ගෝටාස් ජෝක්, රටටම අඩන්න වෙන විසුළුකාරි මුග්ධ පාලනයක්.. Featured

Published in පුවත්
Friday, 20 March 2020 14:47

 බඩු මිළ පාලනයකින් තොරයි..අඩු කරපු ගනන් වලට බඩු නැත...වැඩි මිළට ගන්නද බඩු නැත...තොග පිටින් එක් ‍රැස් කරන්නෝ.. සියල්ල ‍රැගෙන ගොස්ය... හතර වටින් දොෂාරෝපණයන්ය....

වසංගතය හමුවේ රට ලොක්ඩවුන් කරන්න යැයි කිව් විට එහෙම කරන්නෙ කොහොමදැයි ඇසූ අය සිටියහ. රටේ ආර්ථිකය කඩන් වැටෙනවා යැයි කීවේය. එදා වේල හම්බ කරන් කන එකාට බඩ ගින්නේ මැරෙන්න වෙනු ඇතැයි කීහ..මෙවැනි නානා ප්‍රකාර විවේචන රැසක් තිබිණි..කොහොම උනත් අර විවේචන කවරක් වූවත් දැන් ලොක් ඩවුන් කිරීමත් කෙසේ වෙතත් රටටම දින කිහිපයක් ඇඳිරි නීතිය දමන්න රජය තීරණය කර තිබේ. අස්සයා පැන ගොස් දැන් දින ගනනාවක් වෙතත් ඉස්තාලය වසා දැමීම දැන්වත් කරමු යැයි අණ්ඩුවේ වියතුන් කල්පනා කර තිබේ.. ගින්දරට පිච්චෙන බව දැනී ඇත්තේ දැන්ය. ඒ වල්ගෙට ගිනි ඇවිලී ඇති නිසාය.

කිව්වට ලොක්ක අහන්නෙත් නෑ

කොරොනා වසංගතයෙහි අවදානම ගැන ප්‍රමාණික බුද්ධිමතුන් වෙලාසන්ම අනතුරු හඟවා තිබිනි.. සමාජ දේශපාලනික ක්‍රියාකාරිකයන් අනතුරු හඟවා තිබිනි.. හැඟීමක් දැනිමක් ඇති මිනිස්සු ඒ ගැන බිය පළ කළහ. එහෙත් ඒ වගේ වගක් නැතිව ලංකාවට කොරෝන අවදානමක් නැතැයි කියමින් දේශපාලන අධිකාරිය සිය පටු දේශපාලන ඉෂ්ඨාර්ථය වෙනුවෙන් වැඩ කරමින් ගියේය පාර්ලිමේතුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවසරය ලැබූ සැනින්ම එය හදිසියේ විසුරුවා හැර මහ මැතිවරණයකට සූදානම් විය. ඒ වන විට කොරොනා රට ආක්‍රමණය කරමින් තිබිණි. ඒ දින කිහිපය ඈතුලත දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති සූදානම කොරෝනා වෛරසය විසින් ප්‍රකට කරනු ලැබීය.. තත්වයෙහි බැ‍රැරුම් බව තේරුම් ගත්තෝ වහාම ගත යුතු පියවරයන් ගැන කියන්න පුලුවන් හැම විදිහකටම කීවේය.

සතියක් තුල ලොව වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් 44 ක් වාර්තා වූ දිනයේත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීවේ මැතිවරණය කල් දැමීමේ අවශ්‍ය තාවයක් නැති බවත් ඒ නොපැවැත්වීමට තරම් බරපතල අවදානමක් නැති බවය. ජනාධිපතිවරයා මැතිවරණය කල් දැමුවේ නැත. අවසාන වශයෙන් මිනිස්සු බලාපොරොත්තු තබාගෙන සිටියේ මැතිවරණ කොමිසන් සභාවේ තීන්දුව දෙසය. ඔවුන් නිවැරදී තීන්දුව අරගනු ලැබ තිබේ. මෙය ආණ්ඩුවේ දේශපාලන න්‍යායපත්‍රයට එරෙහි තීන්දුවකි. එහෙත් රටේ ජනතාවගේ යහපත පිණිසම වන තීන්දුවකි.

ඒ කෙසේ නමුත් අද වන විට අනතුරෙහි ප්‍රමාණය ගැන ආණ්ඩුවට තරම්ක් දැනී තිබේ. තීන්දු තීරණ ගැනීමට වූ පමාව නිසා සිදුවෙමින් පවතින අනතුර දැන් හැකි පමණින් හෝ සීමා කළ යුතු බව ආණ්ඩුවේ කිහිප දෙනෙකුට වන අවබෝධය නිසා කඩිනම් පියවරයන් ගැනීමට යොමුව තිබේ. කොහොම හරි ඒ හොඳ දෙයක් යැයි බොහෝ දෙනා සිතනු ඇත..මන්ද ජනතාවට තමන්ගේ ජීවිතය රැක ගැනීමට තිබෙන කැමැත්ත අන් සියල්ලට වඩා වැඩි බැවිනි. එහෙත් අප මෙයට පෙර පල කළ ලිපි වලින්ද අවධාරණය කළේ මේ සියල්ල අස්සෙ කැත දේශපාලන කුමන්ත්‍රණ සිදුවන බවය. දේශපාලනයේ හැටි එහෙමය. බලය අත්පත් කර ගැනීම සහ ඒ රදවා ගැනීම වෙනුවෙන් ඕනෑම බිලි පූජාවකට දේශපාලකයා සූදානම්ය.

ආපෝ ලොක්ඩවුන් බෑ

රට මුළුමන්නම ලොක්ඩවුන් කිරීමකට යෑමට ඇති නොහැකියාව තව දුරටත් පැවැතුනත්..මහ ජනතාව සාමාජීය ඒකරාශී වීමකින් වැලැක්වීම වෙනුවෙන් පියවර කිහිපයක් ගනු ලැබුවද එහෙත් ඒ සාර්ථක වූයේ නැත. මිනිස්සු ලැබුණු නිවාඩුවේ උපරීම ප්‍රයෝජනය ගැනීමෙහි යෙදී සිටීයේය.. රැකි රක්ෂා ව්‍යාපාර ආදිය නිසා මඟ හැරුණු විනෝදය සතුට අත්පත් කර ගැනීමට බොහො දෙනෙක් කල්පනා කර තිබේ. විනෝද ගමන් වන්දනා ගමන් නිවසේ උත්සව ආදියද පෙරහැරවල්, බෝධී පූජා, පිංකම් ආදියද මිනිස් ඒකරාශී වීම් ලෙස ඊයේ දිනයේ ද සිදුවෙමින් තිබිණි. නිවාඩුව බල පැවැත් වූවද රජයේ සහ පෞද්ගලික ආයතන රැසක් තවමත් ක්‍රියාත්මකය. එදා වේල හොයාගන්න කුලී වැඩ කරන මිනිස්සු කුමක් හෝ වැඩක් හොයා ගැනීම වෙනුවෙන් පාරේ රස්තියාදු ගසමින්ද තිබේ. ඒ මිනිසුන්ට සියල්ලට වඩා බඩ ගින්න නිවා ගැනීම අතිශයිම වැදගත්ය. ලාබෙට දෙන පරිප්පු හෝ සැමන් ගනන්ට හෝ වත්කමක් නැති මිනිස්සු මේ රටේ එමටය. මේ මිනිස්සු වෙනුවෙන් වහාම රජයේ මැදිහත් වීම අවශ්‍ය බව කිවයුතු දෙයනක් නොවේ. වෙනත් ස්වෙච්ඡා සංවිධාන ආදිය අපදා අවස්ථාවකදී නොමසුරුව බැරි එකා වෙනුවෙන් ඉදිරි පත් වූවත් මේ මොහොතේ ඊට අවස්ථාව නැත. එම නිසා තත්වයන් පාලනය කිරීමේ වගකීම රජය සහ රාජ්‍ය සේවකයා මතම පැටවී තිබේ. රජය ලොක් ඩවුන් කිරීමකට නොයන්නේ මේ ගැටලුවට විසඳුමක් නැති කමිනි..එහෙත් මේ වන විටත් ඒ ගැටලුව යථාර්ථයක්ව පැන නැගී ඇත.

අපි නොදන්න ලොක්ඩවුන්

අඩුම තරමින් මේ වසංගතය හමුවේ ලොක් ඩවුන් කිරීමකදී රජයක් අනුගමනය කළ යුතු ක්‍රම වේදයන් ගැන හෝ අංශු මාත්‍රයකින් සොයා බැලීමක් හෝ සිදු කර නොමැති බව අද මේ ගොටා පාලනය විසින් සිදු කරනු ලබන මාරාන්තික විගඩම් වලින් පැහැදිලිය. චිනයේ වූහාන් පලාත ලොක් ඩවුන් කිරීමේ සිට මේ වන විට ලොකයේ රටවල් නගර ගනනාවක් ලොක් ඩවුන් කිරීමකට ලක් කර තිබේ. එක එක මෝඩ බයියන් ලොක් ඩවුන් කිරීමක් කියන්නෙ වරාය ගුවන් තො‍ටු පොල වසා සියලු මිනිසුන් ගෙවල් ඇතුලට හිර කර තැබීමක් බව සිතූහ..ආහාර පමණක් නොව ජලය විදුලිය පවා නැති වෙනු ඇති බවත් කීවේය .එවැනි කතන්දර ගොඩක් කියමින් සිටියෙය. එහෙත් ලෝකයේ ලොක් ඩවුන් කිරීමකට යටත් වූ කිසිදු තැනක එහෙම දෙයක් වූයේ නැත. යම් අපහසුතාවයන්ට ලක් වීම සිදුවූවත් වසංගතය හමුවේ වන හානියට ඒවා යටත්ය. පලමු උදාහරණය චීනයේ වුහාන් පළාත ලොක් ඩවුන් කිරීමය. මිලියන 11 ක් සිටින මේ පලාත හදිස්සියෙම වසනු ලැබීය. බල්ලෙකුටවත් එම පළාතෙන් එළියට යන්නවත් පැමීණීමටත් නොහැකි වෙන ලෙස වසා දැමිනි. සියලු ආයතන වසා තැබිණි.. ඖෂධ වෙළද සැල් සහ සුපිරි වෙළඳ සැල් පමණක් විවෘතව තැබීමට අවසර ලැබිනි..එත් එහෙමයි කියා කිසිවකුට පොර කකා පෝලිම් ගානේ සිටිමින් මේවාට යෑම් ඊම් කරන්න අවසර ලැබුණේ නැත. ඒවාට සීමාවන් රැසක් පැනවිණි..සෑම සියලු දෙනාම මුහුණු ආවරණ පැළැදිය යුතු විය.. ඒත් ඒවා කිසිවකුට හිඟ වූයේ නැත ආහාර පාන ඖෂධ හිඟ වූයේද නැත..මේ මිලියන 11 ම රජයේ නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් විය..කිසිවකුට බඩ ගින්නෙ සිටීමට ඉඩ දුන්නෙ නැත. ආහාර සලාක බෙදා හැරීම වෙනත් රෝගීන්ට අවශ්‍යය ඖෂධ ආදිය ලබා ගැනීමේ පහසුකම් සැලසිනි.. ජන ජීවිතය කඩන් නොවැටෙන පරිදී ඒ සියලු අනිවාර්ය අවශ්‍යතා ඉ‍ටු කිරීමට රජය මැදිහත් විය. ලොව අනෙක් රටකත් තත්වයන් එසේ විය. ඉතාලි රජය කුලියක් මලියක් කරගෙන ඉන්නා මිනිසුන්ට යැපීම සඳහා මුදල් ලබා දීම පවා සිදු කර තිබිණි.

ඇඳිරි නීතිය දැමීමේ හේතුව

එහෙත් අද මෙහෙ දේවල් සිදු වන්නේ කිසිදු පූර්ව සැලසුමක් අනුව නොවේ.. හිතෙන හිතෙන වෙලාවට ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වෙමින් පවතී. ඇඳිරි නිතිය පැනවීමට ගත් තීන්දුවේ අර්ථය කුමක්දැයි මේ ආණ්ඩුවේ කිසිවකුට නැති බව කැට ඇතිව කිව හැක. ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළා මිස එහි ප්‍රතිපලය අතුරු ප්‍රතිපල ගැන ආණ්ඩුව කල්පනා කර නැත.එහෙම කල්පනා කළා නම් මේ ලියන මොහොතේත් සුපිරි වෙළඳ සැල් වල සිට ගමේ කඩපිළ දක්වා මිනිස්සු පොර කකා බඩු ගන්නේ නැත. ඊට අවස්ථාවක්වත් ලැබෙන්නේ නැත..අද දවස යනු රට පුරා කොරොනා වෛරසය බෙදා හැරීමේ දිනය ලෙස හැඳින් වූවත් වැරදි නැත..මන්ද එය ලෙසටම සිදු වෙමින් පවතින බව පැහැදිවම දකින්න ලැබෙන බැවිනි.

මිලිටරි ජුන්ටාව

රටේ පවතින්නේ අරාජිකත්වයක් බව පිළිගැනීමට සිදුවන තරටම ආණ්ඩුවේ ක්‍රියාවලීන් විගඩම් සහගත වී තිබේ. ආණ්ඩුවට සත්‍ය වශයෙන්ම මෙතනදී ආණ්ඩුව යැයි කීවද ආණ්ඩුවක් නැත. අඩු ගානේ ආණ්ඩුවේ සෞණ්‍ය ඇමැතිවරියවත් නැත. ඇය ආණ්ඩුව නියොජනය කරන්නේ මාධ්‍ය ප්‍රකාශකවරයකුගේ කාර්ය බාරය පමණය. දැන් රටේ පාලනය ඇත්තේ ගොටාබය සහ ඔහුගේ මිලිටරි ජුන්ටාව සතුවය..ඉදිරියට කරන කියන සියලු දේ ඒ අනුව සිදුවෙනු ඇත. ගොටාබය ආසා කරන වර්ගයේ පාලකයකු වීමෙ අවස්ථාවද ඔහුට මේ අනුව ලැබී තිබේ.. ඔහු කැමති වූයේ ඒකාධිපතියකු මෙන් වැඩ කරන්නය. නියෝග දෙන්නය. ඒ වෙනුවෙන් ඔහුට නිලධාරීන් කිහිප දෙනකු ප්‍රමාණවත්ය. මිලිටරි බල ඇණියක් ප්‍රමාණවත්ය. දැන් ඒ විදිහට වැඩේ සිදු වෙමින් තිබේ.

මැතිවරණ වාසිය

ඒ අනුව හෙට අනිද්ද වන විට කොරොනා වෛරසයේ ප්‍රචණ්ඩත්වයේ උපරීමයට ලඟ වනවා සේම තමන්ට හැකී උපරීමයට ගොටාබය ලඟා වෙනු ඇත. කොරොනා ඒ උපරීමයෙන් පසුව අවාට වඩා වේගයෙන් ආපසු යනු ඇත. එහි හැසිරීම අනුව ස්වභාවික පාලනයකට යටත්වනු ඇත. එහෙත් මේ අවස්ථාවේදී බලයේ උපරීමයේ ඉන්න ගොටා සහ මිලිටරි ජුන්ටාව එය තමන් ලැබූ ජයග්‍රහණයක් ලෙස සිය උපරීම හැකියව පාවිච්චි කර උත්කර්ෂයට නංවනු ද ඇත. ගොටාබය සිය මිලිටරි ජුන්ටාව සමඟ ඒකාධිපති පාලනයකටද උත්සහ දරණු ඇත. විපක්ෂ කණ්ඩායම් ඊට ඉඩ දී බලා සිටිනවාද සැකයක් ද තිබේ.

එහෙත් ඒ එසේ නැතත් මේ වන විට විපක්ෂ දේශපාලනය ව්‍යාකූල බාවයද ගොටාගේ පාලනයට වාසියක් වෙනු ඇත.. විපක්ෂයෙ නන්නත්තාර වීම තුල මේ සිදුවෙමින් පවතින දේශපාලන සුත්‍රය තේරුම් ගැනීමේ හැකියාවක් විපක්ෂයට නැති බව වඩා පැහැදිලි කාරණයයි. වළවල් දහයකට පමණ වැටී සිටියත් තවම මොළය පෑදී නැත. අඩු තමින් මේ වසංගත මොහොතේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හඬක් නැගීමටවත් එතරම් මහන්සියක් නොගෙන කල් මරමින් සිටීම අනාගතයේ අත් පත් කර ගත හැකිව තිබෙන දේශපාලන වාසියද අත් හැර තිබේ. සමහර විට මේ වගේ වෙලාවක හොඳ බබාලා වීම වෙනුවෙන් එහෙම කරනවාද විය හැකිය. ඒ ඔවුන්ගෙ තේරීමය.

කොහොම වුණත් මේ සියල්ල සිදුවනු ඇත්තේ මහා විනාශයකින් පසුවය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us