ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂි නවීකරණය - සාගල රත්නායක Featured

Saturday, 06 July 2024 12:37

ලෝකයේ ජීවය බිහිවූ දා ඉඳන් සෑම ජීවියෙකුගේම නොනැසී පැවැත්ම සඳහා අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන්ගෙන් එකක් වන්නේ ආහාර. එතැනදී අනෙක් ජීවීන්ට වඩා සංකීර්ණ ආහාර රටාවක් හිමි මිනිසාට ආහාර නිෂ්පාදනයත්, සපයාගැනීමත් වෙනුවෙන් වැඩි අරගලයක් කරන්න සිදුවෙලා තියෙනවා. කොහොම වුණත් මේ ආහාර ක්‍රියාවලිය ලෝකයේ හැම තැනකටම එකම විදිහට පවතින්නේ නැහැ. සමස්තයක් විදිහට ආහාර හිඟතාව අද ලෝකයේ මූලිකම අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.


ලෝකය සංවර්ධනයේ ඉහළ අවධියක සිටියත්, මිලියන සිය ගණනක් මිනිස්සු කුසගින්නේ දුක් විඳිමින් ලෙඩ රෝග වලට ගොදුරුවෙලා මිය යනවා. අද ලෝකය හමුවේ තිබෙන දැවැන්ත අභියෝගයක් වෙලා තියෙන්නේ මේ ගැටළුව විසඳුමක් සොයාගැනීමයි.

ගෝලීය මට්ටමෙන් කුසගින්න පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘති ගනනාවක්ම ක්‍රියාත්මකව තිබෙනවා. මේ සඳහා ප්‍රමුඛ කාර්යභාරයක නියැලෙන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ඉලක්කය වන්නේ, සැමට ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කරගැනීම සහ ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්ත්වයේ ආහාර සඳහා මිනිසුන්ට නිතිපතා ප්‍රවේශය ඇති කිරීම.

සාමාන්‍යයෙන් තමන්ගේ රට තුළ ආහාර අවශ්‍යතාවය නිසියාකාරව සපුරාගැනීමේ හැකියාව බොහෝ රටවලට නැහැ. මේ නිසා ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. නමුත් මෑත කාලයේ ලෝකයට මුහුණ දෙන්න වුණ දේශගුණික කාලගුණික විපර්යාස, වසංගත තත්වයන්, යුද්ධ ආදිය නිසා ආහාර නිශ්පාදනයන් කඩා වැටුණා, ගෝලීය සැපයුම් ජාල බිඳ වැටුණා, ආහාර හිඟයත් එක්ක ආහාර මිළත් වැඩි වුණා. ඉන්ධන, පොහොර, කෘෂි යෙදවුම් උපකරණ මිළ වැඩි වුණා, ශ්‍රමික වැටුප් වැඩි වීම් වගේ ගැටළු නිසා ආනයනයන් මත ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම අවදානමකට ලක් වුණා. මේ නිසා තමන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් තම රට තුළම නිශ්පාදනය කරගැනීමට බල කළ තත්වයක් සෑම රටකටම වගේ ඇති වුණා.

ශ්‍රී ලංකාවටත් මේ ගෝලීය බලපෑම දැඩිව සිදු වුණා. රට මුහුණ දුන්න කොඩිඞ් වසංගතය, ආර්ථික අර්බුදය, කාබනික පොහොර ව්‍යාපෘතිය වැනි දේවල් නිසා මෙරට ආහාර සුරක්ෂිතතාවය තවත් දරුණු අවදානමකට ලක් වුණා. මේ නිසා නැවත රට ගොඩනැංවීමේ ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ ආහාර සුරක්ෂිතාවය තහවුරු කරගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ක්‍රියා මාර්ග රැසක් ගෙන තියෙනවා. ඒ අතර කෘෂි නවීකරණ වැඩසටහන වේගවත් කිරීම ප්‍රමුඛ පියවරක්.

ආහාර සුරක්ෂිතතාව කියන්නේ, පෝෂ්‍යදායී සහ ප්‍රමාණවත්ව පහසුවෙන් ආහාර ලබාගැනීමට පුද්ගලයාට ඇති හැකියාව මනින මිනුමක්. මෙහි දී සලකා බැලෙන ප්‍රධාන කරණා හතරක් තියෙනවා. ආහාර ලබාගැනීමේ හැකියාව එනම් සැපයුම නියමාකාරයෙන් තිබිය යුතුයි. වෙළඳපොළ සහ මිල ගණන් සාධාරණ ප්‍රතිපත්ති මත තිබිය යුතුයි. ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ලබාගැනීමට හැකි විය යුතුයි. ඒ වගේම අයහපත් කාලගුණික තත්ත්වයන්, දේශපාලන අස්ථාවරත්වය හෝ ආර්ථික සාධක වැනි තත්වයන් ආහාර ලබාගැනීමේ හැකියාවට බාධාවන් වෙන්න බැහැ. ආහාර සුරක්ෂිතතා අරමුණු සාක්ෂාත් කරගැනීමට මේ කරුණු හතරම එකවර ඉටු විය යුතුයි.

මේ වෙනුවෙන් මේ රටේ ක්‍රියාත්මක වුණු දීර්ග කාලීන වැඩපිළිවෙල තිබුණා. නවසිය තිස් ගනන් වන විටත් වැඩි අවධානයක් යොමු වෙලා තිබුණේ වැවිලි ආර්ථිකයට නිසා අපේ ආහාර භෝග වගාවන් මඟ හැරිලා තිබුණේ. මේ නිසා රටේ ආහාර අවශ්‍යතාවයෙන් වැඩිම පංගුව ආනයනය කිරීම සිදු වුණා. ඒ යුගයේ පැන නැඟුන ලෝක යුද්ධය, ගෝලීය ආර්ථික අර්බුද නිසා ආහාර ප්‍රශ්නයට අපිත් මුහුණ දුන්නා. මේ නිසා මෙරට කෘෂිකර්මාන්තය නංවාලිමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. එදා වගාවන් සඳහා රජයේ ඉඩම් බෙදා දීම, වාර්මාර්ග සංවර්ධනය, කෘෂි උපදේශන සහ වෙනත් පහසුකම් සැලසීම, සහනාධාර ලබා දීම සිදු වුණා. අදටත් මෙවැනි ව්‍යාපෘති අඛන්ඩව සිදුවෙමින් තිබෙනවා.

නමුත් දැන් මේ ක්‍රමවේදයේ සීමාවකට අප පැමිණ තිබෙනවා. මේ රටේ ඉඩම් වලින් වගා කළ හැකි ඉඩම් තිබෙන්නේ සියයට 50 කට අඩු ප්‍රමාණයක්. මේ ප්‍රමාණයෙනුත් සියයට 80 වඩා අක්කරයේ හමාරේ කුඩා වගා ඉඩම්. ඒත් මේ ඉඩම් පවා නිසියාකාරව වගාවට යෙදවෙන්නේ නැහැ. අද කෘෂිකර්මයේ දී වැදගත් වෙන්නේ භූමියේ උපයෝගිතාවය, වැඩි අස්වැන්න සහ ශ්‍රමයේ උපරිම ඵළදායිතාවය අත්පත් කරගැනීමයි.
ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 27 ක් විතර කෘෂිකර්මයේ යෙදි සිටිනවා. නමුත් මේ නිශ්පාදනය, රටේ දළ දේශීය නිශ්පාදනයට එකතු වෙන්නේ සියයට 9 ක තරම් අඩු මට්ටමේ එකක්. විශාල පිරිසක් කෘෂිකර්මාන්තයේ යෙදී සිටීමත්, නිශ්පාදන ආදායම අවම වීමත් නිසා ඒ ආදායම් බෙදිලා ගිහිල්ලා ඒක පුද්ගල ආදායම තවත් අඩු වෙනවා.

මේ නිසා කෘෂිකර්මය කියන්නේ හොඳම ආදායම් මාර්ගයක් නොවෙයි. සාමාන්‍යයෙන් දියුණු රටවල කෘෂිකර්මයෙහි යෙදි සිටින පිරිස සියයට පහක දහයක තරම් ප්‍රමාණයක්, ඒ වගේම ජාතික ආදායමට විශාල පංගුවකින් දායක වෙනවා. ඒ නිසා ඒ රටවල ගොවියා කියන්නේ ඉහළ ආදායම් ලබන කෙනෙක්.
කොහොම වුණත් වගාවේ ශ්‍රමිකයන් අඩු කරන එක හෝ, වගා බිම් වැඩි කරන එක ආදායම් ගැටළුවට නිසි විසඳුමක් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ අස්වැන්නේ, භූමියේ සහ ශ්‍රමයේ ඵලදායිතාවය වැඩි කරන ක්‍රමවේද හරහා වැඩි ආදායම් උපයගන්න ගොවියාට අවස්ථාව හදලා දෙන එක. ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන ‘උරුමය’ වැනි වැඩසටහන් දැනට ක්‍රියාත්මක වෙනවා.

මේ ආදී ක්‍රියාමාර්ග හරහා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම වත්මන් කෘෂි නවීකරණ වැඩසටහනේ අරමුණක්. නමුත් මේක අභියෝගයක්. සාම්ප්‍රදායික කෘෂිකර්ම ක්‍රමවේද වෙනස් කරන එක, දවසෙන් දෙකෙන් කරන්න බැහැ. රටේ ආර්ථික, වෙළඳපොළ සාදක, සමාජ සංස්කෘතික ආකල්ප ගැනත් බලන්න වෙනවා.

ඒ වගේම අපි මුහුණ දෙන තව ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඒ අතර වගා විනාශයට හේතු වෙන කාලගුණික තත්වයන්, වන සතුන්ගේ හානි අවම කරගැනීම මුලිකවම සිදුවිය යුතු දේවල්. අනෙක් ප්‍රධානම ගැටලුව තමයි අස්වැන්න විනාශ වීම, සාමාන්‍යයෙන් මේ රටේ අස්වැන්නෙනුත් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් ගොවිබිමෙන් වෙළඳපොළ හරහා පාරිභෝගිකයා අතට පත්වෙන කාලය තුළ දී විනාශ වෙනවා. මේ නිසා ගොවියාට වෙළෙන්දාට වෙන පාඩුවත් පාරිභෝගිකයාට ගෙවන්න සිදුවෙනවා, මේකෙන් ආහාර හිඟයත් මිළත් වැඩි වෙනවා. මේවාට නිසි විසඳුම් අවශ්‍යයි.

ඒ වගේම ජලයේ සහ භුමියේ උපරිම ඵලදායිත්වය අත්පත් කරගන්න ක්‍රම, පාලිත තත්වයන් යටතේ වගා කිරීමේ ක්‍රම, කාලගුණික තත්වයන්ට මුහුණ දිමේ හැකියාව ඇති බෝග ප්‍රභේද හඳුනාගැනීම, වැඩි දියුණු කළ වැඩි අස්වනු බීජ වර්ග නිපදවීම, ඒ සඳහා පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීම ආදිය විය යුතුයි. වඩා කාර්යක්ෂම පොහොර හා අනෙක් රසායනයන් හඳුනාගැනීම විය යුතුයි.
වගා ණය, කෘෂි රක්ෂණ, කෘෂි ව්‍යවසායකත්වය වැනි දේ තවදුරටත් ශක්තිමක් කිරීම, ආනයන ඉලක්ක කළ ආහාර ආශ්‍රිත නව නිශ්පාදනයන් බිහිකිරීම, නවීන තාක්ෂණික මෙවලම් භාවිතය, ඩිජිටල් තාක්ෂණයේ සහය ලබාගැනීම වැනි බොහෝ දේ කෘෂිකර්ම නවීකරණය වෙනුවෙන් කළ යුතුව තිබෙනවා.

දේශගුණික විපර්යාස, ගෝලීය දේශපාලන හා ආර්ථික අර්බුද යනාදිය ගැන පෙරදැක්මක් සහිතව රනිල් වික්‍රමසිංහ මහතා මේ කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කළේ 2015 වගේ කාලයක දීය. නමුත් අපේක්ෂිත වැඩපිළිවෙලට වඩා අනපේක්ෂිත වේගයකින් විවිධ අර්බුද උත්සන්න වුණා. මේ නිසා අනාගත අභියෝග ජයගන්න වඩා වේගයෙන් මේ කෘෂි නවීකරණය රටට අත්පත් කරගත යුතු වෙලා තියෙනවා. එය සාර්ථක කරගැනීමේ අභියෝගයට සියළු පාර්ශ්වවල සාධනීය මැදිහත්වීම විය යුතුයි. එනිසා ප්‍රෞඩ කෘෂි ආර්ථිකයක් තිබුණු පෙරදිග ධාන්‍යාගාරය විදිහට නම් දරාපු රටත් විදිහට, කුසගින්න අවම, සෞභාග්‍යවත් ජීවන රටාවක් රටේ ජනතාව වෙනුවෙන් නැවත නිර්මාණය කරන්න අපි සැවොම එක්ව කැපවීමෙන් වැඩ කරමු.

 

සාගල රත්නායක
මතාන්තරය
ඉරිදා ලංකාදීපය
07.07.2024

Leave a comment

Gossip

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

Connet With Us