තත්ත්වය අපිට ඩොලර් තිබුණෙත් නැහැ. ප්‍රමාණවත් තරමට රුපියල් තිබුණෙත් නැහැ. ඉතාම අමාරු තත්ත්වයක් යටතේ තමයි මෙතැනට පැමිණ තියෙන්නේ. එදිනෙදා කටයුතු කරගෙන යාමේ දී තිබෙන පීඩනය තාමත් අඩුවෙලා නැහැ. ඒ නිසා තමයි මම කතා කරනකොටත් කියන්නේ මේ කාලසීමාව ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයක් බව. වැටුප් වර්ධක වැටුප් විෂමතා හරිගස්සන්න කියලා වර්ජන දියත් වෙනවා. ඒක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග විදියට මම නම් ප්‍රශ්නයක් දකින්නේ නැහැ. මොකද ඒ අයටත් වෘත්තීය ගැටලු වගේම ආදායම් පිලිබඳ ගැටලුත් තියෙනවා. නමුත් රටේ හැමෝටම ආදායම් පිළිබඳ ගැටලුව තියෙනවා. තාමත් අප ආර්ථික වශයෙන් යම්කිසි මට්ටමකට පැමිණියත් තිබෙන පීඩනයේ අඩුවක් වී නැහැ. ඉතින් ප්‍රශ්නය තියෙන්නේ අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියලා. මේක ඉවසිය යුතු කාලයක් කියලයි මම දකින්නේ. බොහෝම අමාරුවෙන් තමයි මේක අපි මෙතැනට ගෙනැල්ලා තියෙන්නේ. බොහෝම අමාරුවෙන් තමයි තවමත් තවමත් වැටුප් ගෙවලා, අනෙක් දිමනා දීලා ආර්ථිකය පවත්වාගෙන යන්නේ.
අමාරුවෙන් කළමනාකරණය කරගෙන යන තැනකට තවත් පීඩනයක් ඇති කළොත් මොකක්ද වෙන්නේ.
පියවරෙන් පියවර තමයි මෙතැනට ගෙනාවේ. යම්කිසි ආකාරයට පුපුරා යාමට තියෙන ඉඩ කඩ හොඳටම වැඩියි. නමුත් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. 2025දී වැටුප් වැඩිකිරිමක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය
අවසාන වශයෙන් රාජ්‍ය නිලධාරින්ට වගේම පොදුවේ මහජනතාවට දෙන පණිවුඩය කුමක්ද?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

අපි අමාරු තැන ඉඳලා මෙතැනට එනකොට යම්කිසි වැඩපිළිවෙළක පැමිණ තියෙනවා. ණය දුන් පාර්ශවයන් වගේම අයි.එම.එෆ් ආයතනට එකඟව තිබෙනවා වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න.
මොනම රජයක් වුවත් මේ වැඩපිළිවෙළේ සිට රට නැවත අගාධයට නොවැටීම වග බලා ගැනීම ඉතාම වැදගත්. ජනතාවට අවබෝධයක් තියෙන්න ඕන මේ යන දිශාව පිළිබඳව. මේ දිශාවේ ස්ථායිතාවය තියෙන්න ඕන.
අපි කවුරුත් කැමති නෑ පසුගිය සමයේ අත්විදපු අර්බුදය නැවත එනවට. ඒ නිසා තීන්දු තීරණ ගැනීමේදී ක්‍රියාත්මක වීමේදී ඉතාමත් සබුද්ධිකව කටයුතු කරන්න ඕන.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා
අපි කල්පනාවෙන් මේ යන ගමන් මග යන්න ඕන. අපි 2022 අයිඑම්එෆ් එකට ගියේ ඇයි කියලා මම අහනවා. සමහරු කිව්වා අයිඑම්එෆ් එකට ඕන නෑ. වෙන විකල්ප තියෙනවා කියලා. අපිට යන්න සිද්ධ වුණා. අපි රටේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ නොතිබුණ නිසා. එය අර්බදුය පැමිණීමට ලොකු බලපෑමක් කළා. ආර්ථිකයේ තියෙන දුර්වලතා හඳුනාගෙන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. සමහර ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජනතාවට පීඩනයක් ඇති වෙනවා. නමුත් මේ අවස්ථාවේ පීඩනය දැරීමෙන් අප ශක්තිමත්ව ඉස්සරහට යන්න පදනමක් හදාගන්නවා.
අපි මෙච්චර කල් අනාගත පරපුර බිල්ලට දීලා මේ පරපුරෙන් හොද ජීවිතයක් ගත කළා. එහෙත් අද ඉන්න පරපුර කැප කිරීමක් කරන්න ඕන, ඊළඟ පරම්පරාවට හොඳ රටක් ඇති කරන්න. අවස්ථාව අපි ප්‍රතිසංස්කරණ කරන්න අවස්ථාවක් කරගන්න ඕන. 2027 වෙනකොට අපිට පුළුවන් වෙන්න ඕන දෙපයින් හිටගන්න.

ප්‍රශ්නය
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන තවමත් අපි දිහා හොඳට බලන්නේ නැත්තේ ඇයි?

පිළිතුර
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා
මේ වෙනවිට අපි ඉන්නේ යම් ආකාරයක restrictive default and selective default කියන ණයෙන් කොටසක් ගෙවන්නේ නැති තත්ත්වයේ ඉන්නේ. පළවෙනි පියවර මේ තත්ත්වයෙන් එලියට යන එකයි. එලියට යන්න නම් ප්‍රතිව්‍යුගහකරණය සම්පූර්ණ කළ යුතුයි.
ඉතුරු ටික බලපාන්නේ කොච්චර දුරට අපි ඒ වැඩසටන සාර්ථකව කරාද යන්න ප්‍රතිඵල අනුවයි. කෙටි කාලයකින් අපට මෙතනින් එලියට එන්න පුළුවන්. ඒ අනතුරුව. B , BB, BBB ලෙස වර්ගීකරණවල ඉදිරියට යන්න පුළුවන්.

ජනාධිපති මාධ්‍ය අංශය
2024. 07. 06

Leave a comment

Gossip

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

Connet With Us