වසංගතයට මුවාවී කැත දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මකයි...! Featured

Published in පුවත්
Thursday, 19 March 2020 12:23

සමාජ ජාලා තුලින් කොරෝනා පිළිබඳව බොරු ප්‍රචාර සිදු කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත්, දුරකථන ඔස්සේ (ඇමතුම්, කෙටි පණිවිඩ) එසේ කරන අයටද නීතිය ක්‍රියාත්මක වන බවත් රජය විසින් දැනුම් දී තිබේ.

මෙසේ පැතිරවිය හැකි අසත්‍ය ප්‍රචාරයන් මොනවාද..? ගැටළුව එයය. පසුගියදා එහෙම අසත්‍ය ප්‍රචාර යැව්වා කියා එකෙකු හෝ දෙන්නෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ බවත් වාර්තා වී තිබිණි.. එහෙත් ඔවුන් පැතිර වූවා යැයි කියන අසත්‍යයන් ඔවුන් අධිකරණයට පමුණුවන විට සත්‍යය වී තිබිණි. ඒ කොරෝනා වෛරස් අසාදිතයන් ගැන කිව්ව ගනන් හිලව්ය.. මිනිස්සු මේ වසංගතය හමුවේ බරපතල ලෙස බිය වී සිටී. වෛරසයේ තරම අනුව මිනිස්සු බිය විය යුතුය. ඒත් රජයේ ප්‍රමාණවත් මැදිහත් වීමක් නැති වන විට ඒ බිය වැඩිවේ. කටකතා පැතිරෙයි. ඒ වැලැක්විය නොහැකියි. ඒ අතරේදී මේ වසංගතය ගෙන මිනිසුන් බය කරන ප්‍රකාශ නිකුත් කරන වුන්ට එරෙහිවද දඬුවම් කරනවා යැයි ආණඩුව කියයි. ඒ කියන්නෙ මේ වසංගතයට අප කිසිවකු බිය නොවිය යුතු බවය. ආණ්ඩුව කියන දෙයක් අහගෙන ඒ දිහා බලාගෙන අප බිය නොවී සිටිය යුතුය. ආණ්ඩුවට අනුව තවම වසංගතයක් නැත. බරපතල තත්වයක් නැත. බිය විය යුතු නැත. මේ වසංගතයක් බවත් ඊට රටම ඒකාවන්ව මුහුණ දිය යුතු බවත් බල දේශපාලනය මේ මොහොතට ගැලපෙන්නේ නැති බවත් ඒ නිසා ආණ්ඩුවේ ක්‍රියා මාර්ග විවේචනය කිරිම නොකළ යුතු බවත් කියමින් විපක්ෂයද අකර්මන්‍යව සිටීම ආණ්ඩුවට මෙහිදී ලොකු වාසියක් වී තිබේ.

තවත් මාසයකින් මහ මැතිවරණය පැවැත් වේ. එය ආණ්ඩුව නියම කර තිබේ..(කල් තැබීමේ ඉඩ අවමය.) ඒ අනුව මැතිවරණ කටයුතු වල නියැලීමේ ගැටලුවක් නැත. මහ රැස්වීම් නැතුව පොඩි පොඩි රැස්වීම් පැවැත්තුවට කමක් නැත. ගෙයින් ගෙට ගොස් මිනිස්සු හමුවී කතා බහ කර පත්‍රිකා ආදිය බෙදුවාට කමක් නැත. ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුට වෛරසය ආසාදනය වී තිබුණාට අනෙක් දේශපාලකයකුට හෝ ආධාර කරුවෙකුට වෛරස් අසාදනය වීමක් නැති නිසා ගැටලුවක් තිබෙන බව ආණ්ඩුව හිතන්නෙ නැත. නමුත් මේ මොහොතේ දේශපාලනය කිරීමේ වරම තිබෙන්නේ ආණ්ඩුවට පමණි.

මේ වනවිට ආණ්ඩුව කොරෝනා මුවාවෙන් ආණ්ඩුවට එරෙහි තත්වයන් දේශපාලනික මර්දනකාරී පිළිවෙතකින් අඩපණ කිරීම වෙත සියුම්ව මාරු වෙමින් තිබෙන බව පැහැදිලිය. ජනාධිපතිවරයා ජාතිය අමතා සිය පාර්ශ්වය ජයග්‍රහණය කළ යුතු බව අවධාරණය කර ඒ වෙනුවෙන් පරිප්පු සැමන් අඩු කර මැතිවරණ අලල්සක්ද දුන්නෙය. ඒ ගැන නොයෙක් වර නැගුම් තිබුණද ඒ මැතිවරණ අල්ලසක් මිස වෙනකක නොවන බව ඉතා පැහැදිලිය. ඒ ගැන වෙනම කතා කළ යුතුය.

කුමන්ත්‍රණය

මේ සිදුකරමින් පවතින තක්කඩි දේශපාලන මෙහෙයුම හෙළිදරව් කිරීම වියුත්තකි. මේ වෙලාවේ දේශපාලනය ගැන කතා කිරීම ගැන මහ විවෙචනයක්ද තිබේ..එහෙත් ආණ්ඩුව කරමින් සිටින්නේ තක්කඩි දේශපාලනයක් නම් එය හෙළිදරව් කිරීමෙ සහ ඊට එරෙහි වීමේ ශුද්ධ වූ අයිතිය මේ රටේ සෑම පුරවැසියකුටම තිබේ. ඒ ගැන වන සාකච්ඡාවද මේ අර්බුදකාරී තත්වයෙන් රට මුදවාලීම වෙනුවෙන්ම බව අප අවධාරණය කරමු. මන්ද ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා රට තව දුරටත් අර්බුදයෙම ගිලී යන බවත් ඉන් පීඩාවට පත් වන්නේ අසරණ ජනතාව බවත් මේ වන විටත් පෙන්නුම් කරමින් තිබෙන නිසාය.

ආණ්ඩුවේ දේශපාලනික මෙහෙයුම හදිස්සියේ පැන නැගුනක් නොවේ. මෙය දීර්ග කාලීන සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන ලද්දක් බව හොඳින් පැහැදිලිය.එය දෙයාකාරයකින් ආණ්ඩුව කල්පනා කර කර තිබේ. එක. ඒ අද දින නාම යෝජනා අවසන් වීමෙන් පසුව කොරෝනා මර්ධනය සඳහා අවශ්‍ය දැඩි පියවර ගෙන, එය මර්ධනය කරා යැයි කියමින්, යුධ ජයග්‍රහණය හා සමාන තත්වයක් ලෙස උත්කර්ෂයට නංවමින් මැතිවරණය කරා යාම එක් සැලසුමකි. රණවිරු ගාය ද තවමත් රටේ වලංගුය.

මේ වන විට කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ‍්‍රී ලංකාව කලාප බෙදන බවත් රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් පැවැසේ. බැලු බැල්මට මේ හොඳ පියවරක් ලෙස පෙනී යයි. එහෙත් ආණ්ඩුවම කලින් අනෙකුකට එල්ල කළ චෝදනාව වන මිනිසුන් බියට පත්වීම, මේ හරහා සිදු නොවන්නේ දැයි අසන්නට කෙනෙක් නැතිවනු ඇත. ඒ ආණ්ඩුවේ වැඩ ප්‍රශ්න කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වනු ඇත යන්න දැනටම ආණ්ඩුව ප්‍රකාශකර තිබෙන නිසාය.

නමුත් සිතා සිටිනා ආකාරයට කොරෝන මර්දනය සාර්ථක නොවී, උත්සාහයන් ව්‍යයර්ථ වී, තත්වය නරක අතට වර්ධනය වුවහොත්, එය මැතිවරණයට සහ පොහොට්ටුවේ ඡන්ද පදනමට ඉතාම අහිත කර ලෙස බලපෑ හැකි බැවින්, මාධ්‍ය සහ සමාජ ජාල තුලන් ඒ පිළිබඳව පැතිර යන තොරතුරු නැවැත්වීම අනෙක් පියවරයි. මේ මොහොතේ ක්‍රියාත්මක මර්දනීය පියවරයන් ඒ දුර දක්නා නුවනින් ගන්න ලද තීරණයක් බවද පැහැදිලිය.

රාජිත සේනාරත්නට සහ සරත් ෆොන්සේකාට අදාලව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත්තේද ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අදාළ පදනම සකස් කොට ගැනීම සඳහා බවට සැක නැත. තවද එමගින් අනෙකුත් පක්ෂවල ප්‍රචාරණ යාන්ත්‍රණය, දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිකයන්ගේ හඬ අඩපණ කිරීමට සිදුකරනු ඇත. සිරස මාධ්‍යය හැරුණකොට අනෙකුත් සියලු විද්යුත් මාධ්‍ය සියල්ල රාජපක්ෂ ග්‍රහණයේ ඇති බැවින් මේ පහසු කරුණකි.

සැමන් ටින් එක මහමෙරක් වී පරිප්පුව මහා සාගරයක් වීම. .

පසුගිය දා ජනාධිපති ගෝටාබය ජාතිය අමතා පරිප්පු 65 ට දීමටත් සැමන් ටින් එක 100 දීමටත් තමා නියෝග කළ බව පැවසීය. රට බරපතල අවදානම් සහගත අවස්ථාවකට මුහුණ දී සිටියදී ජනාධිපතිවරයා ජාතිය අමතා කරන ප්‍රකාශය කුමක් විය වනුදැයි කල්පනා කරමින් සිටි මිනිස්සු ප්‍රීතියෙන් ඉපිල ගියේ සැමන් සහ පරිප්පු මිල අඩු කිරීමටත් වඩා තමන්ට නැති වූ විනෝදය ලබා දිමට සමත් ජනාධිපතිවරයකු සිටීම නිසාය.

කීවත් වගේ අඩු මිලට බඩු සොයා ගම් නගර පීරන්න ගත්තු මිනිස්සුන්ට සතොසේ දී බඩු හමු විය.. මිනිස්සු ඒ වෙනුවෙන් පොර කෑහ. සමහරක් පිලිවෙලකට පෝලිමේ සිටියේය. පෝලිම පැන ඉස්සරහට යන්න හදපු වුන්ගේ බෙල්ලෙන් ඇද දැමිමද සිදු විය . මේ මහජන ඒකරාශී වීම වෛරසය පැතිර වීමට හොඳ හේතුවක් වන නමුදු ඒ නොසලකා හරිමු. මන්ද එය ආණ්ඩුවට හෝ ඒ මිනිස්සුන්ට අදාල වුයේ නැති බැවිනි..

පරිප්පු සැමන් ලාබෙට දීම ගැන වර්ණනාත්මක අදහස් දැක්වීම් රැසක් සිදුව තිබිණි. ඒවායේ පෝෂ්‍ය ගුණය ගැනද තොරතුරු පළ විය. ඊටත් වඩා මෙය දුප්පත් මිනිහාගේ බොජුන බවත් මේ කළ දේ මහා පුණන්‍ය කර්මයක් බවත් කියැවිණි. එදා වේල හම්බ කරගෙන කණ මිනිහාට මේ දුන් සහනය ගැන දැන් උත්කර්ෂයට නැංවී තිබේ.

එහෙත් මෙහි ඇත්ත තත්වය ඔය පෙනෙන දෙය නොවේ.. ලාබ සැමන් පරිප්පු සොය සොයා ගියේ දුප්පත් මිනිහාම නොවේ. ලක්ෂ හැට හැත්තෑවේ වහනවලින් බැස ආ මිනිස්සුද ඒ අතර විය. නිශ්චිත ‍රැකියාවක් හොඳ ආදායම් මාර්ගයක් හිමි ආර්ථික ගැටලු නැති මධ්‍යම පාන්තිකයන් මේ පොලිම් වල පොර කෑහ. ගෙදර ගොස් ඒවා උයාගෙන කන හැටි ඡයාරුප ගත කර සමාජ මාධ්‍යවලට මුදා හැරි පිරිස්ද එමට සිටියහ. මිනිස්සු හොයන්නෙ බඩට කන්න දෙයකි. සැමන් ටින් එක කිහිල්ලේ ගසාගෙන අරක්කු පෝලිමේද මිනිස්සු සිටියහ. ඒවාකම් නැත. සියල්ලෝ කා බී සතුටුවන්නට කැමැති මිනිස්සුය.

ලොක් ඩවුන් කරන්න බයවීම

මේ අතර පසුගිය දින කිහිපයේදී රට සම්පූර්ණයෙන් අක්‍රීය කර වෛරසය පැතිර යාමට පියවර ගන්නැයි කී පිරිස් වෙත මේ සැමන් පරිප්පු කතාව හරහා විවේචනයක්ද ඉදිරිපත් විය. ඒ රට අක්‍රීය කළා නම් මේ හැමදාම සැමන් පරිප්පු කන දුප්පතාට මොකද වෙන්නෙ යැයි සමහරු ප්‍රශ්න කළේය. එහෙම අක්‍රීය කළා නම් මේ මිනිස්සු බඩ ගින්නෙ මැරෙන බවත් කීහ. දැනටමත් එදා වෙල හොයන් කන මිනිහාගේ ආදායම් මාර්ග නැති වී ඇති බවත් ඒ නිසා මේ සැමන් පරිප්පු දීම බුද්ධිමත් තීරණයක් බවටත් නැවත උත්කර්ෂයට නැංවීය. අර අක්‍රීය කරනවා (‍lock down)‍ කියන්නේ දින ගනනාවක් එක දිගට ඇඳිරි නීතිය දැම්මා වගේ මිනිසුන්ව ගෙවල් වලට හිර කර තැබීමක් යැයි සිතාගෙන සිටි මිනිස්සු මෙසේ කීහ.. එහෙත් ලොක් ඩවුන් කිරීම කියන්නේ එහෙම දෙයක් නොවේ. මේ විවේචකයන්ට රට පටලවන්නේ එතැනය.

රට ලොක් ඩවුන් කිරීමකදී හැම මිනිහාගෙන බඩ කට පිරෙනවාද යන්න සොයා බැලීමත් එසේ නොවෙනවා නම් ඊට පිලියමද මේ ලොක් ඩවුන් කිරීම තුල අනිවාර්යෙන්ම තිබේ. එදිනෙදා කුලී වැඩ කරන මිනිහාව බඩ ගින්නෙ නොතැබීම එහි වගකිමකි. ඒ වෙනුවෙන් කාර්යක්ෂම යාන්ත්‍රණයක්ද රජයට තිබිය යුතුය. එය එසේ නොමැති නම් රට අක්‍රීය කිරීම යනු තවත් බරපතල විනාසයක් සිදු වෙමයි.. වෛරසය පාලනය කිරීම සඳහා රට සති දෙකකට හෝ අක්‍රීය කර තැබීම වෛරසය පැතිරවීම පාලනය කිරීමේ කටයුතු අඩුම තරමින් සියයට 90 ක්වත් සාර්ථක කර ගැනීමට හැකිව තිබිණි. ඒ කළ හැකිව තිබූ හොඳම විසඳුමය. එහෙත් ආණ්ඩුව එය කළේ නැත. ප්‍රධාන හේතුව මහ මැතිවරණයයිග අනෙක ආණ්ඩුවට එහෙම හයියක් හෝ ඒ සඳහා වැඩ පිලිවෙලක් සැලසුමක් හෝ යාන්ත්‍රණයක් නොතිබීමය.

අද වෛරසය පාලනය කිරීම සඳහ යොදවා ඇත්තේ හමුදා සාමාජිකයන්ය. එය එසේ වන්නේ වෙන කරන්න දෙයක් නැති කමටය. රාජ්‍ය යාන්ත්‍රණය මේ වෙනුවෙන් මෙහෙයවා ගැනීමේ හැකියාවක් නොතිබීම නිසාය. ඒ දුර්වල කම නිසාය. සෞඛ්‍ය අංශය හෝ තවමත් මේ වෛරසය පාලනය සඳහා මුලුමනින්ම කැඳවීමට ආණ්ඩුව අසමත්ව තිබේ. .රට අක්‍රීය කිරීමට ආණ්ඩුව බයය..ඒ දේශපාලනික හේතුවක් නිසාය. මහ මැතිවරණයට යා යුත්තේ ජයග්‍රාහීව මිස පරාජිතව නොවේ. ඒ වෙනුවෙන් රට රවටමින් බොරු ගොඩක් නඩත්තු කරන්න ආණ්ඩුවට සිදුව තිබේ. නොහැකියාව හමුවේ හමුදාව යෙදවීමේ අතුරු ප්‍රතිපලය කලින් කී ලෙස රණවිරු ගාය යළි උඩට ගත හැකිවීමය.

වසංගතය පෙන්වා තැනින් තැන ඇඳිරි නීතිය පනවා මර්දනීය නීති පනවා ආණඩුව මේ කරන්නේ දේශපාලන මෙහෙයුමක් මිස වසංගත පාලනය වෙනුවෙන් අවංක උත්සාහයක් නොවන බව පැහැදිලිය. එක ගලෙන් කුරුල්ලන් තුන් හතර දෙනෙකු බා ගැනීමට ඔවුන් උත්සහ කරමින් තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us