ඒ නයා සහ මේ නයා

Tuesday, 14 July 2015 10:49

එක්තරා කැලයක නාගයෙක් ජීවත් උනා. නමුත් ඒ නාගයා තීරණය කළා මම අනිත් නයි වගේ වෙන්නෙ නැහැ. වෙනස්ම වෙනස් නයෙක් වෙනවා කියලා. මොකද නයා කිව්ව ගමන් මිනිස්සුන්ට එන්නෙ මාරාන්තික බයක්. නයෙක් දැක්කොත් එහෙම පණ එපා කියලා දුවනවා. නැත්නම් නයා ට ‍වැඳලා කණ්නලව් කරලා කියනවා අනේ නයි හාමී අපිටනම් කරදරයක් කරන්න එපා කියලා. නයා ව මරන්න තියා කිට්ටුවෙන්නවත් මිනිස්සු බයයි. මොකද කියමනකුත් තියනවෙන් නයාට ගහල පොල්ල වරද්ද ගත්තා වගේ කියලා. ඉතින් මෙන්න මේ කරුණු කාරනා නිසා අපි මේ කියන්න යන කතාවේ ඉන්න නාගයා හිතනවා, මෙච්චර කාලයක් මිනිස්සු නයා ගැන හිතාගෙන ඉන්න මෙන්න මේ ආකල්පෙ වෙනස් කරන්න ඕන. ඉතාම සාධාරණ වෙනස්ම වෙනස් නයෙක් වෙන්න ඕන කියලා.

ඉතින් මේ නයා ජීවත්වෙන කැලෑවට නිතරම වගේ ගමේ ඉන්න ගෑනූ මිනිස්සු එහෙම යනවා එනවා යම් යම් උවමනාවන් වලට. බේතක් හේතක් හොයාගන්න, පලා කොළ නෙළන්න, දර එකතුකරන්න වගේ දේවල් වලට. මිනිස්සු එහෙම යද්දි එද්දි මේ නාගයා එහෙමත් නිතරම එහෙදි මෙහෙදි දකිනවා. ඒත් අපේ මේ නාගයා නෙමෙයි ඒ කාටවත් කිසිම විදියක කරදරයක් කරේ. නාගයෙක් නෙමෙයි වගේ ඔහේ පාඩුවෙ ඉන්නවා. මනුස්සයෙකුට දෂ්ඨ කරනවා තියා නිකං නිකමට පේනේවත් පුප්පන්නෙ නැහැ. ඒ මදිවට අත් වැරදිමකින් හරි කාටහරි නයා පෑගුණා උනත් මේ නයා නෙමෙයි කිසිම දෙයක් කරන්නෙ. උගේ පාඩුවේ ඔහේ ඉවසගෙන පැත්තකට යනවා. ඉතින් මෙහෙම කාලයක් යනකොට අර මිනිස්සුන්ට මේ නාගයා ගැන කිසිම බයක් නැතුව ගියා. මිනිස්සු තමන්ට කැමති විදියට කැලේට වැදිලා තමන්ගේ වැඩ රාජකාරී කරගත්තා. එක දවසක් මෙහෙම කැලේට දර හොයන්න ගියපු ගෑනූ කෙනෙක්ට පුංචි අවුලක් උනා. ඒ මොකද දර මිටිය බැඳගන්න ලණුවක් අරගෙන එන්න එයාට අමතකවෙලා තිබුණා. දර ටික එකතු කරලා ඉවර උනාට පස්සෙ තමයි එයාට ඒක මතක් උනේ දර මිටිය බැඳගෙන යන්න ලණු‍වක් ගෙනාවේ නැහැ නේද කියලා. ඉතින් ඒකට මොකද කරන්නෙ කියලා හිත හිත ඉන්නකොට, අන්න අර නාගයා ඒ ළඟින්ම ඇදිලා යනවා දැක්කා. ඉතින් මේ ගෑනී ඒ නයාව අල්ලගෙන, නයාගෙන්ම දර මිටියත් බැඳගෙන ගෙදර ගියා.


ඉවසන්න ඉවසන්න තමන්ට අත්වෙන මේ කරදර හිරිහැර ඉවසන්නම බැරි තැන මේ නාගයා ගියා දෙවියෝ මුණ ගැහෙන්න. ගිහින් තමන්ගෙ දුක් ගැහැට, විදින්න වෙන කරදර හිරිහැර එහෙම දෙවියොන්ට කිව්වා. එතකොට දෙවියෝ නාගයට මෙහෙම කිව්වා...ඔයා නයෙක්... දෂ්ඨ නොකරාට කමක් නෑ. හැබැයි ඉඳල හිටලා ඔය පෙණේ හරි පුප්පලා තමන් නයෙක් කියලා මිනිස්සුන්ට අඟවන්න. ඒකට තමයි තමුන්ට පෙණයක් දීලා තියෙන්නෙ කියලා.

විධායක ජනාධිපති ක්‍රමය කියන්නෙත් කැමතිනම් පන්නා පන්නා දෂ්ඨ කරන්න පුළුවන්, ගම ම බයකරගෙන ජීවත්වෙන්න පුළුවන්, ඒ බය නිසාම දේවත්වයෙන් උනත් පිදුම් ලබන්න පුළුවන් මෙන්න මේ වගේ දරුණු නාගයෙක් තමයි. එහෙම නාගයෙක් අවුරුදු දහයක් පුරා රට පාලනය කරා. ඒ නිසා ජනතාවට තවදුරටත් එහෙම නයෙක් නම් ඕන නැහැ තමයි. ඒ නිසාම තමයි ජනවාරී අටවෙනිදා මේ රටේ ජාතී ආගම් බේදයකින් තොරව සියළුම ප්‍රගතීශීලී ජනතා බලවේග, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සියළුම පක්ෂ හා කණ්ඩායම්, සිවිල් සංවිධාන, කලාකරුවන් ආදී මෙකී නොකී සියලුදෙන එකතුවෙලා මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා බලයට ගෙනාවේ.නමුත් ඊට පස්සෙ උනේ ජනාධිපති කමට පත්වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හොඳම හොඳ නයෙක් වෙන්න තීරණය කරලා. හරියට අපි අර කලින් කියාපූ කතාවේ වගේ සද්ගුණවත් නාගයෙක් වෙන්න. කාටවත් පෑගුණා උනත්, කව්රුහරි පෑගුවා උනත් අර අපේ කතාවේ නාගයා වගේ ම කිසිම වගකට නොගෙන ඔහේ ඉවසගෙන හිටියා. දෂ්ඨ කරනවා තියා අඩු තරමේ පෙනේවත් පුප්පන්නෙ නැතුව, ඉන්න තීරණය කරලා.ඒ නිසා අන්තිමේ සිද්ධඋනේ කොහේවත් නැති එක එකා ඇවිත් තමන්ගෙ දරමිටිය බැඳගෙන යන්නත් ඒ නාගය ම පාවිච්චි කරපු එක. එහෙම උනාම නාගයා කිච වෙනවා. තමන්ගේ වාසිය ගැන විතරක් හිතන මිනිස්සු තමන්ට කැමති කැමති දේ කරනවා.


ඒ නිසා අපි කියන්නෙ, තවමත් පරක්කු නැහැ. දෂ්ඨ නොකලට කමක් නෑ. ඔබතුමා තවමත් මේ රටේ විධායක ජනාධිපතිවරයා බව මතක තියාගන්න. එහෙම කියන්නෙ අත්තනෝමතික පාලනයක් කරන්න කියලා නෙමෙයි. ඒත් ඉඳල හිටලවත් ඔය විධායකය කියන පෙණේ පුප්පන්න ඕන තැන දී පෙණේ පුප්පන්න. කොහේවත් ඉන්න කාලකන්ණි ඇවිත් තමන්ගේ දරමිටිය ගැටගහෙන යනකං ගැරඬියෙක් වගේ ඉන්න එපා. එහෙම උනොත් ඒකෙන් සිද්ධවෙන්නෙ දුර්දාන්ත ඒකාධීපති පාලනයක් ගෙනගිය රාජපක්ෂ රෙජිමය අවසන් කරලා, ජනවාරී 8 වෙනිදා මේ රටේ අතිශය තීරණාත්මක දේශපාලන සංධිස්ථානයක් සනිටුහන් කරපු, තමන්ගේ ජීවිත පරදුවට තියලා යහපාලනයක් වෙනුවෙන් දර දිය ඇදපු, කැපවුණු, 63 ලක්ෂයකට ආසන්න ජනතාවගේ ජනතා පරාමාධීපත්‍යෙය් බලය ඉතා නින්දිත ලෙස පාවාදීමක්. 63 ලක්ෂයක් ජනතාවගේ හිස් දංගෙඩියට දක්කාගෙන යෑමක්.

ඉන්දික ගුණවර්ධන

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us