එක්සත් ජාතික පක්ෂයේ හිනිදුම රත්ගම සහ බෙන්තර - ඇල්පිටිය කොට්ඨාශ හමුවීම් වලින් පසුව ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
තවදුරටත් වජිර අබේවර්ධන මහතා පැවැසූවේ
එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සැමරුම පිළිබඳව සහ එහි සංවිධාන කටයුතු පිළිබඳවත් ඒ වගේම අපේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවත් අපේ පාක්ෂිකයින් දැනුවත් කිරීම කරගෙන යනවා.
ඊයේ දවසේදී ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 6 ක අපි මේ ගැන දැනුවත් කිරීමේ කටයුතු කළා. අද දවසේදී අපි ඉතිරි කොට්ඨාශවල මේ දැනුවත් කිරීම් කටයුතු කරගෙන යනවා.
අපේ පක්ෂයේ 79 වෙනි සංවත්සරය යෙදී තිබුණේ මේ මාසයේ 6 වෙනිදා. නමුත් පසුගිය අවුරුදුවල වගේ මේ අවුරුද්දේ අපිට ඒ දවසේම එහි සැමරුම කරන්න බැරි වුණා. ඒ අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙලා තිබුණු නිසා. කොහොම නමුත් අපි එම සැමරුම මෙම මස 20 වන සෙනසුරාදා දින උදෑසන 9.00 ට ජයවර්ධනපුර, මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සැමරීමට කටයුතු කර තිබෙනවා.
ඒ වගේම තව දෙයක් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ තමයි 1946 දී එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන්න එවකට ලංකාවේ තිබුණු සියලුම දේශපාලන පක්ෂ පාහේ සම්බන්ධ වුණා.
1947 දී ඩී. එස්. සේනානායක මැතිතුමා අගමැතිධූරයට පත්වන්නේද මේ සියලුදෙනාගෙම ආශිර්වාදය මතයි. ඉතින් එවැනි පක්ෂයක සංවත්සරය සමරන අවස්ථාවේ දී ලංකාවේ තිබෙන සියලු දේශපාලන පක්ෂ එකතු කරගත යුතුයි කියලා අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපදෙස් ලබාදුන්නා. ඉතින් ඒ අනුව අපි ලංකාවේ තිබෙන සෑම දේශපාලන පක්ෂයකටම වගේ ආරාධනා කර තිබෙනවා මේ සඳහා සම්බන්ධ වන්න කියලා.
ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන අපේ රටේ අනාගත පරම්පරාව ගැන. ඔවුන් දැන් විශාල පීඩනයක ඉන්නේ. ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් රැකියා ව්‍යුක්තියෙන් පෙළෙනවා. ඒ වගේම මේ දේ කියාගන්නවත් විදිහක් නැතිව අද ඔවුන් අසරණභාවයට පත්වෙලා. ඉතින් ඔවුන්ට අනාගතය හොඳ තැනක් වන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම ගැනත් එක්සත් ජාතික පක්ෂය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටිනවා.
ඉතින් මේ තරුණ තරුණියන් වෙනුවෙන් රටේ හොඳ අනාගතයක් නිර්මාණය කරන්න නම් සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගොඩවිය යුතුව තිබෙනවා. නැතිනම් තවදුරටත් බොරුවෙන් සන්නද්ධ තරුණ තරුණියන් පිරිසක් බිහිවෙනවා විනා රටට සුබදායී තරුණ තරුණියන් පිරිසක් බිහි නොවන බව මගේ අනුමානයයි.
මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඒවාට වජිර අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය -
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ නිලනිවාස ඉවත් කිරීම පසුගියදා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වීම මගින් සිදුකෙරුණා. මේ සම්බන්ධයෙන් ඔබ දරන්නේ කුමන අදහසක්ද?
පිළිතුර -
ජනාධිපතිරුන්ගේ නිල නිවාස ලබාගැනීම නිසා රටේ සමස්ථ මහජනතාවට ලබන මාසේ ඉදලා ලයිට් බිල්, වතුර බිල් අඩු වෙයි. ඒ වගේම පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල අඩු වෙලා ජනතාවට සහන ලැබෙයි. අපි ඉතින් ඒ නිසා බලාගෙන ඉමු.
ප්‍රශ්නය -
මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පවා මේ වනවිට නැවත රජයට පවරා ගැනීම සිදුව තිබෙනවා. ඔබ හිතන්නේ මෙය හොඳ දෙයක් කියලද?
පිළිතුර -
මම හිතන්නේ ලංකා ඉතිහාසයේ රජ කාලෙත්, රජ කාලෙන් පසුවත්, හිටපු බොහෝ රාජ්‍ය නායකයෝ අකාලයේ මරා දමා තිබෙනවා. එහෙම නැතිනම් මරා දමන්න ගිහින් එම රාජ්‍ය නායකයෝ අනු නවයෙන් දිවි බේරාගෙන දැනට ජීවතුන් අතර ඉන්නවා. ඉතින් මේක තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය, වර්තමානය වගේම අනාගතයත්.
උදාහරණයක් හැටියට අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මයට සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ලෝකයේ සමහර රටවලට ගිහින් එන්න බැහැ. එහෙම ගියොත් එතුමාගේ දේහය තමයි මෙරටට නැවත ගේන්න වෙන්නේ. පිටරට විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව තුළත් එතුමට තනියම ගමනක් ගිහින් එන්න බැරි ප්‍රදේශ ඕන තරම් තියනවා. ඉතින් මෙන්න මේ කාරණය නිසා එතුමාව ජාතික වශයෙන් ආරක්ෂා කළ යුතුයි කියලයි මමනම් හිතන්නේ.
ඔබතුමා ඇහුවේ එතුමා හිටපු නිවස පවරා ගත්ත එක අපි දකින්නේ කොහොමද කියලා. මට මතකයි එම නිවස 2001 වසරේ මම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට නැවත රජයට පවරා ගන්න ලියුමක් යවපු සිදුවීම. එදා එම නිවසේ රැඳී සිටියේ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා. ඒ කාලේ හැටියට මට මතකයි විශාල මුදලක් වැය කරලා එම නිවසට වෙඩි නොවදින වීදුරු යොදා තිබුණා ආරක්ෂක කුටියේ සිටම. මම එදා ඒ නිවස වහාම රජයට ගත යුතුයි කියලා ලිපියක් යැව්වම එවකට අපේ රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට කතා කරලා හොඳටම දොස් කිව්වා. එතුමා කිව්වා ඒ නිවසට අතවත් තියන්න එපා කියලා. එහෙම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙරටට විශාල සේවයක් කළ නායකයින් ආරක්ෂා කළේ.
මට මතක විදිහට එතුමාට වෙඩි නොවදින රථ දෙකක් ලබා දී තිබුණා. පොලිස් ආරක්ෂක මෝටර් සයිකල් විශාල ප්‍රමාණයක්, ආරක්ෂකයින් 300 ක් පමණ ලබාදී තිබුණා. අපේ බලය 2004 වර්ශයේදී අහිමි වුණාට පස්සේ කදිරගාමර් මැතිතුමාව අකාලයේ ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වෙනවා.
ඉතින් ඒ නිසා මේ දේවල් බොහෝම කල්පනාවෙන් බැලිය යුතුව තිබෙනවා. චන්ද්‍රිකා මැතිණිය ගත්තත් ත්‍රස්තවාදයෙන් දිවි ගලවා ගත්ත කෙනෙක්, මෛත්‍රීපාල මැතිතුමා, ඝෝඨාභය මැතිතුමාත් වගේම ජේ. ආර් ජයවර්ධන මැතිතුමාත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් අනු නවයෙන් දිවි බේරගත්ත අය. නිදහසින් පස්සේ වගේම නිදහසට ප්‍රථම ශ්‍රී ලාංකික සෑම නායකයෙක්ම එක්කෝ මරා දමා තිබෙනවා. එක්කෝ මරා දමන්න උත්සාහ කරලා අනු නවයෙන් එම නායකයින් දිවි බේරා ගෙන තිබෙනවා. එතින් එසේනම් රජය රාජ්‍යයයේ වගකීම ඉටුකළ යුතුයි. ශ්‍රී ලංකාවට තවදුරටත් විහිලු සැපයීම නොකළ යුතුයි.
ප්‍රශ්නය -
නේපාලයේ ඇති වුණ තත්ත්වය පිළිබඳවත් යම් අදහසක් දැකවුවොත්?
පිළිතුර -
නේපාලයේ ඇති වුණු තත්ත්වය වගේම තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ එදා ඇති වුණා. ඒ ඇති වුණාමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා අපි එකට එකතු වෙලා මේ රට ඉදිරියට ගෙනයමු කියලා. ඒ අවස්ථාවේදී බොහෝමයක් දේශපාලන පක්ෂ සහයෝගය දුන්නා. ඇතැම් අය දුන්නේ නැහැ. නමුත් මතු දවසක සියලුදෙනා එකමුතුව ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඔසවා තැබීමට කටයුතු කරාවී කියලා මම විශ්වාස කරනවා.